සෙනසුරු මාරුව හා ජ්‍යෝතිෂය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනවල සිදුවුවා යයි පැවසෙන සෙනසුරු මාරුවත් සමඟ අපේ රට තුල එය උණූසුම් මාතෘකාවක් බවටත්, පුවත්පත්වල විවිධ වූ පුවත් මවන කාරණයක් බවටත් පත්ව ඇත. මේ සෙනසුරු මාරුවත් සමඟ අප සමාජය තුල පැතිරුණු අනාවැකි හා ඒ ඔස්සේ ගොඩනැඟුණූ කටකථා සුළුපටු නොවේ. එම අනාවැකි සමහරක් ලෝක විනාශය ප්‍රකාශ කිරීම තරම් ප්‍රබල විය. තවත් සමහරක් අනාවැකි සෙනසුරු මාරුවක් නොවුවත් සමාජය පිලිබදව හා ලෝක දේශපාලනය පිලිබදව දළ අවබෝධයක් ඇති කෙනෙකුට පවා පැවසිය හැකි තරම් සරල ඒවා විය. එවැනි අනාවැකි කිහිපයක් අප රටේ එක්තරා පුවත්පතක් ඉදිරිපත් කොට තිබුණේ පහත ආකාරයටය. එනම්,

“…මැති සබයේ දැන් පවතින ශක්‌තිය විශාල වශයෙන් දුර්වල වී නිසි කලට පළමු මැතිවරණයක්‌ ඇතිවේ. ශනි තුලාවේ ගමන්ගන්නා 2011 නොවැම්බර් 2014 නොවැම්බර් අතර කාලය පෙරළිකාර යුගයක්‌ වනවා ඇත…මේෂ ලග්න ලෝකායතන කේන්ද්‍රයේ සත්වැන්නට ශනි පැමිණ නීච මේෂ රාශිය දකී. මැදපෙරදිග ගිනි ජාලයට තෙල් වත් කරන යුගයක්‌ උදාවේ. බටහිර රටවල උපාය මාර්ග තමන්ටම පාරාවළලු බවට පත්වන වකවානුවකි. ඇමරිකා, ප්‍රංශ ජනාධිපතිවරු එළියට වීසිවන වකවානුවකි. රුසියාව, චීනය එකමුතුව කටයුතු කරන ශක්‌තියක්‌ ඇතිවේ. එ.ජා. සංවිධානය නොසලකාහරින තත්ත්වයකට පත්වේ. ස්‌වභාවධර්මය බිලියන හත ආපස්‌සට ගන්නා ක්‍රියාදාමවලට යොමුවේ. අමුතුම මාදිලියේ බෝවන රෝග ඇතිවේ. භූ චලන, ගිනිකඳු පිපිරීම්, මුහුද ගොඩ ගැලීම් බහුල වේවි. ඉන්දුනීසියාව, මෙක්‌සිකෝව විශාල ස්‌වාභාවික විපත්වලට ගොදුරුවේ…”

මෙවනු වූ අනාවැකි හමුවේ සමහරක් ජනතාව භීතියට පත්ව ඇති අතර තවත් සමහරක් පිරිසකට එය විනෝදජනක මෙන්ම හාස්‍ය ජනක මාතෘකාවක් වී ඇත. කෙසේ වෙතත් මෙම විෂය පිලිබදව යහමඟ හි ස්ථාවරය කුමක්ද? යන්න මීට ඉහත “ජ්‍යෝතිෂය පිලිබදව බුද්ධිමත් විමසුමක්” යන මාතෘකාව ඔස්සේ මේ විෂය පිලිබදව ඉස්ලාමීය දැක්ම ද පැහැදිලි කරමින් දීර්ඝ ලෙස සාකච්චා කරන ලදී. එම ලිපිය නැවතත් පාඨක ඔබේ අවධානයට යොමු කරමින් පසුගිය දිනක “දිවයින” පුවත්පතෙහි පලවූ ලිපියක් ඔබගේ අවධානයට යොමු කරන්නේ “සෙනසුරු මාරුවේ සැබෑ ස්වරූපය” නිවරැදිව හදුනාගැනීම පිණිසය.

(උපුටා ගැනීම ආරම්භය)


සෙනසුරු මාරුව අද ගුප්ත විද්‍යාත්මක සෙනසුරු සහ නවීන විද්‍යාත්මක සෙනසුරු සෙනසුරු ඇත්තටම මාරු වෙන්නේ කවදාද?

රෝමන් දේවකතාවල හැටියට අඟහරු යනු කෘෂිකර්මයට අධිපති දෙවියා ය. මේ අතර ග්‍රීක දේව කතාවල අඟහරුගේ තැන හිමි වන්නේ ක්‍රෝනස්‌ නමැති දෙවි කෙනකුටය. ක්‍රෝනස්‌ දෙවියාගේ පියා යුරේනස්‌ ය. ක්‍රෝනස්‌ගේ පුතා බ්‍රහස්‌පති ය. මේ අනුව බ්‍රහස්‌පතිගේ සීයා යුරේනස්‌ය.

මෙය සිදු විය හැක්‌කේද? භෞතික විද්‍යාවට අනුවත් බුදුන් වහන්සේ විසින් දේශනා කළ සප්ත සූර්යෝදගමන සූත්‍රයට අනුවත් (මෙය මහායාන සූත්‍රයකි. නම අසා ඇති මුත් වැඩි දෙනාවිසින් කියවා නැති සූත්‍රයකි). සමස්‌ත සෞරග්‍රහමණ්‌ඩලයම බිහිවූයේ එකවිට ය. එබැවින් මුලින් යුරේනස්‌ හැදී පසුව ඔහු කසාද බැඳ, ක්‍රෝනස්‌ ඉපදී, ඔහුද කසාද බැඳ බ්‍රහස්‌පති හට ගැනීමට ඉඩක්‌ නැත.

අද තුලා රාශියට මාරුවන සෙනසුරු ග්‍රහයා පිළිබඳ අපට කතා කරන්නට සිදුව ඇත්තේ ග්‍රීක හා රෝම මිත්‍යා කතා භෞතික විද්‍යාව සහ ගුප්ත විද්‍යාව අතර සිටිමින්ය. ගුප්ත විද්‍යාව විඥනවාදී බැවින් භෞතික විද්‍යාඥයන් එය පිළිගන්නේa නැත. එසේම, නවීන විද්‍යාවෙන් හැම දෙයක්‌ම නිර්වචනය කළ නොහැක යන මතය අන් කවර කාලයකටත් වඩා අද ඉස්‌මතුව පවතින හෙයින් ගුප්ත විද්‍යාඥයන් නවීන විද්‍යාව පිළිගන්නේද නැත. කෙසේ වුවද මෙයට කලකට පෙර විද්‍යාඥයන්ගේ ගැරහිල්ලට ලක්‌වූ චිත්ත තරංගවල ශක්‌තිය අද වනවිට නූතන විද්‍යාව විසින් ද පිළිගනු ලැබ ඇත. මේ වූ කලී සමහර භෞතික විද්‍යාත්මක න්‍යාය සුනු විසුණු වී අලුත් න්‍යාය එළියට එන යුගයකි. ආලෝකය කිසිදු බලවේගයක්‌ හමුවේ නොනැවී සරළ රේඛාවක්‌ ලෙස ගමන් කරන බව කලකට පෙර තිබූ විද්‍යාත්මක පිළිගැනීම ය. අද වනවිට සොයාගෙන ඇත්තේ විශ්වයේ ඇති කලු කුහර නමැති අධි ගුරුත්ව කේන්ද්‍ර අසලින් ගමන් කරන විට ආලෝකය ද නැවෙන බවය.

කෙසේ වුවද පූර්ව ඓතිහාසික යුගයේ සිට සෙනසුරු ග්‍රහයාට පිළිගැනීමක්‌ තිබිණ. 1610 දී මෙය දුරදක්‌නයක්‌ තුළින් මුලින්ම දුටුවේ ගැලීලියෝ ය. හරි මැදින් ගිය වළලු කිහිපයක්‌ සහිත තැටියක්‌ වැනි සෙනසුරු දුටු ගැලීලියෝ අන්ද මන්ද වී දුරදක්‌නය පැත්තකින් තබා බොහෝ වේලාවක්‌ කල්පනා කළ බව කියනු ලැබේ. ග්‍රහ, තරු ගැන උනන්දුවක්‌ දැක්‌වූ ගැලීලියෝගේ සමකාලීනයන් විශ්වාස කළේ වසර කිහිපයකට වරක්‌ සෙනසුරුගේ වළලු අතරින් පෘථිවිය රිංගා යන බව ය. 1659 දී මේ වළලුවල ජ්‍යාමිතික ස්‌වභාවයක්‌ හෙවත් හැඩයක්‌ ඇති බව ක්‍රිස්‌ටියාන් හියුජනස්‌ නමැත්තා කීවේය. 1977 වනතුරුත් මෙබඳු වළලුවලින් සමන්විත එකම ග්‍රහ වස්‌තුව අඟහරු බව පෘථිවි වාසීන්ගේ විශ්වාසය විය. එහෙත් එම වසරේදී යුරේනස්‌ ග්‍රහයා හෙවත් බ්‍රහස්‌පතියාගේ ග්‍රීක පියාට ද, බ්‍රහස්‌පතින්ට ද, නැප්චුන් ග්‍රහයාටද මෙවැනි වළලු ඇති බව සොයා ගනු ලැබීය.

මේ අතර නවීන විද්‍යාව තව තවත් දියුණු වී මිනිසා ද හඳට ගොස්‌ ආපසු ඒමෙන් පසුව සෙනසුරු අසලට යානයක්‌ යෑවීමට ඇමරිකාවේ නාසා ආයතනයට සිත් විය. මේ අනුව පයනියර් 1979 දී අඟහරු බලා ගමන් ඇරඹීය. එය පසුපසින් අනුපිළිවෙළින් වොයෝජර් 1 සහ වොයේජර් 2 යන අභ්‍යවකාශ යානා ද සෙනසුරු වෙත ගියේය. වසර 2004 කැසිනි යානය සෙනසුරු අසළටම ගියේය. එය වසර 2008 දක්‌වා සෙනසුරු වටා භ්‍රමණය වෙමින් පෘථිවියට තොරතුරු එව්වේය.

සාමාන්‍ය දුරේක්‍ෂයක්‌ මගින් නරඹන කල සෙනසුරු පෙනෙන්නේ පැතලි ටින් පියනක්‌ ලෙසය. එය ඉතා වේගයෙන් කැරකෙන ද්‍රව තත්ත්වයේ වායු සහිත ග්‍රහයෙකිs. එය ඝනත්වයෙන් ඉතාම අඩු ග්‍රහයාය. එහි විශිෂ්ට ගුරුත්වය 0.7 කි. එනම් ජලයේ විශිෂ්ට ගුරුත්වයටත් අඩු ප්‍රමාණයකි.

බ්‍රහස්‌පති මෙන්ම සෙනසුරු ද 75% හයිඩ්‍රජන් වායුවෙන් ද, 25% හීලියම් වායුවෙන් ද නිර්මිතය. මේ වායුවල ජල අංශු, මීතේන් වායුව, ඇමෝනියා වායුව සහ පාෂාණ කැබලිවලින් සමන්විතය. අපේ සෞරග්‍රහ මණ්‌ඩලය නිර්මාණය වීමට මුල්වූ සූර්ය නෙබියුලාව (නිසිහාරිකාව) හැදී තිබුණේ ද පෙර කී වායු වර්ගවලින් ය.

සෙනසුරුගේ අභ්‍යන්තරය බ්‍රහස්‌පතිගේ අභ්‍යන්තරය මෙන් පාෂාණ ගුලියකින්ද, ද්‍රව ලෝහයක ස්‌වරූපයෙන් පවත්නා හයිඩ්‍රජන් පිට පොත්තකින්ද, ඒ පිටපොත්ත වටා බැඳුණු තවත් හයිඩ්‍රජන් අනු පිට පොත්තකින්ද සමන්විතය. ඒ අතර විවිධාකාර අයිස්‌ අංශු ද එහි ඇත. පාෂාණමය අභ්‍යන්තරය ඉතා උණුසුම්ය. එනම්. නිරපේක්‍ෂ තාපය මනින ඒකය වූ කෙල්වින් අංශක 12000 ක උණුසුමක්‌ එහි ඇත. මේ ග්‍රහලෝකයේ ඇති විශේෂිතම ලක්‍ෂණය වන්නේ එය සූර්යයාගෙන් ලබා ගන්නා ශක්‌තිය මෙන් කිහිප ගුණයක ශක්‌ති කදම්භයක්‌ අභ්‍යවකාශයට විසුරුවා හැරීමය. සෙනසුරු බලසම්පන්න ග්‍රහයකු බව ජ්‍යෝතිෂයේදී කියෑවෙන්නේ ඒ නිසා විය යුතුය. එහෙත් මෑතකදී සොයාගත් මේ දත්ත වසර දහස්‌ ගණනකට පෙර බිහි වූ ජ්‍යෙතිෂ විද්‍යාවේ දැනුම් කෝෂයට එකතු වූයේ කෙසේද? (බ්‍රහස්‌පති ග්‍රහයා ක්‍රියා කරන්නේත් මේ ආකාරයටමය.) සෙනසුරු ඉතා දීප්තිමත් ග්‍රහයෙකි. එයට හේතුවද මේ ශක්‌තිය මුදාහැරීමේ ක්‍රියාවලිය විය යුතුය. එම ග්‍රහලෝකය හීලියම් වායුව වර්ෂාවක්‌ ලෙස මුදා හරී. එවිට එහි දීප්තිය වැඩිවෙයි. සෙනසුරු වටා වළලු 6 ක්‌ තිබේ. මේ වළලු 6 වෙන වෙනම අඟහරු වටා භ්‍රමණය වෙයි. වළලු සෑදී ඇත්තේ විවිධ ද්‍රව්‍යවලිනි. සමහර ද්‍රව්‍ය සෙන්ටිමීටරයක ඝනකමකින් යුතුය. සමහර ද්‍රව්‍ය කිලෝ මීටර කිහිපයක්‌ විශාලය. මේ හැම වළල්ලක්‌ම කිලෝ මීටර එකකට වඩා ඝනකමින් අඩුය. මේවාද සැදී ඇත්තේ අයිස්‌ සහ පාෂාණ වර්ගවලිනි. මේ වළලු කෙසේ සෑදෙන්නේ ද යන්න අභිරහසකි. වසර 2010 වනවිට සොයාගෙන තිබූ පරිදි සෙනසුරු වටා චන්ද්‍රයන් 53 ක්‌ සිටිති.

බටහිර ලෝකයේ සහ ඉන්දියාවේ තිරුකාන්තියම් ලිතට අනුව පිළිගැණෙන ජ්‍යෝතිෂ විධිවලට අනුව සෙනසුරු ග්‍රහයා අද (15) තුලා රාශියට ගමන් කරයි. එතැනදී සෙනසුරු ඉතා බලගතු වෙය. ඔහු කිසිදු ගුරු මුෂ්ටියක්‌ තබා නොගෙන මිනිසුන්ට ශාස්‌ත්‍රය කියා දෙයි. එසේම මිනිසුන්ට උපරිම උපකාර කරයි. තුලා යනු සාධාරණ රාශියක්‌ බව බටහිර ගුප්ත විද්‍යාවේ මතයයි. ඒ අනුව සෙනසුරු තමන් සතු සියලු හොඳ දේ සමානව කිරා මැන මිනිසුන්ට දෙයි. සාමාන්‍යයෙන් සෙනසුරු එක්‌ රාශියක සිටින්නේ වසර දෙකහමාරකි. එහෙත් මෙවර වසර 03 ක්‌ හෙවත් 2014 නොවැම්බර් 14 වැනිදා වනතුරු තුලා රාශියෙහි සිටින බව බටහිර ගුප්ත විද්‍යාඥයන්ගේ අදහසයි. මේ අමතර හය මාසය ඉතා වටිනා දේවල් ජනයාට ලැබෙන කාලයක්‌ ලෙස ඔවුහු හඳුන්වති.

තිරුකාන්තියම් නමැති ඉන්දියානු ලිත ආශ්‍රයෙන් පලාපල කියන ජ්‍යෙතිෂවේදීන් හෙට (15) වනදා සෙනසුරු මාරුව සිදුවන බව කිසිවත් දකුණු ඉන්දියාවේ වාක්‍යම් ලිත ඔස්‌සේ හඳහන් බලන විද්වතුන් කියන්නේ සෙනසුරු මාරුව දෙසැම්බර් 21 වැනිදා සිදුවන බවය. මේ අනුව 15 වැනිදායින් පසුවත් කරදර නිම නොවූ අයට දෙසැම්බර් 21 වැනිදා ගැන බලාපොරොත්තු තබාගත හැකිය.


(උපුටා ගැනීම අවසන්)

උපුටා ගැනීම – 2011/11/15 දිවයින පුවත

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/15

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම