එන්න අපි මත් නොවී අමත්‍යප දිනය සමරමු.

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


වසර පුරාවට “සුරාමේරය” පන්සිල් පද බිඳිමින් සූර් වී සිටින සමාජයට එසේ සූර් නොවී සිටීමට ලෝක විද්වතුන් එක්ව ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශ කොට ඇත. ඒ අදට යෙදී තිබෙන ලෝක අමද්‍යප දිනයයි. වසරේ තුන්සීය හැටපස් දවසම මතින් නොසිට එක් දිනක් හෝ පියවී සිහියෙන් සිටීමට අවස්ථාව උදා කර දෙමින් මෙම දිනය මෙලෙස නම් කලාදෝ යැයි මට සිතේ. මා එසේ පැවසීමට හේතුව “ලෝක දුම්වැටි දිනය” බැලුවත්, “ලෝක සරණාගත දිනය” බැලුවත්, “ලෝක ළමා දිනය” බැලුවත්, “ලෝක වැඩිහිටි දිනය” බැලුවත්... මේ සියල්ල තුල ඇත්තේ කිසිදු තර්කයක් (logic එකක්) නැති සම්ප්‍රදායක හෝ සංකේතාත්මක සැමරුම් පමණි.

මේක බෞද්ධ රටක්, බුදුන් වැඩිය රටක්, බුදුන්ගේ දේශයක්... යනාදී ලෙස විවිධ පෝස්ටර් අලවන අති බහුතරය වූ පාර්ශවයටම මේ පොළොව මත පන්සිල් පදය තවම ආරක්ෂා කරගැනීමට නොහැකි වී ඇත. මේ සුරාව මූලික වූ නීති විරෝධී සහ විනය විරෝධී ක්‍රියාකාරකම්වලින් මේ රට පිරී ගොස් ඇත. මේ සුරාව නිසා දෛනිකව සිදුවන සමාජ විරෝධී කටයුතුවල තරම ජාතික පුවත්පතක් ගෙන කියෙව්වේ නම් වටහාගත හැකි වනු ඇත. මේ සියල්ල තුලින් පැහැදිලි වන්නේ අප ආගමික වන තරමටම මතට ද ලොල් බව නොවේද?. මෙය තහවුරු කරන නිදසුනක් මා ඔබට මෙහි ගෙන එන්නම්,

මත්පැන් භාවිතය සම්බන්ධයෙන් වූ 2020 ලෝක ශ්‍රේණිගත කිරීමකට අනුව ආගමික රටවල් අතර අට (08) වෙනි තැනට ශ්‍රී ලංකාව සිටී. මෙහි ඒක පුද්ගල මත්පැන් හා මත්ද්‍රව්‍ය පරිභෝජනයෙන් ද ලෝකයා ඉදිරියේ ඉහලින්ම අප සිටිමු. මේ පිලිබදව ‘සිළුමිණ’ වෙබ් අඩවිය 2022/04/02 දින පලකල සංඛ්‍ය ලේඛන කිහිපයක් මෙහි පහතින් පෙලගසන්නේ නම්,

  • 2016 වර්ෂයේ පළ වූ ගෝලීය තත්ත්ව වාර්තාව අනුව ශ්‍රී ලාංකිකයන් මද්‍යසාර භාවිතය නිසා වර්ෂයකට මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් මිය යන බවට ඇල්කොහොල් භාවිතය පිළිබඳ 2018 වසරේ නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව (Global Status Report on Alcohol and Health – 2018) පෙන්වා දෙයි.
  • මීට අමතරව මිලියන එකසිය තිස්දෙකයි දශම හතක් (132.7) මද්‍යසාර භාවිතය හේතුවෙන් සදාකාලිකව හෝ දීර්ඝ කාලයක් විකලාංගභාවයට පත්ව ඇති බව එම වාර්තාව අනාවරණය කරයි.
  • ලෝක පරිමාණ මද්‍යසාර භාවිතය සම්බන්ධයෙන් පළ කර ඇති වාර්තාව අනුව ලංකාවේ මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට 23,000කට ආසන්න සංඛ්‍යාවක් මිය යන බවට මද්‍යසාර පිළිබඳ 2004 ගෝලීය තත්ත්ව වාර්තා ද පෙන්වාදෙයි.
  • ලංකාවේ ඒකපුද්ගල මත්පැන් පරිභෝජනය දෛනිකව ලීටර තුනයි දශම තුනක් (3.3) වන අතර යුරෝපයේදී එය ලීටර බිංදුවයි දශම පහකි (0.5). කෙසේවෙතත් ජනගහනය අනුව යුරෝපයේ සියයට අනූපහක් (95%) මත්පැන් පරිභෝජනය කළ ද, ලංකාවේදී එය සියයට විස්සක්(20%) බව සමීක්ෂණ දත්ත පෙන්වාදෙයි.
  • එසේම ලංකාවේ පිරිමින්ගෙන් සියයට තිස්හතයි දශම එකක් (37.1%) ද, ස්ත්‍රීන්ගෙන් සියයට දෙකයි දශම හතරක් (2.4%) ද මත්පැන් භාවිත කරයි. මින් පෙනී යන්නේ කාන්තාවන්ගේ මත්පැන් පරිභෝජනය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවය.

(මේ පිලිබදව වැඩිදුර කියවීමට “ශ්‍රී ලාංකීය අප දැහැමි සමාජයක්ද?” යන ලිපිය වෙත පිවිසෙන්න)

මෙවැනි සමාජ පසුබිමක “ලෝක අමද්‍යප දිනය” යැයි දිනයක් නම්කර එම දිනය සමරමින් සහ ඊට සමගාමීව සුරා සැල් වසා තබමින් රටේ පාලකයින් සහ බලධාරීන් ඒ තුලින් අපේක්ෂා කරන සෙත කුමක්ද? යන්න මට නම් නොතේරේ. එසේම මේ සම්බන්ධයෙන් රටේ නීතියත් ලිහිල් පිලිවෙතක් අනුගමනය කරද්දී, ආගම දහමේ පනවන නීති හා අවවාද, අනුශාසනාද එහි අනුගාමිකයින් නොසලකා හරිද්දී, මෙලෙස මත්පැන්වලට ඇබ්බැහි වීම තුල තම පවුල්ට ඇත්වන ආර්ථික අපහසුතාවය ද වැටහා නොගනිද්දී, එසේම මෙම මත්පැන් උවදුරට ගොදුරුවීම තුල තම පවුලටත්, සමාජයටත් අත්වන හිරිහැරය මායිම් නොකරද්දී, එසේම මත්පැන් භාවිතයේ ආදීනය ද මනාව දකිද්දී... මේ සියල්ල නොසලකා හැර මත්පැන් ලෝලියෙකු ලෙස පොදු ජනතාව කටයුතු කරන්නේ කෙසේද? යන්නත් මට නොතේරේ. සුරාව මේ පුන්‍ය භූමියෙන් තුරන් කිරීමේ අවංක උවමනාව කිසිවකුට ඇත්නම් කලයුතුව ඇත්තේ මතින් තොර හෙටක්, මතට තිතක්... වැනි බෝඩ් ලෑලි ඔසවා ගැනීම නොව මේ සමාජයෙන් මත තුරන් කරන ප්‍රතිපත්තිමය තීන්දු රටේ පාලකයින් ගැනීම, නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම සහ ආගම දහමට නැඹූරු සමාජයක් ගොඩනැඟීම පමණි.

වත්මන් සමාජයට සාපේක්ෂව ලෝක ඉතිහාසය තුල තදින් සුරාවට ඇබ්බැහි වී අරාජිකව පැවති සමාජයක් එයින් මුදවාගත් ආකාරය ඉස්ලාම් දහම අල්කුර්ආනය හා අල්හදීස් තුලින් විස්තර කරයි. (ඒ පිලිබදව වැඩි විස්තර මත්පැන් උවදුරට එරෙහිව ඉස්ලාමීය ආදර්ශය යන ලිපිය තුලින් ඔබට මෙම අඩවිය තුල කියවීමට පුළුවන.) එදා ඉස්ලාම් දහම කල එම පරිවර්ථනය මෑත කාලීන විද්වතුන් දෙදෙනෙකු විස්තර කලේ මේ ආකාරයටය.

“ඉස්ලාමයට පෙර පැවති අරාබි සමාජය සුරා සූදුවට බෙහෙවින්ම ඇබ්බැහි වී සිටියෝය. විවාහයට සීමාවක් නොතිබුණි. දික්කසාද එලෙසම විය. විටෙක පියාගෙන් පුතනුවාට උරුමයෙන් ලැබෙන වස්තු අතර භාර්යාවන්ද වූහ. පුතනුවා තමන්ට රිසි අන්දමට ඔවුන් පරිහරණය කළේ ය. විටෙක තම භාර්යාවන් ලෙස තබා ගත්තේය. තවත් විටෙක දාසියන් ලෙස විකුණා දැම්මේය. ඉස්ලාම් මගින් මේ සියලුම තත්ත්වයන් සම්පුර්ණයෙන්ම වෙනස් කරන ලදි.”

Jules La Boum

“මිනිස් ඝාතනය, බිලිපූජාව, දැරියන් වළලා දැමීම, සුරා පානය, සූදුව හා තවත් බොහෝ දේ අහිතකර ක්රියාවන් ශුද්ධ වූ කුර්ආන් නියෝග මගින් තහනම් කරනු ලැබිණ. එහි ප්‍රතිපලය වූයේ ඉතිහාසය තුළ මිනිස් සංහතියට යහපත් සේවාවන් කළ ඉහළම පුද්ගලයා ලෙස මුහම්මද් නබිතුමා සලකනු ලැබීමයි. මන්ද එම ක්‍රියාවන් මත විශාල සංස්කෘතියක් බිහිවිය.”

Prof – Edward Montay

මේ ආකාරයට අප සමාජයත් මතින් මුදවා ගැනීමේ අවංක උවමනාව සැබෑවට කවරෙකුට හෝ ඇත්නම්, ඒ සදහා ඉස්ලාම් දහම පෙන්වාදෙන ආදර්ශය පරම ආදර්ශය බවත්, එසේ නොමැතිව වසරකට දිනක් සුරා සැල් වසා සමරණ ලෝක අමද්‍යප දිනය විහිළුවක් පමණක් බවත් අවසාන වශයෙන් මෙහි සටහන් කරමින් මේ ලිපියට විරාමය තබන්නේ “මේ අමද්‍යප දිනයේ මතින් තොරව හිඳ ඉහත කරුණු විමසා බැලීමට මේ සමාජයට නුවණැස පෑදේවා!” යන ප්‍රාර්ථනයෙනි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/10/3

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම