කම්කරු අයිතීන් සහ ඉස්ලාම් දහමේ මඟපෙන්වීම්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ව්‍යාපාරයක සාර්ථකත්වය සහ අපේක්ෂිත ලාභය ලඟා කර ගැනිම මෙන්ම එම ව්‍යාපාරය සුමටව පවත්වාගෙන යාම රදා පවතින්නේ එම ව්‍යාපාරයේ නියලී සිටින සේවකයන් එසේත් නැත්නම් කම්කරුවන්ගේ කැපවීම මතය. එවන් වූ කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සේවා යෝජකයාගේ වගකීම ද වේ. කම්කරුවන්ගේ ජාත්‍යන්තර අයිතීන් “මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය” වැනි විවිධ ජාත්‍යන්තර ලේඛනවල සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ “සම්මුති සහ නිර්දේශ” යනාදීය තුලින් මෙම කම්කරු අයිතීන් පිලිබදව විවිධ නීති පනවමින් කථා කොට ඇත. මේවා තුලින් කම්කරුවා සහ සේවා යෝජකයා කිසියම් නීති රාමුවක කොටු කිරීමට හැකි වූවා මිස ඒ තුලින් එම දෙපාර්ශව තුල පූර්ණ කැපවීමෙන් යුතු අවංක සේවයක් ලබාගැනීමට හැකි වී නැත.

මෙවන් අවදියක ලෝක කම්කරු දිනය වූ අද දවසේ ඉස්ලාම් සහ කම්කරු අයිතිවාසිකම් යන මෙම මාතෘකාව යටතේ මෙතැන් සිට ඉස්ලාමීය දෘෂ්ඨියෙන් මෙම විෂය විමසා බැලීමට අදහස් කරමි.

ඉස්ලාම් සහ කම්කරු අයිතිවාසිකම්

ඉස්ලාම් දහම කම්කරුවන්ගේ සහ සේවා යෝජකයන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් පිලිබදව දීර්ඝ ලෙස කථා කරයි. රැකියාවේ නියලීම දේව නැමදුමක් ලෙස දකින ඉස්ලාම් දහම එහි සේවකයින්ගේ සහ සේවා යෝජකයන්ගේ පූර්ණ කැපවීම සහ අවංකභාවය ඉහලින්ම අපේක්ෂා කරයි.

කම්කරුවා ඇතුළු සෑම කෙනෙකුගේම අයිතිවාසිකම් ඉටු කිරීම හා ආරක්ෂා කිරීම ඉස්ලාම් උගන්වන මූලික කාරණයකි. මේ ලෝකය තුල අපෙන් සමහරක් ඉහල තලවල සිටින විට තවත් සමහරක් ඔවුන් යටතේ සේවකයින් ලෙස කටයුතු කරයි. නමුත් ඉස්ලාම් දහම තුල මේ ‘ලොක්කා’ සහ ‘කම්කරුවා’ අතර උසස් පහත් භේදයක් නැත. ලොක්කා සහ සේවකයා අතර ඇති බැදීම ‘ලොක්කා’ තම සේවකයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන එසේම සේවකයා අවංකව හා කැපවීමෙන් තම සේවය ඉටු කරන සහෝදරත්වයේ බැදීමක් වියයුතුය.

මෙය අල්කුර්ආනය මෙසේ පවසයි.

ඔබගේ දෙවියන්ගේ වරප්‍රසාදයන් ඛෙදා දෙන අය ඔවුන් වන්නෙහුද? මෙලොව ජීවිතයෙහි ඔවුන්ගේ ජීවනෝපායට අවශ්‍යතාවයන් ඔවුන් අතරේ අපිම ඛෙදා දී, ඔවුන්ගේ සමහරකගේ පදවීන් සමහරෙකුට වඩා අපිම උසස් කළෙමු. ඔවුන්ගෙන් සමහරෙක්, සමහරෙකුව (සේවකයින් වශයෙන්) එක්කාසු කර ගැනීම සඳහා (නබිත්වය යයිද), ඔබගේ දෙවියන්ගේ වරප්‍රසාදයන් නම්, ඔවුන් එක්කාසු කර ඇති වස්තූන්ට වඩා ඉතා උසස්ය. (එය ඔහු කැමති තම වහලූන්ටම ලබා දෙන්නේය).

අල්කුර්ආනය 43-32

ඉහත වාක්‍යය බුද්ධිමත්ව විමසා බලන්නේ නම් ලෞකික ජීවිතය තුල ‘ලොක්කා’ සහ ‘සේවකයා’ බෙදීම අල්ලාහ් (දෙවි) හමුවේ වලංගු භේදයක් නොවන බව පැහැදිලි වේ. සේවකයා තම සේවය අවංකව සහ කැපවීමෙන් ඉටුකල යුතු අතර එහි ප්‍රධානියා කෙරෙහි අවම වගකීම වන්නේ අවංකව සහ නියමිත වේලාවට තම සේවකයා හට නියමිත වැටුප ගෙවීමයි. මෙය මුහම්මද් (සල්) තුමාණන් මෙසේ අවදාරණය කොට ඇත.

"කම්කරුවාගේ දහඩිය වියළීමට පෙර ඔහුගේ වැටුප ගෙවන්න" 

මූලාශ්‍ර ග්‍රන්ථය - සුනන් ඉබ්නු මාජා

සේවකයෙකු ඉටුකරන සේවය සදහා ගෙවන වැටුපට එහා ගොස් ඉස්ලාම් දහම සේවක අයිතීන් බොහෝමයක් කථා කරයි. එවැනි ඉගෙන්වීමන් වෙත මෙතැන් සිට අවදානය යොමු කරන්නේ නම්,

ශක්තිය ඉක්ම වූ රාජකාරී පැවරීම් හෝ ශ්‍රමය සූරාකෑම

ඉස්ලාම් දහමේ යෝජනාව වන්නේ සේවකයාට අධික බරක් නොදැනෙන පරිදි වැඩ කරන වේලාව කළමණාකරණය කලයුතු බවයි. ඔහුගේ ශක්තිය ඉක්මවූ රාජකාරී පැවරීම් හෝ ශ්‍රමය සූරාගැනීම නොකලයුත්තක් බව අල්කුර්ආනය සහ අල්හදීසය අවධාරනය කරයි.

කිසිඳු කෙනකුට ඔහුට දැරිය හැකි බරක් විනා වගකීමක් අල්ලාහ් නොදෙයි. 

අල්කුර්ආනය 2-286

මෙය මුහම්මද් (සල්) තුමාණන් ද මෙසේ අවදාරණය කරන ලදී.

ඔබේ සේවකයාට දරාගත නොහැකි වැඩවලින් ඔහුට බරක් නොවන්න

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරී

තම සේවකයින්ගේ නියමිත රාජකාරියට අමතර සේවාවක් ලබාගන්නට සේවා යෝජකයා අදහස් කරන්නේ නම් එය ඔහුට බරක් දුෂ්කරතාවයක් නොවන ලෙස ලබාගැනීමට ඉස්ලාම් දහම තුල බාධාවක් නැත. එයට දේව වක්තෘ ෂුයෙයිබ් (අලෛ) තුමාණන් මුසා (අලෛ) තුමාණන්ට කල පහත ප්‍රකාශය හොදම නිදසුනකි.

ඔබ මට වසර අටක් සේවය කරන්නේ නම් මාගේ මෙම දියණියන් දෙදෙනාගෙන් එක් තැනැත්තියක් ඔබට සරණපාවා දීමට ඇත්තෙන්ම මම කැමැත්තෙමි. නුඹ (වසර) දහයක් සම්පූර්ණ කරන්නේ නම් එය නුඹගේ කැමැත්ත පරිදිය. මම නුඹට කරදර කිරීමට කැමැති නොවෙමි...

අල්කුර්ආනය 28-27

ඉහත වාක්‍යයන් දෙක තුලින්ම අල්ලාහ් (දෙවි) ශ්‍රමිකයන් මත බර පටවා කටයුතු නොකරන ලෙස අණ කරයි. සර්වබලධාරි කිසි විටෙකත් ඔහුගේ මැවීම්වලට බරක් නොදෙන බවත්, දෙවියන්ගෙන් යහපත, ධාර්මික හා ගෞරවනීය තත්වය අපේක්ෂා කරන කෙනෙකු ඔහුව අනුගමනය කළ යුතු බවත් පැහැදිලි වේ.

මෙය තවදුරටත් හොදින් අවබෝධ කරගැනීම පිණිස අල්හදීසයක් වෙත ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

ඔබේ සේවකයන් යනු අල්ලාහ් ඔබේ අධිකාරියට යටත් කර ඇති ඔබේ සහෝදරයන්ය. තමා යටතේ සේවය කරන සේවකයා, ඔහු කන දෙයින් ම ඔහුවද පෝෂණය කළ යුතු අතර, ඔහු විසින්ම ඇඳ පැළඳ සිටින දෙයින් ඔහුට ඇඳීමට සැලැස්විය යුතු අතර, ඔහුගේ හැකියාව හා ශක්තියට වඩා ඔහුට බරක් නොවිය යුතුය. නමුත් ඔබ ඔවුන්ගේ ශක්තියෙන් ඔබ්බට ඔවුන්ට බරක් කරන්නේ නම්, ඔවුන්ට උදව් කරන්න.

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

සේවක මූලික අවශ්‍යතා සපුරාලීම

ඉහත හදීසය තුලින් සේවා ස්ථානයක තම සේවකයාගේ පොෂණ හා ඇදුම් අවශ්‍යතාවය පිලිබදව කථා කරන ඉස්ලාම් දහම ඔවුන්ගේ ආරක්ෂාව පිලිබදව ද මෙසේ අවදාරණය කරයි.

...නුඹලාගේම දෑතින් නුඹලා විනාශයට නොහෙළනු. විශිෂ්ට අයුරින් සියලූ දෙයම කරනු. නියත වශයෙන්ම විශිෂ්ට අයුරින් කටයුතු කරන්නවුන් අල්ලාහ් ඇලූම් කරයි.

අල්කුර්ආනය 02-195

සේවා යෝජකයා විසින් සේවා ස්ථානයක ආරක්ෂිත තත්ත්වය සහතික කළ යුතු බව ඉහතින් පවසන ඉස්ලාම් දහම තම සේවකයින්ගේ විවේකි අවශ්‍යතාවය ද අමතක කොට නැත. එනම්, තම සේවකයින් හට විවේකයක් ලබා නොදී සේවාව ලබාගැනීමට ඉස්ලාම් දහම තුල අවසර නැත. එය අල්කුර්ආනය මෙසේ පවසයි.

(එසේ නොමැතිව) රාත්‍රියද, දහවලද ඔබ වෙහෙස නිවා ගැනීමටද, ඔබ ඔහුගේ වරප්‍රසාදයන් සොයා ගැනීමටද ඔබට ඔහු ඇති කර තිබීමට ඔහුගේ කරුණාවම හේතුවකි. (මේ සඳහා) ඔබ (ඔහුට) කෘතඥ වනු මැනව!”

අල්කුර්ආනය 28-73

අල්කුර්ආනය අවදාරණය කරන එම අවශ්‍යතාවය මුහම්මද් (සල්) තුමාණන් ද වරක් මෙසේ අවදාරනය කරන ලදී.

මිනිසා තමාට යමක්, ඔහුගේ ශරීරයට යමක්, ඔහුගේ බිරිඳට (පවුලට) යමක්, ඔහුගේ ඇසට යමක් ඉටුකල යුතුව ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය - තිර්මිදි

මේ ආකාරයට සේවා යෝජකයා විසින් තම සේවකයින් හට සපයාදිය යුතු කොන්දේසි පිලිබදව කථා කරන ඉස්ලාම් දහම ඔවුන්ගේ වේතනය නොහාත් වැටුප පිලිබදව ද දැඩිව කථා කරයි. මේ පිලිබදව කථා කරන අල්කුර්ආනය මෙසේ පවසයි.

විශ්වාස කරන සහ ගෞරවනීය ක්‍රියාවන් (යහපත් වැඩ) කරන අය... ඔවුන්ගේ ඉපැයීම් ඔවුන්ගෙන් කිසිදාක රඳවා නොගනු ඇත

අල්කුර්ආනය 95-06

මෙතැනදී ඉහතින් ඉදිරිපත් කල හදීසයක් නැවත ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

"කම්කරුවාගේ දහඩිය වියළීමට පෙර ඔහුගේ වැටුප ගෙවන්න" 

මූලාශ්‍ර ග්‍රන්ථය - සුනන් ඉබ්නු මාජා

මීට අමතර සේවකයින් සම්බන්ධ ඉස්ලාමීය කොන්දේසි තවත් කිහිපයක් විමසා බලන්නේ නම්,

පූර්ව වැටුප් නියම කොට සේවකයින් බඳවා ගතයුතු බව ඉස්ලාම් පවසයි

“වැඩ සඳහා පූර්ව වැටුප් නියම කිරීමකින් තොරව සේවකයෙකු බඳවා ගැනීම තහනම් කළේය.” 

මූලාශ්‍ර ග්‍රන්ථය - අහමද්

තවත් කොන්දේසි කෙටියෙන්

  • මෙහිදී වැටුප් නියම කිරීම වාචික හෝ ලිඛිත ආකාරයෙන් විය හැකිය. කම්කරුවන්ගේ මූලික ජීවන අවශ්‍යතා සැපයීමට වැටුප් ප්‍රමාණවත් විය යුතුය. මෙම වැටුපේ අවම ප්‍රමාණය අල්කුර්ආනයේ 2-233 වාක්‍ය මත පදනම්ව නිර්ණය කලයුතු යන්න ඉස්ලාමීය විද්වතුන්ගේ මතයයි.
  • "වන්දියක් අවම වශයෙන් ආහාර සහ ඇඳුම් පැළඳුම් සඳහා වන පිරිවැය කාල නියමයන්ට අනුකූලව සපුරාලිය යුතුය"
  • “සේවකයෙකුට (පිරිමි/කාන්තාවකට) අවම වශයෙන් මධ්‍යස්ථ හොඳ ආහාර සහ ඇඳුම් පැළඳුම් සඳහා හිමිකම් ඇති අතර ඔහුට/ඇයට දරාගත හැකි දේ හැර බරක් පැටවෙන්නේ නැත”
  • “ඔවුන්ගේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් ඔවුන් තෘප්තිමත් කරවන්න” යනුවෙන් නබිතුමා පැවසූ හදීසය බුහාරි නම් හදීස් ග්‍රන්ථයේ සදහන් වේ.
  • “ඔබ යටතේ වැඩ කරන අය දෙවියන් වහන්සේ ඔබට යටත් කර ඇති ඔබේ සහෝදරයන් හා සමානයි. එබැවින් තම සහෝදරයා තමා යටතේ වැඩ කරන තැනැත්තා තමා පෝෂණය කරන දේ ඔහුට පෝෂණය කිරීමටත් ඔහු විසින්ම අඳින ලද දේ ඔහුට පැළඳීමටත් ඉඩ දෙයි’’. යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන් පවසා ඇත.
  • "ඉස්ලාමීය ඉතිහාසය පෙන්නුම් කරන්නේ උමර් හමුදා නිලධාරීන් සඳහා වැටුප් නියම කළ අතර ඔහුගේ කාලය තුළ සේවා කාලය, හොඳම කාර්ය සාධනය සහ දැනුම මට්ටම වැනි නිර්ණායක කිහිපයක් මත වැටුප් ද සංශෝධනය කරන ලද." බව අබූදාවූද් නම් හදීස් ග්‍රන්ථයේ සදහන් වේ.
  • “නබිතුමා අවිවාහක පුද්ගලයින්ට සාපේක්ෂව පවුල් ඇති පුද්ගලයින්ට ඝානීමා වලින් දෙගුණයක් ලබා දුන් සදහන් වේ.
  • "මම කිසිවිටකත් සේවකයෙකුගේ ශ්‍රමයට පාඩුවක් නොකරන්නෙමි, එය පිරිමි හෝ ගැහැණු’’ යන අල්කුර්ආන් 03- 195 වාක්‍ය මඟින් කාන්තා ශ්‍රමය ද ඉස්ලාම් අනුමත කරන බව පැහැදිලි වේ.

මේ ආකාරයට සේවකයෙකු සම්බන්ධයෙන් ඉස්ලාම් දහම සැලකිලීමත් වී අවවාද අනුශාසනා කරද්දී. වත්මන් අපේ සමාජයේ ක්‍රියාකලාපයන් දෙස මොහොතක් බුද්ධිමත්ව විමසුම් ඇසින් බලන්න ඉහතින් ඉස්ලාම් පවසන කොන්දේසි අතුරින් කීයෙන් කීයක් අප අනුගමනය කරනවාද?. අඩුම තරමින් අපගේ සේවකයින් හට ගෞරවාන්විතව සලකන්නේ කීයෙන් කීදෙනාද?. බලන්න මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය,

වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා රළු වූ දෑත් පෙන්වූ කම්කරුවෙකුගේ දෑත මුහම්මද් (සල්) තුමාණන් සිපගත්තේය" 

මූලාශ්‍ර ග්‍රන්ථය- අබූදාවූද්

කම්කරුවන්ට ගෞරවාන්විතව, සාධාරණව හා මානුෂීය ලෙස සැලකිය යුතුය යන්න ඉස්ලාමය මිනිස් සමාජයට පවරන ආගමික වගකීමයි. එය කිසිවකු පැහැර හරින්නේ නම් එය පාපයක් වේ.

ගිවිසුමකට එළඹීම

ඉස්ලාම් දහම මිනිස් සමාජය තුල සිදුවන බහු පාර්ශ්වික කටයුතුවල දී එකඟතා ගිවිසුමක් අවදාරණය කරයි. ඒ මඟින් කිසියම් පාර්ශවයකට සිදුවන අසාධාර්ණයන් වළක්වා ගත හැකි වීම එයට හේතුවයි. මෙය ඉස්ලාම් දහම අල්කුර්ආනයේ පහත ආකාරයට අවදාරනය කරයි.

... තවද ඔවුහු පොරොන්දු වූ විට තම පොරොන්දුව ඉටු කරන දුෂ්කරතාවන්හිදීද දිළිඳූ බවේදීද (සත්‍ය හා අසත්‍යය අතර) සටනේදීද ඉවසිලිමත් වන්නෝ වෙති...

අල්කුර්ආනය 02-177

තවද ඔවූහු කවුරුහුදයත් තම අමානාත් (විශ්වාස භාරයන්) සහ තමන්ගේ පොරොන්දු අවංකව ඉටු කරන්නාවූද

අල්කුර්ආනය 23-08

තවත් කවුරුන් තමන් වෙත (විශ්වාස කර බාර දෙනු ලැබ) තිඛෙන විශ්වාසහරිත වස්තූන්ද, (තමන් කළ) පොරොන්දුද, ඒ අනුවම අනුගමනය කර (ඉතාමත් විශ්වාසවන්තව කටයුතු) කරන්නෝද, ඔවුන්ද-

අල්කුර්ආනය 70-32

විශ්වාසවන්තයිනි, ඔබගේ ගිවිසුම් ඉටු කරන්න

අල්කුර්ආනය 05-01

මෙම කාරණය සම්බන්ධයෙන් මූහම්මද් (සල්) තුමාණන්ද මෙසේ පවසන ලදී.

“හරාම් වූ දේ හලාල් කරන හෝ හලාල් වූ දේ හරාම් කරන ගිවිසුමක් නොමැති නම් මුස්ලිම්වරුන් ඔවුන්ගේ ගිවිසුම්වලට අනුකූල විය යුතුය.” 

මූලාශ්‍ර ග්‍රන්ථය - තිර්මිදි

මෙසේ ගිවිසුම් ගතවීම අවදාරනය කරන ඉස්ලාම් දහම එහි කිසියම් පාර්ශවයකට අසාධාර්ණයක් සිදුවේ නම් “කිසියම් පාර්ශ්වයකට හානියක් වන කිසිදු ගිවිසුමකට ඉස්ලාමය අවසර නොදේ” යනුවෙන් එම ගිවිසුම තවදුරටත් වලංගු නොවන බවද පවසයි. එසේම ගිවිසුම ක්‍රියාත්මක වන අතර තුර සේවකයා සහ සේවා යෝජකයා අතර කිසියම් බරපතල උල්ලංඝනයක් හෝ විෂමාචාරයක් තිබේ නම්, සේවකයා සේවයෙන් පහ කිරීමට සේවායෝජකයාට සියලු හිමිකම් ඇත. ගිවිසුමේ කොන්දේසි සහිත සේවකයාට ඉල්ලා අස්වීමට හෝ විකල්පයක් තිබේ නම් රැකියාව වෙනස් කිරීමට ඉඩ ලබාදිය යුතු බවද ඉස්ලාම් අවදාරණය කරයි.

ඔබ යම් දෙයකට දිවුරුම් දී ඊට වඩා හොඳ විකල්පයක් ඔබට හිමි වේ නම්, දිවුරුම කඩ කර එයට සමාව දී වඩා හොඳ දේ කරන්න” යනුවෙන් නබිතුමා පවසයි. 

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

සාධාර්ණ හේතූන් මත ගිවිසුමක් අවලංගු කළ හැකිය. අවලංගු කිරීම ද්විපාර්ශ්වික හෝ ඒකපාර්ශ්වික විය හැකිය. ගිවිසුමේ ඉස්ලාමීය නීති රීති මෙන්ම අල්කුර්ආන් සහ අල්හදීස් හි ඉගෙන්වීමන්ට පරස්පර නොවන ලෙස ඉටු කලයුතුය.

රැකියාවේ නියලීමට කාන්තාට තහනමක් නැත.

අල්ලාහ් (දෙවි) හමුවේ උතුම් තත්වය හිමි වන්නේ දේව අවනතභාවයේ තරම අනුව මිස කාන්තා හෝ පිරිමි භේදය අනුව නම් නොවේ. මෙය අල්කුර්ආනය මේ පවසයි,

ජනයිනි, අපි නුඹලා පිරිමියකුගෙන්ද ගැහැනියකගෙන්ද මැව්වේමු. නුඹලා එකිනෙකා හඳුනා ගැනීම පිණිස අප නුඹලා ජාතින් හා ගෝත්‍රයන් කළෙමු. නියතවශයෙන් අල්ලාහ් හමුවේ, නුඹලා අතුරින් ඉතා ගෞරවනීය වන්නේ නුඹලා අතුරින් ඉතාමත්ම බියබැතිමත්වූ අයයි. නියතවශයෙන්ම අල්ලාහ් සර්වඥය, සර්ව ප්‍රාඥය. 

අල්කුර්ආනය 49-13

මේ අනුව ඉස්ලාමය තුල (දහමේ නීතිරීතිවලට යටත්ව) කාන්තාව රැකියා වේ නිරත වීම වරදක් නොවේ. මෙය පහත අල්කුර්ආන් වාක්‍යයන් මඟින්ද තහවුරු වේ.

නුඹලාගෙන් ඇතැමකුට සෙස්සන්ට වැඞ්යෙන් අල්ලාහ් විසින් ප්‍රදානය කොට ඇති දැයට නුඹලා ගිජු නොවනු. තමන් උපයාගත් දැයින් නිසි කොටස පුරුෂයින්ට ලැඛෙනු ඇත. එමෙන්ම තමන් උපයාගත් දෙයින් නිසි කොටස ස්තී්‍රන්ටද ලැඛෙනු ඇත...

අල්කුර්ආනය 04-32

නුඹලා ස්ත්‍රී හෝ පුරුෂ හෝ වේවා නුඹලා එකිනෙකාගෙන් හෙයින්, නුඹලා අතුරින් කවර ශ්‍රමිකයකුගේ වුවද ශ්‍රමය අපතේ යාමට මම ඉඩ නොදෙමි...

අල්කුර්ආනය 3-195

කම්කරුවන් බඳවා ගැනීමේ නීති-රීති

ඉස්ලාම් දහම කිසියම් සේවාවක් සදහා කම්කරුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ද විවිධ වූ නීති රීති පිලිබදව කථා කරයි. එවැනි කිහිපයකට මෙහිදී අවදානය යොමු කරන්නේ නම්,

ශක්ති සම්පන්න අය තෝරාගන්න

ඔබ ඔහු සේවකයකු ලෙස යොදා ගන්න. ඔබ සේවක‍යකු ලෙසින් යොදා ගන්නන්ගෙන් වඩා‍ත් ශක්තිමත් සහ විශ්වාසදායකයා (ඔහු) යැයි...

අල්කුර්ආනය - 28-26

දැනුමක් නැති අය තෝරා නොගන්න

ඔබ දැනුමක් නැති කෙනෙකුට රැකියාවක් ලබා දෙන්නේ නම්, විනාශය බලා පොරොත්තු වන්න

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

ඥාති සංග්‍රහය එපා

මුස්ලිම් ප්‍රජාවක කටයුතු කළමනාකරණය කිරීමට පත් කර පසුව ඔහු ඥාති සංග්‍රහයේ පදනමක් ඇති අයෙකු පත් කරන්නේ නම්, ඔහු අල්ලාහ් විසින් හෙළා දකිනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය - හාකිම්

හොදම කෙනා තෝරන්න

වඩා හොඳ කෙනෙකු සිටින විට අඩු හැකියාවක් ඇති පුද්ගලයෙකු පත් කරන්නේ නම්; ඔහුගේ ක්‍රියාව දෙවියන් වහන්සේ, නබි සහ ජනතාව පාවා දීමකට සමාන වනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය - අහමද්

ඉහත කරුණු පෙලගැසීම හොදින් හා බුද්ධිමත්ව අධ්‍යනය කරන්නේ ඉස්ලාම් දහම සේවා යෝජකයා මෙන්ම සේවකයා නොහොත් කම්කරුවා සම්බන්ධයෙන් කොතරම් සැලකිලීමත්ව අවවාද අනුශාසනා කරනවාද යන්න ඔබට පැහැදිලි විය යුතුය. හුදෙක් දේශපාලන කම්කරු දින සැමරුමට එහා ගොස් ප්‍රායෝගික ඉගැන්වීමක් මෙලෙස සමාජයට දේශනා කිරීමට හැකි වී ඇත්තේ ඉස්ලාම් දහම දිව්‍යමය දහමක් වූ නිසාම නොවේද? යන්න ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම සටහන අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/05/1

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම