ඔවුන් වෙනුවෙන් අපටත් වගකීමක් ඇත

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මාසයක් පුරාවට උපවාසයේ නිරත වී උපවාස නිමාවේ අභියස හිඳ ප්‍රීතිමත් රමසාන් උත්සවය මහා ඉහලින් සැමරීමට සූදානම් වන මුස්ලීම් උම්මාව (ප්‍රජාව)ගේ අවදානයට කාලීන වශයෙන් වැදගත් වූ කාරණයක් ගෙන එන්නට අදහස් කරමි. එනම්, පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර රමසාන් උපවාසය ඉතා සාමකාමී ආකාරයට රුකීමටත්, නැමදුම් කටයුතුවල නිදහසේ නිරතවීමටත් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට අවස්ථාව උදාවුණි. ජාතිවාදයත්, ත්‍රස්ථවාදයත් රජ කරපු යුගයක බියෙන් කුතුහලයෙන් උපවාසයේ නිරත වූ සහ නැමදුම් කටයුතුවල නිසි ආකාරව නියැලීමට නොහැකි වූ ඒ කටුක අතීතය ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් වන අපට අමතක නොවේ. එම අමිහිරි කටුක තත්වයෙන් අපව නිදහස් කොට යහපත් හා සාමකාමී පරිසරයක් උදා කරදුන් අල්ලාහ් (දෙවි)ට පලමුව ස්තූති වන්ත වන අතර ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට සාමකාමී පරිසරයක් උදාකර දුන් වත්මන් ශ්‍රී ලාංකීය රජයට දෙවනුව යහමග ස්තූතිය පුදකර සිටිමි.

ශ්‍රි ලාංකීකයන් වූ අපට මෙලෙස නිදහසේ ආගමික කටයුතුවල නිරත වීමටත්, කුසල කටයුතුවල නිරතවීමටත් අද අවස්ථාව උදා වී තිබුණත්, අපේම සහෝදර ජන කොටසක් මේ මොහොතේත් ජීවිතයත් මරණයත් අතර කටුක ඉරණමකට මුහුණ දී කෘෘර වේදනාවන් විදිමින් සිටින බව අපට අමතක කල නොහැක. ඒ පලස්තීන සහෝදර ජනතාවයි. '''ජාත්‍යන්තර යුධ නීති-රීති''' සියල්ල අමුු අමුවේ උල්ලංඝනය කරමින්, '''මානව හිමිකම් නීති අනපනත්''' සියල්ලට එරෙහිව යමින්, '''ජාත්‍යන්තර සංවිධාන හා නායකයින්ගේ ඉල්ලීම්''' කිසිවක් නොසලකා හරිමින් කටයුතු කරමින් සිටින ත්‍රස්ථ රාජ්‍යයක් වූ ඊශ්‍රායලය අතින් තම උපන් බිම තුල සමූල ඝාතනයට මුහුණදී සිටින පලස්තීනුවන් වෙනුවෙන් මේ මොහොතේ අපට වගකීමක් ඇත.

සමස්ථ ලෝකයම යුදෙව්වන් ප්‍රතික්ෂේප කරන අවස්ථාවක ඔවුනට තම රට තුල නවාතැන් ලබා දෙමින් පිහිට වූ පලස්තීනුවන්ට මේ ආකාරයට සැලකීම කොතරම් අමානුෂිකද?. තමන්ට සරණක් වූ පලස්තීනය තුල “ඊශ්‍රායලය“ නම් රටක් නිර්මාණය කරගෙන එහි උරුමකරුවන් වන පලස්තීනුවන් සමූල ඝාතනය කිරීම කොතරම් මිලෙඡ්ච ක්‍රියාවක්ද?. (මේ පිලිබදව දීර්ඝ කරුණු දැක්වීම පලස්තීන ඉතිහාසය, වර්ථමානය හා අනාගතය යන ලිපියෙන් කියවන්න.) ඔවුන්ගේ මිලෙඡ්චත්වය හා අමානූෂීයත්වය පිළිඹිබු කරන නිදසුනක් ඔබේ අවදානයට මෙහි ගෙන එන්නේ නම්,

1956 අප්‍රේල් මාසයේ දී එවකට ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ප්‍රධානියා වූ මෝෂේ දයාන් විසින් අවමංගල්‍ය දේශනයකදී මෙසේ පැවසූ බව සදහන්නි වේ. එනම්, “අපි පලස්තීනුවන්ට දොස් නොකියමු, ඇයි අපි ගැන ඔවුන්ගේ දැවෙන වෛරය හෙළා දැකිය යුත්තේ? ඔවුන් වසර අටක් ගාසා තීරයේ සරණාගත කඳවුරුවල හිඳගෙන සිටි ඔවුන්ගේ ඇස් ඉදිරිපිට අපි ඔවුන් සහ ඔවුන්ගේ පියවරුන් පදිංචිව සිටි ඉඩම් සහ ගම් අපේ අයිතීන් බවට පරිවර්තනය කළෙමු."
"Why should we deplore their burning hatred for us? For eight years they have been sitting in the refugee camps in Gaza, and before their eyes we have been transforming the lands and the villages, where they and their fathers dwelt, into our estate." 

මෙලෙස පලස්තීනය තුල ඊශ්‍රායලය පිහිටුවාගත් එම ත්‍රස්ථයන් එදා පටන් අද දක්වා පලස්තීනුවන් සංහාර ක්‍රියාවලියක නිරත වි සිටිති. පලස්තීනුවන්ට එරෙහිව මෑතක එනම්, 2023/10/07 දිනෙන් ඇරඹු ඊශ්‍රායල් ප්‍රහාරය තුල මේ වනවිට ජීවිත 33000 ක් ඉක්මවා පලස්තීනුවන් ඝාතනය වී ඇත. ඒ තුල ඝාතනය වූ දරුවන් ගනන 10000 ඉක්මවයි. (මේ පිලිබදව දීර්ඝ කරුණු දැක්වීම පලස්තීන අර්බුද පුවත් යාවත්කාලීනය යන ලිපියෙන් කියවන්න.) මෙවන් පසුබිමක තම උපන් බිම තුලම සමූල ඝාතනයට ගොදුරු වී සිටින පලස්තීනුවන් වෙනුවෙන් අද මුළු ලෝකයම ජාති, ආගම් භේදයකින් තොරව මනුෂ්‍යත්වයේ නාමයෙන් එක්ව හඬ නඟන පරිසරයක් උදාවී ඇත. එයට නිදසුන් කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

මෙලෙස ලොවපුරා නැඟෙන හඬත් සමඟ මුස්ලීම් අපේ හඬත් එක් කරනවා සේම ඊට අමතරව උපවාසයේ නිමාවේ හිඳ එම පලස්තීනුවන් වෙනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් “පලස්තීනුවන් හට යහපත් හා සාධාර්ණ විසදුමක් ඉල්ලා“ ප්‍රාර්ථනාවන් ද කලයුතුව ඇත. විශේෂයෙන් අප අපගේ දරුවන් සමඟ ඉතා සතුටින් රමසාන් උත්සවයට සූදානම් වන මේ මොහොතේ පවා තම මාපියන් හා භාරකාරයින් අහිමිව මරණය පෙනි පෙනී ජීවත් වන පලස්තීන වීථි දරුවන් දහස් ගණනකගේ තත්වය මොහොතක් විමසා බලන්න. එය වඩාත් හොදින් ඔබට තේරුම් ගැනීමට නිදසුන් කිහිපයක් මෙහි පහතින් ඉදිරිපත් කරන්නේ නම්,

මේ ආකාරයට තම උපන් බිම තුලම අසරණ වී මරණය පෙනි පෙනී ඊලඟ මොහොත පිලිබදව අවිනිශ්චිතව ජීවත් වන කුඩා, මහළු කාන්තා, පිරිමි පලස්තීනුවන් වෙනුවෙන් අපගේ බලගතු වටිනා ප්‍රාර්ථනාවන් ඔවුන් වෙනුවෙන් එක් කිරීම අපගේ සහෝදර ජනයා වෙනුවෙන් අප කලයුතු ඉහලම වගකීම හා යුතුකම වේ. ඒ අනුව අප රමළාන් මාසය පුරාවට අප කල කුසල් මුල් කොට මෙලෙස අපගේ ප්‍රාර්ථනාවන් එක් කරමු.

  • අපගේ දෙවියනි!, පලස්තීනුවන් වන ඔවුන්ව නොපසුබස්නා උත්සාහයෙන් පුරවා, ඔවුන්ගේ පියවර ස්ථිර කර, ඔවුනට එරෙහිව ක්‍රියා කරන ජනතාව කෙරෙහි ඔවුන්ට ජයග්‍රහණය ලබා දෙත්වා!,
  • අපගේ දෙවියනි!, පලස්තීනුවන් වන ඔවුන්ට මෙලොව හා පරලොව යහපත ලබා දී අපා ගින්නෙන් ඔවුන්ව ආරක්ෂා කරත්වා!, ඔවුන්ව අපා ගින්නෙන් ආරක්ෂා කොට පාරාදීසය ලබාදෙන තරම් යහපත් දෙයක් තවත් නැත. ඔවුනට දරාගත නොහැකි ලෙස පෙනෙන සිදුවීම් දිග හැරෙන ආකාරය අප දකින්නෙමු. මේ ලෝකයේ කුරිරුකම සහ හුස්ම හිරවීම අමතක වීමට අවශ්‍ය වන්නේ ජන්නාවේ එක් කිමිදීමක් පමණක් බව අප දනිමු. අපගේ දෙවියනි!, ඔවුනට එම භාග්‍යය ලබාදෙත්වා!,
  • අපගේ දෙවියනි!, ඔවුන්ගේ බිය සමනය කර, ඔවුන් ඉදිරියෙන් සහ පිටුපසින්, ඔවුන්ගේ දකුණෙන් සහ ඔවුන්ගේ වමෙන් සහ ඔවුන්ට ඉහළින් ආරක්ෂාව ලබාදෙත්වා!,
  •  අපගේ දෙවියනි!, ඔබගේ මලක්වරුන් (දේවදූතයන්)ගේ උපකාරය ඔවුන් වෙත පහල කරත්වා!,
  • අපගේ දෙවියනි!, ඔවුන්ට ඔබ කෙරෙහි අචල විශ්වාසයක් සහ ඔබ ගැන යහපත් සිතුවිලිලක් ලබා දෙත්වා!,

මේ ආකාරයට අපගේ ප්‍රාර්ථනාවන් ඒ අසරණ පලස්තීනුවන් වෙනුවෙන් එක් කරන අතර තුර අල්ලාහ්ගේ උපකාරය ගැන කිසිවිටක අප බලාපොරොත්තු සුන් කර නොගතයුතුය. මුස්ලීම්වරුන් වන අපට එරෙහි කුමණ්ත්‍රන වැඩි වන විට සහ ඒවා තීව්‍ර වන විට, බලාපොරොත්තුව සහ ශුභවාදීව සිටීම ස්ථීරව තබා ගැනීම බොහෝ විට අපහසු විය හැකිය. අප මෙතරම් දැඩි ලෙස යාච්ඤා කළ සහනය අපට නොපෙනෙන්නේ මන්දැයි අපි කල්පනා විය හැකිය. මෙම හැඟීම යම් දුරකට, සම්පූර්ණයෙන්ම ස්වාභාවික වුවත්, අල්ලාහ්ගේ උපකාරය ආසන්නතම බව අප ස්ථීරව විශ්වාස කළ යුතුය. සියලු ලෞකික විසඳුම්වලින් අසාර්ථක වූවත් අල්ලාහ් (දෙවි) ඔහුගේ උපකාරය ඉතා ආසන්නයේ බව අප ස්ථීරව පිලිගතයුතුය. එය අල්ලාහ් (දෙවි) අල් කුර්ආනය තුලින් ද මෙසේ අවදාරණය කරයි. එනම්,

නුඹලාට පෙර සිටි (විශ්වාසවන්තයින් වූ) අයට සිදු වූ වේදනා දුක් කරදර වැනි දේ නුඹලා නොලබාම, නුඹලාට ස්වර්ගයට පිවිසිය හැකි වන්නේ යැයි නුඹලා සිතන්නෙහුද? ඔවුනට දිළිඳු භාවයද පීඩාවද ඇති විය. තවද (එවකට සිටි) රසූල්වරයාද ඔහු සමග සිටි විශ්වාසකයින්ද අල්ලාහ්ගේ පිහිට කවර විටක ඒ දැයි හඬ නගන තුරු ඔවුහු කම්පනයට භාජනය කරනු ලැබූහ. දැනගනු, (මුඃමින්වරුන්ට) නියත වශයෙන්ම අල්ලාහ්ගේ පිහිට ළඟම ඇත. 

අල්කුර්ආනය 2-214

මේ අනුව අපි කිසි විටෙකත් අල්ලාහ්ගේ උපකාරය පිළිබඳ බලාපොරොත්තු සුන් කර නොගත යුතු අතර, පලස්තීනයේ ජනතාව සඳහා දුආ කිරීම කිසි විටෙකත් නතර නොකළ යුතුය. අවසාන වශයෙන් මේ මොහොතේ අපගේ වටිනා ප්‍රාර්ථනාව පලස්තීනුවන් වෙනුවෙන් හැකි උපරිමයෙන් එක් කරන්නට අමතක නොකරමු යන ආයාචනය කරමින් මෙම සටහනට විරාමය තබමි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/04/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම