ළමා අවදියට වින කරන වැඩිහිටියන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ළමුන් රටක අනාගත ආයෝජනය, ළමුන් ජාතියේ අනාගතය, ළමුන් රටේ කොඳුනාරටිය, ළමුන් රටේ ශක්තිය... මේ ළමුන් සම්බන්ධයෙන් සමාජය තුල නිතර ඇසෙන ප්‍රකාශයන් කිහිපයකි. ළමුන් සම්බන්ධයෙන් වූ ප්‍රකාශන මෙතරම් සුන්දර වූවත් වත්මන් ළමා පරපුරේ ජීවිත නම් ඒ කියන තරම් සුන්දර නොවන බවයි ලෝක ළමා හා වැඩිහිටි දිනය වූ අද දවසේ මෙහි සටහන් කලයුතුව ඇත්තේ. එසේ මා මෙහි සටහන් කිරීමට හේතුව අතීතයේ සුන්දර ළමා අවදියක් අත්වින්ද වත්මන් වැඩිහිටි පරම්පරාව ඒ සොඳුරු අතීතය වර්ථමාන ළමා පරපුරට දායාද නොකොට ඔවුන්ගෙන් එය උදුරාගෙන ඇති බැවිණ. වැඩිහිටියන් වන අප සැබෑවටම අද අපේ දරුවන්ට උරුම කොට දී ඇත්තේ කුමක්ද? යන්න තරමක් ගැඹූරින් විමසා බැලුවේ නම් එය ඔබට හොදින් පැහැදිලි වනු ඇත. වැඩිහිටි සමාජය සංකේතාත්මකව හෝ සංස්කෘතියක් ලෙස "ලෝක ළමා දිනයක්" සැමරුවත් ඇත්තටම අප ඒ ළමා අවදියට වින කරමින් සහ ඒ ළමා අවදිය ඔවුන්ගෙන් උදුරා ගැනීමට කටයුතු කරමින් සිටිනවා මිස අවංකව ළමුන් සදහා වැඩිහිටියන් වශයෙන් අප කුමක් කර ඇත්තෙමුද?.

වත්මන් ජාත්‍යන්තර ළමා පරපුරේ ඉරණම බැලුවත්, ඔක්තෝබර් 01 දින “ලෝක ළමා හා වැඩිහිටියන් දිනය” සමරණ ශ්‍රී ලාංකීය අපේ දරුවන්ගේ ඉරණම බැලුවත් මේ දෙකම ඉතා අවාසනාවන්ත තැනක තිබෙන බව පැහැදිලිය. විටෙක ශ්‍රී ලාංකීය සමාජය තුල වාර්ථා වන සිද්ධීන් දෙස බලන විට අප රටේ ළමා පරපුර ලොව අනිකුත් රටවලට සාපෙක්ෂව ඉතා ඛේදනීය තැනක සිටිනවා නොවේද? යැයි ද සිතේ. මෙවන් සමාජ පසුබිමක (2023) ලෝක ළමා දිනය මූලික කරගෙන ළමා අවදියට වින කරන වැඩිහිටියන් යන මාතෘකාව යටතේ මේ රටේ ළමා පරපුරේ යහපත උදෙසා වැඩිහිටි සමාජයේ අවදානය පිණිස කරුණු කිහිපයක් මෙහි ගෙන එන්නට අදහස් කරමි.

එම සාකච්චාවට යොමුවීමට මත්තෙන් මේ රටේ ළමා පරපුරේ ඉරණම පිලිබදව යහමග අඩවිය මීට ඉහත සාකච්චා කල ලිපි කිහිපයක් ඔබේ විමසුමට මෙහි පහතින් නැවත පෙලගසන්න කැමැත්තෙමි.

මේ රටේ දරුවන් වෙනුවෙන් යහමග අඩවිය නැඟූ ඉහත හඬ ඔබේ බුද්ධිමත් විමසුට තබමින් වත්මන් ශ්‍රී ලාංකිය සමාජය තුල ළමා පරපුරට වැඩිහිටියන් වන අප උරුම කොට ඇති ඉරණම කුමක්ද? යන්න පසුගිය දිනවල මේ රටේ අනාවර්ණය වූ සමීප සිද්ධීන් කිහිපයක පුවත්පත් නිදසුන් සහිතව ඔබේ විමසුමට ගෙන එන්නට අදහස් කරමි. එම සාකච්චාවට යොමුවීමට මත්තෙන් මේ "ලෝක ළමා දිනයේ" දිනය පිලිබදව ඇති පුංචි පටලැවිල්ලක් මෙහි පැහැදිලි කරමින්ම එම සාකච්චාවට යොමු වීමට ද අදහස් කරමි.

ලෝක ළමා දිනයේ පටලැවිල්ල කුමක්ද?

"ලෝක ළමා දිනය" ලෙස හදුන්වන මෙම දිනය ශ්‍රී ලාංකීය අප ඔක්තෝබර් 01 දිනට සැමරුවත් ලොවපුරා තිබෙන රටවල් එම දිනය එදිනට ම නොසමරයි. බොහෝ රටවල් "ලෝක ළමා දිනය" සමරන්නේ නොවැම්බර් මස 20 දිනටයි. මේ අනුව ශ්‍රී ලාංකීය අප සමරන "ළමා දිනය" සහ වෙනත් රටවල් සමරන "ළමා දිනය" අතර දිනයෙහි වෙනසක් දක්නට ලැබේ. මෙයට හේතුව කුමක්ද? යන්නත් මෙහි ඉතිහාසය කුමක්ද? යන්නත් කෙටියෙන් විමසා බැලුවේ නම්,

ලෝක ළමා දින සැමරුම් ඉතිහාසය වසර 166 ක් පමණ ඈතට දිවයන්නකි. එනම්, ඇමරිකා එක්සත් ජනපදයේ විසූ චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමා විසින් 1857 දී මානව සමාජයේ පැවැත්ම උදෙසා අනාගත පරම්පරාව රැකගැනීම හා ඔවුන්ගේ ශුභ සිද්ධිය පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය යොමු කිරීම අරමුණු කොට මෙම දිනය රෝස දිනය ලෙස නම් කොට ආරම්භ කරන ලදී. මෙසේ ආරම්භ කල සැමරුම ජාතික සැමරුම් දිනයක් ලෙස සැමරීම තුර්කි රජය විසින් 1920 දී ප්‍රථම වරට ආරම්භ කල අතර බටහිර රටවල් රාශියක් එය පිළිගෙන වාර්ෂිකව ළමයින් ආරක්ෂා කිරීමේ දිනය ලෙස නම් කර වාර්ෂිකව වර්ෂයක් පාසා සැමරීම ආරම්භ කරන ලදී. පසුව එම දිනය විශ්ව ළමා දිනය ලෙස නම් කරමින් 1954 නොවැම්බර් මස 20 දා සිට වාර්ෂිකව සැමරීම සිදුවූ අතර, ඕනෑම රටකට පහසු දිනයක එම දිනය සැමරීමට හැකි බවද ප්‍රකාශයට පත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව ද අන්තර්ජාතික ලෝක ළමා දිනය ලෙස (ලෝක වැඩිහිටි දිනය ද එක් කොට) ඔක්තෝබර් මස පළමු වැනි දින "ලෝක ළමා හා වැඩිහිටි දිනය" ලෙස සැමරීම සිදු කරයි.

එම කාරණය යහමග පාඨක ඔබේ වැඩිදුර දැනගැනීම පිණිස තබමින් අපගේ මාතෘකාව වන ළමා අවදියට වින කරන වැඩිහිටියන් යන සාකච්චාවට මෙතැන් සිට යොමු වූයේ නම්,

වත්මන් ළමා පරපුරට ජාත්‍යන්තරය තුල හිමි තැන

ලෝක ළමුන් සම්බන්ධයෙන් UNHCR (එක්සසත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්) වාර්ථාවකට අනුව එහි මෙසේ සදහන් වේ. එනම්,

  • ලෝකයේ සරණාගත ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ළමුන් වේ.
  • ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ප්‍රමාණවත් ආහාර, නවාතැන්, ස්ථාවරත්වය, අධ්‍යාපනය සහ ළමා කාලයේ ප්‍රීතිය අහිමි වූවන් වේ.
  • සමහරු ආදරය කරන අය අහිමි වීමෙන් කම්පනයට පත්ව ජීවත් වෙති,
  • තවත් සමහරුන්ට රැකවරණයක් නොමැතිව ඉතිරි වී ඇති අතර ඔවුන් අපයෝජනයට, ප්‍රචණ්ඩත්වයට, ළමා ශ්‍රමයට සහ සූරාකෑමට ගොදුරු වේ.

එහි තවත් UNHCR වාර්තාවකින් තවදුරටත් පේනවා දෙන්නේ ලොව පවතින විවිධ යුධ තත්වයන් නිසා,..

  • ළමුන් මිලියන 2 ක් පමණ මිය ගොස් ඇති අතර,
  • මිලියන 4-5 ක් ආබාධිතයන් ද,
  • මිලියන 12 ක් නිවාස අහිමි වූවන් ලෙසද,
  • මිලියන 1 කට වඩා අනාථ වූ හෝ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් වූවන් ලෙසද,
  • මිලියන 10 ක් පමණ මානසික කම්පනයට පත්ව ජීවත් වන බවද පවසයි.

මීට අමතරව ඒ ඒ රටවල් තුල සිදුවන ළමා හිංසන සහ අපයෝජන සැලකූවිට ඉහත සංඛ්‍යා ලේඛන කොතරම් විශාල අගයකට පත්වනු ඇත්ද? යන්න ශ්‍රි ලාංකීය අපට සිතාගැනීම අපහසු නොවනු ඇතැයි සිතමි. මන්ද එම නිගමනයන්ට එළඹීමට ප්‍රමාණවත් සිද්ධීන් සහ පුවත් අප රට තුල දෛනිකව ඕනෑතරම් වාර්ථා වන බැවිණ. එවැනි සමීපතම පුවත් හා සිද්ධීන් කිහිපයක් පදනම් කරගෙන මෙම මෘතෘකාව ඉදිරියට විමසා බලන්නේ නම්,

ශ්‍රී ලාංකීය ළමා පරපුරට සමාජය තුල හිමි තැන

අද අපේ රට ආර්ථිකමය වශයෙන් කොතරම් පහත් තැනක තිබෙනවාද? යන්න මා මෙහි අමුතුවෙන් පැහැදිලි කලයුතු නොවේ යැයි සිතමි. රටේ වර්ධනය වෙමින් තිබෙන මන්දපෝෂණ සංඛ්‍යා ලේඛන එය මැනවින් කියාපායි. එසේම රටේ සාරධර්ම හා සෞඛ්‍යය ඉතාම පහත් තැනකට වැටී ඇති ආකාරය සමාජය තුල දෛනිකව වාර්ථා වන පුවත් හා සිද්ධීන් ඕනෑවටත් වැඩියෙන් ඔප්පු කොට පෙන්වයි. මේ ආකාරයට සාරධාර්ම පිරිහී, අධ්‍යාපනය බිඳ වැටී, මන්දපෝෂණය රජ වී, ආර්ථිකය ගිලිහී, ගුණධර්ම නැතිවී... රෝගී වූ සමාජය තුල ළමා පරපුර පමණක් නිරෝගි විය නොහැක යන්න යථාර්තයයි. එම යථාර්තය තුල වත්මන් ළමා පරපුර අත්විඳිමින් සිටින ඛේදනීය ඉරණම කුමක්ද? යන්න සහ මේ සමාජයේ වැඩිහිටි පරම්පරාව ඔවුන්ට දායාද කොට ඇති බේදනීය ඉරණම කුමක්ද? යන්න මෙතැන් සිට නිදසුන් කිහිපයක් සහිතව විමසා බලන්නට අදහස් කරමි.

ළමා හිංසන සහ අපයෝජන

අද අප රටේ දරුවන් මුහුණපාන උග්‍රතම ගැටළුව නම් ඔවුන් නිරන්තරයෙන් කාමාතුරයන්ගේ හිංසනයට හා අපයෝජනයට ගොදුරු වීමයි. විදුහලේ විදුහල්පතිගේ පටන්, ගුරුවරුන්, උපකාරක පන්ති ගුරුවරුන්, ළමා නිවාසවල පාලකවරුන්... යනාදී ලෙස මෙහි ලේඛනය ඕනෑතරම් දීර්ඝ ලෙස පෙලගැසිය හැක. මීට අමතරව තම නිවසේ පියවරුන්, සහෝදරයින්, ඥාතී හිතමිත්‍රයන්, අසැල්වැසියන්... යානාදී ලෙස තවත් පසෙකින් දීර්ඝ පෙලගැසීමක් කලහැක. එපමණක් ද නොව ප්‍රදේශයේ නරුම කාමාතුරයන් අතින් ඝාතනය වූ මල් කැකුළු වැනි දරුවන් නම් කොතරම්ද?. (11 උපුටා ගැනීම පහතින් කියවන්න) මේ සියල්ල තුලින් කියාපාන්නේ මේ සමාජය දරුවන්ට අනාරක්ෂීත බව නොවේද?. මෙම අනාරක්ෂිත සමාජයේ විකෘතියේ තරම කියාපාන සමීප සිදුවීමක් පසුගිය දිනක අප රටේ ජනප්‍රිය පුවත්පතක පලවිය. ඒ, බාල වයස්කාර දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් අසභ්‍ය වීඩියෝ දර්ශන මුදලට විකුණූ බව කියන හිමිනමක හා ඊට ආධාර අනුබල දුන් බව කියන කුලී රථ රියදුරකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය (01 උපුටා ගැනීම පහතින් කියවන්න) මෙම පුවත මෙහි විශේෂයෙන් ඔබේ අවදානයට මා ගෙන එමට මූලික හේතුවක් ඇත. එනම්, සමාජයක් දැහැමි මාර්ගයක් වෙත මඟපෙන්වීමට කැපවී සිටින ආගමික පූජකවරයෙකු (භික්ෂුවක්) මේ ආකාරයට ඉතා පහත් අන්දමින් ක්‍රියා කිරීම තුල මේ සමාජයේ වැටීම කොතරම් පතුලට ඔඩුදුවා ඇත්ද? යන්න මනාව කියාපාන බැවිණි. ඉහත එම අපරාධයට සම්බන්ධ වූ හිමිනම සතුව තිබූ පිංතූර ගණන සහ එම පිංතූරවල සිටී දරුවන්ගේ වයස් සීමාවන් මෙම ලිපිය කියවන ඔබේ බුද්ධිමත් අවදානයට යොමු වියයුතුම කාරණයකි.

එය මෙසේය...

  • මාස 7 සිට අවුරුදු 18 දක්වා දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා දර්ශන සැකකරු සතුව තිබී ඇත.
  • ඒ අතරින් සියයට 80ක් පමණ වයස අවුරුදු 10ට අඩු දැරියන්ගේ බව පොලිසිය පවසයි.
  • මෙම පිංතූර සමාජ මාධ්‍ය හරහා මුදලට අලෙවි කිරීමේ නිරතව සිටියේ රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකි.
  • අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුගේ පරිගණක තුනක තිබී ඇති කුඩා දරුවන්ගෙ නිරුවත් වීඩියෝ දර්ශන සහ ඡායාරූප 1500 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
  • සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයන් කර ඇති වැරදි සම්බන්ධයෙන් වරද පිළිගැනීමට සූදානම් බව සඳහන් කළ වගද එම පුවතේම දැක්වේ.

(01 උපුටා ගැනීම පහතින් කියවන්න)

මාස 07 ක කුඩා දරුවකුගේ පිංතූර පවා තමන් සංතකයේ තබාගෙන අලෙවි කරන තැනකට හිමිනමක් පත්වීම යන්න එම හිමිනමගේ මානසික විකෘතිය පමණක් නොව මේ සමාජයේම විකෘතියත් කියාපෑමක් නොවේද?. එහි පිංතූර 1500 අතුරින් 80% ක් වයස අවුරුදු 10 ට අඩු දරුවන්ගේ යැයි සදහන් වීම තුල වක්‍ර ආකාරයෙන් මේ සමාජයේ ඉල්ලීම කුමක්ද? යන්න පිලිබදව දළ අවබෝධයක් මෙහි අපට ගතහැකි වනවා නොවේද?. එපමණක් නොව මේ අනාවර්ණය වූයේ රටේ තිබූ එකම එක සිද්ධි යැයි මේ සමාජයේ කිසිවකුට හෝ පැවසිය හැකිවේද?. එපමණක් ද නොවේ හිමිනමකගේ ක්‍රියා කලාපය මෙය නම්, සමාජයේ සමාන්‍ය ජනයාගේ විකෘතිය කොතරම් වියයුතුද?.

සමාජයේ මල්වන් කුකුළු ළමා අවදිය මේ ආකාරයට කෙලෙසූ පලමු අවස්ථාව මෙය නොවේ. මෙවැනි පුවත් දිනපතා අප සමාජය තුල නිතර අසන්නට ලැබේ. යහමග අඩවිය ඉදිරිපත් කරන “නිමා නොවන ළමා හිංසන” නම් දෛනිකව යාවත්කාලීන කරන ලිපිය එයට කදිම නිදසුනකි. කුඩා දරුවන්ගේ අසභ්‍ය දර්ශන මුදලට විකිණීමට තරම් හා සිය ලිංගික ආශාවන් තෘප්ත කරගැනීම උදෙසා ඒවා මිලට ගැනීමට තරම් අධ්‍යාත්මික අතින් පහත් තැනකට වැටී ඇති මේ සමාජය තුල “ලෝක ළමා දිනය” යැයි දිනයක් සමරණ බව පවසමින් “සත්ව උද්‍යානයට නොමිලේ ටිකට්පත් ලබාදීම”, “පාසැල් මට්ටමින් දරුවන්ට රසකැවිලි ලබාදීම” හෝ “දේශපාලඥයින් විවිධ ප්‍රකාශ නිකුත් කිරීම” නම් ළමා දිනය සැමරීම මේ රට අද පවතින තැනින් තවත් පහලට වැටීම සහ විකෘති වූ හා පීඩිත ළමා පරපුරක් රට තුල බිහිවීම කිසිවකුටත් වැළකිය නොහැකි තත්වයක් වනු ඇත.

දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමට යොදා ගැනීම

මීට දින කිහිපයකට පෙර අප රටේ ජනප්‍රිය පුවත්පතක පලවූ පහත පුවත් සම්බන්ධයෙන් ද ඔබේ බුද්ධිමත් අවදානය මොහොතක් යොමු කරවන්නට කැමැත්තෙමි.

  • ගොකරැල්ල ප්‍රදේශයේ විදුහලක නම වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කීපදෙනකුගේ පොත් බෑග් පරීක්ෂා කර බැලූ පන්ති භාර ගුරුවරියට හමු වීමෙන් පසු කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. (02 උපුටා ගැනීම පහතින් කියවන්න)
  • කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු සිසුවා කලවාන පොලිසියට යොමු කර ඇති බව කලවාන පොලිසිය පැවසීය. එම සිසුවා පොලියට යොමු කිරිමෙන් අනතුරුව තදින් අවවාද කර මුදා හල බවද කලවාන පොලිසිය පැවසීය . මෙලෙස පාසල තුළ කසිප්පු අළෙවි කර ඇත්තේ එම පාසලේ 9 වන වසරේ සිසුවෙකි. (03 උපුටා ගැනීම පහතින් කියවන්න)

අප රටේ ළමා පරපුර සමාජයේ යහපත් පුරවැසියන් කිරීමට මැදිහත් වියයුතු දෙමාපියන් හා වැඩිහිටියන් මේ ආකාරයට ළමුන් මත්පැන් අලෙවියට එයත් පාසැල තුලම සිදු කිරීමට දිරිමත් කොට යොමු කිරීම කොතරම් ඛේදවාචකයක්ද?. මීට අමතරව පාසැල් අවට වෙළද සැල් මඟින් දරුවන්ට විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන පුවත් අප නිතර අසන්නෙමු. මේ සියල්ල තුලින් කියාපාන්නේ මේ රටේ අනාගත පරපුර මත් කරන්න වැඩිහිටි පරම්පරාව දක්වන උනන්දුව නොවේද?. මෙවන් පරිසරයක් තුල “ලෝක ළමා දින” උත්සව සැමරුම් පැවැත්වීම රටේ ළමා පරපුර පිලිබදව කිසිදු තැකීමක් නොමැති පටු අවස්ථාවාදීන්ගේ අරමුණු දිනාගන්නා සහ සහ විනෝදය සදහා සංවිධානය වූ තවත් උත්සවයක් පමණි.

රටේ දරුවන්ගේ අධ්‍යාපනය

රටේ අධ්‍යාපානය අද පවතින තැන කොතැනද යන්නත් මා මෙහි විස්තර කොට ඔබ දැනගැනීමට අවශ්‍ය නොවේ යැයි සිතමි. පාසැල් හි පවතින ගුරු හිඟය. දරුවන්ට දරාගත නොහැකි උපකාරක පංති සංස්කෘතිය, දරුවන්ගේ කොඳුඇට පෙල දුර්වල කරන පොත්බෑග් අධ්‍යාපාන ක්‍රමය, ගුරු / මාපිය Whatsapp Group අධ්‍යාපාන සංස්කෘතිය සහ රටේ පාලකයින්ගේ සහ නිළධාරීන්ගේ ප්‍රතිපත්තියක් නැති තීන්දු තීරණ මෙහි අරාජිකත්වය මනාව කියාපායි. මෙයට සමීප නිදසුනක් ලෙස මෙවර උසස් පෙළ පවත්වන දිනය සැලසුම් කරන ආකාරය හා ඒ් සම්බන්ධයෙන් බලධාරීන් සහ නිලධාරීන් තීන්දු තීරණ ගන්නා ආකාරය තරමක් බුද්ධිමත්ව විමසා බලැවේ නම් පැහැදිලි වේ. එය මෙසේය...

  • 2023 මෙම වර්ෂයේ උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශීෂ්‍යත්ව විභාග පවත්වන දින සදහා ජනාධිපති මැදිහත් වී ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බව ප්‍රකාශයට පත් කෙරුණි. (04 උපුටා ගැනීම පහතින් කියවන්න)
  • 2023/07/11 දින - උසස් පෙළ විභාගය නොවැම්බර් 27 දින පවත් වන බවට ප්‍රකාශ කරයි. (05 උපුටා ගැනීම පහතින් කියවන්න)
  • 2023/09/20 දින - පසුව අධ්‍යාපාන ඇමති උසස් පෙළ විභාගය පවත්වන දිනය සම්බන්ධයෙන් හෙට දවසේ ප්‍රකාශයක් කරන බව පාර්ලිමේන්තුවේ දී පවසයි. (06 උපුටා ගැනීම පහතින් කියවන්න)
  • 2023/09/21 දින - ලබන සතියේ විභාගය පවත්වන දිනය ප්‍රකාශ කරන බව පවසයි. (07 උපුටා ගැනීම පහතින් කියවන්න)
  • 2023/10/01 අදට සතියක් ඉක්මවා ගොස් ඇතත් තවමත් විභාගය පවත්වන ‍‍දිනයක් ප්‍රකාශයට පත්කොට නොමැත.
  • 2023/10/03 දින - උසස් පෙළ විභාගය කල් තබන දිනය විභාග කොමසාරිස්වරයා විසින් හෙට (4) හෝ අනිද්දා (5) ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය (නව යාවත්කාලීන එක් කිරීම (13 උපුටා ගැනීම පහතින් කියවන්න))

දරුවකු තම අධ්‍යාපාන ක්ෂෙත්‍රය මුහුණදෙන තීරණාත්මක විභාගයක් වේ නම්, ඒ උසස් පෙළ විභාගයයි. එම විභාගය සම්බන්ධයෙන් රටේ පාලකයින්ගේ ක්‍රියා පිලිවෙත මෙය නම්, මේ අධ්‍යාපාන ක්ෂේත්‍රයේ අනිකුත් තැන් ගැන කවර කථාද?. (08 උපුටා ගැනීම පහතින් කියවන්න) එපමණක් නොව මේ ආකාරයටම පසුගිය 2022 උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් ද වගකීම් විරහිතව බලධාරීන් කටයුතු කල ආකාරය අපි දුටුවෙමු. එමපණක් නොවේ එහි විභාග ප්‍රතිපලය ලබාදෙන්නත් අපේ රටේ බලධාරීන් සහ නිළධාරීන් කටයුතු කල ආකාරයත් අප දුටුවෙමු. මේ ආකාරයට වගකීම්වලින් තොරව ළමා පරපුරේ අනාගතය සමඟ සෙල්ලම් කරන එසේම අනාගත පරම්පරාවට වැරදි පූර්වාදර්ශ ලබාදෙන මෙම පිරිස් “ලෝක ළමා දිනය” සැමරුම නමින් රටේ ළමා පරපුරට දෙන පණිවුඩය කුමක්ද?. මෙවන් පාලකයින් රටේ සිටීම රටේ ළමා පරපුරේ පමණක් නොව ජාතියේම අවාසනාව නොවේද?.

දරුවන්ගේ මන්දපෝෂණය

රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ දරුවන්ගේ මන්දපෝෂණ මට්ටම ද ඉහල යමින් ඇති බව දෛනිකව වාර්ථා වන පුවත් තුලින් පැහැදිලි වේ. පසුගිය දිනක ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කය පදනම් කරගෙන පැවතී කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවී ඇති තොරතුරු පුවත්පතක් වාර්ථා කලේ මෙසේය.

  • ගම්පහ දිස්ත්‍රික්කයේ අති තීව්‍ර ළමා මන්ද පෝෂණය සහිත දරුවන් 1439 දෙනකු හා කොළඹ දිස්ත්‍රික්කයේ එවැනි මන්ද පෝෂණ දරුවන් 320 දෙනකු හඳුනාගෙන ඇත.
  • කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ හා මැද කොළඹ මේ තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවද එහිදී කියැවිණි.
  • ඉකුත් ජුලි මස කළ සොයා බැලීමකදී ප්‍රසූතියෙන් පසු දරුවන් 18,948 දෙනෙකගේ බර පරීක්‍ෂා කළ බවද වෛi රුවන් විජේමුණි මහතා කීය.
  • මෙරට වාර්ෂික දරු උපත් ප්‍රමාණය 350000 ක් පමණ වන මුත් දරු උපත් ප්‍රමාණය පසුගිය වසරේ දී දරු උපත් 304500 දක්වා පහළ ගොස් ඇත.
  • මේ අතර කොළඹ සිටින මන්ද පෝෂණයට ලක්ව සිටින දරුවන්ව ප්‍රාදේශීය සායන වලට ගෙන එන්නට කීවත් ප්‍රවාහන වියදම් නිසා මවුපියන් ඒවාට දරුවන් රැගෙන නොඑන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛi චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.
  • ඒ අනුව රතු කුරුස සංවිධානයේ සහාය මත ප්‍රවාහන වියදම් දීමනා ලබාදීමට උත්සාහ ගන්නා බවද වෛiවරයා එහිදී කියා සිටියේය.

(09 උපුටා ගැනීම පහතින් කියවන්න)

මේ ආකාරයට සෞඛ්‍ය අතින් පිරිහුණු ලබා පරපුරක් රට තුල නිර්මාණය වීම රටට බරක් යන්න මා මෙහි අමුතුවෙන් පැහැදිලි කලයුතු යැයි නොසිතමි. නමුත් මෙම සරල කාරණය තේරුම් ගන්න තරම්වත් අපේ රටේ බලධාරීන්ට සහ නිළධාරීන්ට බුද්ධියක් තිබේද? යන්න නම් ගැටළුවකි. මීට අමතරව ඊයේ දිනයේ පුවත්පතක පලවූ පුවත එනම්, "සරසවි සිසුන් වැඩි පිරිසකට හරිහමන් කෑමක් නැහැ" යන මාතෘකාව යටතේ පලවූ පුවතේ එක් තැනත සදහන් වන්නේ "...නිවාඩු දිනවලදී දවසේ වැඩි වේලාවක් නිදාගෙන දහවලේ ඇහැරී එක් වේලක් පමණක් ගැනීම එක් උපක්‍රමයක් බවත් වෙඩි කාල වේලාවක් නිදා ගැනීමෙන් ආහාර මගහැරීමට අවස්ථාව සැලසෙන්නේ යැයි ඔවුන්ගේ අදහස බවත් එම ආරංචිමාර්ග සඳහන් කළේය." (12 උපුටා ගැනීම පහතින් කියවන්න) මෙන්න අපේ නායකයින් අපේ දරුවන්ට උරුම කල රට. මේ ආකාරයට රෝගී වූ ළමා පරපුරක් සමඟ සමරන “ලෝක ළමාදින සැමරුම” තවත් සම්ප්‍රදායික සැමරුම්ක් මිස ඉන් ඔබ්බට එහි කිසිවක් නැති බව ඔබට නොතේරේද?.

අවසාන වශයෙන්

එක් පසෙකින් පවුලේ දරුවන් පෝෂණය කිරීමට තරම් ආර්ථික ශක්තියක් නොමැතිව තම දරුවන් මන්දපෝෂණ තත්වයට ගොදුරු වී තියෙද්දී, තවත් පසෙකින් සමාජීයව හා අධ්‍යාත්මිකව පිරිහී සමාජ විරෝධී ක්‍රියාවන්ට ළමා දිවිය ගොදුරු වෙද්දී, එසේම කාමුක වියරුවෙන් පෙලෙන සල්ලායින්ගේ කෙළි භාණ්ඩයක් තරමට ළමා අවදිය පත්ව තියෙද්දී, එපමණක් නොව දරුවන්ගේ නුවණැස පාදන පාසැල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අතින්ම ළමා අවදිය කෙලෙසෙද්දී (10 උපුටා ගැනීම පහතින් කියවන්න), රටේ බලධාරීන් සහ නිලධාරීන් වගකීමකින් තොරව කටයුතු කොට අනාගත ළමා පරපුරේ අනාගතය අඳුරට ඇද දමද්දී... මේ සියල්ල තුල අසරණ වී බලාහිඳින දරුවන් කර මත නැඟ මේ රටේ දරුවන්ට කිසිවකු සිදු නොවූ ගානට හිඳ “ලෝක ළමා දිනය” උත්සව ආකාරයෙන් සැමරීමට කටයුතු කිරීම එය මොන සැමරුමක්ද?. මොන විහිවක්ද? යන පැනය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම සටහනට විරාමය තබමි.



උපුටා ගැනීම පෙලගැස්ම මෙතැන් සිට කියවන්න

උපුටා ගැනීම 01 - අසැබි දසුන් අන්තර්ජාලයේ විකිණු සිවුරු දරාගත් අයෙක් මාට්ටු

අසභ්‍ය වෙබ් අඩෙවිවලින් දෙස් විදෙස් කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා ඔවුන් වැඩිහිටියන් සමග සිදුකරන ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝපට ලබාගෙන ඒවා සමාජ මාධ්‍ය හරහා මුදලට අලෙවි කිරීමේ නිරතව සිටි රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන 19 හැවිරිදි සිවුරු දරාගත් පුද්ගලයෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මාස 7 සිට අවුරුදු 18 දක්වා දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා දර්ශන සැකකරු සතුව තිබී ඇති අතර ඒ අතරින් සියයට 80ක් පමණ වයස අවුරුදු 10ට අඩු දැරියන්ගේ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුගේ පරිගණක තුනක සමග ඒවායේ තිබී ඇති අතර කුඩා දරුවන්ගෙ නිරුවත් වීඩියෝ දර්ශන සහ ඡායාරූප 1500 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත

කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප මෙන්ම ලිංගික දර්ශන සමාජ මාධ්‍ය සමූහයන් තුළ සංසරණය වන බවට ලද තොරතුරක් මත පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණයක් පසුගියදා ආරම්භ කළාහ.

සැකකරු එම දර්ශන ඔහු විසින් සම්බන්ධ වී සිටි සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඉල්ලුම් කරන පුද්ගලයන්ට මුදලට ලබා දී ඇත.

සැකකරු කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන ඇතුළත් රූපරාමු තොග වශයෙන් අලෙවි කරන බවත්, ඒ වෙනුවෙන් මුදල් අයකරන්නේ තහනම් ගුප්ත ව්‍යවහාරික මුදල් හුවමාරු ක්‍රමයක් වන ක්‍රිප්ටෝ කරන්සි මුදල් ක්‍රමයෙන් බවද විමර්ශන නිලධාරීන් අනාවරණ කර ගත් බව පොලිසිය පවසයි.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගැනීමෙන් පසු නිලධාරීන් එම සැකකරු සමඟ කෙටි පණිවිඩ හුවමාරු කරගෙන ඇති අතර පසුව සැකකරුගේ විශ්වාස දිනා ගැනීමෙන් පසුව එම ඡයාරූප ඉල්ලා ක්‍රිප්ටෝ කරන්සි හුවමාරුව හරහා රුපියල් 2000ක මුදලක් සැකකරු වෙත යොමුකර ඇත.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සැකකරුගේ එම නීති විරෝධී ක්‍රියාව තහවුරු කරගැනීමෙන් අනතුරුව නවීන තාක්ෂණය හරහා සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු රාගම ප්‍රදේශයේ පුද්ගලයකු බවට තහවුරු කරගෙන ඇත.

නිලධාරීන් හදුනාගත් එම ස්ථානයට ගොස් සොයා බැලීමේදී ඒ තේවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක් බවට තහවුරු වී ඇත.

නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව තෙක්ම සැකකරු විහාරස්ථානයක වැඩවාසය කරන සිවුරු දරාගත් පුද්ගලයෙක් බවට දැන සිටියේ නැති බවද එම පොලිසිය පවසයි.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ලකි රන්දෙණිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව් පි ජයනෙත්සිරි ල සහකාර පොලිස් අධිකාරී ‍‍‍‍(කාන්තා) චන්දිමා අනුමප්පෙරුම මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බි වි අයි ගයශ්රීා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන නිශාන්ත , කුමාර , මයුරන් , මහේෂ් පොලිස් කොස්තාපල් චාරුක පැතුම් ,අරුණ ශාන්ත, අනුපම, නිරෝෂන් සංඛ මහත්වරුන් පරීක්ෂණ පවත්වති.

https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%92-%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%AF%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-640060

උපුටා ගැනීම 02 - සැක ඉන්හේලර් පාසල් සිසුන්ගේ බෑග්වලින් සොයාගෙන

කිසියම් සැක ද්‍රව්‍ය සහිත ඉන්හේලර් කීපයක් පාසල් බෑග් කීපයක තිබි සොයාගත් බව ගොකරැල්ල පොලිසිය කියයි.

සිසුන් කිහිප දෙනකුගේ පොත් බෑ තුළ තිබී සොයා ගැනීමෙන් පසුව ඒවා එම සිසුන්ට අලෙවි කළ බව කියන ව්‍යාපාරිකයෙක් ගොකරැල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මොහු ගොකරැල්ල ප්‍රදේශයේ ජංගම දුරකථනසහ උපාංග අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන අයෙකි.

ගොකරැල්ල ප්‍රදේශයේ විදුහලක නම වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කීපදෙනකුගේ පොත් බෑග් පරීක්ෂා කර බැලූ පන්ති භාර ගුරුවරියට හමු වීමෙන් පසු කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මත ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

https://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B7%90%E0%B6%9A-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B7%9A%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B6%E0%B7%91%E0%B6%9C%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1/1-640189

උපුටා ගැනීම 03 - කලවානේ සිසුවෙක් ඉස්කෝලේ කසිප්පු විකුණලා

කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු සිසුවා කලවාන පොලිසියට යොමු කර ඇති බව කලවාන පොලිසිය පැවසීය.

එම සිසුවා පොලියට යොමු කිරිමෙන් අනතුරුව තදින් අවවාද කර මුදා හල බවද කලවාන පොලිසිය පැවසීය .

මෙලෙස පාසල තුළ කසිප්පු අළෙවි කර ඇත්තේ එම පාසලේ 9 වන වසරේ සිසුවෙකි.

එම සිසුවා වතුර රැගෙන එන බෝතලය තුල මෙම කසිප්පු රැගෙන විත් පසුව කෝප්ප වල දමා ඉහල පන්ති වල ශිෂ්‍යයන්ට අළෙවි කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%9A-%E0%B6%9A%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%BD%E0%B7%8F/1-640447

උපුටා ගැනීම 04 - උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශීෂ්‍යත්ව විභාග පවත්වන දින සදහා ප්‍රතිපත්තිමය තීන්දුවක්

(මෙම ලිපිය අන්තර්ජාලය තුල සොයාගත නොහැකි විය....

උපුටා ගැනීම 05 - උසස් පෙළ නොවැම්බර් 27 වැනිදා සිට

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 21වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ඊට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කෙරෙමින් පවතින බවයි. මෙම නත්තලට පෙර විභාගය අවසන් කිරීමට අදාළ සියලු බලධාරීන් අදහස් කරන බවට ද ඇමතිවරයා සහතික විය.

https://www.dinamina.lk/2023/07/11/local/5775/%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B7%85-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A-27-%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF/

උපුටා ගැනීම 06 - උසස් පෙළ පැවැත්වෙන දිනය ගැන විශේෂ ප්‍රකාශයක්

අපොස උසස් පෙළ විභාගය කල් දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (21) විශේෂ ප්‍රකාශයක් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

තමාගේ ප්‍රකාශයෙන් පසු විභාග කොමසාරිස්වරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා සහ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මේ සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

https://www.lankadeepa.lk/news/%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B7%85-%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/101-640074

උපුටා ගැනීම 07 - උසස් පෙළට දින ලබන සතියේ කියයි

අපොස උසස් පෙළ (2023) විභාගය ස්ථිර වශයෙන් පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව ලබන සතියේදී ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද ( 21) පැවසීය.

විභාගයට සූදානම් වීමට ඇති කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බොහෝ සිසුන්ට සිදුවී ඇති අසාධාරණය සැලකිල්ලට පාසල් වාර සටහනට අගතියක් නොවන ආකාරය විභාගය සංශෝධනය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අපොස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද පැවසීය.

එම සංශෝධිත දිනය ලබන සතියේ දී ප්‍රකාශ කරනවා. විභාගයට සූදානම්ව සිටින මවුපියන් ඇතුළු විශාල පිරිසක් මෙම විභාගය කල් නොදමන ලෙස ඉල්ලා සිටින බවත් දැනුම් දීමට කැමතියි.

https://www.lankadeepa.lk/news/%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%A7-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1-%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/101-640140

උපුටා ගැනීම 08 - අධ්‍යාපන විශේෂඥයන්ගෙන් ජනපතිට අනතුරු ඇඟවීමක්

අපොස උසස්පෙල විභාගය කල් දැමුව හොත් දේශීය මෙන්ම විදේශීය උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනෙන වයස් සීමාව ඉක්ම ගොස් ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ දිගුකාලීන අර්බුදයක් ඇති විය හැකි බව අධ්‍යාපන විශේෂඥයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

විභාග කල් දැමීම සම්බන්ධයෙන් තීරණය කිරීමේදී ඒ කරුණු සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව අධ්‍යාපන විශේෂඥයන්ගේ මතය වී ඇත.

පසුගිය වසර වල කොරෝනා වසංගතය,ආර්ථික අර්බුද ආදිය නිසා ද විභාග කල් යාම මෙන්ම පාසල් අධ්‍යාපනයේ ඇණහිටීම් සිදු වූ බව අධ්‍යාපන විශේෂඥයන් සිහිපත් කර තිබේ.

2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි දක්වා කල් දැමුවහොත් එම වසරේ මාර්තු, අප්‍රේල් වල පැවැත්වීමට සැලසුම් කර තිබෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි,ජුනි දක්වා කල් තැබීමට සිදුවනු ඇතැයි ද 2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම 2024 ජුලි මාසය තෙක් පමා වන අතර එවිට 2024 අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ට ද මෙවර මෙන්ම අමතර කාලයක් ලබා දීමට සිදු වනු ඇතැයි අධ්‍යාපන විශේෂඥයන් පෙන්වා දී ඇත.

එසේ වුවහොත් 2024 අපොස උසස් පෙළ විභාගය නැවත 2024 දෙසැම්බර් හෝ 2025 ජනවාරි දක්වා කල් යනු ඇතැයි ද මේ වන විටත් ශ්‍රී ලංකා අධ්‍යාපනයේ ඇති වී තිබෙන පසුබෑම නිවැරදි කර ගැනීම තව දුරටත් පමා වනු ඇතැයි ද ඔවුන්ගේ මතය වී තිබේ.

විභාග කල් දැමීමෙන් පාසල් වාර සටහන් ප්‍රමාද වීම, පාසල් වලට දරුවන් ඇතුලත් කරගැනීම ප්‍රමාද වීම,11 සහ 12 ශ්‍රේණිවල දරුවන්ට යම් වැඩිපුර කාලයක් රැඳී සිටීමට සිදු වීමෙන් පන්ති කාමරවල ඉඩකඩ ප්‍රශ්නයක් ද ඇති වීම, උසස් පෙළ ප්‍රවේශය ප්‍රමාදවීම, විදේශ විශ්ව විද්‍යාල සදහා ඇතුලත් වීමේ කාලය ප්‍රමාද වීම,විදේශ විශ්ව විද්‍යාල මගින් ලැබෙන ශිෂ්‍යත්ව අහිමි වීම ,රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් ප්‍රමාද වීම වැනි දිගු කාලීන ප්‍රතිවිපාක යන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන විශේෂඥයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

දරුවන් උසස් පෙළ විභාගය සඳහා අවුරුදු 18 වන විට පෙනී සිටිය යුතු වුවද විභාග කල් යෑම නිසා එම වයස ඉක්මවා ගොස් තිබෙන බව අධ්‍යාපන විශේෂඥයෝ පවසති.

https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%99%E0%B7%8A%E0%B7%82%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7-%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/101-640535

උපුටා ගැනීම 09 - අති තීව්‍ර මන්දපෝෂණ දරුවෝ කොළඹ හා ගම්පහත්

අති තීව්‍ර ළමා මන්දපෝෂණ සහිත දරුවන් සිටින දිස්ත්‍රික් අතරට ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කද පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවී ඇත.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ අති තීව්‍ර ළමා මන්ද පෝෂණය සහිත දරුවන් 1439 දෙනකු හා කොළඹ දිස්ත්‍රික්කයේ එවැනි මන්ද පෝෂණ දරුවන් 320 දෙනකු හඳුනාගෙන ඇතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛi නිලධාරි රුවන් විජේමුණි මහතා කීය.

කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ හා මැද කොළඹ මේ තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවද එහිදී කියැවිණි.

ඉකුත් ජුලි මස කළ සොයා බැලීමකදී ප්‍රසූතියෙන් පසු දරුවන් 18,948 දෙනෙකගේ බර පරීක්‍ෂා කළ බවද වෛi රුවන් විජේමුණි මහතා කීය.

මෙරට වාර්ෂික දරු උපත් ප්‍රමාණය තුන්ලක්‍ෂ පනස්දහසක් පමණ වන මුත් දරු උපත් ප්‍රමාණය පසුගිය වසරේ දී දරු උපත් තුන්ලක්‍ෂ හාරදහස් පන්සීය දක්වා පහළ ගොස් ඇත.

මේ අතර කොළඹ සිටින මන්ද පෝෂණයට ලක්ව සිටින දරුවන්ව ප්‍රාදේශීය සායන වලට ගෙන එන්නට කීවත් ප්‍රවාහන වියදම් නිසා මවුපියන් ඒවාට දරුවන් රැගෙන නොඑන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛi චන්දන ඒකනායක මහතා සඳහන් කළේය. ඒ අනුව රතු කුරුස සංවිධානයේ සහාය මත ප්‍රවාහන වියදම් දීමනා ලබාදීමට උත්සාහ ගන්නා බවද වෛiවරයා එහිදී කියා සිටියේය.

https://divaina.lk/%E0%B6%85%E0%B6%AD%E0%B7%92-%E0%B6%AD%E0%B7%93%E0%B7%80%E0%B7%8A%E0%B6%BB-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80/

උපුටා ගැනීම 10 - ගුරු ගෞරවය වනසන ඇමීබාවන් පිටුදකිමු

බාල වයස්කාර දරුවකු අපයෝජනය කළ චෝදනාවලට වරදකරු වූ හිටපු විදුහල්පතිවරයකුට බරපතළ වැඩ සහිත අවුරුදු 7ක සිරදඬුවමක් නියම වූ පුවතක් පසුගියදා වාර්තා විය. මන්නාරම මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මේ දඬුවම දී තිබුණේ, මන්නාරම පාසලක හිටපු විදුහල්පතිවරයකුටය. ඔහු 2014 වසරේ එම පාසලේ සේවය කරමින් සිටියදී මේ අපරාධය සිදු කළ බවට චෝදනා ලබා සිටි අතර, එම චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට විනිසුරුවරයා තීරණය කර තිබිණි.

පාසල් ඇතුළේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අතින් අපයෝජනයට ලක්වෙන සිසු සිසුවියන් පිළිබඳ වරින් වර වාර්තා වෙමින් තිබීම කාගේත් සිත් කම්පාවට හේතු වන තත්ත්වයකි. පාසල් තුළදී දරුවකුට තිබිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු මවුපියකුට සැකයක් තිබිය යුතු නැත. උදෑසන තම දරුවන් පාසලට ඇරලවන මවුපියන් ඊළඟට බලාපොරොත්තු වන්නේ, එම දරුවන් නිසි පරිදි අධ්‍යාපන කටයුතු අවසන් කර නිරුපද්‍රිතව ආපසු නිවෙසට පැමිණෙනු දැකීමටය. පාසලට යන දරුවා සූදානම්ව සිටින්නේ තම ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට මිස ඔවුන්ගේ අපයෝජනයට ලක්වීමට නොවේ. එසේ දරුවන් අපයෝජනය කිරීම මුළුමනින්ම පිටුදැකිය යුතු උපුටා දැමිය යුතු පිළිලයකි. එම වැරැද්දට ලබාදිය යුත්තේ ඉහළම දඬුවමය.

මේ අතර, කුරුණෑගල නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලකින් ද මෙවැනි ළමා අපයෝජන පැමිණිල්ලක් ලැබී ඇති බව ද වාර්තා විය. එම පාසලේ පහ වසර ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් 11 දෙනකු පමණ එම දැරියන්ට ඉංග්‍රීසි විෂයය ඉගැන්වූ ගුරුවරයාගේ අතවරයට වරින් වර ලක්වී ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලීසියට පැමිණිලි ලැබී තිබේ. 55 හැවිරිදි දෙදරු පියකු වන සැකකාර ගුරුවරයා සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇති බව දැනගත් වහාම ප්‍රදේශයෙන් පැනගොස් සිටි අතර, පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබීය.

මේ සිද්ධියේදී අදාළ විදුහලේ විදුහල්පතිවරයාගේද වැරැද්දක් වාර්තා වී ඇතැයි චෝදනා කෙරේ. අතවරයට ලක්ව සිටින සිසු දැරියන්ගේ මවුපියන් මේ අපරාධය පිළිබඳව විදුහල්පතිවරයාට පැමිණිලි කර තිබුණ ද, ඒ පැමිණිලි ඔහු නොසලකා හැර කටයුතු කර ඇති බවට මවුපියෝ චෝදනා කරති. එයින් කෝපයට පත් මවුපියන් පිරිසක් විදුහල්පතිවරයාට තර්ජනය කර, රාජකාරියට බාධා කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව ඊට සම්බන්ධ මවුපියන් පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කර තිබිණි.

තම දරුවන්ට අතවරයක් සිදුව තිබෙන අවස්ථාවක මවුපියන්ට ඉවසුම් නැතිව යාම පුදුමයක් නොවේ. එහෙත්, කුමන අවස්ථාවකදී වුව ද නීතිය අතට ගැනීම අනුමත කළ නොහැක. වැරැදිකරු සොයා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පොලීසියේ හා අධිකරණයේ රාජකාරියයි. මවුපියන් කළ යුත්තේ, පොලීසියට තමන්ගේ සහාය ලබාදීම මිස ඔවුන්ගේ රාජකාරිය තම අතට ගැනීම නොවන බව ද පෙන්වා දිය යුතුය.

මෙවැනි සිදුවීම් පසුගිය කාලයේ වරින් වර මාධ්‍ය ඔස්සේ අනාවරණය කෙරිණි. එසේ අතවරයකට ලක්වන දරුවෝ මානසිකව කඩා වැටීමකට ලක්වීමේත්, අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීමේත් අවදානමට මුහුණ දෙති. ඒ තත්ත්වයෙන් දරුවන් මුදා ගැනීමට මවුපියන්ගේ අවධානය යොමු වීම අවශ්‍යය. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට අධ්‍යාපන නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ද පෙන්වා දීමට කැමැත්තෙමු.

පාසල් තුළදී දරුවන් අපයෝජනය කරන පාපකාරී අධම ගුරුවරුන්ටත්, විදුහල්පතින්ටත් නීතියෙන් ඉහළම දඬුවම් ලබාදීම අවශ්‍යය. එසේ දඬුවම් ලබාදීම මේ වැරැද්ද යළිත් සිදු වීමට තිබෙන ඉඩකඩ අහුරා දැමීමට හේතු වනු ඇත. එවැනි අසික්කිත ගුරුවරුන් ආරක්ෂා කිරීමට ආධාර සහ අනුබල දෙන විදුහල්පතිවරුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ යුතුය. අධ්‍යාපන ක්ෂේත්‍රයට අරක්ගත් එවැනි අපරාධකාරී ගුරුවරුන් සහ විදුහල්පතින් කිහිප දෙනකු හේතුවෙන් සමස්ත ගුරු පරපුරේ කීර්තිය සහ අභිමානය සේදී යාමට ඉඩ දිය යුතු නැත.

https://www.lankadeepa.lk/visheshanga/%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80%E0%B6%BA-%E0%B7%80%E0%B6%B1%E0%B7%83%E0%B6%B1--%E0%B6%87%E0%B6%B8%E0%B7%93%E0%B6%B6%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%94/26-639946

උපුටා ගැනීම 11 - සේයා දැරිය ඝාතකයාට දැඩි දඬුවම් ඉල්ලති

කොටදෙණියාව, බඩල්ගම සේයා සඳෙව්මි දැරිය ලිංගික අතවර කර මරා දැමීමට සම්බන්ධ අපරාධකරුට දැඩි දඬුවම් දෙන ලෙස ඉල්ලා එක්සත් කාන්තා පෙරමුණ අද (16) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධයක නිරතවිය.

එම පෙරමුණේ සභාපතිනි ඩයනා ගමගේ මහත්මියද උද්ඝෝෂණයට එක්ව සිටියාය.

https://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F-%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7-%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92-%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%AD%E0%B7%92/1-348400

උපුටා ගැනීම 12 - සරසවි සිසුන් වැඩි පිරිසකට හරිහමන් කෑමක් නෑ

විශ්වවිද්‍යාලවල සහ පාසල්වල සිසුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ආහාර හිගකමින් දැඩි පීඩාවට පත්ව සිටින බව අධ්‍යාපන බලධාරීහු පෙන්වා දෙති.

මේ හේතුවෙන් එම සිසුන්ගේ පෝෂණය සහ වර්ධනය සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුව ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් පැවසේ.

සිසුන්ගෙන් වැඩි පිරිසක් දිනකට ලබාගන්නේ ආහාර වේලක් හෝ දෙකක් පමණක් බව පවසන එම බලධාරීහු පවතින ආර්ථික තත්වය හේතුවෙන් පෝෂදායි ආහාර වෙනුවට පෝෂණය අඩු පිටි සහිත ආහාරවලට යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් මතුව ඇතැයිද සඳහන් කළහ.

මේ අතර සමහර විශ්ව විද්‍යාල සිසුන් ආහාර කළමනාකරණය කර ගැනීම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරන බව විශ්ව විද්‍යාල ආරංචිමාර්ග වලින් පැවසේ.

විශේෂයෙන්ම නිවාඩු දිනවලදී දවසේ වැඩි වේලාවක් නිදාගෙන දහවලේ ඇහැරී එක් වේලක් පමණක් ගැනීම එක් උපක්‍රමයක් බවත් වෙඩි කාල වේලාවක් නිදා ගැනීමෙන් ආහාර මගහැරීමට අවස්ථාව සැලසෙන්නේ යැයි ඔවුන්ගේ අදහස බවත් එම ආරංචිමාර්ග සඳහන් කළේය.

දැඩි ආහාර හිඟයට මුහුණදී සිටින්නේ ඈත දුර බැහැර ප්‍රදේශවලින් විශ්ව විද්‍යාලවලට පැමිණ සිටින දරුවෝ වෙති.

මේ අතර දැඩි ආර්ථික පීඩනය හේතුවෙන් මුදල් සොයා ගැනීමේ අරමුණින් මත්ද්‍රව්‍ය විකිණීම, ගණිකා වෘත්තිය සහ සම්භාහන ආදී නීති විරෝධී කටයුතුවලට ඇතැම් සිසු සිසුවියන් යොමුවී සිටින බවට තොරතුරු අනාවරණයවී ඇතැයි විද්‍යාල ආචාර්යවරු පෙන්වා දෙති.

ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ හේතු මත විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 10 කට ආසන්න පිරිසක් පසුගිය දිනවල සියදිවි හානි කර ගත්හ. ඉන් වැඩි පිරිසක් උතුරෙන් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වෙති.

https://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92-%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%91/1-640620

උපුටා ගැනීම 13 - උසස් පෙළ කල්දාන දිනය ගැන ඉඟියක්

අපොස උසස් පෙළ විභාගය කල් තබන දිනය විභාග කොමසාරිස්වරයා විසින් හෙට (4) හෝ අනිද්දා (5) ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය

විභාග දිනය නියම කිරීම ඇමතිවරයාගේ කාර්යභාරය නොවන බව පැවසූ ප්‍රේමජයන්ත මහතා තමා එවැන්නක් කළ හොත් නෛතික ප්‍රශ්න මතුවිය හැකි බවද සඳහන් කළේය.

කාල සටහන සමග දිනය නිකුත් කෙරෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සාධාරණ කාලයකින් විභාගය ප්‍රමාද කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා මීට කලින් ප්‍රකාශ කළ බවත් මේ වනවිට දින 12ක් ගතවී ඇතත් දිනය ප්‍රකාශ කර නොමැති බවත් ඔහු චෝදනා කළේය.

මේ නිසා දරුවන් පීඩනයට පත්ව සිටින බවද කිරිදිගොඩ මහතා කීවේය. මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ තමා මේ කාරණය සම්බන්ධයෙන් සංවේදී ව සිටින බවයි.

උපුටා ගැනීම 14 - දරුවන්ගේ ලිංගික වීඩියෝ පට ජාවාරමක් ගැන විමර්ශනයක්

ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනකු කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් විඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කරනු ලබන බවට ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ළමා හා කාන්තා කාර්යංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතාට අද(24) කරුණු වාර්තා කළේය.

වට්ස්ඇප් සමූහයක සාමාජිකයන් වෙමින් කුඩා දරුවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ බෙදා හරිමින් සිටින ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනකු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට එම ජාත්‍යන්තර සංවිධානය පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සදහන් කළ බව කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු දැක්විය.

වයස අවුරුදු දෙකේ සිට හත දක්වා වයස් කාණ්ඩයේ පිරිමි හා ගැහැණු දරුවන්ගේ ලිංගික ක්‍රියාකාරකම් හා අසභ්‍ය දර්ශන ඇතුළත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන රුපියල් 1000/=,2000/=හා 3000/= වැනි මුදලට මෙම වට්ස්අප් සමූහය මගින් අලෙවි කෙරෙන බව පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි ලමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.

මෙම වීඩියෝ දර්ශනවල ශ්‍රී ලාංකික දරුවන් සිටිත් ද යන්න සම්බන්ධයෙන් මෙන්ම මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසට මෙහිදී ළමා හා කාන්තා කාර්‍යංශය අධිකරණයෙන් ඉල්ලීය.

අදාල ඉල්ලීම් වලට නියෝග නිකුත් කළ අධිකරණය විමර්ශන පවත්වා වහාම අධිකරණයට වාර්තා කරන ලෙසට එම කාර්යාංශයට නියෝග කළේය.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A-%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D-%E0%B6%B4%E0%B6%A7-%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-641966




සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/10/25

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම