පලස්තීන අර්බුදය හමුවේ ශ්‍රී ලාංකීය 10000 කට හිමි රුකියා අවස්ථාව

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඊශ්‍රායල ගාසා ගාසා යුද්ධය හමුවේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති මොහොතක, මෙරටින් කෘෂි කම්කරුවන් 10,000ක් ඊශ්‍රායලයේ රුකියා අවස්ථාවක් හිමි වී ඇත. ශ්‍රී ලාංකික කෘෂි කම්කරුවන් 10,000 "වහා ම බඳවා ගැනීමට ඊශ්‍රායලයට ඉඩ සලසන" ගිවිසුමකට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෝෂෙ ආබෙල් සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර එළඹ ඇති බව ඊශ්‍රායලයේ ව්‍යාපාරික පුවත් වෙබ් අඩවියක් වන Globes නොවැ. 6 වන දා වාර්තා කර තිබේ. ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයට පවතින යුදමය තත්ත්වයෙන් දැඩි ලෙස පහර වැදී ඇති අතර, එරට කෘෂිකාර්මික අංශයේ රැකියාවල නියැළී සිටි විදේශීය කම්කරුවන් 30,000න් 8,000ක් පමණ ඔක්තෝබර් 7 වන දා සිට ඊශ්‍රායලය හැර ගොස් ඇතැ යි එම වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. එසේම පලස්තීන කෘෂි කම්කරුවන් 20,000කට පමණ රටට ඇතුළුවීම තහනම් කර ඇති බව ද එහි සඳහන් විණි. මේ තත්වය තුල මෙම රැකියා අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ශ්‍රී ලාංකීය රජය ඊශ්‍රායලය සමඟ එළඹුනු මෙම රුකියා ගිවිසුම පිලිබදව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ද විවිධ සංවාද සහ විවේචන ඉදිරිපත් වෙමින් ඇත. එවැනි අදහස් දැක්වීම් දෙකක් බී.බී.සී සිංහල වෙබ් අඩවියෙන් උපුටාගෙන ඔබේ අවදානය පිණිස මෙහි පහතින් ඉදිරිපත් කරන්නට අදහස් කරමි.

උපුටා ගැනීම ආරම්භය,


ලාංකික කම්කරුවන් ඊශ්‍රායලයේ සේවයේ යෙදවීමට MONLAR විරෝධය

ආහාර ස්වෛරීභාවය, ඉඩම්, ජලය, බීජ සහ ස්වභාවික වනාන්තරවල ආරක්ෂාව ආදී අරමුණු වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක් වන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR), කාරණා කිහිපයක් මුල් කර ගනිමින් ඊශ්‍රායලය වෙත ශ්‍රී ලංකාවෙන් කෘෂි කම්කරුවන් 10,000ක් යැවීමට එය විරෝධය පළ කරන බව පවසයි.

එම ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින්, අදාළ කම්කරුවන් කෘෂි කටයුතු සඳහා යොදවන භූමි ප්‍රදේශ ඊශ්‍රායලයට අයත් ස්වාධීන භූමි ප්‍රදේශ ලෙස ඔවුන් පිළිනොගන්නා බව ප්‍රකාශ කළේය.

මේ භූමිය පැහැදිලිව ම ඊශ්‍රායලය පලස්තීනයෙන් උදුරා ගත්ත භූමියක්, විවිධ කාරණා පාදකකර ගෙන. ඒ භූමිය සඳහා ලංකාවේ ශ්‍රමිකයන් විධියට යැවීම ගැන අපි සම්පූර්ණ විරෝධය පළ කරනවා.

මේ වන විටත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට මරු කැඳවූ ඊශ්‍රායල ගාසා යුධමය වාතාවරණය හමුවේ ඊශ්‍රායල වෙත යවනු ලබන කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව වගකිව නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

මොන්ලාර් නියෝජිතයින් පසුගිය දා පලස්තීන තානාපති කාර්යාලයයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහායිර් එම්. එච්. සයිඩ් හමුවී ඊශ්‍රායලයට ශ්‍රී ලංකාවෙන් කෘෂි කම්කරුවන් යැවීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය පිළිබඳ ඔවුන් විරෝධය පළ කරන බව ප්‍රකාශ කර තිබේ.

එමෙන් ම, ගොවීන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිටින එම ව්‍යාපාරය පලස්තීන ගොවීන්ගෙන් කොල්ලකන ලද භූමියක ශ්‍රී ලංකාවේ කම්කරුවන් සේවයේ යෙදවීම තරයේ හෙළා දකින බව ද එහිදී ප්‍රකාශ කර ඇත.

ඊට අමතරව මොන්ලාර් නියෝජිතයින් විසින් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, එම අමාත්‍යංශයේ ලේකම් ආර්. පී. ඒ. විමලවීර සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් අධ්‍යක්ෂ සිම්රින් සිං ඇතුළු පාර්ශව වෙත, තීව්‍ර වන ගාසා ගැටුම මධ්‍යයේ ඊශ්‍රායලයට කෘෂි කම්කරුවන් යැවීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් තීරණය හෙළා දකිමින් නොවැ. 27 වන දා ලිපියක් ද යොමු කරනු ලැබ තිබේ.

එමඟින් ඔවුන් දන්වා ඇත්තේ, ඊශ්‍රායලය වෙත ශ්‍රී ලාංකික කෘෂි කම්කරුවන් යැවීමට ගත් තීරණය, 'ජන සංහාරයක් ලෙස ප්‍රකාශ කළ හැකි සන්නද්ධ ගැටුමකට සම්බන්ධ රටක් සමග' කම්කරු ගිවිසුම් සඳහා එළඹීම කෙතරම් යෝග්‍ය ද යන්න පිළිබඳ සදාචාරාත්මක ප්‍රශ්න මතු කරන බව ය.

මොන්ලාර් මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින්, "මේ අරන් යන කම්කරුවන් යොදවන්නේ කොහෙට ද සහ ඒ සම්බන්ධයෙන් පැහැදිලි නිරවුල් තත්ත්වයක් ඇති කරලා නැහැ," යනුවෙන් තවදුරටත් සඳහන් කළේ ය.

එමෙන් ම, ලෝකයේ බොහෝ රටවල් පවතින යුදමය තත්ත්වයට ඊශ්‍රායලයට විරෝධය පළ කර ඔවුන්ගේ නිෂ්පාදන ආදිය වර්ජනය කරන මොහොතක ශ්‍රී ලංකාව ඊශ්‍රායලය වෙනුවෙන් මෙවැනි තීරණයක් ගන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි විවේචනයක් පවතින බව ඔහු පැවසීය.

ඔහු අවධාරණය කළේ, එම කෘෂි කම්කරුවන් ඊශ්‍රායලයට යොමු කිරීමේ මෙම ක්‍රියාවලිය පිළිබඳව 'කිසිදු ආකාරයකය පිළිගත හැකි තොරතුරක්' ඉදිරිපත් නොකරන බව ය.

"ලංකාවේ කෘෂිකර්මාන්තය ඉතා ම සැලසුම්සහගතව යම් විධියකට විනාශ කරමින්, කෘෂි කර්මාන්තයට ඉදිරියට යාමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය කප්පාදු කරමින් තිබෙන මොහොතක, එය ආරක්ෂාකර ගැනීමට මැදිහත්වීම් කළ යුතු මොහොතක, ගොවීන් අධෛර්යවත් කර ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළන තත්ත්වයකට පත් කිරීම" සම්බන්ධයෙන් ද ඔහු විරෝධය පළ කරන බව චින්තක රාජපක්ෂ පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, පවතින යුදමය වාතාවරණය හමුවේ ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තය "විශාල කඩාවැටීමකට" ලක්ව ඇති බව ය.

බටහිර ඉවුරෙන් සහ ගාසා තීරයෙන් පැමිණි ශ්‍රමිකයන් නතර කිරීමත්, සේවය කළ ඇතැම් විදේශ ශ්‍රමිකයන් රටින් පිටව යාමත් ඊට හේතු වී තිබේ.

නැගෙනහිර ජෙරුසලම ඇතුළු බටහිර ඉවුර සහ ගාසා තීරය, 1967 වසරේ සිට ඊශ්‍රායල හමුදා අත්පත්කර ගෙන සිටින පලස්තීන භූමි ප්‍රදේශ බව වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (UNCTAD) සඳහන් කරයි.

(ඉහත දැක්වෙන්නේ මොන්ලාර් නියෝජිතයින් විසින්, තීව්‍ර වන ගාසා ගැටුම මධ්‍යයේ ඊශ්‍රායලයට කෘෂි කම්කරුවන් අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් තීරණය හෙළා දකිමින් යොමු කළ ලිපිය)

'පලස්තීනුවන්ගේ ගෙවල් ගිනි ගනිද්දී සුරුට්ටු පත්තු කරනවා වගේ වැඩක්' - රවුෆ් හකීම්

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මේ සම්බන්ධයෙන් නොවැ. 25 වන දා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්, ඊශ්‍රායලය වෙත දැනට යැවීමට සූදානමින් සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා එරට දී යුද්ධ පුහුණුවක් ලබාදීමේ සූදානමක් පවතින බව ප්‍රකාශ කළේ ය.

එම ක්‍රියාව පිළිබඳව අරාබි රටවල්වල විදේශ තානාපතිවරුන් කිහිප දෙනෙකු එය 'ඉතා ම වැරදි වෙලාවක ගන්න වැරදි තීරණයක්' බව ඔහු සමග පැවසූ බව ඔහු ප්‍රකාශ කළේ ය.

ඊයේ මම කතා කරද්දී ජනාධිපතිතුමා සභාවේ ඉඳිද්දිත් කිව්වා, මේක හරියට මේ පලතීනුවන්ගේ ගෙවල් ගිනි ගන්නකොට ගිහිල්ලා සුරුට්ටු පත්තු කරනවා වගේ වැඩක්. මේ ඊශ්‍රායලයට දැනට යවන අයට යුද්ධ පුහුණුවක් ලබා දීමේ සූදානමකුත් තියෙනවා. ඒ ගියාට පස්සේ ඒ ගොල්ලන්ට තුවක්කු භාර දීලා - මොක ද වැඩිහිටි අයගේ සාත්තු කිරීම්වලටත් ඒ වගේ වැඩකටයුතුවලත් ඉඳිද්දි, විශේෂයෙන් මේ ගාසා තීරණයෙන් එන ශ්‍රමිකයන් අහිමිවීමත් එක්ක ඇති වෙන පුරප්පාඩුවලටත් ඒ වගේ ම පලස්තීනුවන්ගෙන් බලහත්කාරයෙන් උදුරා ගත්ත බිම් කොටස්වල ගිහිල්ලා වැඩ කරන්න තමයි මේ රැකියා අවස්ථා ලබා දෙන්නේ. ඒක යි ඇත්ත කාරණාව. ඉතින් මේ පිළිබඳව අරාබි රටවල්වල විදේශ තනාපතිවරුන් කිහිප දෙනෙක් මට කියා සිටියා මේක ඉතා ම වැරදි වෙලාවක ගන්න වැරදි තීරණයක් කියලා.


උපුටා ගැනීම අවසානයි.

ඉහත සම්පූර්ණ ලිපිය මෙම සබැඳුමෙන් පිවිස කියවන්න - ඊශ්‍රායලය වෙත යැවෙන ලාංකික කෘෂි කම්කරුවන් 10,000 සේවයේ යොදවන්නේ කොහෙද?


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/12/3

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම