ඔබේ දහම කාලීන ද? සර්වකාලීන ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලොවපුරා පවතින සියළු ආගම් හා දර්ශන මිනිස් සමාජයට යහමඟ දේශනා කරනවා යන්න සෑම සියළුදෙනාම අවිවාදයෙන් පිලිගන්නා සත්‍යයකි. මෙසේ පිලිගන්නා ඒ සත්‍යය තුල මේ සියළුදෙනාම පිලිනොගන්නා සත්‍යයක් ද ඇත. ඒ ‘අපේ දහම තරම්, නොඑසේනම් අපේ දර්ශනය තරම් නම් ඒ කිසිදු ආගම් හෝ දර්ශන ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ‘ යන්නයි. තමන් විශ්වාස කොට පිලිපදින දහම හෝ දර්ශනය පිලිබදව මෙවැනි ආකල්පයක් දැරීම වරදක් යැයි කිසිවකුටත් පැවසිය නොහැක. කාලයක් මුළුල්ලේ දැඩිසේ භක්තිවන්ත ලෙස කිසියම් දහමක් දර්ශනයක් පිලිපදින විට මෙවැනි අදහස් සිතේ පහල වී ස්වභාවිකය. එසේම කිසියම් මතවාදයක්, දර්ශනයක් හෝ විශ්වාසයක් තමන් අනුගමනය කරන අතරතුර තමන් පිලිනොගන්නා අනෙකුත් මතවාදයක්, දර්ශනයක් හෝ විශ්වාසයක් මීට වඩා යහපත් යැයි පිලිගැනීමට තරම් නූතන මනුෂ්‍යා නිහතමානි නැතුවා පමණක් නොව විසංවාදී ද නැත. මා මෙසේ පවසන විට ඔබ තුල සමහර විට ‘ඔබ කොහොමද එහෙම කියන්නේ?‘ යනුවෙන් ගැටළුවක් ද පැන නැඟෙනු ඇත. නමුත් වර්ථමානයේ ඔබ දරණ මතවාදය හෝ විශ්වාසය කොතරම් තාර්කිකව හා සංසන්දනාත්මක අධ්‍යනයක් තුලින් එය පිලිගත්තා ද යන්න බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, ඔබේ ඉහත ගැටළුවට ඒ තුලම පිලිතුරු ලැබෙනු ඇත. ඒ සියල්ල එනම්, ලොව අනෙකුත් දහමන් දර්ශනයන් සියල්ල පසෙක තබා තමන් පිලිගෙන පිලිපදින දහම හෝ දර්ශනය කොතරම් ගැඹූරින් අධ්‍යනය කිරීමෙන් අනතුරුව ද ‘මෙය තමා යහමඟ‘ යයි ඔබ නිගමනය කලේ? යන්න තරමක් බුද්ධීමත් ලෙස විමසා බැලුවේ නම්,මේ විෂය තුල ඔබ කොතරම් බුද්ධිමත් තීන්දුවලට එළඹ තිබෙනවා ද? යන්න තවදුරටත් මනාව පැහැදිලි වනු ඇත.

මෙහිදී මාතෘකාවෙන් බැහැරව ඉහත ආකාරයට මේ ලිපියට ප්‍රවේශයක් ලබාගැනීමට ප්‍රධාන හේතුවක් ඇත. ඒ පසුගිය දිනක එක්තරා විද්වත් මාධ්‍ය සාකච්චාවක දී ජනප්‍රිය විද්වතෙකු කල ප්‍රකාශයක් හේතුවෙනි. එහිදී ඔහු කල ප්‍රකාශය වූයේ ‘ලොව සෑම දහමක්ම කාලීන වෙන්න පුළුවන් නමුත් අපේ දහම සර්වකාලීනයි‘ යන්නයි. මෙය අද අප රටේ නිතර ඇසෙන ජනප්‍රිය පාඨයක් වුවත් ඉහත ප්‍රකාශය මා තුල පුළුල් ඉදිරි මෙහෙවරකට අත්තිවාරමක් වීම පිලිබදව අල්ලාහ් (දෙවි)ට ප්‍රථමයෙන් ස්තූතිවන්ත වන නමුත් මා ඉස්ලාම් භක්තිකයෙකු ලෙස මෙතැනදී ‘ලොව සෑම දහමක්ම කාලීන වන්නට පුළුවන් නමුත් ඉස්ලාම් දහම සර්වකාලීනයි‘ යයි පවසන්නට ඉක්මන් නොවෙමි. මන්ද දහමක් කාලීන ද? සර්වකාලීන ද? යන්න තීන්දු කරන සාධකය හුදෙක් ‘අපේ දහම සර්වකාලීනයි‘ යයි පුලපුලා පැවසීම හෝ එහි අනුගාමික සංඛ්‍යාව මත පදනම් වන එකක් නොව එහි ඉගෙන්වීමන් කොතරම් සරල හා මිනිස් දිවියට ප්‍රායෝගික මෙන්ම යහපත ගෙනදෙන ආකාරයට පවතිනවා ද යන්න මත තීන්දු වන කාරණයක් බැවිණි. සැබෑවටම ඔබ යහමඟ සොයන්නෙකු නම්, ඒ පිලිබදව උනන්දුවක් ඇති කෙනෙකු නම්, මෙහිදී ඉතා වැදගත් විෂයක් ඔබට විසදා ගතයුතුව ඇත. ඒ ‘ඇත්තටම සර්වකාලීන දහමක් ලොව පවතිනවාද?,මා පිලිගෙන පිලිපදින්නේ ඒ දහම ද?, නොඑසේනම් ඒ දහම කුමක්ද?‘ යන්නයි. මෙහිදී ඉහතින් සදහන් පටු සීමාවන්වලින් බැහැර නොවී, තම දහම හෝ දර්ශනය තුල අන්ධ භක්තිකව කොටු වී, ‘පාළුගෙදර වලං බිඳින්නා‘ සේ අනිකුත් දහමන් දර්ශනයන් විවේචනය කිරීම තුලින් ඉහත සත්‍යය අවබෝධ කරගැනීම කිසිවිට කල හැක්කක් නොවේ. නමුත් සත්‍යය අවබෝධ කරගැනීම පිලිබදව ඔබ තුල සැබෑවූ අවශ්‍යතාවයක් උනන්දුවක් ඇත්නම් එහිදී ඔබ ගතයුතු පියවර ඉතා සරලය. එනම් මෙතෙක් ඔබ විශ්වාසයෙන් යුතුව පිලිපදින මතවාදය ලොව අනිකුත් දහමන් හා දර්ශනයන් සමඟ සංසන්දනාත්මක ලෙස විමසා බැලීම පමණි.

එහිදී විවිධ වූ නිර්ණායකයන් හදුනාගෙන ඒ ඔස්සේ තම අධ්‍යනය සිදු කිරීම ඔබේ අධ්‍යනය වඩාත් පහසු කිරීමට හේතුවක් වන නිසා එවැනි නිර්ණායක කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට යෝජනා කිරීමට මෙහිදි මා අදහස් කරමි. එනම්,

  •  ඉගෙන්වීමන් ආරම්භයේ පටන් හොදින් ආරක්ෂා වී තිබෙනවාද? යන්න,
  •  මනුෂ්‍යාගේ සාර්ථකත්වයට මේ තුලින් ඉගෙන්වෙන යහපත් වූ ඉගෙන්වීමන් මොනවා ද? යන්න,
  •  මනුෂ්‍යාගේ මූලික අවශ්‍යතාවයන් මේ තුල කොතරම් දුරකට ආරක්ෂා වෙනවා ද? යන්න,
  •  මෙහි ඉගෙන්වීමන් මනුෂ්‍යා හට සර්වකාලීනව කොතරම් ප්‍රායෝගික ද? යන්න,
  •  ලෝකොත්තරව පමණක් නොව ලෞකිකව ද මෙහි ඉගෙන්වීමන් මනුෂ්‍යා හට යහපතක් වෙනවාද? යන්න,

මා ඉහතින් සදහන් කල කරුණූ කාරණා (කිහිපයක් යහමඟ අඩවිය තුල මීට ඉහත සාකච්චා කර ඇතත් මේවා) පදනම් කරගෙන ගැඹූරු අධ්‍යනයක නිරතවීමෙන් මිස ලොව වඩාත් හොද දහම හෝ දර්ශනය තීන්දු කිරීම මනක්කලිපිතව හෝ ‘ලිදේ සිටින මැඩියන්’ මෙන් තමන් පිලිගත් මතවාදය තුල පමණක් හිඳ තීන්දු කල හැකි කාරණයක් නොවේ. නමුත් අවාසනාවකට අද සිදුවන්නේ කුමක්ද? යන්නත් මොහොතක් හෝ මෙහිදී විමසා බැලිය යුතුව ඇත.

තමන් පිලිගෙන පිලිපදින දහමේ අන්ධ භක්තිකව හිඳ හෝ එහි කිසියම් වූ යහපත් ඉගෙන්වීමක් දුටුවිගස තමන් ලොව සියළු දහමන් දර්ශනයන් පූර්ණ ලෙස අධ්‍යානය කොට නිගමනයකට එළඹුනා සේ ‘බලන්න ලෝකේ වෙන මොන ආගම ද දර්ශනය ද අපේ ආගමේ වගේ අලංකාරව මේවා කථා කරල තියෙන්නේ’ යනුවෙන් පවසමින් ලෝකයේ සියළු ආගම්, දර්ශන අවලංගු මාර්ගයන් බවටත්, තම දහම ‘සර්වකාලීන දහම‘ බවටත්, ලොව අනිකුත් සියළු දහමන් කිසිදු වටිනාකමක් නොමැති මිත්‍යා මාර්ගයන් බවටත්, වහසිබස් දොඩවයි. එයින් ද සමහරක් පිරිස් නතර නොවී තම සර්වකාලීන දහම වඩාත් තහවුරු කරගැනීම පිණිස ලොව අනිකුත් මතවාදයන්ට එරෙහිව දරුණූ මිත්‍යා ඉගෙන්වීමන් ආරූඪ කරමින් ඊනියා ප්‍රචාරයන් දියත් කරයි. මේ සියල්ල තුලින් ද තම මතවාදය වඩා වඩාත් තහවුරු කරන්නටත් එය සර්වකාලීන මාර්ගයක් බව තහවුරු කිරීමටත් උත්සාහ දරයි. මේ අවාසනාවන්ත තත්වය අද වනවිට ලොව සෑම දහමක් හා දර්ශනයක් තුලම එහි අනුගාමිකයින් අතින් අඩුවැඩි වශයෙන් දක්නට ලැබෙන අතර සමහරක් දහමන්ට එරෙහිව ඉතා සංවිධානාත්මක ලෙස මෙවැනි ව්‍යාපාර දියත්වීමන් ද දක්නට ලැබේ. මෙලෙස දරුණූ විවේචනවලට ගොදුරු වන දහමන් හා දර්ශනයන් අතර ඉස්ලාම් දහම ලොව ප්‍රධාන තැනක් ගන්නා අතර විශේෂයෙන් දැන් දැන් අප රට තුල ද මේ අවාසනාවන්ත තත්වය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ඇත. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ තම මතවාදය සර්වකාලීන බව තහවුරු කිරීමට පෙරමුණ ගෙන කටයුතු කරන මේ පිරිස් අතර ආගමක පූජකවරුන් ප්‍රධාන භූමිකාව මෙහයෙවීමයි. මෙය ඒ ඒ දහමන් දර්ශනයන් හි සර්වකාලීන වලංගුභාවය මනාව පිලිඹිබු කිරීමක් මෙන්ම, දහමක දර්ශනයක ඉගෙන්වීමන් අවබෝධ කරගැනීමට යාමේ අසාර්ථක එසේ අවාසනාවන්ත ක්‍රියවේදය පිලිඹිබු කිරීමක් නොවේද?. ඉහත ආකාරයට සංවිධානාත්මක ලෙස යම් යම් කුමන්ත්‍රණයන් දියත් වෙනවාට අමතරව අනවබෝධයෙන් සිදුවන විවේචනයන් ද ඇත. ඒ අතුරින් ප්‍රධාන එකක් වන්නේ ඉස්ලාම් නමින් මුස්ලීම් සමාජය තුල සිදුවන යම් යම් ක්‍රියාකාරකම් පදනම් කරගෙන ඉස්ලාම් දහම විවේචනය කිරීමයි. මෙය කොතරම් බුද්ධිමත් ක්‍රමවේදයක් ද යන්න මේ අඩවිය තුල බොහෝ අවස්ථාවල කථා කර ඇති නිසාත්, ඒ නැතත් එය කොතරම් අසාර්ථක ක්‍රමවේදයක් ද යන්න අවබෝධ කරගැනීම සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකු හට දුෂ්කර කාර්‍යයක් නොවන නිසාත් ඒ පිලිබදව මෙහිදී කථා කිරීමට අදහස් නොකරමි. ඉහත විවේචකයින්ට අමතරව අපේ රටට අවේනික විශේෂිත වූ පාර්ශවයක් පිලිබදව ද මෙහිදී සදහන් කලයුතුව ම ඇත. ඒ ඉස්ලාම් දහම පිලිබදව ඔවුන් විවිධ වූ මනක්කල්පිතයන් ගොඩනඟාගෙන නොඑසේ නම් ඉස්ලාම් පිලිබදව කිසිදු අධ්‍යනයකින් තොරව පූර්ව නිගමනවලට එළඹ ඒක පාර්ශ්විකව විවේචන ඉදිරිපත් කරන පිරිස්ය. අද අප රට තුල දියත් වන ඉස්ලාම් විරෝධි බොහෝමයක් ව්‍යාපාරවලට මූලික පදනම වී ඇත්තේ මා ඉහතින් සදහන් කරුණු එකක් හෝ දෙකම මිස ඉස්ලාම් පිලිබදව ගැඹුරු අධ්‍යනයන් තුල ලබාගත් කරුණූ කාරණා නම් නොවේ.

මෙහිදී මුස්ලීම් සමාජයේ අති බහුතරයක් අවබෝධකර නොගත් අවාසනාවන්ත තත්වයක් ද ඇත. එනම්, මේ ආකාරයට ඉස්ලාම් දහම අවාසනාවන්ත ඛේදවාචකයන්ටය සමාජය තුල දිනෙන් දින ගොදුරු වන බව ප්‍රථමයෙන් මුස්ලීම් සමාජය හොදින් අවබෝධ කර නොගැනීමයි. එනම්, දිව්‍යමය මඟපෙන්වීමක් මත ගොඩනැඟුණු ඉස්ලාම් දහම අද එහි ඉගෙන්වීමන් කිහිපයකට සීමා කොට සමාජය තුල අඛණ්ඩ සංවාදයන්ට බඳුන් කිරීම තුල සිදුවන්නේ ඉස්ලාම් දහම මිනිස් සමාජයට දේශනා කරන යහපත් ඉගෙන්වීමන් බොහොමයක් මුස්ලීම් සමජයට පමණක් නොව, ඉස්ලාම් දහම කෙරෙහි කුතුහලයෙන්, සැකයෙන් හා වැරදි දෘෂ්ඨියකින් බලන මුස්ලීම් නොවන සමාජයට පවා අනාවරණය නොවී වසන් වී යාමයි. නිදසුනක් ලෙස වර්ථමානයේ අප රට තුල ඉස්ලාම් විවේචකයින් කථා කරන ප්‍රධාන විෂයන් වන ගව ඝාතනය, කාන්තා ඇදුම, හලාල් ලාංඡන… යනාදීය සදහන් කලහැක. මේවා තුලින් අද ශ්‍රී ලාංකීය සමාජයට ලබාදී ඇති පණිවුඩය වන්නේ ඉස්ලාම් නම් ‘සතුන් මැරීම‘, ‘ කාන්තාවට හිංසා කිරීම‘, ‘හලාල් නමින් දෙවියන්ට කැපකල ආහා‍ර මුස්ලීම් නොවන පිරිසට කැවීම’… යනාදී පටු අදහස් මිස ඊට ඔබ්බට ගිය එකක් නොවේ.

මේ අවාසනාවන්ත තත්වයෙන් ඉස්ලාම් දහම මුදවා ගැනීමේ දී මුස්ලීම්වරුන් වශයෙන් තනි තනිව හා සාමූහිකව පැවරෙන වගකීම හා යුතුකම් රාශියක් ඇත. විශේෂයෙන් පිරිසිදු දහම ඒ ආකාරයෙන් සමාජ ගතකිරීම එහි ප්‍රධාන වගකීමයි. ඉස්ලාම් දහම පහසුවෙන් අධ්‍යනය කලහැකි ආකාරයට අන්‍ය සමාජයට දොරකවුළු විවර කරදීම මෙහි ප්‍රධාන වගකීමකි. එය ඉස්ලාම් දහම ශුද්ධ වූ කුර්ආනය තුලින් මුස්ලීම් සමාජය කෙරෙහි දැඩිව අවවාද කරන උතුම් වූ මෙහෙවරක් ද වේ. මීට අමතරව වර්ථමාන මුස්ලීම් සමාජය හා ඉස්ලාම් දහම අතර ඇති බැදීම කුමක්ද? යන්න සමාජයට පැහැදිලි කිරීමත්, ඔවුන් නැවත ඉස්ලාම්කරණය කිරීමත් මේ තුල අවදානය යොමු වියයුතුම තවත් ප්‍රධාන වගකීමකි. මේ අනුව යහමඟ වෙබ් අඩවිය පවා ඉදිරියේ දී ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ පුළුල් ආකාරයට කරුණු සාකච්චා කිරීමට අදහස් කරන අතර ඒ සදහා ප්‍රථමයෙන් අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදය ‘යහමඟ’ට ප්‍රාර්ථනා කරන ලෙසත්, ඔබේ දැනුමෙන් මේ මෙහෙවරට සක්‍රිය දායකත්වය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමින් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම