කවුද මේ ඊශ්‍රායල් හා යුදෙව්වන් ?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“ඊශ්‍රායල්“ යන නම ඇසූ පමණින් කාගෙත් සිහියට නැඟෙන්නේ දශක ගණනාවක් මුළුල්ලේ පලස්තීනය සමඟ යුධ ගැටුමකට මැදිහත් වී සිටින “යුදෙව්“ ජන සමාජයක් වෙසෙන රටකි. නමුත් මෙම ලිපිය තුලින් අද කථා කිරීමට යන්නේ වත්මන් “ඊශ්‍රායල්“ රට ගැන නොව මෙම රට නිර්මාණය කිරීමට වස්තු බීජය වූ “ඊශ්‍රායල්“ නම් ජන සමාජය හා ඔවුන් “යුදෙව්“ සමාජයක් දක්වා විකාශනය වූ ඉතිහාසය පිලිබදවයි.

ලෝක ඉතිහාසය තුල එදා පටන් අද දක්වා සෑම කාල පරිච්චේදයකම අඛණ්ඩව කථාබහට ලක්වූ ජන සමාජයක් වේ නම්, ඒ “ඊශ්‍රායල්“ නම් ජන සමාජයයි. වර්ථමානයේ “යුදෙව්“ සමාජය ලෙස විකාශනය වී තිබෙන මෙම ඊශ්‍රායල්වරුන් ලොව අනිකුත් ජන සමාජයන්ට සාපේක්ෂව තරමක් වෙනස් වූ ගුණාංගවලින් යුත් ජන සමාජයක් බව ඔවුන්ගේ ඉතිහාසය තරමක් ගැඹුරින් විශ්ලේෂණය කරන විට පෙනීයයි. මේ හේතුව නිසාම ඔවුන් විවිධ කාලවල විවිධ පාර්ශවයන්ගේ හිංසනයට ගොදුරු වූ ඉතිහාසය අප අසා ඇත්තෙමු. නිදසුනක් ලෙස ලෝක යුධ සමයේ හිට්ලර් විසින් යුදෙව්වන් සොය සොයා මිලියන 6ක් පමණ සමූල ඝාකනය කිරීම මෙහි සදහන් කලහැක. එසේම මොවුන් ලොව අනිකුත් ජන සමාජයන්ට හිරිහැරකාරී හා කුමණ්ත්‍රනකාරී සමාජයක් වූ අවස්ථාවන් ද ඉතිහාසය තුල අප දැක ඇත්තෙමු. නිදසුනක් ලෙස සමස්ථ ලෝකයම අත්හැර දැමූ මොහොතක පලස්තීන භූමියේ සරණ ලබාගෙන එම රට තුලම “ඊශ්‍රායල්“ ලෙස රටක් ගොඩනඟාගෙන එම රට ආක්‍රමණය කල ඉතිහාසය මෙහි සදහන් කලහැක.

සමාජීය වශයෙන් ඔවුන්ගේ ඉහත තත්වයට දෙවැනි නැත ඔවුන්ගේ දහම තුල ඔවුන් ක්‍රියා කල ආකාරය සහ ඔවුනට තම දහම තුල හිමි ස්ථානය. ඉහතින් සදහන් ඔවුන්ගේ අසාමාන්‍ය ගුණාංග හේතුවෙන් ඔවුන් විටෙක තම දෙවියන්ගේ අසීමිත ආශිර්වාදය හිමි කරගත් ජන සමාජයක් වූ බවත්, තවත් විටෙක දේව ශාපය හිමිකරගත් ජන සමාජයක් වූ බවත් ඔවුන්ගේ ආගමික මූලාශ්‍රයන් තුලම සදහන්ව ඇත. ලෝක ඉතිහාසය තුල නොමැකෙන සලකුණු රාශියක් සටහන් කරමින් පැවත ආ මේ “ඊශ්‍රායල්“ පරම්පරාවේ නූතන “යුදෙව්“ ජන සමාජයේ ආරම්භය, විකාශනය හා වත්මන් ලෝකය තුල ඔවුන්ගේ භූමිකාව යනාදීය කරුණු පිලිබදව මුළු මිනිස් සමාජයම අවබෝධයෙන් සිටීම කාලීන අවශ්‍යතාවයකි. ඒ අනුව යහමග අඩවිය මෙතැන් සිට “කවුද මේ ඊශ්‍රායල් හා යුදෙව්වරුන්?“ යන්නත්, “ඔවුන් පිලිබදව අප දැන සිටීමේ වැදගත්කම කුමක්ද?“ යන්නත් ආගමික හා ඉතිහාස මූලාශ්‍ර පදනම් කරගෙන පියවරින් පියවර මෙතැන් සිට විමසා බලන්නට අදහස් කරමි.

ඊශ්‍රායල් ජන සමාජයේ ආරම්භ

වත්මන් “යුදෙව්වරුන්ගේ“ ආරම්භයේ ඉතිහාසය පිලිබදව සොයා යන විට එහි ආරම්භය සිදුවන වකවානුව ලෙස (ක්‍රි.පූ 1996 සිට 1821 දක්වා වූ) “ඉබ්බ්‍රාහීම් (Abraham)“ නම් දෙව් වක්තෘවරයෙකුගේ කාල වකවානුව සදහන් කල හැක. (මෙම වකවානුව සම්බන්ධයෙන් ඉස්ලාම්, කිතුණු හා යුදෙව්වරුන් අතර මතභේදයක් නොමැත.) ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන්ට දරුවන් දෙදෙනෙකු සිටී අතර පලමු දරුවා “ඉස්මායිල්“ (අලෛ) තුමා වූ අතර දෙවන දරුවා “ඉස්හාක්“ (අලෛ) තුමා නම් විය. මෙහි පලමු දරුවා වන ඉස්මායිල් (අලෛ) තුමාගේ පරම්පරාවේ තවත් එක් වක්තෘවරයෙකු පමණක් පහල වූ අතර ඒ ඉස්ලාම් භක්තිකයන් අවසාන වක්තෘවරයාණන් ලෙස පිලිගන්නා “මුහම්මද් (සල්) තුමාණන්“ වේ. අනිකුත් සියළු දේවවක්තෘවරුන් පහල වූයේ ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාගේ දෙවන දරුවා වන ඉස්හාක් (අලෛ) තුමාගේ පරම්පරාවේය. (මේ පිලිබදව වැඩි විස්තර නබි හෙවත් වක්තෘ පරම්පරා රුක් සටහන යන ලිපිය තුලින් මෙම අඩවියේ කියවීමට පුළුවන.) ඒ අනුව ඊශ්‍රායල්වරුන්ගේ ආරම්විභය සිදු වන්නේ ද “ඉස්හාක් (අලෛ) තුමාගේ පරම්පරාවේ වන අතර එය සිදුවූ ආකාරය දැන් විමසා බලමු.

දේවවක්තෘ ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාගේ දෙවන දරුවා වන ඉස්හාක් (අලෛ) තුමා ද දේවවක්තෘවරයෙකු වේ. ඉස්හාක් (අලෛ) තුමාගේ පරම්පරාවේ පහල වූ දේවවක්තෘවරුන් අතර තවත් දේවවක්තෘවරයෙකු වන්නේ (ක්‍රි.පූ. 1800 සිට1653 දක්වා වූ) යාකූබ් (අලෛ) තුමාය. යාකූබ් (අලෛ) තුමාණන්ගේ තවත් නමක් වන්නේ “ඊශ්‍රායල්“ යන්නයි. (මෙය අල්කුර්ආනයේ 3-93 වාක්‍යෙය් ද සදහන් වේ.) එහි අරුථ “දෙවියන්ගේ සේවකයා“ යන්නයි. මෙම “යාකූබ්“ නොහොත් “ඊශ්‍රායල්“ (අලෛ) තුමාට පිරිමි දරුවන් 12ක් සිටී අතර ඔවුන් “බනූඉශ්‍රායල්“ නොහොත් “ඊශ්‍රායල්ගේ දරුවන්“ ලෙස හැදින්වේ. මෙතැනදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, යාකූබ් හෙවත් ඊශ්‍රායල් (අලෛ) තුමාගේ දරුවන් 12 දෙනා එකම මවකට දාව උපන් දරුවන් නොවන බවයි. එය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී වැදගත් වන කාරණයක් වේ. (මෙම කරුණු පිලිබදව ඉස්ලාම්, කිතුණු හා යුදෙව්වරුන් අතර මතභේදයක් නොමැත.) ඒ අනුව මෙම “බනූඉශ්‍රායල්“ හෙවත් යාකූබ් (අලෛ) තුමාගේ දරුවන් පිලිබදව මෙහි කෙටි හැදින්වීමක් කරන්නේ නම්,

බනූඉශ්‍රායල් හෙවත් යාකූම් (අලෛ) තුමාගේ දරුවන් පිලිබදව කෙටි හැදින්වීම

“යාකූබ්“ නොහොත් “ඊශ්‍රායල්“ (අලෛ) තුමාට දාව උපන් ඔහුගේ දරුවන් ඔවුන්ගේ මව්වරුන් අනුව ගොනු කොට පහතින් පෙලගසන්නේ නම්,

“ලෙයා“ නම් මවගේ දරුවන්

  • රූබන් (රොබිල්), -
  • සිමියොන් (ෂාමුන්), -
  • ලෙවී (ලාවි), -
  • යූදා (යාහුද්), - වත්මන් යුදෙව්වරුන් නිර්මාණය වන්නේ මොහුගේ පරම්පරාවෙනි.
  • ඉසාකර් (ඉසාකර්) -
  • සෙබුලන් (සබ්ලූන්) -

“රාකෙල්“ නම් මවගේ දරුවන්

  • යූසුෆ් (යෝසෙෆ්) - මොහූ දේවවක්තෘවරයෙකු මෙන්ම ලොව අලංකාරවත්ම තැනැත්තා ද වේ.
  • බුන්යාමින් (බෙන්ජමින්) -

රාකෙල්ගේ දාසයාගෙන් උපන් දරුවන්

  • දාන් -
  • නෆ්තලි (නෙෆ්තාලි), -

ලෙයාගේ දාසයාගෙන් උපන් දරුවන්

  • ගාද් -
  • ආෂෙර් -

මෙම ලිපිය ඉදිරියට කියවන ඔබ මෙතැනදී විශේෂයෙන් තේරුම් ගතයුතු කාරණා කිහිපයක් ඇත. එනම්, ඉහතින් පෙලගසා ඇති දරුවන්ගේ නම් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් හි එක් ආකාරයකටත් බයිබල් හා යුදෙව් මූලාශ්‍රයන් හි තවත් ආකාරටකටත් සදහන් වීම දක්නට ලැබෙනවා යන්නයි. නිදසුනක් ලෙස ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් හි “යූසුෆ්“ ලෙස සදහන් වන නම කිතුණු හා යුදෙව් ආගමික මූලාශ්‍රයන් තුල සදහන් වන්නේ “යෝසෙෆ්“ යන නමිනි. එසේම මෙම දරුවන් 12 ගේ මව්වරුන් පිලිබදව වූ සටහන ඉතිහාස මූලාශ්‍රයන් හි සදහන් සටහනක් පමණි.

ඊශ්‍රායල්වරුන්ගේ නිජබිම කොහිද?

දේවවක්තෘ ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාගේ දරුවන් දෙදෙනා අතුරින් පලමු දරුවා ඉස්මායිල් (අලෛ) තුමා තම කුඩා කලම මව සමඟ අරාබි දේශයේ බක්කා මිටියාවතේ පදිංචියට යන ලදී. (මේ පිලිබදව වැඩි විස්තර හජ් වන්දනය හා නබි ඉබ්බ්‍රාහීම් තුමා යන ලිපිය තුලින් කියවන්න.) ඒ අනුව ඉබ්බ්‍රාහීම් තුමා සමඟ ඉස්හාක් (අලෛ) තුමාත්, පසුකාලීනව යාකූබ් (අලෛ) තුමා, යූසුෆ් (අලෛ) තුමා ඇතුළු සහෝදරයන් 12 දෙනාත් ජීවත් වූ නිජබිම වූයේ “ෂාම්“ හෙවත් “මහා සිරියාව“ ලෙස හදුන්වන භූමියයි. එය ඊසාන දෙසින් යුප්‍රටීස් ගඟෙන් සහ නිරිත දෙසින් ඊජිප්තුවෙන් මායිම් වේ. එසේම එය ගිනිකොන දෙසින් තායි කඳුකරයේ සිට මධ්‍යධරණී මුහුද සහ වයඹ දෙසින් ඇනඩෝල් කඳුකරය දක්වා විහිදේ. එය වත්මන් පලස්තීනය, ඊජිප්තුව, සිරියාව, ජෝර්දානය... යනාදී භූමි ප්‍රෙද්ශ ආවර්ණය වූ භූමියක් විය.

දේවවක්තෘවරුන් විශාල සංඛයාවක් ජීවත් වූ පුන්‍යවන්ත භූමිභාගයක් වූ මෙම භූමිය සම්බන්ධයෙන් විවිධ හැදින්වීමන් හා මහිමයන් සදහන්ව ඇති ආකාරය ආගමික මූලාශ්‍රයන් තුල දක්නට ලැබේ. එවැනි සදහන් කිහිපයක් ඔබේ අවදානයට මෙහි ගෙන එන්නේ නම්,

  • කිතුණු හා යුදෙව් ආගමික ඉගෙන්වීම අනුව එම භූමිය “කානාන්“ දේශය බවත්, එය ඔවුනට දෙවියන් විසින් පොරොන්දු දේශයක් බවත් පවසයි.
  • ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව එම භූමිය “ෂාම්“ දේශය බවත්, එය ආශිර්වාදලත් දේශයක් බවත් පවසයි.

පොරොන්දු දේශය - හැදින්වීමක්

ඉබ්බ්‍රාහීම් (අලෛ) හෙවත් බයිබලයේ සදහන් ආකාරයට ආබ්‍රහාම් තුමාට දෙවියන් විසින් පොරොන්දු වූ දේශය “කානාන්“ දේශය බව බයිබලය පවසයි. මෙම භූමිය “ෂාම්“ දේශය ආශ්‍රත භූමියම වේ. එම භූමියෙහි මහිමයක් ලෙස අනාගතයේ දී ශ්‍රේෂ්ඨ ජාතියක් එම භූමිය මත වාසය කරන බවට බයිබල‍යේ සදහන් වන අතර එම භූමියෙහි මායිම බයිබලයේ මෙසේ නිර්වචනය කරයි.

"දැන් ඔබේ ඇස් ඔසවා, ඔබ සිටින ස්ථානයේ සිට උතුරට, දකුණට, නැගෙනහිරට සහ බටහිරට බලන්න; ඔබ දකින මුළු දේශයම මම ඔබටත් ඔබේ පරම්පරාවටත් සදහටම දෙන්නෙමි. . . නැඟිට, ඇවිදින්න. එහි දිග පළලින් ගොඩබිම; මක්නිසාද මම එය ඔබට දෙන්නෙමි"

බයිබලය - උත්පත්ති 13:14 සිට 17 දක්වා


ඉහත බයිබල් වාක්‍යය අනුව පොරොන්දු දේශයේ මායිමට පදනම් වූයේ ආබ්‍රහම් තුමා තම ගමනේදී ගමන් කල ස්ථාන සහ එම ගමන තුල නෙත ගැටුනු සීමාවන් යන්න පැහැදිලි වේ. ඒ අනුව ඔහු මුලින්ම වත්මන් ඉරාකයේ දකුණේ පිහිටි ඌර් නගර වෙතට ගොස් ඉරාකයේ සිට තුර්කියට මායිම්ව හා යුප්‍රටීස් ගඟට ඊසාන දෙසින් මදක් දුරින් පිහිටි හරන් වෙත නැවත පදිංචියට ගොස් ඇත. ඒ අනුව “කානාන්“ නම් එම පොරොන්දු දේශය පුරා ඇවිදිමින් සහ දකිමින් අනාගත පොරොන්දු දේශයේ මායිම් සටහන් කරන ලදී. එසේම ඊජිප්තුව දෙසින් ගමන් කරමින් කානාන් දේශයේ බටහිර මායිම ඔහුගේම දෑසින් දැකීමෙන් සම්පූර්ණ භූමිය මායිම් කරගන්නා ලදී. ආබ්‍රහාම් තුමාට දුන් එම පොරොන්දු දේශය පිලිබදව බයිබලයේ තවත් තැනක සදහන් කිරීමේ දී...

"ඔබෙන් පැවතෙන්නන්ට මම මේ දේශය ඊජිප්තුවේ ගඟේ සිට යුප්‍රටීස් නම් මහා ගංගාව දක්වා දුනිමි"

බයිබලය - උත්පත්ති 15:18

(මෙම මායිම් පිලිබදව වැඩිදුර කියවීම් සදහා බයිබලයේ - නික්මයාම 23:31, උත්පත්ති 15:19-20, ජෝස් 1: 3-4, උත්පත්ති 17:5, උත්පත්ති 13:14-15,17 කියවන්න.)

මේ අනුව ආබ්‍රහම් තුමා තම ගමනේදී ගමන් කළ ස්ථාන සහ එම ජන සමාජය ජීවත් වූ ස්ථානය පදනම් කරගෙන ඔවුනට “පොරොන්දු වූ දේශය“ පිලිබදව නිශ්චිත මායිම් පිලිබදව තරමක් දුරකට මෙහිදී අවබෝධයක් ලබාගත හැකි වේ. ඒ අනුව එම භූමිය තුල ඊශ්‍රායෙල්ගේ (යාකූබ් (අලෛ) තුමාගේ) දරුවන් දොළහට අදාල පරම්පරාවට වෙන වෙනම සීමා මායිම් පවරා එම “කානාන්“ දේශය ඔවුනට පවරන ලදී. නමුත් ඔවුන් එම භූමිය මත පූර්ණකාලීනව වාසය නොකළ බව ඉතිහාස තොරතුරුවලන් සහ ආගමික මූලාශ්‍රයන් තුලින් තහවුරු වේ (මේ පිලිබදව මෙම ලිපිය තුලින් ඉදිරියට දීර්ඝ ලෙස සාකච්චා කිරීමට අදහස් කරමි.)

ආශිර්වාදලත් දේශය - හැදින්වීමක්

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව “ෂාම්“ යන්න දෙවියන්ගේ ආශීර්වාදය හිමි භූමියකි. මෙය දේවවක්තෘවරුන් අති බහුතරයක් පහල වූ භූමිය මෙන්ම සැබෑ මුස්ලීම්වරුන්ට රැකවර්ණය ලබාගත හැකි පුන්‍ය භූමිය ලෙසද ඉස්ලාම් හදුන්වයි. මේ පිලිබදව වූ ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

අල්කුර්ආනයේ ඉගෙන්වීමන්

“තවද , අප විසින් ආශිර්වාද කරන ලද දේශයේ නැගෙනහිර ප්‍රදේශ සහ බටහිර ප්‍රදේශද පීඩාවට පත් වූ මිනිසුන්ට අපි උරුම කර දුන්නෙමු . තවද ඊශ්‍රායෙල් පුත්‍රයන් ඉවසිලිවන්තව විඳදරාගත් දැය නිසා ඔබේ දෙවියන්ගේ යහපත් වචනය ඔවුන් වෙනුවෙන් ඉටු විය. තවද ෆිර්අවුන් සහ ඔහුගේ සෙනඟ නිෂ්පාදනය කරමින් සිටි සියල්ල සහ ඔවුන් ගොඩනඟමින් සිටි සියල්ල අපි විනාශ කළෙමු.  

අල්කුර්ආනය 7-137

“ඔහුගේ දාසයා රාත්‍රියේදී අල්-මස්ජිදුල්-හරාම් සිට අල්-මස්ජිදුල්-අක්සා වෙත ගෙන ගිය තැනැත්තා උත්තරීතර වේ, ඔහුගේ වටපිටාව ඔහුට අපගේ සංඥා පෙන්වීමට ආශීර්වාද කර ඇත. නියත වශයෙන්ම ඔහු ශ්‍රවණය කරන්නා, දකින තැනැත්තාය.” 

අල්කුර්ආනය 17-1

"අපි ඔහුව සහ ලොත්ව අපි ලෝකයට ආශීර්වාද කළ දේශයට භාර දුන්නෙමු."  

අල්කුර්ආනය 21-71

“අපි ආශීර්වාද කළ දේශය දෙසට ඔහුගේ අණ පරිදි බලහත්කාරයෙන් හමා යන සුළඟ [අපි ඔහුට යටත් කළෙමු] . තවද අපි සැමදා, සියල්ල ගැනම දනිමු.

අල්කුර්ආනය 21-81

“තවද, 'මාගේ ස්වාමීනි, මට ආශීර්වාද ලත් ගොඩබෑමේ ස්ථානයකට ගොඩ බැසීමට ඉඩ දෙන්න , [අපට] නවාතැන් ගැනීමට හොඳම තැනැත්තා ඔබයි' යැයි පවසන්න .

අල්කුර්ආනය

“අපි ඔවුන් සහ අපි ආශිර්වාද කළ [බොහෝ] පෙනෙන නගර අතර ස්ථානගත කළෙමු. තවද අපි ඔවුන් අතර ගමනේ දුර තීරණය කළෙමු, “රාත්‍රියේදී හෝ දිවා කාලයේදී ඔවුන් අතර ආරක්ෂිතව ගමන් කරන්න.” 

අල්කුර්ආනය 34-18

අල්-හදීස් ඉගෙන්වීමන්

ඉබ්නු උමර් (රලි) තුමා දන්වයි, නබි (සල්) තුමාණෝ මෙසේ පැවසූහ: “යාඅල්ලාහ්! අපේ ෂාම්ට ඔබේ ආශිර්වාදය ලබා දෙන්න! අහෝ අල්ලාහ්! අපගේ යේමනයට ඔබගේ ආශිර්වාදය ලබා දෙන්න." එවිට එහි පැමිණ සිටි පිරිස් පැවසුවේ “අපගේ නජ්ද්හි අල්ලාහ්ගේ දූතයාණෙනි!” යනුවෙනි. එයට එතුමාණන් පැවසුවේ “භූමිකම්පා සහ ෆිට්නා එහි ඇති අතර, එහි ෂෙයිතාන්ගේ අඟ මතුවනු ඇත” යනුවෙනි. මෙය තුන්වරක් පැවසූහ

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි සහ තිර්මිදි

රසූල්ලාහ් (සල්) තුමාණෝ මෙසේ පැවසූහ: “බලන්න, සැබවින්ම විශ්වාසවන්තයින්ගේ වාසස්ථානයේ හදවත අෂ්-ෂාම් වේ. කියමා දවස දක්වා අශ්වයාගේ නළලෙහි යහපත බැඳී ඇත.“

මූලාශ්‍ර ග්‍රන්ථය - අහමඩ් සහ තබරානි

සෙයිද් බින් සාබිත් (රලි) තුමා දන්වයි. මිනිසුන් නබිතුමාණන්ගෙන් “අල්ලාහ්ගේ දූතයාණනි, 'අෂ්-ෂාම් කොතරම් භාග්‍යවන්තද!, අෂ්-ෂාම් කොතරම් ආශීර්වාද ලත් භූමියක්ද? "ඒ කොහොමද? යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් “අල්ලාහ්ගේ දූතයන් “අෂ්-ෂාම් මත තම පියාපත් විහිදුවා ඇත,“ යනුවෙන් පිළිතුරු දුන්නේය. “නබිවරුන් විසින් බයිතුල් මුකද්දස් (දේවස්නථාය) ගොඩනඟා ඇත,“ ඉබ්නු අබ්බාස් වැඩිදුරටත් පැවසීය. 'තවද නබිවරුන් එහි වාසය කළ අතර බයිතුල් මුකද්දස් (දේවස්නථාය) හි නබිවරයෙකු යාච්ඤා නොකළ හෝ දේව දූතයෙකු සිට නොගත් අඟලක්වත් නොමැත“

මූලාශ්‍ර ග්‍රන්ථය - තිර්මිදි

මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බව අබූ දර්දා (රලි) තුමා දන්වයි.  “...නියත වශයෙන්ම ෆිත්නා (කැලඹීම්) අවස්ථාවේ ඇදහිල්ල ඇත්තේ අෂ්-ෂාම්හි ය.

මූලාශ්‍ර ග්‍රන්ථය - අහමඩ් සහ තබරානි,

අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පැවසූහ: “අෂ්-ෂාම්හි වැසියන් දූෂිත වූ විට, එයින් ඔබට යහපතක් නැත. (අල්ලාහ් විසින්) උපකාර කරනු ලබන කණ්ඩායමක් මාගේ උම්මාවේ කිසිදා නොනැසී පවතී. හෝරාව ස්ථාපිත වන තුරු ඔවුන්ව අත්හරින අයගෙන් ඔවුන්ට හානියක් නොවනු ඇත.” “අල්ලාහ්ගේ දූතයාණනි, ඔවුන් කොහේද?” යනුවෙන් ඔහුගෙන් අසන ලදී විට. “ජෙරුසලම සහ ඒ අවට,”  යනුවෙන් නබිතුමාණ් පිළිතුරු දුන්නේය. 

මූලාශ්‍ර ග්‍රන්ථය - තිර්මිදි සහ අහමද්

සලාමා බින් නුෆයිල් අල්-කින්ඩි මෙසේ පැවසූ බව වාර්තා විය: “මම අල්ලාහ්ගේ දූතයා සමඟ වාඩි වී සිටියදී මිනිසෙක් මෙසේ කීවේය: 'අල්ලාහ්ගේ දූතයාණනි! මිනිසුන්ට අශ්වයන් කෙරෙහි ඇති උනන්දුව නැති වී ඔවුන්ගේ ආයුධ බිම දමා ඇත, ඔවුන් පවසන්නේ ජිහාඩ් එකක් නොමැති බවත් යුද්ධය අවසන් වූ බවත්ය.' අල්ලාහ්ගේ දූතයා ඔහු දෙසට හැරී මෙසේ පැවසීය: 'ඔවුන් බොරු කියනවා, දැන් සටන පැමිණේ. මගේ උම්මා අතර සෑම විටම සත්‍යය වෙනුවෙන් සටන් කරන පිරිසක් සිටිනු ඇත, ඔවුන් වෙනුවෙන් අල්ලාහ් සමහර මිනිසුන්ව බැහැර කිරීමට සලස්වා, හෝරාව ආරම්භ වන තෙක් සහ අල්ලාහ්ගේ ප්‍රතිඥාව පැමිණෙන තෙක් ඔවුන්ට ඔවුන්ගෙන් ප්‍රතිපාදන ලබා දෙනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවන දිනය දක්වා යහපත්කම අශ්වයන්ගේ නළලෙහි බැඳී ඇත. මා මිය යන බවත් වැඩි කලක් නොසිටින බවත්, ඔබ එකිනෙකාගේ බෙල්ලට පහර දෙමින් කණ්ඩායම් වශයෙන් මා පසුපස එන බවත් මට හෙළි වී ඇත. තවද ඇදහිලිවන්තයන් සඳහා ආරක්ෂිත ස්ථානය අෂ්-ෂාම් වේ.' ”

මූලාශ්‍ර ග්‍රන්ථය - නාසායි

මෙම භූමියේ සැබෑ උරුමක්කාරයන් කවුරුන්ද?

මෙම භූමිභාගයේ අයිතිය පිලිබදව වූ විවාදය වසර දහස් ගණනක් ඈතට දිවයන්නකි. එක්තරා කාලයක මෙහි අයිතිිය තමන්ට හිමි බව යුදෙව්වන් පවසද්දී, තවත් කාලයක එය තමන්ට හිමි භූමිය බව කිතුණුවන් පැවසීය, ඔවුන් තමන්ට දෙවියන් විසින් ලබාදුන් පොරොන්දු දේශය ලෙස එහි අයිතිය පවසද්දී පසුකාලීනව ඉස්ලාම් දහම ප්‍රකාශ වීමත් සමඟ එය මුස්හිලීම්වරුන් ජීවත්වීමට සුදුසුම දේව ආශිර්වාද ලද භූමිය ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නට විය. ඒ අනුව මෙම භූමියේ අයිතිය සදහා විවිධ කාලවල මත අරගල මෙන්ම විවිධ පාර්ශවයන් අතර යුධ ගැටුම් පවා සිදුවී ඇත. නමුත් යථාර්තය නම්, මෙම භූමියේ සැබෑ අයිතිකරුවන් වසර දහස් ගණනකට පෙර මුල් ශිෂ්ටාචාරවල සිටී බවයි. ඒ මුල් අයිතිකරුවන් අතර වත්මන් යුදෙව්, කිතුණු හා ඉස්ලාම් දහමේ බෙදීම් නොපැවතී මූලාරම්භ දහමේ හිමිකරු වන ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාගේ ජන සමාජයට එම අයිතිය හිමිවන බවයි.

මා මෙසේ පැවසීමට ප්‍රධාන හේතුව වර්ථමානයේ වාද කරන “පොරොන්දු දේශ්‍ය“ හෝ “ආශිර්වාදලත් දේශය“ මායිම් සටහන් කිරීම සිදු කරන්නේ ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමා විසිනි. (මෙයි මීට ඉහතින් සාකච්චා කොට ඇත.) ඒ අනුව මෙම භූමිය ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාගේ පරම්පරාවේ සියළුදෙනාට අයිති යන්න සාධාර්ණ වූ තර්කයයි. අතීතයේ පටන් මේ දක්වා කලින් කලට විවිධ පාර්ශවයන් විසින් පරිපාලන අවශ්‍යතා මත එම භූමිය පාලනය කොට ඇත. ක්‍රිස්තුස් වහන්සේගෙන් පසු පළමු සහස්‍රයේ අවසාන භාගයේ එම භූමියේ වැඩි කොටසක් මුස්ලිම්වරුන්ගේ පාලනයේ තිබී ඇති අතර එහි යුදෙව්වන් සහ මුස්ලිම්වරු සහජීවනයෙන් ජීවත් වී ඇත. එවිට එහි යුදෙව්වන් සුළුතරයක්ව පැවතුණි. ඔටෝමාන් අධිරාජ්‍යයේ වසර හාරසියයක පමණ පාලනය 1917 දී බ්‍රිතාන්‍ය යටත් කර ගැනීමකින් අවසන් වීමත් ඒ සමඟ පලස්තීන භූමිය තුල යුදෙව් රාජ්‍යයක් ස්ථාපනය කිරීමට කටයුතු කිරීමත් සමඟ අරාබිවරුන් සහ යුදෙව්වන් අතර යුධ ගිනි ඇවිලීය. මෙම සිද්ධීන් සියල්ල ආගමික කාරණයන්ට එහා ගිය දේශපාලන තීන්දු තීරණ යන්න මේ සමාජය තේරුම් ගතයුතුව ඇත. මෙම භූමියේ සැබෑ උරුමක්කාරයන් ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාගේ පරම්පරාවෙන් පැවත එන සියළු ජන සමාජය යන්න යථාර්තයයි.

තවත් සරලව පවසනවා නම්, ඉබ්බ්‍රාහීම් ආගම පිලිපදින (Abrahamic religions) සියළු පාර්ශවයන් මෙම භූමිය තුල සමඟියෙන් හා සාමුහිකව ජීවත් වියයුතු යන්න යහමග ස්ථාවරයයි. ඒ මා ඉහතින් සදහන් කලාසේ මොවුන් සියළුදෙනා ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාගේ පරම්පරාවේ දරුවන් හා ඔහුගේ ආගම පිලිපදින පිරිස බැවිණි. එය “පොරොන්දු වූ දේශයක්“ ලෙස පිලිගැනීමත්, “ආශිර්වාදලත් දේශයක්“ ලෙස පිලිගැනීමත් ඒ ඒ ආගමිකයන් තුල පවතින ආගමික හා ආකල්පමය පිලිගැනීමකි. එපමණක් නොව මේ භූමිය තුල සිටින ජනයා දිනාගැනීම පිණිස අනිකුත් ආගමිකයන් චින්තනවාදී අරඟලයන් හි නිරතවීම වරදක් නොවේ. එසේ නොමැතිව එම භූමිය තුල වෙසෙන යුදෙව්, හෝ කිතුණු හෝ මුස්ලීම් ජනතාව සමූල ඝාතනය කොට හෝ එම පොළොවෙන් පලවාහැර දිනාගන්නට යන අයිතිය ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාගේ දරුවන්ට නොගැලපෙන තිරිසන් කෘෘර ක්‍රියාවක් මිස සැබෑ අයිතිය දිනාගැනීමක් නොවේ.

බනූඉශ්‍රායල්වරුන් පොරොන්දු දේශය අතහැර යෑම


මෙම ලිපියේ නව යාවත්කාලීන ඉදිරියට...


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම