මුස්ලීම්වරුන් සහ සම්ප්‍රදායක මුස්ලීම්වරුන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය පාස්කු 21 ප්‍රහාරයෙන් පසු වර්ථමාන මුස්ලීම් සමාජය තුල ‘අපි නම් සම්ප්‍රදායක මුස්ලීම්’ යන්න නිතර නිතර අසන්නට ලැබේ. මේ ප්‍රකාශය දකින සෑම විටම මා තුල මතුවන පැනය වන්නේ ‘මොවුන් කවර සම්ප්‍රදායක් අනුගමනය කරන මුස්ලීම්වරුන් ද? යන්නයි. මේ රටේ මුස්ලීම් විරෝධී ජාතිවාදී ව්‍යාපාර කරලියට එනවාත් සමඟ මේ ‘සම්ප්‍රදායික මුස්ලීම්’ සංකල්පය ද කරලියට එන ලදී. (මේ පිලිබදව යහමග මීට ඉහත ද කරුණු සාකච්චා කොට ඇත) අප ‘සම්ප්‍රදායක මුස්ලීම්’ යයි පවසන පිරිස් පැහැදිලිව එක් කාරණයක් වටහා ගතයුතුයි. එනම්, මුස්ලීම් සමාජය කුමණ නමිකින් බෙදී මොන සම්ප්‍රදායන්, නිකායන් හදාගත්තත් ඒවා ද ආගමික නිකායවාදයේ නොහොත් කල්ලිවාදයේ තවත් දිගුවක් මිස ඉස්ලාම් නොවේ. යමක් ඉස්ලාම් වීමට නම්, ඒ සදහා ශුද්ධ වූ කුර්ආන් ඉගෙන්වීමන් හා එයට මුහම්මද් (සල්) තුමාණන් ආදර්ශයන් අත්‍යඅවශ්‍ය වේ. ඒ කිසිවක් නොමැතිව රටක ජාතියක ජන කොට්ඨාශයක සම්ප්‍රදාය ඉස්ලාම් නොවේ.

අද අප ශ්‍රී ලාංකීය සම්ප්‍රදායක මුස්ලීම් යයි කියාගන්නා පිරිස් හා එසේ නොවන මුස්ලීම් පිරිස් අතර ඇත්තේ ආගමික මතභේද කිහිපයක් පමණි. මේ දෙපාර්ශවයන් අතර සර්වබලධාරී එකම දෙවි අල්ලාහ් යන්නෙහි හෝ අවසාන වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් යන්නෙහි කිසිදු විවාදයක් නැත. මතභේදය ඇත්තේ ඉස්ලාමීය ඉගෙන්වීමන් සමහරක් අවබෝධ කරගැනීමට යාමේදී ඇති වන පරස්පර අදහස් පමණි. ඈත අතීතයේ පටන් මෑතක් වන තුරු ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය තුල මේ ‘සම්ප්‍රදායක මුස්ලීම්’ යන සංකල්පයක් තිබුණේ නැත. මුස්ලීම් සමාජයේ අභ්‍යන්තරයේ පැවති ආගමික මතභේදය අවස්ථාවක් කරගත් සමහරක් සිංහල ජාතිවාදී නායකයින් විසින් මුස්ලීම් සමාජය තුල සූකෂමව වපුරන ලද කොඩිවිනයයි ‘සම්ප්‍රදායක මුස්ලීම්’ සංකල්පය. එයින් ඔවුන් බලාපොරොත්තු වූයේ මේ මුස්ලීම් සමාජය භේද කොට ඔවුන් අතර සමඟිය නැති කොට තම පටු අරමුණු දිනාගැනීමයි.

එහි ප්‍රථිපලය ඔවුන් සාර්ථකව දැන් දිනාගෙන ඇත. වත්මන් මුස්ලීම් සමාජය කඳවුරු දෙකකට බෙදී හමාරය. ඒ සම්ප්‍රදායක මුස්ලීම් හා එසේ නොවන මුස්ලීම් යනුවෙනි. මෙහි ඛේදවාචකය වන්නේ සමස්ථ ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයම ඉල්කක කොට ජාතිවාදීන් ක්‍රියාත්මක වෙද්දී මේ තමන් ‘සම්ප්‍රදායක මුස්ලීම්’ යයි හදුන්වා ගන්නා පිරිස් මුස්ලීම් සමාජයේම තම මතවාදය පිලිනොගන්නා සහෝදර මුස්ලීම් සමාජය සම්ප්‍රදායක නොවන මුස්ලීම්වරුන් බවටත්, ඔවුන් කෲර භයංකාර පිරිසක් බවටත් සමාජය තුල චිත්‍රයක් මවමින් ඔවුන් ජාතිවාදීන් හමුවේ පාවාදීමේ කාර්‍යයේ නිර්ලැජ්ජීයව නියලී සිටීමයි. මෙහි කණගාටුදායක තත්වය වන්නේ මෙම ක්‍රියාදාමය තුල විද්වතුන්, දේශපාලඤයින්, පූජකවරුන්, පොදු ජනයා… යනදී ලෙස සෑම පාර්ශවයක්ම අත්වැල් බැඳ ක්‍රියා කිරීමයි. මෙහි අවසාන ප්‍රථිපලය වී ඇත්තේ මුස්ලීම් විරෝධි ජාතිවාදීන් ඉතා පහසුවෙන් මෙරට (සම්ප්‍රදායක හා සම්ප්‍රදායක නොවන) මුස්ලීම් ජනයා ගොදුරු කොට විනාශ කිරීමයි.

මෙවැනි ඉස්ලාම් විරෝධි පිරිස් පිලිබදව ශුද්ධ වූ කුර්ආනය කරන අවවාදය මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න

විශ්වාසවන්තයිනි! (ඉස්ලාම් විරෝධි) ඔවුහු නුඹලාට හිංසා පීඩා කිරීම ස්වල්ප වශයෙන්වත් අඩු නොකරන්නෝය. නුඹලා දුක් විඳිනු දකින්නට ඔවුහු කැමැත්තෝය. ද්වේශය ඔවුන්ගේ මුවින්ම නියතවශයෙන්ම හෙළි විය. එහෙත් ඔවුන් තමන්ගේ හදවත් තුළ සඟවාගෙන ඇති දේ ඛෙහෙවින් දරුණුය. අප විසින් (ඒ පිළිබද වූ ශුද්ධ වූ කුර්ආන් පාඨ) ආයාත් නුඹලාට පැහැදිළි කරන ලද්දේය. නුඹලා අවබෝධ කරගන්නේ නම්.

ශුද්ධ වූ කුර්ආන් 3-118

ඉහත වාක්‍යයත්, ජාතිවාදී ඔවුන්ගේ ක්‍රියාකලාපයත් මොහොතක් විමසා බලන්න…

  • මෙරට මුස්ලීම්වරුන්ගේ ආර්ථික ශක්තිය බිඳ දැමීමේ අරමුණ මිස එහි සම්ප්‍රදායක හෝ සම්ප්‍රදායක නොවන මුස්ලීම් භේදයක් ඔවුනට තිබුණේ නැත.
  • මෙරට මුස්ලීම්වරුන්ගේ ජාතික සමඟිය බිඳ දැමීමේ අරමුණ මිස එහි සම්ප්‍රදායක හෝ සම්ප්‍රදායක නොවන මුස්ලීම් භේදයක් ඔවුනට තිබුණේ නැත.
  • මෙරට මුස්ලීම්වරුන්ගේ ආගමික අයිතීන් උදුරා ගැනීමේ අරමුණ මිස එහි සම්ප්‍රදායක හෝ සම්ප්‍රදායක නොවන මුස්ලීම් භේදයක් ඔවුනට තිබුණේ නැත.
  • මෙරට මුස්ලීම්වරුන්ගේ සංස්කෘතික අයිතිය නැති කිරීමේ අරමුණ මිස එහි සම්ප්‍රදායක හෝ සම්ප්‍රදායක නොවන මුස්ලීම් භේදයක් ඔවුනට තිබුණේ නැත.
  • මෙරට මුස්ලීම්වරුන් මේ භූමියෙන් තුරන් කිරීමේ අරමුණ මිස එහි සම්ප්‍රදායක හෝ සම්ප්‍රදායක නොවන මුස්ලීම් භේදයක් ඔවුනට තිබුණේ නැත.
  • මෙරට මුස්ලීම්වරුන්ගේ නිවාස දේපල ගිනිබත් කිරීමේ අරමුණ මිස එහි සම්ප්‍රදායක හෝ සම්ප්‍රදායක නොවන මුස්ලීම් භේදයක් ඔවුනට තිබුණේ නැත.

බුද්ධිමත් විමසුමට…

මනුෂ්‍යයන් වශයෙන් හා ඔහුගේ බුද්ධි මට්ටම අනුව ආගමික ඉගෙන්වීමන් සම්බන්ධයෙන් විවිධ වූ මතවාද, වාද-විවාද ඇතිවීම සෑම දහමක ම දර්ශනයකම දකින්න තිබෙන පොදු තත්වයකි. ආගම් තුල නිකායවාදයන් ඇති වූයේ එහි ප්‍රථිපලයක් ලෙසයි. යේසුස් වහන්සේ ගෙන ආ දහම විවිධ නිකායවලට බෙදී ගියෙත්, බුදුන් වහන්සේ ගෙන ආ දර්ශනය මහායාන ථේරවාද… යනාදී ලෙස බෙදී ගියෙත් එහි ප්‍රථිපලයක් ලෙසයි. මේ අවාසනාවන්ත ඉරණමට ඉස්ලාම් දහමත් ගොදුරු වූවා යන්න තිත්ත වූ ඇත්තයි. ඉතිහාසය හොදින් විමසා බලන්නේ නම්, එහි මුස්ලීම්වරුන් පමණක් නොව අනිකුත් දහමන් දර්ශනයන් තුල ද මෙවැනි මත ගැටුම් වෙනුවෙන් විශාල යුද්ධ මිනිස් ඝාතන සිදුවූ ආකාරයන් ඉතිහාසය තුල ලියවී ඇත. අදටත් එම මතභේද වාද විවාද ඔවුන් අතර ඒ ආකාරයට ම තිබුණත් ඒවා ඔවුන්ගේ අභ්‍යන්තර අරඟලයකට සීමා කොට එකම ආගමක් ලෙස ලෝකයා ඉදිරියේ පෙනී සිටිනවා මිස වත්මන් මුස්ලීම්වරුන් වන අප තව්හීද් ජමාත් ලෙසත්, සුන්නි මුස්ලීම් ලෙසත්, සූෆි මුස්ලීම් ලෙසත්, ශියා මුස්ලීම් ලෙසත්, සම්ප්‍රදායක මුස්ලීම් ලෙසත්… ලෝකයා ඉදිරියේ භේද වී එක් පාර්ශවයක් අනික්පාර්ශවය ත්‍රස්ථවාදීන්, අන්තවාදීන්… යනාදී ලෙස භයංකාර මතවාදයක් සමාජය තුල වපුරවමින් ඉස්ලාම් හා මුස්ලීම් විරෝධීන් හමුවේ පාවාදී ඔවුන් සරණ ගියේ නැත.

මෙවැනි ජාහිලියා සරණ යන පිරිසගේ අවදානයට තවත් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ගෙන එන්නට කැමැත්තෙමි.

(ඔවුන් ඉස්ලාමයෙන් බැහැරව) ජාහිලියියා (ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර විසූ අඥාන) කාල නීති අනුව විනිශ්චය ඔවුන් සොයන්නේද? (නමුත්) ස්ථීර විශ්වාසික ජනයාට, අල්ලාහ්ට වඩා යහපත් විනිශ්චයකාරයකු කවරකුද?

ශුද්ධ වූ කුර්ආනය 5-5

සෑම මුස්ලීම්වරයෙකු ම එක් කාරණයක් පැහැදිලිව වටහා ගතයුතුය. එනම්, මුස්ලීම්වරුන් කුමන නමකින් කවර මතවාදයක් ඔස්සේ මොන මොන නිකායවලට, කල්ලිවලට බෙදී සිටියත්, ඔවුන් මුස්ලීම් නම්, ඒ සියළුදෙනා අල්ලාහ් දෙවි එකම දෙවියා යන ‘තව්හීදය’ පිලිගෙන ඇත. මුහම්මද් (සල්) තුමාණන් අවසාන වක්තෘවරයා ලෙසත් එතුමාණන්ගේ ආදර්ශය පරමආදර්ශය බවත් පිලිගෙන ඇත. එතැනින් එහාට ඇති වන මතභේද හා ගැටුම අභ්‍යන්තරයේ ආගමික විද්වතුන් මැදිහත්ව විසඳිය යුතු හා පාලනය කලයුතු, ඒ සදහා අභ්‍යන්තරයේ අරඟල කලයුතු තත්වයක් මිස ඉස්ලාම් හා මුස්ලීම් විරෝධීන් හමුවට එය ගෙන ගොස් ඔවුන්ගේ පිහිට පැතිය යුතු තත්වයක් නොවන බව පැහැදිලිව තේරුම් ගතයුතුයි.

අවසාන වශයෙන්…

මුස්ලීම් සමාජය නියෝජනය කරන ඔවුන් වෙනුවෙන් පෙනීසිටින දේශපාලන නායකයින් හා විද්වත් පාර්ශවයන් මෙන්ම වත්මන් මුස්ලීම් ආගමික නිකාය, කල්ලි, කණ්ඩායම් හා සංවිධාන නියෝජනය කරන ආගමික විද්වතුන් හා නායකයින් දැන්වත් තම පටු අරමුණුවලින් බැහැරව ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවගේ ආරක්ෂා තහවුරු කිරීමට සාමුහික ගමනකට අවශ්‍ය ක්‍රියාමාර්ගයකට අවතීරණය වියයුතුයි. ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ හෙට දිනය සුරක්ෂා කලයුතුයි. ඒ සදහා අවශ්‍ය පියවර ගතයුතුයි. මුස්ලීම්වරුන් සදහා වූ අවංක නායකත්වයක් මේ රට තුල බිහිකිරීමට අවශ්‍ය මෙහෙවෙරේ නායකත්වය මුස්ලීම් තරුණ පිරිස් අතට ගතයුතුයි. මේ රටේ පමණක් නොව ලොව කිසිදු රටක ආයුධ අරඟලයකින් දිනාගත් ජයග්‍රහනයක් නැති බව ලොවපුරා ඕනෑවටත් වඩා ඔප්පු වී හමාරය. මේ රට යහපත් රටක් කිරීමට මුස්ලීම්වරුන් ලෙස අප කලයුතු වන්නේ සැබෑ මුස්ලීම්වරුන් ලෙස ජීවත්වීම පමණයි. යලිත් පවසන්නේ අපි ආගමිකව කුමන මතවාදය නියෝජනය කලත්, එය අපගේ ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්’ යන ශක්තිය හීන කරන තැනට හේතුවක් කර නොගතයුතුය. එවැනි තැනකට කිසිවකු අපව මෙහෙයවයි නම්, පැහැදිලිවම එය ඉස්ලාම් පෙන්වා නොදෙන ක්‍රමවේදයක් බැවින් එවැනි කල්ලි කණ්ඩායම්වලින් හා එවැනි නායකයින්ගෙන් ඉවත්ව යහපත් සමාජයක් උදෙසා පොදු හඩක් නැඟීමට මුස්ලීම් සමාජය කටයුතු කලයුතුයි.

ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ ප්‍රෞඩ ඉතිහාසයට කැලලක් වෙන ලෙස අවාසනාවන්ත පාස්කු 21 ප්‍රහාරය මුස්ලීම් නම් දරයන් අතින් සිදුවුණි. ඉස්ලාමය හා එහි ඉගෙන්වීමන් පිලිබදව තිබූ අනවබෝධයත්, තරුණ ජවයත්, පසුගිය කාලවල මේ රටේ ජාතිවාදීන්ගේ මුස්ලීම් විරෝධී ක්‍රියාකලාපයත් අවස්ථාවක් කරගත් ජාත්‍යන්තර ත්‍රස්ථ සංවිධානය මේ රටේ තරුණ පිරිසගෙන් කිහිපදෙනෙකු ඔවුන්ගේ මතවාදයට ගොදුරු කොට පාස්කු 21 ප්‍රහාරය දියත් කරන තුරුම මේ රටේ මුස්ලීම් ජනතාව අතීතයේ පටන්ම රාජ්‍ය විරෝධි හෝ මේ භූමියට හතුරුකම් කල ජාතියක් නොවිය. නමුත් අද මේ රටටත් භූමියටත් හතුරුකම් කල පාර්ශවයන් ජාතිවාදීන් සමඟ ‘හතුරාගේ හතුරා මිතුරා’ යන න්‍යායෙන් අත්වැල් බැඳ ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට එරෙහිව අත්වැල් බැඳ සිටී. ඒ සියළුදෙනාට කියන්නට ඇත්තේ මේ රටේ මුස්ලීම් ජනයාට එරෙහිව කවුරුන් කවර ආකාරයට කුමණ්ත්‍රනය කලත්, ක්‍රියා කලත් ‘මේ රට අපෙත් රට අප ඉපදුනු රට මේ රට හැර අපට යන්න වෙන රටක් නැත’ යන්න යථාර්තයයි. එය කිසිවකුටත් කිසිදු ව්‍යාපාරයකටවත් අහිමි කල නොහැක.

එසේනම්, ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් ලෙස අපේ පැත්තෙන් අප හදාගතයුතු නිවරැදි කරගතයුතු යම් යම් දේවල් ඇත. ඒවා හදුනාගෙන කටයුතු කලයුතුව ඇත. එසේම සම්ප්‍රදියක, සම්ප්‍රදායක නොවන පුහු වාදයන් පසෙක දමා එකම ජාතියක් ලෙස නැඟීසිටීමටත් අවශ්‍ය වී ඇත. ඒ සදහා මුස්ලීම් සමාජයට ශක්තිය ධෛර්‍යය ලැබේවා! යනුවෙන් ද, ඉස්ලාම් දහම එක් එක් පුද්ගල ඔලුවලින් හෝ කල්ලි කණ්ඩායම්වල ක්‍රියාකලාපයන් තුලින් නොව සැබෑ ඉගෙන්වීමන් තුලින් අවබෝධ කරගැනීමට ශක්තිය හා විවෘත මනසක් ලැබේවා ! යනුවෙන් ද, අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා කරමින් මේ ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/09/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම