මුහම්මද් (සල්) තුමාණන්ගේ පටන් මේ දක්වා

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාමීය ඉතිහාසය විවිධ පාර්ශවයන් විවිධ ආකාරයට ලියා ඇත. ඒ අතුරින් මුහම්මද් (සල්) තුමාණන්ගේ වක්තෘ මෙහෙවර (නබි තත්වය ලැබීම) ආරම්භය සිට එතුමාණන්ගේ අභාවය දක්වා වූ ඉතිහාසය 'හදීස්' ලෙස 100% ක් ආරක්ෂා වී ඇත. නමුත් එතුමාණන්ගේ අභාවයෙන් පසු මුස්ලීම් සමාජය තුල කුමක් සිදුවීද? යන ඉතිහාසය මුස්ලීම් සමාජයේම අති බහුතරයක් නොදනී.

මේ හේතුව නිසාම මෙම මණ්ඩපය තුලින් එම ඉතිහාසය එනම්, 'මුහම්මද් (සල්) තුමාණන්ගේ පටන් සහාභාවරුන් හෙවත් එතුමාණන්ගේ සමකාලීන ප්‍රජාව දක්වා වූ ඉතිහාසය සහ එහි සුවිශේෂි සිද්ධීන්' මෙම මණ්ඩපය තුලින් ඔබේ දැනුමට ගෙන ඒමට අදහස් කරමි.

ඉස්ලාමීය ඉතිහාසය - මුහම්මද් (සල්) තුමාණන්ගේ පටන් මේ දක්වා


මුහම්මද් (සල්) තුමාණන් උපත ලද සමාජය - ජාහිලියා සමාජය

මීට සියවස් 14 කට පෙර අරාබි දේශයේ මක්කා නම් නගරයේ ‘මුහම්මද්’ (සල්) නම් කෙනෙකු උපත ලැබීය. වංශවත් පවුලක උපත ලබන එම දරුවාට කුඩා කලම මාපිය සෙනෙහස අහිමි වේ. කුඩා අවදියේ පටන් සමාජයේ සෑම සියළුදෙනාගේ ආදරය, ගෞරවය හා විශ්වාසය දිනාගත් මෙම දරුවා හට එම සමාජයෙන් ‘අස්සිද්ධික්’, ‘අල්අමීන්’ (විශ්වාසවන්තයා, සත්‍යවන්තයා) යන ගෞරව නාමයන්ද හිමිවුනි.

මේ ආකාරයට සමාජයේ කාගෙත් සිත් දිනාගෙන හැදී වැඩුණු මුහම්මද් (සල්) තුමාණන් හට සමාජයේ ක්‍රියාකලාපයන් පිලිබදව නම් තිබුණේ දැඩි කලකිරීමකි. ඒ එවකට එම සමාජයේ පැවතී මිත්‍යා ඇදහිලි හා විශ්වාස හේතුවෙනි. මුහම්මද් (සල්) තුමාණන් හැඳී වැඩුණු එම සමාජයේ පැවතී විවිධ වූ චාරිත්‍ර, මිත්‍යා ඇදහිලි හා විශ්වාස කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

  • එම සමාජය කාන්තාවන් දුර්භාග්‍යයක් ලෙස සලකා කුඩාකලම ඝාතනය කරන සමාජයක් විය.
  • දුප්පත්කමට බියේ දරුවන් ඝාතනය කරන සමාජයක් විය.
  • විවාහය නමින් විවිධ ආකාරයේ අනාචාරයන් (බහු ලිංගික සම්බන්ධතාවයන්) පවත්වන සමාජයක් විය.
  • පිළිම වන්දනාව (බහු දේව විශ්වාසය, දිනකට එක් දෙවියෙකු බැගින් දෙවිවරු 365ක් වන්දනා) කරන සමාජයක් විය.
  • සියළු ක්‍රියාවන් ජෝතිෂ්‍ය විශ්වාසයන් මත පදනම්ව කරන සමාජයක් විය.
  • මළවුන්ගෙන් තම අවශ්‍යතාවය ආයාචනා කරන ඔවුනට නැමදුම් කරන සමාජයක් විය.
  • කාන්තාවන්ට විවිධ වූ වධහිංසා පමුණුවන කාන්තාව මනුෂ්‍ය ඝනයට අයත් නොවන ලෙස සලකන සමාජයක් විය.
  • සමස්ථ සමාජයම සුරාවෙහි ගිලී පැවතී සමාජයක් විය.
  • නිර්වස්ත්‍රව දේව නැමදුමෙහි නියැලෙන සමජයක් විය.
  • පියා මියගිය හොත් පියගේ බිරිද (කුඩම්මා) තමා (පුතා) විවාහ කරගැනීම වැනි නීති පැවතී සමාජයක් විය.
  • කුල හා ගෝත්‍රවාදය දරුණුවට ම ක්‍රියාත්මක වූ සමාජයක් වීය.
  • මනුෂ්‍ය ඝාතනය සාමාන්‍ය කාරණයක් ලෙස සිතෙන තරමට මිනිස් ජීවිතවලට වටිනාකමක් නොදුන් සමාජයක් විය.
  • අරාබි භාෂාව පමණක් භාෂාවක් ලෙස සලකමින් අනිකුත් භාෂාවන් ප්‍රතික්ෂේප කල සමාජයක් විය.

මුහම්මද් (සල්) තුමාණන් උපන ලද එවකට පැවතී ඉහතින් සදහන් අරාජික විකෘති සමාජය ඉස්ලාම් දහම ‘ජාහිලියා’ සමාජය ලෙස හදුන්වයි.

මුහම්මද් (සල්) තුමාණන්ගේ උපත සහ එහි විශේෂ සිදුවීම පිලිබදව කෙටි හැදින්වීමක්

ලෝක ඉතිහාසය තුල සුවිශේෂි චරිත අතර මුහම්මද් (සල්) තුමාණන් ඉදිරියෙන්ම සිටී. වර්ථමාන ලෝකය තුල විශාලතම අනුගාමිකයින් පිරිසක් දිනාගැනීමට සමත් ඉස්ලාම් දහම ප්‍රකාශ වන්නේ මේ මුහම්මද් (සල්) තුමාණන් මඟිනි. 'ජාහිලියාවේ' ගිලී අරාජිකව පැවතී සමාජය එතුමාණන් මඟින් අල්ලාහ් (දෙවි) යහමග ගැන්වූයේ එතුමාණන්ට වක්තෘ හෙවත් නබිත්ව මෙහෙවර ලබා දෙමිනි.

එතුමාණන්ගේ වක්තෘ මෙහෙවර ආරම්භ වූ මොහොතේ පටන් එතුමාගේ අභාවය සිදුවන මොහොත දක්වා වූ (එනම්, වඳන්, ක්‍රියාවන් හා අනුමත කිරීමන් යන) 'හදීස්' සියල්ල ලිඛිත ග්‍රන්ථ ලෙස ආරක්ෂා වී ඇත. එම මෙ‍හෙවර අදටත් හදීස් ග්‍රන්ථ තුලින් කියවීමේ හැකියාව ඇත. එම ග්‍රන්ථ වෙත ඔබේ අවදානය යොමු වේවා! යන ප්‍රාර්ථනයෙන් මුහම්මද් (සල්) තුමාණන්ගේ උපත, නබීත්වය හා විපත සිදුවූ කාලය හා එහි සුවිශේෂී අවස්ථා පිලිබදව කෙටි අවදානයක් මෙහිදී යොමු කරමු.

උපත

මුහම්මද් (සල්) තුමාණන් උපත ලබන්නේ කුලවාදය ඉහලින්ම පැවතී ජාහිලියා සමාජයේ 'කුරෙයිෂ්' නම් ඉහල කුලයකය. තම මව් කුස තුල සිටින විට ම තම පියාණන් වන 'අබ්දුල්ලාහ්' මිය යන අතර එතුමාණන් උපත ලබා වයස අවුරුදු 06 දී මව වන 'ආමිනා' මියයයි. මාපිය සෙනෙහස අහිමිව අසරණ වූ මුහම්මද් (සල්) තුමාණන් ඉන්පසු තම සීයා වන 'අබ්දුල් මුත්තලිෆ්' ලඟ හැදී වැඩුණු අතර ඔහුගේ අභාවයෙන් පසු තම පියාගේ සහෝදරයෙකු වන 'අබූතාලිෆ්' ලඟ හැදී වැඩුණේය.

මෙලෙස හැදී වැඩුණු මුහම්මද් (සල්) තුමාණන්ගේ උපත කවදාද? යන්න දැන් විමසා බලමු.

වර්ෂය — නබිතුමාණන් ‘ඇත් වර්ෂයේ’ ඉපදුනු බවට හදීසයන් හි සදහන් වේ. ඉස්ලාමීය දින දර්ශනයක් ලොවට හදුන්වාදීමට පෙර වර්ෂයක් නම්කිරීම සදහා යොදාගත් උපක්‍රමය වන්නේ ඒ ඒ වර්ෂයන් හි සිදුවන සුවිශේෂි සිදුවීමන්ය. ඒ අනුව නබිතුමාණන් ඉපදුනු වර්ෂයේ අබ්බ්‍රහා නම් රජෙකු ශුද්ධ වූ දේව මැදුර වන කව්බාව (මක්කාවේ පිහිටි ලොව ප්‍රථම දෙව්මැදුර) විනාශ කිරීම ඇත් සේනාවක් යොදාගෙන උත්සාහ කරන ලදී. (මේ පිලිබදව විස්තර ශුද්ධ වූ කුර්ආනයේ “අල් ෆීල්” පරිච්ඡේදයේ සදහන් වේ) එම සිදුවීම පදනම් කරගෙන එම වර්ෂය ‘ඇත් වර්ෂය’ යනුවෙන් හදුන්වන අතර මෙම වර්ෂය නූතන ක්‍රිස්තු වර්ෂවලට අනුව 571 ලෙස ගනන් බලා ඇත.

මාසය — උපන් මාසය පිලිබදව පැවසීමේ දී නබිතුමාණන් රබියුල්අව්වල් (ඉස්ලාමීය දින දර්ශනයට අනුව 03 වන) මාසයේ ඉපදුනු බවට ඉතිහාසගත තොරතුරුවලින් හා හදීසයන් තුලින් පැහැදිලි සාක්ෂි දැකගත හැක.

දවස — නබිතුමාණන්ගේ උපන් දවස පිලිබදව ආගමික මූලාශ්‍රයන් තුල සොයා බලන විට ඒ පිලිබදව හදීස් දෙකක් ‘මූස්ලීම් හා අබීශෙයිබා’ නැමැති හදීස් ග්‍රන්ථවල හමුවේ. එහිදී නබිතුමාණන් පවසන්නේ ‘මම උපන්නේ සදුදා දිනයක’ යනුවෙනි.

මේ අනුව මුහම්මද් (සල්) තුමාණන් උපන් වර්ෂය ක්‍රි ව 571 යන්නත්, උපන් මාසය රබියුල්අව්වල් යන්නත්, උපන් දවස සදුදා යන්නත් පැහැදිලිය. ඒ අනුව ගැටළුව ඇත්තේ ‘උපන්දිනය කුමක්ද?’ යන කාරණය සම්බන්ධයෙන් පමණි.

අද කිසියම් (ක්‍රිස්තු දින දර්ශනයට අනුව) කෙනෙකුගේ උපන් වර්ෂය මාසය හා දවස දන්නේ නම් ඔහු උපන්දිනය නිර්ණය කිරීම අපහසු කාර්යයක් නොවේ. නමුත් ඉස්ලාමීය දින දර්ශනයට අනුව එසේ තීන්දු කිරීම සිදුකල නොහැක. එයට ප්‍රධාන හේතුව ඉස්ලාමීය මාස නිර්ණය වන්නේ හඳ දැකීම අනුව වීමයි. (මේ පිලිබදව වැඩි විස්තර) ඒ අනුව මීට වසර දහසකට පෙර සිදුවූ සිදුවීමක් ඉස්ලාමීය දින දර්ශණයට අනුව නිර්ණය කල නොහැක. මීට වසර දහසකට පෙර නොව ලබන මාසයේ පලමු දිනය කවදාද යන්න පවා වර්ථමාන භාවිතයේ පවතින ලොව සම්මත දින දර්ශනයක් පදනම් කරගෙන නිර්ණය කිරීමට නොහැක. මන්ද මාසයේ ආරම්භය තීරණය වන්නේ හද හි නිරීක්ෂණය අනුව වීම නිසාය. මේ අනුව මීට සියවස් 13 කට පමණ පෙර ජීවත් වූ මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය අද නිර්ණය කිරීම කොතරම් සංකීර්ණ කාරණයක්ද? යන්න ඔබට වටහා ගැනීම අපහසු නොවනු ඇත.

මෙතැනදී විශේෂයෙන් කිවයුතු කාරණයක් ද ඇත. එනම්, මුහම්මද් (සල්) තුමාණන්ගේ උපත සිදුවීම ඉතිහාසයේ සුවිශේෂි අවස්ථාවක් නොවේ. එය එම සමාජයේ සාමාන්‍ය දරු උපතක් පමණි. එතුමාණන් සුවිශේෂී වන්නේ වයස අවුරුදු 40 දී නබීත්වය (හෙවත් වක්තෘ මෙහෙවර) ලැබීමත් සමඟය. එමනිසා එතුමාණන්ගේ උපත පිලිබදව පැහැදිලි සටහනක් නොමැති වීම පුදුමයක් නොවේ. මෙහි සටහන් කලයුතු තවත් අමතර කාරණයක් නම්, මුහම්මද් (සල්) තුමාණන් උපත ලද කාලය ලේඛන කලාව දියුණු මට්මටමක පැවතී කාලයක් නොවන බවයි.

මුහම්මද් (සල්) තුමාණන් නබීත්වය (හෙවත් වක්තෘත්වය) ලැබීම සහ එහි විශේෂ සිදුවීම පිලිබදව කෙටි හැදින්වීමක්

මාපිය අහිමි අනාත දරුවකු ලෙස හැදීවැඩුනු මුහම්මද් (සල්) තුමාණන් කිසිවකුට බරක් නොවී තම කුඩා අවදියේම විවිධ වෘත්තීන් හි නිරත විය. එහිදී කුඩා කල සතුන් (එළුවන්) රුකබලා ගැනීම කරන ලදී. තරමක් ලොකුමහත් වනවිට තම පියාගේ සහෝදරයා වන 'අබූතාලිෆ්' සමඟ ගොස් වෙළදාම් හි නිරත විය. මෙතුමාණන්ගේ අවංක හැසිරීම හා ගුණවත්කම දුටූ එවකට සමාජය එතුමාණන්ව 'අස්සිද්දීක් (විශ්වාසවන්තයා)' ලෙස ආමණ්ත්‍රනය කරන්නට පවා විය. කාගෙත් සිත් දිනාගෙන කටයුතු කල එතුමාණන් ව්‍යාපාර කේෂත්‍රයේ සාර්ථක කෙනෙකු විය. මෙම ගුණවත්මක සහ ව්‍යාපාරික දක්ෂතාවය දුටු එවකට එම සමාජයේ ධනපතිණියක් වූ 'කදීජා (රලි) තුමිය' එතුමාණන්ව විවාහ කරගන්නා ලදී. එවිට එතුමාණන්ගේ වයස අවුරුදු 25 කි.

තමන් එම සමාජයේ කාගෙත් සිත් දිනා ජීවත් වූවත්, තමන් ජීවත් වන සමාජයේ පැවතී ආරජිකත්වය පිලිබදව මුහම්මද් (සල්) තුමාණන්ට තිබුණේ මහා කලකිරීමකි. මේ හේතුව නිසාම මක්කාව මායිමේ තිබූ ‘හීරා’ නම් ගුහාවක හුදෙකලාව කාලය ගතකිරීම එතුමා සිරිතක් කරගත්තේය. එසේ කාලයක් ගතවන විට එතුමාණන්ගේ වයස අවුරුදු 40 දී දිනක් එම ගුහාවේ මින් පෙර කිසිදු දිනක නොදුටු රූපයක් එතුමාණන් ඉදිරියේ දර්ශනය විය. මුහම්මද් (සල්) තුමාණන් එය දැක බියට හා කලබලයට පත්වූවත් එම මැවීම මුහම්මද් (සල්) තුමාණන් සමඟ කථා කරන්නට විය.

එහිදී තමා ජිබ්රීල් නම් දේවදූතයකු (නොහොත් මලැක්වරයෙකු) බවත්, ඔබව නබිවරයෙකු (නොහොත් වක්තෘවරයෙකු) ලෙස අල්ලාහ් (දෙවි) විසින් තොරාගෙන ඇති බවත්, ඉදිරියේ දී දේව පණිවුඩ ඔබට පහලවීමට නියමිත බවත් දැනුම් දෙන ලදී. මීට පෙර මෙවැනි අත්දැකීමක් ලබා නොතිබූ මුහම්මද් (සල්) තුමාණන් මෙම පණිවුඩය අසා විශ්මයට හා බියට පත්ව තම නිවස කරා දිවවිත් තම බිරිදට වන කදීජා (රලි)තුමියට සිදුවූ සියල්ල පවසන ලදී.

එය අසා කලබල නොවු එතුමිය එවකට විවිධ ආගම් පිලිබදව ගවේෂණයන් හි නියලී සිටී ‘වරකා’ නම් විද්වතෙකු වෙත මුහම්මද් (සල්)තුමාණන්ව කැදවාගෙන ගොස් සිදු වු සියල්ල සවිස්තරව ‘වරකාට’ පවසන ලදී. එය සාවදානව අසා සිටී ඔහු බිය වියයුතු කිසිවක් නැති බවත්, මෙවැනි සිද්ධීන් මීට පෙරද සිදුවූ බවට ග්‍රන්ථවල සදහන් වී ඇති බවත්, ඔබ හමුවීමට පැමිණියේ ජිබ්රීල් නම් දේව දූතයෙකු බවත්, මුහම්මද් වන ඔබව දේව වක්තෘවරයෙකු ලෙස අල්ලාහ් (දෙවි) විසින් තෝරාගෙන ඇති බවත් දැනුම් දෙන ලදී.

ඉදිරියට බලාපොරොත්තු වන්න...

ළඟදීම