වත්මන් ලෝකය තුල මුස්ලීම්වරුන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග අඩවිය ආරම්භ කිරීමේ මුඛ්‍ය අරමුණ “ශ්‍රී ලාංකීය මුස්ලීම් නොවන ප්‍රජාවට ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව දළ අවබෝධයක් ලබාදීම” යන්නයි. එම මෙහෙවර තුල හැකිතාක් සාධාර්ණ ලෙස කටයුතු කල ද එය සුන්දර වූ මෙහෙවරක් නොවීය. එසේම මෙය (මුස්ලීම් හා මුස්ලීම් නොවන) සියළු පාර්ශවයන් එකසේ තෘප්තිමත් කල මෙහෙවරක්ද නොවීය. සත්‍ය දහම වෙනුවෙන් පමණක් පෙනීසිටින යහමඟ එවැනි කාර්යයක් සදහා පෙනී නොසිටින බවද අවධාරණය කලයුතුය. එය යහමඟ තුල එදා පටන් මේ දක්වා පලකල ලිපි මෙන්ම එයට මුස්ලීම් මෙන්ම මුස්ලීම් නොවන ප්‍රජාව දැක්වූ විවේචනාත්මක විටෙක ආවේගාත්මක ප්‍රතිචාරයන් ද එය මනාව කියාපායි.

ශ්‍රී ලාංකීය මුස්ලීම් නොවන ප්‍රජාව ප්‍රධාන ඉලක්ක කරගෙන ඔවුන් හට ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව දළ අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කරගෙන මෙම යහමඟ අඩවිය ආරම්භ කල ද කාලයත් සමඟ එහි විෂය පථය ඉහත අරමුණුවලට පමණක් සිමා කල නොහැකි බව අවබෝධ විය. එනම් මුස්ලීම් නොවන සමාජයට ඉස්ලාම් දහම පිලිබදව පවසනවා පමණක් නොව මුස්ලීම් සමාජයේ සමහරක් ක්‍රියාකලාපයන් ද ඉස්ලාම් නොවන බව පෙන්වා දෙමින් “මුස්ලීම්වරුනේ ඉස්ලාම් වන්න” යන ආරාධනය කරන්නට යහමග ට සිදුවිය. ඒ අනුව මුස්ලීම් සමාජය ඉලක්ක කරගෙන ලිපි බොහෝමයක් මෙම අඩවිය තුල ඉදිරිපත් කරන්නට සිදුවූ අතර “මුස්ලීම්වරුනේ ඔබ යන්නේ කොයිබටද?” යන්න එවැනි එක් ලිපියකි.

මෙවැනි අභියෝගාත්මක මෙන්ම උණුසුම් මාතෘකාවන් සංවාදයට ගනිමින් ඔබ හමුවේ දිගහැරෙන යහමඟ මෙහෙවර සුන්දර ගමන් මඟක් නොවුවද එය කාලීන යන්න පාඨක ප්‍රතිචාර තුලින් මෙන්ම සමාජ සිද්ධින් තුලින් ඔබටම තහවුරු වනු ඇත. එනමුත් මෙම අඩවියේ මෙහෙවර නිසි ලෙස හදුනා නොගත් නිසා හෝ එසේත් නැත්නම් කිසියම් සීමිත පිරිසකගේ පටු අරමුණු සපුරාගැනීම සදහා හෝ අද සමහරක් පිරිස් මෙම අඩවිය “ජාතිවාදී” අඩවියක් ලෙසත්, “අන්තවාදී” අඩවියක් ලෙසත්, මුස්ලීම් සමාජය නියෝජනය කරන එසේත් නැත්නම් මුස්ලීම් සමාජයේ කිසියම් ආගමික කල්ලියක් නියෝජනය කරන අඩවියක් ලෙසත් අසත්‍ය ප්‍රචාරයන් මුස්ලීම් මෙන්ම මුස්ලීම් නොවන පිරිස් අතර සිදුකරමින් සිටී. මෙවැනි පිරිසට පිළිතුරු සැපයීම නිෂ්පල වෙහෙසකාරී කටයුත්තක් වුවද සත්භාවයෙන් ක්‍රියාකරන පිරිසක් මේ අතර සිටින නිසා ඔවුන් වෙනුවෙන් සරල පිලිතුරක් ලෙස “යහමග – ඉස්ලාම් දහම පමණක් නියෝජනය කරන අතර අන්කිසිදු පාර්ශවයක් නියෝජනය නොකරමි”යි යන්න පමණක් පවසා අද මාතෘකාව වෙත යොමු වෙමි.

අද වනවිට ජාත්‍යන්තරය තුල මෙන්ම ජාතිකතලයේත් විශේෂයෙන් අන්තර්ජාලය තුල නිතර කථාබහට ලක්වන මුස්ලීම් සමාජයට වැදගත් වූ උණුසුම් මාතෘකා කිහිපයක් ඇත. ඒ සදහා පදනම් කරගත් වීඩියෝ පට ද අන්තර්ජාලය තුල දක්නට ඇත. මේ සියළු විඩියෝ පට තුලින් මෙන්ම එයට එරෙහිව මතවාද ගොඩනඟන පිරිස් මතු කරන්නට උත්සාහ කරන්නේ එකම කාරණය නිසා ඒ සියල්ල සාරාංශ කොට සාකච්චා කිරීමට අදහස් කරමි. ඒ “වර්ථමාන ලොව තුල මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපය” යන මැයෙනි.

මෑතකදී පැතිරී ගිය වීඩියෝ දර්ශනයක රූප රාමුවක්

මෑතකදී පැතිරී ගිය වීඩියෝ දර්ශනයක රූප රාමුවක්

මෙහි ඉහතින් දැක්වෙන්නේ පසුගිය දිනවල ජාත්‍යන්තරය තුල උණුසුම් මාතෘතාවක් වූ වීඩියෝ දර්ශන දෙකක රූපරාමු දෙකකි. මෙය යහමග නෙත ගැටුනු හා යහමග වෙත පාඨක ඔබ යොමු කල වීඩියෝ දර්ශන පමණක් වන අතර “මෙවැනි සිදුවීම් ලොවපුරා වාර්තා වුයේ එසේත් නැත්නම් වාර්තා වන්නේ මෙපමණයි” යනුවෙන් කිසිදු විටෙක යහමඟ පවසන්නේ නැත. මෙවැනි සිදුවීම් මේ මොහොතේදීත් ලොව විවිධ ප්‍රදේශයන් හි සිදුවන්නට පුළුවන ඒවා ඊළඟ මොහොතේ youtube හරහා ලෝකය පුරා ව්‍යාප්ත වන්නටත් පුළුවන. එම රූපරාමු පදනම් කරගෙන විවිධ වාදවිවාද සංවාද විවේචන සමාජය තුල ගොඩනැඟෙන්නට ද පුළුවන. ඒ අනුව ඉහත සිදුවීමන් 02 ද “තවත් සිදුවීම් කිහිපයක් පමණි” යනුවෙන් සලකා සියල්ල අමතක කර දැමිය හැක. නමුත් එලෙස මුස්ලීම්වරයෙකු හට කල නොහැකි අංගයක් එම වීඩියෝ දර්ශනය තුල අන්තර්ගතව ඇත. ඒ එම වීඩියෝ දර්ශනයන්ට ඉස්ලාමීය මුහුණුවරක් ලබාදී තිබීමය. ඒ හිස්වැස්මත් පැලදගත් පුද්ගලයන් එම රූපරාමු තුල පෙනීසිටීම තුලින් හෝ යටිරැවුල වවාගත් පිරිමීන් එහි පෙනීසිටීම තුලින් නොව එම දර්ශනයන් තුල නිරන්තරයෙන් “අල්ලාහු අක්බර්… අල්ලාහු අක්බර්…” යනුවෙන් හඬනැඟීම තුලිනි.

මුස්ලීම් සමාජයේ නිතර භාවිතා වන වචනයක් නම් මේ “අල්ලාහු අක්බර්” යන්නයි. මුස්ලීම් නොවන බොහෝ පිරිසකට කුතුහලය ගෙන දෙන කාරණයක් බව පසුගිය දිනක එක්තරා මුස්ලීම් නොවන සහෝදරයෙකුගේ අදහස් දැක්වීම් තුලින් අවබෝධ විය. (මෙවැනි ලිපියක් ඉදිරිපත් කිරීමට එය ද එක් හේතුවකි) එසේනම් මුස්ලීම්වරුන් මෙලෙස “අල්ලාහු අක්බර්” යයි පවසන්නේ ඇයිද? එහි අරුථ කුමක්ද? යන්න කෙටියෙන් දැන් විමසා බලමු. මුස්ලිම්වරුන් කිසියම් ජයග්‍රහණයක් ප්‍රකාශ කිරීම සදහා අනිකුත් සමාජය මෙන්ම අත්පොලසන්දීමක් සිදු නොකරන අතර ඒ වෙනුවට “අල්ලාහ් අක්බර්” යන යෙදුම භාවිතා කිරීම ඔබ සමහර විට දැක ඇතැයි සිතමි. අත්පොලසන් දී සතුට ප්‍රකාශ කිරීම ඉස්ලාම් පෙන්වා නොදෙන ආදර්ශයක් වන අතර ඉස්ලාමීය ආදර්ශය වන්නේ “අල්ලාහු අක්බර්” යයි පැවසීමයි. මෙය සාමාන්‍ය ඉස්ලාමීය පාසැල් මට්ටමේ දැනුම මිනුම හා ක්‍රිඩා තරගවලදී පවා දක්නට තිබෙන සුලබ දසුනකි. ඒ අනුව කෙනෙකු තම ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට මෙම යෙදුම භාවිතා කරනවා යන්න පලමුව අවබෝධකර ගතයුතුය. දෙවනුව මෙහි අරුථ කුමක්ද? යන්න විමසා බැලුවේ නම්, එය “අල්ලාහ් (දෙවියන්) අතිශ්‍රේෂ්ඨය” (God is Great) යන්නයි. ඒ අනුව මෙම “අල්ලාහු අක්බර්” යන යෙදුම ඉහත අවස්ථාවන් හි භාවිතා කිරීම තුලින් එම පිරිස් කියාපාන ප්‍රධාන කාරණා දෙකක් ඇත. එනම්,

  • තමන් ලද ජයග්‍රහණය කියාපෑම.
  • ඉස්ලාමීය සමජය ලද ජයග්‍රහණයක් බව කියාපෑම

මෙහි පලමු කාරණය පිලිබදව මුලින්ම අවධානය යොමු කලේනම්, කිසියම් පාර්ශවයකගේ ජයග්‍රහණය යන්න සාපේක්ෂ කාරණයකි. උදාහර්ණයකට ලිබියානු හිටපු ජනාධිපති ඝාතනය ඔහුට පක්ෂ පිරිසකගේ පරාජයක් වන අතර ඔහු ඝාතනය කල කැරලිකාර කණ්ඩායමේ ජයග්‍රහණයකි. ඒ අනුව “අල්ලාහු අක්බර්” යන්න පැවසූ පමණින් සැබෑ ජයග්‍රහකයන් ඔවුන් යන්න තීරණය කිරීම කිසිසේත් ප්‍රායෝගික කාරණයක් නොවන බව ඔබට දැන් පැහැදිලි ඇතැයි සිතමි. එසේම මෙවැනි අවස්ථාවන් හි කුමණ පාර්ශවය ජය ලැබුවද කුමණ පාර්ශවය පරාජය ලැබුවද යන්න ලෝකවාසී මුස්ලීම්වරුන්ට එතරම් වැදගත් කාරණයක් ද නොවේ. ඉහත උදාහර්ණය පදනම් කරගෙනම පවසනවා නම් ලිබියානු හිටපු ජනාධිපති ඝාතනය වීම හෝ ඝාතනය නොවීම ලෝකවාසී මුස්ලීම්වරුන්ට හෝ ඉස්ලාම් දහමට වැදගත් කාරණයක් නොවේ. එම සිදුවීම සම්බන්ධයෙන් විවිධ වූ දේශපාලන විග්‍රහයන් සමාජය තුල පැවතිය හැක. නමුත් එම සිදුවීම තුලින් ඉස්ලාමීය ජයග්‍රහණයක් හෝ පරාජයක් පිලිඹිබු නොවේ.

දෙවන කාරණය සැලකූවිට එනම්, මෙවැනි සිද්ධීන් තුල “අල්ලාහු අක්බර්” යන්න පැවසීම තුලින් කිසිවකු එය ඉස්ලාම් දහමේ ජයග්‍රහණයක් යන්න පිලිඹිබු කරන්නට උත්සාහ කරන්නේ නම් ඒ පිලිබදව මුස්ලිම් සමාජය අවධියෙන් හා අවබෝධයෙන් සිටිය යුතුය. එම කාරණය ඉහත රූපරාමු 02 පදනම් කරගෙන අවධානය යොමු කලේනම්, ඉහත රූපරාමුවලට අදාල වීඩියෝ දර්ශනය ඔබ නැරඹුවේ නම් එහිදී ඔබට පැහැදිලිවම පෙනෙන මීට පෙර ද යහමඟ අවධාරණය කල කාරණයක් ඇත. එනම්, “ඝාතනය වන්නේත් ඝාතනය කරන්නේත් මුස්ලීම්වරුන්” යන්නයි. (මේ පිලිබදව මුස්ලීම්වරුන්ට එරෙහිව යුධ චෝදනා – ලොව වටා විමසුමක් යන ලිපියෙන් ද සාකච්චා කොට ඇත) මේ ආකාරයේ වූ මිනිස් ඝාතන ඉස්ලාම් කිසිදු විටෙක අනුමත නොකරන පසුබිමක මුස්ලීම්වරුන් විසින් මුස්ලීම්වරුන්ට එරෙහිව සිදුකරන ක්‍රියාවන් (ඝාතනයන්) තුල මෙලෙස “අල්ලාහු අක්බර්” යයි පැවසීම තුල මුස්ලීම් සමාජයේ ආගමික අනවබෝධය මනාව පිළිඹිබු කරනවා නොවේද?. එය වඩාත් හොදින් වටහා ගැනීම සදහා මෙවැනි අවස්ථාවන් පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්න කෙටියෙන් විමසා බැලුවේ නම් ඔබට හොදින් අවබෝධ වනු ඇත.

අද ලොව බොහෝ රටවල විශේෂයෙන් ඉරාකය, ලිබියාව, කාශ්මීරය, පාකිස්ථානය, අෆ්ගනිස්ථානය … වැනි රටවල පවතින යුද්ධය පදනම් කරගෙන මුස්ලීම්වරුන් ත්‍රස්ථවාදීන් යන්නත් ඔවුන් අන්‍ය ආගමික පිරිසට තර්ජනයක් යන්න හුවාදැක්වීමට සමහරක් පිරිස් උත්සාහ කලද අද පවතින බොහෝමයක් ගැටුම් මුස්ලීම්වරුන් අතරම බව පැහැදිලි ලෙස වටහාගත යුතුය. එය ඉහත සදහන් මුස්ලීම්වරුන්ට එරෙහිව යුධ චෝදනා – ලොව වටා විමසුමක් යන ලිපිය තුලින් ද ඔබට අවබෝධ වියයුතුය. ඒ අනුව “අල්ලාහු අක්බර්” කියා ඝාතනයක් සිදුකල පමණින් එයට ඉස්ලාමීය අවසරය හෝ ආශිර්වාදය හිමි නොවන බවත්, ඉස්ලාමීය මහා පාපයන් 03 අතුරින් මනුෂ්‍ය ඝාතනය යන මහා පාපයෙන් මිදිය නොහැකි යන්නත් පැහැදිලි ලෙස වටහා ගතයුතුය. එය පහසුවෙන් වටහා ගැනීම සදහා පහත “හදීසයන්” (නබිවදන්) ඔබට පිටුවහලක් වනු ඇත. එනම්,

“මික්දාද් ඉබුනු අස්වද් (රලි) තුමාණන් මුහම්මද් (සල්) තුමාණන් හමුවේ මෙසේ විමසයි. ‘එක් කාෆිර්වරයෙකු (ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කල තැනැත්තෙකු) මා සමඟ සටන් කොට මාගේ අතක් කපාදමයි. ඉන්පසුව ගසකට මුවා වී සිටගෙන ‘මා අල්ලාහ් (දෙවියන්)ට අවනත වුයෙමි’ යයි පවසයි. එසේ ඔහු පැවසූ පසු ඔහුව ඝාතනය කලහැකිද?’ යනුවෙන් මික්දාද් ඉබුනු අස්වද් වන මා මුහම්මද් (සල්) තුමාණන්ගෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔහුව ඝාතනය නොකලයුතුය’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘යාරසූල්අල්ලාහ් (අල්ලාහ්ගේ දූතයාණනි)!, ඔහු මගේ අත කපාදැම්මා ඉන්පසුවයි ඔහු එලෙස පැවසුවේ එමනිසා ඔහුව ඝාතනය කලහැකිද?’ යනුවෙන් නැවත විමසුවෙමි. එයට නබිතුමාණන් ‘මරණ්න එපා!, ඔබ එලෙස ඔහු ඝාතනය කලේනම් ඔහු එලෙස පැවසීමට පෙර සිටී තත්වයට ඔබත්, ඔබ ඔහු ඝාතනය කිරීමට පෙර සිටී තත්වයට ඔහුත් පත්වනු ඇත.’ යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

තවත් හදීසයක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,

“එක්තරා යුද්ධයක දී ‘කලිමාව’ (අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැත. මුහම්මද් (සල්) තුමාණන් ඔහුගේ අවසාන දූතයා යයි) පැවසූ කෙනෙකු උසාමා (රලි) තුමාණන් විසින් මරාදමන ලදී. එය ආරංචි වූ මුහම්මද් (සල්) තුමාණන් ‘ඇයි ඔබ එසේ කලේ’ යනුවෙන් උසාමා (රලි)ගෙන් විමසන ලදී. එයට උසාමා (රලි) තුමා ‘යාරසූල්අල්ලාහ් !, ඔහු එම යුද්ධයේදී මේ මේ අය (යනුවෙන් නම් පවසා ඔවුන්) ඝාතනය කලා එම නිසා තමා මා ඔහුට පහරදෙන්නට ඉදිරිපත් වුණේ, ඔහු මාගේ කඩුව දැකීමෙන් අනතුරුව බියට පත්ව තමා කලිමාව පැවසුවේ’ යනුවෙන් පවසන ලදී. එයට නබිතුමාණන් ‘නුඹ ඔහුගේ හඳවත ඉරා බැලුවේද?’ යනුවෙන් කොපයෙන් විමසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත හදීසයන් දෙක හොදින් විමසා බැලුවේ නම්, මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් ඉස්ලාම් කොතරම් සැලකිලීමත් වෙනවාද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එසේ නම් අද මුස්ලීම්වරුන් යයි පවසා ගන්නා සමහරක් පිරිස් රටේ නීතිය පමණක් නොව ආගමික තීන්දුව ද තමන්ගේ අවශ්‍යතාවය අනුව සකසා ගෙන සිදුකරමින් සිටින්නේ ඉස්ලාම් අනුමත කාරණයක් නොවන බව ඔබට පැහැදිලි වියයුතුය. යුධ පිටියක වුවද (මුස්ලීම්වරුන් විනාශ කිරීමේ අරමුණින් පැමිණි) කිසිවකු බොරුවට හෝ ඉස්ලාම් දහම වැලදගන්නා බව පවසන්නේ නම් ඔහු ඝාතනය කිරීමට ඉස්ලාම් දහම තුල අවසරයක් නොමැති බව ඉහත “හදීසය” තුලින් පැහැදිලිය. එසේ තිබිය දී සීමිත පිරිසක් තම දේශපාලන අරඟල සදහා ඉස්ලාම් ආගමික මුහුණුවරක් ලබාදෙමින් එකින් එකා මරා ගැනීම ඉස්ලාම් දහම හෝ සමස්ථ මුස්ලීම් සමාජය වගකිවයුතු කාරණයක් නොවන බව ඔබට දැන් අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත.

මා මෙසේ කරුණූ ඉදිරිපත් කරන විට “ඉස්ලාම් මිනිස් ඝාතනය අවධාරණය කරනවා නොවේද?” යන කුතුහලය කිසිවකුට ඇතිවිය හැක. ඉස්ලාම් මිනිස් ඝාතනය සදහා කොන්දේසි සහිතව අවසර ලබාදී ඇති බව සැබෑවකි. එය පාලකයෙකු විසින් රටේ ජනතාවගේ ආරක්ෂාව සදහා ක්‍රියාත්මක කරන නීති මාලාවක් මිස පුද්ගල වාසී මත පදනම් වූ ක්‍රියාවලියක් නොවේ. උදාහර්ණයකට සෞදිඅරාබිය වැනි රටවල මරණ දඬුවම් ක්‍රියාත්මක වෙනවා ඔබ දන්වා ඇත. සෞදිඅරාබිය 100% ක් ඉස්ලාමීය රටක් නොවුවත් එහි තරමක් දුරකට හෝ ඉස්ලාමීය නීති ක්‍රියාත්මකව පවතී. ඉස්ලාමීය නීතිය අනුව මරණ දඬුවම අනුමත අංගයක් වන අතර ඒ අනුව එම රටවල මරණ දඬුවම ක්‍රියාත්මක වේ. මෙහිදී සදහන් කලයුතු කාරණයක් නම් සෞදිඅරාබිය ඉස්ලාමීය රටක් වුවද එම රටේ පුරවැසියන් හට නීතිය තම අතට ගෙන දඬුවම් ක්‍රියාත්මක කිරීමට එම රට තුල මෙන්ම ඉස්ලාම් දහම තුල ද කිසිදු අවසරයක් නැත. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව රටේ නීතිය ක්‍රියාත්මක කලයුත්තේ පාලකයා විසින් යන්න ඉස්ලාමීය මූලික හා මුඛ්‍ය ඉගෙන්වීමයි. (මේ විෂය පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුල කිහිප අවස්ථාවක සාකච්චා කොට ඇත)

ඒ අනුව කිසිවකු “මුහම්මද්”, “ෆාතිමා” හෝ “ආයිෂා” යන නම් දැරූ පමණින් ඔවුන් කරන සියල්ල ඉස්ලාම් නොවන බව වටහාගත යුතුය. එසේම බාහිර ස්වරූපයෙන් මුස්ලීම්වරුන් වූ පමණින් ඔවුන් කරන සියල්ල ද ඉස්ලාම් නොවේ. අවාසනාවන්ත තත්වය නම් ලොව අනිකුත් සමාජයන් මෙන්ම සමස්ථ මුස්ලීම්වරුන් ද ඉස්ලාම් දහමේ ආදර්ශයන් නොවේ. මෙය ශුද්ධ වූ කුර්ආනය පවා 2:8 වාක්‍යය මඟින් මෙසේ අවධාරණය කරයි.

“තවද මිනිසුන් අතුරින් ‘අප අල්ලාහ් (දෙවියන්) කෙරෙහි ද අවසාන (විනිශ්චය) දිනය කෙරෙහි ද විශ්වාස කර ඇත්තෙමු’ යනුවෙන් පවසන පිරිසද ඇත්තේය. එනමුත් (සත්‍ය වශයෙන්ම) ඔවුන් විශ්වාස කල පිරිස් නොවේ.”

ඉහත වාක්‍යයෙන් අල්ලාහ් (දෙවියන්) පවසන්නේ “අප මුස්ලීම්වරුන්” යයි පවසා ගන්නා පිරිස් සම්බන්ධයෙන් බව ඔබට අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එසේනම් මුස්ලීම්වරුන් යයි පවසා ගන්නා පිරිස් කරන කියන සියල්ල ඉස්ලාම් යයි පැවසීමත්, එම කරුණූ පදනම් කරගෙන මුස්ලීම් සමාජය නොව ඉස්ලාම් දහම විවේචනය කිරීමත් කොතරම් මහත් අනවබෝධයක්ද? යන්න ඔබට පැහැදිලි වියයුතුය. දිව්‍යමය මඟපෙන්වීමක් මත ගොඩනැඟුණූ පරිපූර්ණ ජීවන සැලැස්මක් වූ ඉස්ලාම් දහම අභියෝගයට ලක්කරන ආකාරයට ක්‍රියාකරන සමහරක් මුස්ලීම්වරුන් නිසා සමස්ථ මුස්ලීම් සමාජයත් ඉස්ලාම් දහමත් ඉතා පහත් අන්දමින් හා නින්දිත ආකාරයට විවේචනයන්ට හා අපහසයන්ට ලක්වීම මුස්ලීම්වරුන් වන අපට අළුත් කාරණයක් නොවේ. මෙලෙස දිව්‍යමය ආදර්ශයන් පසෙක දමා ස්වමත දහම තුල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ශුද්ධ වූ කුර්ආනය 33:6 වාක්‍ය මඟින් මෙසේ අවවාද නඟයි.

“අල්ලාහ් (දෙවියන්) හා ඔහුගේ දූතයා (වූ මුහම්මද් (සල්) තුමා) කිසියම් කාරණයක් සම්බන්ධයෙන් තීන්දු කල පසු එම කාර්‍යයෙහි වෙනත් අදහස් දරණ්නට (හෝ ක්‍රියාවට නැංවීමට) ‘ඊමාන්’ කොට ඇති (සැබෑ විශ්වාසවන්ත) කිසිදු පිරිමියෙකුට හෝ කාන්තාවකට අවසර නැත. (එම කාරණය සම්බන්ධයෙන්) අල්ලාහ් (දෙවියන්)ටත් ඔහුගේ රසූල්වරයාටත් කිසිවකු එරෙහි වන්නේ නම් නියත වශයෙන්ම ඔවුන් ප්‍රසිද්ධ දුර්මාර්ග (නොමඟ)යේ සිටින්නේය.”

ඉහත කරුණු හොදින් විමසා බැලුවේ නම් වර්ථමාන මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපයන් කොතරම් දුරකට ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුකූලද යන්න ඔබට පහසුවෙන් වටහාගත හැක. කෙසේ නමුත් අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මුස්ලීම් සමාජය ඉස්ලාම් නමින් කුමණ ක්‍රියාවක නිරත වුවත් එය “ජිහාද්”, “ශුද්ධ වූ සටන”, ධර්ම රාජ්‍ය… යනාදී කුමණ තේමාපාඨ දැරුවත් එම ක්‍රියාවන් සියල්ල ඉස්ලාමීය ඉගෙන්වීමන්ට පරස්පර වන්නේ නම් එය ඉස්ලාම් විරෝධී මහා පාපයක් යන්න වටහා ගතයුතු යන්නයි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම