වක්තෘ ඉබ්බ්‍රාහීම් තුමාගේ කැපවීම සංකේතවත් කරන හජ් වන්දනය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මුස්ලිම්වරයෙකු තම ජීවිතයේ යන උතුම් වටිනා “හජ්” ගමනයි. මුස්ලීම්වරයෙකු යන එම ගමන දෙවියන්ට අවනත වීමේ ගමනයි. කැපවීමේ සහ පරිත්‍යාගයේ ගමනයි. සියල්ලටම වඩා සර්වබලධාරී අල්ලාහ් (දෙවි)ට වහල්භාවය සහ කීකරුභව සනාථ කිරීමේ ගමනයි. එවන් වූ උතුම් ගමන ඉස්ලාමය මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්‍ය කරන වගකීම් 05 අතුරින් එකක් වූ ගමනයි. මෙපමණ සුවිශේෂී මෙම “හජ්” නැමදුමේ ඉතිහාසය සහ ආරම්භය සිදුවන්නේ කොතැනින්ද?. එයට මූලික වූ සිද්ධීන් කවරේද? වැනි කරුණු යහමග අඩවිය තුල මීට ඉහත හජ් වන්දනය හා නබි ඉබ්බ්‍රාහීම් තුමා යන ලිපිය තුලින් සාකච්චා කොට ඇති අතර මෙම ලිපිය තුලින් ද ඊට වෙනස් දෘෂ්ඨියකින් එම කාරණය විමසා බැලීමට අදහස් කරමි.

මීට වසර 4000 කට පමණ පෙර “කල්දි” නම් වූ අධිරාජ්‍යය යටතේ පැවති (වත්මන් ඉරාකය පිහිටි වර්තමාන මෝසුල් නගරයට ආසන්න ) 'උර්' නම් දේශයේ ඉබ්‍රාහීම් (බයිබලයේ සදහන් ආකාරය “ඒබ්‍රාහීම්”) නම් වූ දරුවකු උපත ලැබූ බව ඉතිහාසයේ සදහන් වේ. එම දරුවා පසුකල තරුණ, මැදි සහ මහළු අවදීන් හි ජීවිතයේ මුහුණදුන් විවිධ සිද්ධීන් මූලික කරගෙන ගොඩනැඟුනු නැමදුමයි මෙම “හජ්” නැමදුම. ඒ පිලිබදව අල්කුර්ආනයේ ඉගෙන්වීමන් ද මූලික කරගෙන මෙතැන් සිට විමසා බලමු.

ඉබ්‍රාහීම් (අලෛ) කුඩා අවදිය

තරු, සඳ, සූර්යයා වන්දනා කිරීම, එම ආකාශ වස්තූන් මිනිස් ඉරණම කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති බව ඔවුන් විශ්වාස කිරීම, ලී, ගල් හෝ වෙනත් ඕනෑම ද්‍රව්‍යයකින් සාදන ලද පිළිමවලට නමස්කාර කිරීම එම සමාජයේ සාමාන්‍ය සිරිත් විරිත් වූ අතර ඉබ්‍රාහීම් තුමාගේ පියා එම සමාජයේ දේව රූප අඹන්නෙකු ද විය. එවන් සමාජයක සහ පවුලක සාමාජිකයෙකු වූ ඉබ්‍රාහීම් (අලෛ) තුමා කුඩා කල පටන්ම “සර්වබලධාරී එකම දෙවියා” පිලිබදව තාර්කිකව අවබෝධ කොට “තව්හීදය” පිලිගෙන ඒ අනුව ජීවත් වූ කෙනෙකු විය. තම පියා සහ තමන් විසූ සමාජය බහුදේව සංකල්පය මත ජීවත් වී “දෙවියන්ට සමානයන් තබන” (“ශිර්ක්”) නම් මහා පාපයේ ගිලී සිටීම පිලිබදව එම සමාජයට අවවාද කිරීමටත්, එම මහා පාපයෙන් ඔවුන් මුදවා ගැනීමටත් නිතර උත්සාහ කලේය. ඔහු තම පියාට සහ සමාජයට සත්‍ය මාර්ගය පෙන්වාදීමට ක්‍රියා කළ ආකාරය සහ රටේ පාලකයින් සමඟ පවා වාද විවාද කළ ආකාරය අල්කුර්ආනය පහත ආකාරයට කථා කරයි.

ඔහුට අල්ලාහ් රාජ්‍යය පිරිනැමූ හෙයින් තමාගේ රබ්(පරමාධිපති) සම්බන්ධයෙන් ඉබ්‍රාහීම් සමඟ වාද කළ පුද්ගලයාට (සිදු වූ දේ) ගැන නුඹ (මුහම්මද්!) මෙනෙහි නොකෙළෙහිද? ජීවය දෙන්නේද මරණය සිදු කරන්නේද මාගේ රබ්(පරමාධිපති) යැයි ඉබ්‍රාහීම් පැවසූ විට ජීවය දෙන්නේත් මරණය සිදු කරන්නේත් මා යැයි ඔහු කීවේය. එයට ඉබ්‍රාහීම් “නියත වශයෙන්ම අල්ලාහ් සුර්යයා නැගෙනහිරින් නංවන්නේය. (හැකි නම්) නුඹ එය බස්නාහිරින් නංවනු”යි පැවසූවේය. ප්‍රතික්ෂේප කළ ඔහු මෙය ඇසූ විගසින් වික්ෂිප්ත විය. අල්ලාහ් අපරාධ කරුවන්ට යහමඟ නොපෙන්වයි.

අල්කුර්ආනය 2-258

ඉස්ලාම් දහම හෝ අල්ලාහ් (දෙවි) පිලිබදව වූ කිසිදු දැනුමක් නොලදව හිඳ වූවත්, සර්වබලධාරී එකම දෙවියා පිලිබදව වූ දැඩි විශ්වාසයෙන් යුතුව එවකට සමාජයට තේරෙන ආකාරයට “තව්හීදය” කියාදීමට අරඟල කල තරුණ ඉබ්‍රාහීම් තුමාගේ ක්‍රියාකලාපය අල්කුර්ආනය තවත් තැනක මෙසේ විස්තර කරයි.

අල්ලාහ් හැර නුඹලාට කිසිම යහපතක් හෝ අයහපතක් සිදු නොකරන දෑ නුඹලා නමදින්නේ දැයි ඔහු(ඉබ්‍රාහිම්) කීය. නුඹලාටත් අල්ලාහ් හැර නුඹලා අදහන දෑටත්, ශාප වේවා නුඹලා (මේ පිළිබඳව) සිතන්නේ නැතිදැ(යි ඔහු කීය.) නුඹලා යමක් කරන්නෙහි නම්, ඔහු පුළුස්සනු. තවද නුඹලාගේ දෙවිවරුන්ට උදව් කරනුයි ඔවූහූ කීහ.

අල්කුර්ආනය 21-66 සිට 68

ගිනි මැලයට දමා පුච්චන්න උත්සාහ කිරීම

ඉබ්‍රාහීම් (අලෛ) තුමා මෙසේ “තව්හීදය” එවකට සමාජය ඉදිරියේ ප්‍රකාශ කරන විට පිළිම වන්දනාකරුවන්ගෙන් දැඩි විරෝධයක් ඇති වූ අතර, එක්තරා අවස්ථාවක ඉබ්‍රාහිම් (අලෛ)ව ගිනි මැලයකට දමා පුළුස්සා දැමීමට ද එවකට පාලකයින් කටයුතු කළේය. එසේ ඉබ්‍රාහීම් (අලෛ)ව ගින්නට දැමූ මොහොතේ අල්ලාහ් (දෙවි) ගින්නට කල නියෝගය අල්කුර්ආනය මෙසේ පවසයි.

ඕ ගින්න! නුඹ ඉබ්‍රාහිම්ට සිසිලද ආරක්ෂාවද වේවායි අපි(ගින්නට) කීවෙමු. 

අල්කුර්ආනය 21-69

හිජ්රත් කිරීම

ඉබ්‍රාහිම් (අලෛ) තුමා තම පවුලට සහ සමාජයට කල අවවාද ඔවුන් මුරණ්ඩුකමින් ප්‍රතික්ෂේප කරමින් තම ජීවිතයට හානියක් කිරීමට පෙළඹීම පිලිබදව කලකිරීම සහ ඔවුන් යහමග ට පැමිණෙනු ඇතැයි යන විශ්වාසය කඩවිම නිසා තම (“ඌර්” නම්) ගමෙන් සංක්‍රමණය වීමට තීරණය කළේය. ඒ අනුව ඔහු තම බිරිඳ සමඟ සිරියාවටත්, එතැනින් ඊජිප්තුවටත් සංචාරය කොට අවසානයේ මක්කාවට පැමිණියේය. තම දෙවි සතුටු කිරීම සහ දෙවියන් ඒකීයත්වය නොහොත් “තව්හීදය” ආරක්ෂා කිරීමට ඔහු කල කැපවීම සහ දෙවියන් කෙරෙහි ඔහුට ඇති එම ප්‍රේමය අල්කුර්ආනය මෙසේ විස්තර කරයි.

ඔහුගේ රබ් (පරමාධිපති වූ අල්ලාහ්) ඉබ්‍රාහීම්ව විවිධ අනපනත්වලින් පරීක‍ෂා කළ විට ඔහු (ඉබ්‍රාහීම්) ඒවා සම්පූර්ණ (ඉටු) කළේය. (එවිට) නියත වශයෙන්ම මම නුඹව මිනිස් වර්ගයාට (යහමඟ පෙන්වන) නායකයකු කරන්නෙමියි ඔහු (අල්ලාහ්) කීවේය. එවිට මාගේ පරම්පරාවෙනුත් (නායකයන් පත් කරන්නේ) දැයි (ඉබ්‍රාහීම්) කිවේය. අපරාධ කරුවන්ට මාගේ ගිවිසුම අදාළ නොවන්නේ යැයි ඔහු (අල්ලාහ්) කීවේය.

අල්කුර්ආනය 2-124

ඔහු විසූ සමාජයෙන් විවිධ බාධක සහ ජීවිත තර්ජන එල්ල වනවිට එම සමාජයෙන් සංක්‍රමණය (හිජ්රත්) කල ඉබ්‍රාහීම් (අලෛ) තුමාව අල්ලාහ් (දෙවි) විසින් ද විවිධ වූ පරීක්ෂණවලට යටත් කරන ලදී. (එය ඉහත 2-124 වාක්‍යයෙන්ද අවධාරණය කරයි.) එම පරීක්ෂණයන් කොතරම් කෲර එකක් ද යන්න මෙම ලිපිය ඉදිරියට කියවන ඔබට අනිවාර්‍යයෙන් ම සිතෙනු ඇත. එවන් කෲර පරීක්ෂණ මොනවාද? යන්නත්, එයින් ඉබ්‍රාහීම් (අලෛ) ජයගත්තේ කෙසේද? යන්නත් මෙතැන් සිට විමසා බලමු.

මහළු විය ලබන තුරු දරු සම්පත් නොලැබීම

ඉබ්‍රාහීම් (අලෛ) තුමා තම බිරිඳ “හාජරා” තුමිය සමඟ මහළු විය ලබන තුරුම ඔවුන් දෙපලට දරු සම්පතක් හිමි නොවීය. නමුත් දෙවියන් කෙරෙහි තිබූ අචල විශ්වාසය නිසා ඔවුන් දෙපල මහළු වියට පත්ව සිටියදී පවා තමන්ට දරු සම්පතක් ලබාදෙන ලෙස අල්ලාහ් (දෙවි)ගෙන් අඛණ්ඩව ආයාචනා කලේය. එයත් අල්කුර්ආනය මෙසේ පවසයි.

මාගේ රබ්(පරමාධිපතියාණෙනි) මට දැහැමියන් අතුරින් (පුතකු) දෙනු මැනවි.

අල්කුර්ආනය 37-100

ඒ අනුව ඔවුන් දෙපල මහළු වියේ පසුවන සමයේ “ඉස්මායිල්” නම් පළමු දරු සම්පත ඔවුනට හිමිවිය. එය අල්කුර්ආනය මෙසේ විස්තර කරයි.

එවිට විනීත පුත්‍රයකු ගැන ශුභාරංචිය අපි ඔහුට දුන්නෙමු. 

අල්කුර්ආනය 37-101

මම වයොවෘද්ධි වී මගේ ස්වාමියාද මහළුවියට පත්ව ඇත. මෙවන් අවධියක මා දරුවකු බිහිකරයි ද? නියත වශයෙන්ම එය විශ්මය ජනක කාරණයකි”

අල්කුර්ආනය 11-72

අලුත උපන් දරුවා කාන්තාරයක් මධ්‍යයේ තනි කිරීම

මෙසේ ඉබ්‍රාහිම් (අලෛ)ට ඔහුගේ මහලු වියේදී හිමි වූ තම කුළුදුල් “ඉස්මායිල්” නම් අලුත උපන් දරුවා සමග දරුසුරතල් විඳීමට මත්තෙන්ම දරුවා සහ ඔහුගේ බිරිඳ “හාජර්” යන දෙදෙනා මක්කාවේ නිසරු කාන්තාර මිටියාවතක් (A) මධ්‍යයට රැගෙන ගොස් එහි තනිකොට එන ලෙස දෙවියන්, ඉබ්‍රාහීම් (අලෛ)ට නියෝග කරන ලදී. එය කිසිදු ආකාරයකින් වාසයට නොසුදුසු කිසිදු සෙවනක්, දිය බිඳක් නොමැති රළු කාන්තාරයක් විය. එවන් කාන්තාර මධ්‍යයේ තම බිරිඳ සහ කුළුදුල් දරුවා තනිකොට නැවත හැරී යන ඉබ්‍රාහීම් (අලෛ) තුමාණන් අල්ලාහ් (දෙවි)ගෙන් කල ප්‍රාර්ථනාව ද අල්කුර්ආනය මෙසේ පවසයි.

“අපගේ දෙවියණේ!, නියත වශයෙන්ම මාගේ පවුල (දරුවා හා බිරිද) උතුම් වූ ඔබේ නිවස වන නටඹුන්ව පැවතී ක:බාව) ආසන්නයේ, ගහක් කොලක් නොමැති මිටියාවතක ඔබ නැමදුම සඳහා පදිංචි කොට පැමිණියෙමි. එම නිසා අපගේ දෙවියණේ!, මිනිසුන් අතුරින් සමහරකගේ හදවත් තුල ඔවුන් කෙරෙහි ආදරයක් ඇති කරත්වා!,  ඔවුන් කෘතගුණ දැක්වීම පිණිස ඔවුනට පළතුරු (යනාදී ආහාර) ලබා දෙත්වා!”

අල්කුර්ආනය 14-37

කිසිදා නොසිඳෙන Zam-Zam ලිඳේ ආරම්භය

මෙසේ තම තම දරුවා සහ බිරිඳ කාන්තාර මධ්‍යයේ මිටියාවතක තනිකර යෑමෙන් අනතුරුව ඉබ්‍රාහීම් (අලෛ) තුමාගේ බිරිඳ හාජරා තුමිය කිසිවකුගෙන් උපකාරයක් ලබා ගැනීමේ අරමුණින් තම දරුවා කාන්තාර මධ්‍යයේ එක්තරා ස්ථානයක තබා එහි තිබූ “සෆා” සහ “මර්වා” නම් කඳු දෙක අතර උපකාරයක් සොයා දිවගියේය (B). නමුත් තම බලාපොරොත්තු සුන් කරගෙන තම දරුවා වෙත එන ඇය දරුවා පරීක්ෂා කොට නැවත කඳු දෙක අතර දිවයයි. මෙසේ කාලය ගත වන විට දරුවා සිටී තැනින් එකවර දිය උල්පතක් මතුවේ. එය දුටු හාජරා තුමිය එම ජලයට “ZAM-ZAM” (නවතිනු- නවතිනු) යයි පවසයි (C). එවිට එම දිය උල්පත එම ප්‍රමාණයෙන් නැවතීය. කාන්තාරය මධ්‍යයේ මතු වූ එම දිය උල්පත සමඟ එම ප්‍රදේශයට ජනතාව පැමිණීමත් එහි නවාතැන් ගැනීමත් සිදුවුණි. කාලය ගතවෙද්දී එම ප්‍රදේශයේ ජනාවාස බිහි වී කෙමෙන් කෙමෙන් මක්කාව නම් නගරය එහි නිර්මාණය වීම සිදුවිය.

තම දරුවා බිලි පූජා කිරීමට නියෝගය ලැබීම

මෙසේ වසර ගණනාවක් ගෙවීයාමෙන් අනතුරුව අල්ලාහ් (දෙවි)ගේ නියෝගය අනුව ඉබ්‍රාහීම් (අලෛ) තුමාට තම බිරිඳ හා දරුවා සමඟ එක්වීමට අවසරය හිමි විය. ඒ අනුව තම ආදරණීය බිරිඳ සහ පුත් ඉස්මයිල් (අලෛ) සමඟ එක්ව කාලය ගෙවන අතරතුර නැවතත් එතුමාණන්ට පරීක්ෂණයක් ලැබුණි. ඒ තම දරුවාගේ බිලිපූජාවක් කරන ලෙසයි. සිහිනෙන් පැමිණී මෙම නියෝගය දෙවියන්ගෙන් ලැබූ පණිවුඩයක් යැයි අවබෝධ කරගත් ඉබ්‍රාහීම් (අලෛ) තුමා දෙවියන් වෙනුවෙන් තම පුතාව පූජා කිරීමට තීරණය කලේය. මෙය අල්කුර්ආනය මෙසේ පවසයි.

ඔහු (දරුවා) ඔහු සමඟ කටයුතු කළ හැකි වයසට පත්වූ කල්හි, (මාගේ දයාබර) පුතනුවනි, නියතවශයෙන්ම මම නුඹ (කුර්බාන් වශයෙන්) ඝාතනය කරනු සිහිනෙන් දුටීමි. ඒ ගැන නුඹ සිතන්නේ කුමක්දැයි ඔහු කීවේය.

අල්කුර්ආනය 37-102

දේව නියෝගය ඉටු කිරීම පිණිස ඉබ්‍රාහීම් (අලෛ) තුමා තම දරුවා කන්දක් උඩට රැගෙන ගොස් තම පුතාගේ දෑස් බැඳ එහි පර්වතයක් මත තබා පූජාව ඉටු කිරීමට සැරසුණු විට තම පුතා වූ ඉස්මායිල් (අලෛ) තුමාගේ ප්‍රතිචාරය ද පියාට දෙවැනි නොවූ එකක් වූ බව අල්කුර්ආනය මෙසේ පවසයි.

මාගේ දයාබර පියාණෙනි, නුඹට අණ කරනු ලැබූ දෑ කරනු. අල්ලාහ්ට අභිමත නම් මා ඉවසන අය අතුරින් කෙනකු බව නුඹ දකිනු ඇතැයි ඔහු (දරුවා) කීය. 

අල්කුර්ආනය 37- 102

අවසානයේ දෙවියන් “ඔබ පරීක්ෂණයෙන් සමත්” වූ බව පවසමින් තම පුතාව බිලි පූජා කරනවා වෙනුවට බැටළුවෙකු ගෙන බිලි පූජා කරන ලෙස අණ කලේය (D).

ක:බාව ගොඩනැඟීම

මෙසේ කාලය ගෙවීයත්ම මක්කාවේ තිබූ ලොව පළමු දෙවි මැදුර වන “ක:බාව” (වැඩි විස්තර සදහා බක්කාවේ පිහිටා ඇති ප්‍රථම දෙව්මැදුර යන ලිපිය කියවන්න) තම පුතා වන ඉස්මායිල් (අලෛ) තුමා සමඟ එක් වී ගොඩනඟන්න යන නියෝගය ලැබීය. ඒ අනුව ඉබ්‍රාහීම් (අලෛ) තුමා තම පුතා සමඟ එක් වී ක:බාව ගොඩනැඟීම සිදුකල අතර එසේ ගොඩනැඟීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා කල ප්‍රාර්ථනාව අල්කුර්ආනය මෙසේ පවසයි.

අපගේ රබ් (පරමාධිපති) අපව ඔබට (සම්පූර්ණයෙන්ම අවනත වූ) මුස්ලිම්වරුන් දෙදෙනෙකු ලෙස ද, අප අතුරින් පැවතෙන්නන්ගෙන් ඔබට (අවනත වන) මුස්ලිම් සමූහයක් ද (ඇති) කරනු මැනව. තවද අපගේ නැමදුම් (හජ්, උම්රාහ් කටයුතු කරන අයුරු හා අනෙකුත් නැමදුම් ඉටුකරන අයුරු) අපට පෙන්වා දෙනු මැනව. තවද අපගේ පශ්චාත්තාපයද පිළිගනු මැනව. නියත වශයෙන්ම පශ්චාත්තාපය පිළිගන්නාද අසමසම කරුණාන්විතයාද ඔබමය.

අල්කුර්ආනය 2-128

හජ් වන්දනයට ආරාධනා කිරීම

මේ ආකාරයට ක:බාව ප්‍රතිනිර්මානය කිරීමෙන් අනතුරුව ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනයා හජ් වන්දනය සදහා කැඳවන්න යන නියෝගය දෙවියන් හමුවේ සිට ඉබ්‍රාහීම් (අලෛ) තුමාට ලැබුණි. එවිට ඉබ්‍රාහීම් (අලෛ) තුමා විමසා සිටියේ “දෙවියණි! මගේ හඬ ඒ සියලු දෙනා වෙත ළඟා වන්නේ කෙසේද?” යනුවෙනි. එයට දෙවියන් ඔහුට පැවසුවේ “ඔබගේ කාර්‍යය ඇමතුම ලබා දීම පමණි එය ජනතාව වෙත ළඟා කරවීම සහ ජනතාව සහභාගි කරවීම මාගේ කාර්‍යයි” යනුවෙනි. ඒ අනුව ඉබ්‍රාහීම් (අලෛ) තුමා මක්කාව ආසන්නයේ පිහිටි “අරෆා” නම් උස කන්දක් මතට නැඟ (E) උස් හඬින් “ජනතාව! නියත වශයෙන්ම අල්ලාහ් ඔබට හජ් නියම කර ඇත, එබැවින් හජ් ඉටු කරන්න. (F) යනුවෙන් කැඳවීම සිදුකලේය. මෙය අල්කුර්ආනය මෙසේ පවසයි.

තවද හජ්(ඉටු කිරීම)ට ජනයින්ට අඬ ගසනු. ඔවූහූ පා ගමනින්ද සියලු දුර බැහැර ස්ථානවල සිට එන(ගමන් මහන්සිය නිසා) වැහැරුනු ඔටුවන් පිටින්ද නුඹ වෙත පැමිණෙති. 

අල්කුර්ආනය 22-27

මීට වසර 4000 කට පමණ පෙර කල ඉහත ආරාධනයට (2023) අද වන විට ලැබී ඇති පිළිතුර නම් මෙවර හජ් සදහා සහභාගි වන පිරිස මිලියන 2.5 ත් ඉක්මවීමයි. මීට අමතරව හජ් සමය අවසාන වීමෙන් අනතුරුව පවා ලොවපුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත මුස්ලීම් ජනයා “උම්රා” නැමදුම සදහා දෛනිකව මක්කාව වෙත පැමිණ ඉබ්‍රාහිම් (අලෛ) තුමාගේ අඩිපාරේ ගමන් කිරීම කුසල ක්‍රියාවක් (නැමදුමක්) ලෙස ඉටු කරති. ඉබ්‍රාහීම් (අලෛ) නම්, පුද්ගල චරිතයක් තුල සිදුවූ සිද්ධි මාලාවක් අනිවාර්‍ය කුසල ක්‍රියාවක් ලෙස අදටත් ඉටු කරන මෙම “හජ් නැමදුම” තුල එතුමාණන්ගේ ක්‍රියාවන් කොතරම් දුරකට අනුකරණය කරනවාද යන්න පවසනවා නම්, එදා ඉබ්‍රාහිම් (අලෛ) තුමා දේව වන්දනා ගමනක යෙදී සිටියදී සාතාන් (නොහොත් ශෙයිතාන්) එතුමාට බාධා කලවිට එම සාතාන්ට ඉබ්‍රාහිම් (අලෛ) තුමා ගල් ගසා ඔහුව පලවා හැර ගිය එම ස්ථානවල එය සංකේතවත් කරමින් අදටත් එහි ගල් ගැසීම හජ් නැමදුම ඉටු කරන පිරිස සිදුකිරීමයි (G). මෙය එම චරිතයේ තිබූ සුවිශේෂීත්වය සහ ඔහු හා දෙවියන් අතර තිබූ බැදීම වඩ වඩාත් කියාපන්නක් නොවේද?. දැන් එම කාරණය (ඉහතින් ඉංග්‍රීසි අක්ෂර යොදා ඇති) වත්මන් හජ් නැමදුම හා සංසන්ධනාත්මකව බලන්නේ නම්,

  • A - ලෝකවාසී සියළු මුස්ලීම්වරුන් හජ් නැමදුම ඉටු කිරීම සදහා මක්කාවේ මිටියාවතක පිහිටි ලොව පලමු දෙව් මැදුර වන ක:බාවට ගමන් කිරීම,
  • B - එම හජ් නැමදුමේ එක් අංගයක් ලෙස “සෆා” සහ “මර්වා” යන කඳු පංති දෙක අතර දිවයෑම සිදු කිරීම,
  • C - විද්‍යාත්මක, භූගෝලියමය සහ ආගමික වශයෙන් හාස්කම් පිරි Zam-Zam ලිදේ ජලය සියළු බැතිබතුන් නරන්තරයෙන් පානය කිරීම සහ රැගෙන යාම,
  • D - හජ් නැමදුමේ නිරත වන සෑම කෙනෙකුම ඔටුවෙකු, ගවයෙකු හෝ එළුවෙකු බිලිපූජා කිරීම,
  • E - හජ් නැමදුම සදහා සහභාගි වන පිරිස් "අරෆා" නම් ස්ථානයේ කිසියම් දීර්ඝ කාලයක් රැදී සිටීම,
  • F - හජ් නැමදුමෙහි නිරතවීම,
  • G - යම් යම් ස්ථානවල සංකේතාත්මකව ශෙයිතාන් (සාතාන්)ට ගල් ගැසීම,
  • මීට අමතරව මෙම හජ් නැමදුම කරන ආකාරය පිලිබදව වැඩි විස්තර යහමග අඩවිය තුල හජ් සහ උම්රා ඉටුකිරීමයන ලිපිය තුලින් ද සවිස්තරව කියවීමට පුළුවන.

හජ් නැමදුම යන්න අල්ලාහ් (දෙවි)ගේ මිතුදම හිමි එකම දේව වක්තෘවරයාණන් වන ඉබ්‍රාහීම් (අලෛ) තුමාගේ ජීවිත සැමරීමකි. එතුමාගේ කැපවීම සහ පරිත්‍යාගය සිහි කරවන ලෙස ඉටු කරන එම නැමදුම ලොව අවසානය දක්වා ලෝකවාසි සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්‍ය වූ නැමදුමක් ද වේ. ඉබ්‍රාහීම් (අලෛ) තුමාගේ චරිතය ලෝකවාසී ජනයාට පරමාදර්ශි වූ නිසයි අල්ලාහ් (දෙවි) අල්කුර්ආනය මඟින් මුහම්මද් (සල්) තුමාණන්ට පවා මෙසේ අවදාරණය කරන්නේ,

අන් සෑම වැරදි මඟකින්ම ඉවත්වූ ඉබ්‍රාහිම් නියතවශයෙන් අල්ලාහ්ට අවනතවූ ජනසමාජයක් විය. තවද (අල්ලාහ්ට) සමානයන් තබන්න්නගෙන් කෙනෙක් නොවීය. ඔහු (නිරන්තරයෙන්ම) ඔහු(අල්ලාහ්)ගේ අනුග්‍රහයන් ගැන කෘතඥ විය. අල්ලාහ් ඔහු තෝරා ගත්තේය. තවද ඔහුට සෘජු මාර්ගය පෙන්වා දුන්නේය. තවද අපි මෙලොවදී ඔහුට යහපත පිරිනැමුවෙමු. නියතවශයෙන්ම ඔහු පරලොවදී දැහැමියන්ගෙන් කෙනකු වනු ඇත. (නබි මුහම්මද්!) සෑම වැරදි මාර්ගයකින්ම ඉවත්වූ ඉබ්‍රාහිම් ගේ ආගම නුඹ අනුගමනය කරනු. ඔහු අල්ලාහ්ට සමානයන් තබන්නන්ගෙන් කෙනෙක් නොවීය යැයි අපි නුඹට වහී පහළ කළෙමු.

අල්කුර්ආනය 16-120 සිට 123

එසේනම්, අවසාන වශයෙන් අල්ලාහ් (දෙවි)ගේ මිතුරා යන ඉහල ගෞරවය දිනාගත් ලෝක වාසී සමස්ථ ජනයාට සදා පරමාදර්ශී වූ ඉබ්‍රාහිම් (අලෛ) තුමාට අල්ලාහ් (දෙවි) ආශිර්වාද කලසේ මුහම්මද් (සල්) තුමාණන්ටත්, අපටත් අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදය හිමි වේවා! යනුවෙන්ද, ඒසේම ඉබ්‍රාහීම් (අලෛ) තුමාගේ ජීවිත සැමරුම මූලික කරගත් හජ් නැමදුම ඉටු කිරීමට අපටත් වරම් හිමි වේවා! යනුවෙන්ද ප්‍රාර්ථනා එක් කරමින් මෙම සටහනට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/06/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම