කුරානය ගිනි තැබීමට සූදානම් වූ දේවගැතිවරයා

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මුස්ලීම්වරුන් ශුද්ධත්වයෙන් සලකන කුර්ආනය උත්සවාකාරයෙන් ගිනිතැබීමට ඇමරිකාවේ එක්තරා පූජකවරයෙකු ගෙන ඇති තීරණය පිලිබදව දෙස් විදෙස් මාධ්‍යන්වල පසුගිය දිනවල ප්‍රකාශ වුණි. මේ නිසා මුළුමහත් මුස්ලීම් ලොවම කැළඹිලිකාරී ස්වරූපයක් පසුගිය දිනවල දක්නට ලැබූනි. එම සැලැස්මට මූලික වූ ඉවැන්ජලිකල් දේවගැතිවරයා පිලිබදව 2010.09.1 වන ඉරිදා “දිවයින” පුවත්පතේ පලවී තිබූ ලිපිය පහතින් ඉදිරිපත් කරමි.


කුරානය ගිනි තැබීමටසූදානම් වූ ඉවැන්ජලිකල් දේවගැතිවරයා

ටෙරී ජෝන් නමැති ඉවැන්ජලිකල් දේවගැතිවරයා ගේ Dove World Outreach Center නමැති ක්‍රිස්‌තියානි පල්ලිය පිහිටා ඇත්තේ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ගේන්විලී හීය. ටෙරී ජෝන් හා ඔහුගේ බිරිඳ සිල්වියා මේ දෙව්මැඳුර පවත්වාගෙන යන අතර ඔවුනට සිටින අනුගාමිකයන් ප්‍රමාණය 50 ක්‌ පමණය. මේ ඉවැන්ජලිකල් පල්ලිය මුලින්ම ආරම්භකර ඇත්තේ 1985 දීය. ටෙරී ජෝන් 1951 ඔක්‌තෝබර් මාසයේදී උපත ලබා ඇති අතර මුලින්ම හෝටලයක සහාය කළමනාකරුවකු ලෙස සේවය කර 70 දශකයේ අගභාගයේදී ක්‍රිස්‌තියානා දේවගැතිවරයෙක්‌ බවට පත්ව තිබේ. ඩොව් ඉවැන්ජලිකල් කල්ලිය ටෙරීගේ භාරයට පත්වූයේ 2004 වසරේදීය.

ඇත්තෙන්ම අපි අද මේ ඉවැන්ජලිකල් පූජකයා ගැන කතාකරන්නේ මුස්‌ලිම් ලෝකයම ගිනි අවුලන වැඩක්‌ කිරීමට ඔහු උත්සාහ කළ නිසාය. එම නිසාම ඇෆ්ගනිස්‌ථානයේද, පාකිස්‌තානයේද, ඉන්දුනිසියාවේ, කාශ්මීරයේද මුස්‌ලිම් ප්‍රජාව වීදි බැස මේ ඉවැන්ජලිකල් දේවගැතිවරයාගේ පඹයන් පුළුස්‌සමින් ඇමරිකන් කොඩි පුළුස්‌සමින් ඉතාම කලහකාරි ලෙස හැසිරුණහ. සැප්තැම්බර් 11 ප්‍රහාරයට ඉකුත් 11 වැනිදා වසර 9 ක්‌ සම්පූර්ණ විය. මේ වසර නමය සමරමින් කුරාන 200 ක්‌ ගිනි තැබීමට ටෙරී ජෝන් යෝජනා කර තිබිණි. කෙසේනමුත් මෙය ඇමරිකානු ආණ්‌ඩුවෙන්ම විරෝධතා එල්ල වූ නිසා ඉවැන්ජලිකල් මූලධර්මවාදය ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ නැත.

ටෙරීගේ ඉවැන්ජලිකල් දේවස්‌ථානය කෙලින්ම මුස්‌ලිම් ආගමට විරුද්ධව අදහස්‌ දක්‌වන අතර ඔවුන් ප්‍රකාශ කරන්නේ “මුස්‌ලිම් ආගම යනු යක්‍ෂයා” කියාය. එය ලියූ වැකියක්‌ද මෙම පල්ලියේ නිර්මාණය කර ඇත. 2009 අගෝස්‌තු මාසයේදී මේ පල්ලියේ අනුගාමිකයන්ගේ දරුවන් කිහිපදෙනෙක්‌ මුස්‌ලිම් “ආගම යනු යක්‍ෂයාය” මැයෙන් මුද්‍රණය කරනු කරුනු ලැබූ ටී ෂර්ට්‌ ඇඳ පාසල් ගිය අතර එම පාසල්වල බලධාරීහු මේ ළමුන් නැවත හරවා එවූ බව සඳහන්ය. මේ දේවගැතිවරයා තමන් කුරාන ගිනි තැබීමට සූදානම්වන බව ප්‍රකාශ කළේ ඉකුත් ජුලි මාසයේදීය. ඔහු කුරාන ගිනි තැබීමේ ජාත්‍යන්තර දිනය ලෙස සැප්තැම්බර් 11 නම්කර තිබිණි.

තමා කුරානය කියවා නැති නමුත් එහි ඇත්තේ සම්පූර්ණ මිත්‍යාවක්‌ බව හෙතෙම මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. කුරාන ගිනිතැබීම ප්‍රකාශයට පත් කිරීමත් සමග මේ දේවගැතිවරයාට මරණ තර්ජන ගලා එන්නට වූ අතර ඔහු දැන් දේව මෙහෙයන් පවත්වන්නේද පිස්‌තෝලයක්‌ ඉනේ ගසාගෙනය. මුස්‌ලිම් බැතිමතුන්ගේ පූජනීයම වස්‌තුව වන කුරානයට යම් හානියක්‌ සිදු වුවහොත් එය ඇෆ්ගනිස්‌ථානයේ සිටින ඇමරිකානු හමුදාවන්ටද බරපතල තර්ජනයක්‌ වන බව ජෙනරල් ඩේවිඩ් පේට්‍රොස්‌ද ප්‍රකාශ කර තිබිණි. ඇත්තෙන්ම ටෙරී දේවගැතිවරයා සැප්තැම්බර් 11 වැනිදා කුරාන ගිනිතැබුවේ නම් මුස්‌ලිම් ලෝකයම එකම ගිනි ජාලාවක්‌ වන්නට ඉඩ තිබිණි. තලේබාන්වරුන්ට මෙන්ම අල්ඛයිඩාවටද තමන්ගේ සාමාජික සාමාජිකාවන් ප්‍රමාණය දහස්‌ ගණනින් වැඩිකර ගැනීමටද හොඳ නිමිත්තක්‌ වන්නට ඉඩ තිබිණි.

ඇත්තෙන්ම මේ ඉවැන්ජලිකල් මූලධර්මවාදය අද ලෝකයටම තර්ජනයක්‌ වී ඇත. ශ්‍රී ලංකාවේද මෙවැනි කල්ලි කණ්‌ඩායම් ක්‍රියාත්මක වෙයි. ඔවුහු දුප්පත් බෞද්ධයන් අල්ලා ගැනීමට උපක්‍රම කරති. කෙසේ නමුත් ලෝකයම මේ ඉවැන්ජලිකල් මූලධර්මවාදයට එරෙහිව නැගී සිටිය යුතුව ඇත. තලෙබාන් අන්තවාදයට මුස්‌ලිම් මූලධර්මවාදය එරෙහිවන ලෙසම මේ ක්‍රිස්‌තියානි ඉවැන්ජලිකල් මූලධර්මවාදයට එරෙහි විය යුතුය. අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්‍ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂයේද ඉවැන්ජලිකල් මූලධර්මවාදයට අනුව නටන කල්ලියක්‌ බිහිවී ඇත. මෙය ඉතාම බරපතල තත්ත්වයකි.

නැවතත් මේ ටෙරී දේවගැතිවරයාගේ කතාවට හැරුණහොත් ඔහුගේ පළමු විවාහයේ දියණිය වන එමා ජෝන් ප්‍රකාශ කර ඇත්තේ තාත්තාගේ පල්ලිය සැබවින්ම උමතු ආගමික කල්ලියක්‌ වන බවයි. ඔහුත් මානසිකව අනෙක්‌ අය හිංසනයට ලක්‌කරනවා. පල්ලියට ගරු නොකළොත් දෙවියන් දඬුවම් දෙන බව කියනවා” යනුවෙන් එමා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. මේ අතර කුරාන ගිනි තැබීමට සූදානම් වූ ටෙරීගේ ඉවැන්ජලිකල් අනුගාමිකයකු වන සැ- නමැත්තා ප්‍රකාශ කර ඇත්තේ දෙවියන් වහන්සේගේ කැමැත්ත හා නියෝගය මත තමන් කුරාන ගිනිතබන බවයි. මේ කුරාන ගිනිතැබීමේ ආරංචියෙන් කලබල වූ ඇමරිකානු ජනපති බැරක්‌ ඔබාමා ප්‍රකාශ කළේ මේ සිද්ධිය හරහා අල්ඛයිඩාවට මහත් වාසියක්‌ සිදුවන බවයි. අවසානයේ මේ දේවගැතිවරයා සිය ගිනි උත්සවය නතර කර දැමීය. ඒ ගැන පවසන්නට මාධ්‍යවේදීන් හමුවන්නටද අවේ අවි රැගත් ආරක්‍ෂකයන්ද සමගය. කුරාන ගිනිතැබීම නවත්වා දැම්මද සිය අරමුණු ඉටුවී ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය. මුස්‌ලිම් ආගමේ දරුණු ස්‌වභාවය පසුගිය දින කිහිපයේදී ලෝකයට දැනගන්නට ලැබුණු බව හෙතෙම සඳහන් කර සිටියේය.

ඇමරිකාව පුරා ක්‍රිස්‌තියානි මූලධර්මවාදි කල්ලි කණ්‌ඩායම් විසිරී ඇත. හිටපු ජනපති ජෝර්ජ් බුෂ්ද මෙවැනි කල්ලියක සාමාජිකයෙකි. ඔහුට දෙවැනි වතාවට ජනපති වීමට හැකිවූයේ මූලධර්මවාදී ක්‍රිස්‌තියානි කණ්‌ඩායම් වල සහායෙනි. ලොව පුරා ක්‍රිස්‌තියානිය පතුරවන්නටද උත්සාහ ගන්නේ මේ කල්ලි විසිනි. ලංකාවේද මෙවැනි කල්ලිවලට අයත් කුඩා පල්ලි සිය ගණනක්‌ විසිර ඇත. මොවුන් කවරක්‌ කරන්නේද යන්න වහා සොයා බැලිය යුතුය. මන්ද මොවුන් ආගමේ නාමයෙන් පතුරවන්නේ වෛරය හා ක්‍රෝධයයි. ඒවා දේව වාක්‍ය නම් නොවේ.

චතුර පමුණුව – 2010/09/19 දින දිවයින ඉරිදා සංග්‍රහය


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම