ජාතිවාදී සේනාවේ අවසාන ඉලක්කය කුමක්ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අද අප රට තුල උණුසුම් මාතෘකාවක් බවට ‘හලාල් සහතිකය’ පත්ව තිබෙන ආකාරය මා අමුතුවෙන් මෙහි පැහැදිලි කිරීමට අවශය නොවන තරමට ම දැන් ඔබ දැනුවත් ඇතැයි සිතමි. කෙසේ වෙතත් මේ විෂය පිලිබදව ඔබ තවදුරටත් කිසියම් අවබෝධයක් දැනුමක් ලබාගැනීමට අපෙක්ෂා කරන්නේ නම්, මෙම අඩවිය තුල ඉදිරිපත් කොට ඇති ‘හලාල් පිලිබදව ඇත්ත නැත්ත‘ යන ලිපිය ඒ සදහා ඔබට පිටුවහලක් වනු ඇත. එම නිසා මෙම ලිපිය තුලින් මා ‘හලාල්’ විෂය පිලිබදව කථා කිරිමට අපේක්ෂා නොකරන අතර ‘හලාල් සහතිකය’ මූලික කරගෙන රට තුල නිර්මානය වෙමින් තිබෙන අවාසනාවන්ත තත්වයන් පිලිබදව මෙහි කරුණු කිහිපයක් බුද්ධිමත් පාඨක ඔබේ අවධානයට ගෙන ඒමට අදහස් කරමි.

මේ රට තුල නිෂ්පාදන භාණ්ඩ සදහා ‘හලාල් ලාංඡනය’ මූද්‍රණය කිරීම අද ඊයේ ඇරඹු අලුත් වැඩසටහනක් නොවන බවත්, වසර කිහිපයක් මුළුල්ලේ මෙය මේ රට තුල ක්‍රියාත්මක වු බවත් මුස්ලීම් හා මුස්ලීම් නොවන ශ්‍රී ලාංකීය ඔබලා අතුරින් බොහෝ දෙනෙකු මෑතක් වනතුරු නොදන්නවා ඇති. එසේ ඔබ ඒ පිලිබදව නොදැනුවත්ව සිටියා නම් එය පුදුමයට කාරණයක් ද නොවේ. මන්ද එම ලාංඡනය ලාභ මත්තේ දුවන අප රටේ ව්‍යාපාරිකයන්ට තරම් අන් පිරිසට කිසිසේත් වැදගත් නොවු නිසා පමණක් නොව එම ලාංඡනය නිෂ්පාදන භාණ්ඩවල මූද්‍රණය කිරීම හෝ නොකිරීම තුල පාරිභෝගිත ජනයාට කිසිදු බලපෑමක් එහි ඇති නොවු නිසාය.

මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, ඉහතින් මා ‘හලාල්’ පිලිබදව අප රටේ මුස්ලීම්වරුන් මෙතෙක් සැලකිලීමත් නොවුවා යන්න අදහස් නොකරමි. අප රටේ පමණක් නො‍ව ලොවපුරා වෙසෙන සියළු මුස්ලීම්වරුන් තම දිවිය තුල සියළු ක්‍රියාවන්වල ‘හලාල්’ පිලිබදව සැලකිලිමත් වීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. ඒ අනුව අප රටේ මුස්ලීම් ජනයා ද ‘හලාල්’ පිලිබදව කවදත් උනන්දුයි. නමුත් ඒ ජම්මියතුල් උලමා(‘උලමා’ – යන වචනයේ සරල තේරුම ආගමික විද්වතුන් යන්නයි)සභාවේ ‘හලාල්’ ලාංඡනය පිලිබදව නොව තමන් පරිභොජනය කරන භාණ්ඩය හලාල්ද? නැද්ද? යන්න පිලිබදවය. නමුත් සංකීර්ණ නිෂ්පාදන රටාවන් සිදුවන නූතන අවධියේ ඉහත තීරණය ගැනීම සමාන්‍ය ජනතාවට එතරම් සරල කාරණයක් නොවන නිසා එය මුස්ලීම් ජනයාට පහසු කිරීම පිණිස ශ්‍රී ලාංකීය මුස්ලීම් ජනයාට ජම්මියතුල් උලමා සභාව ලබාදුන් සහය සේවාව මෙහිදී කිසිසේත් අවතක්සේරු කිරීමට හෝ අඩුවෙන් සැලකීමට නොහැකි බවද සදහන් කලයුතුමය. (මේ පිලිබදව වැඩි විස්තර ‘හලාල් සහතිකය පිලිබදව යහමග ස්ථාවරය‘ යන ලිපිය තුලින් කියවන්න)

මෙහිදි තවත් කාරණයක් අවබෝධ කර ගතයුතුය. එනම් කිසියම් නිෂ්පාදන භාණ්ඩ ඇසුරුමක ‘හලාල් ලාංඡනය’ පමණක් නොව මෙවැනි විවිධ ලාංඡන ගණනාවක් සටහන් වී ඇති අතර හලාල් ලාංඡනය ද තවත් එකක් පමණි. මෑතක් වනතුරු මෙම හලාල් ලාංඡනය සම්බන්ධයෙන් අප රටේ පොදු ජනතාව තුල තිබුණේත් එවැනි මතයකි. කොටින්ම කියනවා නම් මේ හලාල් විරෝධී ව්‍යාපාරය අප රට තුල දියත් වන මොහොත තෙක් මුස්ලීම් සමාජය ද ඒ ‘හලාල්’ ලාංඡනය පිලිබදව එතරම් සැලකිලිමත් වුයේ නැත. නමුත්, එය තවදුරටත් එතැනට සීමා කිරීමට අප රටේ සමහරක් ජාතිවාදී පිරිස් කැමති වුණේ නැත. ‘යහමග’ මීට ඉහත ද විවිධ අවස්ථාවල සදහන් කල සත්‍යයක් ඇත. එනම්, මේ රටේ කුරිරු එල්ටීටීඊ ත්‍රස්ථවාදය නිමාවත් සමඟ හිස ඔසවන ලද ඊටත් වඩා ප්‍රබල ඛේදවාචකයක් වන්නේ ජාතිවාදී ව්‍යාපාරයන්ය. විශේෂයෙන් ‘සිංහල ජාතිවාදී’ ව්‍යාපාර මේ රට සුළු ජනයාට එරෙහිව ක්‍රියාත්මක විම කණගාටුදායක තත්වයකි. එහිද මුස්ලිම් විරෝධි ව්‍යාපාර ඒ අතර සුවිශේෂි වේ. මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය වුයේද ඉස්ලාම් දහම, ඔවුන්ගේ ආගමික අයිතීන් හා ඔවුන්ගේ වෙළද ව්‍යාපාර… යනාදියයි. විශේෂයෙන් මේ ව්‍යාපාර තුලින් ජාතිවාදී පිරිස් උත්සාහ කලේ මේ රටේ සුළුතරය වන මුස්ලීම් ජනතාව රට තුල හුදෙකලා කිරිමයි. ඒ වෙනුවෙන් ඔවුන් දියත් කල ව්‍යාපාරයන් එකක් දෙකක් නම් නොවේ. විශේෂයෙන් අන්තර්ජාලය හරහා විවිධ පෝස්ටර් ව්‍යාපාර ද, වෙබ් අඩවීන් ද, ෆේස්බුක් වැනි සමාජාල අඩවවින් ද තුලින් ඇති කලේ බලපෑම අති ප්‍රබලය.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් විකෘති කොට වෙබ් අඩවිවල පලකිරීම, මුස්ලීම්වරුන්ගේ ආගමික විශ්වාසයන් අපහසයට උපහසයට ලක් කරන ආකාරයට වෙබ් පිටු හා සමාජ ජාල අඩවින් ඉදිරිපත් කිරීමත්, ඒ සදහා කිසිදු පදනමක් නොමැති මනක්කල්පිත කරුණු පදනම් කර ගැනීමත් සුලභ දසුනකි. එසේම මුස්ලීම්වරුන්ගේ ව්‍යාපාරික ආයතනවලට එරෙහිව මිත්‍යා මතවාද ගොඩනැඟීම (නිදසුනක් ලෙස නොලිමිට් ආයතනයේ ‘ටොපිය’ පිලිබදව වු ප්‍රචාරය සදහන් කල හැක). මුස්ලීම් ව්‍යාපාරික ආයතනවලින් භාණ්ඩ මිලදී නොගන්නා ලෙස විවිධ පෝස්ටර් ව්‍යාපාර (ජාතිවාදි සංවිධාන හා එහි කුමන්ත්‍රණ) දියත් කිරීම, මුස්ලීම්වරුන්ගේ ආගමික වැඩසටහන්වලට පවා බියකරු බවක් ආරූඪ (මේන්න තවත් මිත්‍යා ප්‍රහාර) කරමින් රටේ මහා ජාතීන් අතර බොරු ප්‍රචාරයන් සිදුකරමින් මුස්ලීම් සමාජය කෙරෙහි නොසතුටක් සමාජය තුල නිර්මාණය කිරීම… එවැනි තවත් කිහිපයකි.

මේ ආකාරයට ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට එරෙහිව විවිධ වූ ජාතිවාදී ව්‍යාපාරවල නියලෙමින් සීසීකඩව ක්‍රියාත්මක වූ සියළු පාර්ශවයන්ට ලොකු අඩුවක් ද පැවතුණි. ඒ තම අරමුණු මුදුන්පත් කරගැනීම සදහා අවශ්‍ය ජාතික මට්ටමේ නායකත්වයක් හා අනුග්‍රහයක් ගොඩනඟා ගැනීමයි. ඒ අවශ්‍යතාවය හදුනාගත් අපේ සමහරක් ජාතිවාදී භික්ෂූන් වහන්සේලා මේ ජාතිවාදී පිරිස් සදහා නායකත්වය ලබාදීමේ ප්‍රතිපලයක් ලෙස අද මෙම ව්‍යාපාරය බෞද්ධ ව්‍යාපාරයක මුහුණුවරක් ගනිමින් ‘බොදු බළ සේනා’ නම් ජාතික මට්ටමේ ජාතිවාදී ව්‍යාපාරයක් අප රට තුල නිරමාණය වී ඇත. ඒ අනුව මේ අද අප දකින මේ තත්වය ක්ෂණයකින් නිර්මාණය වු අළුත් තත්වයක් නොවන බවත්, සීසීකඩව පැවතී ජාතිවාදී ව්‍යාපරයන් ඒකරාශි වී සාමුහික ක්‍රියාදාමයකට එළඹිම පමණක් මෙහි සිදුවී ඇති බවත් බුද්ධිමත් ජනතාව මුලිකව අවබෝධ කරගතයුතුය. (ඒ සදහා ඉහතින් සදහන් නිදසුන් කිහිපයට අමතරව ‘කොහෙන් පටන් ගත්තත් ඉවර වෙන්නේ අපෙන් යන ලිපියත් එහි වීඩියෝවත් තවත් නිදුසුනකි.)

ඒ අනුව මුස්ලීම් විරෝධි ජාතිවාදී ව්‍යාපාරයක් ලෙස මෙලෙස ඇරඹෙන ‘බොදු බළ සේනා’ සේනාවට ආරම්භයේදී ම ලොකු අභියෝගයක් ද විය. ඒ කාලයක් මුළුල්ලේ තැන් තැන්වල මුස්ලීම් විරෝධි ව්‍යාපාරයේ නියලී තමා වටා රොක් වූ හා රොක් නොවු පිරිස දිනාගැනීම සදහා සංවේදි හා උණුසුම් මාතෘකාවක් රට හමුවේ තැබීමයි. එහිදී ඔවුන් තොරාගත් ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය මාතෘකාවක් වූයේ ‘ඉස්ලාමීය ජිහාද් සංවිධාන හා ආගමික අන්තවාදි සංවිධාන අප රට තුල ද ක්‍රියාත්මක’ යන්නයි. එම මතවාදය සමාජ ගතකිරිම සදහා මාධ්‍යයන් තුල විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් අප රටේ ක්‍රියාත්මක සමාජ සේවා ස්වෙච්ඡා සංවිධාන කිහිපයක් ජිහාද් සංවිධාන ලෙස ලේබල් ගැසීමට ඉහත සංවිධානය නොයෙක් උත්සාහ ගත්තත් ඒ සියල්ල පුස්වෙඩිල්ලක් බවට පත්වූයේ තමන් පවසන්නේ මුසාව බව සමාජයට පැහැදිලි ලෙස තහවුරු කරමිනි. මෙතැන දී විශේෂයෙන් සදහන් කලයුතු තිත්ත වූ ඇත්තක් ද ඇත. එනම්,

ඉහත චොදනාවට ශ්‍රී ලාංකීය මුස්ලීම් ජනතාව විශේෂයෙන් ඉහත ස්වෙච්චා සංවිධාන ‍ගොදුරු වුයේ, ඉහත ජාතිවාදී ව්‍යාපාරවලට අප රටේ ‘ඉස්ලාමීය ජිහාද් සංවිධානයක්’ ක්‍රියාත්මක බවට බොරු තොරතුරු ලබදෙමින් ඔවුනට භූමිකාවක් නිර්මාණය කොට දී කාලකන්නි සතුටක් ලබන්නට උත්සාහ කල ඉස්ලාම් දහම තුල ආගමික කල්ලිවාදයක් නිර්මාණය කරගත් සමහරක් මුස්ලීම්වරුන් නිසාම යන්නයි. ඒ සදහා ඔවුන් නිර්මාණය කල මිත්‍යා විඩියෝ පටය පිලිබදව අද අප රටේ ආගමික විද්වතුන් ඇතුළු වගකිවයුතු බොහෝ පාර්ශවයන් දැනුවත්ය. මෙවැනි ‘මුනාෆික්වරුන්’(මුස්ලිම්වරුන් ලෙස පෙනිසිටින නිවටයන්) පිලිබදව අප රටේ ජම්මියතුල් උලමාව හා අනිකුත් ආගමික පාර්ශවයන් විදිමත් මැදිහත්වීමක් සිදුකොට ඔවුන් ජාතියට අනාවර්ණය කලයුතුව ඇත. (එය ද මේ රටේ මුස්ලිම් සමාජයේ යහපත් ඉදිරි පැවැත්ම උදෙසා කාලින අවශ්‍යතාවයක් යන්න ‘යහමග’ අදහසයි.)

මේ ආකාරයට ‘ජිහාද්’ මාකෘතාව තුල හොඳ ප්‍රවේශයක් ලබාගැනීම‍ට නොහැකි වූ ‘බොදු බළ සේනා’ ඉතා සූක්ෂම ආකාරයට තම මාතෘකාව වෙනස් කලේ ’ජම්මියතුල් උලමා සභාව මඟින් ලබාදෙන හලාල් සහතිකය’ දෙසටය. ඒ,

මේ රටේ සිංහල බෞද්ධ ජනයාගෙන් ජම්මියතුල් උලමා සභාව ‘හලාල් සහතිකය’ තුලින් විශාල මුදලක් රුස්කොට ජාත්‍යන්තර ‘ජිහාද්’ සංවිධානවලට ලබාදෙන බවත් එමනිසා ජම්මියතුල් උලමා සභාව විසින් මේ රටේ ‘හලාල් සහතික’ නිකුත් කිරිම ලබාගැනීම වහාම අත්හිටුවිය යුතුයි

යනුවෙන් පවසමිනි. මෙයත් ඉහත ‘ජිහාද්’ ‍චෝදනාව මෙන්ම කාලයක් මුළුල්ලේ අප රටේ ජාතිවාදී වෙබ් අඩවින් තුල නිතර සාකච්චා වූ මාතෘකාවක් වුවත් මෙය අප රටේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ට ද සෘජුවම සම්බන්ධ වූ මාතෘකාවක් වූ නිසා මෙය ඉහත ජාතිවාදි ‘බොදු බළ සේනා’ සංවිධානයට හොඳ ප්‍රවේශයක් විය. කවදත් මුසාව හා පුර්ව නිගමනය මත පදනම්ව මතවාද ප්‍රකාශ කරන ඉහත සංවිධානය ‘හලාල් සහතික’ විරෝධි ව්‍යාපාරය තුල ද පරස්පර අදහස් විටින් විට ප්‍රකාශ කලත් ඉතා සුක්ෂම ආකාරයට තම තර්කයන් චෝදනාවන් කාලයත් සමඟ වෙනස් කරගැනීමට ඔවුනට හැකි වුයේ තම අනුගාමිකයන් අන්ධ භක්තිකව ඔවුන් අනුගමනය කල නිසාය. එයට සරල නිදසුනක් පවසනවා නම්,

‘හලාල් සහතික’ නිකුත් කිරීම තුලින් අසීමිත මුදලක් ජම්මියතුල් උලමා සභාව’ උපයන බවටත්, එම මුදල් ජාතයන්තර ත්‍රස්ථවාදය සදහා ලබාදෙන බවටත්, ආරම්භයේ චෝදනා කල ඉහත ජාතිවාදී පිරිස් පසුව සදහන් කලේ අපනයනය කරන භාණ්ඩ සදහා ‘හලාල් සහතිකය ලබාදුන්නට කමක් නැහැ ඒවා අපිට එපා යනුවෙනි. (එසේනම් මේ කියන්නේ අපනයන භාණ්ඩවලට ලබාදෙන හලාල් සහතිකය තුලින් උපයන මුදල් ජාත්‍යන්තර ත්‍රස්ථ සංවිධානවලට ලබාදුන්නා‍ට ගැටළුවක් නොවන බවද? නොඑසේ නම් තමන් මුලින් පැවසූ ත්‍රස්ථ සංවිධානවලට මුදල් ලබාදීමේ චෝදනාව බොරුවක් බවද?) එහෙම කියූ ‘බොදු බළ සේනා’ සංවිධානය අද කියන්නේ කුමක්ද? (හිරු හා යංඒෂියා මාධ්‍යා තුල විකාශය වූ පහත විඩියෝ කොටස් සම්පූර්ණයෙන් නරඹන්න)

ඉහත වි‍ඩියෝව තුලින් මා ඉදිරිපත් කර ඇත්තේ පසුගිය දිනයක මාධ්‍යයන් තුල ඉදිරිපත් වු පුවත් කිහිපයකි. විශේෂයෙන් අප රටේ ගෞරවණිය භීක්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරන මතය හා ප්‍රහ්නයක් හමුවේ අනුගමනය කරන ක්‍රමවේදය බුද්ධිමත් ජනතාව හොදින් විමසා බැලිය යුතුය. එසේම බොදු බළ සේනාවේ භික්ෂූන් වහන්සේලා මෙම ප්‍රශ්නය හමුවේ ක්‍රියා කරන ආකාරයත් හොදින් විමසා බැලිය යුතුය. මේ ආකාර දෙකෙන් සැබෑ බෞද්ධයකු අනුමත කරන්නේ කුමන ක්‍රමවේදයද? යන්න තිරණය කිරීම බුද්ධිමත් ඔබට බාරය. විශේෂයෙන් ජාතීන් දෙකක් අතර හිත් අමනාපකමක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක අදාල පාර්ශවයන් හි ආගමික විද්වතුන් එකම වේදිකාවක හිඳ සාකච්චා කිරීම හා ප්‍රකාශ නිකුත් කිරීම ‘බොදු බළ සේනා’ සංවිධානය පවසන ආකාරයට සංඝභේදයක් වන්නේ කොහොමද?. මෙහි දී ‘බොදු බළ සේනා’ සංවිධානය මේ කියන්නේ තමන් හරි වුවත්, වැරදි වුවත් තමන්ට සහය දක්වන ලෙසද? නොඑසේ නම් මේ රටේ මුස්ලීම් ජනතාව හුදෙකලා කරන ලෙසද? ශිෂ්ඨසම්පන්න සමාජයක් මෙය කොතරම් දුරකට අනුමත කරනවාද? යන්න තීරණය කිරීමත් බුද්ධිමත් ඔබටම භාරය. අපේ රට බුදුන්ගේ දේශය බවත්, නිර්මල බුදුදහම තිබෙන්නේ මේ දේශයේ බවත් විවිධ පුවරු බැලූ බැලූ අත ප්‍රදර්ශනය කරමින් මේ දහම අසමසම දහමක් බව ලෝකයාට කියාපාන්නට යන සැබෑ බෞද්ධයන් මේ ‘බොදු බළ සේනා’ සංවිධානය ක්‍රියා කලාපය කොතරම් දුරකට අනුමත කරනවාද?. විශේෂයෙන් බෞද්ධ සමාජයේ වගකිවයුතු බොහෝ පාර්ශවයන් තවම නිහඩව මේ සියල්ල බලාසිටීම ‘යහමග’ ට තවම අදහාගත නොහැකි පැනයක් වි ඇත. මේ සියළු පාර්ශවයන් ඉහත ‘බොදු බළ සේනා’ සංවිධානයේ ක්‍රියාදාමය අනුමත කරනවාද? නොඑසේ නම් ඔවුන්ගේ ක්‍රියාකලාපය තුල වින්දනයක් ලබනවාද?, එසේත් නැත්නම් මේවාට විරුද්ධ ප්‍රකාශ නිකුත් කිරිමට ගොස් සිංහල ජාති විරෝධියෙකු හා බෞද්ධ විරෝධියෙක් ලෙස ලේබල් වනු ඇත යන බියෙන් මුනිවත රකිනවාද?… මේවා තවම සිතාගත නොහැක පැනයක් වි ඇත. හැබැයි මේ වර්තමාන තත්වය තුල බොරදියේ මාළු බාන අප රටේ ව්‍යාපාරිකයන් පිලිබදව මෙන්ම ජාතිවාදි දේශපාලන පක්ෂ පිලිබදව ද වචනයක් දෙකක් කිවයුතුව ඇත. අද ‘හලාල් සහතිකය’ සම්බන්ධ වූ ගැටළුවේ දී ‘ජම්මියතුල් උලමා සභාව’ මේ රට හා එහි ජාතීන් අතර සහජීවනය ගැන සිතා ඉතා ලිහිල් ප්‍රතිපත්තියකට තම ස්ථාවරය පසුබැස ගෙන ඇත. තවදුරටත් ඔවුන් සමඟ සාකච්චා කිරීමට බාධාවක් ඇතැයි මා නොසිතමි. මන්ද එය ඉස්ලාම් මුස්ලීම්වරුන් වන අපට පේන්වාදෙන ආදර්ශයක් වන අතර මේ රටේ අතීත‍ය පුරාවට තීරණාත්මක අවස්ථාවල මුස්ලීම්වරුන් වන අප එය ඔප්පුකොට පේනාවා‍ ද ඇත. මේ පිලිබදව කරුණූ සහිතව මෙම අඩවිය තුල ලිපි කිහිපයක්ම සාකච්චා කොට ඇති අතර සමීපතම ලිපි කිහිපයක් ඔබේ අවධානයට ගෙන එන්නේ නම්, ශ්‍රි ලාංකිය මුස්ලීම්වරුන් එදා සහා අද යන ලිපිය මෙන්ම මීට ඉහත සාකච්චා කල ‘ශ්‍රි ලාංකීය මුස්ලීම්වරුන් ඉතිහාස විමසුමක්‘ යන ලිපි ද සදහන් කල හැක.

ඉහත ආකාරයට ජම්මියතුල් උලමා සභාව ලිහිල් ප්‍රතිපත්තියකට පසු බැස තවත් සරලව පවසනවා නම් ආරම්භයේ ‘බොදු බළ සේනා’ සංවිධානයට පැවසූ ස්ථාවරයටම පැමිණ කටයුතු කලත්, ඉහත ජාතිවාදී සංවිධානයට හා එයට සහයෝගය පල කරන පාර්ශවයන්ට මෙහි ප්‍රබල ගැටළුවක් ඇත. ඒ මෙම තීර්ණයට එකඟවිම තුල තම ප්‍රබල ඉලක්කය වන ඉදිරියේ දී එළඹෙන හින්දු සිංහල අළුත් අවුරුද්ද මූලික කරගෙන සිදුවන වෙළදාම මුස්ලීම් ව්‍යාපාරිකයන් වෙත ලඟා නොවී වලක්වන්නේ කොහොමද? යන්න (මා පදිංචි ප්‍රදේශයේ පවා සිංහල ව්‍යාපාරිකයන් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ වෙළද ආයතනවල නම් යොදා එවැනි ආයතනවලට නොයන ලෙස ප්‍රසිද්ධියේ ප්‍රචාරය කරන අත්පත්‍රිකා බෙදාහරින තැනට අද යොමුව ඇත) හා මේ තරම් ආකර්ශනිය හා සංවේදී මාතෘකාවන් තොරා ගැනීමට නොමැතිවීම එම ගැටළුවයි. මෙවන් පසුබිමක ‘බොදු බළ සේනා’ සංවිධානයට තවදුරටත් මේ මොහොතේ ඉතිරිව ඇති එකම විකල්පය මේ ‘හලාල් සහතිකය’ පමණි. නමුත් මේ රටේ සාමය අගයන සියළු දෙනාට එක කාරණයක් පැහැදිලිව මෙහිදී සදහන් කලයුතුව ඇත. මේ විෂය හැර කාලීන මාතෘකාවක් අද ඔවුනට නොමැති වුවත්, මෙය මේ බොදු බළ සේනාවේ ප්‍රවේශය මිස ඉස්ලාම් හා මුස්ලීම් විරෝධි එකම ව්‍යාපාරය මෙය පමණක් නම් නොවනු ඇත. මෙවැනි අවාසනාවන්ත ඛේදවාචකයන් ගණනාවක් ඉදිරියේ දී ඔවුන් තුලින් සමාජගත වෙනවා යන්නෙහි කිසිදු සැකයක් නැත. ඒ සදහා කැමැත්තේන් හෝ අකමැත්තෙන් ඔවුනට අප රටේ විවිධ වූ ජාතිවාදි ව්‍යාපාර මෙන්ම දේශපාලන පක්ෂවල අනුග්‍රහය ලැබෙනු ඇත. අදටත් ඔවුනට ව්‍යාපාරික ප්‍රජාවගෙන් හා විදේශ රටවලින් මූල්‍ය ආධාර ලැබෙනවා යන්න ප්‍රසිද්ධ රහසකි. මේ සියල්ලට ම වඩා ඉහල පෙලේ රාජ්‍ය තාන්ත්‍රික අනුග්‍රහය පවා ඔවුනට අද ලැබෙන බවක් පෙනීයමින් ඇත.

පසුගිය කාලවල මේ ‘බොදු බළ සේනා’ සංවිධානයේ ක්‍රියාකලාපයට එරෙහිව විවිධ වූ දේශපාලඥයින්ගේ ප්‍රකාශ නික්තු කල ද අද වනවිට ඒ සියළුදෙනා නිහඬ වී හෝ කර ඇත. සමහරක් පිරිසට රටේ බහුතර ඡන්ද කතිරය හමුවේ නිහඬවීමට සිදුව ඇත. මුස්ලීම් ජනයා නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිය මුස්ලීම් ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් පියවී සිහියෙන්ද? නොඑසේ නම් මර නින්දේද? යන්න පිලිබදව මුස්ලීම් සමාජයට ලොකු ගැටළුවක් ද මතුව ඇත. ඒ අතර තුර මා ඉහතින් සදහන් කල ඉස්ලාමීය කල්ලිවාදයට අනුබල දෙන සමහරක් මුස්ලීම් ජනතා නියෝජිතයන් මේ තුල හොරගල් අහුලමින් සිටින බවද සදහන් කලයුතුව ඇත. මේ ආකාරයට සියළු දිශාවෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය හුදෙකලා කරමින් තිබෙන පසුබිමක විශේෂයෙන් වත්මන් ර‍ජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍ය තුමා පවා,

නිල නො වන පොලිසියක් ලෙස බොදු බල සේනා සංවිධානය බලය අතට ගෙන කටයුතු කළහොත් නිල පොලිසිය කි‍්‍රයාත්මක කරවීමට සිදු වන බව කැබිනට් ප‍්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසී ය. මේ වනවිටත් එම සංවිධානයේ සාමාජිකයන් පොලිස් බලය අතට ගෙන ක‍්‍රියාකිරීමේ උත්සාහයක් ගන්නා බවට දක්නට ඇති බැවින් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා ශ‍්‍රී ලංකා පොලිසියේ නිල බලය භාවිත කිරීමට සිදුවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
lankacnews/sinhala/main-news/91466/

යනුවෙන් ප්‍රකාශ නිකුත් කරන විට මේ රටේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 2013/03/09 දින ගාල්ල පිලාන ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානය බොදු බළ සේනා සංවිධානයේ පුහුණු කටයුතු සඳහා පරිත්‍යාග කීරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විම හා එතුමාණන් සමඟ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සහභාගි විම ඉහත සංවිධානයේ අන්තවාදී හා ජාතිවාදී කුමන්ත්‍රණ සදහා අනුබලදීමක් දෝ, මෙය මේ රට තුල මුස්ලීම් විරෝධි ව්‍යාපාර රාශියක් සදහා ඔවුනට තවදුරටත් ධෛර්‍ය ලබාදීමක් දෝ යන්න මුස්ලීම්වරුන් තුල සැකයක් නොසතුටක් ඇතිවීම නොවැලැක්විය හැකි තත්වයක් වී ඇත. මෙවන් වූ වත්මන් තත්වය තුල ශ්‍රි ලාංකිය බුද්ධිමත් සමාජයේ අවදානයට මෙන්ම ශ්‍රී ලාංකිය මුස්ලීම් සමාජයේ අවදානයට අවසාන වශයෙන් ස්තූති පූර්වකව කරුණු කිහිපයක් පවසන්නට අදහස් කරමි.

  • රටපුරා විවිධ වූ ජාතිවාදී ව්‍යාපාර දියත් කරමින් ජාතින් අතර භේදයක් ඇති කිරීමට ජාතිවාදී පිරිස් ක්‍රියා කරන වි‍ට මුස්ලීම් සමාජයේ වගකිවයුතු පාර්ශවයන් පවා අභිබවා ගොස් මේ රටේ මුස්ලිම්වරුන්ගේ අයිතිය, ආගමික නිදහස, පිලිබදව කථා කරමින් ඔවුනට සාධාර්ණයක් දිනාදීමට කටයුතු කල භික්ෂූන් වහන්සේලාට මෙන්ම පුවත්පත්වල විවිධ ලිපි ලියමින් මුස්ලීම් ජනයා සම්බන්ධයෙන් වු සමාජ දුර්මතය දුරු කිරීමට කටයුතු කල සිංහල බෞද්ධ ජනයාට ප්‍රථමයෙන් ‘යහමග’ ඇතුළු සමස්ථ ජාතියේ ස්තුතිය ගෞරවය පුදකල යුතුය.
  • මේ රටේ මුස්ලීම් ජනතාව නියෝජනය කරමින් පාර්ලිමෙන්තුව තුල සිටින මුස්ලීම් මැති, ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් මර නින්දේ සිටින විට හා විහිළු කථා පවසමින් විකට චරිත රඟ දක්වන විට මේ රටේ මුස්ලීම් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬක් නැඟූ සිංහල බෞද්ධ මැති, ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ට ‘යහමග’ ඇතුළු සමස්ථ ජාතියේ ස්තුතිය ගෞරවය පුදකල යුතුය.
  • රට තුල ජාතිවාදී ගැටුමක් නිර්මාණය කිරීමට අර අදින අවධියක. භික්ෂූන් වහන්සේලා අප රටේ ඉස්ලාමීය ආගමික නායකයන් බකමූණන් කරන්නට කථා කරන විටත්, මුස්ලිම්වරුන්ට ‘මට්ටයින්’ ලෙස ආවේගකාරී ලෙස බැනවදින විටත්, අල්ලාහ් (දෙවි) නමින් විවිධ හැඩරුවින් පඹයින් සකසා ඒවා ප්‍රසිද්ධියේ ගිනි තබන විටත්, සමහරක් ප්‍රදේශවල මුස්ලීම් දේවස්ථානවලට ගල් ප්‍රහාර එල්ල කොට දොර ජනෙල් කඩන විටත්… ආවේගකාරී නොවී මේ සියල්ල ඉතා ඉවසීමෙන් හා උපෙක්ෂාවෙන් මුස්ලීම් සමාජය බලා සිටින්නේ අප රටේ මුස්ලීම් ආගමික නායකයින් තම වගකීම නිසි ලෙස මේ සමාජය තුල ඉටු කොට ආවේගකාරී පහත් ක්‍රියාවන්ට මුස්ලීම් සමාජය යොමු නොවී වලක්වාලීම පිණිස රට පුරා විවිධ ආගමික ස්ථානවල විවිධ ආගමික දේශන පවත්වමින් හා සංවිධානය කරමින් කටයුතු කරන නිසාය. මේ සියළු පාර්ශවයන්ට ද ‘යහමග’ ඇතුළු සමස්ථ ජාතියේ ස්තුතිය ගෞරවය පුදකල යුතුය.
  • ආගමික වශයෙන් කල්ලි ගැසී ජීවත් වු ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය අද එකම වේදිකාව හිඳ මුස්ලීම් සමාජයේ ගැටළු කථා කරන තැනට ඉදිරිපත් වී ඇත‍. මේ අප රටේ වර්ථමාන ජාතිවාදී ව්‍යාපාරය අපට ලබාදි ඇති එකම එක භාග්‍යයකි. මේ තත්වය ඉදිරියට ආරක්ෂා කර ගතයුතුය. මේ තුල හොරගල් අහුලන මුනාෆික්වරුන් මුස්ලීම් සමාජයට අනාවර්ණය කලයුතුය. අද ජාතිවාදී පිරිසට ලොකුම ශක්තිය වී ඇත්තේ ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයේ බෙදීමයි. මේ තත්වය තවදුරටත් ඇති නොවීමට වගබලා ගතයුතුය. මතභේද ඇතිවීම මනුෂ්‍ය ස්වභාවයකි. නමුත් අපට එකඟවිය හැකි බොහෝ කාරණයන් පවතින බව විවෘත මනසින් සියළු පාර්ශවයන් අවබෝධ කර ගතයුතුය. එලෙස ක්‍රියා කරන සියළු පාර්ශවයන්ට ද ‘යහමග’ ඇතුළු සමස්ථ මුස්ලීම් සමාජයේ ස්තුතිය ගෞරවය පුදකල යුතුය.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ අබූ අර්ශද් වන මා වසර 18ක් මුළුල්ලේ සිංහල බෞද්ධ ජනයා සමඟ ඉතා සමීපව රාජකාරි කටයුතුවල නියලෙන කෙනෙකි. අප අතර එදා පටන් ආගමික මත ගැටුමන් ඇති වුවත් ඒවා ඉතා සුන්දර හා බුද්ධිමත් සංවාදයන්වලට සීමා වුවා මිස කිසිදු විටෙක වියරුවාදි හෝ ජාතිවාදී නොවීය. නමුත් මෑතක පටන් අප රට තුල නිර්මාණය වූ ඉහත ජාතිවාදී ව්‍යාපාරය හමුවේ මා ඉහත කී බැදිම ද දිනෙන් දින පළුදුවෙමින් ඇත. එපමණක් නොව මාගේ දරුවා සිංහල මාධ්‍ය පාසලක 07 වසරේ ඉගෙනුම ලබන දරුවෙකි. පන්තියේ බහුතරයක් බෞද්ධ දරුවන් වන අතර මෑතක සිට එම බෞද්ධ දරුවන් මාගේ පුතාට ‘හලාල් තම්බියා’ කිය නිතර විහිළු කරන බවත්, පහරදෙන බවත් පවසයි. මේ පිලිබදව පුතා පංතිභාර ගුරුතුමියට පැවසුවත් ඇය ද සිනාසීසී බලා සිටින බව ඔහු පවසයි. මාගේ පුද්ගලික අත්දැකීම එසේ තිබිය දී මේ කාරණය සම්බන්ධයෙන් මාගේ මිතුරන්ගේ තත්වය හා අනිකුත් පාසැල්වල තත්වය මා විමසා බැලූ අතර ඔවුන්ගේ තත්වය ද ඉහත තත්වයට දෙවැනි නොවන බව අවබෝධ විය. එසේනම් මේ ජාතිවාදි ව්‍යාපරයන් හමුවේ ශ්‍රි ලාංකීය සමාජය අද යොමුව ඇත්තේ කුමන දිශාවකටද? යන්න තීරණය කිරීම බුද්ධිමත් ඔබට අපහසු නොවනු ඇත. මේ තත්වය කාගේ හෝ කවර හෝ උවමනාවකට නිර්මාණය වුවත් මේ තත්වය අඛණ්ඩව පැවතීම තුල රට තුල අළුත් ඛේදවාචකයක් නිර්මාණය වෙනවා යන්නෙහි නම් සැකයක් නැත. එම තත්වය වෙනස් කිරීමට නම් ජාති, ආගම් හා දේශපාලන භේදයකින් තොරව සියළු පාර්ශවයන් අවංක සිතින් මැදිහත්වීම හා විවෘත මනසින් කටයුතු කිරීම අත්‍යඅවශ්‍ය වේ. ඒ සදහා සියළු පාර්ශවයන්ට නුවණැස පෑදේවා! යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මේ ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම