ජ්‍යෝතිෂය පිලිබදව බුද්ධිමත් විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අද යහමග අඩවිය තුලින් සාකච්චා කරන්නේ බොහෝ කලක පටන් ලියන්නට අපේක්ෂාවෙන් සිටී මතභේදාත්මක මාතෘකාවක් පිලිබවයි. ඒ ජ්‍යෝතිෂය නම් කාලාව පිලිබදවයි. මෙය ලාංකීය සමාජයේ පමණක් නොව ලෝව සෑම රටකම ජනප්‍රිය මෙන්ම මතභේදාත්මක මාතෘකාවකි. මෙම විෂය පිලිබදව සමාජය තුල සාකච්චා කිරීම කාලීන අවශ්‍යතාවයකි. මන්ද දිනෙන් දින සිඝ්‍රයෙන් සිදුවන සමාජ හා ස්වභාදහමේ විපර්යාසයන් සමඟ පොදු ජනතාව මෙම ජ්‍යෝතිෂය දෙසට හැරීමත්, එහි පිහිට පැතීමත්, මෙම තත්වය අවස්ථාවක් කරගෙන ජනතාව රවටා මුදල් හම්බකර ගැනීමට ජ්‍යෝතිෂඥයින් පෙළඹ සිටීමත් ඊට හේතුවයි. මීට අමතරව මෙම ජ්‍යෝතිෂය කලාව පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන ගැටළුවත් බොහෝ දෙනෙකුට ඇති නිසා මෙය කාලීන මාතෘකාවක් යන්න වඩාත් පැහැදිලිය.

ඒ අනුව ඉස්ලාම් දහමේ මේ පිලිබදව දරණ ස්ථාවරය කුමක්ද? යන්න අවධානය යොමු කිරීමට මත්තෙන් යහමග පාඨක ඔබට ආගමික දැනුමකට වඩා යමක් ලබාදෙන වෙබ් අඩවියක් ලෙස මෙම ජ්‍යෝතිෂය විෂය යනු කුමක්ද? එය නිර්මාණය වී ඇත්තේ කුමක් පදනම් කරගෙනද? යන්න පිලිබදව කිසියම් අවබෝධයක් ලබාදීමට අදහස් කරමි. ඒ මෙම විෂය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට ද හේතුවක් වන නිසාය.

ජ්‍යෝතිෂය විද්‍යාවේ මූලික පදනම් කුමක්ද?

මෙම විෂය සදහා පදනම් වී තිබෙන්නේ අප පෘථිවිය වටා අහසේ පවතින ග්‍රහ වස්තූන් හා එහි චලිතයන්ය. මෙම ග්‍රහ වස්තූන්වල පිහිටීම හා එහි චලිත ස්වභාවය පදනම් කරගෙන විවිධ අනාවැකි පැවසීම තමා ජ්‍යෝතිෂයයේ මූලික අත්තිවාරම වී ඇත. මෙහිදී සෑම ග්‍රහ වස්තූවක්ම ඒ සදහා උපයෝගි කර නොගන්නා අතර තෝරාගත් ග්‍රහවස්තූන් කිහිපයක් ඔවුන්ගේ විෂය පථයට එක්කර ගෙන ඇත. එනම්,

  • සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහවස්තූන්
  • තෝරාගත් (රාශී චක්‍රයට අයත්) තාරකා පන්ති 12ක්

මෙම ජ්‍යෝතිෂය විෂයට වසර දහස් ගනනක දීර්ඝ ඉතිහාසයක් පවතින අතර අතීතයේ පටන් එම විෂයට පදනම් වී ඇත්තේ ඉහත කරැනු දෙක මත බව එම විෂය අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වේ. තවත් සරලව පවසනවා නම් තාරකා විද්‍යාව ප්‍රථමික අවධියක් පසුකරන විට මෙම විෂය කොතැනක සිටියාද තරකා විද්‍යාවේ ඉනිපෙත්තෙහි සිටින වර්ථමාන ලෝකයේ ද මෙම විෂය පවතින්නේ අතීතයේ පැවතී තැනමය. එය මුළු විශ්වයේම ඇති අනන්ත වූ ග්‍රහවස්තූන් අතරින් ග්‍රහවස්තූන් කිහිපයක් පමණක් තෝරාගැනීම තුල එය මනාව පිලිඹිබු වේ. එනම් පියවී ඇසින් දකින ග්‍රහවස්තූන් කිහිපයක් එහි පිහිටීම අනුව එයට මනක්කල්පිත හැඩයක් ගලපා එම හැඩයන් අනුව එයට විවිධ නම් යොදවා සකසාගත් තරු පන්ති මෙම විෂය සදහා පදනම් කරගැනීම එහි මිත්‍යාවේ තරම තවත් හොදින් පිළිඹිබු කරයි. එම තරු පන්ති මෙසේය…

  • මේෂ
  • වෘෂභ
  • කුම්භ
  • මීන
  • තුලා
  • මිථුන
  • කටක
  • සිංහ
  • …යනාදී වශයෙන් 12කි.

එපමණක් නොවේ මෙම ජ්‍යෝතිෂය විෂයට තවත් වැරදුනු තැනක් ඇත. ඒ මොවුන්ගේ සියළු අනාවැකි පැවසීම් සදහා ඉහත තරු පන්ති යොදා ගන්නේ පෘථිවි කේන්ද්‍රකොට ගෙන වීමය. එනම් පාථිවිය වටා මෙම තරු පන්ති පිහිටා ඇතැයි යන උපකල්පනයේ හිදය. එනම් අංශක 360 වූ වක්‍ර අහස් තලය අංශක 30 කොටස් 12 කට බෙදා ඒ ඒ කොටස් තුල මෙම රාශි (තරු පන්ති) පිහිටා තිබෙනවා යන්න ඔවුන්ගේ තවත් විශ්වාසයයි. (මෙය ඔවුන්ගේ මිත්‍යාව කියාපාන තවත් සාධකයකි.) මෙය භූ කේන්ද්‍රවාදය පැවතී අතීත සමාජයට නම් පිලිගත හැකි වාදයක් ලෙස පැවතුනද? විද්‍යාවේ දියුණුවත් විශේෂයෙන් තාරකා විද්‍යාවේ අසිමිත දියුණුවත් සමග මේවා පදනම් විරහිත මිත්‍යාවක් යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ.

ග්‍රහලෝකවල පිහිටීම එහි දුර

කෙසේ වෙතත් අප දකින අහසේ ඉහත හැඩතල නොපෙනුනද එම හැඩතලවලට පදනම් වූ තරු පන්ති දකින්නට තිබෙන නිසා ඒ ඔස්සේ ගොඩනැගුණු මෙම විෂයට කිසියම් පදනමක් පැවතිය හැකිදෝ යන සැකය ඔබේ සිත තුල තවදුරටත් පැවතිය හැක. මේ නිසා තමා ලොව බුද්ධිමත්ම මිනිසා මෙම මිත්‍යාව තුල කොටු වී සිටීන්නේ. අද පුවත්පතක් අතට ගත්විගස මුලින් අවධානය යොමු කරන්නේ තමාගේ ලග්නය අනුව පලා අපල බැලීමටය. මෙවන් වූ මිත්‍යාවන් රජ කරන මෙම ජ්‍යෝතිෂය පිලිබදව තරමක් දුරකට ගැඹුරින් විමසුමක් කලයුතුව ඇත. මේ දිනවල (2011 පෙබරවාරී මාස) රාත්‍රී අහස බැලුවේ නම් ඔබට ඉහත තරු පන්ති අතුරින් “ඔරයන් හෙවත් දඩයක්කාරයා” නැමති තරු පන්තිය ‍හෙවත් රාශිය පැහැදිලිව දැකගත හැක. මෙය තරු 07 කින් නිර්මාණය වී ඇත. මේ ආකාරයටම “මිථුන” තරු පන්තිය සැලකූවිට

  • එය තරු 18 කින් සමන්විත වන අතර එහි ප්‍රධාන තරු 5 ක් ඇත.
  • එසේම “සිංහ” රාශිය හෙවත් තරු පන්තිය සැලකූවිට එය තරු 14 කින් සමන්විත වන අතර එහි ප්‍රධාන තරු 5 ක් ඇත.

මේ ආකාරයට සෑම රාශියක්ම සෑදී ඇත්තේ තරු කිහිපයක් එක්වීමෙන් යන්න මෙහි දී ඔබගේ අවධානයට (මෙම කාරණය ඉදිරියට වැදගත් වේ) මා ප්‍රථමයෙන් ගෙන එන කාරණයයි. මෙසේ මා කරැනු ඉදිරිපත් කරනවිට ඔබට සැකයක් මතුවිය හැක. ඒ “මේ අපි දන්න කාරණයක් නේ මෙකේ ඇති විශේෂත්වය මොකක්ද?” යන්නයි. මෙහි විශේෂත්වයක් ඇත. එනම් මෙම ජ්‍යෝතිෂයයේ මහා ප්‍රෝඩාව ඇත්තේ මෙම කාරණය තුල බව මේ ලිපිය ඉදිරියට කිවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත. එම කාරණයට යාමට පෙර තාරකා විද්‍යාවේ මූලික කාරණයක් වන දුර මැනීමේ ඒකකය පිලිබදව කෙටි පැහැදිලි කිරීමක් සිදුකිරීමට අවශ්‍යය. ඒ මෙම ලිපිය කියවන සෑම දෙනෙකුටම මෙම ලිපිය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහාය.


ආලෝක වර්ෂය යනු කුමක්ද?

පෘථියේ දී අප විශාල දුරවල් මැනීම සදහා “කිලෝමීටර් (km)” යන ඒකකය භාවිතා කලද ග්‍රහවස්තූන් අතර දුර වැනි විශාල දුරවල් මැනීම සදහා භාවිතා කරන්නේ “ආලෝක වර්ෂය” නැමැති ඒකකයයි. එහි අර්ථ වන්නේ ආලෝකය වර්ෂයක් තුල ගමන් කරන දුරයි. තවත් සරලව පවසනවා නම් ඔබ සිටින ස්ථානයේ සිට විදුලි පන්දමක් (ටෝච් එකක්) අහසට එල්ලකොට එය දල්වා ඒ ක්ෂණයකින් නිවුවිට එම විදුලි පන්දමින් නිකුත් වූ ආලෝකය අවකාශයේ ගමන්කරන අතර එය ආසන්න වශයෙන් තත්පරයට කිලෝමීටර් 300,000 ක වේගයෙන් ගමන් කරයි. එසේ වසරක කාලයක් ගමන් කලවිට එය ගමන් කල දුර ආලෝක වර්ෂ එකක් ලෙස හැදින්වේ. සමහර විට මේ විෂය පිලිබදව මූලික අවබෝධයක් නැති කෙනෙකුහට මෙය විශ්වාස කිරීමට පවා නොහැකි කාරණයක් වන්නට පුළුවනි. ඒ “ආලෝකයක් ගමන් කිරීමට කාලයක් ගතවෙනවාද?” යන්න පවා විශ්වාස කිරීමට නොහැකි බැවිනි. එසේ නම් එම ආලෝකය වසරක් පුරා ගමන් කල දුර යන්න කොතරම් විශාල දුරක් වියයුතුද යන්න දැන් තරමක් දුරකට හෝ ඔබට අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. කෙසේ වෙතත් මෙම දුර එනම් වසරක් තුල ආලෝකය ගමන් කරන දුර (ආලෝක වර්ෂයකට) කිලෝමීටර් (km)කීයක්ද? යන්න විද්‍යාඥයින් ගනන් බලා ඇත. එය ආසන්න වශයෙන් කිලෝමිටර් 9460700000000 (9460700000000 km)වේ. දැන් ආලෝක වර්ෂය යන ඒකකය පිලිබදව ඔබට සරල අවබෝධයක් තිබිය යුතුය. එසේනම් දැන් අපගේ මාතෘකාවට අවධානය යොමු කරමු.

මා ඉහතින් සදහන් කලා මෙම තරු පන්ති පිලිබදව ගැඹුරින් අධ්‍යනයක් කරන විට එහි පවතින මහා ප්‍රෝඩාවක් ඔබට අවබෝධ කරගත හැකි බව. ඊට ප්‍රථමයෙන් මෙම විෂයට අනුබද්ධ ඔබට පැවසිය යුතු තවත් සත්‍යයක් ඇත. එනම් අපට සමීපතම තාරුව වන සූර්යයා පිලිබදවයි. මෙම සූර්යයා පිහිටා තිබෙන්නේ අපේ පෘථිවියෙන් (ආසන්න වශයෙන්) කිලෝමීටර් 149,600,000 දුරකිනි. ඒ අනුව සූර්යයාගෙන් නිකුත් වන ආලෝකය අපට (පෘථිවියට) ලැබෙන්න කිසියම් කාලයක් ගත වේ. එය සරල ගනනය කිරීමකින් සොයාගත හැක. එනම්,

  • පෘථිවියේ සිට සූර්‍යයාට ඇති දුර – 149600000 km
  • ආලෝකයේ වේගය – තත්පරයට කිලෝමිටර් 300000
  • ඒ අනුව ගමන් කිරීමට ගතවන කාලය – 149600000 / 300000
  • කාලය – තත්පර 498.66666666
  • කාලය විනාඩිවලින් – 498.666666 / 60
  • කාලය විනාඩි – 8.3111111
  • ආසන්න වශයෙන් කාලය – විනාඩි 8 යි

මේ අනුව සූර්‍යයාගෙන් පිටවන ආලෝකය අපට ලැබෙන්න ආසන්න වශයෙන් විනාඩි 08 ක් ගතවේ. එය තවත් සරල ආකාරයකට පවසනවා නම් ඔබ දහවල් අහස බලන සෑම විටම දකින ඉර ඒ මොහොතේ පවතින ඉර නොව මීට විනාඩි 08 කට පෙර පැවතී ඉරයි. මේ ලිපිය කියවන මොහොතේ ඉර විනාශ වී තිබුන ද එය ඔබට අවබෝධකර ගැනීමට හැකි වන්නේ තවත් විනාඩි 08 කට පසුවය. එය හොදින් මතකයේ තබාගෙන දැන් ඉහත රාශිවලට පදනම් වී තිබෙන තරු පන්ති කිහිපයක් පිලිබදව අවධානය යොමු කරමු. එයට ප්‍රථම සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් රාත්‍රී අහසේ දකින තරු පන්ති දෙස අප බලන විට එම තරු සියල්ල එකම තලයක පිහිටා තිබෙනවා සේ ඔබට පෙනෙනු ඇත. මෙය සම්පූර්ණයෙන් වැරදි දෘෂ්ඨියකි. එය පහසුවෙන් අවබෝධ කරගත හැකි සරල පරීක්ෂණයක් ඇත. එනම් රාත්‍රී කාලයේ තරු පිරි පැහැදිලි අහස දෙස මොහොතක් බලා සිටින විට ගමන් කරන තරු දකින්නට ලැබේ. මේවා ඇත්තටම තරු නොව කක්ෂගත කොට ඇති චන්ද්‍රකාවන්ය. නමුත් එය තරු තරමට කුඩාවට පවතින නිසා එයත් තරු බවට සමහරක් පිරිස් රැවටේ. මෙහිදී මා පවසන්නට උත්සාහ කරන්නේ චන්ද්‍රිකා අහසේ පවතිනවා යන්න නොව අපගේ පියවී ඇසට එය පෙනෙන්නේ තරුවකගේ ප්‍රමාණයටමය යන්නයි. නමුත් එම චන්ද්‍රිකාව හා තරු පන්තිය පිහිටා තිබෙන්නේ එකම තලයක ද යන්න විමසා බැලුවේ නම් චන්ද්‍රිකාව පිහිටුවා තිබෙන්නේ පෘථිවියට ඉතා අසන්නවය එය චන්ද්‍රයාට වඩා ආසන්නව පිහිටුවා ඇත. නමුත් තරු පන්ති පිහිටා ඇත්තේ විශාල දුරකිනි (පහතින් එය ඔබට වටහාගත හැක). මේ අනුව අපගේ පියවී ඇසට පෙනෙන්නේ දෑ එහි සැබෑ තත්වය නොවන බව මුලින්ම වටහාගෙන තරු පන්ති කිහිපයක් පිලිබදව විමසා බලමු.

මා ඉහතින් සදහන් කල මිථුන රාශියෙහි ප්‍රධාන තරු 05 හි විස්තර විශේෂයෙන් එම තරුව පාථිවියේ සිට කොපමණ දුරකින් පිහිටා තිබෙනවාද යන්න දැන් විමසා බලමු.

  • පෝලක්ස් දුර ආලෝක වර්ෂ 35 යි
  • කැස්ටර් දුර ආලෝක වර්ෂ 45 යි
  • ඕල්හීනා දුර ආලෝක වර්ෂ 105 යි
  • ම්‍යූ ටැජැට් දුර ආලෝක වර්ෂ 160 යි
  • එප්සයිලොන් දුර ආලෝක වර්ෂ 1080 යි

ඉහත තරු පන්තිය එකම තරු පොකුරක් ලෙස එකම තලයක අපට පෙනුනද සැබැවින්ම එම තරු අතර කොතරම් විශාල පරතරයක් පවතිනවාද?. මෙය අවබෝධකර ගැනීම සදහා ඉහත තරු පිහිටීම් පිලිබදව විමසුමක් කර බලමු. පොලක්ස් තරුව පෘථිවායේ සිට ආලෝක වර්ෂ 35 ක් දුරින් පිහිටා තිබෙන නිසා අද අප දකින්නේ මිට වසර 35 කට පෙර පැවතී තරුවයි. ඒ මොහොතේම දකින කැස්ටර් තරුව අලෝක වර්ෂ 45 ක් දුරින් පිහිටා තිබෙන නිසා අප දකින්නේ මීට වසර 45 කට පෙර පැවතී තරුවයි. ඒ මොහොතේම දකින ඕල්හීනා තරුව ආලෝක වර්ෂ 105 ක් දුරින් පිහිටා තිබෙන නිසා අප දකින්නේ මීට වසර 105 කට පෙර පැවතී තරුවයි. ඒ මොහොතේම දකින ටැජැට් තරුව ආලෝක වර්ෂ 160 ක් දුරින් පිහිටා තිබෙන නිසා අප දකින්නේ මීට වසර 160 කට පෙර පැවතී තරුවයි. ඒ මොහොතේම දකින එප්සයිලොන් තරුව ආලෝක වර්ෂ 1080 ක් දුරින් පිහිටා තිබෙන නිසා අප දකින්නේ මීට වසර 1080 කට පෙර පැවතී තරුවයි. මේ අනුව මේ මොහොතේ වයස අවුරුදු 30 කෙනෙකු අහසේ මිථුන රාශිය නිරීක්ෂණය කරන්නේ නම් ඒ ඔහු දකින්නේ ඔහු ඉපදීමටත් වසර ගනනාවකට පෙර පැවතී. තරු පන්තියයි. එසේම මේ මොහොතේ එප්සයිලොන් තරුව විනාශ වී ගියේ නම් එය පෘථිවියේ ජීවත් වන අපට දැනගත හැකි වන්නේ තව වසර 1080 කට පසුවය. මේ ආකාරයටම සිංහ රාශියට අයත් ප්‍රධාන තරු කිහිපයක් දෙස ද අවධානය යොමු කලේ නම්,

  • රෙග්‍යුලස් දුර ආලෝක වර්ෂ 84 යි
  • ඇල්ජිබා දුර ආලෝක වර්ෂ 190 යි
  • ඩිනිබෝලා දුර ආලෝක වර්ෂ 43 යි
  • ෂොෂ්මා දුර ආලෝක වර්ෂ 82 යි
  • ඕස්ට්‍රේලිස් දුර ආලෝක වර්ෂ 340 යි

ඉහත මිථුන රාශියේ තරු පන්තිය සේම මෙම සිංහ රාශියට අයත් තරු පන්තිය පිලිබදව විමසුමක් කලද මෙහි පවතින අවුල්සහගත තත්වය ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැක. දැන් ප්‍රශ්නය ඇත්තේ මෙම තරු කොතරම් පරතරයකින් පිහිටා තිබෙනවාද? යන්නෙහි නොව අප උපදින්නටත් පෙර පැවතී තරුවල පිහිටීම අද නිරීක්ෂණය කරමින් මීළඟ මොහොතේ, හෙට දවසේ, ලබන සතියේ, ලබන මාසයේ, මීළඟ වර්ෂයේ… යනුවෙන් අනාවැකි පැවසීම කොතරම් මහා විහිළුවක්ද? යන්නයි. තරකා විද්‍යාව හා ඉහත තරු පිලිබදව මූලික අවබෝධයක් නොමැති වකවානුවක ජනතාවගේ අනවබෝධය නිසා එය පිලිගැනුනද වර්ථමාන බුද්ධිමත් සමාජය මෙම ජ්‍යෝතිෂය පසුපස යාම සැබැවින්ම හාස්‍ය ජනකය. මෙම ජ්‍යෝතිෂයය මහා ප්‍රෝඩාවක් යන්න වටහා ගැනීමට මේ එක සාධකයම හොදටම ප්‍රමාණවත්ය.

ග්‍රහලෝකවලට පුරුෂ භේද

ඉහත ආකාරයට රාශිමත යැපෙන පිරිසට අමතරව ග්‍රහ ලෝකවල පිහිටීම අනුව සුබ වේලාවන් නිර්ණය කිරීමත් අනාවැකි පැවසීමේ පදනම් කරගෙන ඒ මත යැපෙන පිරිසක්ද සමාජයේ ඇත. විශේෂයෙන් ලාංකීය සමාජයේ මෙම පිරිස් බහුලව දක්නට ඇත. සුබ කටයුත්තක් ඇරඹීමේ දී නැකතක් සකස් කිරීම වැනි කටයුතුවල දී ග්‍රහ වස්තූන් (සූර්ය ග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක) පදනම් කරගනී. නමුත් ඒ සදහා සියළු ග්‍රහ ලෝක යොදා නොඟන්නා බවද මෙහිදී සදහන් කලයුතුමය. මෙහි තවත් හාස්‍ය ජනක කාරණයක් වන්නේ මෙම ග්‍රහ ලෝක සදහා ජ්‍යෝතිෂයඥයින් විසින් ලිංග භේදයක් ද යොදා තිබීමයි. ඒ අනුව මෙම ග්‍රහලෝක සදහා ස්ත්‍රී, පුරුෂ පමණක් නොව නපුංශක ලිංග යනුවෙන් ද කොටස් තුනකට බෙදා වෙන්කොට ඇත. එනම්,

  • ස්ත්‍රී ලිංග – චන්ද්‍රයා හා සිකුරා
  • පුරුෂ ලිංග – රවි, කුජ, ගුරු, රාහු
  • නපුංශක ලිංග – බුධ, ශනි, කේතු

යනාදී වශයෙන් වේ. මෙහිදී සදහන් කලයුතු තවත් සුවිශේෂි කාරණයක් නම්, මෑත කාලයේ දී සෞරග්‍රහ මණ්ඩලයේ තවත් ග්‍රහයක් ලෙස නම් කල එම ග්‍රහ වස්තුවද මේ ජ්‍යෝතිෂයන් නොදැන සිටීමයි. එසේනම් මෙවැනි තාරකා විද්‍යාව පිලිබදව ප්‍රථමික අවබෝධයක් පවා නොමැති ජ්‍යේතිෂයයන් විසින් මේ තරු පන්ති හා ග්‍රහ ලෝක පදනම් කරගෙන තත්පරයට නිවරැදිව සැකසෙන නැකැත් ගනනය කිරීම් කොතරම් දුරට නිවරුදි වන්නට පුළුවන් ද යන්න බුද්ධිමත් සමාජය සිතා බැලිය යුතුය. මෙහි සැබැවින්ම එම තරුවලින් මිනිසාට කිසියම් බලපෑමක් පවතිනවාද? නැද්ද? යන්න මොහොතකට පසුවට තැබූවත් මේ දකින ග්‍රහ වස්තු ඒ මොහොතේ එම ස්ථානයේ පවතිනවාද? නැද්ද? යන්න දැන් ඔබට පැහැදිලි කාරණයකි. ඒ අනුව මෙය උපකල්පනයක් මත ගොඩනැඟුනු මිත්‍යා දෘෂ්ඨික කාලාවක් යන්න පැහැදිලි වියයුතුය.

ප්‍රෝඩාවේ සහ මිත්‍යාවේ උල්පත

මෙම මිත්‍යා දෘෂ්ඨික කලාව ලොව බහුතර ප්‍රජාව ඉතා සූක්ෂම ආකාරයට ආක්‍රමණය කර තිබෙනවා යන්න මා පැවසුවේ නම් එයට ඔබ විරුද්ධ නොවනු ඇත. එයට ප්‍රධාන හේතුව වුයේ මනුෂ්‍ය දිවියේ තීරණාත්මක අවස්ථාවල මෙම කලාව මැදිහත්වීම සහා මනුෂ්‍ය දිවියට විවිධ වූ බලාපොරොත්තු නිර්මාණය කරදීමය. මනුෂ්‍ය දිවිය ඉදිරියට ගමන් කිරීමේ දී බලාපොරොත්තුව තමා එහි ශක්තිය. එය ඉතා සාර්ථක ලෙස මෙම ජ්‍යෝතිෂයය ඉටුකරයි. සතිඅන්ත පුවත්පතක් ගෙන (ලග්න පිටුව) බැලුවේ නම් මනුෂ්‍යාට ලබාදෙන බලාපොරොත්තු කන්දරාව පහසුවෙන් අවබෝධ කරගත හැක. එම අනාවැකි අතුරින් ඉටු නොවූ අනාවැකි බොහෝමයකි. නමුත් සමාජය තුල කථාබහට ලක්වන්නේ ඉන් ඉටුවූ කිහිපයක් පිලිබදව පමණි. මෙය නිවරුදි කලාවක් නම් ඒ මඟින් පවසන සියල්ල 100% ක් නිවරුදි වියයුතුය. නමුත් එසේ සිදු නොවනවා යන්නට මා ඔබට ලොව ජනප්‍රිය අනාවැකි කිහිපයක් පවසන්නම්,

  • වර්ෂ 1186 දී සෞරග්‍රහ මණ්ඩලයේ (එතෙක් අනාවර්ණය කරගෙන තිබූ) සියළු ග්‍රහයන් “තුලා” රාශිය හා එකම සරල රේඛාවක පිහිටීම හේතුකොටගෙන විශාල සුලි කුණාටුවක් හමා මුළු ලොවම විනාශ වන බවට අනාවැකි පවසන ලදී. මේ නිසා ලොව බොහෝ රටවල් මෙම කුණාටුවෙන් බේරීමට විවිධ උපක්‍රම පවා යොදාගන්නා ලදී. නමුත් එවැනි කිසිවක් ලොව කිසිදු ස්ථානයක සිදුනොවීය.
  • වර්ෂ 1524 දී සෞරග්‍රහ මණ්ඩලයේ (එතෙක් අනාවර්ණය කරගෙන තිබූ) සියළු ග්‍රහයන් “කුම්භ” රාශිය හා එකම සරල රේඛාවක පිහිටීම හේතුකොටගෙන විශාල ජල ගැල්මක් හටගෙන මුළු ලොවම විනාශ වන බවට අනාවැකි පවසන ලදී. මේ නිසා ලොව බොහෝ රටවල් මෙම කුණාටුවෙන් බේරීමට විවිධ උපක්‍රම පවා යොදාගන්නා ලදී. නමුත් එවැනි කිසිවක් ලොව කිසිදු ස්ථානයක සිදුනොවීය.

මේවා තුලින් පැහැදිලි වන්නේ මෙම ජ්‍යෝතිෂය කලාවේ තිබෙන ප්‍රෝඩාව මිස අන්කිසිවක් නොවේ. ඉහතින් මා ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය අනාවැකි කිහිපයක් පැවසුවද ශ්‍රී ලාංකීය අපටම අවේනික අනාවැකි තුලින් ජනතාව මුලාවට පත්කල අවස්ථාවන්ද නැතුවා නොවේ. එවැනි අනාවැකි කිහිපයක් පිලිබදව 2006.04.23 දින ජාතික පුවත්පතක් වන “ලක්බිම” පුවත්පතේ “ඉදිරි මාස තුන ඇතුළත අපේ රටේ කුමක් වේද?” යන ශීර්ෂ පාඨය යටතේ පලවී තිබුණි. ඉන් කිහිපයක් නම්,

  • වෙන කාලවලට වඩා මුහුද රළු වීම
  • ජාතික ශෝක දිනයක් ඇතිවීම
  • රජයට විපක්ෂ සහය හිමිවීම
  • කොළඹ නගරය තුල විශාල මිනිස් ඝාතනයක් සිදුවීම
  • ඇමති මණ්ඩලයේ වෙනසක් ඇතවිම
  • සේවක පඩි වැඩිවීමක් සුදුවීම
  • අනිවාර්යයෙන්ම ලොකු ගංවතුරක් ඇතිවීම
  • එල්.ටී.ටී.ඊ හා රජය අතර බරපතල විරසකයක් නිර්මාණය වීම
  • රටේ බරපතල දේපල හානියක් සිදුවීම
  • දේශපාලන නායකයෙකුගේ අභාවයක් සිදුවීම
  • ආගමික නායකයෙකුගේ අභාවයක් සිදුවීම
  • කොටින්ට එරෙහිව රජයට ජාත්‍යන්තර සහය හිමිවීම
  • දකුණු පළාතේ විශාල ගංවතුරක් ඇතිවීම

බලන්න මේ රාශි හා ග්‍රහලෝක දන්නා දේවල්. මා පෙර සදහන් කලාසේ ස්වභාවික විපත් පිලිබදව කිසියම් අනාවැකියක් පවසනවා නම් එය ගුරුත්ව බලපෑම ගලපා තරමක් දුරකට හෝ අවබෝධ කරගන්නට උත්සාහ කලහැක. නමුත් මේ පවසන කරැණු මොනවාද? විටෙක අපේ රටේ ජ්‍යෝතිෂිඥයන් දේශපාලඥයින් ද යන්න සිතන්නට හැඟේ. මන්ද ඉහත අනාවැකි අතුරින් සමහරක් පැවසීමට රාශි අවශ්‍ය නොවේ. රටේ දේශපාලන රටාව පිලිබදව අවබෝධයක් පැවතීම ප්‍රමාණවත්ය. හැබැයි මේ දක්ෂ ජ්‍යෝතිෂඥයින්ට මගහැරුණු රටක් ලෙස තීරණාත්ම අවස්ථාවන් පිලිබදව ජනතාව දැන්වත් සිතා බැලිය යුතුය. එනම්,

  • උතුරු නැගෙනහිර ඇතිවූ ගංවතුරු තත්වය
  • ජනරාල් සරත් ෆොන්සේකා මහතාට අත්වන ඉරණම
  • වර්ථමාන ආර්ථික තත්වය
  • සුනාමී ඛේදවාචකය
  • මැති ඇමැතිවරැන් (එල්.ටී.ටී.ඊ මඟින්) ඝාතනය
  • රටේ ජනාධිපතිවරු ඝාතනය වීම
  • අරන්තලා භික්ෂු ඝාකනය හා ශ්‍රීමහා බෝධියට පහරදීම

මින් සමහරකි. මේ ආකාරයට පිටුගනන් පෙලගැසීමට පුළුවන. අද රටපුරා රූපවාහිනී, ගුවන් විදුලි හා පුවත්පත් යන සියළු මාධ්‍යන් තුල ජනතාවගේ පලාඅපල හා අනාගතය පවසන ජ්‍යෝතිෂයයන් පිරී ගොසිනි. වෙන කවරදාකටත් වඩා වැඩියෙන් මෙලෙස ජ්‍යෝතිෂඥයන්ට වැඩි ඉඩක් මේවා තුල හිමිවීමට ප්‍රධාන හේතුවක් ඇත. ඒ වර්ථමාන රටේ පවතින ආර්ථික හා සමාජ පසුබෑමයි. මේ සියල්ල තුල විශ්වාස භංග වී ජීවිතයට මුහුණ දෙන ප්‍රජාව මෙම ජ්‍යෝතිෂඥයන් තුලින් ජීවිතයට නව බලාපොරොත්තු ඇති කර ගැනීමට උත්සාහ දරයි. එහිදී ඔවුන් අසන ජනප්‍රිය ප්‍රශ්න කිහිපයක් ඇත. එනම්,

  • මගේ අනාගතය කොහොම වේද?
  • (මව) මගේ දරුවාගේ අනාගතය කොහොම වේද?
  • මම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නේ ඒක කොහොම වේද?
  • මට විදේශගත වන්න ලැබෙන්නේ කවදාද?
  • මගේ විවාහය සිදුවන්නේ කවදාද?
  • මම විභාගය සමත් වේද?

මේ ආකාරයට ඔවුන් විමසන ජනප්‍රිය ප්‍රශ්න පෙලගැසීමට හැක. මේවාට දෙන ජ්‍යෝතිෂඥයින් දෙන ජනප්‍රිය පිලිතුරු ද කිහිපයක් ඇත. එය සාරංශ කොට පවසනවා නම් “ඔබ උත්සාහ කරන්න යහපත් වේවි” යන්නයි. මෙවැනි පලාඅපල හා අනාවැකි පවසන්න ජ්‍යෝතිෂ්‍ය දැනුම නොව සාමාන්‍ය බුද්ධිය ප්‍රමාණවත් බව පවසමින් මෙම ජ්‍යෝතිෂ්‍යඥයින්ගේ නූතන උපක්‍රමයක් වෙත ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. අතීතයේ පටන් අනාවැකි පැවසූ ජ්‍යෝතිෂ්‍යඥයින් වර්ථමාන වනවිට බුද්ධිමත් ජනතාව අතර තවදුරටත් අනාවැකි පැවසීමෙන් තම පැවැත්ම රදාවගත නොහැකි නිසාදෝ අනාවැකි පවසනවා වෙනුවට සිදුවූ දෑ සිදුවන දෑ සමඟ ගලපන්නට පෙළඹෙමින් සිටී. මා මේ පවසන කාරණය ඔබට තරමක් අපැහැදිලි වන්නට පුළුවන් නිසා එය අවබෝධ කරගැනීම සදහා සමිපතම ජ්‍යෝතිෂය හෙලිදරව්වක් මා ඔබට පවසන්නම්,

“පසුගිය දිනක අතිගරු ජනාධිපති තම උපන්දිනය සැමරු බවත් ඒ වෙනුවෙන් ලොව විශාලතම කිරිබත සැකසූ බවත් ඔබ මාධ්‍යයන් තුලින් දකින්නට ඇති. මෙම කිරිබත ප්‍රමාණයෙන් විශාල නිසා එය සම්පුර්ණයෙන් ආහාරයට නොගෙන කිසියම් ප්‍රමාණයක් ඉතිරි වුණි. මෙම සිදුවීමෙන් දින කිහිපයකට පසු ගල්ගමුවේ එක්තරා ප්‍රදේශයක ජනතාවට හිරිහැර කරමින් ජීවත් වූ දළ ඇතෙක් වනජීවි නිළධාරීන් විසින් අල්ලා වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමේ දී එම ලොරිරථය කැඩී එය තුල එම ඇතා සිර වී මරණයට පත්විය. මෙම සිදුවීම් දෙක අපේ රටේ ජ්‍යෝතිෂ්‍යඥයින් අලංකාර ලෙස මෙසේ ගලපන ලදී . එදා කිරිබත් ඉතිරිවීම නිසා රටේ ජනාධිපති තුමාට මාරක අපලයක් නිර්මාණය වී තිබුණා එම මාරක අපලය මෙම ඇතාගේ ජීවිත පරිත්‍යාගය තුලින් සමනයකට පත්වුවා යනුවෙනි.”

ජ්‍යෝතිෂය යනු කුමක්ද? යන්නත්, එය කොතරම් විශාල ප්‍රෝඩාවක් මෙන්ම මිත්‍යාවක් ද යන්න අවබෝධ කරගැනීමට මිටත් වඩා සාක්ෂි අවශ්‍ය නොවේ යයි මා සිතමි. නමුත් මෙතෙක් මා පවසන ලද කරැණුවලින් මෙම ලිපියෙහි මාතෘකාවෙන් අඩක් පමණක් සම්පූර්ණ වී ඇති නිසා මෙම ලිපියෙහි දෙවන කොටස එනම් “ජ්‍යෝතිෂ්‍ය පිලිබදව ආගමික ස්ථාවරය විශේෂයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද?” යන්න දැන් විමසා බලමු.


ජ්‍යෝතිෂය පිලිබදව ආගමික ස්ථාවරය

බුදු දහම සහ බෞද්ධ සමාජය

මෙම ජ්‍යෝතිෂය පිලිබදව ආගමික ස්ථාවරය පිලිබදව කථා කරන විට ශ්‍රී ලංකීය බහුතර ප්‍රජාව පිලිපදින බුදුදහම ද කථා නොකරම බැරිය. මන්ද වර්ථමානයේ මෙම ජ්‍යෝතිෂ්‍ය විශ්වාසය ඉහලින්ම පවතින සමාජය බෞද්ධ සමාජයයි. එය වඩාත් හොදින් පිළඹිබු වන්නේ එහි ප්‍රමුඛත්වය භික්ෂූන් වහන්සේලා ගෙන තිබෙන බැවිණි. ඔබට එය වඩා හොදින් තහවුරු කරගැනීම සදහා අන්තර්ජාලය තුල වෙළද දැන්වීම් පලකරන ජනප්‍රිය වෙබ් අඩවීන් කිහිපයක් නැරඹීම ප්‍රමාණවත්ය. ඒවා තුල මෙම ජ්‍යෝතිෂයට අදාලව භික්ෂූන් වහන්සේලා පලකරන වෙලද දැන්වීම් බොහෝමයක් දැකගත හැක. එවැනි දැන්වීම් දකින විට සමහරක් වේලාවල්වල දී ඔබට සැකයක් මතුවිය හැක. ඒ “මේ භික්ෂූන් වහන්සේලා මේවා කරන්නේ ඒ සදහා බුදුදහම තුල කිසියම් අනුබලයක් තිබෙන නිසා නොවේද?” යන්නයි. එම ප්‍රශ්නයට මා දෙන විග්‍රහයට වඩා සුදුසු වන්නේ ඒ පිලිබදව බුදුන්ගේ දේශන යයි පවසන ත්‍රපිටකයේ කුමක් සදහන් වෙනවාද? යන්නයි. මෙම ජ්‍යෝතිෂය පිලිබදව එහි කුමක් සදහන් වෙනවාද යයි අධ්‍යනය කරන විට බ්‍රහ්ම ජාල සූත්‍රයේ එය තිරශ්චීන විද්‍යාවක් ලෙස හදුන්වා දෙයි. තිරශ්චීන විද්‍යාව යනු “තිරිසන් විද්‍යාව” යන්නයි. ඇත්තෙන්ම මෙය තිරිසන් විද්‍යාව යන්න සුදුසුම වචන යෙදුමකි. මන්ද එක් පසකින් මා ඉහතින් සදහන් කලාසේ අනවශ්‍ය විදියට ජනතාවට බලාපොරොත්තු ගොඩනඟමින් ද තවත් පසෙකින් “අපලයි” යන්න පවසමින් ඔහුගේ උත්සාහය, උනන්දුව හා කැපවීම අඩාල කරමින් කිසියම් මානසික විකෘතිතාවයක් ඔවුන් තුල නිර්මාණය කිරීම වෙනුවෙන් එය තිරිසන් විද්‍යාව යන්න නම් කිරීම සුදුසුම වචන යෙදුමක් යන්න පැහැදිලිය. අද බෞද්ධ සමාජයේ කිසිදු සුබ කටයුත්තක් නැකතක් (සුභ වේලාවක්) නොමැතිව අරභන්නේ නැත. මෙහිදී මට ඇති ගැටළුව මේ පිරිස් බුද්ධ වාක්‍යය මෙසේ පැවතීම බෞද්ධ සමාජය නොදන්නවාද? එසේ නොවේ නම් දැන දැන එය ප්‍රතික්ෂේප කරනවාද? යන්නයි. කෙසේ වෙතත් මෙම ජ්‍යෝතිෂය පිලිබදව බුදුදහමේ ස්ථාවරය දැන් පැහැදිලිය. එය තවත් හොදින් වටහා ගැනීමට තවත් ත්‍රපිටක වාක්‍යයකට ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එනම්,

“අත්ථෝ අත්තස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා” – තමන්ගේ නැකත තමන්මයි තාරකා වලට මොනවාද කරන්න පුළුවන්

මේ ලිපිය පුරාවට මා පැහැදිලි කරන්න උත්සාහ කරන කාරණය මෙය තමා එනම් “මේ තාරකා වලට මොනවාද කරන්න පුළුවන්” එසේ නම් මිත්‍යා දෘෂ්ඨික අන්ධ විශ්වාසයෙන් බෞද්ධ සමාජය දැන්වත් මිදිය යුතු නොවේද? බුදුදහම දහම මෙලෙස ජ්‍යෝතිෂය පිලිබදව එහි ස්ථාවරය පවසන විට ඉස්ලාම් දහම මේ පිලිබදව කුමක් පවසනවාද? යන්න දැන් විමසා බලමු.

ඉස්ලාම් දහම සහ මුස්ලීම් සමාජය

ජ්‍යෝතිෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය දැන ගැනීමට පෙර අවබෝධ කරගතයුතු මූලික කාරණයක් ඇත. එනම් ජ්‍යෝතිෂය පමණක් නොව ශාස්ත්‍රි ඇසීම, විවිධ සතුන් පදනම් කරගෙන පලාඅපල හා අනාවැකි විමසීම… වැනි ගුප්ත කරුණු කිසියම් ආකාරයක අනාවැකි ලෙස හෝ පලාඅපල ලෙස විමසීම ඉස්ලාම් දකින්නේ එකම ආකාරයේ වරදක් ලෙසය. එනම් ගුප්ත කාරණයන් අනාවර්ණය කිරීමක් ලෙසය. නමුත් ගුප්ත (සැඟවුණු) කරුණු පිලිබදව ඥානය ඇත්තේ අල්ලාහ් (දෙවියන්) පමණක් යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මේ පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ ස්ථානවල අල්ලාහ් (දෙවියන්) අවධාරනය කරයි. එවැනි වාක්‍ය කිහිපයක් වෙත ඔබේ අවධානය යොමු කරන්නේ නම්,

  • තවද (නබිතුමණි) ඔබ පවසන්න අල්ලාහ් (දෙවියන්) හැර අන් කිසිවකු අහස්හිද පොළොවෙහිද ඇති ගුප්ත දෑ නොදන්නේය (27-65)
  • ගුප්ත දෑ ඔහු (අල්ලාහ්) දන්නේය. ඔහු තොරාගත් රසූල්වරයෙකුට (වක්තෘවරයෙකුට) මිස අන් කිසිවකුට එය එළිදරව් නොකරන්නේය. (72-26 හා 27)

මේ අදහසින් බොහෝ වාක්‍යයන් ශුද්ධ වූ කුර්ආනයේ දක්නට ඇත. මේවා තුලින් පැහැදිලි වන කාරණය නම් සැඟවුණු (ගුප්ත) කරැණු පිලිබදව අනාවැකි පැවසීමේ හැකියාව දෙවියන් කිසිදු මනුෂ්‍යයකුට ලබාදී නැති බවයි. සුවිශේෂි අවස්ථාවන්වල දී පමණක් යම් යම් කරැණු වක්තෘවරයා (නබිවරයා) මඟින් එලිකලා ද අද සමාජයේ එවැනි අනාවැකි පැවසීමේ හැකියාව කිසිදු මනුෂ්‍ය යෙකුට නොමැත යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මේ අනුව කිසිවකු පලාඅපල හෝ අනාවැකි පවසනවා යයි පවසන්නේ නම් එය මුසාවක් පමණි. එපමණක් නොව අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනය මඟින් ගුප්ත කාරණයන් පිලිබදව ඥානය තමා සතු බව පවසද්දී කිසිවකු “නැහැ මටත් කියන්න පුළුවන්” යයි පවසයි නම් එයින් අදහස් කරන්නේ අල්ලාහ් (දෙවියන්) සතු ගුප්ත ඥානය තමන් සතුවද පවතිනවා යන්නයි. මෙය ඉස්ලාම් දහමේ “ෂිර්ක්” (අල්ලාහ් දෙවියන්ට සමාන කිරීම) යනුවෙන් හදුන්වයි, මෙය ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව අල්ලාහ් (දෙවියන්) සමාව නොදෙන මහා පාපයකි. මේ අනුව සැඟවුණු ඥානය යන්න අල්ලාහ් (දෙවියන්)ට පමණක් යන්න තීන්දු වුවායින් පසු මනුෂ්‍ය බුද්ධිය යොදවා පලාඅපල හෝ අනාවැකි පැවසීමට එහි කිසිදු ඉඩක් නැත යන්න පැහැදිලිය. එසේ පැහැදිලි ලෙස අවධාරනය කරන ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනයේ තවත් වාක්‍යයකින් මෙසේ ද පවසයි,

“ඔබට දැනුමක් නොමැති කිසිවක් අනුගමනය නොකරන්න. මන්දයත් ඇස්, කන් හා සිත් ආදී මේ සෑම කොටසකින්ම (මරණින් මතු) ප්‍රශ්න කරන්නොමය”  (17-36)

ඉහත වාක්‍යය තරමක් බුද්ධිමත්ව විමසා බැලිය යුතුය. ඉස්ලාම් කිසිදු කාරණයක් අන්ධ භක්තිකව, අවබෝධයෙන් තොරව හෝ දැනුමක් නොමැතිව අනුගමනය කිරීමට ඉඩදෙන්නේ නැත. ඉහත වාක්‍යය තුලින්ද ඉස්ලාම් අවධාරණය කරන්නේ එම කාරණයයි. කිසිවකු කිසිවක් කියූ පමණින් එසේත් නැත්නම් කිසිවක් දුටු පමණින් එය පිලිගැනීමටත් විශ්වාස කිරීමටත් නොපෙළඹී බුද්ධිමත්ව එය විමසා බැලිය යුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එසේ නොකොට ඔබ තීන්දු තීරණවලට එළඹෙන්නේ නම් එය බරපතල වරදක් බවත් ඒ වෙනුවෙන් කියාමත් (මරණින් මතු උදාවන විනිශ්චය) දිනයේ ඇස් කන් හා සිත් යනාදියෙන් ප්‍රශ්න කරනවා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. උදාහර්ණයකට 2012 වර්ෂයේ ලෝක විනාශය සිදුවන බවට කිසියම් ජ්‍යෝතිෂඥයකු අනාවැකියක් පැවසූ විට ඒ පිලිබදව බුද්ධිමත් විමසුමක් නොකොට එනම් ඔහුගේ ප්‍රකාශයට පදනම් වූ කරැණු මොනවාද? එම කරැණු මත මෙවැනි විනාශයක් සිදුවීමට පුළුවන්ද? වැනි කරැණූ ඔහු පවසන දත්ත පදනම් කරගෙන බුද්ධිමත්ව මනසින් විමසා නොබලා එම අනාවැකි පිලිගන්නේ නම් එය ඉහත 17-36 වාක්‍යයට අනුව වරදක් බව අවබෝධ කරගත යුතුය. ඒ අනුව මිනිස් මනසට ගෝචර නොවන කරුණු සදහා ඉස්ලාම් දහම තුල ඉඩ නොමැති බවත් ඉහත කරැණු අනුව ජ්‍යෝතිෂය සැලකූවිට එහි බුද්ධිමත් විමසුමකට කිසිදු ඉඩක් නැති බවත් පැහැදිලිය.

ශුද්ධ වූ කුර්ආනය එලෙස කරුණු පවසන විට මෙවැනි කාරණයන් පිලිබදව හදීසයන් (මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන්) තුල කුමක් සදහන්ව තිබෙනවාද යන්නත් විමසා බැලීම මෙම විෂය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට පිටුවහලක් වන ඇත. ඒ අනුව හදීසයන් කිහිපයක් වෙත දැන් අවධානය යොමු කරමු.

  • “…අනාවැකි යනුවෙන් කිසිවක් නැත. බස්සා (ගේ ශබ්දය) මඟින් ඇති වන අපලයක් නැත. දුරභාග්‍යමත් මාස යනුවෙන් (කිසිදු මාසයක්) ද නැත.” දන්වන්නේ – අබූහුරෙයිරා (රලි) තුමා – මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී
  • “අනාවැකි විමසීම දෙවියන්ට කිසිවක් සාමාන කිරීමකි” (ශිර්ක්) යනුවෙන් නබිතුමාණන් තුන්වරක් පවසන ලදි. දන්වන්නේ – ඉබුනු මස්වූද් (රලි) තුමා – මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්
  • කවුරුන් අනාවැකි විමසා ඒ අනුව තම ජීවිතය සකසා ගන්නේද? ඔබ “ශිර්ක්” (දෙවියන්ට කිසිවක් සමාන කල) තැනැත්තෙකු බවට පත්වන්නේය. දන්වන්නේ – අබුනු අම්ර් (රලි) – මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද්
  • දිනක් නබිතුමාණන් සුබහ් සලාතය(පාන්ද ඉටුකරන ආගමික වාතාව) ඉටුකර අවසන් කොට අප දෙසට හැරී “නුඹලාගේ දෙවියන් කුමක් පවසනවාද යන්න දන්නෙහිද?” යනුවෙන් විමසල ලදී. එයට අප අල්ලාහ් (දෙවියන්) හා ඔහුගේ වක්තෘවරායා (මුහම්මද් (සල්) තුමාණන්) පමණයි එය දන්නේ යනුවෙන් පැවසුවෙමු. එයට නබිතුමානන් මෙසේ පවසන ලදි “මගේ ගැත්තන්ගෙන් සමහරෙක් කාෆිර් (ඉස්ලාම් අතහැර ගිය හෝ ප්‍රතික්ෂේප කල පිරිස්) ලෙසත්, තවත් සමහරෙක් මූමීන්වරැන් (ඉස්ලාම් දහම පිලිගෙන නිවරැදිව අනුගමනය කරන පිරිස්) ලෙසත් අද දවස ආරම්භ කොට ඇත. “කවුරුන් අල්ලාහ් (දෙවියන්)ගේ භාග්‍යය නිසා වැස්ස ලැබුණා” යයි පවසන්නේද ඔවුන් මාව විශ්වාස කල තැනැත්තෙකු (මූමීන්වරයෙකු) වන්නේය. කවුරැන් “මෙම තරුවල වෙනස්වීම නිසා තමා වරුෂාව ලැබුණේ” යයි පවසන්නේද ඔහු කාෆිර් බවට පත්විය යනුවෙන් අල්ලාහ් (දෙවියන්) පවසයි. යනුවෙන් පවසන ලදී. දන්වන්නේ – සෙයිද් ඉබුනු කාලිද් ජුහ්නි – මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී හා මුස්ලීම්

ඉහත අවසාන හදීසයෙන් ජ්‍යෝතිෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නත් එය විශ්වාස කිරීම කොතරම් බරපතල වරදක් ද යන්නත් මනාව පිළිඹිබුවේ. ආරම්භයේ පටන් මෙතෙක් මේ ලිපිය කියවූ ඔබෙන් අවසාන වශයෙන් විමසන්නට ඇත්තේ ඉස්ලාම් දිව්‍යමය දහමක් යන්නට මීටත් වඩා සාක්ෂීන් අවශ්‍යද? යන්නයි. මිනිස් සමාජය අන්ධ විශ්වාසයන් හා මිත්‍යාවන් පසුපස නොයා ආරක්ෂා කරගැනීම සදහා ඉස්ලාම් කොතරම් සැලකිලිමත් වී තිබෙනවාද? ආගමක් වතාවත් පිලිබදව පමණක් කථා නොකොට සමාජ මිත්‍යාවන්ද මේ ආකාරයට බිඳ දමන්නේ එය දිව්‍යමය ජීවන සැලැස්මක් වූ නිසාම පමණි

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම