කිතුණූ ආගමික බෙදීම් කියාපාන අචල ඉණිමඟ

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ආගමික අභ්‍යන්තර ආරවුල් සහ බෙදීම් යන කාරණය සැලකූ විට ලොවපුරා වැඩියෙන් කථාබහට ලක් වන ආගම ඉස්ලාම් ආගමයි. එසේ කථාබහට ලක්වන තරමට මුස්ලීම් සමාජය තුල ආගමික බෙදීම් හා ගැටුම් තිබෙනවා යන්නත්, ඉස්ලාම් දහම විවිධ කොටස්වලට බෙදාගෙන බේද වී සිටිනවා යන්නත් තිත්ත වූ ඇත්තකි. මෙම අවාසනාවන්ත තත්වය පිලිබදව යහමග අඩවිය තුල දීර්ඝ ලෙස සාකච්චා කොට ද ඇත. එවැනි ලිපි කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

නමුත් මෙම ආගමික අභ්‍යන්තර ආරවුල් සහ බෙදීම් යන්න ඉස්ලාම් දහමට පමණක් ආවේනික කාරණයක් නොවේ. මෙම අර්බුදය ලොව සෑම දහමක ම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. අද මෙම ලිපිය තුලින් කථා කිරීමට යන්නේ එලෙස කිතුණූ දහමට ආවේනික ලොව ජනප්‍රිය ආරවුල් හා අර්බුද පිරි එක් අවස්ථාවක් පිලිබදවයි, ඒ නොසැලෙන ඉණිමඟ නමින් ප්‍රසිද්ධ කිතුණු ආගමික නිකායන් කිහිපයක් අතර පවතින ඉණිමඟක් මුල් කරගත් ආගමික ආරවුලක් පිලිබදවයි.

‍ජෙරූසලම් හි ක්‍රි:ව: 335 දී පමණ ඉදිකල සෙපුල්චර් දේවස්ථානය කිතුණුවන් අතර ප්‍රසිද්ධ පූජනීය ස්ථානයකි. සෑම වසරකම ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමණිකයන් ජෙරුසලමේ පිහිටි මෙම දේවස්ථානයට වන්දනාවේ පැමිණෙති. මෙසේ සෙපුල්චර් දේවස්ථානයට පැමිණෙන කිතුණුවන් ඔවුන්ගේ ලෝක ප්‍රසිද්ධ ශුද්ධ වූ ස්ථාන දෙක වන ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ කල්වාරි සහ ඔහුගේ හිස් සොහොන (එනම්, ඔහු තැන්පත් කරන ලද සහ මළවුන්ගෙන් උත්ථාන වූවා යැයි විශ්වාස කරන ස්ථානය) මෙහි දැක බලාගනිති. මාතෘකාවට අදාල නොවුනත් මෙතැනදී ඔබගේ විශේෂ අවදානයට ගෙනආයුතු කාරණයක් ඇත. එනම්, මෙම දේවස්ථානයේ දොරටු දෛනිකව විවෘත කිරීමේ, හා වසා දැමීමේ නිළ වගකීම ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ පැවරී තිබෙන්නේ මුස්ලීම් පවුල් දෙකකට යන්යනයි. (මේ පිලිබදව වැඩි විස්තර “යහමග අඩවිය“ තුල “ශතවර්ෂ ගණනාවක් පුරා ශුද්ධ වූ කිතුනු භූමිය රැකබලා ගැනීම මුස්ලිම් පවුල් දෙකක්“ යන ලිපිය තුලින් ඔබට වැඩිදුර කියවීමට පුළුවන) මේ තුලින් කියාපාන්නේ එවකට එම පලස්තීන භූමිය තුල පැවතී ආගමික සහජීවනය නොවේද? යන්න ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් එම සෙපුල්චර් දේවස්ථානය තුල ගමන් ගන්නා පිරිසට දර්ශනය වන සුවිශේෂි දසුනක් වූ එම පල්ලියේ කවුළුවක් යට තබා ඇති “ඉණිමඟ” පිලිබදව වූ කථාවට දැන් යොමු වෙමි.

වසර 300ක් පමණ කාලයක් මුළුල්ලේ එකම ස්ථානයේ තිබෙන එම “නොසැලෙන ඉණිමඟ” අද එක්තරා ආකාරයක ආගමික සංකේතයක් වී හමාරය. (ඒ සම්බන්ධයෙන් වූ පිංතූර මෙහි Click කොට නරඹන්න) මිනිසාගේ මෝඩකමෙන්, උඩඟුකමෙන් සහ අශිෂ්ඨත්වයෙන් පමණක් නිර්මාණය වූ එම ආශ්චර්‍යය මෙසේය.

ලොව අනුකුත් දහමන් මෙන්ම කිතුණු දහම ද එහි මුල් කාලවල සිටම විවිධ කොටස්වලට බිඳී යාම සහ නොයෙකුත් නිකායන් දහම තුල නිර්මාණය වීම දකින්නට තිබුණි. මෙයින් වඩාත් කැපී පෙනෙන සිදුවීම වූයේ ඉහතින් සදහන් නිකායන් සෙපුල්චර් දේවස්ථානයේ උරුමය වෙනුවෙන් සහ එහි ආධිපත්‍යය වෙනුවෙන් සියවස් ගණනාවක් පුරා දරුණු ලෙස සටන් කිරීමයි. මෙසේ කාලයක් මුළුල්ලේ පැවතී එම අර්බුදය හා ආරවුල සමතයකට පත්කිරීම අරමුණූ කොට එවකට රටේ පාලක ඔටෝමාන් සුල්තාන් අබ්දුල් හමීඩ් විසින් 1757 දී මෙම පල්ලියේ භාරකාරත්වය කිතුණු නිකායන් හයකට ගිවිසුමකින් පවරාදෙන ලදී. එම ගිවිසුමට අනුව ඉහත දේවස්ථානය බෙදාගත් ආගමික නිකායන් එහි යම් වෙනසක් සිදු කිරීමට නම්, එම ගිවිසුමට බැදී ඇති පාර්ශවයන් සියලුම දෙනා එකඟ විය යුතු බව එහි සඳහන් කෙරුණි. එම පාර්ශවයන් අතර “ග්‍රීක ඕතඩොක්ස්”, “ආර්මේනියානු අපෝස්තලික” සහ “රෝමානු කතෝලික පල්ලිය” ප්‍රධාන වූ අතර “කොප්ටික්”, “ඉතියෝපියානු” සහ “සිරියැක්” ඕතඩොක්ස් පල්ලි ද අනික් පාර්ශව තුන විය.

මෙසේ සමස්ථ දේවස්ථාන ගොඩනැගිල්ලම ප්‍රවේශමෙන් කොටස් වලට බෙදා එහි ආධිපත්‍යය ඒ ඒ නිකායන්ට පැවරූ අතර සමහරක් කොටස් නිකායන් හයට පොදුවේ ද පවරන ලදී. සංකීර්ණ නීති මාලාවක් ද විශේෂයෙන් නිවාඩු දිනවලදී එක් එක් විශේෂිත කොටස හරහා අනෙකුත් කණ්ඩායම්වල සංක්‍රමණ අයිතිවාසිකම් පාලනය කරන නීති මාලාවන් ද එහි විය. කෙසේ වෙතත්, පල්ලියේ සමහර කොටස් අදටත් දැඩි මතභේදාත්මකව පවතී. මේ හේතුව නිසාම එහි වාද විවාද සහ ප්‍රචණ්ඩ ගැටුම් සාමාන්‍ය කාරණයක් වී ඇත. එයට නිදසුන් කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්,

  • 2008 නොවැම්බරයේදී එවැනි එක් ආරවුලකදී ආර්මේනියානු සහ ග්‍රීක පූජකවරුන් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක වීඩියෝ දර්ශන අදටත් අන්තර්ජාලය තුල දැකගත හැක.
  • 2002 දී ඇති වූ ආරවුලකදී, කොප්ටික් ක්‍රිස්තියානි පූජකවරයෙකු ඔහුගේ පුටුව ඉතියෝපියානු ඕතඩොක්ස් අවකාශයට 20cm පමණ කුඩා දුර ප්‍රමාණයක් ගෙන ගියේය. එහි ඇති වූ ගැටුමෙන් පසු 11 දෙනෙකු රෝහල් ගත කරන්න සිදුවිය.
  • මෙම තත්වය නිසා ගොඩනැගිල්ලේ කිසිදු ප්‍රතිසංස්කරණ හෝ අලුත්වැඩියා කටයුත්තක් සිදු කිරීමට නොහැකිව අද පල්ලියම දිරාපත් වෙමින් පවතී.

මෙලෙස අවාසනාවන්ත තැනකට තල්ලු වූ ඉහත සදහන් දේවස්ථාන භාරකාරත්වය පැවරූ 1757 ගිවිසුමත් සමඟ මෙම ලිපියේ මාතෘකාවට අදාල “ඉණිමඟ” කථාවද ඇරඹූණි. එය මෙසේය,

18 වන ශතවර්ෂයේ මුල් භාගයේදී, යම් කෙනෙක් පල්ලියේ බිත්තිය මත කිසියම් ප්‍රතිකංස්කරණ කටයුත්තක් සදහා හේත්තු කරන ලද “ඉණිමඟක්” අදටත් එම ස්ථානයේ දක්නට ඇත. (එම ඉණිමඟ කවුරුන් විසින් එතැන තැබුවාද යන්නට පැහැදිලි සාක්ෂියක් නැත) මෙම දේවස්ථානයේ භාරකාරත්වය දරණ නිකායන් අතර පවතින ආරවුල නිසා මෙම ඉණිමඟ ස්පර්ශ කිරීමට කිසිවකුත් ඉදිරිපත් වන්නේ ද නැත. (පුටුවක් චලනය කිරීම නිසා සිදුවූ හානිය අප ඉහතින් බැලුවෙමු.) මෙම ආගමික මුරණ්ඩුකමේ විකාර ප්‍රතිඵලයක් වූ මේ ඉණිමඟ සම්බන්ධයෙන් වූ ඉතිහාසය කෙටියෙන් විස්තර කරන්නේ නම්,

  • මෙම ඉණිමඟ ලෙබනන දේවදාර ලී වලින් සාදන ලද කුඩා ලී ඉණිමඟක් වන අතර එය සෙපුල්චර් දේවස්ථානයේ මුහුණතට ඉහළින් සහ ජනේලයට පහලින් පිටතින් තබා ඇත.
  • මෙම ඉණිමඟ එම ස්ථානයේ තැබූ නිශ්චිත දිනය නොදන්නා නමුත් එහි ඉතිහාසය 1728 දක්වා දිවයන්නක් බව එම වකවානුවේ ඇඳි කැටයම් චිත්‍ර තහවුරු කරයි.
  • එසේම 19 වන සියවසේ විවිධ ලිතෝග්‍රැෆ් සහ ඡායාරූපවල ද මෙම ඉණිමඟ පෙන්වයි.
  • මෙම ඉණිමඟ වසර 300ක් පුරා මෙසේ තිබීම තුල එය තබා ඇති තැන ඉහත නිකායන් 06 ට තනිව අයත් නොවන පොදු තැනක වියයුතු බව පෙනේ.
  • නමුත් සමහර අය එය ආර්මේනියානු අපෝස්තලික පල්ලියට අයත් යැයි තර්ක කිරීම ද දක්නට ලැබේ.
  • 1964 දී ඉණිමඟ නව අර්ථයක් ගත්තේය. එනම් හයවන පෝල් පාප් වහන්සේ මෙම භූමියට පැමිණ සිටි අතර තත්ත්‍වය ගිවිසුමේ සංකේතයක් බවට පත් වූ ඉනිමඟ කිතුනුවන් අතර ඇති අපකීර්තිමත් බෙදීම් සිහිපත් කරන ආකාරය ගැන දුක් විය. ඒ නිසා ක්‍රිස්තියානීන් අතර තිබෙන භේද පහව යන තුරු ඉණිමඟ තිබෙන තැනම තිබෙන්න කියලා ඔහු නියෝග කළා.
  • 1981 දී, යමෙකු ඉණිමඟ චලනය කිරීමට උත්සාහ කළ නමුත්, ඊශ්‍රායල පොලිසිය විසින් එය නතර කරන ලදී.
  • 1997 දී, කිසියම් කෙනෙකු ඉණිමඟ එතැනින් සාර්ථක ලෙස සොරකම් කිරීමට සමත් වූ නමුත් අවාසනාවකට එය සොයාගෙන යථා තත්ත්වයට පත් කර නැවත එම ස්ථානයේ තබන ලදී.
  • 2009 දී දේවස්ථාන ඝණ්ඨාර කුළුණ අලුත්වැඩියා කිරීම සඳහා එහි කම්කරුවන් මෙම ඉණිමඟ සුළු වශයෙන් චලනය කොට නැවත තිබූ තැනම තැබූ බව සදහන් වේ.

මේ ආකාරයට ඓතිහාසික සෙපුල්චර් දේවස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපස ඉහල මාලයේ ඇති “ඉණිමඟ” සියවස් 03ක් මුළුල්ලේ ලෝකයාට කියාපාමින් තිබෙන සත්‍යය කුමක්ද?. යන්න මේ සමාජය බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, ආගම දහම එහි පුස්තකයන් තුල සුන්දර, සාමකාමී එකක් වූවත්, එහි අනුගාමිකයන් තුල එය තවම එතරම් සුන්දර හෝ සාමකාමී වී නැත යන්න නොවේද?. එයට මූලික හේතුව දහමෙහි සැබෑ අරුථ තේරුම් නොගැනිම, මෝඩකම, උඩඟුකම සහ මනුෂ්‍යත්වය කිලිටි වීම යන්න පැහැදිලිව මෙහි සදහන් කලහැක. මෙම ලිපියේ අරමුණ වූ කිතුණු සමාජයේ පවතින ආගමික ආරවුල සහ බෙදීමට මෙම “ඉණිමඟේ” කථාව එක් නිදසුනක් පමණක් වන අතර මෙවැනි ආරවුල් සහ බෙදීම් තවත් බොහෝමයක් එම සමාජය තුලත් දක්නට ඇති බව අමතක කලයුතු නැත. මේ සියල්ල තුලින් පෙනී යන සත්න්නේ‍ය නම්, ආගමික බෙදීම් යන්න මුස්ලීම් සමාජයට පමණක් නොව ලොව සෑම ආගමික සමාජයකටම පොදු වූ අවාසනාවන්ත තත්වයක් යන්නයි.

(වැඩිදුර කරුණූ කියවීමට මෙහි Link Click කරන්න 1, 2, 3, 4, 5...)

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම