පරිසර සමතුලිතතාවය රැකීමේ අවශ්‍යතාවය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


නූතන විද්‍යාඥයින් සහ දාර්ශනිකයන්ට අනුව, මිනිසා විශ්වයේ ස්වභාවික සමතුලිතතාවයට බාධා කරන සහ තර්ජනය කරන ප්‍රධාන සාධකය ලෙස සැලකේ. මිනිසා පෘථිවි පරිසර පද්ධතීන්ට හිතාමතා හෝ නොදැනුවත්ව මැදිහත් වන්නේ එහි සමතුලිතතාවයට බාධා කරමිනි. ඔහුගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් ඔහු ඔහුට පමණක් නොව සමස්ථ මානව සංහතියටම සහ මිහිමත වෙසෙන සියළු ජීවී කොට්ඨාශයටම කොතරම් බරපතල විනාශකාරී ඉරණමක් උදා කොට තිබෙනවාද? යන්න ඔහු තවම තේරුම් ගෙන නොමැත. වර්ථමාන මිහිමත ඇති වාතය, ජලය, පස... ඇතුළු සමස්ථ පරිසර පද්ධතියම දූෂණය වීම පසු පස තිබෙන්නේ මිනිස් ක්‍රියාකාරකම්ය. පරිසර සමතුලිතතාවය සහ එහි ක්‍රියාකාරීත්වය පිලිබදව නිසි අධ්‍යනයකින් තොරව ස්වභාවික සම්පත් භාවිතා කිරීම, ගස් කොලන් ඇතුළු පරිසර පද්ධතිය පිලිබදව නිසි කියවීමක් නොමැතිව ඒවා විනාශ කරමින් ජනාවාස සහ කර්මාන්තශාලා ස්ථාපනය කිරීම වැනි හේතූන් නිසා සමස්ථ මිහිතලයම අද විනාශකාරී දිශාවකට යොමුව ඇත.

නූතන මිනිසා සාමාන්‍යයෙන් ස්වභාවික සම්පත් බහුලව පවතින පරිසරයකට සංකේන්ද්‍රණය වීමත්, ඉන්පසු එම පරිසර පද්ධතිය පිලිබදව කිසිදු තැකීමක් නොමැතිව නාගරීකරණය කිරීමත්, කාර්මාන්තශාලා ඉදි කරමින් එම පරිසර පද්ධතියේ සමතුලිතතාවය බිඳ දැමීමත් සුලබව දකින කාරණයකි. මෙවැනි ක්‍රියාකලාපයන් නිසා එහි ස්වභාවිකව පවතින පරිසර සමතුලිතතාවය බිඳී ගොස් කැළඹීම් ස්වභාවයන් ඇති වේ. මේ හේතුවෙන් වර්ථමාන මිහිතල ඉතා දරුණු ඛේදවාචකයකට මුහුණ දී පෘථිවි තලය අද ජීවී වාසයට නොසුදුසු මුඩු ග්‍රහ ලොවක් යන ඉරණමට ගොදුරු වෙමින් පවතී. මෙම අවාසනාවන්ත ඉරණම කියාපාන නූතන නිදසුන් කිහිපයක් මෙහි ඔබේ බුද්ධිමත් අවදානය පිණිස ගෙන එන්නේ නම්,

  •   වැසි වනාන්තර සහ ගස් කොලන් විනාශ කිරීම නිසා පරිසර උෂ්නත්වය ඉහල ගොස් කෘෂිකාර්මික නිෂ්පාදනයන් හි අඩුවීමක් දක්නට ඇත.
  • තණබිම් අධික ලෙස ඉවත් කිරීම පෘථිවියේ සශ්‍රීක බවට හානි සිදුවෙමින් ඇත.
  • මිනිස් අවශ්‍යතාවයට වඩා වැඩි ශක්තියක් භාවිතා කිරීම වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ නංවාලීමට හේතු වී ඇත.
  •  පුනර්ජනනීය නොවන සම්පත් වන තෙල්, ගල් අඟුරු සහ ස්වාභාවික වායු වැනි දෑ අධික ලෙස භාවිතා කිරීම නිසා වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් අඛණ්ඩව වැඩි වීමට හේතු වී ඇත.
  • ඉහළ උන්නතාංශවල පියාසර කරන ගුවන් යානාවලින් පිට වන දුම සහ නයිට්‍රජන් පොහොරවලින් පිටවන වායූන් සහ කර්මාන්තශාලාවලින් පිටවන වායුගෝලීය දූෂණය හේතුවෙන් ඕසෝන් ස්ථරය තවදුරටත් විනාශ වී සූර්‍යයාට අප සෘජුවම නිරාවරණය වෙමින් ඇත.
  • ඕසෝන් ස්ථරය විනාශ වීම නිසා පිළිකා කාරක කිරණ පෘථිවියට පතිත වෙමින් සහ පාරජම්බුල කිරණවලට ඔරොත්තු දිය හැකි කෘමීන් හැර අනෙකුත් බොහෝ ජීවීන් විනාශ වෙමින් ඇත.
  • වනානාතර විනාශය නිසා පස සේදී යෑම, පසේ සාරවත් කොටස් විනාශ වීම, වැසි ජලය තැන්පත් නොවීම, උෂ්ණත්වය උච්චාවචනය වීම, අධික හා දරුණු සුළං තත්වවයන්ඩා ඇතිවිම, නියඟය ගෝලීය වශයෙන් පැතිර යෑම වැනි තත්වයන් නිර්මාණය වෙමින් ඇත.
  • න්‍යෂ්ටික පිපිරුම්, විකිරණශීලී දූෂණය මගින් වාතයට මුදා හරින විෂ ද්‍රව්‍ය සහ ජලයට පොම්ප කරන අපද්‍රව්‍ය නිසා විශාල පරිසර විනාශයක් සිදුවෙමින් ඇත.
  • කෘෂිකාර්මික ක්ෂේත්‍රවල භාවිතා කරන පළිබෝධ නාශක හේතුවෙන් පරිසර හිතකාමී සත්වයන් රාශියක් විනාශ වෙමින් ඇත.
  • පළිබෝධනාශක සහ අනෙකුත් විෂ ද්‍රව්‍ය පරිසර පද්ධතිවලට බාධා කරන අතර වායුගෝලයේ, ජලයේ, පසේ සහ අභ්‍යවකාශයේ සියලුම ස්ථරවල විනාශකාරී ප්‍රතිවිපාක ඇති කොට ඇත.
  • වනාන්තර ඉවත් කිරීම නිසා කාන්තාර තත්වයන් වර්ධනය වෙමින් ලොව බොහෝ ශාක හා සතුන් විශේෂ වඳ වි ගොස් ඇත.
  • වායු, පස සහ ජලය විනාශ වීම නිසා සුවකල නොහැකි ලෙඩ රෝග රාශියක් ලොවපුරා ව්‍යාප්ත වෙමින් ඇත.
  • වායු, පස සහ ජලය දූෂණය වීම නිසා අංගවිකල් දරුඋපත් අනුපාතය ද ඉහල යමින් ඇත.

මේ ආකාරයට මිහිතලය මත දිනෙන් දින වර්ධනය වන භයානක ඉරණම හමුවේ ලෝකය සහ ලෝකයා බේරා ගැනීම පිණිස නූතන විද්වතුන් සහ විද්‍යාඥයින් විවිධ වූ ජාත්‍යන්තර නීති-රීති පනවමින් කිසියම් සාදණිය පියවරයන් ගන්නට උත්සාහ කරමින් ඇතත් සිදු වූ සහ සිදු වෙමින් පවතින විනාශය හමුවේ ඉහත එම පියවරයන් සහ නීති-රීති කිසිසේත් ප්‍රමාණවත් නොවේ යන්න මාගේ විශ්වාසයයි. මෙවන් තීරණාත්මක පසුබිමක විශේෂයෙන් පෘථිවි ජන ගහනයෙන් 23% ක් නියෝජනය කරන පාර්ශවය මුස්ලීම් ප්‍රජාව වන නිසාත්, පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දහම විසින්ම පන වන නීති හා නියෝග රාශියක් ඔවුන් කර මත පැටවෙන නිසාත් මෙම විෂය කාලීන මාතෘකාවක් ලෙස ගෙන “පරිසර සමතුලිතතාවය ආරක්ෂා කිරීම පිලිබදව ඉස්ලාම් දහමේ දැක්ම“ යන විෂය මෙම ලිපිය තුලින් ඉස්ලාම් දහමේ දෘෂ්ඨියෙන් මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

මෙම සාකච්චාව දිව්‍යමය වදනකින් ආරම්භ කරන්නේ නම්,

මෙලොව ජීවිතය පිළිබඳ කතාවෙන් ඔබව අන්ධ කළ හැකි ආකාරයේ මිනිසෙක් සිටී, ඔහු තම හෘදයාන්තරයෙහි (ඇති දේ) ගැන අල්ලාහ් සාක‍ෂි වශයෙන් තබයි. (එහෙත්) ඔහු සත්‍යයේ දරුණු සතුරකි. ඔහුට බලය ලැබුණු විට ඔහු මහපොළොවෙහි දුෂණය වැපිරීමටත් ශාක හා මිනිස් සංහතිය විනාශ කිරීමටත් සෑම උත්සාහයක්ම දරයි. එහෙත් (ඔහුගේ සාක‍ෂිය වශයෙන් ඉදිරිපත් කළ) අල්ලාහ් දුෂණය අප්‍රිය කරයි. අල්ලාහ්ට බියවනුයි ඔහුට කී විට ඔහුගේ පුහුමානය ඔහු පාපයෙහි ගිල්වයි. ඔහුට නිසි ස්ථානය අපායයි. එය නිසැකවම අයහපත් ස්ථානයකි.

අල්කුර්ආනය 2-204 සිට 206

මෙම දිව්‍ය වදන පහළ වීමට මූලික වූ සිදුවීමක් ඇත. එනම්, අල්අක්නාස් ඉබ්නු ෂුරික් නම් පුද්ගලයෙකු ඉස්ලාමය වැළඳ ගැනීම සඳහා මුහම්මද් (සල්) තුමාණන් වෙත පැමිණ දහම පිලිගෙන නැවත නබිතුමාණන් හමුවේ සිට පිටත්ව යන අතර තුර ඔහු ගමන් කල මාර්ගයේ තිබූ තණබිම් සහ සතුන් දැක එම තණබිම් ගිනි තබමින් හා ගවයන් මරා දමමින් ගමන් කලේය. මෙම අපරාධය මූලික කරගෙන ඉහත අවවාදාත්මක අල්කුර්ආන් වාක්‍ය පහල වූ බව ඉස්ලාම් දහමේ විද්වතුන්ගේ පිලිගැනීමයි. එනම්, ඉස්ලාමය වැළද ගන්නා බවට වූ දිවෙන් පවසන වදන යහමග වූවත්, ක්‍රියාවෙන් අයහපත් බවත්, ඔවුන්ගේ වදන් අවංක නොවන බවත්, ඔවුන්ගේ විශ්වාසය දුෂ්ට බවත්, ඔවුන්ගේ ක්‍රියා දුරාචාර බවත් ඉහත වාක්‍යෙයන් පැහැදිලිව පවසයි. තවත් සරලව පවසනවා නම්, ඉහත දිව්‍ය වදන මඟින්, දෙවියන්ව ප්‍රතික්ෂේප කරන්නන්, මහපොළොව මත අයුක්තිය ක්‍රියාත්මක කරන්නන් හා විශ්ව නීතිවලට පටහැනිව ක්‍රියා කරන්නන්, මිහිමත වෙසෙන දූෂිතයින් යන්න පැහැදිලිව පවසයි.

ඉහත සිදුවීම සහ එම සිදුවීම මූලික කරගෙන පහල වූ ඉහත දිව්‍ය වදන පෘථිවිය පුරා විසූ, වෙසෙන සහ අනාගතයේ වැසීමට නියමිත මිලියන සංඛ්‍යාත ජනතාව සදහා ම පහල වූ අවවාදයක් යන්න මූලික තේරුම් ගතයුතුය. මිනිස් වර්ගයාගේ යහ පැවැත්ම උදෙසා දෙවියන් විසින් ලබාදුන් සොබාදහම නම් දායාදය විකෘති කරමින් සහ විනාශ කරමින් දේව සැලැස්මට අභියෝග කරන ආකාරයට කටයුතු කරමින් ඇත. මහපොළොව පමණක් නොව අවට වායුගෝලය සහ අභ්‍යවකාශය ද ඔහු විසින් විනාශ කරමින් සහ දූෂිත කරමින් ඇත. යහගුණ වෙනුවට උඩඟුකම, ආත්මාර්තකාමීත්ව සහ ආක්‍රමණශීලීත්වය මානව වර්ගයා සමීප කරගෙන ඇත. මේ පිලිබදව සර්වබලධාරී අල්ලාහ් (දෙවි) තම දිව්‍ය පුස්තකයේ මෙසේ පවසයි.

මිනිසා තම දෑතික් සොයා ගත් (නපුරු) ක්‍රියාවන් හේතුවෙන් මුහුදෙහිද, ගොඩ බිමෙහිද විනාශයන් ඇති විය. (ඒවායෙන්) ඔවුන් ඈත් වනු පිණිස, ඔවුන්ගේ (නපුරු) ක්‍රියාවන්ගෙන් සමහරක් ඔවුන් (මෙලොවදීම) විඳින සේ ඔහු සලස්වන්නේය. 

අල්කුර්ආනය 2-204

ගොඩබිම් සහ මුහුදු විපත් ඇති වන්නේ මිනිසා ස්වභාවික නීතිවලට සහ පාරිසරික පද්ධතිවලට අනවශ්‍ය ලෙස බලපෑම් කිරීමේ ප්‍රතිපලයක් ලෙස බව ඉහත වාක්‍ය පවසයි. පරිසර ස්වභාවික සමතුලිතතාවය බිඳලන ආකාරයට කටයුතු කිරීම පරිසර දූෂණය සිදු වන ප්‍රධාන ආකාරයයි. මිහිතලය මත මානව වර්ගයා ස්ථාපනය කල අල්ලාහ් (දෙවි) “මිනිසා මෙම වාසස්ථානය ආරක්ෂා කළ යුතුයි“ යන නියෝගය ද පැනවුයේය. මිහිමත මිනිස් වාසයට සුදුසු සියල්ල ඉතා සියුම් ලෙස සැලසුම් කොට එය භුක්ති විඳීම සදහා මානව වර්ගයා මෙහි පහල කලේ ඔහුය. එහි කොතැනකවත් මේ මිහිතලයට විපත් කිරීමට ඉස්ලාම් දහම අණ නොකලේය. එසේ අණ නොකලා පමණක් නොව මිහිමත ස්වාභාවික සමතුලිතතාවයට බාධා කිරීම, භූමික සමතුලිතතාවයට බාධා කිරීම හෝ අයුක්තිය ඇති කිරීමට සිතන ඕනෑම කෙනෙකුව දෙවියන් මෙසේ ආමන්ත්‍රණය ද කලේය.

"භූමියෙහි ඔබ අපරාධ කිරීමට කැමති නොවනු! මන්දයත් අපරාධකාරයින්ව නියත වශයෙන්ම අල්ලාහ් කැමති වන්නේ නැත”

අල්කුර්ආනය 28-77

ඉස්ලාම් දහමේ ඉහත ඉගෙන්වීමන් අනුව ස්වභාවධර්මය සහ විශ්වීය වස්තූන් හි පැවැත්ම හා ආරක්ෂාව පිලිබදව කොතරම් සැලකිල්ලෙන් හා උනන්දුවෙන් කටයුතු කලයුතුද? යන්නත්, එසේ කටයුතු නොකිරීම කොතරම් දරුණු අපරාධයක්, පාපයක්, දූෂිත ක්‍රියාවක් වනවා ද යන්නත් පැහැදිලි වේ. එය වර්ථමානයේ පුහු හිරු, ගස්, ගල්... වැනි වස්තූන් දේවත්වයෙන් නැමදුම් කරන මිත්‍යා ඇදහිලි හා විශ්වාසයන්ට එහා ගිය යුතුකමක් හා ගෞරව කිරීමක් ද යන්න බුද්ධිමත් කිසිවකුටත් අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. ඒ අනුව අපෙත්, අපගේ මතු පරම්පාවෙත් නිරෝගි යහ පැවැත්ම උදෙසා මෙම මිහිතලය ආරක්ෂා කර ගැනීමටත්, පරිසර සමතුලිතතාවය නැවත ස්ථාපනය කිරීමටත් තනිපුද්ලග, පවුල්, සමාජීය හා රටක් වශයෙන් සාදණීය පියවරයන් ගැනීමට අප සියළුදෙනාට නුවණැස පෑදේවා!, යන ප්‍රාර්ථනයෙන් සහ මෙහි සාකච්චා කල කරුණු ඔබේ ඔබේ බුද්ධිමත් අවදානයට යොමු වේවා! යන පැතුමින් මෙම සටහනට විරාමය තබමි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/03/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම