නව වසර උදාව සැමරීම

From Yahamaga

{{#seo:|නව වසර උදාව සැමරීම}

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


බටහිර දින දසුන හෝ ක්‍රිස්තියානි දින දසුන ලෙසින්ද හැඳින්වෙන “ග්‍රෙගරි දින“ දසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ශ්‍රී ලංකාව ඇතුළුව ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි. 1582 වර්ෂයෙහිදී 8 වන ග්‍රෙගරි පාප් වහන්සේ විසින් එය නිර්මාණය කළ බැවින් එකී නාමයෙන් එය ප්‍රසිද්ධ වී ඇත. මෙම දින දර්ශනයට අනුව ලොවපුර සිටින බහුතර වැසියන් සෑම වසරකම ජනවාරි 01 දින නව වසර උදාව උත්සවශ්‍රීයෙන් සමරයි. නමුත් ලොවපුරා සිටින අති බහුතර මුස්ලීම්වරුන් මෙම නව වසර උදාව සැමරුම් දිනක් ලෙස නොගැනීමත්, “සුබපැතුම්“ හුවමාරු කර නොගැනීමත් මුස්ලීම් නොවන බහුතර පිරිසකට තිබෙන කුතුහලයකි. විශේෂයෙන් ලොවපුරා වැසියන් ජාති ආගම් භේදයන්ගෙන් තොරව නත්තල සහ ජනවාරි 01 දින සැමරුම් දිනයක් ලෙස ගෙන සමරද්දී මුස්ලීම්වරුන් පමණක් එසේ නොකරන්නේ ඇයිද? යන්න ඔවුන්ගේ කුතුහලයයි. මේ හේතුව නිසාම නව වසර සැමරුම මුස්ලීම්වරුන් දකින්නේ කෙසේද? යන්නත් නව වසර උදාව හමුවේ මුස්ලීම්වරයෙකුගේ ප්‍රතිපදාව කුමක්ද? යන්නත් මෙම ලිපිය තුලින් විමසා බැලීමට අදහස් කරන අතර ඊට ප්‍රථම මෙම විෂය පිලිබදව යහමග අඩවිය තුල මීට ඉහත සාකච්චා කල ලිපි කිහිපයක් මෙහි පහතින් ඔබේ අවදානයට තබමින් සාකච්චාවට යොමු වෙමි.

මුස්ලීම් සමාජයේ බහුතරයක් නව වසර උදාව සැමරීමෙන් වැළකී සිටිම සම්බන්ධයෙන් කුතුහලය ඇත්තේ මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයේ සැලකිය යුතු තරමේ තරුණ පිරිස් තුලත් මෙම කුතුහලය පවතී. මෙම දිනය නොසැමරීම ඔවුන් දකින්නේ මේ නවීන යුගයේ තොරතුරු තාක්‍ෂණයේ ඉනිපෙත්තෙහි සිටින විශ්ව ගම්මානයක් වූ ලෝකය තුල මෙම “නව වසර උදාව“ ජාත්‍යන්තර සැමරුම් දිනය අපි ඇත්තටම නොසැමරීම පසුගාමී අදහසක් ලෙසයි. විශේෂයෙන් බහුතර තරුණ පරම්පරාව ජීවිතය විනෝදකාමීව දකින්නට දැඩි උනන්දුවක් දක්වන නිසාත් මෙවැනි සැමරුම් තුල ඔවුන් අපේක්ෂීත විනෝදය ලැබෙන නිසාත්, ඔවුන් තමන් කවුද?, තමන්ගේ වගකීම් හා යුතුකම් කුමක්ද?, තමන් අදහන දහම තුල මෙවැනි උත්සව සැමරුම් දකින්නේ කෙසේද?, මුස්ලීම් අපේ ප්‍රතිපදාව කුමක්ද?... යනාදීය පිලිබදව කිසිදු සොයා බැලීමක් නොකොට කටයුතු කිරීමත් අදහස් දැක්වීමත් දක්නට ලැබේ. මේ හේතුව නිසාත් මෙම විෂය පිලිබදව මෙම ලිපිය තුලින් කරුණූ විමසා බැලීමට අදහස් කරමි.

අද වනවිට ලොව සෑම ජන සමාජයකටම හා ආගමකටම ඔවුනට අවේනික සංස්කෘතීන් සහ එම සංස්කෘතීන් තුල නිර්මාණය වූ උත්සව දින දක්නට ඇත. මෙය මුස්ලිම්වරුන් හා ඉස්ලාම් දහම සම්බන්ධයෙන් ද එය එසේමය. ඒ අනුව මුස්ලිම්වරුන් වන අපගේම ඉස්ලාමීය දින දර්ශනයක් සහ එහි ඉදිරිපත් වන සහ අනුගමනය කරන අපගේම සංස්කෘතියක් සහ උත්සව දිනයන් ඇත. අල්ලාහ් (දෙවි) සහ ඔහුගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟපෙන්වීම අනුව උත්සව සැමරුම් දින 03 ක් ඉස්ලාමීය සංස්කෘතිය තුල අපට පෙන්වා දේ. එනම්,

  •  ඊදුල් ෆිත්ර් (රමසාන් අවුරුද්ද),
  • ඊදුල් අල්හා (හජ් අවුරුද්ද),
  • සිකුරාදා දිනය (සෑම සතියකම සිකුරාදා දිනය)

ඉහත දිනයන් මුස්ලිම්වරුන් සඳහා සැමරුම් දිනයන් ලෙස ගතයුතු යන්න ඉස්ලාම් දහමේ සංස්කෘතිය තුල අල්ලාහ් (දෙවි)ගේ සහ ඔහුගේ දූතයාණන්ගේ මඟපෙන්වීම වේ. ඉස්ලාමය චන්ද්‍ර දින දර්ශනය අනුගමනය කරමින් තම දින දර්ශනය ඉදිරිපත් කර ඇති අතර ග්‍රෙගෝරියානු දින දර්ශනය සූර්‍ය දින දර්ශනය පදනම් කරගෙන ඉදිරිපත් වී ඇති බව කවුරුත් දනිමු. එසේම, ඉස්ලාමීය දින දර්ශනය ආරම්භ වන්නේ මුහම්මද් නබි (සල්) තුමාණන් මක්කාවේ සිට මදීනා වෙත සංක්‍රමණය වූ අවස්ථාව (හිජ්රතය) පදනම් කරගෙනය. එමනිසා ඉස්ලාමීය දින දර්ශනය 'හිජ්රි' දින දර්ශනය ලෙස හැදින්වෙන අතර එහි පලමු මාසය “මුහර්රම්“ නම් වේ. නමුත් මෙම දින දර්ශනය ආරම්භ වන්නේ අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ ද ආභාවයෙන් පසු ඉස්ලාමීය රාජ්‍යෙය් දෙවන පාලක උමර් (රලි) තුමාගේ පාලන සමයේය. (මේ පිලිබදව වැඩි විස්තර නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය යන ලිපිය තුලින් මෙම යහමග අඩවිය තුල කියවීමට පුළුවන.)

ඉහත කරුණූ හොදින් මතකයේ රඳවාගෙන මුස්ලීම්වරුන් ග්‍රෙගෝරියානු අලුත් අවුරුද්ද සැමරීම සම්බන්ධ ඉස්ලාම් දහමේ ස්ථාවරය විමසා බලන විට, එහි දී අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් කල අවවාදයක් අපට හමුවේ එය මෙසේය,

"යමෙක් තවත් සමාජයක සංස්කෘතීන් අනුකරණය කරන්නේද ඔහු ද ඔවුන්ගෙන් කෙනෙකු වේ."

මූලාශ්‍ර හදීස් ග්‍රන්ථය - අබූ දාවූද්

ඉහත අල්හදීසය අනුව ග්‍රෙගෝරියානු නව වසර සැමරීම සහ සුබ පැතීම යන්න කිතුණු ආගමික හා සමාජීය සංස්කෘතියකි. එම සංස්කෘතිය අනුකරණය කිරීමට මුස්ලිම්වරුන් වන අපට අවසර නොමැති බව ඉහත හදීසය තුලින් පැහැදිලිය. මන්ද එය වෙනත් ආගමික විශ්වාසයන් මත පදනම් වූ එසේම එය ඉස්ලාමීය ඉගැන්වීම්වල කොටසක් නොවූ සම්ප්‍රදායක් වන බැවිණි. එපමණක් නොව ඉස්ලාමීය දින දර්ශනයට අනුව නව වසර උදාව වන “මුහර්රම්“ පලමු දිනයත් සැමරුම් දිනයක් ලෙස නොගන්නා ඉස්ලාම් දහම කිසිදු සාධාර්ණ පදනමක් නොමැති ග්‍රෙගෝරියානු අලුත් අවුරුදු සැමරුම සැමරුම් දිනයක් ලෙස ඉස්ලාම් දහම කිසිදු ආකාරයකින් පිලි නොගැනීම විශ්මයට හෝ පිලිකුලට කාරණයක් නොවන බව ඉස්ලාම් දහම හා සංස්කෘතිය නොහඳුනන මුස්ලීම් සහ මුස්ලීම් නොවන සමාජය බුද්ධිමත්ව තේරුම් ගතයුතුය. අල්ලාහ් (දෙවි) සහ ඔහුගේ මඟපෙන්වීම අවංකව විශ්වාස කරන මුස්ලීම්වරුන් වන අපට ආවේනික පොහොසත් සංස්කෘතියක් තිබියදී ජාත්‍යන්තර වශයෙන් පිලිගත් සහ ලොව බහුතරය පිලිගත් බටහිර සංස්කෘතියේ දිනයක් වූ නව වසර උදාව සැමරීම මුස්ලීම්වරයෙකුට කැප නොවේ. දිව්‍ය මඟපෙන්වීම මත ගොඩනැඟුණු ඉස්ලාම් සංස්කෘතියක් තිබියදී වෙනත් සංස්කෘතියක දිනයක් සැමරීම යනු ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ සංස්කෘතිය පිළිගැනීම වන අතර එය වරදක් ලෙස නූතන සමාජයට නොපෙනුනත් කාලයාගේ ඇවෑමෙන් එය අපගේම සංස්කෘතිය යටපත් කිරීමටත් එය දෙවැනි කොට තැකීමටත් හේතු වනු ඇත.

වාදයකට, නව වසර උදාව සැමරුම් දිනයක් ලෙස ගතයුතු යැයි මුස්ලීම්වරයෙකු තීන්දු කලත්, එම දිනය අප යහපත් යමක් කිරීමට සහ පසුගිය වසරේ කල ක්‍රියාවන් පසුවිපරම් කරමින් එහි අඩුපාඩුකම් සහ වැරදි මෙනෙහි කරමින් එම වරද නිවැරදි කර ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරන දවසක් කරගතයුතුව ඇත. එසේම වසර අවසානය අපගේ අතීත පව් ගැන මෙනෙහි කිරීමටත් පසුතැවිලි වීමටත් අවස්ථාවක් කරගත යුතුව ඇත. එසේම තමා දෙස බලා විමසා බැලිය යුතු පැනයන් රාශියක් ද ඇත. එනම්,

  • ගෙවීගිය වර්ෂය තුල මා කුමක් කර ඇත්ද?,
  • මා මේ කොහෙද යන්නේද?,
  • මම මේ අවුරුද්දේ කරන්න යන අලුත් දේවල් මොනවද?,
  • අලුත් අවුරුද්ද පෙර වසර මෙන් නොවීමට වග බලා ගන්නේ කෙසේද?,

ගෙවීගිය වසර මා දැහැමි දිවියක් ගත නොකලේ නම්, එනම් අල්කුර්ආනය සමඟ නොබැඳුනු, සලාතය නිසි ලෙස ඉටු නොකල... යනාදී අඩුපාඩුකම් නව වසරේ ස්ථාපිත කර ගැනීමට අල්ලාහ් (දෙවි)ට පොරොන්දු විය යුතු මිස වත්මන් සමාජය නව වසර සමරණ ආකාරයට අනවශ්‍ය විනෝදකාමී සහ මතෙහි ගිලී සමරණ සැමරීම සැබෑ සැමරුමක් නොවේ. ඒ අනුව වාදයකට නව වසර සැමරුම ගත්තත් වත්මන් සැමරුම ඉස්ලාම් දහමට අනුකූල හෝ බුද්ධියට අනුකූල සාධාර්ණ සැමරුමක් නොවේ.

අවසාන වශයෙන් සටහන් කලයුතුව ඇත්තේ දේව නැමදුම හෝ දෛනික වැඩ කටයුතු වේවා, ඔබ සහ ඔබේ ප්‍රජාව වෙනුවෙන් ඔබ කරන යහපත් ක්‍රියාවන් වේවා, ඒ සෑම දෙයක්ම ඔබේ අරමුණු අලුත් කර ගනිමින් ඔබේ දවස සැමවිටම ආරම්භ කරන්න. ඒ සියල්ල අල්ලාහ් (දෙවි) වෙනුවෙන් පමණක් ඉටු කරන්න. “මගේ කාර්‍යය ඔහුට පමණක් කැප කරන බවත්, මා අතින් යම් වරදක් සිදුවී ඇත්නම් අල්ලාහ් (දෙවි)ගෙන් පමණක් සමාව අයදින බවත් අධිශ්ඨාන කරගන්න. සියල්ල දකින හා අසන තැනැත්තා ඔහු පමණි. එම කාරණය නැවත නැවතත් ඔබේ විමසුමට තබමින් මෙම ලිපියට විරාමය තබන්නේ අල්කුර්ආන් පාඨයක් සහ ඉස්ලාමීය රාජ්‍ය පාලනයේ දෙවන පාලක උමර් (රලි) තුමාගේ වදනක් ඔබේ විමසුමට තබමිනි.


"ඔබව (දෙවියන්) විනිශ්චය කිරීමට පෙර ඔබම ඔබ විනිශ්චය කරන්න, ඔබව ඇගයීමට පෙර ඔබම ඔබ ඇගයීමට ලක් කරන්න. ශ්‍රේෂ්ඨතම විමර්ශනය (විනිශ්චය දිනය) සඳහා සූදානම් වන්න"

මූලාශ්‍ර ග්‍රන්ථය - හසන් අල්-බස්රි



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/01/9

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම