ආහාර හිඟය හා අතිරික්තය කළමනාකරණයට මඟපෙන්වීම්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ආහාර අර්බුදය වත්මන් ලෝකය තුල උණූසුම් මාතෘකාවකි. එනම්, ලොව වෙසෙන ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකට තමන්ට අවශ්‍ය අවම ආහාර වේල නොලැබීමත්, එසේ ආහාර වේලක් ලබාගත්තද ඒ සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබීමත්, ලබාගන්නා ආහාර වර්ග ගුණයෙන් හා ප්‍රමිතියෙන් පහල මට්ටමක පැවතීමත්, ලොව එක් පැත්තක දැවැන්ත ආහාර අතිරික්තයක් ඇති වී නාස්තියක් සිදු වෙද්දි තවත් පැත්තක බඩගින්න නිසා මියයන පිරිස දවසින් දවස වැඩි වීමත්... මෙම අර්බුදය තුල පවතින ප්‍රධාන ගැටළු කිහිපයකි. මිහිමත වෙසෙන බහුතර පිරිසක් අඩු වැඩි වශයෙන් අත්විඳින මෙම අර්බුදයේ පවතින භයානකත්වය කොතරම්ද? යන්න කියාපාන සංඛ්‍යාලේඛන දත්ත කිහිපයකින් මෙම සාකච්චාව ආරම්භ කරන්නේ නම්,

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හි සංඛ්‍යාලේඛන දත්ත

  • අවම ආහාර වේල නොලැබීම (බඩගින්න) සහ ලැබෙන ආහාර වේල නිසි පෝෂණයෙන් යුතු නොවීම නිසා ලොව තුල අවුරුද්දකට මියයන වයස අවුරුදු 5 ට අඩු දරුවන් ගණන 3,100,000 කි.
  • එනම්, තත්පර 10 කට එක් දරුවෙක් ලොව කොතැනක හෝ බඩගින්න නිසා මිය යයි.
  • එසේම ලොව තුල වසරකට සිදුවන දරුවන්ගේ මරණවලින් 50% කට හේතුව මන්දපෝෂණයයි.
  •  එසේම ගෝලීය වශයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන සමස්ථ ගණන 822,000,000 කි.

ඉහත දත්ත බුද්ධිමත්ව විශ්ලේෂණය කරන්නේ මෙම ආහාර අර්බුදය මේ වනවිට ලොව තුල කොතරම් දරුණූ තැනක පවතිනවාද? යන්න ඔබට අවබෝධ වනු ඇත. මේ පිලිබදව වැඩිදුර කියවීම සදහා මෙම විෂය පිලිබදව යහමග අඩවිය තුල මීට ඉහත සාකච්චා කල පහත ලිපි එනම්,

ආහාර අර්බුදය පිලිබදව යහමග සාකච්චා

යන ලිපි ඔබේ විමසුමට තබමින් මෙම ලිපිය තුලින් “ආහාර අර්බුදය සහ අතිරික්ත ආහාර කළමණාකරණය පිණිස ඉස්ලාම් දහමේ මඟපෙන්වීම“ යන විෂය මෙතැන් සිට සාකච්චා කිරීමට අදහස් කරමි.

ලොව තුල ආහාර අර්බුදයක් තිබේද? අතිරික්තයක් තිබේද?

මෙම සාකච්චාව තුල මුලින්ම විසඳා ගතයුතු පැනය වන්නේ සැබෑවටම ලොව තුල ආහාර හිඟයක් පවතිනවාද? නොඑසේ නම් ආහාර අතිරික්තයක් පවතිනවාද? යන්නයි. මා එසේ පැවසීමට හේතුව සැබෑවටම ලොවපුරා ආහාර හිඟයක් පවතී නම්, මෙම අර්බුදයට විසඳුම් සෙවීම ඉතා සංකීර්ණ කාරණයක් වන නමුත් එවැනි හිඟයක් නොමැති නම්, පවතින ආහාර විදිමත්ව කළමණාකරනය කරගැනීම යන සරල පියවරකින් මෙම අර්බුදය විසදාලිය හැකි බැවිණි. ඒ අනුව සැබෑවටම ලොව තුල ආහාර අර්බුදයක් තිබේද? අතිරික්තයක් තිබේද? යන්න දැන් විමසා බලමු.

මෙම තත්වයත් මා ඉහත කී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය - FAO 2023 දත්ත පදනම් කරගෙන විමසා බලන්නේ නම්,

  •  “එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන“ පෙන්වාදෙන ආකාරයට 2023 දී ලෝක සමස්ථ ආහාර නාස්තිය ටොන් මිලියන 1.3 කි. (එනම්, කි‍ලෝග්රූම් 1,300,000,000 kg පමණ වේ.)
  • මෙය සමස්ථ ලෝක ආහාර නිෂ්පාදනයෙන් 1/3 ක් පමණ වන බව පැවසේ.
  • එසේ නාස්ති වූ ආහාරවල මූල්‍යමය වටිනාකම දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් (එනම් ඩොලර් 1,000,000,000,000.00 ක්) පමණ බව පැවසේ.
  •  මෙසේ නාස්ති වන ආහාර වෙන්වෙන් වශයෙන් ගොනු කොට බලන්නේ නම්,
    • ලොව සමස්ථ එළවළු සහ පළතුරු නිෂ්පාදනයෙන් 45% ක් නාස්ති වේ.
    • ලොව සමස්ථ මත්ස්‍ය සහ මුහුදු ආහාර නිෂ්පාදනයෙන් 35% ක් නාස්ති වේ.
    • ලොව සමස්ථ ධාන්‍ය නිෂ්පාදනයෙන් 30% ක් නාස්ති වේ.
    • ලොව සමස්ථ කිරි ආශ්‍රිත නිෂ්පාදනවලින් 20% ක් නාස්ති වේ.
    • ලොව සමස්ථ මාංශ ආශ්‍රිත නිෂ්පාදනවලින් 20% ක් නාස්ති වේ.

ආහාර නාස්තියේ අපේ රටත් ජාත්‍යන්තරයට දෙවැනි නොවේ

මේ අනුව ලොව පවතින ආහාර අර්බුදය ස්වභාවික තත්වයක් නොව මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රථිපලයක් යන්න දැන් ඔබට පැහැදිලි වියයුතුය. මෙම තත්වය ජාත්‍යන්තරය තුල පමණක් නොව ශ්‍රී ලංකාව තුල ද දක්නට ඇත. ඒ සදහා නිදසුන් කිහිපයක් මෙහි පහතින් ඉදිරිපත් කරන්නේ නම්,



අප රටේ ආහාර වේලක් නොමැතිව දුක්විඳින පිරිස් ඕනෑ තරම් ඇත. නමුත් එළවළු, පළතුරු භාවිතයට නොගෙන අතිරික්තයක් ලෙස ඉහත ආකාරයට විනාශ කිරීමත් ජාත්‍යන්තරයට නොදෙවැනිව අප රට තුලත් දක්නට ඇත. එසේනම්, මෙම අර්බුදකාරී තත්වයෙන් ලෝකය මුදවා ගැනීමට ඇති මඟ කුමක්ද?. ඒ පිලිබදව විමසා බලන විට ඉස්ලාම් දහම අල්කුර්ආනය තුලින් යෝජනා කරන අලංකාර මඟපෙන්වීමක් දැකගත හැක. එම මඟපෙන්වීම පිලිබදවයි මෙතැන් සිට විමසා බලන්නේ. එනම්,

ඉස්ලාමීය දිව්‍යමය මඟපෙන්වීම

ඔහු(අල්ලාහ්)මය පන්දලම් සහිත වූත් පන්දලම් රහිත වූත් උයන්ද ඉඳිගස්ද එහි රසයෙන් විවිධාකාර ඵලදාව දෙන ගොවිතැනද (පෙනුමට) එක සමානවද (රසයෙන්) අසමානවද ඔලිව් (රට වෙරළු) හා දෙළුම්ද නිර්මාණය කළේ. ඵල දරන විට එහි ඵලයෙන් අනුභව කරනු. එය (ඵල) නෙළන දින ඔහුගේ (අල්ලාහ් වෙනුවෙන් දිය යුතු) කොටස දෙනු. නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්ති කරන්නන් ප්‍රිය නොකරන්නේය.

අල්කුර්ආනය 6-141

ඉහත වාක්‍යය තුල අල්ලාහ් (දෙවි) ප්‍රධාන කාරණා තුනක් මිනිස් සමාජයට අවදාරණය කරයි. එනම්,

  • මේ මිහිතලය මත විවිධ වූ හා අසීමිත වු රසයන්ගෙන් ලබාදී ඇති ඵලයන් භුක්ති විඳින ලෙසත්,
  • ඵල නෙලන සමයේ දුප්පතුන් සදහා බෙදාදිය යුතු (“සදකා“ සහ “සzකාත්“) කොටස නිසිලෙස බෙදාදෙන ලෙසත්,
  • නෙලන ඵලය නාස්ති නොකරන ලෙසත්.

මෙහි මුලින්ම කිවයුතු කාරණය නම්, ඉහත දිව්‍ය වදන ලොව සමස්ථ ජනගහනයෙන් 23% ක් වූ මුස්ලීම් සමාජයට දෙවියන් පන වන නීතියක්, නියෝගයක් හා අවවාදයක් යන්නයි. එම කාරණය මනසේ හොදින් රඳවාගෙන ඉහත වාක්‍ය වෙත දැන් අවදානය යොමු කලේනම්,

ලොව අනිකුත් ආගමික ඉගෙන්වීමන් සේ ඉස්ලාම් ආගම ද ලෞකික සැප සම්පත් භුක්ති විඳිම සීමා කරන දහමක් නොවේ. දිව්‍ය පුස්තකය වන අල්කුර්ආනයේ බොහෝ තැන්වල ධනය රුස්කිරීම, ආහාර පාන භුක්තිවිඳීම, මිහිමත චාරිකා කිරීම... වැනි අංගයන් උනන්දු කරන ආකාරය දැකගත හැක වේ. (මේ පිලිබදව වැඩිදුර කරුණු මෙම යහමග අඩවිය තුල “ලෞකික දිවිය හා ලෝකෝත්තර විමුක්තිය“ යන ලිපිය තුලින් ද දීර්ඝ ලෙස කියවීමට පුළුවන.) ඉහත 6-141 වාක්‍යය ද ලෞකික සැප සම්පත් භුක්ති විඳිම උනන්දු කරන තවත් වාක්‍යයකි. මෙසේ ලෞකික සැප සම්පත් භුක්ති විඳින අතර තුර දුප්පතුන් සදහා වූ කොටස බෙදාදීමට අන කිරීම තුල අල්කුර්ආනය කොතරම් “මානවහිතවාදී“ ද යන්න පමණක් නොව ආහාර අතිරික්තය වැළකෙන මඟපෙන්වීමක්ද යෝජනා කරයි. ඉහත වාක්‍යය තුල ඔබේ විශේෂ අවදානය යොමු වියයුතු වැදගත් කාරණයක් ද මෙතැනදී මතු කොට පෙන්වීමට අදහස් කරමි. එනම්, “සදකා“ සහ “සzකාත්“ ලෙස දුප්පතුන්ගේ කොටස බෙදාදිමේදී එය ඵල නෙලන මොහොතේම ඉටු කලයුතු කාර්‍යයක් මිස ඉතිරි වූ අතිරික්තකය බෙදාදීමක් නොවිය යුතු යන්නයි. මෙය ඉහත වාක්‍ය තුල අල්ලාහ් (දෙවි) පැහැදිලිවම ...(ඵල) නෙළන දින...]] යනුවෙන් අවවාද කිරීම තුල පැහැදිලි වේ.

එපමණක් නොව ඉහත 6-141 වාක්‍ය තවදුරටත් ගැඹූරින් විමසා බලන්නේ නම්, එහි ආහාර පරිභෝජන රටාවන් පිලිබදව ද මඟපෙන්වීමක් කරන ආකාරය දැකගත හැක. ස්වභාවිකව ඇති වන පළතුරු වාරයන් මූලික කරගෙන ආහාර පරිභෝජන රටාවන් පවත්වාගෙන යන ලෙස එනම්, ...ඵල දරන විට එහි ඵලයෙන් අනුභව කරනු... යනුවෙන් අවවාද කරන ආකාරයක් එහි දැකගත හැක. අල්කුර්ආනය පවසන මෙම අවවාදය පිලිපදින විට ආහාර අතිරික්තයන් ඇතිවීම හා නාස්තිය සිදුවීම අවම වේ. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, එක් එක් කාලවල එම කාලයට ආවේනික පළතුරු වර්ග ඇති වීම අප දකින්නෙමු. උදාහර්ණයකට අඹ වාර, දූරියන් වාර, මැංගුස් වාර, රඹුටන් වාර, කැකිරි වාර... එවැනි කිහිපයකි. මෙම එක් එක් පළතුරු වාර වල හටගන්නා පළතුරු එම කාලවල ආහාරයට ගැනීම ද ශරීරයට ද හිතකරය. නිදසුනක් ලෙස උෂ්ණ අධික කාලවල හැදෙන කැකිරි, පැණිකොමඩු... වැනි පළතුරු සේම, (සමාජ ව්‍යවහාරයේ) ඌෂ්ණ පළතුරක් වන “දූරියන්“ හැදෙන කාලෙට (සමාජ ව්‍යවහාරයේ) සීතල පළතුරක් වන “මැංගුස්“ පළතුරු හැදේ. මේ තුලින් සමතුලිතතාවය කොතරම් නිවැරදිව ආරක්ෂා කරනවාද? යන්න ඔබ මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න. මේ ආකාරයට ඒ ඒ වාරයන්ට අදාල පළතුරු පරිභෝජනයට මිනිස් සමාජය හැඩගැසීම තුල ආහාර අතිරික්තයන් අවම වනවා සේම ගෝලිය වශයෙන් ආහාර අර්බුදයන් ඇතිවීම ද වැළකෙනවා නොවේද?. නිදසුනක් ලෙස අප රටේ අඹ, පැණි දොඩම්, රඹුටන්, දූරියන්... වැනි පළතුරු වාරය ක්‍රියාත්මක වනවිට පිටරටින් ඇපල්, මිඳි, දොඩම්... වැනි පළතුරු මහා පරිමාණයෙන් ආනයනය කිරීම පාලනය කල හැක. එවිට රට තුල නැවුම් පලතුරු පරිභෝජනය සිදුවන අතර අතිරික්ත හා නාස්තිකාර තත්වයන් නිර්මාණය වීම ද වැළකේ. එය රටේ පරිසරය අපද්‍රව්‍ය තත්වය පාලනය වීමට ද හේතුවේ. මේ අනුව ඉහත 6-141 දිව්‍ය වදන තුල ආහාර අර්බුදය මඟහරින්නේ කෙසේද? යන්නත්, ආහාර අතිරික්තය කළමණාකරනය කරගන්නේ කෙසේද? යන්නත් පැහැදිලි වේ.

අල්කුර්ආනය 6-141 වාක්‍ය පවසන ආකාරයට මේ සමාජය කටයුතු කරන්නේ නම්, මේ මිහිතලය මත සෑම දිනකම කුසගින්නෙන් මියැදෙන දහස් සංඛ්‍යාත මිනිස් ජීවිත ආරක්ෂා වනු ඇත. එසේම පරිසරයට මහා විනාශයක් ගෙන දෙන අතිරික්ත ආහාර අපද්‍රව්‍ය පරිසරයට එකතුවීම ද අඩු වනු ඇත. මේ තුලින් ලෝකයත් ලෝකයාත් සුවපත් වනු ඇත. මෙම සත්‍යය අවබෝධ කරගන්න තරම් විවෘත පැහැදිලි මනසක් හා නුවණක් මිහිමත වෙසෙන සියළු පාර්ශවයන්ට පහල වේවා! යන පැතුමින් මෙම සටහනට විරාමය තබමි.




සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/03/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම