සැප්තැම්බර් 11 සහ පාස්කු ප්‍රහාරය

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මෑත ඉතිහාසයේ මුස්ලීම්වරුන් අතින් සිදූවූ ලොවම කම්පා කරවන අවාසනාවන්ත සිද්ධීන් දෙකක් ඇත. ඉස්ලාමයේ ඉගෙන්වීමන් නිසිලෙස අවබෝධ කරගැනීමට අපොහොසත් වූ සහ අන්‍ය ආගමිකයන් සමඟ කටයුතු කරන්නේ කෙසේද? යන්න පිලිබදව ඉස්ලාම් දහමේ නිසි මඟපෙන්වීමක් නොලද "මුස්ලීම්" යැයි නම් ධරයන් වූ කිහිපදෙනෙකු ලොවට කල ඒ අවාසනාවන්ත මහා විනාශය මෙසේය,

  • 2001/09/11 දින ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම, (මෙහි දී සාමාන්‍ය පුද්ගලයින් 2558 ක් මරණයට පත් වූ අතර දහස් ගණනකට තුවාළ සිදුවිය.)
  • 2019/04/21 දින ශ්‍රී ලංකාවේ කිතුණුවන් ඉලක්ක කොට පාස්කු ප්‍රහාරය එල්ල කිරීම, (මෙහි දී සාමාන්‍ය පුද්ගලයින් 269 දෙනෙකු මරණයට පත් වූ අතර 500 කට අධික පිරිසක් තුවාළ ලැබීය.)

මුස්ලීම් ලෝකයටත්, ඉස්ලාම් දහමටත් සෘජුවම ඇඟිලි දිගු වූ මෙම ප්‍රහාර චෝදනාවෙන් මුස්ලීම් සමාජය මිඳිය නොහැකි බව සත්‍යයකි. නමුත් මෙම ප්‍රහාර දෙක පිටුපස ඉස්ලාම් දහම හෝ මුස්ලීම් සමාජය නොවන දේශපාලන කුමණ්ත්‍රනයක් ක්‍රියාත්මක වූ බව ද ඔප්පු වී සහ ඔප්පු වෙමින් ඇති බව ද ලෝකයා පිලිගත යුත්තකි. ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් නිසිලෙස අවබෝධ කරගැනීමට තරම්වත් පැහැදිලි මනසක් නොමැති විකෘති මානසිකත්වයකින් පෙළුනු නරුමයින් පිරිසක් කුමණ්ත්‍රනකාරීව දේශපාලන පටු අරමුණු වෙනුවෙන් යොදාගෙන කල ඒ මහා විනාශය ඉස්ලාම් නොවන බව හා එම ක්‍රියාව ඉස්ලාමයට පරස්පර ක්‍රියාවක් යන්න මෙම අඩවිය තුල අවස්ථා ගණනාවකදීම කරුණු පැහැදිලි කොට ඇත. එවැනි ලිපි කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානයට මෙහි ගෙන එන්නේ නම්,

ගුවන් යානාවලින් ගොස් ගොඩනැගිලිවලට කඩා වැටීමෙන් හෝ අහිංසක සිවිල් වැසියන් සිටින ස්ථාවලට ගොස් පුපුරවා ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට ඉස්ලාම් දහම තුල කිසිදු ඉඩක් නොමැත. එය පහත අල්කුර්ආනය වාක්‍යයන් 03 මඟින් ඔබට ම පහසුවෙන් වටහා ගත හැකි වනු ඇත. එනම්,

නුඹලා නුඹලාවම මරා  (දිවිනසා) නොගනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි කරුණාන්විතය.

අල්කුර්ආනය 4-29

නුඹලාගේම දෑතින් නුඹලා විනාශයට නොහෙළනු. 

අල්කුර්ආනය 2-195

ෆිත්නාහ් (කැරලිකාර තත්වයක්) නොමැති තත්ත්වයක් එළඹෙන තුරුද, දීන් (අල්ලාහ් විසින් පිරිනැමුණු ජිවන මාර්ගය) අල්ලාහ්ටම පිහිටුවනු ලබන තුරුද නුඹලා ඔවුන් සමඟ සටන් කරනු. ඔවුන් (එයින්) වැළකුණහොත් (එතැන් සිට සටන් නොකළ යුතුය.) ලාලිමීන් (අපරාධකරුවන්) කෙරෙහි විනා (අනෙක් අය කෙරෙහි) සතුරුකමක් නොමැත.

අල්කුර්ආනය 2-193

මෙම දිව්‍යමය වදන්වලින් අවවාද නොලද ඉහතින් සදහන් නරුමයින් කල ඉහත ක්‍රියාව තවදුරටත් ඉස්ලාම් යැයි කිසිවකු පවසන්නේ හෝ සිතන්නේ නම් එය ඉස්ලාම් ආගම පිලිබදව තිබෙන අනවබෝධයක් පමණි. මෙතැනදී කිවයුතු විශේෂ කාරණයක් ද ඇත. එනම් “ඉස්ලාම්” යනු ආගමකට එහා ගිය ජීවන සැලැස්මකි. ඒ තුල රාජ්‍ය පාලනය, මානව කළමණාකරනය, පුරවැසි අයිතීන් ආරක්ෂා කිරීම, දණ්ඩ නීති ක්‍රියාත්මක කිරීම... යනාදී බොහෝ ප්‍රායෝගික අංශ ඇත. මේ සියල්ල නොසලකා හැර ආදරය, අවිහිංසාව, ඉවසීම... වැනි සුන්දර කාරණයන් තුල පමණක් ඉස්ලාමය කොටු කල නොහැක. මොකද මෙය මා ඉහතින් සදහන් කලාසේ ආගමකට එහා ගිය මහ පොළොව මත ප්‍රායෝගික කාරණයක් ද වන බැවින. මේ හේතුව නිසයි සමාජයේ කිසියම් ආකාරයක අස්ථාවර තත්වයන් නිර්මාණය වන විට ඉහත 2-193 වැනි අවවාදයන් සහ පහත ආකාරයේ අවවාදයන් දහම තුල දකින්නේ. එනම්,

ප්‍රඥාවෙන් සහ උතුම් වූ උපදෙසින් නුඹගේ රබ්(පරමාධිපති)ගේ මාර්ගයට (ජනයාට) ඇරියුම් කරනු. තවද ඔවුන් සමග ඉතා හොදින් කරුණු තර්ක කරනු. ඔහු(අල්ලාහ්)ගේ මාර්ගයෙන් බැහැර ගිය අය ගැන නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති) මැනවින් දනී. 

අල්කුර්ආනය 16-125

නුඹලා දඬුවම් කරන්නෙහු නම්, එයින් (නුඹලා පෙළනු ලැබූ දෑට) සමාන දැයින් දඬුවම් කරනු. නමුත් නුඹලා එය ඉවසීමෙන් විඳ දරා ගන්නේ නම්, එය ඉවසීමෙන් විඳ දරා ගන්නා අයට නියතවශයෙන්ම ඉතා යහපත්ය.

අල්කුර්ආනය 16-126

ඉහත දිව්‍ය වදන් නැවත නැවතත් අපට පවසන්නේ සර්වබලධාරී අල්ලාහ් (දෙවි) හමුවේ ඉවසීමෙන් සහ යාච්ඤාවෙන් උපකාර ඉල්ලා සිටින ලෙසයි. නමුත් දුෂ්ඨකමට නැමුණු මිනිසුන් සමඟ තර්ක කිරීම සහ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීම ඔවුන්ගේ මාර්ගවල වෙනසක් ඇති කිරීමට අපොහොසත් වුවහොත්, අල්කුර්ආනය 16-126 හි සදහන් ආකාරයට ඔබට පීඩාවන් කරන පිරිසට ඔබ දණ්ඩුවම් කිරීමට කැමති නම්, දඬුවම් කරන්න . ඒ ඔබට අසාධාරණයක් වී ඇති තරමට මෙසේ පවසන ඉස්ලාමය එම 16-126 වාක්‍යයේ අවසානයේ පවසන්නේ කුමක්ද? යන්නත් විමසා බැලීම වැදගත් වේ. එය මෙසේය එය ඉවසීමෙන් විඳ දරා ගැනීම නියතවශයෙන්ම ඔබට ඉතා යහපත්ය මෙතරම් ප්‍රායෝගික වූ ජීවන සැලැස්මක් පිලිබදව කථා කරන ඉගෙන්වීමක් ඉස්ලාමයෙන් පිටත ඔබට සොයාගත හැකිද?. එය අභියෝගයක් ලෙස වූවද යහමග අඩවිය මෙහි තබන්නට කැමැත්තෙමි.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් මේ තරම් ප්‍රායෝගික හා සාධාර්ණ වූ නිසයි මුස්ලීම් නම්ධරයන් ලෙස හිඳ ඉස්ලාම් නමින් මුස්ලීම්වරුන් සමාජය තුල කුමන පහත් ක්‍රියාවක නියැලුනත්, එවැනි ක්‍රියා පදනම් කරගෙන ඉස්ලාම් විරෝධීන් කුමන ප්‍රචාරයන් සමාජය තුල ගෙනගියත් තවමත් බුද්ධිමත් ජනයා දිව්‍ය දහම දිව්‍යමය පුස්තකය තුලින් දහම අවබෝධ කරගෙන ඉස්ලාමය කරා ඇදී එන්නේ. එයට මා ඔබට කදිම නිදසුනක් මෙහි ගෙන එන්නම්,

2001/09/11 දින ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සමස්ථ ඉස්ලාමීය ලෝකයම මොහොතක් දෙදරවන්නට හේතු විය. මෙම ප්‍රහාරය හේතුවෙන් ලොවපුරා වෙසෙන මුස්ලීම් නොවන ජනයාගෙන මුස්ලීම් ජනයාට දැඩි හිංසා පීඩාවන් සහ චෝදනාවන් එල්ල විය. මුස්ලීම් ජනයාගේ ආගමික නිදහසට ද විවිධ අන්දමින් බාධා එල්ල විය. ඉස්ලාම් දහමට ද දැඩි විවේචනයන් එල්ල විය. නමුත් මෙම සැප්තැම්බර් 11 ප්‍රහාරයත් සමඟ කුතුහලය දනවන කාරණයක් ද සිදුවිය. එනම්, බොහෝ ඇමරිකානුවන් පළමු වරට ඉස්ලාමයේ ඉගෙන්වීමන් වෙත අවදානය යොමු කිරීම මෙහි සිදුවිය. ඇත්තටම මොකක්ද මේ අල්කුර්ආනය කියා ඔවුන් අල්කුර්ආනය දෙසට හැරුණු අතර එහිදී ඉහත ත්‍රස්ථ ප්‍රහාරය ඇත්තෙන්ම ඉස්ලාම් නොවන බව ඔවුන් තේරුම් ගත්තේය.

එසේ තේරුම් ගත්තා පමණක් නොව ඔවුන් ඉස්ලාම් දහම කරා ඇදී ඒමටත් එය හේතුවක් වූයේය. එය 2000-2010 අතර, එක්සත් ජනපදයේ මුස්ලිම් ජනගහනය මිලියන 1 සිට මිලියන 2.6 දක්වා වර්ධනය වීම මනාව කියාපායි. මෙය ඇමරිකාවේ 67% ක වැඩිවීමක් වන අතර එක්සත් ජනපද ආගමික සංගණනයකට අනුව ඉස්ලාමය එක්සත් ජනපදයේ වේගයෙන්ම වර්ධනය වන ආගම ද විය. තවත් (Pew Research) සංගණනයකට අනුව 2017 වන විට එක්සත් ජනපදයේ මුස්ලිම්වරුන් සංඛ්‍යාව මිලියන 3.45ක් ලෙස ගණන් බලා ඇත. මෙම වර්ධනය මෙහි ඉදිරිපත් කොට ඇති ප්‍රස්ථාරය මඟින් ද ඔබට වටහා ගත හැකි වනු ඇත.)

ඉහත දත්ත විශ්ලේෂණය කරන විද්වතුන්ගේ ඇස්තමේන්තුවට අනුව, එක්සත් ජනපද මුස්ලිම් ජනගහනය රටේ යුදෙව් ජනගහනයට වඩා ඉතා වේගයෙන් වර්ධනය වන බවයි. 2040 වන විට මුස්ලිම්වරුන් කිතුනුවන්ට පසුව ජාතියේ දෙවන විශාලතම ආගමික කණ්ඩායම බවට පත්වනු ඇත යන්න සහ 2050 වන විට, එක්සත් ජනපද මුස්ලිම් ජනගහනය මිලියන 8.1 ක් වනු ඇතැයි ඇස්තමේන්තු කොට ඇත. මෙය වත්මන් ජනගහනය මෙන් දෙගුණයක් පමණ වේ.

ඇමරිකාවේ සැප්තැම්බර් 11 ට අදට වසර 22ක් වී ඇත. ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයට වසර 04ක් වී ඇත. මේ වනවිට ලොවපුරා වෙසෙන බුද්ධිමත් ජනතාව මෙම ප්‍රහාර දිව්‍යමය සහ මානව නීති යන දෙකටම පටහැනි වූ මිලෙඡ්ච ප්‍රහාරයක් බවත්, එයට සහ ඉස්ලාමයට කිසිදු සම්බන්ධයක් නොමැති බව පමණක් නොව එම නරුම ක්‍රියාව ඉස්ලාමයට පටහැනි බවත් තේරුම් ගෙන ඇත. එම මිලෙඡ්ච නරුම ක්‍රියාව ලොවපුරා වෙසෙන සැබෑ මුස්ලීම්වරුන් දැඩිව හෙළා දකින අතර මෙම ප්‍රහාරයට සම්බන්ධ සියළු පාර්ශවයන්ට සහ මෙවැනි ප්‍රහාරයන්ට අනුබල දෙමින් කුමණ්ත්‍රනය කල කිසියම් පාර්ශවයක් ඇත්නම් ඔවුනට ද දැඩි දඬුවම් කඩිනමින් ලබාදිය යුතුව ඇත. ඒ සදහා අදාල බලධාරීන් හට නුවණැස පෑදේවා! යනුවෙන් ද, මෙවැනි නරුම ක්‍රියාදාමයන් යලි මේ පොළොව මත කිසිදු දිනක සිදු නොවේවා! යනුවෙන් ද ප්‍රාර්ථනා කරමින් සහ මෙම මිලෙඡ්ච ප්‍රහාරයේ වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලොවපුරා වෙසෙන මුස්ලීම්වරුන් සියළුදෙනා වෙනුවෙන් යහමග අඩවිය මාගේ සංවේගය පුදකරමින් හා ඔවුනට ශාන්තිය අත්වේවා! යන ප්‍රාර්ථනයෙන් මෙම සටහනට විරාමය තබමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/09/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම