බාබර් පල්ලිය රාම් මන්දිර් වූ අමිහිරි ඉතිහාසය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මනුෂ්‍යත්වය, මානව හිතවාදය, ආදරය, ගෞරවය, සාධාර්ණය... මේවා මිනිස් සමාජය තුල නිතර ඇසෙන සුන්දර වදන් පෙලකි. මේවා වචනයන්ට පමණක් සීමා නොවී මානව හිමිකම් සංවිධාන, මානුසත් ව්‍යාපාර, සාධාර්ණ සමාජයක් සදහා වූ ව්‍යාපාර... යනාදී වශයෙන් විවිධ වූ ආයතන හා සංවිධාන ද ඒ ඒ අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වීම ද මානව සමාජය තුල අඩුවක් නැතුව දක්නට ඇත. නමුත් නූතන මානවයාගේ ක්‍රියාකලාපයන් තරමක් ගැඹුරින් විශ්ලේෂණය කලේනම්, මේ සමාජය තුල විරලම අංගය මනුෂ්‍යත්වය, ආදරය, මානව හිතවාදය, ගෞරවය, සාධාර්ණය... යන්න පැහැදිලිව දක්නට ලැබේ. මනුෂ්‍යත්වය හා මානව අයිතීන් පිලිබදව මහා උජාරුවෙන් කථා කරන සංවිධාන හා ලෝක බලවතුන් බලා සිටිය දී ත්‍රස්ථ රාජ්‍යයක් වන ඊශ්‍රායලය විසින් පලස්තීන භූමිය තුල එම ජනයා සමූල ඝාතනය කිරීම මෙයට සමීපතම නිදසුනක් ලෙස මෙහි සදහන් කලහැක. එසේම එවැනි විනාශයන් බලා කාලකණ්නි සතුටක් වින්දනයක් ලබන නරුම ජනතාවකුත් අන්තර්ජාලය තුල අප නිතර දකින්නෙමු. (මේ පිලිබදව යහමග අඩවිය තුල මේ ලෝකයා මෙතරම් ටොක්සික්ද? යන ලිපියෙන් ද කරුණු සාකච්චා කොට ඇත.) මෙවැනි “ටොක්සික්“ ජනතාව ද කියාපාන්නේ මේ වත්මන් සමාජ පරිහානිය නොවේද?.

මේ ආකාරයට ම වත්මන් සමාජ අරාජිකත්වය හා පරිහානිය කියාපාන තවත් අවස්ථාවක් ලෙස ඉන්දියාවේ අයෝති (හෙවත් අයෝධ්‍යා) හි “බාබර්“ නම් පල්ලියක් කඩා බිඳ එම ස්ථානයේ අතිබහුතර හින්දු ජනතාවගේ ආශිර්වාදය මධ්‍යයේ “රාම්“ කොවිලක් ඉදි කිරීම සහ එය ලෝක බලවතුන් සහ මානවහිතවාදය හා සාධාර්ණය වෙනුවෙන් පෙනී සිටින ආයතන හා සංවිධානවල නිහඩ ආශිර්වවාදය මධ්‍යයේ විවෘත වීම මෙහි සදහන් කලහැක. සියවස් ගණනාවක් මුළුල්ලේ ඇස් ඉදිරියේ පැවතී පැහැදිලි ඉතිහාසය හිතාමතා විනාශ කොට කිසිදු පුරාවිද්‍යාත්මක හෝ පැහැදිලි ඉතිහාසගත සාක්ෂියක් නොමැති මනක්කල්පිතයක් වූ “රාම්“ දෙවි උපන් ස්ථානය බාබර් පල්ලිය පිහිටි ස්ථානය බවට වූ පුරාවෘත්තයක්, වාදයක් පදනම් කරගෙන එහි පැවති මුස්ලීම් පල්ලියක් කඩා ඉවත් කොට එහි “රාම්“ කෝවිලක් ඉදි කරමින් කරන ලද මහා දවල් මංකොල්ලය මේ සමාජය තුල මනුෂ්‍යත්වය, මානව හිතවාදය, ආදරය, ගෞරවය, සාධාර්ණය... ගිලිහෙමින් තිබෙනවා යන්නට තවත් සාක්ෂියකි. මෝගල් අධිරාජ්‍යයා නමින් 1528 දී ඉදි වූ ඉන්දියාවේ “බාබර්“ මුස්ලීම් පල්ලිය අද 2024 දී “රාම්“ මන්දිරය ලෙස පරිවර්ථනය වූ සියවස් පහක කටුක හා අමිහිරි ඉතිහාසය සහ එහි මනාව අයිතීන් අමු අමුවේ උල්ලංගනය වූ ආකාරය මෙම ලිපිය තුලින් මෙතැන් සිට පියවරින් පියවර විමසා බලන්නට අදහස් කරමි.

බාබර් පල්ලිය ඉදි වූ ඉතිහාසය හා එහි පිලිබදව මූලික හැදින්වීම

මෝගල් අධිරාජ්‍යය දකුණු ආසියාවේ මුල් නූතන අධිරාජ්‍යයක් ද විය. මෙය බටහිරින් ඉන්දු ගංගා ද්‍රෝණියේ පිටත මායිම්වල සිට වයඹ දෙසින් උතුරු ඇෆ්ගනිස්ථානය සහ උතුරින් කාශ්මීරය, නැගෙනහිරින් වර්තමාන ඇසෑම් සහ බංග්ලාදේශ දක්වා ද, දකුණු ඉන්දියාවේ ඩෙකෑන් සානුව දක්වා ද විහිදුන් අධිරාජ්‍යයක් විය. 1526 දී ඉන්දියාව ආක්‍රමණය කල මෝගල් අධිරාජ්‍යය එහි අධිරාජ්‍යයා නමින් ඉන්දියාවේ අයෝති (හෙවත් අයෝධ්‍යා) හි 1528 දී අක්කර 2.7 ක භූමි බාගයක “බාබර් මස්ජිදය“ නම් පල්ලියක් ඉදි කරන ලදී. පසුව 1853 දී හින්දු ආගම් මතවාදී පිරිසක් විසින් “බාබර්“ පල්ලිය පිහිටී භූමිය “රාම්“ දෙවි ජන්ම ස්ථානය බවට වාදයක් ඉදිරිපත් කරමින් අර්බුදයක් නිර්මාණය කල අතර එය කලයත් සමඟ විවිධ අරඟල සහ ආගම්වාදී ගැටුමන්ට මූලික විය. වසර 170 ක් පුරාවට පැවති මෙම අර්බුදය හේතුවෙන් දහස් ගණනක ජීවිත පවා අහිමි වූ අතර එම මුස්ලීම් හින්දු ආගම්වාදී ගැටුම ඉන්දියාවට පමණක් සීමා නොවී පකිස්ථානය සහ බංගාලිදේශය වැනි රටවල්ට පවා ව්‍යාප්ත විය. අවසානයේ ජීවිත හා දේපල විශාල ප්‍රමාණයක් බිලි අරගෙන “බාබර් පල්ලිය“ කඩා බිඳ විනාශ කොට එම ස්ථානයේ අද “රාම් මන්දිර“ නමින් හින්දු කෝවිලක් ඉදි කොට (2024/01/22 දින) එය විවෘත වී ඇත. මෙලෙස ඉදි වූ “රාම් මන්දිරයේ“ ඉතිහාසය සහ එම ඉතිහාසය තුල සිදුවූ විශේෂ සිදුවීම් මොනවාද? යන්න වත්මන් සමාජයට පැහැදිලි කිරීමත්, එම අයෝධ්‍යා භූමිය තුල හිතමාතා වළලන්නට හදන සත්‍ය ඉතිහාසය සංරක්ෂණය කිරීමත් මූලික අරමුණු කොට මෙම ““බාබර් පල්ලිය රාම් මන්දිර් වූ ඉතිහාසයය“ මෙතැන් සිට විමසා බැලීම ආරම්භ කරමි.

1526 දී “බාබර්“ ඉන්දියාව ආක්‍රමණය කිරීම

“බාබර්“ යනු මෝගල් අධිරාජ්‍යයේ නිර්මාතෘවරයාය. ඔහු (තම පිය පාර්ශවයෙන්) “තිමූර්“ සහ (තම මව් පාර්ශවයෙන්) “ජෙන්ගිස් ඛාන්“ පරම්පරාවෙන් පැවත එන්නෙකි. ඔහුගේ සැබෑ නම “සහිරුදීන් මුහම්මද්“ යන්නයි. 1494 වර්ෂයේ වයස අවුරුදු 11 දී බාබර් ඔහුගේ පියා වූ “උමාර් ෂෙයික් මිර්සාගෙන්“ පසු “ෆර්ගානා (වර්තමානයේ තුර්කිස්ථානයේ)“ හි පාලකයා බවට පත් විය. එවකට ඉන්දියාවේ පාලක “ඊබ්‍රහිම් ලෝඩි“ සමඟ “පන්ජාබ්“ හි බලවත්ම වංශාධිපති “දවුලත් ඛාන්“ අතෘප්තිමත්ව සිටී නිසා ඉන්දියාව ආක්‍රමණය කරන ලෙස “බාබර්ට “දවුලත් ඛාන්“ ආරාධනා කළේය. ඒ අනුව “බාබර්“ විසින් 1526 අප්‍රේල් 21 වන දින “ඊබ්‍රහිම් ලෝඩි“ පරාජය කොට ඉන්දියාව ආක්‍රමණය කොට මෝගල් පාලනය එහි පිහිටු වූයේය.

1528 දී “බාබර්“ පල්ලිය ඉදිකිරීම

ඉන්දියාව මෝගල් ආක්‍රමණයෙන් පසු 1528 දී මෝගල් ජෙනරාල් “මීර් බන්කි“ විසින් මෝගල් අධිරාජ්‍යයා වූ බාබර් නමින් විශාල මුස්ලිම් පල්ලියක් අයෝති හි ඉදි කරන ලද අතර එය “බාබර් මස්ජිද්“ යනුවෙන් නම් කලේය. එම පල්ලිය ඉදි කිරීමේ දී එහි පැවතී වෙනයම් පූජනීය ගොඩනැඟිල්ලක් හෝ වෙනත් කවර ආකාරයක ගොඩනැඟිල්ලක් හෝ තිබී ඒවා ඉවත් කොට බාබර් පල්ලිය ඉදි කල බවට කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක්, ඉතිහාස ගත සාක්යේෂියක් හෝ සමාජ මතවාදයක් 1853 දක්වා ම ඉන්දීය සමාජය තුල නොතිබුණි.

බාබර් පල්ලිය රාම් කෝවිල බවට පරිවර්ථනය වූ ඉතිහාසය

1853 දී “රාම්“ කෝවිල පිලිබදව මතවාදය

අයෝති හි ඉදි කොට ඇති බාබර් පල්ලිය “රාම්“ ජන්ම භූමිය බවත්, එහි කොවිලක් තිබූ බවත්, එය කඩා ඉවත් කොට “බාබර් පල්ලිය ඉදි කල බවත්, පවසමින් නූතන වාදයක් හින්දු සමාජයේ සමහරක් විසින් සමාජගත කරන ලදී. මෙම නූතන වාදය සමාජය තුල උත්සන්න වෙමින් සමාජය තුල අර්බුදයන් නිර්මාණය වනවා දුටූ ආණ්ඩුව මේ පිලිබදව ඉන්දීය අධිකරණයෙන් කරුණු විමසු අතර අධිකරණය විසින් එම විෂය පිලිබදව කරුණු දක්වන ලෙස ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය (ASI - (Archaeological Survey of India)) වෙත නියෝග කලේය. ඒ අනුව ASI අධිකරණයට දැනුම් දුන්නේ “රාම්“ යන්න මනක්කල්පිත චරිතයක් බවත් ඔවුන් පවසන වාදයට කිසිදු පදනමක් නොමැති බවත්ය.

මේ අනුව “රාම් ජන්ම භූමි“ යන වාදය මනක්කල්පිතයක් යන්න ඉන්දීය උසාවිය හමුවේ ඉදිරිපත් වූ සාක්ෂියක් යන්න මෙහි නැවත අවදාරණය කරන අතර එම සාක්ෂිය අදටත් අධිකරණය හමුවේ වලංගු සාක්ෂියක් වේ. එය වෙනස් කිරීම සාක්ෂි විකෘති කිරීමක් යන්නත් ඔබේ වැඩිදුර දැනුමට මෙහි සටහන් කරමි.

1859 දී ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ ද මෙම ගැටුම ඇවුලුනි

අයෝති හි බාබර් පල්ලිය පිහිටි ස්ථානය සම්බන්ධයෙන් අධිකරණය සහ එවකට පැවති රජය කුමන තීන්දු ලබා දුන්නත්, ඒ සියල්ල හින්දු සමාජයේ අන්තවාදී සමහරක්ට බිහිරි අලීන්ට විනා වාදනයක් පමණක් විය. ඔවුන්ගේ පටු අරමුණු වෙනුවෙන් ඔවුන් අඛණ්ඩව කටයුතු කල අතර එහිදී එතෙක් මත ගැටුමන් ලෙස තිව්ර වෙමින් පැවතී තත්වය අවසානයේ මුස්ලීම් හින්දු ආගමික ගැටුමක් දක්වා වර්ධනය විය. මේ වනවිට ඉන්දියාවේ මෝගල් පාලනය අවසන් වී බ්‍රිතාන්‍ය පාලනය පැවතී අතර ඉහත තත්වය පාලනය කිරීම සදහා බ්‍රිතන්‍ය පාලනය විසින් පහත ආකාරයේ විසදුමක් දෙපාර්ශවයටම යෝජනා කරන ලදී. එනම්,

“පල්ලිය අභ්‍යන්තර කොටස මුස්ලීම් ජනයාගේ ආගමික කටයුතු සදහාත්, පල්ලියෙන් පිටත භූමිය හින්දු ජනයාගේ ආගමික කටයුතු සදහාත් යොදාගන්න ලෙසයි“ 

මෙසේ යෝජනා කිරීමෙන් නතර නොවූ බ්‍රිතාන්‍ය පාලනය මේ දෙපාර්ශවය වෙන් කරන වැටක් ද ඉදි කොට ඉහත අර්බුදය සමතයකට පත්කිරීමට හා පාලනය කිරීමට උත්සාහ කරන ලදි.

1885 දී බාබර් පල්ලිය පිටත භූමියේ කුඩා කොවිලක් ඉදි කිරීමට අවසර පැතීම

“රගූබිර් දාස්“ නැමැති හින්දු අන්තවාදී පූජකයෙකු විසින් බාබර් පල්ලිය පිටත භූමියේ කුඩා කොවිලක් ඉදි කොට එහි “රාම්“ පිළිමය තබා ආගමික කටයුතු කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා “ෆයිසාබාත්“ උසාවියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. නමුත් එම යෝජනාව උසාවිය විසින් ප්‍රතික්ෂේප කරමින් එය වලක්වන ලදී.

1949 දී ඉන්දියාව නිදහස ලැබීමත් සමඟ බබර් තත්වය උත්සන්න වී පල්ලියට මූද්‍රා තැබීම

බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතී ඉන්දියාව නිදහස් වීමත් සමඟ පකිස්ථානය ද ඉන්දියාවෙන් වෙන්ව ගියේය. ඒ සමඟ බාබර් පල්ලි අර්බුදය තව තවත් තීව්ර විය. එයට මූලික වූ සිදුවීම වුයේ හින්දු අන්තවාදී පිරිසක් විසින් හොර රහසේම බාබර් පල්ලිය තුල “රාම්“ පිළිමයක් තැන්පත් කොට එය පල්ලිය තුල ඉබේ පහල වූ බවට ප්‍රචාරයක් යැවීමය. මේ සමඟ දෙපාර්ශවය අතර අතර උග්‍ර ගැටුම් සිදුවූ අතර එය පාලනය කරගැනීමට නොහැකි තැන පල්ලියට සහ එම භූමියට ඇතුල් වීම අත්හිටුවා මූද්‍රා තැබුවේය.

1961 දී බාබර් පල්ලිය මුස්ලීම්වරුන්ගේ අයිතියක් බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලීම

එක් පසෙකින් පල්ලිය තුල “රාම්“ පිළිමයක් තැන්පත් කොට එය ඉබේ පහල වූවා යැයි අන්තවාදී හින්දු ආගමික සමහරක් සමාජයේ ප්‍රබල ප්‍රචාරයක නිරතව සිටින විට, තවත් පසෙකින් පල්ලිය සහ එහි භූමියට ඇතුල් නොවන ලෙස මූද්‍රා තබා ඇති තත්වයක පවතින විට සහ තවත් පසෙකින් මුස්ලීම් හින්දු ගැටුම උත්සන්න වී විශාල ප්‍රමාණයක ජීවිත හා දේපල හානි සිදුවෙමින් පවතින විට මෙම බාබර් පල්ලිය මුස්ලීම් ජනයාගේ අයිතියක් බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා එහි “වකුෆ්“ සභාව විසින් “ෆයිසාබාත්“ උසාවිය ඉදිරියේ පෙනී සිට නීතියේ සරණ පැතුවේය.

1984 දී බාබර් භූමියෙහි හින්දු කොවිලක් ඉදි කිරීම

බාබර් පල්ලිය පිහිටී භූමිය “රාම්“ ජන්ම භූමිය බවත්, එහි අතීතයේ කොවිලක් තිබූ බවත් “විශ්ව හින්දු“ නම් සංවිධානය ඉන්දියාව පුරා ප්‍රචාරයන් පවත්වමින් සහ ජන රැලි සංවිධානය කරමින් එහි නැවත කොවිලක් ඉදි කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමේ කටයුතුවල නිරත වූයේය.

 1986 දී බාබර් පල්ලි භූමියෙහි කෝවිලක් ආරම්භ කිරීම

අයෝති උසාවි තීන්දුවකට අනුව බාබර් පල්ලි භූමියෙහි හින්දු භක්තිකයන්ට කොවිලක් ඉදි කරගැනීමට අවසර ලබාදීමත් සමඟ බාබර් අර්බුදය තව තවත් නරක අතට හැරෙන්නට වූ අතර එතෙක් නීතියේ සරණ පැතූ මුස්ලීම් ජනයා ද බාබර් පල්ලිය මුදවා ගැනීම පිණිස කමිටුවක් පත්කිරීම කරන ලදී.

1989 දී බාබර් පල්ලිය ආසන්නයේම “රාම“ කොවිලක් ඉදි කිරීමට මුල්ගල් තැබීම

බාබර් පල්ලිය පිහිටී භූමියේ පල්ලිය ආසන්නයේම “රාම්“ කොවිලක් ඉදි කිරීමට හින්දු භක්තිකයන් විසින් මුල්ගල් තැබීම සිදුකල අතර එයට එරෙහිව මුස්ලීම්වරුන් මහා අධිකරණයේ නඩුවක් ගොනු කලේය. ඒ අනුව එම නඩුව “අලකාබාත්“ මහා අධිකරණයට මාරු කොට එහි විභාගයට ගැණුන.

1990 දී හින්දු අන්තවාදී කටයුතු රජයකටත් දරාගත නොහැකි තරම් විය

මෙතෙක් හින්දු සහ මුස්ලීම් ආගමික පාර්ශවයන් දෙකක් අතර පැවතී බාබර් අර්බුදය කෙමෙන් කෙමෙන් දේශපාලකයින්ගේ මාකෘතාවක් බවටත්, මැතිවර්ණ පොරොන්දු බවටත් පරිවර්ථනය වීමට පටන් ගත්තේය. ඒ අනුව භාරතීය ජනතා පක්ෂය (BJP) තම මැතිවරණ ව්‍යාපාරයේ අයෝධ්‍යා ගැටලුව (අයෝති ගැටුම) දේශපාලන වාසි සදහා යොදා ගත්තේය. එහිදි බා:ජා:කා: (BJP) පක්ෂයේ නායක “එල්. කේ. අද්වානි“ උසාවි නියෝගයන්ට එරෙහිව ගොස් බාබර් හි කොවිල ඉදි කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා රථ යාත්‍රාවන් පවත්වමින් අරඟල කරන ලද අතර ඒ හේතුව නිසා ඔහු අත්අඩංගුවට ද පත්විය. ඒ වනවිට BJP පක්ෂයේ සහය මත ආණ්ඩුව පවත්වාගෙන ගිය වී:පී සිං රජයට බා:ජා:කා: පක්ෂය ලබාදී තිබූ සහය ඉවත් කර ගැනීම නිසා එම රජය ද පරාජය අත්වින්දේය.

1992 දී බාබර් පල්ලිය කඩා බිඳ දැමීම

1992 දෙසැම්බර් මස මුල් සති‍යේ රට පුරා හින්දු බැතිමතුන් අයෝධ්‍යාවට ඒකරාශි විය. එසේ ඒකරාශි වූ පිරිස් 1992/12/06 දින බාබර් මස්ජිදය කඩා බිඳ දැමුවේය. එසේ කඩා බිඳ දැමීම විස්තර කරන “ලිබරන් කමිටු“ වාර්තාව පවසන්නේ

“අද්වානි, ජෝෂි සහ විජේ රාජේ සින්ඩියා, යන නායකයින් තම හින්දු ජනයාට බාබර් මුස්ලිම් පල්ලියේ මුදුනෙන් බැස එන ලෙස පැවසූවත් එය ඔවුන් කළේ හොඳ චේතනාවෙන්ද නැතිනම් මාධ්‍ය ඇස ගැටීමට පමණක්ද කියා නොදන්නා බවත්, ඔවුන් එහි රුස් වූ ජනයාට පල්ලිය තුලට ඇතුල් නොවන ලෙස හෝ ගොඩනැගිල්ල කඩා බිඳ නොදමන ලෙස හෝ නොපැවසූ බවත්, ඒ තුලින් ඔවුන් සත්‍යවාදී නොවන බව පෙනියන බවත්“ නිවේදනය කලේය. එසේම “එදා එහි නායකයින් සිතුවා නම් මුස්ලිම් පල්ලිය කඩා දැමීම ඉතා පහසුවෙන් වැළැක්විය හැකිව තිබූ බවත්“ ලිබරන් වාර්තාවේ සඳහන් විය

එසේම එදා බාබර් පල්ලිය කඩා දැමීම අහඹූවක් නොව පෙර සැලැස්මකට අනුව සිදු වූවක් යන්න ද පසුව අනාවර්ණය විය. එනම්, බුද්ධි කාර්යාංශයේ හිටපු ඒකාබද්ධ අධ්‍යක්ෂ මල්ලෝයි ක්‍රිෂ්ණා ධාර් විසින් 2005 දී ප්‍රකාශයට පත් කරන ලද පොතක, ඔහු කියා සිටින්නේ බාබර් මස්ජිද් කඩා බිඳ දැමීම භාරතීය ජනතා පක්ෂය (BJP), RSS සහ “විශ්ව හින්දු“ සංවිධානය විසින් මාස 10කට පෙර සැලසුම් කළ එකක් බවයි. එදා අගමැති බී. වී. ඔහු නරසිංහ රාඕ හැසිරවූ ආකාරය ද ප්‍රශ්න කරයි. BJP/Sankh Parivar සංවිධාන සම්බන්ධ රැස්වීමක් සංවිධානය කිරීම තමාට පැවරුණු බව ක්‍රිෂ්ණා ධාර් පවසයි. ඔවුන් ඉදිරි මාස කිහිපය තුළ බාබ්රි මස්ජිදයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බව සැකයකින් තොරව තහවුරු වූ බව ක්‍රිෂ්ණා ධර්ගේ පවසයි. එසේම "හින්දුත්ව රැල්ල එහි උච්චතම ස්ථානයට ගෙන ගොස් දේශපාලන වාසි ලබාගැනීමට" මුස්ලිම් පල්ලිය කඩා දැමීම කදිම අවස්ථාවක් බවට අවබෝධයක් තිබූ බව ක්‍රිෂ්ණා ධාර් තවදුරටත් පවසයි.

එය කෙසේ වෙතත් බාබර් පල්ලිය කඩා දැමීමත් සමඟ ඇති වූ හින්දු මුස්ලීම් ගැටුම් හේතුවෙන් 2000 කටත් වඩා අධික ජීවිත ප්‍රමාණයක් අහිමි වූ බවත් මෙහි විශේෂයෙන් සටහන් කලයුතු කාරණයකි.

1992 දී විෂ්ණු හරි සෙල්ලිපිය මතුවීම

1992 දෙසැම්බර් මාස 06 වන දින බාබර් පල්ලිය කඩා බිඳ දමන අතර එම මාසයේම බාබර් පල්ලි නටඹූන් අතරින් සෙල්ලිපියක් හමුවේ. ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය (ASI - (Archaeological Survey of India)) විසින් කැණීම් කරන විට හමු වූ එම ‍සෙල්ලිපිය “විෂ්ණු හරි“ ලිපිය ( විෂ්ණු හරි ශිලා ලිපිය / හරි -විෂ්ණු සෙල්ලිපිය ) ලෙස හදුන්වයි. මෙම සෙල්ලිපිය සංස්කෘත භාෂාවෙන් නාගරි අක්ෂර වලින් ලියා ඇත. මෙම සෙල්ලිපිය 12 වන සියවසේ අයෝධ්‍යාව පාලනය කළ අනයචන්ද්‍ර රාජවංශයේ රජු වූ ගෝවින්දචන්ද්‍ර විසින් ආරම්භ කරන ලද විහාරයක් ගැන එහි කියැවෙන බව සදහන් වන අතර මෙම සෙල්ලිපිය අසම්පූර්ණ සෙල්ලිපියක් වන බවත් එහි ඉතිරි කොටස් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් පැවසේ. මෙම සෙල්ලිපිය බාබර් පල්ලිය පිහිටි භූමියට අයත් සෙල්ලිපියක් නොවන බවටත්, එය බාබ්රි මස්ජිදය කඩා දැමීමෙන් පසු පිටතින් ගෙනවිත් මෙම ස්ථානයේ තැන්පත් කල එකක් බවටත් මතභේදයක් විද්වතුන් අතර පවතී.

“විෂ්ණු-හරි“ සෙල්ලිපි සාරාංශය

වැලිගල් ලිපිය 1.10 m x 0.56 m විශාලත්වයකින් යුක්ත වන අතර නාගරි අක්ෂරයෙන් සංස්කෘත භාෂාවෙන් ගීත පේළි විස්සක් අඩංගු වේ . මෙම සෙල්ලිපිය බාබ්රි මස්ජිදයේ නටබුන් පවුර යට තිබී හමු වූ බව පැවසේ. ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ KV රමේෂ් සහ MN Katti යන ශිලා ලේඛන විශේෂඥයින් මෙම සෙල්ලිපි පරිවර්තනය කර ඇත.

  • සෙල්ලිපිය ආරම්භ වන්නේ දෙවියන්ට නමස්කාර කිරීමෙනි.
  • ඉන්පසු කීර්තිමත් රාජවංශයක් විස්තර කරයි.
  • සෙල්ලිපියේ 6-18 පේළිවල කර්ණා නොහොත් මාමේ, සල්ලක්ෂණ සහ අල්හානා ඇතුළු රාජවංශයේ සාමාජිකයන්ගේ වීරෝදාර ජයග්‍රහණ විස්තර කෙරේ. සංස්කෘත විශාරද කිෂෝර් කුනාල්ට අනුව, ඔවුන් අනයචන්ද්‍ර ට පෙර සාකේත ප්‍රදේශයේ ආණ්ඩුකාරයා වූ ගහදවලගේ යටත්වැසියන් බව පෙනේ .
  • සෙල්ලිපියේ 19-21 පේළි අල්හානාගේ අනුප්‍රාප්තිකයා වූ අනයචන්ද්‍රගේ ක්‍රියාකාරකම් විස්තර කෙරේ.
  • ඉතිරි පදවලින් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ආයුෂ්චන්ද්‍ර විස්තර කරයි.

විශේෂ අවදානයට - සෙල්ලිපියේ 19-21 පේළි අල්හානාගේ අනුප්‍රාප්තිකයා වූ අනයචන්ද්‍රගේ ක්‍රියාකාරකම් විස්තර කෙරෙන කරුණු වක්‍ර ආකාරයෙන් අයෝධ්‍යාවේ විෂ්ණු-හරි දේවාලය ඉදිකිරීම හා සම්බන්ධ කරයි.

2003 දී ඉපැරණි ඉදි කිරීමක නටඹුන් සොයා ගැනීම

2003 වර්ෂයේ දී බාබර් පල්ලිය පිහිටී භූමිය කැනීම් කල පුරාවිද්‍යා ගවේෂකයින් පල්ලිය පිහිටි භූමියට යටින් තවත් ඉපැරණි ඉදි කිරීමක නටඹුන් සොයා ගන්නා ලදී. එය සම්ප්‍රදායක පල්ලි ඉදිකිරීමේ කලාවට පරිභාහිර එකක් වූ බව ද පුරාවිද්‍යා ගවේෂකයින් පවසන ලදී. එසේම එහි කොවිල් සම්ප්‍රදාය ද නොතිබෙන බවත් ඔවුන් තවදුරටත් පවසන ලදී. එය කෙසේ වෙතත් එය හින්දු කෝවිලක නටඹුන් බවට හින්දු භක්තිකයන් පැවසූ අතර එම වාදය මුස්ලීම්වරුන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

2010 දී පල්ලිය පිහිටි භූමිය තුනට බෙදන්න නියෝග කිරීම

ඉහතින් සදහන් කාරණයන් එනම්,

  • 1528 දී බාබර් පල්ලිය ඉදි වූ පැහැදිලි ඉතිහාසයත්,
  •  1853 දී ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය (ASI - (Archaeological Survey of India)) විසින් “රාම්“ පිලිබදව ලබාදුන් සාක්ෂියත්,
  • 1992 දී හමු වූ සෙල්ලිපියත්,
  • 2003 දී පැරණි නටඹුන් මතුවීමත්,

යනාදීය පදනම් කරගෙන “අලකාබාත්“ අධිකරණය මඟින් ඉහත මතභේදාත්මක භූමිය සමාන කොටස් තුනකට බෙදා එක් කොටසක්

  •  “හින්දු මහා“ සභාවටත්,
  •  තවත් කොටසක් “නිර් මෝගි අගාරා“ නම් කණ්ඩායමටත්,
  •  ඉතිරි කොටස මුස්ලීම් (පල්ලි පරිපාලන) “වකුෆ්“ සභාවටත්

බෙදාදීමට නියෝග නිකුත් කරන ලදී.

2019 දී රාම් කොවිල් ඉදි කරන්න අවසර

2010 දී ලබාදුන් නියෝගය ඉතා ව්‍යාකූල එකක් වූ අතර එය ක්‍රියාත්මක කිරීමට කිසිදු පාර්ශවයක් එකඟ නොවීය. එපමණක් නොව මෙම අර්බුදය සදහා යහපත් හා සාධාර්ණ විසදුමක් ඉල්ලා සියළු පාර්ශවයන් නැවත අධිකරණය හමුවට ගිය අතර එහිදී ඉහතින් කී කරුණු සියල්ල පදනම් කරගෙන මතභේදාත්මක අක්කර 2.7 ක භූමියේ “රාම“ කොවිල ඉඳි කරන්නත්, එම “අයෝති“ (අයෝධ්‍යා) හිම වෙනත් තැනක මුස්ලීම් පල්ලියක් ඉදිකිරීම සදහා අක්කර 5ක ඉඩමක් ලබාදීමටත් ඉහල උසාවිය තීන්දු කලේය. (මෙම නඩු තීන්දුව පක්ෂාග්‍රාහී තීන්දුවක් බවට මුස්ලීම් සමාජයෙන් ප්‍රබල විවේචන පවතින රජයට හා අධිකරණයට එල්ල වු බව ද මෙහි විශේෂයෙන් සදහන් කලයුතුව ඇත.)

2020 දී රාම් මන්දිරය සදහා මුල්ගල් තැබීම

“අයෝති“ (අයෝධ්‍යා) හි බාබර් පල්ලිය පිහිටි භූමිය හින්දු ජනයාගේ අයිතිය බව පවසමින් කටයුතු කල පාර්ශවයන් අතර වත්මන් ඉන්දීය අගමැති මෝඩි ද ප්‍රබල කැපීපෙනෙන චරිතයක් විය. ඒ අනුව ඔහුගේ පාලනය යටතේ බාබර් පල්ලිය පිහිටි භූමියේ “රාම් මන්දිරය“ නම් කෝවිල ඉදි කිරීම සදහා මුල්ගල් තැබීම ඔහු අතින්ම 2020 දී සිදුවිය.

2024 දී රාම් මන්දිරය විවෘත කිරීම

අයෝති හෙවත් අයෝධ්‍යා හි 1528 දී ඉදි කරන ලද “බාබර්“ නම් පල්ලියක් එය ඉදි කිරීමෙන් වසර 325 කට පසු එය ඉදි කර ඇති භූමිය “රාම් ජන්ම භූමිය“ බවත්, එහි “රාම්“ කොවිලක් පැවතී බවත් පවසමින් නූතන වාදයක් හින්දු සමාජ මධ්‍යයේ වපුරා 1992 දී එනම්, පල්ලිය ඉදි කොට වසර 464 කට පසු නීත්‍යානුකූල නොවන ආකාරයට එනම්, කැරැල්ලක් මඟින් කුමන්ත්‍රණකාරීව එහි තිබූ පල්ලිය කඩා දමන ලදී. එසේම මෙම ගැටුම තුල විශාල ප්‍රමාණයක දේපල හානී මෙන්ම මිනිස් ජීවිත දහස් ගණනින් බිලි වන ලදී. දැන් එම ස්ථානයේ මනක්කල්පිතයක් වූ “රාම්“ වෙනුවෙන් මන්දිරයක් ඉදිව එය ඉන්දීය අගමැති මෝඩි අතින් 2024/01/22 දින “රාම් මන්දිරය“ නමින් කොවිලක් ඉදිව එය විවෘත කොට ද ඇත.

"බාබර්" පල්ලිය විනාශ කොට සාදන ලද “රාම්“ මන්දිරයට ඉන්දීය ජනතා ප්‍රතිචාර පෙලගැස්ම

අවසානයට පෙර බුද්ධියෙන් විමසුමට පැනයන් කිහිපයක්

  • “රාම්“ දෙවියෙක් නම්, ඔහුට ලොව අනිකුත් ජීවීන්ට මෙන් උපතක් හෝ මරණයක් නොමැත. එසේනම්, රාම් ජන්ම භූමි සංකල්පය මිත්‍යාවක් වනවා නොවේද?,
  • “රාම්“ දෙවියෙක් නොව මනුෂ්‍යයෙකු නම්, ඔහු වෙනුවෙන් දෙවොලක් (කොවිලක්) කුමකටද?,
  • “රාම්“ දෙවියෙක් නම්, “රාවණා“ රාවණ පාලම නැතුව භාරතයට පැමිණියත්, “රාම්“ට එලෙස පාලම නොමැතිව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වූයේ මන්ද?,
  • “රාම්“ දිවි නසාගැනීම විග්‍රහ කරගන්නේ කෙසේද?
  • “රාම්“ නම් චරිතය මනක්කල්පිතයක් යනුවෙන් උසාවියට ලබා දී ඇති සාක්ෂිය නොසලකා “රාම්“ නමින් කෝවිල් ඉදි කිරීමට අවසර ලබාදීම කොතරම් දුරකට බුද්ධිමත් තීන්දුවක්ද?
  • බාබර් පල්ලියේ නටඹූන්වලට පහලින් හමු වූ නටඹූන් කෝවිලක නටඹුන් යන්නට පැහැදිලි සාක්ෂියක් තිබේද?,
  • බාබර් පල්ලිය කොවිලක් කඩා ඉඳි කරන ලද පල්ලියක් නම්, එම බාබර් පල්ලිය පිහිටි අක්කර 2.7 ක භූමිය වෙනුවට වෙනත් ස්ථානයක පල්ලියක් ඉඳි කිරීම සදහා අක්කර 05 ක් ලබා දෙන්නේ කුමකටද?,
  • වත්මන් රජය කෝටි 1800 වියදම් කොට බාබර් පල්ලිය තිබූ තැන “රාම්“ කෝවිල ඉඳි කොට විවෘත කලත්, එලෙසම මුස්ලීම් පල්ලිය ද ඉඳි කිරීමට රජය කවම කටයුතු නොකරන්නේ ඇයිද?,
  • බාබර් පල්ලි සහ රාම් කොවිල් අර්බුදය මූලික කරගෙන ජීවත 12000 ක් පමණ අහිමි වී ඇති බව පැවසේ. එයින් ද බහුතරය මුස්ලීම් ප්‍රජාව වේ. මෙවැනි විශාල ජීවිත ප්‍රමාණයක් බිලිගෙන අවසානයේ දෙපාර්ශවයම ලබාගත් ජයග්‍රහණය කුමක්ද?

අවසාන සටහන

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව ලොව පූජනීය පල්ලි හෙවත් මස්ජිද් ඇත්තේ 03 ක් පමණි. එය වන්නේ මක්කාවේ පිහිටා ඇති “කව්බාව“, පලස්තීනයේ පිහිටා ඇති “බයිතුල් මුකද්දස් සහ මදීනාවේ පිහිටා ඇති “අල්-මස්ජිද් අන්-නබවි“ යන්න පමණි. (මෙම විෂය පිලිබදව යහමග අඩවිය තුල ශුද්ධ වු දේවස්ථාන ත්‍රිත්වය (සජීවි දර්ශන) යන ලිපිය තුලින් දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත.) මෙම පල්ලි තුනට අමතරව ලොවපුරා ඇති සියළු පල්ලි කුමන ආකාරයේ ගෘහ නිර්මාණ යොදා ඉදි කොට තිබුණත්, කවර නමකින් තිබුණත්, කොතරම් විශාලව ඉදි කොට තිබුණත්, එය කවර තැනක පිහිටා තිබුණත්, එය කවුරුන් විසින් ඉදි කොට තිබුනත් ඒ සියළු සාමාන්‍ය තවත් පල්ලියක් පමණී. ඒවා කිසිවකටත් විශේෂ වූ මහිමයන් නොමැත. ඒ අනුව “බාබර්“ පල්ලිය ද එවැනි තවත් පල්ලියක් පමණි.

එසේම මුස්ලීම්වරයෙකු දේව නැමදුම් ඉටු කිරීමට පල්ලියක් අවශ්‍යම නොවේ. සොහොන් බිම් සහ වැසිකිලි, කැසිකිලි ස්ථාන හැර මේ පොළොව මත ඕනෑම තැනක ඔහුට නැමදුම් ඉටුකල හැකි යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්විමයි. (පල්ලි හෙවත් මස්ජිද් පිලිබදව වැඩිදුර කරුණු පල්ලි හෙවත් මස්ජිද් ඉස්ලාමීය විමසුමක් යන ලිපිය තුලින් යහමග අඩවිය තුල කියවීමට පුළුවන.) මෙසේ මා කරුණු සටහන් කරන විට ඔබට පැනයක් මතුවීමට පුළුවන. එනම්,

“එසේනම් ඉන්දීය මුස්ලීම්වරුන් බාබර් පල්ලිය වෙනුවෙන් මෙතරම් අරඟල කලේ ඇයි?.“

බාබර් පල්ලිය යනු පැහැදිලි ඉතිහාසයක් ඇති ඓතිහාසික ගොඩනැඟිල්ලකි. එය ඉන්දීය මුස්ලීම් ජනතාවගේ ආදරය දිනාගත් ඉපැරණි දේවස්ථානයකි. මෙය මනක්කල්පිත චරිතයක ජන්ම භූමිය බව පවසමින් සහ ඓතිහාසික වටිනාකමක් ඇති ගොඩනැඟිල්ලක් කඩා බිඳලමින් වෙනම ගොඩනැඟිල්ලක් එතැන ඉදි කිරීමට කටයුතු කිරීම නරුම කටයුත්තක් මෙන්ම සමාජයට වැරදි පූර්වාදර්ශ ලබාදීමක්. මේ හේතුව නිසා එම පල්ලිය වෙනුවෙන් හඩ නැඟීම මුස්ලීම් හින්දු ආගම් ජාති භේදයකින් තොරව සියළුදෙනා කලයුත්තක්. එය අති බහුතරයක් හින්දු ජනතාව මේ මොහොතේ පවා කරමින් සිටින බව ද මෙහි සතුටින් සටහන් කලයුතු කාරණයකි. නමුත් එරටේ හින්දු ආගමික අන්තවාදීන් රාජ්‍ය අනුග්‍රහය ලබමින් ක්‍රියාත්මක වන නිසාත්, දැනට පවතින රජය ජාතිවාදයට අනුබල දෙන ආණ්ඩුවක් වන නිසාත් (නිදසුනක් ලෙස හිජාබය හා කුංකුම සාටකය යන ලිපිය කියවන්න.) සාධාර්ණය වෙනුවෙන් නඟන හඩ එම ආගමික අන්තවාදය පරාජය කරන්න්නට තරම් ප්‍රබල වී නැත. එහි ප්‍රථිපලයක් ලෙස මහා දවල් මංකොල්ලයක් සේ පැහැදිලි ඉතිහාසයක් ඇති බාබර් පල්ලිය අතුරුදහන් කොට ඒ වෙනුවට නව ඉතිහාසයක් ගොතමින් “රාම්“ කෝවිල ආරම්හ වී ඇත. මෙම කාරණය ඔබේ බුද්ධිමත් ගවේෂණයට තබමින් මෙම සටහනට විරාමය තබමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/02/2

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම