මාංශ අනුභවය පිලිබදව බෞද්ධ විග්‍රහය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මාංශ අනුභවය
මාංශ අනුභවය

බුදු දහම අප කීර්තියට පත් කිරීම සඳහා වෛර චින්තනයේ නියුතු සුළු පිරිසක් මාංශ අනුභවය පිළිබඳව නිවැරදි බෞද්ධ ඉගැන්වීම් නොදැන විකෘත මත වාදයන් ඉදිරිපත් කරමින් සිටිති. ඒ නිසා මේ පිළිබඳව ඇති බෞද්ධ මුලාශ්‍රයන්ගෙන් හා බෞද්ධ විද්වතුන්ගේ අදහස් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

දැනුවත්වෙමු, වෛරය, ක්‍රෝධය තුරන් කරමු. සාමකාමී, හා සමගියෙන් බැඳුනු මව්බිමක් ගොඩනගමු.

මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයෙන්…

මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ඉඟුරුවත්තේ පියනන්ද මහා නාහිමි ධම්මික හිමි කළුන්දෑවේ කමලසිරි හිමි විසින්

මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයේ 238 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

ප්‍රශ්න අංක 100: චුන්දකර්මාර පුත්‍රයා විසින් තථාගතයන් වහන්සේට පිළිගැන්වූ සුකරමද්දවය කුමකින් කෙසේ පිළියෙළ කරන ලද්දක්ද?

සුකරමද්දවන්ති නාතිතරුනස්ස නාතිජින්නස්ස එකජෙට්ඨක සුකරස්ස පවත්තමංසං, තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති තං පටියෝදාපෙත්වා සාධුකං පචාපෙත්වාති අත්ථො” යනුවෙන් “සුකරමද්දවය” යනු ඉතා ළපටිද නොවූ ඉතා තරුණද නොවූ තනිව වාසය කල සුකරයකුගේ මෘදුවූ ද, සිනිඳුවූ ද මසින් පිළියෙළ කළ ආහාරයකැයි මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ කියා තිබේ.

මෙය අටුවාචාරීන් වහන්සේ විසින් පිළිගත් මතයයි. මස් වැළඳුහ යි කීම තථාගතයන් වහන්සේට අගෞරවයක යැයි සැලකු අය අතීතයෙහි ද වුහ. ඔවුන්ගෙන් ඇතමෙකු සුකරමද්දවය, මෘදු වූ බතට පස්ගෝරස යොදා පිසූ ආහාරයකැයි කියන බවත්, ඇතමකු තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීම සිදු නොවීම සඳහා පිළියෙළ කළ රසායන බෙහෙතකැයි කියන බවත් පරිනිර්වාණ සුත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහරු සුකරමද්දවය හතු වර්ගයකින් පිළියෙළ කළ ආහාරයකැයි කියති. සුකරමද්දවය ගැන මෙසේ නානා මත පහළ කරන අයට ඒවා ස්ථීර කිරීමට කිසිම සාක්ෂියක් නැත. සුකර මාංසය පහත් ආහාරයකැයි සිතා ඇතැම්හු සුකර මාංසය බුදුන් වහන්සේ වැළඳුහයි කීමට විරුද්ධ වෙති. ආහාරයෙන් සුද්ධියක් ඇති වන බව බුදුවරයන් වහන්සේලා නො වදාරන්නාහ. ඇතැම්හු බුදුවරු, රහත්හු මත්ස්‍යමාංසයෙන් යුක්ත ආහාර නො වළඳන්නාහ යි සිතා, සුකරමද්දවය මසින් පිළියෙළ කළ අහරක් නො වෙති යි කියති. එය ඔවුන්ගේ මතිමාත්‍රයකි. බුදුන් වහන්සේ මත්ස්‍යමාංස නො වළඳනා බවට පිටකත්‍රයෙන් සාධක නො දැක්විය හැකිය. වැළඳු බවට නම් පිටකත්‍රයෙන් හා අටුවාවලින් සාක්ෂ්‍ය දැක්විය හැකිය

“සුකර මද්දවය: තරුණ ඌරන්ගේ මාංශය; පැසි ඌරු මස. (බෞද්ධ ශබ්ද කෝෂය – 1644 වැනි පිටුව)

ඉඟුරුවත්තේ පියනන්ද මහා නාහිමි විසින් සකස් කරන ලද “බුදු දහමේ පැන විසඳුම්-1” නම් ග්‍රන්ථයෙන්…

ඉඟුරුවත්තේ පියනන්ද මහා නාහිමි විසින් සකස් කරන ලද “බුදු දහමේ පැන විසඳුම්-1″ නම් ග්‍රන්ථයේ 189-190 පිටු වලින් උපුටාගත් විස්තර පහතින් දක්වා ඇත්තෙමු.

22 – ප්‍රශ්නය: විකිණීම සඳහා වෙළඳ පොලෙහි තබා ඇති මස් මාංශ මිලයට ගෙන පරිභෝග කිරීම පාපයක් වේද?

පිළිතුර:- අපේ ධර්ම ග්‍රන්ථයන්හි පස් පව්, දශ අකුශල් යැයි අත්හලයුතු කරුණු පසළොසක් පෙන්වා ඇත. එසේම ආජීවය කෙලෙසන ජීවන මාර්ග පසක් පෙන්වා ඇත.

  • ජීවත්වීම සඳහා මත්පැන් ආදී මදයට ප්‍රමාදයට හේතුවන දෑ විකිණීම
  • ජීවත්වීම සඳහා මස් මාංශ වෙළඳාම් කිරීම
  • ජීවත්වීම සඳහා සත්ව ජීවිත වලට හානිකර වෂ විෂ වර්ග විකිණීම
  • ජීවත්වීම සඳහා කෙනෙකුගේ ජීවිතවලට හානිකර අවි ආයුධ විකිණීම
  • ජීවත්වීම සඳහා සතුන් වෙළඳාම් කිරීම (මසට සතුන් විකිණීම)

යන මේවා බෞද්ධයාගේ ආජීවය කිලිටි වන අදැහැමි වෙළඳාම්ය. මස් මාංශ අනුභවය පවක් වන්නේ මාංශ ලෝලත්වයෙන් අධික කෑදර කමින් පරිභෝග කලොත්ය. පළතුරු එළවලු බුදින්නෙක් වුවද ඒවා කෑදර කමින් පරිභෝග කරයිනම් නම් සිදුවන්නේද සිත කිලිටිවීමයි. ලෝභ දෝෂ මෝහ යන තුන අකුශල් මුලයෝය. ඒවා මුල් වීමෙන් කරන සෑම ක්‍රියාවක්ම සිත කිලිටි කරන්නකි. සාමාන්‍ය පෘතජ්ජනයෙකුට දවස පුරාම ඇතිවනුයේ අකුශල සිතය. එය සාමාන්‍ය ස්වභාවයයි. අප කෑම බීම සඳහා වෙළඳ පොලෙන් ගෙන එන දේ පිළිබඳව සිතා බැලුවහොත් නොයෙකුත් අදැහැමි ක්‍රමවලින් සේවකයින් තලා පෙලා නිෂ්පාදනය කරන දේවල් විය හැකිය. මහා පරිමාණ ගොවිතැන් කරන රටවල් ගොවිතැන් වලට ගොවිබිම් වලට ටොන් ගණන් වෂ විශ යොදා අනන්ත කෘමීන් ක්ෂුද්‍ර ජීවීන් වනසා ලබාගත් අස්වැන්නකි අප මුදලට ගනු ලබන නිර්මාංශ ආහාර වන වී, මුං, කඩල, පරිප්පු මෙන්ම එළවලු පළතුරු යනාදියත්. ඒ බව අද නොදන්නා කෙනෙක් නැත. එහෙත් අප එම ද්‍රව්‍යයන් මිලයට ගන්නා බැවින් අවුරුදුපතා ඉල්ලුමට සරිලන සේ නිෂ්පාදකයෝ තව තවත් ඒවා නිපදවති. පාරිභෝගිකයාට එයින් පවක් වේද? මස් මාංශ සත්ව මාංශයන් බව දනිමු. ඇතැම් විට අප මැස්සෙක් මදුරුවෙක් තරම් සතෙකු හෝ නොමරන පරම අවිහිංසාවාදී අයද වියහැක. නමුත් මේ ආහාර මිලයට ගන්නා කිසිවෙකුට ප්‍රාණඝාත අකුශලයක් හෝ සත්ව හිංසාවට අනුබලදීමක් සිදුනොවේ. මන්ද? අපතුළ කිසිසේත් එවන් චේතනාවන් කැලැම නැති හෙයිනි. යම හෙයකින් මස් මාංශ අනුභවය සත්ව ඝාතනයට අනුබලයක් වීමෙන් පාරිභෝග කරන්නාට පාපයක් අයත්වේ නම්, කෘමි නාශක යොදා නිපදවන සෑම ද්‍රව්‍යයක්ම පරිහරණය කරන්නාටද පාපයක් සිදුවේ.

අප යම් ක්‍රියාවක් කිරීමේදී හටගන්නා චේතනාවයි කර්මයක් බවට පත්වන්නේ. ඒවා වැල ගිය තැන් මුල ගිය තැන් සොයා ගොස් කර්ම සෑදීමක් නම් සිදු නොවේ. අප යම් මාංශ නොවන ආහාරයක්‌ අනුභව කිරීමේදී ඇතිවන චේතනාවට වැඩි වෙනසක් මාංශ ආහාරයක්‌ අනුභව කිරීමේදී ඇතිවේ යැයි නොපෙනේ. කෙනෙක් විසින් මරණ ලද සත්වයෙකුගේ මාංශ අනුභව කිරීමට වැඩි පවක් (කෙනෙක් විසින් මරණ ලද සත්වයෙකුගේ මාංශ කෑම පවක් නම්) නුතනයෙහි අතිබහුතරයක් එළවළු පළතුරු කන අයට සිදුවේ. මෙය මැදිහත්ව සිතා බලන්න.

බුදුන් වදාළ පෙළ දහම තුල සත්ව ඝාතනය පවක් ලෙස දක්වා ඇතිමුත් මාංශ අනුභවය පවක් වන බවක් වදාළ තැනක් අප නොදුටිමු. එසේ පවක් වන්නේ නම් මුලින්ම එය පනවනුයේ භික්ෂුන්ටය. දෙව්දත්ගේ පඤ්ච වරයෙන් එකකි භික්ෂුන් දිවිතෙක් මස් මාංශ වැළඳීමෙන් වැළකිය යුතුය යන්න. ඒත් ගිහියන්ට නොව පවිද්දන්ටය. ඇරත් බුදුහු එම ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කළහ. මේ පිලිබඳ කරුණු දැකීමට නම් විනය හා සුත්‍ර පිටකය තරමක් හෝ කියවිය යුතුය. නමුත් අපේ බොදුනුවන් බුදුරදුන්ටත් වඩා අවිහිංසාවාදී බවක් පෙන්නුම් කළත්, අවිහිංසා බණ දේශනා කළත් පන්සිල් ටික හෝ අවංකව රකින්නෝ කී දෙනෙක් සිටිද්ද?

හේතුව: සතුන් මැරීමයි. ඵලය: මස් මාංශයි. යම් කලක හේතුව නැති කළහොත් එදාට ඵලයද නැතිවේ. බුද්ධ දේශනාව මැදුම් පිළිවෙතකි. කිසිම දෙයක අන්තගාමී බවෙක් ඇත්නම් ඒවා බුදු බණ නොවේ. අවිහිංසාවාදී දෙසුමක් පමණි. මේ දෙකම බෞද්ධයා තේරුම් ගත්විට ජීවත්වීම බරක් නොවේ. අත්‍යවශ්‍ය නොවන වාද භේද ඇතිකරමින් බුද්ධ දේශනාවට ඌන පුරණ එක්කිරීමට වඩා අපට සමාජය දැහැමි කිරීම සඳහා කලයුතු කාර්යයන් කොපමණ තිබේද? තමා ධාර්මිකව ජීවත් වෙමින් පන්සිල් රකිමින් වෙළඳපලෙන් ගත හෝ ගෙනවිත් දුන් හෝ කවර මාංශයක් වැළඳුවත් (භික්ෂුනට අකැපයයි දේශිත මාංශ හැර) එය ස්වර්ග සැපයට හෝ මොක්ෂයට බාධාවක් නොවන බවයි මගේ අදහස.

ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්ති ධම්මික හිමි (කැළණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙහි ශාස්ත්‍රපති උපාධිධාරී) විසින් ලියන ලද “Good Questions, Good Answers” නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වූ “දහම් ගැටළු” නම් පොතෙන්…

ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්ති ධම්මික හිමි (කැළණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙහි ශාස්ත්‍රපති උපාධිධාරී) විසින් ලියන ලද “Good Questions, Good Answers” නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වූ “දහම් ගැටළු” නම් පොතේ 66-67 වැනි පිටු වලින් උපුටා ගත් තොරතුරු පහතින් දක්වා ඇත්තෙමු. (පරිවර්තක: ශාස්ත්‍ර විශාරද විමලසේන විතාන පතිරණ).

ප්‍රශ්නය: බෞද්ධයන් අවශ්‍යයෙන්ම නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නොවන්නේද?

පිළිතුර:- බෞද්ධයන් අවශ්‍යයෙන්ම ශාක භක්ෂකයන් නොහොත් නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නැත. බුදුන් වහන්සේ නිර්මාංශ ආහාර පමණක් වැළඳු අයෙකු නොවූ සේක. උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ටද ශාක භක්ෂක ආහාරයක්‌ පමණක් වළඳන්න යැයි දේශනා නොකළ සේක. යහපත් බෞද්ධයන් බොහෝ දෙනෙක් අද පවා මස් මාළු සහිත ආහාර බුදිති.

ප්‍රශ්නය: ඔබ මස් ආහාරයට ගන්නේ නම් එමගින් සතෙකුගේ මරණයට අනියම් වශයෙන් වගකිව යුතුවේ. එය පළමු ශික්ෂා පදය කඩ කිරීමක් නොවන්නේද?

පිළිතුර:- ඔබ මාංශ ආහාරයක්‌ ගත්විට, සත්වයෙකුගේ මරණය ගැන ඔබ අනියම් හා අල්ප වශයෙන් වගකිව යුතු බව සත්‍යයකි. එහෙත් ඔබ එළවළු ආහාරයට ගන්නා විටද තත්වය මෙබඳුය. ඔබේ ආහාරයට ගන්නා එළවළු කෘමි සතුන්ගෙන් බේරා ගැනීම සඳහා ඒවාට කෘමි නාශක සහ විෂ යෙදීමට ගොවියාට සිදු වේ. ඒවා ඔබේ ආහාරයට නිසි වන අයුරු බේරා ගන්නේ ඒ අන්දමින් කෘමිනාශක යෙදීමෙනි. ඔබේ බඳ පටියට හෝ අත් බෑගයට හෝ බෙරයට හම් හම් ලබා ගැනීමටත් ඔබ පාවිච්චි කරන සබන් සඳහා තෙල් ලබා ගැනීමටත් මේ හැරුණු විට තවත් දහසකුත් එකක් නිෂ්පාදන සඳහා දළ ද්‍රව්‍යය ලබා ගැනීමටත් සතුන් මැරීමට සිදුවේ. වෙනත් ප්‍රාණියෙකුගේ මරණය සඳහා අනියම් වශයෙන් හේතු කාරක නොවී ජීවිතය ගෙන යාමට අපහසුය. ඔබ පළමු වැනි ශික්ෂා පදය සමාදන් වීමෙන් ප්‍රතිඥා දෙන්නේ කෙලින්ම ප්‍රාණ ඝාතය කිරීමේ වගකීමෙන් ඔබ මිදෙන බවටය.

ප්‍රශ්නය: මහායාන බෞද්ධයන් ආහාර පිණිස මස් ගන්නේ නැහැ නොවේද?

පිළිතුර:- එය නිවැරදි තත්වය නොවේ. චීනයෙහි පවතින මහායාන බුද්ධාගම නිර්මාංශ ආහාරය පිළිබඳව වැඩි වැදගත් කමක් දක්වයි. එහෙත් ජපානයෙහි හා තිබ්බතයෙහි මහායාන භික්ෂුන් මෙන්ම ගිහියෝද සාමාන්‍යයෙන් මාංශ ආහාරයට ගනිති.

ප්‍රශ්නය: එහෙත් බෞද්ධයා නිර්මාංශ ආහාරයට ගැනීම යෝග්‍යයයි මම කල්පනා කරමි.

පිළිතුර:- නිර්මාංශ ආහාර ගැනීමේ පුරුද්දක් දැඩි ලෙසම අනුගමනය කරන මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. ඔහු ගති ගුණ වශයෙන් ආත්මාර්ථකාමී වංක පහත් පැවැතුම් ඇති තැනැත්තෙකි. එසේම නිර්මාංශ ආහාර නොගන්නා එහෙත් පරාර්ථකාමී අවංක ත්‍යාගශීලී ගති ඇති කරුණාවන්ත මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. මේ දෙදනා අතරින් වඩා යහපත් බෞද්ධයා කවරෙක්ද? අවංක හා කරුණාවන්ත පුද්ගලයාම වඩා යහපත් බෞද්ධයා වේ. ඇයි? මක්නිසාද යත් ඔහු හිතක් ඇති මනුෂ්‍යයෙකු හෙයිනි. නිර්මාංශ ආහාරයට පුරුදුව සිටින තැනැත්තෙකු අපිරිසිදු හදවතක් ඇත්තෙකු විය හැකි සේම, මාංශ ආහාරයට ගන්නා තැනැත්තෙකු පිරිසිදු හදවත් ඇත්තෙකු විය හැකිය. බුදුන් වහන්සේගේ ධර්මය අනුව වැදගත් වන්නේ, ඔබේ සිතිවිල්ලෙහි පාරිශුද්ධ භාවය විනා ඔබේ ආහාරයෙහි අඩංගු දේ නොවේ. බොහෝ බෞද්ධයෝ මත්ස්‍ය මාංශ ආහාර කොට නොගැනීමට බොහෝ සෙයින් පරීක්ෂාකාරී වෙති. එහෙත් ඔවුහු ආත්මාර්ථකාමය, වංක බව, කෘරත්වය හෝ ද්වේෂය මැඩ පැවැත්වීමට ඒ අන්දමින් පරීක්ෂාකාරී නොවෙති. පහසු කටයුත්තක් වන ආහාරය වෙනස් කිරීමට ඔවුහු පෙළඹෙතත්, අපහසු කටයුත්තක් වන ඔවුන්ගේ සිත වෙනස් කර ගැනීමට ඔවුහු උත්සාහ නොකරති.


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි විශේෂවේදී උපාධිදාරී කළුන්දෑවේ කමලසිරි හිමි විසින් ලියන ලද “නිර්මාංශ ආහාරය පිලිබඳ බෞද්ධ ස්ථාවරය” නමැති ග්‍රන්ථයෙන්…

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි විශේෂවේදී උපාධිදාරී කළුන්දෑවේ කමලසිරි හිමි විසින් ලියන ලද “නිර්මාංශ ආහාරය පිලිබඳ බෞද්ධ ස්ථාවරය” නමැති ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටස් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

(පිටු අංක 50- )

මාංශ ආහාර සදාචාරාත්මක ද යන්න පිළිබඳව නොයෙක් මතවාද මතුවෙමින් පවතී.සමහරු මාංශ අනුභවය සදාචාර විරෝධීය යන පදනම මත පිහිටා නොයෙක් සමිති සමාගම් මුල්කරගෙන නිර්මාංශී සමාජයක් ගොඩනැගීමෙහි ලා නිරතවෙති. සත්ත්ව ඝාතනයේ කුරිරු බව, ජීවත් වීමේ අයිතිය මෙන්ම මාංශ ආහාරයෙන් මනුෂ්‍යයාට සිදුවන අභ්‍යන්තර හා බාහිර පරිහාණිය ඔවුන්ගේ ප්‍රධාන මාතෘකා බවට පත්වී ඇත. එමෙන්ම නිර්මාංශ ආහාර ක්‍රමයේ ආරක්‍ෂිත භාවය සහ යෝග්‍යතාව පිළිබඳව විවිධ පොත් පත් ද පළකර ඇත. එසේ වුවත් මාංශ ආහාරය සම්බන්ධයෙන් සලකා බලන විට එය සාධාරණීකරණය වීමටද නොයෙක් හේතු සාධක ඉවහල් වන බව දක්නට ලැබෙයි. ඒ අතර,

  • පාරසරික බලපෑම්
  • ආගමික බලපෑම්
  • සංස්කෘතික බලපෑම්
  • වෛද්‍ය විද්‍යාත්මක බලපෑම්

යනාදිය ප්‍රධාන වශයෙන්ම මාංශ අනුභවයට ඉවහල් වන බව පැහැදිලිවෙයි. මිනිසාගේ ආගම, සංස්කෘතිය, භූගෝලීය පරිසරය යනාදිය තුලින් මිනිසා මාංශ ආහාර වලට හුරුකර ඇත. එය නිරායාසයෙන් සිදුවන්නකි.

පාරිසරික බලපෑම්

මාංශ ආහාරය සාධාරණීකරණය වීමට බලපෑ ප්‍රධාන ම සාධකයක් වශයෙන් පාරිසරික බලපෑම පෙන්වාදිය හැකිය. මිනිසා ඇතුළුව සමස්ත ජීවී වර්ගයා ම තම ආහාරය සකස් කර ගනු ලබන්නේ තමා ජීවත්වන වටපිටාව (පරිසරය) අනුවය. පරිසරයේ ඇති ආහාරය කෙරෙහි සත්ත්වයා නිරායාසයෙන්ම යොමු වෙයි. එය ආහාරය සම්බන්ධයෙන් සාමාන්‍ය නියමයයි. භූගෝලීය සාධක අනුව උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිතව ඇති රටවල දීර්ඝ කාලයක් හිම පතනය සිදුවන නිසා ශීත සෘතුව පවතී. එවැනි රටවල කෘෂිකර්මාන්තයට ඉඩක් නැත. ඉඩක් තිබුනේ වේ නම් එය ඉතා අල්ප වශයෙනි. එසේ ම කෘෂි නිෂ්පාදනයන් බොහෝ කාලයකට තැන්පත් කර තබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. මේ අනුව ජීවත්වන ප්‍රදේශය හා සලකා බලනවිට සතුන් මැරීම හා මාංශ අනුභවය නිහතමානීව ඉවසිය යුතු වන්නේය. ඒ අන්කිසිවක් නිසා නොව ඒ ඒ පරිසර පද්ධතීන්හි මාංශ හැර වෙනත් යමක් ආහාරය සඳහා නොමැති නිසාය. “තමා වෙසෙන පරිසරය හා ජීවත්වීම සඳහා එක්සිමොවරුන්ට හා ලාප්ලන්ත වරුන්ට දඩයම් කිරීම හැර වෙන විකල්පයක් නොමැත” (කප්ලිව්, ෆිලිප් “සියළු ප්‍රාණීන් රැක ගනිමු” 103-104 පිටු). එක්සිමෝවරු, ලාප්ලන්තවරු ජීවත් වන්නේ දැඩි හිම පතනයක් සහිත දේශගුණයකය. ඒ නිසාම ඔවුන්ට ශාඛ ආහාර සොයා ගැනීම අපහසුය. ඔවුන්ගේ ප්‍රධාන ම ජීවනෝපාය මාර්ගය වන්නේ මාළු ඇල්ලීමයි. ඊට අමතරව හිමයේ ජීවත්වන සතුන් දඩයම් කිරීමෙන් ද ඔවුන්ගේ ආහාරය සපයාගනී. දැඩි හිම සහිත ප්‍රදේශවල මෙන් ම කාන්තාරව ද ප්‍රධාන ආහාරය බවට පත්වන්නේ මාංශ ආහාරයයි. ඔටු මස් කාන්තාර වාසීන්ගේ ප්‍රධාන ආහාරය වන්නේය. මේ හේතු නිසා නිර්මාංශ ආහාරය සෑම තැන්හි ම සාධාරණ නොවන බව පැහැදිලි වෙයි. සෙසු සාධක සියල්ල බැහැර කල ද පාරිසරික සාධකය මාංශ ආහාරය සම්බන්ධයෙන් ඉතාමත් ම ඉහලින් බලපාන බව මේ අනුව පැහැදිලි ය. ඒ නිසා සියළු දෙනාම බුද්ධිමත්ව සිතා බලා සතුන් මැරීම හා මාංශ අනුභවය ඉවසිය යුතුව ඇත.

සංස්කෘතික බලපෑම්

බොහෝ පිරිසකගේ එකතුවක් සමාජය ලෙස හඳුන්වයි. සමාජය නිර්මාණය වන්නේ එක් අයෙකුට වැඩි පිරිසක් එක්වීමෙනි. එම පිරිසෙහි අනන්‍ය වූ භාෂාව, අනන්‍ය වූ විශ්වාස පද්ධතිය, පදනම් කරගෙන ඔවුනොවුන්ගේ හැසිරීම් රටාවෙහි ස්වභාවය සංස්කෘතිය ලෙස හඳුන්වයි. සංස්කෘතියක් බොහෝ සෙයින් ආගමික සබැඳියාවකින් පෝෂණය වී ඇති වගක් දක්නට ලැබෙයි. සංස්කෘතිය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ ආගමික මුල පදයක් හා සම්බන්ධ කරගෙනය. ඒ බව ජන ව්‍යවහාරය තුළින් මනාව දක්නට ලැබෙයි.

  • බෞද්ධ සංස්කෘතිය
  • ක්‍රිස්තියානි සංස්කෘතිය
  • ඉස්ලාම් සංස්කෘතිය
  • හින්දු සංස්කෘතිය

ආදී වශයෙන් සමාජයේ සංස්කෘතිය ආගමික මුහුණුවරකින් හඳුන්වනු පෙනෙයි. එයට ප්‍රධාන ම හේතු සාධකය වන්නේ සංස්කෘතියක් හුදෙක් ම ආගම හා සම්බන්ධ වීමයි. යම විශ්වාස පද්ධතියකින් තොර සංස්කෘතියක් නැත.

බෞද්ධ සංස්කෘතිය

සංස්කෘතිය බොහෝ සෙයින් ම සකස් වී ඇත්තේ ආගමක් සම්බන්ධව බව අපි දකිමු. සිංහල සංස්කෘතිය ගත්තද එය බුදු සමය හා එක්වී ඇත. ඒ නිසා සිංහල සංස්කෘතිය, බෞද්ධ සංස්කෘතිය වශයෙන් හැඳින්වීමට තරම් බෞද්ධාගමික මුහුණුවරක් ගෙන ඇත. බෞද්ධ සංස්කෘතික සමාජයට අනුව සමාජය කොටස් හතරකි. භික්ෂු-භික්ෂුනී, උපාසක-උපාසිකා වශයෙනි. ඉන් පැවිදි පිරිස භික්ෂු-භික්ෂුනී ලෙස ද ගිහි පිරිස උපාසක-උපාසිකා ලෙස ද සකස් වී ඇත. මාංශ ආහාරය සම්බන්ධයෙන් සලකා බලනවිට උපාසක-උපාසිකාවන්ට සතුන් මැරීම තහනම් වුවත් මස් කෑම තහනම් කර නැත. ඒ නිසා තමන් විසින් නොමරණ ලද, තමන් අනිකෙකු ලවා නොමරවන ලද, සතුන් මරන්නට අනුබල නොදෙන ලද යන අවස්ථාවන්ගෙන් යුක්තව මසක් කෑම වරදක් නොවේ. වෙළඳ පොලෙන් රැගෙන එන මස් බොහෝ දෙනා භාවිතා කරති. සිංහල සංස්කෘතියට අනුව වැඩිවියට පත්වීම, විවාහය, ගෙට ගෙවැදීම, අලුත් අවුරුදු උත්සව ආදී නොයෙක් උත්සව දක්නට ලැබෙයි. මේ සෑම අවස්තාවකදී ම ආහාර වේලක් ලබා දෙනු ලබයි.

ආගමික පදනම

නිර්මාංශ ආහාරය පමණක් ම සාධාරණීකරණය කිරීමට ආගමික සාධකයන් ඉවහල් කරගත නොහැකිය. ලංකාවේ භාවිතවන බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා හින්දු යන ආගමික ඉගැන්වීම් අධ්‍යයනයෙන් ඒ බව පැහැදිලි වෙයි. මෙම කිසිදු ආගමක මාංශ ආහාරය තහනම් කර නැත. නිර්මාංශ ආහාරය ද තහනම් කර නැත. කැමති අයෙකුට මාංශ ආහාර ගැනීමේ හැකියාව ද කැමති අයෙකුට නිර්මාංශ ආහාර ගැනීමේ හැකියාවද ඇත. ඒ සඳහා ආගම්වලින් පුර්ණ නිදහසක් අනුගාමිකයන්ට ලබාදී ඇත. මාංශ ආහාර කිසිදු ආගමක තහනම් කර නොතිබුණ ද ආගම් සියල්ලෙහි ම කෑ යුතු නොකෑ යුතු මස් වර්ග සඳහන් කර ඇත. බුදුසමයෙහි සඳහන් ආකාරයට තුන් ආකාරයකින් පිරිසිදු වූ මාංශය හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධි මාංශය භික්ෂුන්ට අනුමත කර ඇත. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ:

“අනුජානාමී භික්ඛවේ ත්‍රිකෝටිපරිසුද්ධං මච්ඡමංසං: අදිට්ඨං අසුතං අපරිසඬ්කිතන්ති” (මහාවග්ගපාලි II 594 වැනි පිටුව). යම් මාංශයක් තමා උදෙසා මරණ ලද බවට නොදක්නා ලද්දේ වේ ද, යම් මාංශයක් තමා උදෙසා මරණ ලද බවට නොදක්නා ලද්දේ වේ ද, යම් මාංශයක් තමා උදෙසා මරණ ලද බවට සැක නොකරන ලද්දේ වේ ද මේ තුන් ආකාරයෙන් පිරිසිදුවූ මාංශය වැළඳීමට සුදුසු බවයි. මෙම පැනවීම ගිහි බෞද්ධ උපාසකයන් සඳහා පනවා ඇති බවක් දක්නට නැත. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් බුදුරදුන් අනුදැන වදාළේ භික්ෂුන් වහන්සේලා සඳහා පමණි. උපාසක උපාසිකාවන්ට ප්‍රාණඝාතයෙන් වැළකිය යුතු බව පමණක් ද්ශනා කළ බුදුරජාණන් වහන්සේ ඔවුනට මස් කෑම සම්බන්ධයෙන් නීති නොපැනවූ සේක. භික්ෂුන් වෙනුවෙන් නොකෑ යුතු මස් වර්ග දහයක්ද විනය පිටකයේ මහාවග්ගපාලියේ (556-560 පිටු) සඳහන් වෙයි. මෙම මස් වර්ග දහය භික්ෂුන්ට පිළිගැන්වූයේ ගිහි උපාසක උපාසිකාවන්ය. එම නොකෑ යුතු මස් වර්ග දහය මෙසේය.

  • මිනී මස්
  • ඇත් මස්
  • අශ්ව මස්
  • බලු මස්
  • සර්ප මස්
  • සිංහ මස්
  • ව්‍යාග්‍ර මස්
  • දිවි මස්
  • වලස් මස්
  • (තරස්)කරබානා වලස් මස්

මෙම මස් වර්ග දහය ද බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන්ට තහනම් කරන ලද්දේ සමාජයෙන් මතුවූ විරෝධතාවය නිසා හා වනසතුන්ගෙන් සිදු වූ හිරිහැර අනතුරු හේතු කර ගෙනය. මෙම මස් වර්ග ගිහියන්ට නොකෑ යුතු බවට බුදුරදුන් ශික්ෂාපද පනවා නැත. ඒනිසා බුදුරජාණන් වහන්සේ ගිහියන්ගේ ආහාරය සම්බන්ධයෙන් විශේෂ පැනවීම් පනවා නැති බවත්, උන්වහන්සේ අගය කළේ ධාර්මික දිවි පැවැත්ම හා නිර්වාණගාමී ප්‍රතිපදාව බවත් පැහැදිලිය. උන්වහන්සේ බාහිර සමාජයේ ආචාර සමාචාර දිවි පැවැත්ම ආහාරපානාදිය වෙනස් කිරීමට උත්සාහ නොගත් සේක. මේ නිසා නිර්මාංශ ආහාරය ම සාධාරණීකරණය කිරීමට බුදුදහම එකඟ නොවන බව පෙනීයයි.


ඩී. ඒ. එන්. සේනාරත්න මහතා විසින් ලියන ලද “බුදුන් නොවදාළ ධර්ම” යන ග්‍රන්ථයෙන්…

ඩී. ඒ. එන්. සේනාරත්න මහතා විසින් ලියන ලද “බුදුන් නොවදාළ ධර්ම” යන ග්‍රන්ථයේ 77 වැනි පිටුවේ සිට උපුටා ගත් කොටස් පහතින් දක්වා ඇත්තෙමු.දෙහිවල ඇන්ඩර්සන් පාරේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක තැන්පත් පුජ්‍ය කිරම විමලජෝති හිමියන් හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් මෙය අගනා බෞද්ධ ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දී තිබේ.

යමෙක් ප්‍රාණඝාත අකුසලය කිරීමේදී ඝාතනය කරන ලද ජීවියා විශාල සිරුරක් ඇත්තෙක්ද, කුඩා සිරුරක් ඇත්තෙක්ද, ගොඩ වසන්නෙක්ද, දිය වසනෙක්ද, එසේත් නැති නම් පාදවලින් ගමන් කරන්නෙක්ද, බද ගා යන්නෙක්ද වැනි භේදවලට අනුව ප්‍රාණඝාත අකුසල කර්මයෙහි අඩු වැඩි වීමක් ඇතැයි නොසිතමි. එහෙත් විනාශ කරන ලද ජීවියාගෙන් සමාජයට සිදුවෙමින් පැවතියාවුත් අනාගතයේදී සිදුවීමට තිබුනාවුත් සේවාවනට අනුව එම ජීවියා ඇගයෙන මට්ටමේ උස් පහත්කමට අනුව අකුසල කර්මයේ බරපතලකම අඩු වැඩි විය හැක. වෙනත් වචන වලින් කියතොත් විනාශකරන ලද ජීවියාගේ විනාශය නිසා සමාජයට සිදුවන පාඩුවේ ප්‍රමාණය වැඩිවෙත්ම අකුසල කර්මය ද බරපතල වනු ඇත.

සත්ව මාංශ අනුභව කිරීම, සත්ව ඝාතනයට හේතුවන හෙයින් එය ප්‍රාණඝාතයට අනියම් මගින් අනුබල දීමක් බව ද ඒ නිසාම සත්ව මාංශ අනුභව කරන්නාට ප්‍රාණඝාත අකුසලයේ කොටස් කාරයෙකු වන්නට සිදුවන බව ද බෞද්ධයෝ විශ්වාස කරති. එම විශ්වාසය තර්කානුකුලය. එහෙත් සත්ව මාංශ අනුභවයට අදාළ, බෞද්ධයන්ගේ ජන සම්මත විශ්වාස බොහොමයක් තර්කානුකුල නොවේ.

යම්කිසි පෙදෙසක ජනයාගේ සත්ව මාංශ ආහාරයට ගන්නා වාර ගණන වැඩිවීම නිසා හෝ සත්ව මාංශ ආහාරයට ගන්නා ජන සංඛ්‍යාව වැඩිවීමෙන් හෝ එම පෙදෙසේ සත්ව මාංශ අලෙවිය දෙගුණ වුයේ යැයි සිතමු. එසේ දෙගුණ වන ඉල්ලුම පියවරෙන් පියවර ආපසු ගොස් සත්ව ඝාතකයා දක්වාම යා යුතුය. එවිට සත්ව ඝාතකයා එම අතිරේක ඉල්ලුම සැපයීම සඳහාත් තම ව්‍යාපාරය වඩාත් දියුණු කර ගැනීම සඳහාත් අතිරේකව සත්වයින් ප්‍රමාණයක් ඝාතනය කරනු ඇත. එම අතිරේක සත්ව ප්‍රමාණය ඝාතනය වන්නේ යට කී පෙදෙසේ සත්ව මාංශ අලෙවිය දෙගුණ වීමට හේතුවූ ජනතා කොටස්වල ක්‍රියාකාරිත්වය නිසාය. එවිට එම අතිරේක ප්‍රාණවල ඝාතන කර්මයේ වගකීම එක්තරා ප්‍රමාණයකට හෝ එම ජනතා කොටස් මත ද පැවරෙනු ඇත.

මේ අනුව සත්ව මාංශ අනුභව කිරීම, සත්ව ඝාතනයට කෙලින්ම අනුබල දීමක් වන හෙයින්, එය ප්‍රාණඝාත අකුසල කර්මයේ කොටස් කරුවෙකු වීමටද හේතුවන බවට ඇති විශ්වාසය තර්කානුකුල වුවද, එයටම සම්බන්ධව ජනතාව තුල පවත්නා වැරදි විශ්වාසයක් ද වේ. එනම් මාළු, කරවල, ජාඩි, වැනි ජලජ සතුන්ගේ මාංශ අනුභව කිරීම ගව, එළු, ඌරු වැනි ගොඩබිම වසන සිව්පා සතුන්ගේ මාංශ අනුභව කිරීම තරම් බරපතල පාප කර්මයක් නොවන බවට ඇති විශ්වාසයයි.

සමහර උග්‍ර බෞද්ධ උපාසක උපාසිකාවෝ බොහෝ අවස්ථා වලදී “අපි නම් අපේ ගෙවල්වලට කවදාවත් මසක් ගේන්නෙවත් නෑ. ඔය ඉඳ හිටලා එහෙමත් වෙලාවක මුදු මාළු ටිකක්, කරෝල ටිකක් ගත්තොත් මිසක”, කියනු අප කොතෙකුත් අසා ඇත. මෙවැනි ප්‍රකාශවලට හේතු වී ඇත්තේ “ගව ඝාතන විරෝධී ව්‍යාපාර”, “ගව පෙරහැරවල්”, “මරණයට කැපවූ ගවයින් මුදා හැරීම” යනාදීන් ඔස්සේ ප්‍රාණඝාතය සිදුවන්නේ ගවයා ප්‍රමුඛ සිවුපා සතුන් ඝාතනය කිරීමෙන් ය යන මතය ඔවුන් තුලට කාවැදී තිබීම විය යුතුය. හින්දු භක්තිකයින් ශුද්ධවූ සත්වයෙකු ලෙස සලකන්න වුද, සිංහල ගැමියාට ගොවිතැනට, කරත්තයට, හා කිරට බෙහෙවින් පිහිට වන්නා වූද ගවයා අනෙකුත් සිව්පා සතුනට වඩා විශේෂ ස්ථානයක ලා සැලකීම සාධාරණ වුවත්, සිවුපාවුන් හා මත්ස්‍යයින් අතර ජීවිත අගයේ වෙනසක් ඇතැයි සැළකීමට හේතු නොපෙනේ.

සංඛ්‍යාත්මකව සැලකීමේදී, මත්ස්‍යයකුගේ මරණය නොව සිව්පාවෙකුගේ මරණය නම් අඩු ලංසුවෙන් සැලකීමේ සාධාරණත්වයක් ඇත. ගවයෙක්, එළුවෙක්, ඌරෙක්, ගෝනෙක්, මුවෙක්, වැනි සත්වයෙකුගේ ශරීරයේ මස් කි.ග්‍රෑ. 100ක් ඇතැයි සිතමු. එවිට මස් ග්‍රෑම් පන්සියයක් මිළදී ගෙන යන්නා, ගෙන යන්නේ සතාගෙන් 1/200න් කොටසක් පමණි. ඔහුගේ වගකීම ඒ සතාගේ ප්‍රාණයෙන් 1/න් කොටසකට පමණි. ඔහු ගෙදර ගෙන යන මස් ග්‍රෑම් පන්සියය සකස් කොට ගෙදර දහ දෙනෙක් එය ආහාරයට ගන්නේ යැයි සිතමු. එවිට ඒ එක්කෙනෙකුගේ වගකීම අර සතාගේ ප්‍රාණයෙන් 1/200න් 1/10 කට පමණි. හෙවත් 1/2000න් කොටසකට පමණි. ඒ අනුව සම්පුර්ණ ප්‍රාණයක වගකීම පැවරෙන්නේ එවන් අයෙකු ආහාර වේල් 2000ක් සඳහා මස් ආහාරයට ගත් පසුවය.

මාළු කුරියකුගේ බර කිලෝ පහක් යැයි සිතමු. එවිට එම මාළුවාගෙන් ග්‍රෑම් පන්සියයක් ගෙන යන්නා ගෙන යන්නේ සතාගෙන් 1/10න්කොටසක් පමණි. ඔහු ගෙදර ගෙන යන මාළු ග්‍රෑම් පන්සියය සකස් කොට ගෙදර දහ දෙනෙක් එය ආහාරයට ගත්තේ යැයි සිතමු. එවිට ඒ එක් එක්කෙනාගේ වගකීම අර සතාගේ ප්‍රාණයෙන් 1/10න් 1/10 කොටසක් එනම් 1/100න් කොටසක් සඳහා පමණි. සම්පුර්ණ ප්‍රාණයක වගකීම පැවරෙන්නේ එවන් අයෙකු මාළු සහිතව ආහාර වේල් සියයක් ගත් පසුවය. ආහාරය සඳහා වියළි හෝ අමු හාල් මැස්සන් ග්‍රෑම් 500ක් ගෙදර ගෙනගොස් එය පිළියෙළ කොට පවුලේ සෑමදෙනා එක්ව එය ආහාරයට ගන්නේ යැයි සිතමු. එක් අයෙකුගේ කොටස වශයෙන් හාල් මැස්සන් 10 දෙනෙකු ලැබුනේ නම් ඔහුට එම ආහාර වේල නිසා ප්‍රාණ 10 ක වගකීම පැවරේ. තවත් අයෙක් ආහාරය සඳහා කුනිස්සන් ග්‍රෑම් 500ක් ගෙන ගොස් එයින් කුනිස්සන් සම්බෝලයක් සකස් කොට පවුලේ සියළු දෙනා එකතුව එය ආහාරයට ගත්තේ යැයි සිතමු. එක් අයෙකුගේ ආහාර කොටස සඳහා කුනිස්සන් 100ක් ලැබුනේ නම් ඔහුට එම ආහාර වේල නිසා ප්‍රාණ සියයක වගකීම පැවරේ.

  • ආහාර වර්ගය - ආහාර වේලක් නිසා වනසන ප්‍රාණ සංඛ්‍යාව
  • කුනිස්සන් - 100 යි
  • හාල්මැස්සන් - 10 යි
  • මුහුදු මාළු - 1/100 යි
  • මස් - 1/2000 යි

ඉහත සංඛ්‍යාවලට අනුව, ප්‍රාණඝාතය අංශයෙන් සලකා බලන විට ආහාරයට මස් වර්ගයක් අනුභව කිරීමට වඩා කුනිස්සන් අනුභව කිරීම දෙලක්ෂ වාරයක පාපයකි. හාල් මැස්සන් අනුභව කිරීම විසි දහස වාරයක පාපයකි. මුහුදු මාළු අනුභව කිරීම 20 වාරයකි.

එහෙත් පන්සිල් රකින, ප්‍රාණ ඝාතයට බියක් දක්වන ඒ නිසාම කිසිම වර්ගයක දඩමසක් ගෙය තුළට වත් නොගන්නා අපේ ශ්‍රද්ධා සම්පන්න උපාසක උපාසිකාවෝ වගක් නැතිව හාල් මැස්සෝ ඉස්සෝ කුනිස්සෝ උයති, පිහති, වැළඳීති.


“නුතන බෞද්ධ මතවාද හා ශාසනික අර්බුද” නම් බන්දුල අත්තනායක මහතා ලියු කෘතියෙන්…

නුතන බෞද්ධ මතවාද හා ශාසනික අර්බුද” නම් බන්දුල අත්තනායක මහතා ලියු කෘතියෙන් 35 වැනි පිටුවේ සිට පහත සඳහන් කොටස උපුටා දක්වා ඇත්තෙමු.

ධර්ම සාකච්චාවලදී අපෙන් නිතර අසන තවත් ප්‍රශ්නයකි මේ මස්-මාළු කෑම සුදුසුද? නුසුදුසුද? කියන කාරණය. අපේ ත්‍රිපිටකයට අයිති බණ පොත්වල මේ පිළිබඳව දකින්නට ඇති දේ කෙටියෙන් මෙසේ දක්වමු. මජ්ජිම නිකායේ මජ්ජිම පන්නාසකයේ ජීවක සුත්‍රයේ සරල සිංහල තේරුමයි මේ.

“එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ජීවකයන්ගේ අඹ උයනෙහි කරවන ලද විහාරයෙහි වාසය කරන කල්හි දිනක් ජීවක තෙමේ බුදුරජානන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණ මෙසේ ඇසීය. ස්වාමීනි, මෙවැනි කතාවක් මා විසින් අසන ලදී. කුමක්ද යත්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා මරණ ලද සතුන්ගේ මස් උන්වහන්සේ වලඳිති” යි යන කතාවය.

මේ කතාව ඇත්තක්ද? නැතහොත් ඔබ වහන්සේට නැගු අභූත චෝදනාවක්ද? එවිට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙමින් ජීවකය, මෙය මා විසින් කියන ලද්දක නොවේ. ඔවුහු මට බොරුවෙන් චෝදනා කරනු පිණිස මෙය කියති.

ජීවකය, මම දැක්ක හෝ ඇසු හෝ සැක සිතූ මස් අනුභවය නොකළ යුතු යැයි කියමි. මේ කාරනා තුනෙන් යුක්ත නොවූ මාංශය පමණක් වැළඳිය යුතු යැයි කියමි. හෙවත්, නොදක්නා ලද, නොඅසනා ලද, සැක නොකළ මාංශය පමණක් වැළඳිය යුතු යැයි කියමි.

ජීවකය, මේ ශාසනයෙහි, යම් භික්ෂුවක් යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වාසය කරයි. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. දෙවන, තුන්වන, සතරවන, උද-යට-සරස දිසාවන් පතුරුවා වාසය කරයි. ඒ භික්ෂුව වෙත දායකයෙක් පැමිණ හෙට දවසට දනට ආරාධනා කරයි. භික්ෂුව එය පිළිගනියි. පසු දින දායකයාගේ ගෙදරට වැඩ දානය වළඳයි. මෙසේ වළඳන භික්ෂුවට මම ප්‍රණීත පිණ්ඩපාතයක් වළඳන්නෙමි යන සිතක් පහළ නොවෙයි. එහි නොඇලී, නොගැටී, සිහි නුවණින් එය වළඳයි.

  • ජීවකය, එය ඒ භික්ෂුවට හෝ අන්‍යයන්ට දුක් පිණිස වන්නේ යැයි සිතන්නෙහිද?
  • නැත ස්වාමීනි, මට එසේ නොසිතෙයි, යනුවෙන් ජීවක පිළිතුරු දුන්නේය.
  • ජීවක, ඒ භික්ෂුව නිවරදිවු ම ආහාරය ගත්තේ නොවේද?
  • එසේය ස්වාමීනි. බ්‍රහ්ම තෙම මෛත්‍රී විහරණ ඇත්තේයැයි මා විසින් අසන ලදී. ඔබ වහන්සේද මහා බ්‍රහ්මයා මෙන් මෛත්‍රී විහරණ ඇති බව මා විසින් ඇසින්ම දක්නා ලද්දේයයි ජීවක කීය.

ජීවක සුත්‍රයේ බුද්ධ ශ්‍රාවකයින් වහන්සේලාට දානය සඳහා මස් පිදීම පිළිබඳව පැහැදිලි නිරවුල් අදහස ගැබ්වී ඇත.

ඛුද්දක නිකායට අයත් අපදාන අතරවූ “දේවරතනිය” ථේරාපදානයේ පෙර භවයක එම භික්ෂුව “මහ වනයෙහි මුව වැද්දෙක් වූ මම පුජාර්හ වූ බුදු රජුන් (පුරාණ බුදු රජාණන් වහන්සේ නමකි) දිටිමි. එම විපස්සි බුදු රජුන් වෙත මස් කැබැල්ලක් පිදු පිනෙන් ලෝකයට ප්‍රධානියෙක් වූවෙමි. මේ මස් දානය නිසා මට කාය චිත්ත සම්පත් දෙක ලැබිණ. එය නිවන් ලැබීමට උපකාර විය. මම සියලු සම්පත් විඳිමි. මස් දානය නිසා මගේ ශරීරයද මෘදුය. සියුම් ප්‍රඥාව ද ලබමි” යි ප්‍රකාශ කොට ඇත.

මෙබඳුම අවස්ථාවක් මේ ථේරගාථා අත‍ර “සුචින්තික” ථේරාපදානය තුළද දක්නට ඇත.

“කෙසර සිංහයෙකු මෙන් නිර්භීත මම මහා වනයෙහි හැසිරෙන වද්දෙක්ව සතුන් මරා ජීවත්වීමි. මට වැඩ කැමති අත්ථදස්සි බුදුරද මා සොයා පර්වතයට වැඩියේය. තිත් මුවෙකු මරා කෑමට සුදානම් වනවිට බුදු රජාණන් වහන්සේ පිඬුසිඟමින්එහි වැඩිසේක. උතුම් මස ගෙන මම උන්වහන්සේට පිදීමි. උන්වහන්සේ එය පිළිගෙන අනුමෝදනා කළසේක. මම එයින් සතුටුව පර්වතයට ගොස් පසුව එහිදී මිය ගියෙමි. මස් දානයෙහි පිනෙන් හා සතුටු සිතින් එක්දහස් පන්සීය කපක් දෙව්ලොව උපන්නෙමි”

විනය පිටකයට අයත් නිස්සග්ගිය පාචිත්ති අතර පස්වැන්නට අදාළ නිදාන කතාවේදී මෙබඳු කොටසක් දක්නට ලැබේ.

“තථාගත බුදු රජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙක උප්පලවන්නා භික්ෂුණිය පෙරවරු කල්හි සැවතෙහි පිඬු පිණිස හැසිර පිඬු වළඳා සවස් කලැ දිවා විහරණය පිණිස අන්ධ වනයට ගොස් ගසක් මුල හිඳ සමවත් සුවෙන් පසු වුවාය. මේ වේලාවෙහි සොර මුලක් සොරකම් කොට බඩු හා අහර පිණිස මස්ද රැගෙන අන්ධ වනයට පිවිසියාහුය. සොරදෙටු තෙමේ දුරදීම තෙරණිය දැක මාගේ පුත්‍රාදීහු මැයට පීඩා කරතියි සිතා ඇය මඟ හැර වෙන මගකින් ගියේය. එසේ ගොස් කිසියම් ස්ථානයක සිට ගෙන ගිය මස් ආදිය පිස එයින් අගනා කොටසින් මස් මුලක් බැඳ තෙරණිය සමීපයෙහි ගසෙක එම මස් මුල එල්වා මෙය දක්නා ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ රැගෙන යේවායි කියා සොර දෙටු තෙම යන්නට ගියේය.

සමවතින් නැගී සිටි තෙරණිය එම මස් මුල ගෙන සවස් කලැ තම අසපුවට ගොස් පසු දින මස් මුල තථාගතයන් වහන්සේට පිලිගන්වමියි සිතා අන්තරවාසකයෙහි එය පොදියක් කොට බැඳ අහසට පැන නැඟී වේළුවනාරාමය ගියාය. එවිට තථාගතයන් වහන්සේ පිඬු පිණිස ගොස් සිටි සේක. තෙරණිය එම මස් මුල තථාගතයන් වහන්සේට පිළිගන්වනු මැනවැයි පවසා උදායි තෙරුනට දුන්නාය. උදායි තෙරණුවෝ අයගේ අන්තරවාසකය ඉල්ලා සිටියහ….” (විනය නීතිය පැනවීමට මුල්වී ඇත්තේ එසේ රෙදිකඩ ඉල්ලීමය.)”

විනය පිටකයට අනුව ඇවැත් සිදුවන පාචිත්තී අනු දෙක අතර භෝජන වර්ගයේ නවවන වගන්තිය මෙසේය.

“ගිතෙල්, වෙඬරු, තලතෙල්, මී, උක් හකුරු, දිය මස්, ගොඩ මස්, කිරි, දී යන මේවා මිහිරි බෝජුන්ය. යම් කිසි නොගිලන් භික්ෂුවක් මෙම මිහිරි බොජුන් තමා සඳහා ඉල්ලා ගෙන වළඳන්නේ නම් පචිතිවේ.”

එබඳු තවත් රසවත් කතාවක් විනය පිටකයේ මහාවර්ගයේ භේසජ්ජඛන්ධයේ දක්නට ලැබේ. එහි කෙටි සිංහල පරිවර්තනය මෙසේය:

“එකල්හි එක්තරා භික්ෂුවකට අමනුෂ්‍යයෙකු විසින් කරන ලද රෝගයක් විය. ආචාර්ය උපාධ්‍යායවරු ඒ භික්ෂුවට උපස්ථාන කරන්නේ රෝගය නැති කරන්නට නොහැකි විය. ඒ අමනුෂ්‍යාවේස වූ මහන තෙමේ ඌරු මස් ලොඹුවට ගොස් අමු මාංශ ද කෑයේය. අමු ලේ ද පානය කළේය. ඔහුගේ ඒ අමනුෂ්‍ය බාධය සංසිඳුනේය.”


බුදුන් වහන්සේ මස් වැළඳුවේ ද?

බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සුත්‍ර පිටකයේ හා විනය පිටකයේ නොයෙක් තැන්වල තොරතුරු සඳහන් වේ. එම අවස්තාවන් වශයෙන් අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රය, මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය, සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රය, මහාවගාපාලි භේසඡ්ඡඛන්ධකයේ සීහ සේනාපති කතා පුවත, පාරාජිකපාලි චීවරපටිග්ගහන ශික්ෂාපදය, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් චුන්දකර්මාර පුත්‍රයාගේ සුකරමද්දව දානය ආදිය පෙන්වාදිය හැකිය. මෙම අවස්ථා බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සාක්ෂි සපයයි.

මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රයේ සඳහන් කතා පුවත මෙසේය. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජීවක වෛද්‍යවරයාගේ අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි ජීවක උපාසකතුමා (වෛද්‍යවරයා) බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේය. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ උදෙසා සතුන් මරණ බවත්, ඔබ වහන්සේ එම මස් දැන දැන වළඳන බවටත් මා විසින් අසන ලදී. “සුතං මේතං භන්තේ සමනං ගොතමං ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති

“ස්වාමීනි, ඒ ආකාරයට නොයෙක් දෙනා පවසන්නේ භාග්‍යවතුන් වහන්සේට අදාළ දෙයක්ද? නැතහොත් ඔවුන් ඔබ වහන්සේට කරුණු රහිතව අභුතයෙන් චෝදනාකරන්නෙහි ද? යනුවෙන් ජීවක උපාසකතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය. එම ප්‍රශ්නයට බුදුරදුන් පිළිතුරු දුන්නේ මෙසේය. “ජීවකය, යමෙක් මෙසේ කියත් නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් මිනිස්සු සත්තු මරති, ඒ කාරණය දැන දැන ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා පිළියෙළ කළ මස් වලන්දත් කියා කියත් නම් එම කරුණ පවසන ඔවුහු මා විසින් කියන ලද්දක් කියන අය නොවෙති. ඔවුහු ම හට අසත්‍යයෙන් අභුතයෙන් චෝදනා කරන අය වෙති” යනුවෙනි.

එසේ බුදුරදුන් ජීවක උපාසකතුමාට දේශනා කෙළේ තමන් වහන්සේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංශය අනුභව කරන බවයි. එසේ ම එය වැළඳීමට භික්ෂුන්ට අනුමැතිය ලබාදෙන බවයි. එම කාරණා තුන නම් ඉහතින් සඳහන් කළ තිකොටි පාරිශුද්ධ මාංශයයි. එනම්:

  • අදිට්ඨං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු
  • අසුතං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු
  • අපරිසඬ්කිත – තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති මාංශයයි.

“ජීවකය, මම මෙම තුන් ආකාරයෙන් පිරිසිදු වූ මාංශය අනුභව කරමි. අනුභව කිරීමට අනුමැතිය ලබාදෙමි.” (මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය). එසේම සමාජයේ බුදුරජාණන් වහන්සේ උදෙසා සතුන් මරති, උන්වහන්සේ එම මස් දැන දැන වළඳත් යැයි බුදුරදුනට චෝදනාවක් ඇති වුයේ උන්වහන්සේ මස් වළඳන නිසා බවද මෙයින් පැහැදිලි වෙයි. මස් නොකන අයට සමාජයෙන් එවැනි චෝදනා එල්ල වන්නේ නැත.

මහාවග්ගපාළියේ භේසඡ්ඡඛන්ධකයේ ද බුදුරදුන් මස් වැළඳු බවට තොරතුරු සඳහන් වෙයි. සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වාසය කරන කාලයක ලීච්ඡවීහු සන්ථාගාර (රැස්වීම්) ශාලාවෙහි රැස්වී බුදුරදුන්ගේ ගුණ කියත්, භික්ෂු සංඝයාගේ ගුණ කියත්, එම අවස්ථාවේ රැස්වීම් ශාලාවේ සිටි නිගණ්ඨ ශ්‍රාවකයෙකු වූ සිංහ නම් සේනාපතියෙක් බුදුරදුන් කෙරෙහි පැහැදී උන්වහන්සේ දැකීමට යාමට කැමතිවෙයි. ඒ බව නිගණ්ඨනාථ පුත්තයන් වෙත දැනුම දුන් විට ඔහු මෙසේ කීවේය. “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අකිරියවාදියෙකි. එයින් ම උන්වහන්සේ ශ්‍රාවකයන් හික්මවති. ඔබ කුමක් හෙයින් බුදුරදුන් හමුවීමට යන්නෙහිද?” නිගණ්ඨනාථ පුත්තයන් එසේ කීවිට සිංහ සේනාපතියන්ගේ බුදුරජාණන් වහන්සේ දැකීමේ අදහස නැතිවී ගියේය. එහෙත් දෙවන තුන්වන වර ද ලීච්ඡවීන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළ විට ඔහුට බුදුන් දැකීමේ අදහස යලිත් ඇතිවිය. එම අදහස නිගණ්ඨනාථ පුත්‍රයන්ට දැනුම් දුන් පසු ඔහු දෙවන තෙවන වර ද සිංහ සේනාපතියන් වළක්වනු ලැබීය. පසුව සිංහ සේනාපතියන් නිගණ්ඨනාථ පුත්‍රයන්ට නොදන්වා රථ පන්සියයක් සහිතව දහවල් කාලයේ බුදුරජාණන් වහන්සේ දැකීමට ගියේය. බුදුරදුන් හමුවූ සීහ සේනාපතියන් උපාසකයෙකු බවට පත්වීය.

ඔහු නිවසට ගොස් සේවකයෙකු අමතා වෙළඳ පොලට ගොස් මස් ගෙනෙන්නට නියම කළේය.

“ගච්ඡ භණේ පවත්ත මංසං ජානාහී තී” (මහාවග්ගපාලි – 592 පිටුව)

පසුදා සීහ සේනාපතියා බුදුරදුන් ප්‍රමුඛ මහා භික්ෂු සංඝයා වහන්සේට මස් සහිත ප්‍රණීත භෝජනයෙන් සංග්‍රහ කෙළේය. සීහ සේනාපතියා උපාසකයෙකු බවට පත්වූ පුවත හා ඔහු බුදුරදුන්ට මස් සහිත දානයක් දුන් පුවත දැනගත් නිගණ්ඨයෝ විසාලා මහනුවර වීදිවල “අද සීහ සේනාපතියා තරබාරු සිවුපාවෙකු මරා ශ්‍රමණ ගෞතමයන්ට බත් කරන ලද්දේය. ශ්‍රමණ ගෞතමයන් තමන් උදෙසා කළ මාංශය වැළඳු වේ යැයි ‘අජ්ජ සීහේන සේනාපතිනා ථුල්ලං පසුං වධිත්වා සමණස්ස ගෝතමස්ස භත්තං කතං. සමණෝ ගෝතමෝ ජානං උද්දිස්සකටං මංසං පරිභූඤ්ජතී’ති පටිචචකම්මන්ති‘ ” යි ඝෝෂා කළහ.

මෙම කතා පුවතින්ද බුදුරජානන් වහන්සේ මස් වැළඳු බව තහවුරු වෙයි. සීහ සේනාපතියා “පවත්ත මාංශය” ගෙනෙන්නට කීමෙන් නිගණ්ඨයන් ද “පවත්ත මාංශය” අනුභව කරන්නට ඇති බව සිතිය හැකිය. ඔවුන් බුදුරදුන්ට චෝදනා කෙළේ උදෙසා කළ (උද්දිස්සකටං) මසක් වළඳන බවටයි. එනිසා පවත්ත මාංශය හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ජෛනයන් හා වෙනත් ශ්‍රමනයන් ද වළඳන්නට ඇත. එනිසා බුදුරදුන් ද ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බවට මේ කතා පුවතින් ඉදිරිපත් කර ඇත.

මීට අමතරව පාරාජිකාපාලි විවරපටිග්ගහන ශික්ෂා පදයේ ද බුදුරදුන් මස් වැළඳු බවට කතා පුවතක් සඳහන් වෙයි. එහි සඳහන් පරිදි උප්පලවන්නාමෙහෙණිය පෙරවරු කාලයේ පිණ්ඩපාතයෙන් පසුව අන්ද වනයට වැඩමකරවා ගසක් මුල දිවාවිහරණය පිණිස වැඩ සිටියාය. ඒ වේලාවෙහි සොරු ගව දෙනක් මරා අන්ද වනයට පිවිසුණහ. සොර නායකයා ගසක් මුල වැඩ සිටින උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ දැක මාගේ දරුමල්හු මේ මෙහෙන දක්නාහු නම් වෙහෙසෙන්නාහයි (කරදර කරන්නේ යැයි) වෙන මගකින් ගියේය. අනතුරුව ඒ සොර නායකයා මස් පැසුණු විට හොඳ මස් ටිකක් ගෙන කොළ ආදියෙන් ඔතා බැඳ උප්පලවන්නා මෙහෙණීන් වහන්සේට ළඟ තැනක “යම් මහණ බමුණෙක් මෙය දකිත් නම් එය ගනිත්වා” යැයි කියා ගසක එල්ලුවේය. උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ සමාධියෙන් නැගී සිට සොර නායකයාගේ වචනය අසා ඒ මස් ගෙන මෙහෙණවරට ගියාය. පසුදා එම මස් පිළියෙළ කර උතුරු සිවුරෙහි ඔතාගෙන බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමට ජේතවනාරාමයට ගියාය. මෙම කතා පුවතින් ද බුදුරදුන් මස් වැළඳු බව තහවුරු වෙයි. මෙහි සඳහන් වැදගත්ම කාරණය නම් “ගාවිං වධිත්වා” යන්නයි. මෙයින් බුදුරජානන් වහන්සේ ද ගව මාංශ වැළඳු බව කියවෙයි.

අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ බුදුරජානන් වහන්සේ ඌරු මස් වැළඳු කතා පුවතක් සඳහන් වෙයි. බුදුරජානන් වහන්සේ විශාලා මහනුවර කුටාගාර ශාලාවෙහි වැඩවසන සමයක සෝවාන් ඵලයට පැමිණි උග්ග නම් උපාසකයෙක් බුදුරජානන් වහන්සේ උදෙසා අපුරු ආකාරයක දානයක් පිළියෙළ කෙළේය. උග්ග ගෘහපතියා බුදුරජානන් වහන්සේට එම දානය පිළිගැන්වූයේ උන්වහන්සේ විසින් දේශනා කරණ ලද බණ පදයක්ද සිහිගන්වමිනි. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිදී මෙසේ අසන ලදී. එනම් මනාප දේ දන් දෙන තැනැත්තා කැමති දෙයක් ම ලබන්නේය” යන බණ පදයයි. භාග්‍යවතුන් වහන්ස මා ඩෙබරඵල මුසු කළ ඌරු මස්වලට ඉතා මනාපය. එනිසා භාග්‍යවතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පා උපදවාගෙන මාගේ ඩෙබරඵල මුසු මේ ඌරු මස පිළිගන්වා සේක්වා. උග්ග ගෘහපතියා මෙසේ ප්‍රකාශ කර බුදුරජානන් වහන්සේ වෙත ඌරු මස් පිළිගැන්වූ විට උන්වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන වැළඳු සේක. මේ ප්‍රවෘතියෙන් ද බුදුරජානන් වහන්සේ මාංශ වැළඳු බව සනාථ වෙයි.

සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රයේ පෙර බුදුවරු පවා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව සඳහන් වෙයි. එය මාංශ ආහාරය සම්බන්ධයෙන් බුදුවරු එකම ආකල්පයක් දරන බවට සාධකයෙකි. එහි සඳහන් ආකාරයට එම කතා පුවත කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ කාලයට සම්බන්ධ වෙයි. බ්‍රාහ්මණ වංශික තිස්ස නම් තාපසයෙක් පිරිවර තාපසයන් සහිතව මාංශ ආහාරවලටත්, මාංශ ආහාර අනුභව කරන අයටත් අපහාස කරමින්, බැනවදිමින් සිටියේය. තිස්ස තාපසයා ප්‍රකාශ කෙළේ, මිනේරි, අමු ඇට, තල කොළ, දළු, අල, මුල් පලතුරු ආදී දැහැමින් ලබන දේ වළඳන දැහැමින් සැනසෙන අය කාමය නොපතන, බොරු නොකියන අය බවයි.

දිනක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලිහිණි මස් සහිත ඇල් හාලේ බතක් දානය වශයෙන් ලැබ එය වළඳනු දුටු තිස්ස තාපසයා කාශ්‍යප බුදුරජානන් වහන්සේගෙන් මෙසේ විචාළේය. “ඔබ වහන්සේ කලින් පැවසුවේ, පිළී ගඳ තමාට කැප නැති බවය. එහෙත් දැන් ඔබ වහන්සේ මනාව පිසින ලද ලිහිණි මස් සමග ඇල් හාලේ බත් වළඳති”. කාශ්‍යප සමිඳුනි, ඔබ වහන්සේ පිළී ගඳ වශයෙන් සඳහන් කලේ කුමක්ද? තාපසයා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කාශ්‍යප බුදුන් වහන්සේ ප්‍රාණඝාතය, වධදීම, අත්පය සිඳීම, සතුන් සිරකොට තැබීම, සොරකම, බොරුකීම, වංචා කිරීම, ක්‍රෝධයෙන් කල්ගෙවීම, අනුන්ගේ භාර්යාවන් ඇසුරු කිරීම, මෙලොව පරලොව නොපිළිගැනීම, පින් පව් නොපිලිපැදීම ආදී අයහපත් දේ සිදු කිරීම ආමගන්ධය වන බවත්, මාංශ ආහාරය ආමගන්ධය නොවන බවත් (ඒසාමගන්ධෝ නහි මාංශ භෝජනං) දේශනා කළහ. මෙම සුත්‍ර දේශනාවෙන් පෙර බුදුවරු පවා මාංශ භෝජනය වැළඳු බව කියවෙයි.

(මෙම ලිපි ගොනුව 'සරත් සිංහබාහු' නම් පාඨකයෙකු විසින් යහමග අඩවිය වෙත යොමු කොට තිබුණි)

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/20

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම