ජාතිවාදයේ හැඩය එදා සහ අද

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


"ජාතිවාදය" මෙය ශ්‍රී ලාංකීය අපට අලුත් වචනයක් නොවේ. ඒ වසර කිහිපයකට ඉහත මේ ශ්‍රී ලාංකීය පොළොව මත ජාතිවාදය රජ කල ආකාරය පිලිබදව වූ අමිහිරි මතක රාශියක් අපට තිබෙන නිසාය. එපමණක් නොව තව ටිකක් අතීතයට යනවිට 1983 ‘කළු ජූලිය(කියවන්න 1, 2, 3)’ ද ඒවැනි අමිහිරි මත රාශියක් ශ්‍රී ලාංකීය අපගේ මතකය අවදි කරන්නකි. ශ්‍රි ලාංකීය දමිළ ප්‍රජාවට ඒරෙහිව ක්‍රියාත්මක වූ ඒම කළු ජූලියට වසර 33 ක් ගෙවීගොස් ඇතත් එහි ඇති වූ වේදනාකාරී මතකයන්අ දටත් නිමා වී නොමැත. එපමණක් නොව මීට වසර කිහිපයකට ඉහත ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට එරෙහිව ක්‍රියාත්මක වූ ජාතිවාදයේ ප්‍රථිපලය ද ඉහත කළු ජූලියට දෙවැනි නොවේ.

රටේ දේශපාලන නායකයින් තම පැවැත්ම උදෙසා සමාජය තුල වපුරන ලද මෙම “ජාතිවාදය” ශ්‍රී ලාංකීය සමාජය තුල තවමත් අළුයට දැවෙන ගින්නක් යන්න යහමග අඩවිය වන මාගේ විශ්වාසයයි. එය නිවාලන්නට රටේ නායකයින්ට අදටත් පැහැදිලි උවමනාවක් නැත. වාදයකට මෙම තත්වය වෙනස් කිරීමේ උවමනාව ඔවුනට දැන් තිබෙනවා යැයි සිතුවද එය සම්පූර්ණයෙන් පාලනය කිරීමේ හැකියාව දැන් ඔවුනට නැත. මෙය ආකල්පමය වශයෙන් රටේ ජනතාව තුල වර්ධනය වියයුතු වෙනසක් මිස එය නීති-රීති හෝ වෙනත් බාහිර බලපෑමන් මඟින් පාලනය කලහැකි හෝ වෙනස් කලහැකි තත්වයක් නොවේ.

ආරම්භක නොදියුණු මානවයා තුල පැවතී ගෝත්‍රීය මානසිකත්වය අදටත් “ජාතිවාදය” යන බෝඩ් ලෑල්ල යටතේ ඉදිරිපත් වෙමින් ඇත. තුන්වන ලෝකයේ විශේෂයෙන් ආසියාතික රටවල මෙය ඉමහත් ආඩම්භරයෙන් ක්‍රියාවට නංවමින් ඇත. මෙයට අප රටේ පසුගිය කාලවල සිදුවූ “ජාතිවාදී ප්‍රහාර” මෙන්ම පකිස්ථානයේ සිදුවූ ප්‍රියන්ත කුමාර ඝාතන සිදුවීමත්, මියන්මාරයේ සිදුවූ රොහින්යා ජනයා ඝාතන සිදුවීමත්, ඉන්දියාවේ මනිපූර් හි සිදුවීමත්... සමීප නිදසුන් කිහිපයක් වේ.

ලෝකය තාක්ෂණය අතින් යෝධ පියවරයන් තබමින් ඉදිරියට ගොස් විශ්ව ගම්මානයක්, එකම ජාතියක් ලෙස විශ්වය ජයගන්නට පිඹූරුපත් සකසද්දී. ඉන්දියාව, ශ්‍රී ලංකාව... වැනි අප ජාතිවාදී ගෝත්‍රීය ගුණාංග සමාජය තුල වපුරමින් භේදබින්න වී මරාගන්නට පිඹුරුපත් සකසමින් සිටීම කොතරම් අවාසනාවක්ද?. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ රටේ කොඳුනාරැටිය වූ තරුණ ප්‍රජාව මෙහි පෙරමුණ ගෙන සිටීමයි. මෙය පසුගිය කාලවල අප රටේ සහ ඉන්දියාව, පකිස්ථානය, මියන්මාරය... වැනි රටවල ක්‍රියාත්මක වූ ජාතිවාදී ව්‍යාපාර හොදින් නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට පැහැදිලිව ම පෙනීයන සත්‍යයයි.

කාලය වෙනස් වෙමින් ඇත. එහි මිනිස්සුගේ ආහාර-පාන වෙනස් වෙමින් ඇත. ඇඳුම්-පැලදුම් වෙනස් වෙමින් ඇත. ගෙවල්-දොරවල් වෙනස් වෙමින් ඇත. යාන-වාහන වෙනස් වෙමින් ඇත. තාක්ෂණ උපකරණ සහ උපක්‍රම වෙනස් වෙමින් ඇත... නමුත් “සමාජීය සත්වයා” වූ මිනිසා තුල ගෝත්‍රවාදී මානසිකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවී ඇත. මනුෂ්‍යත්වය අගයන සහෝදරත්වයේ බැඳීම් වර්ධනය වී නොමැත. එදා එනම්, මීට වසර 30 කට පෙර අප අපගේම දමිල සහෝදරයා නිරුවත් කොට වධහිංසා කලාසේ. අදත් (ඉන්දියාවේ මනිපූර් හි) තම සහෝදරිය නිරුවත් කොට වධහිංසා කරමින් පහත් වින්ඳනයක් ලබමින් ඇත. මේ සියල්ල කියාපාන්නේ ගෝත්‍රීය සංකල්පයක් වූ “ජාතිවාදයේ” හැඩය කිසිදු වෙනසක් නොවී ඉදිරියටත් පවත්වාගෙන යන බව නොවේද?. එය බුද්ධිමත්ව තීරණය කිරීම ඔබට ම බාර කරමින් මෙම සටහනට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/2

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම