සම්ප්‍රදායික මුස්ලීම්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


"අපි සාම්ප්‍රදායික මුස්ලීම්" මෙය මේ දිනවල අප රටේ මුස්ලීම් සමාජයේ සමහරක් අතර ඇසෙන වදනකි. යහමග අඩවිය මීට ඉහත ද "මුස්ලීම්වරුන් සහ සම්ප්‍රදායක මුස්ලීම්වරුන්" යන ලිපිය සහ "පාරම්පරික ඉගැන්වීමන්, සමාජ සම්ප්‍රදායන් හා තව්හීද් සංවිධාන" යන ලිපිය තුලින් සමාජය තුල සිදු කෙරනෙ මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත. මුස්ලීම් සමාජයේම සිටින පිරිසක් මුස්ලීම් නොවන මුස්ලීම් විරෝධී ජාතිවාදී ව්‍යාපාරයන්ගේ සහ ජාතිවාදීන්ගේ අනුකම්පාව සහ සහය දිනා ගැනීම පිණිසත්, තම ආගමික මතවාදයේ ප්‍රතිවාදී මුස්ලීම්වරුන් පලිගැනීම පිණිසත් මෙම අපි සාම්ප්‍රදායික මුස්ලීම් යන බෝඩ් ලෑල්ල භාවිතා කරන ආකාරයත් එහි සාකච්චා කොට ඇත. මේ ආකාරයට ශ්‍රී ලාංකීය මුස්ලීම් නොවන සමාජය නොමඟ යවා සම්ප්‍රදායික මුස්ලීම් වන අපි යහපත් මුස්ලීම්වරුන් බවටත්, සම්ප්‍රදායික් මුස්ලීම්වරුන් වන අපට එරෙහි ආගමික මතවාද දරණ මුස්ලීම්වරුන් “ත්‍රස්තවාදීන්” බවටත් හේතු ගැන්වීමට විවිධ උත්සාහයන් හි ඔවුන් නිරතව ඇත. මේ හේතුව නිසාම ඉහත සාකච්චාවේ තවත් දිගුවක් ලෙස අද මෙම ලිපිය තුලින් “සම්ප්‍රදායික මිනිස්සුන්” යනු කවුරුන්ද? යන්න යහමග අඩවිය තුලින් විමසා බැලීමට අදහස් කරමි.

“සම්ප්‍රදායික සමාජයක්” යන්නෙන් අදහස් කරන්නේ පරම්පරා ගණනාවක් හරහා සම්ප්‍රේෂණය වන සංස්කෘතික, සමාජීය හා ආගමික පිළිවෙත් සහ විශ්වාසයන් පිළිපදින සහ පවත්වාගෙන යන පුද්ගලයන් හෝ කණ්ඩායම් යන්නයි. මෙම පිළිවෙත් සහ විශ්වාසයන් බොහෝ විට මුල් බැස ඇත්තේ යම් අතීත ප්‍රජාවක හෝ සමාජයක ඉතිහාසය සහ උරුමය තුළ ය. මෙම සාම්ප්‍රදායික මිනිසුන් බොහෝ විට ග්‍රාමීය ජීවන රටා නියෝජනය කරන අතර ඔවුන් නවීන හෝ නාගරික සමාජයන්ට වඩා වෙනස් වූ සිරිත් විරිත්, සාරධර්ම සහ ජීවන රටාවන් ආරක්ෂා කිරීමට නැඹුරු වෙති. මෙම "සාම්ප්‍රදායික මිනිසුන්" පිලිපදින සංස්කෘතීන්, සමාජීය ආගමික පිළිවෙත් සහ විශ්වාසයන් යන්න අතීත ජන සමාජයක එතෙක් පැවතී සංස්කෘතියක් අභිබවා මතුවන නව සම්ප්‍රදායකි. නිදසුනක් ලෙස මීට වසර 1400 කට පෙර අරාබිදීපයේ පැවතී ජාහිලියා සමාජය තුල පැවතී සම්ප්‍රදාය සුනුවිසුණු කරමින් ගොඩනැඟුණු ඉස්ලාමීය සම්ප්‍රදාය මෙහි සදහන් කලහැක. මෙසේ ගොඩනැඟෙන සම්ප්‍රදායන් තුල කලින් කලට දීපය, දේශය... අනුව යම් යම් සුළු වෙනස්වීම් ඇති වීම සිදුවිය හැක. නිදසුනකට ආහාර රටාවන්, ඇදුම් රටාවන්, ව්‍යාපාර ගනුදෙනු රටාවන්, භාෂා රටාවන්, ඇදහිලි රටාවන්... යනාදීය මෙහි සදහන් කලහැක. මේ අනුව එකම ජන සමාජයක වූවද විවිධ වූ සම්ප්‍රදායන් පැවතිය හැකි බවත්, එකම සම්ප්‍රදායන් නියෝජනය කරන සමාජය තුල වූවද විවිධ වූ අනු සංස්කෘතීන් පැවතිය හැකි බවත් මෙහි වටහා ගතයුතු ප්‍රායෝගික සත්‍යයකි.

එකම ජන සමාජයක් තුල විවිධ වූ හා අනන්‍ය වූ සම්ප්‍රදායන් රාශියක් පැවතිය හැකි බවත්, එසේම එක් ස්ථානයක සාම්ප්‍රදායක් ලෙස සලකනු ලබන දේ තවත් ස්ථානයකට සමාන නොවිය ද හැකි බවත්, ඉහතින් සදහන් කල කරුණුවලින් ඔබට පැහැදිලි වියයුතුය. නමුත් මෙතැනදී යහමග අඩවිය කථා කරන විෂය පථය වන "ඉස්ලාම් දහම"ට සාපේක්ෂව එය විමසා බැලුවේ නම්, යහපත් මුස්ලීම්වරයෙකුගේ ආගමික පිලිවෙත් සහ විශ්වාස සම්ප්‍රදාය එසේ වෙනස් විය නොහැක. එසේ මා පැවසීමට මූලික හේතුව නම්, මීට වසර 1400 කට පෙර දිව්‍යමය මඟපෙන්වීම මත ගොඩනැඟුණු මුහම්මද් (සල්) තුමාණන් මඟින් ලෝකයට අණාවර්නය වූ "ඉස්ලාමීය සම්ප්‍රදාය" පසු කාලීනව යම් යම් පිරිස මඟින් දහමට ආරෝපණය කල අනූ සංස්කෘතික සම්ප්‍රදායන් මඟින් සංශෝධනය කල නොහැක. එයට හේතුව දිව්‍යමය මඟපෙන්වීම මත ගොඩනැඟූ සම්ප්‍රදායක් ඉක්මවා ඊටත් වඩා උසස් සම්ප්‍රදායක් ගොඩනැඟීමේ ශක්තිය හා බුද්ධීය මේ මිහිමත වෙසෙන කිසිදු ජීවියෙකුට නොමැත යන්න මේ දහමේ ස්ථාවරය වන අතර එම පිලිගැනීමේ සමස්ථ මුස්ලීම් සමාජය ම ඒකමතික එකඟතාවයක සිටින බැවිණි. මේ අනුව කිසිවකු තමන් "සම්ප්‍රදායික මුස්ලීම්" යැයි පවසනවා නම් ඔහු මුහම්මද් (සල්) තුමාණන් මේ ලෝකයට හදුන්වා දුන් "ඉස්ලාමීය සම්ප්‍රදාය" නිසිලෙස අනුගමනය කරනවා යන්න එයින් අදහස් වේ.

අවසාන වශයෙන් කිවයුතු කාරණය නම්, සමාජයක් තුල පවතින සම්ප්‍රදායක විශ්වාසයන් හා පිලිගැනීමන් යන්න සමාජය තුල සංවේදී කාරණයකි. එය ආගමික පිලිවෙත් හෝ විශ්වාසයන් සම්බන්ධ කාරණයන් වන විට එහි සංවේදීතාවය තවත් ඉහල යයි. එවැනි තත්වයක සමාජය තුල විරුද්ධ මතවාදීන් සමඟ කරුණු කථා කිරීම ඉතා පරිස්සමින් කලයුතු කාරණයකි. එසේ කරුණු පැහැදිලි කොට සැබෑ මාර්ගය වෙත කැඳවීම සෑම මුස්ලීම්වරයෙකුටම ඉස්ලාම් දහම පවරන වගකීමක් ද වේ. නමුත් දහම් සීමාවන් තුල හිඳ කරන එම මෙහෙවර පලක් නොවන තැනදී අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ (109 පරිච්චේදයේ) පවසන ආකාරයට නුඹලාගේ දහම නුඹලාට මඟේ දහම මට යන ස්ථාවරය පැහැදිලිව සදහන් කොට මුස්ලීම්වරුන් ලෙස වෙස්ගෙන ඔවුන් පිලිපදින සම්ප්‍රදාය තවත් සමාජ සම්ප්‍රදායක් ලෙස සලකා එසේම එම විවිධත්වයට ගරු කොට එම සම්ප්‍රදායන්වලින් දුරස්වීමට කටයුතු කලයුතු මිස "මුනාෆික්වරුන්" (කුහකයින්) ලෙස කටයුතු නොකලයුතු යන්න අවදාරනය කරමින්, යාඅල්ලාහ්!, මුහම්මද් (සල්) තුමාණන් අප වෙත ගෙනආ ඉස්ලාමීය සම්ප්‍රදාය මරණය තෙක් පිලිපැදීමට අපට භාග්‍යය උදා කරදෙත්වා!. යන පැතුමින් මෙම සටහනට විරාමය තබමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/09/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම