ඉස්ලාමීය එකම ආචාරය අස්සලාමු අලෛකුම් පමණයි
පසුගිය (2023/06/28) දින යෙදී තිබූ “හජ් උත්සවය” සමඟ මුස්ලීම් සමාජය තුල හුවමාරු වූ ඊද් මුබාරක් සුබ පැතුමත්, එය ආදර්ශයක් ලෙස ගෙන මුස්ලීම් නොවන සමාජයත් “ඊද් මුබාරක්” යනුවෙන් මුස්ලීම් සමාජයට සුබ පැතීමත් දුටු මා හට එම කාරණය පිලිබදව තරමක් ගැඹුරින් යහමග අඩවිය තුල කථා කිරීමට සිතුණි. මන්ද සර්වකාලීන ප්‍රායෝගික වූ අස්සලාමු අලෛකුම් නම් අසමසම සුබ පැතුමක් ඉස්ලාම් දහම පෙන්වා දී තිබියදී මුස්ලීම් සමාජයේ බහුතරයක් එම දිව්‍යමය මඟපෙන්වීම පසෙකදමා ඉස්ලාමයෙන් බැහැරව (“ඊද්” පැතුමන් වැනි) නූතනයන් නිර්මාණය කරමින් එය සමාජය තුල නිරන්තරයෙන් භාවිතා කිරීම අවාසනාවන්ත තත්වයකි. මේ හේතුව නිසාම “ඉස්ලාමීය එකම ආචාරය “අස්සලාමු අලෛකුම්” පමණි” යන මාතෘකාව යටතේ ඔබේ අවදානයට ඉස්ලාමීය දෘෂ්ඨියෙන් කරුණු කිහිපයක් ගෙන ඒමට අදහස් කරමි.
ඉස්ලාම් පෙන්වාදෙන “අස්සලාමු අලෛකුම්” නම් ආචාරය මුල්ම මිනිසා වන ආදම් (අලෛ) තුමා කථා කල මුල් වදන් කිහිපය අතර එකක් වූ බව මීට පෙර සලාමය සුබ පැතුමකට එහා ගිය ප්‍රාර්ථනයකි යන ලිපිය තුලින් කථා කලෙමු. ආදම් (අලෛ) තුමා පමණක් නොව මොලොව සෑම වක්තෘවරයෙකු භාවිතා කල ආචාරය වූයේ ද එයයි. නිදසුනක් ලෙස ඊසා (අලෛ) (බයිබලයේ සදහන් ආකාරයට “යේසූස්”) තුමා මෙම “සලාමය” නම් ආචාරය තම අනුගාමිකයන්ට ඉගැන්වූ ආකාරය බයිබලයේ සදහන්වීම ඔබේ විමසුමට ගෙන එන්නේ නම්,
- තවද ඔබ කුමන නිවසකට ඇතුළු වුවද, පළමුවෙන් කියන්න: මේ නිවසට සාමය වේවා. (ලූක් 10:5 )
- ඔවුන් මෙසේ කියන විට, ජේසුස් වහන්සේම ඔවුන් මැද සිට, ඔවුන්ට කතා කොට, ඔබට ශාන්තිය වේ වා! (ලූක් 24:36 )
- එදිනම සවස් වරුවේ, සතියේ පළමු දිනය වන විට, ජුදෙව්වරුන්ට බියෙන් ගෝලයන් රැස්ව සිටි දොරවල් වසා තිබූ විට, ජේසුස් වහන්සේ පැමිණ මැද සිට, ඔවුන්ට කතා කොට, ඔබට ශාන්තිය වේ වා! (යොහන් 20:19 )
- දින අටකට පසු නැවතත් උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද තෝමස් ද ඔවුන් සමඟ සිටියෝ ය. එවිට ජේසුස් වහන්සේ දොරගුළු වසාගෙන අවුත් මැද සිට, ඔබට සමාදානය වේවායි වදාළ සේක. (යොහන් 20:26 )
ඉහත ආකාරයට දේව වක්තෘවරුන් තම සමාජයට ඉගෙන්වූ සලාමය පිලිබදව කථා කරන විට අවසාන වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් තම සමාජයට කල අවවාදය ද මෙහි විමසා බැලීම වැදගත් වේ. එවැනි උතුම් අවවාදයක් ඔබේ විමසුමට ගෙන එන්නේ නම්,
මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බවට ඉබුනු උමර් (රලි) තුමා පවසයි, කෙනෙකු පැමිණ, අල්ලාහ්ගේ දූතයාණන් (මුහම්මද් (සල්)) තුමාගෙන් මෙසේ විමසුවේය. “ඉස්ලාමයේ ඇති හොඳම දේ කුමක්ද?”, එයට අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් “අන් අය පෝෂණය කිරීම (ආහාර සැපයීම) සහ ඔබ දන්නා සහ නොදන්නා අයට සලාම් ආචාර (අස්සලාමු අලෛකුම්) පැවසීම” යැයි පවසන ලදී.
මූලාශ්‍ර හදීස් ග‍්‍රන්ථ - බුහාරි, මුස්ලිම්, අහමඩ්, අබුදාවුඩ්, නසායි සහ ඉබන් හිබ්බන්
“දන්නා හා නොදන්නා පිරිසට සලාම් ආචාර පැවසීම” ඉස්ලාම් දහමේ කොතරම් උතුම් ක්‍රියාවක් ද යන්න ඉහත හදීසය තුලින් පැහැදිලි වේ. මෙලෙස “සලාම්” ආචාර කිරීම කොතරම් කුසල් ගෙනදෙන ක්‍රියාවක්ද යන්න පහත හදීසය තුලින් දැන් විමසා බලමු.
අබූ හුරෙයිරා (රලි) තුමා පවසයි, මුහම්මද් (සල්) තුමාණන් තවත් පිරිසක් සමඟ එක්තරා ස්ථානයක අසුන්ගෙන සිටින විට, ඒ අසලින් ගිය කෙනෙකු මුහම්මද් (සල්) තුමාණන්ට “අස්සලාමු අලෛකුම්” (ඔබට ශාන්තිය අත්වේවා! ) යැයි පැවසීය. (එයට පිලිතුරු දුන් නබිතුමාණන්) “ඔහුට කුසල් දහයක් ඇත” යනුවෙන් අපට පැවසුවේය. ඒ ආකාරයටම තවත් කෙනෙකු එම ස්ථානයෙන් ගමන් ගන්නා අතරතුර “අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහ් (ඔබට ශාන්තිය සහ අල්ලාහ්ගේ දයාව හිමිවේවා!) යැයි පැවසීය. (එයට පිලිතුරු දුන් නබිතුමාණන්) “ඔහුට කුසල් විස්සක් ඇත” යනුවෙන් අපට පැවසුවේය. ඒ ආකාරයටම තවත් කෙනෙකු එම ස්ථානයෙන් ගමන් ගන්නා අතරතුර “අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු” (ඔබට ශාන්තිය සහ අල්ලාහ්ගේ දයාව සහ ඔහුගේ ආශිර්වාදය හිමිවේවා!) යැයි පැවසීය. (එයට පිලිතුරු දුන් නබිතුමාණන්) “ඔහුට කුසල් තිහක් ඇත” යනුවෙන් අපට පැවසුවේය.
මූලාශ්‍ර හදීස් ග‍්‍රන්ථ - ඉබුනු හිබ්බාන්,
ඉස්ලාම් දහම පුද්ගලයන් අතර සිදුවන ආචාරය ලෙස “සලාමය” පෙන්වාදුන්නා මිස ඉන් එහා කිසිදු අවස්ථාවක වෙනත් ආකාරයක ආචාරයක් පෙන්වාදී නොමැත. එසේ තිබියදී කුසල් රාශියක් ගෙනදෙන සර්වකාලීන අසමසම “සලාමය” පසෙකදමා ඉස්ලාම් දහම පෙන්වා නොදුන් “ඊද් මුබාරක්” හෝ එවැනි නූතන ආචාරයන් සමාජය තුල නිර්මාණය කොට ඒවා ඉස්ලාම් ලෙස අනුගමනය කිරීම කුසල වෙනුවට අකුසල ගෙනදෙන අපව නිරය කරා රැගෙන යන “බිද්අත්” නම් පාපයක් වනවා නොඅනුමානය. එම අවවාදය මුස්ලීම් සමාජය හමුවේ තබමින් ඉස්ලාම් පවසන එකම “සලාම්” ආචාරය අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු පමණක් යන්න අවදාරණය කරමින් මෙම සටහනට ද විරාමය තබමි.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න