ආදරය ඉස්ලාමීය විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් සහ ආදරය යන්න ඉතා පුළුල් විෂයකි. එය මිනිසුන් මිනිසුන්ට දක්වන ආදරය නැමැති පටු සීමාවකට ලඝු නොවේ. එය තමන්ව මැවූ දෙවියන් පටන් දේව වක්තෘවරුන්, මිනිසුන්, සතුන්, ගස්කොලන් සහ උපන්බිම… යනාදී පුළුල් කේෂත්‍රයක් ආවර්ණය වන ආකාරයට කථා කරයි. ඉස්ලාම් පවසන ‘ආදරය’ මුස්ලීම්වරයෙකු ජීවිතය තුල නිරන්තරයෙන් පැවතිය යුතු ආදරණීය බැදීමක් මිස වත්මන් ලෝකය සමරණ වැඩිහිටි දින, පියවරු දින, මව්වරුන් දින, පෙම්වතුන් දින… යනාදී සංකේත දිනයන්ට සීමා වූ පුහු සැනකෙලි දිනයක් නොවිය යුතු යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි.

අද ලෝකය ‘ආදරය’ යන්න බොහෝ දුරට තරුණ තරුණියන් අතර ඇති වන ප්‍රේම සම්බන්ධතාවය යන්නට සීම කොට ඇත. නමුත් ඉස්ලාම් පවසන ආදරණීය බැදීම ඊට වඩා උත්තතරීතරය. මෙම ලිපිය තුලින් අවදානය යොමු කරන්නේ එම කාරණය වෙතය. එනම්,

  • (දෙවි) අල්ලාහ්ට දක්වන ආදරය,
  • වක්තෘ මුහම්මද් (සල්) තුමා දක්වන ආදරය,
  • දෙමාපියන් දක්වන ආදරය
  • පවුලේ ඥාතීන් දක්වන ආදරය
  • සමස්ථ මිනිස් වර්ගයාට දක්වන ආදරය

අල්කුර්ආනය ඇසුරෙන් ඉහත කාරණය වෙත අවදානය යොමු කිරීමට මත්තෙන් මෙහි සටහන් කලයුතු කාරණයක් ඇත. එනම්, ඉහත සියළු ආදරය දැක්වීමන් අප කරනු ලබන්නේ අල්ලාහ් (දෙවි)ගේ ආදරය අපේක්ෂාවෙනි. එම ආදරය මතයි අපගේ මෙලොව පරලොව විමුක්තිය රැදී තිබෙන්නේ.

අල්කුර්ආනයේ පලමු පරිච්චේදය වන සූරා ෆාතිහා හි (අල්ලාහ් (දෙවි) වන) ඔහු ‘අර්රහ්මාන්’ (رحمن) හා ‘රහීම්’ (رحیم) බව පවසයි. මෙම වචන දෙකෙන් පවසන්නේ ඔහුගේ ගුණාංගයන් අතුරින් දෙකක් වන (ඔහු ) අපරිමිත දයාන්විත හා අසමසම කරුණාන්විත යන්නයි. මෙහි ඔහුගේ දයාව යන්න මෙලොව මුස්ලීම්වරුන්ට පමණක් සීමා වූ කාරණයක් නොවේ. එය මුස්ලීම් හා මුස්ලීම් නොවන සියලු මිනිසුන් හට දෙවියන් විසින් දක්වන පොදු දයාව සංකේතවත් කරයි. එසේ වුවත් මුස්ලීම්වරුන් සදහා (දෙවියන් වන) ඔහු විශේෂ දයානුකම්පාවක් හා කරුණාවක් දක්වන බවත්, එම මුස්ලීම්වරුන් අතුරින් ද ඔවුන්ගේ ක්‍රියාව හා අවනතවීම අනුව තවත් සමහරෙකුට සුවිශේෂි දයාවක් හා කරුණාවක් දක්වනවා යන්නත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එසේනම් එම දයාව කරුණාව අපටත් හිමිවේවා! යන පැතුමෙන් මාතෘකාවට නැවත යොමු වෙමු.

ඉහතින් සදහන් අල්ලාහ් (දෙවි)ට, ඔහුගේ වක්තෘවරයාට, දෙමාපියන්ට, පවුලේ ඥාතීන්ට හා සමස්ථ මිනිස් සමාජයට දක්වන ආදරය පිලිබදව අල්කුර්ආනයේ ඉගෙන්වීම කුමක්ද? යන්න දැන් එකින් එක කෙටියෙන් විමසා බලමු.

අල්ලාහ් (දෙවි)ට ආදරය දැක්වම

අල්ලාහ් (දෙවි)ට ආදරය කිරීම යනු, ඔහුගේ මඟපෙන්වීමන්ට අවනතව හදවතින්ම එයට කැපවී බියබැතිව ජීවත්වීමයි. ඊට අමතරව අප උපයන ධනයෙන් කොටසක් මඟින් අසරණයින්ට පිහිටවීම, දේවස්ථාන ඉදිකිරීම, අධ්‍යාපන කටයුතු සදහා උපකාර කිරීම… වැනි යහපත් කටයුතු සදහා වියදම් කිරීම, පාපකාරී ක්‍රියාවන්ට යොමු නොවීම සහ යහපත් ශිෂ්ඨසම්පන්න පුරවැසියන් ලෙස සමාජය තුල ජීවත්වීම වැනි කටයුතු මඟින් අල්ලාහ් කෙරෙහි අපගේ ආදරය පිලිඹිබු කලහැක. එය අල්කුර්ආනය මෙසේ පවසයි.

   (නුඹලාගේ ධනය) අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් කරනු. නුඹලාගේම දෑතින් නුඹලා විනාශයට නොහෙළනු. විශිෂ්ට අයුරින් සියලූ දෙයම කරනු. නියත වශයෙන්ම විශිෂ්ට අයුරින් කටයුතු කරන්නවුන්ට අල්ලාහ් ආදරය කරයි.

අල්කුර්ආනය 2-195

   යමෙක් ඔහුගේ (පොරොන්දු වූ) ගිවිසුම ඉටුකර (අල්ලාහ්ට) බියබැතිමත් වුයේ නම්, නියත වශයෙන්ම අල්ලාහ් බිය බැතිමත් අයට ආදරය කරන්නේය.

අල්කුර්ආනය 3-76

ඉහත ක්‍රියාවන් ඉටුකිරීම අල්ලාහ් (දෙවි)ට අප ආදරය කිරීමක් වන අකර ඒ තුලින් අල්ලාහ් (දෙවි)ගේ ආදරය අපට ද හිමිවේ.

මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය දැක්වීම

මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය දැක්වීම සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. තම මාපියන්ට වඩා මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය දක්වන තුරු ‘ඔහු සැබෑ මුස්ලීම්වරයෙකු නොවේ’ යන්න ඉස්ලාම් දහමේ මුලික ඉගෙන්වීමයි. මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරනවා යනු, ඔහුගේ මඟාපන්වීම හා නිර්දේශ ඒ අයුරින්ම පිලිගෙන පිලිපැදීමයි.

මුහම්මද් (සල්) තුමාණන් ජීවමානව සිටී කාලය ඉස්ලාම් දහම තම ජීවිතය තුලින් සමාජයට ප්‍රායෝගිකව පෙන්වන ලදී. දශක දෙකකට වඩා කාලයක් මෙලෙස මිනිස් සමාජයට ආදර්ශ සපයා ගිය එතුමාණන්ගේ ආදර්ශයන් හා නිර්දේශයන් ඉස්ලාම් යන්න දහමේ ඉගෙන්වීමයි. ඒ අනුව අල්ලාහ් (දෙවි)ට හා ඔහුගේ වක්තෘවරයාණන්ට ඔබ ආදරය කරනවා නම්, මුහම්මද් (සල්) තුමාණන්ව දශමයෙන් දශමයට අනුගමනය කිරීම මූලික අවශ්‍යතාවයකි. එය අල්කුර්ආනය මෙසේ පවසයි.

   (නබි) ඔබ පවසන්න, ‘ඔබලා අල්ලාහ්ට ආදරය කරන්නේ නම්, මාව අනුගමනය කරන්න. (එවිට) අල්ලාහ් ඔබලාට ආදරය කරන අතර ඔබලාගේ පාපයන් ද සමා කරනු ඇත. තවද අල්ලාහ් සමාකරන්නා හා දයාන්විතයාය.’

අල්කුර්ආන් 3-31

දෙමාපියන්ට ආදරය දැක්වීම

   නුඹලා, අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොඅදහනු, තවද දෙමාපියන්ට දයාබර වනු. ඔවුන් දෙදෙනාගෙන් කෙනකු හෝ දෙදෙනාම නුඹ ළඟ මහලු වියට පත්වුවහොත් ඔවුන් දෙදෙනාට ‘උෆ්ෆින් (චි)’ යනුවෙන් නොකියනු. ඔවුන් දෙදෙනාට දුර්මුඛ නොවනු. ඔවුන් දෙදෙනාට ගෞරව වචනයෙන් ආමන්ත්‍රණය කරනු.

අල්කුර්ආනය 17-23

බිරිඳට ආදරය දැක්වීම

   (ඔබ එක්කාසු වී ජීවත් විය හැකි ඔබගේ) භාර්‍යයාවන්ව ඔබ ඔවුන් වෙත හිත සුව ලැබීම පිණිස ඔබගෙන්ම ඔහු නිර්මාණය කර, ඔබ අතරේ ආදරයද කරුණාවද ඇති කර තිබීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි.

අල්කුර්ආනය 30-21

පවුලට ආදරය දැක්වීම

   විශ්වාසවන්තයිනි! ඔබ, ඔබවද, ඔබගේ පවුලේ උදවියද, මිනිසුන් සහ ගල් ඉන්ධන බවට පත් කළ හැකි නිරා ගින්ණෙන් ආරක්ෂා කර ගනු.

අල්කුර්ආනය 66-6

සමාජයට ආදරය දැක්වීම

   විශ්වාසවන්තයිනි, නුඹලා අධිකව අනුමානයෙන් සැකකිරීමෙන් වලකිනු. නියත වශයෙන් ඇතැම් සැක සිතීම් පාපයකි. ඔත්තු බැලීමෙන් වැලකී සිටිනු. නුඹලාගෙන් සමහරෙකු සමහරෙකුට ඕපදූප නොකියනු. මියගිය තම සහෝදරයාගේ මස් අනුභව කිරීමට නුඹලා අතුරින් යම් කෙනෙකු කැමතිද? නැත. නුඹලාම එය පිළිකුල් කරන්නෙහිය. තවද අල්ලාහ්ට බිය බැතිමත්වනු. අල්ලාහ් පසුතැවිලි භාරගන්නාද අසමසම කරුණාන්විතයාද වෙයි.

අල්කුර්ආනය 49-12

මේ අනුව මිනිසුන් වශයෙන් අප අල්ලාහ්ට, ඔහුගේ වක්තෘවරයාට, අපගේ දෙමාපියන්ට, පවුලේ ඥාතීන්ට සහ සමස්ථ මිනිස් සමාජයට ඉහතින් සදහන් ආකාරයට දක්වන ආදරයෙන් අපගේ මෙන්ම ඔවුන්ගේද ජීවිතය ඉතාමත් සුන්දර හා පුදුමාකාර සැනසුමක් ගෙනදෙන එකක් වන අතර එම ‘ආදරය’ නොමැති ජීවිත අර්ථ විරහිත අවාසනාවන්ත කටුක ජීවිත වනවා ඒකාන්තය.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/10/24

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම