ඉස්ලාම් දහම තුල බල කිරීමන් නැත

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහමට සහ මුස්ලීම් සමාජයට එරෙහිව ඉස්ලාම් විරෝධීන් පුල පුලා නඟන චෝදනාවන් අතර ප්‍රධාන චෝදනාවක් වන්නේ “ඉස්ලාම් කඩුවෙන් පතුරුවන ලද දහමක්” හෙවත් “ඉස්ලාම් බලෙන් පතුරු වන දහමක්” යන්නයි. කිසිදු පදනමක් නොමැතිව ඉදිරිපත් කරන එම චෝදනාව බොරු කරන ආකාරයට අද ලොවපුරා සීඝ්‍රයෙන් ඉස්ලාම් දහම ව්‍යාප්ත වෙමින් ඇත. මේ ආකාරයට ලොවපුරා ව්‍යාප්ත වන ඉස්ලාම් දහම කිසිදු රටක, නගරයක, හෝ ගමක “ඉස්ලාමය බලෙන් තමන්ව එම දහමට හරවා ගත්තා” යනුවෙන් චෝදනාවක් අසන්නට හෝ දකින්නට නැත. ඉස්ලාම් දහමට එරෙහිව එසේ චෝදනාවන් නඟනවා වෙනුවට එහි දක්නට ඇත්තේ තමන් ඉස්ලාම් දහමට ආකර්ශණය වුයේ ඇයිද? යන කාරණය විග්‍රහ කරන කරුණු දැක්වීමන්ය. මේ සියල්ල තුලින් පැහැදිලි වන්නේ මේ ඉස්ලාම් දහම තුල බල කිරීමන් නොමැත යන්නයි.

මෙතැනදී කිවයුතු විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, 2018 පී. ආර්. සී. (PRC) සංඝණනයකට අනුව ලොවපුරා රටවල් අතුරින් වැඩිම රටවල් ගණනක එනම්, රටවල් 159 ක හිරිහැරයන්ට ලක් වන ආගම ඉස්ලාම් ආගම බව වාර්ථා වී ඇත. (දෙවැනි ආගම කිතුනු ආගම රටවල් 145, තුන්වැනි ආගම යුදෙව් ආගම රටවල් 91 ක් ලෙස ද වාර්ථා වේ.) මෙවැනි පසුබිමක් තුල දහමක් බලෙන් පතුරුවනවා යන්න ප්‍රායෝගික කාරණයක්ද? යන්න ඉහත චෝදනා නඟන පිරිස බුද්ධිමත්ව සිතා බැලිය යුතු කාරණයකි. එපමණක් නොව මෑත ඉතිහාසයේ මුස්ලීම් අන්තවාදීන් කිහිපදෙනෙකු විසින් සිදුකල සැප්තැම්බර් 11 සහ පාස්කු ප්‍රහාරය සමඟ ඉස්ලාම් ආගම මේ පොළොව මත බලෙන් පැතිරවීම කෙසේ වෙතත් ප්‍රචාරය කිරීමේ පසුබිමක් පැවතුණේද? යන්න ඉහත චෝදනා නඟන පිරිස් බුද්ධිමත්ව විමසා බැලිය යුතුය. මේ සියල්ලට ම වඩා ආගම යන්න මිනිස් මනස හා බැඳුනු කාරණයක් මිස බලෙන් මනසකට කාවැද්දිය හැකි කාරණයක් නොවන බව තේරුම් ගතයුතුය. මෙය ඉතිහාසඥයෙකු වන De Lacy O’Leary, මහතා තම Islam at the Cross Road නම් කෘතිය තුල සටන්කාමී මුස්ලීම්වරුන් විසින් අසිපත් තුඩින් ලොවපුරා ඉස්ලාමය බලයෙන් කාවද්දන ලදැයි ඉතිහාසඥයන් නොකඩවා කළ ප‍්‍රකාශය බැරැරුම් මුසාවක් වන වග කෙසේ හෝ ඉතිහාසයෙන් ම සනාථ වේ. යනුවෙන් තහවුරු කරයි.

වාදයකට, ඉස්ලාමයට එරෙහිව ඉහතින් නඟන චෝදනාවන් සියල්ල සත්‍ය බවටත්, මුස්ලීම්වරුන් ඉස්ලාමය ලොවපුරා පැතිර වූයේ බලෙන් බවටත් පිලිගත්ත ද එවැනි ක්‍රියාවලියකට මුස්ලීම්වරුන්ට අවසර දුන්නේ කවුද? යන පැනය ඒ සමඟ මතු වේ. ලොව අනිකුත් දහමන් දර්ශනයන් මෙන් ඉස්ලාම් දහම තුල මුස්ලීම්වරුන්ට සිතුමතේ කටයුතු කල නොහැක. දහම් ප්‍රචාරය වූවත් එය දහමේ මඟපෙන්වීමන්ට අවනතව මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් අනුව ඉටු කිරීම අනිවාර්‍ය වේ. එසේනම්, මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් සහ මඟපෙන්වීමන් කුමක්ද? යන්න දැන් විමසා බලමු.

යමක් ඉස්ලාම් යැයි පවසන්නේ නම්, එය දිව්‍ය වදන් එකතුව වන අල්කුර්ආනය තුල හෝ මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් වන අල්හදීස් තුල සදහන් ව තිබීම අනිවාර්‍ය වේ. ඒ අනුව ඉහත කාරණය එනම් දහම් ප්‍රචාරය සම්බන්ධයෙන් එම මූලාශ්‍රයන් දෙක තුල කුමක් සදහන් වන්නේද? යන්න විමසා බලන විට එහි පහත ඉගෙන්වීමන් අපට හමුවේ. එනම්,

රසූල්වරයා((හෙවත් නබිවරයා)ගේ වගකීම වන්නේ-දූත මෙහෙවර (දහම සමාජයට)) ඉදිරිපත් කිරීම පමණකි. නුඹලා හෙළිදරව් කරන හා සඟවන සෑම දෙයක්ම අල්ලාහ් දනී.

අල්කුර්ආනය 5-99

ඉහත අල්කුර්ආන් වාක්‍යය මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න. නබිවරුන් හෙවත් වක්තෘවරුන්ගේ කාර්‍යභාරය දහම මිනිස් සමාජයට ප්‍රකාශ කිරීම පමණක් ම බව ඔබට පැහැදිලි වනු ඇත. මෙය තවදුරටත් තේරුම් ගැනීමට තවත් නිදසුනක් මෙහි ගෙන එන්නේ නම්,

මුහම්මද් (සල්) තුමාණන් මක්කාවාසී පිළිම වන්දනාකරුවන් හමුවේ ඉස්ලාම් දහම ප්‍රචාරය කරන අවස්ථාවේ “ඔබේ දෙවි පිළිම වන්දනයට අකමැති නම්, අපව එයින් බලහත්කාරයෙන් වළක්වන්නේ නැත්තේ ඇයිද?” යනුවෙන් ඔවුන් විමසන්නට වූ අතර එම මොහොතේ පහත අල්කුර්ආන් වාක්‍යය අල්ලාහ් (දෙවි) හමුවේ සිට පහල විය. එනම්,

අල්ලාහ් අභිමතවී නම් අපිද අපගේ පියවරුන්ද, ඔහු(අල්ලාහ්) හැර වෙනත් කිසිදෙයක් නොනමදීයෙමු. තවද ඔහුගේ අභිමතයෙන් තොරව කිසිදෙයක් අපි තහනම් නොකළෙමුයි ආදේශ තබන අය කීහ. ඔවුනට පෙර සිටි අයද කළේ එලෙසමය. (දහම් පණිවිඩය) පැහැදිලිව ප්‍රකාශ කිරීම හැර (වෙනත් කිසියම් වගකීමක්) රසූල්වරුන්ට තිබේද?

අල්කුර්ආනය 16-35

ඉහත 5-99 සහ 16-35 වාක්‍ය දෙකම ඔබ බුද්ධිමත්ව විමසා බලන්නේ නම් මේ දහම තුල එහි ඉගැන්වීමන් බලහත්කාරයෙන් ජනතාව මත පැටවීමන් නොමැති බව පමණක් නොව ඔවුන්ට මඟ පෙන්වීම සහ ඔවුන්ගේම කැමැත්තෙන් දහම පිළිගන්නා ලෙස ඇරයුම් කිරීම මිස වෙන පියවරක් නොමැති බව පැහැදිලි විය යුතුය. මෙම කාරණය අල්කුර්ආනයේ තවත් තැනක මෙසේ ද පවසයි.

(නබියේ! මෙතරම් දුරට විවරණය කර පැවසූ පසුද) ඔවුන් (ඔබව) ප්‍රතික්ෂේප කර හැරියහොත් (ඒ ගැන ඔබ කණගාටු නොවනු. මන්දයත්) ඔවුන්ව ආරක්ෂා කරන්නෙකු වශයෙන් අපි ඔබව යැව්වේ නැත. (ඔවුන්ට අපගේ දූත මෙහෙවර) ගෙනහැර දැක්වීම මිස, (වෙන කිසිවක්) ඔබ කෙරෙහි අනිවාර්යය යුතුකමක් නොව...

අල්කුර්ආනය 42-48

ඉහත 5-99 සහ 16-35 වාක්‍යවලින් පවසන කාරණයන්ට වඩා පියවරක් ඉදිරියට ගොස් 42-48 වාක්‍යය මඟින් සරලව ඉස්ලාම් දහමේ ස්ථාවරය “ඔවුන්ට දහම ගෙනහැර දැක්වීම මිස, වෙන කිසිවක් ඔබ කෙරෙහි පැවරී නොමැත” යනුවෙන් පැවසීම තුල සහ ඊටත් පියවරක් ඉදිරියට තබා තවදුරටත් පහත ආකාරයට පැවසීම තුල එනම්,

ඉස්ලාම් හි බල කිරීමක් නොමැත. 

අල්කුර්ආනය 2-256

20 වන සියවසයේ ඉස්ලාම් විරෝධීන්ගේ නව සොයා ගැනීමක් වූ “ඉස්ලාම් හි බලකිරීමන් ඇත” යන මිත්‍යාව මීට සියවස් 14 කට පෙර ඉස්ලාම් පැහැදිලිවම “ඉස්ලාම් හි බල කිරීමක් නැත” යනුවෙන් මිනිස්මු සමාජයට අවදාරණය කොට අවසානය. එසේ 2-256 වාක්‍යයෙන් අවදාරනය කරන ඉස්ලාම් දහම එවැනි අවශ්‍යතාවයක් නොමැති වීමට හේතුවද එම වාක්‍යයේ මෙසේ පවසයි.

අසත්‍ය මාර්ගයෙන් වෙන්ව සත්‍ය මාර්ගය සම්පූර්ණයෙන් පැහැදිලිය

අල්කුර්ආනය 2-256

ඉස්ලාම් දහම මෙතරම් පැහැදිලිව මෙම දහම තුල “බල කිරීමන් නැත” යනුවෙන් විග්‍රහ කොට තිබිය දී තවදුරටත් කිසියම් කෙනෙකු ඉස්ලාමයට ඉහත චෝදනාව නඟන්නේ නම්, එය ඔහුගේ ආගමික ඉගෙන්වීමන් පිලිබදව තිබෙන අනවබෝධය හෝ ඉස්ලාම් දහම කෙරෙහි තිබෙන වියරුව නිසාම කරන චෝදනාවක් මිස එය පදනමක් ඇති චෝදනාවක් නොවේ. එම කාරණය ඔබේ විමසුමට තබමින් මීලඟට මා ඔබේ බුද්ධිමත් අවදානය යොමු කරවන්නේ ඉස්ලාම් දහම් ප්‍රචාරය ආරම්භ කල මක්කා නගරයේ ඉස්ලාම් විරෝධීන් විසින් මුස්ලීම්වරුන්ට විවිධ වූ එදිරිවාදිකම් සහ ශාරීරික වධහිංසන කරන පසුබිමක එය ඉවසා කටයුතු කරමින් සිටින නබිතුමාණන් හට පහල වූ කුඩා අල්කුර්ආන් පරිච්චේදයක් වෙතයි. අල්ලාහ් (දෙවි) විසින් පහල කරවන ලද එම අල්කුර්ආන් පරිච්චේදය මෙසේය,

(අල්ලාහ් (දෙවි)) විශ්වාස නොකරන ජනයනි! 
ඔබලා නමදින දෑ මම නොනමදිමි,
මා නමදින දෑ ඔබලා නමදින්නන් නොවේ.
තවද ඔබලා නමදින දෑ මම නමදින්නෙකු නොවේ.
මා නමදින දෑ ඔබලා නමදින්නන් නොවේ.
ඔබලාට ඔබේ දහම, මට මාගේ දහම.

අල්කුර්ආනය - 109 පරිච්චේදය

ඉහත 109 පරිච්චේදය තුලින් අල්කුර්ආනය එම සමාජයේ පැවති බහු ආගමික වටපිටාව මනාව පැහැදිලි කරන අතර එම සමාජය තුල ස්ථාපනය වී පැවතී ආගමික ඉවසීම සහ ආගමික නිදහස ද මනාව පැහැදිලි කරයි. එසේම ඉස්ලාම් විරෝධීන්ගේ වධහිංසන හා තාඩන පීඩන දරාගත නොහැකි තැන මක්කාවේ සිට මදීනාවට සංක්‍රමණය වූ නබිතුමාණන් හට එහි රාජ්‍ය බලය හිමිවීමත් සමඟ අන්‍ය ආගමිකයින් සමඟ විවිධ ගිවිසුම්වලට එළඹ තම තමන්ගේ දහම සාමකාමී ලෙස පිලිපැදීමේ සමාජ පසුබිමක් ද නිර්මාණය කරමින් අල්කුර්ආනයේ 109 පරිච්චේදයට අනුකූලව සාමකාමී පාලනයක් ස්ථාපනය කිරීම එවකට සමාජයේ පැවති ආගමික සහජීවනය හා සමඟිය හොඳින්ක පිළිඹිබු කරයි. එසේනම් මෙහි විමසා බැලිය යුතු එකම පැනය වන්නේ මේ සියල්ල තුල ආගමික බල කිරීම ඇත්තේ කොතැනද? යන්නයි. එහි විනිශ්චය ඔබට ම භාර කරමින් මෙම සටහනට අද විරාමය තබමි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/09/12

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම