ආගමික සංවිධාන නොහොත් කල්ලිවාද

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග අඩවිය තුල ඉහත විෂය අවස්ථා ගණනාවකදී සාකච්චා කොට ඇත. නමුත් දිනෙන් දින මුස්ලීම් සමාජය තුල බිහිවන ආගමික සංවිධාන (නොහොත් කල්ලි) දෙස බලන විටත්, එම කල්ලීන් අතර සිදුවන අරගල දකිනවිටත් මෙම විෂය තවදුරටත් සමාජය තුල සාකච්චා කිරීමේ අවශ්‍යතාවය මතුවී පෙනේ. අද මුස්ලීම් සමාජය තුල ඇති ආගමික සංවිධාන (නොහොත් කල්ලි) කොතරම් සමාජය තුල ඔඩුදුවා ඇද්ද යන්න පවසනවා නම්, මෙවැනි එක් සංවිධානයක් වටා ඒකරාශි වී සිටීම අනිවාර්‍ය යයි මුස්ලීම් සමාජය සිතන තරමටම මෙම කල්ලිවාදය මුස්ලීම් සමාජයේ ඔඩුදුවා ඔවුන්ගේ මනස විකෘති කොට ඇත. නමුත් මෙවැනි සංවිධාන (නොහොත් කල්ලි) හා ඔවුන්ගේ ප්‍රතිපත්ති හොදින් හා බුද්ධිමත්ව විමසා බැලීමේ දී පෙනීයන්නේ මේවා බොහෝමයක පදනම ආගමික කාරණයන්ට වඩා ලෞකික කාරණයන් බවයි.

අද පවතින බොහෝ ඉස්ලාම් ආගමික සංවිධාන (නොහොත් කල්ලි) බිහිවීමේ පදනම ගැඹුරින් විමසා බලන විට එහි ඇත්තේ…

  • නායකත්වය පිලිබදව අරගල,
  • බලය පිලිබදව අරගල,
  • මුදල් සම්බන්ධ අරගල,
  • පුද්ගලික මතවාදයක් ඉදිරියට ගෙනයෑම පිලිබදව අරගල,
  • බහුතරය දිනාගැනීමේ අරගල,
  • පාරම්පරික සම්ප්‍රදායන් රැකගැනීමේ අරගල,

යනාදී වූ අරගල මිස ආගමික අභිවෘද්ධීය සදහා වූ අරගල එහි දක්නට නොවේ. තවත් සරලව පවසනවා නම්, මොවුන් සියළුදෙනා තුල ඇත්තේ එකින් එකා කෙරෙහි ඊර්ෂ්‍යාව නිසා ඇති වූ අරගලයන් පමණි. ඔවුන්ට,

  • දිව්‍යමය මඟපෙන්වීම ශුද්ධ වූ කුර්ආනය යන්නෙහි මතභේදයක් නැත.
  • මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් හා මඟපෙන්වීම ඉස්ලාම් යන්නෙහි මතභේදයක් නැත.

ඉහත සියළු කල්ලි කණ්ඩයම් එම කාරණයන් ඒකමතිකව පිලිගනී. නමුත් ඔවුන් ලෞකික අරමුණුවලට ආගමික මුහුණුවර ලබාදෙමින් ජනයා නොමඟ යවා මුස්ලීම් සමාජය භේදකිරීමේ ක්‍රියාවලියේ එම සංවිධානවල නායකයින් නියලී සිටී. ආරම්භයේ ඒකීය සමාජයක් ලෙස පැවතී මුස්ලීම් සමාජය භේද වී ගිය ආකාරය ශුද්ධ වූ කුර්ආනය විස්තර කරන ආකාරය මේ කල්ලිවාදයන්ට ආවඩන පිරිස් බුද්ධිමත්ව විමසා බැලිය යුතුමය.

(ආරම්භයේ) මුළුමහත් මිනිස් සමාජය (එකම ධර්මයක් පිළිගත්) එකම ජන සමූහයක් වශයෙන් විසූහ. අල්ලාහ් (දෙවි) ශුභාරංචි පවසන්නා වූද අවවාදානුශාසනා කරන්නා වූද වක්තෘවරුන් (හෙවත් නබිවරයන්) ඔවුන් වෙත එව්වේය. තවද ඔවුන් අතර මතභේද වූ දැයෙහි විනිශ්චය කිරීම පිණිස ඔවුන් (නබිවරුන්) සමග සත්‍යය ග්‍රන්ථද පහළ කළේය. පැහැදිලි සාධකයන් ඔවුන්හට පහළ වූවායින් පසුද, තමන් අතර ඇති වූ ඊර්ෂ්‍යාවන් හේතුවෙන් ඔවුන් භේද විය. එනමුත් ඔවුන් භේද වී ප්‍රතික්ෂේප කල සත්‍යය වෙත තම භාග්‍යයෙන් අල්ලාහ් (දෙවි) විශ්වාසවන්තයින් හට යහමග පෙන්වුයේය. මෙලෙසින් ම අල්ලාහ් (තමාට) අභිමත වූ අය යහමග වෙත යොමු කරන්නේය.

ශුද්ධ වූ කුර්ආනය 2-213

ඉහත වාක්‍යයෙන් ආරම්භයේ ඒකීය සමාජයක්ව පැවතී මුස්ලීම් සමාජයට කුමක් සිදුවූයේද? යන්න ශුද්ධ වූ කුර්ආනය පැහැදිලිව විස්තර කරයි. එදා එකින් එකා අතර ඇති වූ ඊරෂ්‍යාව හේතුවෙන් ඔවුන් බෙදී වෙන්වීගිය බව පැහැදිලිව ශුද්ධ වූ කුර්ආනය ඉහතින් විස්තර කරයි. අද සිදුවන්නේද එයම නොවේද?. ඔබ පැහැදිලිව වටහා ගතයුතුයි, මුස්ලීම් සමාජයේ බෙදීම් යන්න ඉස්ලාම් කිසිකලකත් අනුමත කාරණයක් නොවේ. එය ශුද්ධ වූ තුර්ආනයේ 3-103 න් අල්ලාහ් මෙසේ අවදාරණය කරයි.

…තවද නුඹලා සියල්ල අල්ලාහ් (දෙවි)ගේ (දහම නම්) ලණුව දැඩිව අල්ලා ගන්න. (එහි) බෙදී නොයන්න

ශුද්ධ වූ කුර්ආනය 3-103

මනුෂ්‍ය බුද්ධියේ හා දැනුමේ මට්ටම අනුව මතවාද මතභේද යන්න මිනිස් සමාජයේ සාමාන්‍ය තත්වයකි. ඒ සෑම අවස්ථාවක් සදහාම සංවිධාන (නොහොත් කල්ලි) නිර්මාණය කිරීම බුද්ධිමත් ක්‍රමවේදයක් නොවේ. එවැනි සංවිධාන කුමන නමින් පැවතුණත්, ඒවටා කවුරුන් ඒකරාශී වී සිටියත්, එහි නායකත්වය කවුරුන් විසින් ලබාදුන්නත් ඒ සියල්ල දුර්මාර්ගයේ යන්න ඉස්ලාමීය පැහැදිලි ඉගෙන්වීමයි. එම යථාර්තය හොදින් අවබෝධ කොට ශුද්ධ වූ කුර්ආනයේ 21-92 හි පවසන ආකාරයට ‘නියත වශයෙන්ම ඔබේ ජන සමූහය (බෙදීමන් නොමැති) ඒකීය ජන සමූහයකි’ යන්න යථාර්තයක් වන ලෙස ජීවත්වීමට අපට ශක්තිය දෛර්‍යය ලැබේවා!, යනුවෙන් ද ‘යාඅල්ලාහ් මේ සියළු කල්ලිවාදීන්ගෙන් මුස්ලීම් සමාජය ආරක්ෂා කරත්වා! යනුවෙන් ද ප්‍රාර්ථනා කරමින් මේ ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම