අරෆා දිනය එහි මහිමය සහ නොමඟ යැවීම්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


හජ් නැමදුම සහ හජ් උත්සවය පිලිබදව කථා කරන විට එහි කථා නොකරම බැරි සුවිශේෂි කාරණයක් වේ නම්, ඒ “අරෆා” නම් දිනයයි. “අරෆා” යනු මක්කාවේ පිහිටි එක්තරා ස්ථානයකි. (මීට වසර 4000 කට පමණ පෙර අල්ලාහ් (දෙවි)ගේ නියෝගය මත ඉබ්‍රාහීම් (අලෛ) තුමා විසින් ලෝකවාසී ජනතාව හජ් නැමදුම සදහා කැඳවීම කලේ මෙම “අරෆා” නම් ස්ථානයේ ඇති කුඩා කඳු ගැටයක් මත හිඳය.) වසරක් පාසා “හජ් නැමදුමේ” නිරතව වන “හාජිවරුන්” හජ් දිනයට පෙර දිනයේ එනම්, (ඉස්ලාමීය දින දර්ශනයට අනුව) දුල්හජ් මාසයේ 09 වන දිනයේ මෙම “අරෆා” නම් ස්ථානයේ රුදීසිටීම සිදු කරනු ලැබේ. “හජ් නැමදුම”ට සහභාගි නොවන ලෝකවාසී මුස්ලීම් ජනතාව එදින උපවාසයේ නිරතවීම ඉස්ලාමයේ ඉගෙන්වීම වේ.

එම උපවාසයේ මහිමය පිලිබදව ඉස්ලාම් පවසන විට...

"අල්ලාහ් (දෙවි) දූතයාණන් මුහම්මද් (සල්) තුමා මෙසේ පවසා ඇත. දුආ (ප්‍රාර්ථනා) අතුරින් උතුම්ම ම ප්‍රාර්ථනාව වන්නේ “අර්ෆා” දින කරන ප්‍රාර්ථනාවයි. එදින අල්ලාහ් (දෙවි) පලමු අහසට බැස එන්නේය. එදින අපායවාසීන් විශාල ප්‍රමාණයක් එයින් නිදහස් කරන්නේය. 

මූලාශ්‍ර හදීස් ග්‍රන්ථය - මුස්ලිම්

“අරෆා” දිනයේ උපවාසයේ නිරත වීම ඊට පෙර හා පසු වසරවල කල පාපයන් සදහා පිළියමක් වනු ඇතැයි අල්ලාහ් (දෙවි) දූතයාණන් මුහම්මද් (සල්) තුමා පවසයි.

මූලාශ්‍ර හදීස් ග්‍රන්ථය - මුස්ලිම්

මෙතරම් මහිමයන් පිරි උතුම් “අරෆා” දිනය සැමරීමේදී “හජ් නැමදුමේ” නිරත වන්නන් හට කිසිදු ගැටළුවකින් තොරව එම දිනය “අරෆා” නම් ස්ථානයේ ඒකරාශි වී සැමරිය හැකි වූවත්, “හජ්” නැමදුමේ නිරත නොවන ලෝකවාසී ජනතාව අතර එම දිනය නිසිලෙස හඳුනා ගැනීම සම්බන්ධයෙන් මතභේදයක් ඇත. එනම්,

  • ජාත්‍යන්තර සඳ දැකීම අනුව දුල්හජ් මාසය ආරම්භ කරන පිරිස නිවැරදි “අරෆා” දිනයට උපවාසයේ නිරත වීම.
  • තම රට, දේශය, ද්වීපය පදනම් කරගෙන සඳ බැලීම මත මාසය ආරම්භ කොට බොහෝ විට නිවැරදි “අරෆා” දිනයට දිනක් පසු දිනය (එනම්, ජාත්‍යන්තර ගණනය කිරීමට අනුව “හජ් උත්සව” දින) “අරෆා” දින ලෙස ගෙන එදින උපවාසයේ නිරත වී පසු දින හජ් උත්සවය සැමරීම සිදු කිරීම.

මෙතැනදී වැරදි කිහිපයක් සිදුවේ. එනම්,

  • “(හජ් වන්දනයේ නිරතවන) හාජිවරන් අරෆාවේ රුදීසිටින මොහොතේ නුඹලා උපවසයේ නිරතවන්න” යන ඉස්ලාමයේ මඟපෙන්වීම ප්‍රතික්ෂේප කොට තම රට, රාජ්‍ය, දේශය, ද්වීපය... යනාදී බොල් තර්ක මත හිඳ ඊට පසු දින උපවාසයේ නිරත වීම ඉස්ලාම් නොවේ. විශේෂයෙන් සැබෑ “හජ්” උත්සව දිනයේ ලෝකවාසී ජනතාව එකම “උම්මාවක්” (ජනසමූහයක්) ලෙස එම උත්සවය සැමරීම පසෙක තබා සැබෑ “අරෆා” දිනයට පසු දින “අරෆා” උපවාසය යැයි පවසමින් උපවාසයේ නිරත වීම කුමන මඟපෙන්වීමක්ද?.
  • මුහම්මද් (සල්) තුමාණන් ඉහත හදීසයන් හි “අරෆා” දිනය යැයි නොපවසා “දුල්හජ් මාස 09 වන දින” යැයි පවසා තිබුණේ නම්, තම තමන්ගේ රට, රාජ්‍ය, දේශය, ද්වීපය... යනාදීය පදනම් කරගෙන උපවාසයේ නිරත වීම ඉස්ලාම් නොවුනත්, වාදයකට හෝ සාධාර්ණ වන්නට තිබුණි. නමුත් පැහැදිලිවම “අරෆා දිනය” යැයි එම හදීසයන් හි පැවසීම තුල “අරෆා” උපවාසයේ නිරත වියයුතු වන්නේ “හජ් වන්දනාකරුවන්” අරෆා හි රැදෙන දිනයේ යන්නෙහි කිසිදු විවාදයක් තිබිය නොහැක.

මෙතැනදී මා හට ශ්‍රී ලාංකීය මුස්ලීම් ජනතාවගෙන් සහ ඉස්ලාම් ආගමික විද්වතුන්ගෙන් විමසා බැලිය යුතු පැනයන් කිහිපයක් ඇත. එනම්, මෙවර (2023) “හජ්” වන්දනයේ නිවැරදි “අරෆා” දිනය වන්නේ ජාත්‍යන්තර නව සඳ දැකීම අනුව තීරණ වී ඇති සැබෑම “අරෆා” දිනය වූ “2023 ජූනි 27 දිනය ද?. නොඑසේ නම් අප රටේ දකින නව සඳ පදනම් කරගත් 2023 ජූනි 28 දින “අරෆා” දිනය ද?.

එසේම...

  • දුවා (ප්‍රාර්ථනා) සදහා වූ උතුම් වූ දිනය වන්නේ සැබෑ “අරෆා” දිනය වූ ජූනි 27ද? නොඑසේ නම්, අප රටේ දුල්හජ් 09 වූ ජූනි 28 දිනට ද?
  • අල්ලාහ් (දෙවි) පලමු අහසට බැස එන දිනය වන්නේ සැබෑ “අරෆා” දිනය වූ ජූනි 27ද? නොඑසේ නම්, අප රටේ දුල්හජ් 09 වූ ජූනි 28 ද?
  • අල්ලාහ් (දෙවි) අපාය වාසීන් විශාල ප්‍රමාණයක් නිදහස් කරන එම දිනය වන්නේ සැබෑ “අරෆා” දිනය වූ ජූනි 27ද? නොඑසේ නම්, අප රටේ දුල්හජ් 09 වූ ජූනි 28 ද?
  • පෙර හා පසු වසරවල පාපයන් සමා කරන්නේ සැබෑ “අරෆා” දිනය වූ ජූනි 27 දිනට රකින උපවාසය සදහාද? නොඑසේ නම් අප රටේ දුල්හජ් 09 වූ ජූනි 28 දින රකින උපවාසය සදහාද?

(2023) මෙවර ලොව අති බහුතරයක් මුස්ලීම්වරුන් “අරෆා” දිනයේ (ජූනි 27 දින) උපවාසයේ නිරත වී ජූනි 28 දින හජ් උත්සවය සැමරීමට සූදානම් වෙද්දී අප රටේ හිතුවක්කාර සහ කුහක මුල්ලාවරුන් රටේ මුස්ලීම් ජනතාව නොමඟ යවමින් තම රටේ දින කැලැන්ඩරයට අනුව දුල්හජ් 09 ලෙස සැබෑ අරෆා දිනයට පසු දිනය (ජූනි 28 දිනය) “අරෆා” උපවාස නිරත වියයුතු දිනය ලෙසත්, ඊට පසු දිනය එනම් සැබෑ හජ් උත්සව දිනයට පසු දිනය “හජ් උත්සව” දින ලෙසත් ප්‍රකාශ කොට ඇත.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මාසයක ඇරඹූම ඉස්ලාමීය මඟපෙන්වීම අනුව නිවැරදිව තීරණය කිරීම ඉස්ලාම් වන අතර එය කුසල ක්‍රියාවක් ද වේ. එය නිසිලෙස අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කොට තම හිතුවක්කාර ස්වයං තීන්දු තීරණවලින් ජනතාව මෙහෙයවීම තුල මෙවැනි අර්බුද ගණනාවක් ඉදිරියටත් ඇතිවීම නොවැලැක්විය හැකි කාරණයකි. මෙතැනදී මේ රටේ මුස්ලීම් ජනතාවට ද අවදාරණය කලයුතු කාරණයක් ඇත. එනම්, ආගම දහම එහි ඉගෙන්වීමන් තුලින් අවබෝධ කරගෙන එය අනුගමනය කරනවාද? නොඑසේ නම්, රටේ ලෝකේ පුහු මුල්ලාවරුන්ගේ ඔළුගෙඩි තුලින් ආගම දහම අවබෝධ කරගන්නවාද? යන්න තීන්දු කිරීමට මෙවර (2023) “අරෆා” දිනය කදිම අවස්ථාවක්. එය තේරුම්ගෙන කටයුතු නොකලේ නම්, මරණින් මතු උදාවන (කියාමත්) දිනයේ ඔබේ ඉරණම පහත අල්කුර්ආන් වාක්‍යයේ පවසන ඉරණම ම වනු ඇත.

ඔවුන්ගේ මුහුණූ අපා ගින්නෙහි දවාලන මොහොතේ ‘අප අල්ලාහ් (දෙවි)ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නට තිබුනා නොවේද!, අපගේ දෙවියනේ!, අපගේ (ආගමික) ප්‍රධානීන්ට හා වැඩිහිටියන්ට අප අවනත වූයෙමු. ඔවුන් අපව වැරදි මඟක යොමු කොට විනාශ කර දමා ඇත. අපගේ දෙවියනේ!, ඔවුනට (අපට මෙන්) දෙගුණයක් දඬුවම ලබාදෙන්න’ යයි පවසනු ඇත.

අල්කුර්ආනය 33-66 සිට 68

ඉහත වාක්‍යය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින්, යාඅල්ලාහ්, අපට යහමග පෙන්වන්න!. නොමඟ ගිය ආගමික පූජකවරුන්ගෙන් සහ නායකයින්ගෙන් අපව ආරක්ෂා කරන්න! යන ප්‍රාර්ථනාව එක් කරමින් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/06/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම