ඇදහිලිවන්තයකුගේ කටයුතු විශ්මය ජනකය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහම පූර්ණ ලෙස අනුගමනය කරන මුස්ලීම්වරුන් "සැබෑ ඇදහිලිවන්තයන්“ ලෙස ඉස්ලාම් දහම හදුන්වයි. මෙවන් සැබෑ ඇදහිලිවන්තයන් පිලිබදව නබිතුමාණන් කථා කිරීමේ දී වරක් මෙසේ පවසන ලදී.

ඇදහිලිවන්තයාගේ කටයුතු විශ්මය ජනකය, ඔහුගේ දිවිය තුල සතුට ගෙනදෙන යමක් සිදුවූ විට, ඔහු අල්ලාහ් (දෙවි)ට ස්තූති කරන අතර, එයින් ඔහුට යහපතක් අත් වේ. එසේම ඔහුට හානිකර යමක් සිදු වු විට, එය ඔහු ඉවසා දරා ගැනීම හේතුවෙන් එයද ඔහුට යහපතක් වේ. මේ නිසා ඔහුගේ සෑම කාරණයකදීම ඔහුට යහපතක්ම වන අතර විශ්වාස කරන්නා හැර අන් කිසිවෙකුට මෙය එසේ නොවේ. 

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලීම්

අද සමාජයේ බොහෝ අර්බුදවලට ප්‍රධාන හේතුව ඉහත ප්‍රතිපාදව සමාජය තුල නොපැවතීමයි. තමන්ට යහපතක, වාසියක් අත්වූ විට එය පදනම් කරගෙන ආඩම්භරයෙන් හා උද්ධාමයෙන් කටයුතු කිරීමත්, තමන්ට අවාසියක්, දුකක්, හානියක්... වැනි තත්වයන් ඇති වූ විට එය දරාගත නොහැකි ආතතියකට, මානසිත පීඩනයකට පත්ව කම්පා වී විටෙක සියදිවි හානි කරගැනීම වැනි තත්වයන්ට පවා යොමු වීමත් වත්මන් සමාජය තුල සුලබව දකින්නෙමු. නමුත් සැබෑ මුස්ලීම්වරයකුගේ ක්‍රියා කලාපය එසේ නොවේ. ඔහුට යහපත් සිදු වූ විට එම යහපත ගෙනදුන් අල්ලාහ් (දෙවි)ට ඔහු ස්තූති වන්තව කටයුතු කරන අතර ඔහුට අයහපතක් සිදු වී විට එම අයහපත හමුවේ ඔහු “දෙවියන්ගේ පෙර නියමය (“කද්ර්“) අනුව එය සිදුව ඇත. දෙවියන් සිතුවේ නම් මීට වඩා යමක් (යහපතක්) මට ලබාදෙනු ඇත“ යන අවබෝධයෙන් ඉවසීමෙන් කටයුතු කිරීම දැකිය හැක. සැබෑ මුස්ලීම්වරයකුගේ මෙම ප්‍රතිපදාව පිලිබදව ඉස්ලාම් දහමේ මුලාශ්‍රයන් වන අල්කුර්ආනය හා අල්හදීස් හි තවත් ඉගෙන්වීමන් දෙකක් වෙත තවදුරටත් ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

  • අල්කුර්ආනය
සියලු ප්‍රාණීහූ මරණයේ රස විදින්නෝය. පිරික්සීමක් ලෙස නරකින් හෝ හොඳින් අපි නුඹලා සෝදිසි කරන්නෙමු. තවද නුඹලා ආපසු පමුණුවනු ලබන්නේ අප වෙතමය.

අල්කුර්ආනය 21:35

  • අල්-හදීස්
(සැබෑ) ඇදහිලිවන්තයා ගැන මා පුදුම වෙමි. නියත වශයෙන්ම අල්ලාහ් (දෙවි) විශ්වාස කරන්නාට ඔහු යහපත හැර වෙන කිසිවක් නියම නොකරයි.

මූලාශ්‍ර ග්‍රන්ථය - අහමද්

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව මිනිසාගේ ලෞකික දිවිය යනු මරණින් මතු සදාතනික දිවිය යහපත් කරගැනීම සදහා වූ පරීක්ෂණ භූමියකි. මෙම ලෞකික දිවිය තුල කෙනෙකු කොතරම් යහපත් හා ඉවසිලීවන්තව කටයුතු කරන්නේද? යන කාරණය මත ඔහුගේ ලෞකික දිවියේ යහපතත්, මරණින් මතු උදාවන පරලොව දිවියේ යහපතත් තීන්දු වේ. මෙය අල්කුර්ආනය ද අවදාරණය කරන සත්‍යයකි. එනම්,

ඔවුන් නිවැරදි මඟට පැමිණෙන පිණිස අපි ඔවුන් හොඳ දෙයින්ද නරක දෙයින්ද පිරික්සුවෙමු.

අල්කුර්ආනය 7:168

ඉහත ශුද්ධ වූ දිව්‍ය වදන ඔබේ බුද්ධිමත් විමසුමට තබමින්, ලෞකික දිවිය තුල අත්විඳින දුක්කම්කටොලු, පසුතැවීම්, වේදනා... යනාදීය හමුවේ ඉවසීමෙන් කටයුතු කරමින් සහ සතුට, යහපත... යනාදීය හමුවේ ප්‍රීතිඝෝෂා නඟමින් ආඩම්භර නොවී දෙවියන්ට ස්තූති පූර්වකව කටයුතු කරමින් යහපත් විශ්මිත මුස්ලීම්වරයකු ලෙස ජීවත් වීමට අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදය මේ සමස්ථ මිනිස් සමාජයටම හිමි වේවා!, යන ප්‍රාර්ථනයෙන් මෙම සටහනට විරාමය තබමි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/22

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම