සමාජ සංහිඳියාවට ඉස්ලමයේ මඟපෙන්වීම

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“සංහිඳියාව” මේ අප රට තුල නිතර ඇසෙන වදනකි. රටේ දේශපාලන නායකයින්, ආගමික නායතයින්, ස්වෙච්චා සංවිධාන, සමාජයේ විද්වතුන් සහ පොදු ජනතාව මෙම සංහිඳියාව සහ එහි අවශ්‍යතාවය නිතර කථා කරයි. මෙහි හාස්‍යජනක කාරණය නම්, මෙම සංහිඳියාව බිඳින පාර්ශවයන් විසින්ම වැඩි වැඩියෙන් මෙම සංහිඳියාව පිලිබදව කථා කිරීමයි. මේවා දෙස බලන මට නම් හිතෙන්නේ කට වචනයට සංහිඳියාවක් පිලිබදව කථා කලාට ඔවුන් බහුතරයක් මෙම සංහිඳියාව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? යන්න නිසිලෙස තේරුම් ගෙන නොමැති බවයි. මා එසේ පැවසීමට මූලික හේතුව අදටත් රටේ ජාතිවාදයට සහ ජාතිවාදීන්ට ආවඩමින් සංහිඳියාවක් ගොඩනඟන්න කථා කරයි. රටක සමාජයක ජාතිවාදයයි, සංහිඳියාවයි එකට පෑහෙන්නේ කෙසේද?. සමාජයක සංහිඳියාව ගොඩනඟන්න නම්, රාජ්‍යයක් ලෙසත්, එම රාජ්‍යයේ වෙසනෙ පුරවැසියන් ලෙසත් ඉහතින් සදහන් පටු ජාතිවාද සීමාවලින් බැහැරව යම් පියවරක් තැබිය යුතුව ඇත. මෙහිදී ආගම්වලට සැලකිය යුතු වගකීමක් පැවරී ඇත. එනම්, අධ්‍යාත්මිකව තම අනුගාමිකයින් සුවපත් කොට මානුෂීයව සමාජය දෙස බලන දැහැමි සමාජයක් නිර්මාණය කිරීම එම වගකීමයි.

මෙම ලිපිය තුලින් අද මා සාකච්චා කරන්නට සූදානම් වන්නේ මීට වසර 1400 කට පෙර අරාබි ද්වීපයේ පැවති සංහිඳියාවේ සේයාවක් පවා නොතිබුණූ “ජාහිලියා” නම් විකෘති සමාජයක් ලෝකයටම ආදර්ශමත් සාමකාමී සමාජයක් බවට ඉස්ලාම් දහම පත්කල ආකාරය පිලිබදවයි. එය තේරුම් ගැනීමට මුහම්මද් (සල්) තුමාණන් ජීවිතය අපට උපකාරී වේ.

මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන් බිම වූ මක්කාව තුල ඉස්ලාම් දහම ප්‍රකාශ කිරීම නිසා එතුමාණන්ව ඝාතනය කරන තැනට එම සමාජය යොමුවිය. එම මොහොතේ මුහම්මද් (සල්) තුමාණන් මක්කාව අතහැර මදීනාවට පලා ආවේය. මෙය ඉස්ලාම් දහම තුල “හිජ්රත්” කිරීම ලෙස හදුන්වයි. මුහම්මද් (සල්) තුමාණන් මක්කාවේ සිට “හිජ්රත්” කොට මදීනාවට සංක්‍රමණය වූවද එම සමාජය ද විවිධ අන්තවාදී මත දරන මිනිසුන් ජීවත් වූ සමාජයක් විය. ඔවුන් අතරින් ඉතා ශක්තිමත් සමාජ පදනමක් තිබූණේ තම මුතුන් මිත්තන්ගේ සිරිත් විරිත් අනුගමනය කළ යුදෙව්වන්ට සහ කිතුනුවන්ටය. මේ හේතුව නිසාම මදීනාව නගරය ද අවුල් සහගත එකක් විය. එපමණක් නොව එම සමාජය කුලවාදය රජ කෙරුණු කිසිදා කිසිම නීතියක් යටතේ ජීවත් වූ ඉතිහාසයක් දක්නට නොවූ සමාජයක් විය. එම සමාජය තුල නිතර ඇසුනේ මිනිස් ඝාතන, ආගමික හා ගෝත්‍රවාදී ගැටුම් පමණි. මෙවැනි සමාජ පසුබිමක මක්කාව සිට මදීනාවට ආ මුහම්මද් (සල්) තුමාණන්ට එම ප්‍රදේශයේ බහුතර වැසියන් එක් වී ප්‍රදේශයේ පාලන බලය ලබාදෙන ලදී. ඒ අනුව මදීනාව අගනුවර කර ගනිමින් එහි පාලකයා ලෙස එතුමාණන් පාලනය ඇරඹීය. ඒ අනුව ඉස්ලාමීය නායකත්වයේ කේන්ද්‍රස්ථානය මදීනාව ද විය.

ඉහතින් සදහන් සමාජ තත්වය තුල මෙම ආරම්භක මදීනා පාලනය මුහම්මද් (සල්) තුමාණන්ට අභියෝග රාශියකින් පිරි පාලනයක් විය. එහි කුලගැටුම්, ආගමික ගැටුම් දෛනික දිවිය තුල සාමාන්‍ය අංගයක් ලෙස පැවතුණි. මේ හේතුව නිසා ඔවුන් ඒකරාශී කොට සාමකාමී සමාජයක් නිර්මාණය කිරීමට විවිධ උපක්‍රම මුහම්මද් (සල්) තුමාණන් යොදා ගන්නට සිදුවිය. එහි එක් පියවරක් ලෙස විවිධ ගිවිසුම් මගින් ඔවුන් ඒකරාශී කොට සාමකාමී මදීනාවක් නිර්මාණය කිරීමට මුහම්මද් (සල්) තුමාණන් කටයුතු කලේය. විවිධ ප්‍රතිපත්ති ඇති ඉහත පිරිස් එක්සේසත් කොට සාමකාමී සමාජ ජීවිතයක් ඇති කර ගැනීමට විවිධ ගෝත්‍ර සමඟ සාකච්ඡා කර සෘජු සම්බන්ධතා හෝ ලිඛිත ගිවිසුම් ඇති කරගන්නා ලදී. මෙම ගිවිසුම්වල අරමුණ වූයේ මදීනා නගරයේ විවිධ ගෝත්‍ර ජීවත් වුවද, ඔවුන් විවිධ මත දැරුවද එහි බලපෑම් පොදුවේ සමාජ ජීවිතය තුලට ඇති නොවීමටය. එහි ප්‍රතිපලයක් ලෙස අවසානයේ එම ජනතාව ප්‍රතිපත්තිවලින් හා විශ්වාසවලින් වෙනස් වූවද නබි (සල්) තුමාණන්ගේ නායකත්වය යටතේ සාමකාමීව ජීවත් වීමට ඔවුන් පෙළඹීය.

මේ ආකාරයට මදීනාව සාමකාමී භූමියක් කල නබිතුමාණන් එතැනින් නතර වුයේ නැත. තම උපන් බිම වන මක්කාව ද ජයග්‍රහණය කොට ඉස්ලාම් දහම නොපිළිගත්, එසේම තමන්ව ඝාතනය කිරීමටත් වඳහිංසා පමුණුවීමටත් කටයුතු කල මිනිසුන්ට ආගමික ඉවසීමෙන් හා දයාවෙන් සැලකූවේය. ඒ වනවිටත් මක්කාවාසී මුස්ලීම්වරුන් රාශියක් ඝාතනය කොට තිබූ ඔවුනට මුහම්මද් (සල්) තුමාණන් දැක්වූ දයාව එම අරාබිවරුන් තම ජීවිත කාලය තුළ එවැන්නක් දැක හෝ අසා නොමැති තරම් විය. මෙම ක්‍රියාව ඔවුනට මුස්ලිම්වරුන් කෙරෙහි මහත් ගෞරවයක් ඇති කිරීමට සමත් එකක් විය.

ඉස්ලාමීය පාලනය ක්‍රියාත්මක වූ ප්‍රදේශයන් හි ඉස්ලාමීය යුක්තිය සහ ආචාර ධර්ම ක්‍රියාත්මක කිරීමේදී නබි (සල්) තුමාණන් අන් අයට වඩා ආදර්ශවත් විය. එතුමාණන් අල්කුර්ආනය 7-181 මඟින් අප මවා ඇති අය අතර සත්‍යයෙන් මඟපෙන්වන සමූහයක් සිටිති. තවද ඔවුහු එමගින් යුක්තිය ඉටු කරති යනුවෙන් පවසන ක්‍රමවේදයට අනුව ආණ්ඩු කරමින් එම මිනිසුන් අතර ආගමික ඉවසීම සහ සාධාරණත්වය පෙන්නුම් කලේය. මේ හේතුව නිසාම විවිධ රටවල විවිධ ගෝත්‍රවලට අයත් එම ජනයා ඉස්ලාමයේ ඉවසීම, යුක්තිය පසිඳලීම, එයින් පිරිනමන සාමකාමී ජීවන රටාව කෙරෙහි ආකර්ෂණය වී කෙටි කලකින් ඔවුන් ඉස්ලාමය සමඟ එක් වීම සිදුවිය. මෙය ශක්තිමත් ඉස්ලාමීය රාජ්‍යයක් පසුකාලීනව නිර්මාණය විමට ද හේතුව විය. එදා මුස්ලිම්වරුන්ගේ ආගමික ඉවසීම සහ යුක්තිගරුක බව එනම්, මුහම්මද් (සල්) තුමාණන් මුස්ලීම් නොවන සමාජයට දක්වන ලද ආගමික ඉවසීමේ හොඳම සාක්ෂිය වන්නේ “නජ්රාන්” කලාපයේ කිතුනුවන් සමඟ එතුමාණන් ඇති කරගත් ගිවිසුමයි. එම ගිවිසුමේ කොටසක් ඔබේ බුද්ධිමත් අවදානයට මෙහි ගෙන එන්නේ නම්,

“නජ්රාන් හි ජීවත් වන පිරිස වන ඔවුන්ගේ ප්‍රතිපත්ති, ඔවුන්ගේ දේපළ, ඔවුන්ගේ පවුල්, ඔවුන්ගේ නමස්කාර ස්ථාන සහ තවමත් නජ්රාන්හි ජීවත් වන සියලුම මිනිසුන් සහ ඔවුන් සමඟ තවමත් ජීවත් වන අය අල්ලාහ් (දෙවි)ගේ සහ ඔහුගේ දූතයා වන මුහම්මද් (සල්) තුමාගේ ආරක්ෂාව යටතේ පවතී.”

ඉහත ආකාරයේ වූ ගිවිසුම් මඟින් ඉස්ලාමීය සදාචාරය සමාජය තුළ ක්‍රියාවට නංවන්නේ කෙසේද?, යන්න පිළිබඳ ආදර්ශ මුස්ලීම් හා මුස්ලීම් නොවන සමාජයට ඉස්ලාම් දහම පෙන්වාදේ. මෙවැනි ගිවිසුම් හරහා මුස්ලීම් නොවන ප්‍රජාවට ද ඉස්ලාමය ජීවිත කාලය පුරාම සාමය සහ කරදරවලින් තොර ජීවිතයක් සහතික කරයි. ඉස්ලාමයේ සදාචාරාත්මක සාරධර්ම මත පදනම් වූ ආදර්ශවත් සමාජයක් ස්ථාපිත කිරීමටත්, එමගින් මෙලොව කාරුණික, සුහද, ඉවසිලිවන්ත සහ සාමකාමී ජීවිතයක් ස්ථාපිත කිරීමටත් මේ තුලින් ලෝකයාට ආරාධනා කරයි. ආගම් භේදයකින් තොරව සියලුම මිනිසුන්ගේ සාමකාමී සමාජ ජීවිතය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම සියලුම මිනිසුන් කෙරෙහි පැවරෙන ඉතා වැදගත් වගකිමක් හා යුතුකමක් වේ. එය අල්කුර්ආනය ද පහත ආකාරයට ඉහත අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් සමඟ උරෙන් උර ගැටී වැඩ කිරීමට ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට මෙසේ අණ කරයි.

දහම්ලත් ජනයිනි! අපි අල්ලාහ් හැර අන්කිසිවකු ඉබාදත් නොකරමුයිද, (අවනත නොවෙමුයිද) අපි ඔහුට අන්කිසිවක් සමාන නොකරමුයිද, අපගෙන් සමහරෙක් අල්ලාහ් හැර අන්කිසිවකු අර්බාබ්(පරමාධිපතියන්) ලෙසින් නොගනිමුයිද, අප අතරද නුඹලා අතරද පොදු සම්මුතියකට එළඹෙමුයිද (නබි මුහම්මද්!) පවසනු. එවිට ඔවුන් (ඔබගේ ආරාධනාව නොපිළිගෙන) පිටු පෑවොත් නියත වශයෙන්ම අප මුස්ලිම්වරුන් (අල්ලාහ්ට පමණක් ඉබාදත් කරන ඔහුට පමණක් යටහත් වන) බවට නුඹලා සාක්ෂි දරනුයි (නබි මුහම්මද්!) පවසනු.

අල්කුර්ආනය 3-64

මුහම්මද් (සල්) තුමාණන් එදා තම (මුස්ලීම් හා මුස්ලීම් නොවන) සමාජය තුල ගොඩනැඟූ අන්තර් සුහදතාවය,විශ්වාසය, ආදරය, සාමය සහ ඉවසීම... වැනි පොදු අරමුණු අදටත් රැකුණා නම්, එනම්, එදා මෙන් අදටත් මුස්ලිම්, යුදෙව් සහ ක්‍රිස්තියානි භක්තිකයන් ඉහත පොදු කාරණයන් තුල එකමුතුව කටයුතු කලානම්, අද ලෝකය වෙනස්ම සුන්දර තැනක් වනවා නොඅනුමානය. එවිට එහි බෙදීම්, ගැටුම්, භීතීන් සහ ත්‍රස්තවාදී ක්‍රියා තුරන් වී මිතුදම් රැකෙනවා නොඅනුමානය. එපමණක් නොව මෙලොව තුල ආදරය, සාරධර්ම සහ නිර්භීතකම මත පදනම් වූ නව ශිෂ්ඨාචාරයක් ද පිපෙනවා නොඅනුමානය. නමුත් අවාසනාවකට ලොව තුල ආගම් තුල අන්තවාදීව කටයුතු කරන සමහක් නිසා වත්මන් සමාජය තුල ඉහතින් පැවසූ සුන්දරත්වය ගොඩනැඟීම බාධාවක් වී ඇත. එය අල්කුර්ආනය ද මෙසේ අවදාරණය කරයි.

(නබි මුහම්මද් !) විශ්වාසිකයින්ට ඉතා දරුණු සතුරන් ලෙස යුදෙව්වන්ද, (අල්ලාහ්ට) ආදේශ තබන්නන්ද, නියත වශයෙන්ම නුඹ දකින්නෙහිය. තවද නියත වශයෙන්ම (අපි නසාරා-කිතුනුවන් යැයි කියන්නෝ) විශ්වාසය කරන අයට ආදරයෙන් සමීප වන්නන් ලෙස නුඹ දකින්නෙහිය. මීට හේතුව බැතිමත් විද්වතුන්ද පැවිද්දන්ද ඔවුන් අතර සිටින නිසාත් ඔවුන් උඩඟු නොවන නිසාත්ය.

අල්කුර්ආනය 5-82

මෙම අල්කුර්ආන් වාක්‍යයේ සදහන් ආකාරයට සමාජය තුල ඉහතින් සදහන් අන්තර් සුහදතාවය, ආදරය, විශ්වාසය, සාමය සහ ඉවසීම... බිඳීගිය ලෝක ඉතිහාසයේ නිදසුන් තුනක් ඔබේ මතකයට ගෙන එන්නේ නම්,

  • කුරුස යුද්ධය,
  • ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය, (මෙය තවම මතභේදාත්මකය)
  • පාස්කු ප්‍රහාරය

ඉහතින් සදහන් අන්තර් සුහදතාවය, විශ්වාසය, ආදරය, සාමය සහ ඉවසීම... සමාජය තුල නිසිලෙස ක්‍රියාත්මක නොවූ නිසා, ජාතීන් අතර මහා යුද්ධයන් සහ ත්‍රස්ථ ප්‍රහාරයන් සිදුවීමට මඟ පෑදීය. නමුත් සැබෑ කිතුනුවන් සහ මුස්ලිම්වරුන් එවැනි යුද්ධයක් හරහා ලේ වැගිරීමට කැමති නොවේ. එසේ කැමැති නොවනවා පමණක් නොව සැබෑ කිතුනුවන් සහ මුස්ලිම්වරුන් එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් මෙවැනි තත්වයන් වළක්වා ගැනීමට උත්සාහ කරනු ඇත.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ, මීට වසර 1400 කට පෙර පැවතී කිසිදු නීතියකට සංස්කෘතියකට යටත් නොවන නරුම සමාජයක් මනුෂ්‍යත්වය අගයන සමාජයක් බවට පරිවර්ථනය කිරීමට මුහම්මද් (සල්) තුමාණන්ට හැකිවූයේ කෙසේද?. යන්න වත්මන් සමාජය දැන්වත් අවබෝධ කරගැනීමට උත්සාහ කලයුතුව ඇත. සංහිඳියාව කට වචනයට නොව ප්‍රායෝගිකවම එදා එතුමාණන් තම සමාජය තුල ක්‍රියාවට නැංවීය. අන්තර් සුහදතාවය, ආදරය, විශ්වාසය, සාමය සහ ඉවසීම... වැනි එම ගුණාංග තුලින් එදා ගොඩනැඟූ සංහිඳියාව වත්මන් ලෝකයට වඩාත් සුදුසු පරමාදර්ශයක් යන්න මෙම 21 වැනි සියවස ඉක්මනින්ම අවබෝධ කරගනු ඇත” යන්න මා විශ්වාස කරන අතර එය සමාජයට ද අවදාරණය කරමින් මෙම සටහනට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම