මෝඩයන්ගේ දින සමරන බුද්ධිමතුන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ටිරීං… ටිරීං… ටිරීං… (දුරකථනයන් නාදවේ)
හලෝ…
හලෝ, අද අනතුරකින් ඔබේ යළුවා මැරිලා
(කම්පනයට පත්ව) හලෝ… හලෝ… කව්ද යාළුවා හැප්පිලා තියෙන්නේ කොහේද?
මොකෝ උඹ රැවටුනානේ, මෝඩයා අද අපේ‍්‍රල් 01 බං
ආ… ඇත්තමයි.

මේ ලෝක මෝඩයන්ගේ දින සමරණ සමහරක් බුද්ධිමතුන්ගේ ක‍්‍රියා කලාපයයි. අන් අය මෝඩයන් බවට පත්කරනවා යයි සිතාගෙන ඒ සදහා විවිධ ආකාරයේ බොරු යොදාගැනීම ඒ බුද්ධිමතුන්ගේ උපක්‍රමයයි. එම බොරු පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔහුගේ මානසික තත්වය අනුව වෙනස් වේ. විටෙක එම බොරුව සමාජය එසෙත් නැත්නම් පවුලක් අසරණ කරන තරමට ප‍්‍රබල වේ. තවත් විටෙක එම බොරුව නිසා ඇතිවන කම්පනයන් ජීවිත හානිවලින් පවා අවසන් වූ අවස්ථාවන් වාර්ථා වේ. තවත් සමහරුන්ගේ බොරුව සරල හාස්‍ය උපදවන එකක් වේ. මේ ආකාරයට බොරුව මුල්කරගෙන මෙම මෝඩයන්ගේ දිනය සමාජය සමරනු අපිට අපේ‍්‍රල් මාස 01 වන දින සුලභ දසුනකි. මෙහි දී එක් කාරණයක් පැහැදිලිවම අවබෝධ කරගත යුතුය. එනම් මෙම සැමරුම හා බද්ධව පවතින ප‍්‍රධාන කරණය “බොරුව හෙවත් මුසාව” යන්නයි. ඒ අනුව මේ දිනය සමරණ පිරිස් අතර විශේෂයෙන් තරුණ හා වැඩිහිටි පිරිස මෙවැනි මෝඩයන්ගේ දින සැමරීම තුලින් “බොරැව” අනුමත හා වලංගු වූ කාරණයක් ලෙසත් වැරදි ආදර්ශයක් නොව සාමාන්‍ය කාරණයක් ලෙස සමාජගත කරයි. මේ හේතුව නිසා මේ මෝඩයන්ගේ දිනය තුලින් අප සමාජයේ, සමාජීයව මෙන්ම අධ්‍යාත්මිකව ද සිදුවන්නේ මහත් වූ පරිහානියකි.

ලොව කිසිදු දහමක් හෝ දර්ශනයක් බොරුව හෙවත් මුසාව සදහා අවසර ලබදී නැත. විශේෂයෙන් බුදුන්ගේ දේශය යයි පවසා ගන්නා ශ්‍රී ලාංකාව තුල අති බහුතරය පිලිපදින බුදුදහමේ පන්සිල් පදය අතර මුසාවෙන් වැලකී සිටීමට ද ප්‍රමුඛ තැනක් හිමිව ඇත. ඒ අනුව මෙම පාපකාරී ක‍්‍රියාවින් වැලකීම අත්‍යඅවශ්‍ය බව බුදුදහමට අනුව ද පැහැදිලිය. මේ ආකාරයටම සෑම ආගමකම හා දර්ශනයකම මෙය මිනිසුන් විසින් වැලකී සිටියයුතු එසේම සමාජය විසින් ප‍්‍රතික්‍ෂේප කලයුතු කරුණක් බව අවධාරණය කරයි. නමුත් මේ ආගමික ඉගෙන්වීමන් සියල්ලට තාවකාලික විරාමයක් ලබාදී ලොව සියළුදෙනා සාමුහිකව අත්වැල් බැදගෙන ආගම් බේදයකින් තොරව ලොව එක් දිනයක් සමරයි. ඒ අපේ‍්‍රල් මාස 01 දිනයයි. මුසාව හෙවත් බොරුව වෙනුවෙන්ම වෙන්කරගත් මේ දිනයේ සමහරක් පිරිස් බොරුව හා මුලාව උපයෝගි කරගෙන තවත් සමහරක් මෝඩයන් බවට පත්කිරීම මේ දිනය සැමරීමේ ස්වභාවයයි. සෑම වර්ෂයකම ලොව බොහෝ දෙනෙකු අපේ‍්‍රල් මාසය අරබන්නේ මේ ආකාරයටයි. මෝඩයන්ට කියා දිනයක් වෙන් කරගෙන එම දිනය සැමරීම තුලින් හා තවත් කෙනෙකු රැවටීම තුලින් තෘප්තියක් ලබාගනිමින් පමණක් නොව මුසාව මහා පාපයක් (වරදක්) බව දැන දැන ඒ අකුසල් ක්‍රියාවේ නිරතවීම තරම් මෝඩකමක් තවත් ලොව තිබෙන්නට පුළුවන්ද? මේ බුද්ධිමත් මෝඩයන් කොතරම් මෝඩයන්ද යන්න එය මානව පිළිඹිබු කරන්නකි.

කිසිවකුගේ මෝඩකම හෝ විකෘති මානසික වින්දනයක් නිසා නිර්මාණය කල මේ “මෝඩයන්ගේ දිනය” නම් වැරදි ආදර්ශය, දියුණුවේ ඉනිපෙත්තෙහි සිටින වර්ථමාන මිනිසා සැමරීම හෝ පිලිපැදීම තුලින් ඔහු දිනාගත් කිසිවක් තිබේද? ඔවුන් විසින් ජාතියට ලොකයට අහිමිකල දෑ නම් අපමණය. විශේෂයෙන් මෙවැනි ක‍්‍රියාදාමයන් නිසා ඇතිවන සමාජ පරිහානිය අමුතුවෙන් මා පැහැදිලි කිරීම අවශ්‍ය නොවේ. මෙවැනි මෝඩයන්ගේ දින සමරන පිරිසට එක් කාරණයක් පැහැදිලිව පැවසිය යුතුය. එනම්,

“අන්අය දුකට පත්කොට ඒ දුකේ සතුටු විදින තිරසන් ක‍්‍රියාව මානසික විකෘතිභාවයකින් පෙළෙන රෝගියෙකුගේ අංග ලක්‍ෂණයක් මිස බුද්ධිමත් ක‍්‍රියාවක් නම් නොවන බවයි.”

මේ හේතුන් නිසා තමා බොරුව හා මුලාව ඉස්ලාම් දහම දැඩිව හෙලා දකින්නේ. ඉස්ලාම් මෙවන් වූ පාපාක‍්‍රියාවන් දැඩිව පිලිකුල් කරයි. එය අන් අය සතුටු කරවීමට හෝ සිනාගැන්වීමට වුවත් එය වරදක් යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එය මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී,

“අන් අය හිනස්සවීමට බොරු පවසන්නාට අපකීර්තියමය, ඔහු විනාශ වෙත්වා!”

(මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි)

මනුෂ්‍යයෙකු සිනාසෙන විට ඔහු සතුටට පත්වේ. මේ සතුට පවා බොරුවක් මුල් කරගෙන ඇති නොවිය යුතු යන්න ඉස්ලාම් පවසයි නම්, මේ බොරුව මුල් කරගෙන සිදුකරන අනිකුත් ක‍්‍රියාවන් පිලිබදව කුමක් පවසන්නද?. බොරුව මුල් කරගෙන සිදුවන සියළුම ආකාරයේ මුලාකිරීමන් හා නොමඟ යැවීමන් ඉස්ලාම් ෂෛතාන් (නැමැති නපුරා)ගෙන් ඇතිවන්නක් බවත්, මේ නිසා මුස්ලීම්වරුන් මෙම කාරණය සම්බන්ධයෙන් ඉතා සැලකිලිමත් වියයුතු බවත් අල්ලාහ් (දෙවියන්)ශුද්ධ වූ අල්කුර්ආනයේ 9-119 වාක්‍යයෙන් ද මෙසේ අවවාද කරයි.

“විශ්වාසවන්තයනි, නුඹලා දෙවියන්ට බියවන්න තවද සත්‍ය කථා කරන පිරිසක් බවට පත්වන්න.”

විනෝදයට කියන බොහෝ බොරුවක් පවා ඉතා අවාදානම් එසේත් නැත්නම් අවාසනාවන්ත ඉරණමයන් උදාකරන බව අප අත්දැකීමෙන්ම හොදින් දන්නා කරුණකි. එසේ තිබිය දී අපේ‍්‍රල් මාස මුල් දිනය මෙම අවාසනාවන්ත ක්‍රියාව ජාත්‍යන්තර දිනයක් ලෙස ගෙන සැමරීම මිනිසාගේ තිබෙන අනවබෝධය පමණක් නොව ඔහුගේ මෝඩකමත් මනාව ප්‍රදර්ශනය කිරීමකි. එසේ නොවේ නම් “මෝඩයන් සදහා දිනයක්” නම් කොට එය සමරණු ඇත්ද? විශේෂයෙන් අන්අය මෝඩයන් බවට පත්කරන බව පවසමින් පව්කාර ක‍්‍රියාවේ නිරත වී ඒ තුලින් අවාසනාවන්ත ඉරණමක් අපට අපම උදාකර ගැනීම තරම් මෝඩකමක් තවත් තිබෙන්නට පුළුවන්ද?

දිව්‍යමය දහමකට උරුමකම් කියන මුස්ලීම්වරුන් මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වියයුතුය. බොරුව හා මුලාව දැඩිව පිටුදකින මුස්ලිම්වරු න් වන අප විසින් මෙම දිනය සැමරීම කොතරම් අවාසනාවන්ත තත්වයක්ද? මනුෂ්‍යයා සතුටුමත් දිවියක් ගතකිරීමට බොරුව හෝ මුලාව අවශ්‍ය නොවේ. මෙම “බොරුව හා මුලාව” යන්න සැමරීමට ඉස්ලාම් තිරිසන් වූ හෝ ආදර්ශ භංග වූ දහමක් නොවේ. ඉස්ලාම් මනුෂ්‍යත්වය අගයන එය ගරුකරන දිව්‍යමය දහමක් ඒ තුල මෙවන් පහත් ක්‍රියාවන් සදහා ඉඩ නොමැති බව පැහැදිලිවම අවබෝධ කරගතයුතුය.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/1

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම