මුස්ලීම් වෙස්ගත්තු මුෂ්රික්වරුන්

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහම “සර්වබලධාරී ඒකදේව” විශ්වාසය පදනම් කරගත් දහමකි. මෙම ඒකදේව සංකල්පය (හෙවත් “තව්හීදය”) ප්‍රතික්ෂේප කරන්නන් “කාෆිර්වරුන්” ලෙසත්, ඒකදේව සංකල්පය පිලිගෙන නමුත් සර්වබලධාරී දෙවියන්ගේ ගුණාංග තවත් කිසිවකට හෝ කිසිවෙකුට සම කරමින් හා විශ්වාසය තබමින් කටයුතු කරන්නන් “මුෂ්රික්වරුන්” ලෙසත් ඉස්ලාම් දහම දකී. (මේ විෂය මුෂ්රික් සහ කාෆිර් යන ලිපිය තුලින් යහමග අඩවිය තුල මීට ඉහත දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත.) මේ අනුව ලොවපුරා සිටින බොහෝ කිතුණුවන් සහ යුදෙව්වන් මෙම සර්වබලධාරී දේව සංකල්පය පිලිගනිමින් ඔහුට සමානයන් තබන “ත්‍රිත්වය” වැනි සංකල්පයන් ද විශ්වාස කරන නිසා ඔවුන් ද “(දෙවියන්ට සමානයන් තබන ක්‍රියාව) ශිර්ක්” කරන “මුෂ්රික්වරුන්” ලෙස ඉස්ලාම් දහම දකී. ඉස්ලාමයෙන් පරිභාහිරව එවන් “ශිර්ක්” ක්‍රියාවල නිරත “මුෂ්රික්වරුන්” පිරිස් සිටිනවා සේම මුස්ලීම් සමාජය තුල ද “ශිර්ක්” වූ ක්‍රියාවන් හි නියැලෙන මුස්ලීම් වෙස්ගත් “මුෂ්රික්වරුන්” සිටිනවා යන්න මේ සමාජයට කරුණු පැහැදිලි කිරීම මෙම ලිපියෙහි මූලික අරමුණයි. සදාකල් නිරයේ රඳවන, දෙවියන්ගෙන් සමාව හිමි නොවන ඒ මහා පාපයට සමාජය ගොදුරු වී ඇති ආකාරය සහ මේ පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් සහ අවවාදයන් කුමක්ද? යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

අල්ලාහ් (දෙවි)ගේ අයිතීන් අභියෝගයට ලක්වන ආකාරයට හෝ ඔහුගේ අයිතීන් අවතක්සේරුවට ලක්වන ආකාරයට ඔහුගේ අයිතීන් වෙනත් කිසිවෙකුට හෝ කිසිවකට ආරෝපණය කොට කටයුතු කිරීම ඔහුගේ ස්වාමිත්වය, දේවත්වය සහ ඔහුගේ ගුණාංග ප්‍රතික්ෂේප කිරීමකි. මෙවන් ක්‍රියාවක නියැලීම ඉස්ලාම් දහම “ශිර්ක්” නම් මහා පාපයක් ලෙස දකින අතර එම ක්‍රියාවල නියැලෙන්නන් “මුෂ්රික්වරුන්” ලෙස දකී. වත්මන් මුස්ලීම් සමාජය තුල සුලභව දකින්නට ලැබෙන එවන් පාපකාරී ක්‍රියාවන්, විශ්වාසයන් කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට මෙහි පෙලගසන්නේ නම්,

  • අල්ලාහ් (දෙවි) සමඟ එක්ව විශ්වයේ කටයුතු නිර්ණය කරන කිසිවෙකු සිටින බව විශ්වාස කිරීම,
  • අල්ලාහ් (දෙවි) සමඟ එක්ව ජීවිතය සහ මරණය ලබාදීමේ පාලනය හිමි කිසිවෙකු සිටින බව විශ්වාස කිරීම,
  • අල්ලාහ් (දෙවි) හැර සම්පූර්ණයෙන්ම කීකරු විය යුතු වෙනත් කෙනෙකු ද සිටින බවට විශ්වාස කිරීම,
  • එසේ කීකරුවන පිරිසගේ අවශ්‍යතාවය අනුව දහමේ “හරාම්” (තහනම) සහ “හලාල්” (අවසර) අනුගමනය කිරීම,
  • එසේ අනුගමනය කරන දෑ අල්ලාහ් (දෙවි)ගේ හෝ රසූල්වරයාගේ මඟපෙන්වීමට පටහැනි වුවද එය පිලිගැනීම,
  • අල්ලාහ් (දෙවි)ට ආදරය කරන ආකාරයටම ඔහුගේ මැවීමකට ආදරය කිරීම (අල්කුර්ආනය 2:165) ,
  • අල්ලාහ් (දෙවි) මෙන්ම අදෘශ්‍යමාන දේ දන්නා අයද සිටින බවට විශ්වාස කිරීම (මෙය “ෂියා” සහ “සුෆිවාදීන්” අතර ඉතා සුලභය),
  • දහම තුල නිකායවාදයක් ගොඩනඟමින් එහි තම ඉමාම්වරුන් සහ නායකයින් අදෘශ්‍යමාන දේ පිළිබඳ දැනුමක් ඇති බව විශ්වාස කිරීම,
  • අල්ලාහ් (දෙවි)ට පමණක් සුදුසු ආකාරයෙන් දයාව දක්වන තවත් කෙනෙකු සිටින බව විශ්වාස කිරීම,
  • අල්ලාහ් (දෙවි) මෙන්ම දයාව දක්වන, පව් කමා කරන, තම නමස්කාරයන්ගේ නරක ක්‍රියා නොසලකා හරින තවත් කෙනෙකු පිලිබදව විශ්වාස කිරීම,
  • අල්ලාහ් (දෙවි) හැර වෙනත් කිසිවෙකුගෙන් ප්‍රාර්ථනා කිරීම,
  • මියගිය පුද්ගලයන්ගෙන් ප්‍රාර්ථනා කිරීම හා උපකාර පැතීම,
  • අල්ලාහ් (දෙවි) හැර වෙනත් කිසිවෙකුට යාච්ඤා කිරීම,
  • අල්ලාහ් (දෙවි) හැර වෙනත් කිසිවෙකුගෙන් උපකාර පැතීම,
  • අල්ලාහ් (දෙවි) හැර වෙනත් කිසිවෙකුට පාලනය කළ නොහැකි කාරණා සම්බන්ධයෙන් වෙනත් අයගෙන් රැකවරණය පැතීම,
  • තමන් කැඳවනු ලබන අය බලවත් අනාගත වක්තෘවරයෙකු, වලීවරයෙකු, අවුලියාවරයෙකු, දේවදූතයෙකු හෝ ජින්වරුන්ගෙන් කෙනෙක් හෝ වෙනත් නිර්මාණයක් යැයි විශ්වාස කිරීම,
  • අල්ලාහ් (දෙවි) හැර වෙනත් වස්තුවකට, තැනකට, ගොඩනැඟිල්ලකට පූජා පැවැත්වීම,
  • අල්ලාහ් (දෙවි) හැර වෙනත් වස්තුවකට, තැනකට, ගොඩනැඟිල්ලකට යාඥා කිරීම,
  • අල්ලාහ් (දෙවි) හැර වෙනත් වස්තුවකට, තැනකට, ගොඩනැඟිල්ලකට වැඳ වැටීම,
  • අල්ලාහ් (දෙවි)ගේ තීන්දු අභීයෝගයට ලක් කරන ආකාරයට දහම තුල නව නීති ප්‍රකාශ කිරීම,
  • ඉස්ලාම් දහමේ නීති අභිබවා ගොස් මිනිසුන් විනිශ්චය කරමින් ඔවුනට “මූමීන්” සහ “කෆීර්” ලෙස තීන්දු ලබාදීම,
  • සැබෑ ඇදහිලිවන්තයන් වන මුස්ලීම්වරුන්ට එරෙහිව ක්‍රියා කිරීමට ඉස්ලාම් විරෝධීන්ට උපකාර කිරීම,
  • ඉස්ලාමයේ මූලික ඉගෙන්වීමන්ට පටහැනිව ඉස්ලාම් නමින් දහම තුල නව සංකල්ප නිර්මාණය කරන පිරිස අනුගමනය කිරීම,
  • ...

ඉහතින් සදහන් විශ්වාස හා පිලිගැනීම් බොහෝමයක් මුස්ලීම් ලෝකය තුල අඩු වැඩි වශයෙන් අදටත් දකින්නට තිබේ. එහිද ශ්‍රී ලාංකීය සමාජය තුල මුස්ලීම් බහුතරයක් අතර ඉහතින් සදහන් සියල්ල සුලභව දකින්නට ඇත. එයට මා මෙහි සරල නිදසුනක් පවසනවා නම්,

අප රටේ සහ අපට ආසන්න ඉන්දියාවේ බොහෝ මුස්ලීම්වරුන් අතර පවතින විශ්වාසයක් නම්, මීට වසර 950 කට පමණ පෙර ඉරාකයේ බග්දාද් යන නගරයේ විසූ මුහියද්දීන් අබ්දුල් කාදර් ජෙයිලානි නම් ආගමික විද්වතා “අව්ලියාවරයෙකු” යන්නයි. (මෙසේ කෙනෙකු අව්ලියාවරයෙකු ලෙසට තීන්දු කිරීමට හැකිද? යන්න යහමග අඩවිය තුල මීට ඉහත අව්ලියාවරුන් ඉස්ලාමීය විමසුමක් යන මාතෘකාව යටතේ දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත.) මේ අනුව ඔහු අව්ලියාවරයෙකු යැයි සලකන සමාජය ඔහුට දිව්‍යමය ගුණාංග ආරෝපණය කොට ඔහුට වැඳුම්, පිඳුම්, නමස්කාර සහ ඔහුගෙන් ප්‍රාර්ථනා කිරීම සුලභ දසුනකි. එපමණක් නොව සෑම සිකුරාදා ජුම්මා දේශනය තුල ද අප රටේ අති බහුතරයක් පල්ලිවල ඔහුව ආමන්ත්‍රණය කිරීම ද සුලභ දසුනකි. මෙම අබ්දුල් කාදර් තුමා පිලිබදව වූ විශ්වාසය මේ සමාජය තුල කොතරම් ගැඹූරකට විහිදී ඇත්ද යන්න පවසනවා නම්, මෙම විශ්වාසයන් පිලිගන්නා අප රටේ බහුතරයක් පිරිස් තමන්ට කරදරයක්, අනතුරක් ඇති වන විට “යාමුහියද්දීන්” කියා මුලින්ම ආරක්ෂාව පතන්නේ “මුහියද්දීන් අබ්දුල් කාදර්” තුමාගෙන් යන තැනට පත්ව ඇත. මෙය ශ්‍රී ලාංකීය සමාජය තුල සාමාන්‍ය හා සුලභ තත්දවයක් ද වී ඇත.

උදාහර්ණයකට දරුවෙකු බිමට ඇද වැටෙන මොහොතක් ගත්විට මේ සමාජයේ අති බහුතරයක් මාපියන්ගේ සහ වැඩහිටියන්ගේ එකම හඬ වන්නේ “යාමුහියද්දීන්” යන්නයි. එනම්, “මුහියද්දීන් අබ්දුල් කාදර් තුමණි මගේ දරුවා බේරගන්න” යන්නයි. මෙවැනි ප්‍රකාශ තුල ගැබ්ව ඇති විශ්වාසයන් හා පිලිගැනීමන් ඉස්ලාම් දහමට කොතරම් අනුකූලද? යන්න මොහොතක් ඉහත නිදසුන පදනම් කරගෙන විමසා බැලුවේ නම්, ඒ තුල “ශිර්ක්” ක්‍රියා හා විශ්වාස රාශියක් දැකගත හැකි වේ. එවැනි කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්,

  • එම “යාමුහියද්දීන්” ආමන්ත්‍රණය තුල මීට වසර 850 කට පමණ පෙර එනම්, 1166/02/21 දී මියගිය අබ්දුල් කාදර් තුමා, අල්ලාහ් (දෙවි) සේම අදටත් අප පවසන දෑ සවදෙමින් සිටින බව ඔවුන් විශ්වාස කරයි. මෙසේ සවන්දීම අල්ලාහ් (දෙවි)ට පමණක් ආවේනික දිව්‍යමය ගුණාංගයක් වන අතර එය අබ්දුල් කාදර් තුමාට ආදේශ කිරීම පැහැදිලි “ශිර්ක්” ක්‍රියාවක් වන අතර එය කරන තැනැත්තා මුෂ්රික්වරයෙකු වේ.
  • එසේම, එම “යාමුහියද්දීන්” ආමන්ත්‍රණය තුල මිනීවළෙහි සිටින ඔහුට ද, අල්ලාහ් (දෙවි) සේම අපව ක්ෂණිකව ආරක්ෂා කිරීමේ සහ පිහිටවීමේ හැකියාව ඇතැයි යන විශ්වාසය එහි අන්තර්ගත වී ඇත. මෙසේ පිහිට වීම අල්ලාහ් (දෙවි)ට පමණක් ආවේනික දිව්‍යමය ගුණාංගයක් වන අතර එය අබ්දුල් කාදර් තුමාට ආදේශ කිරීම පැහැදිලි “ශිර්ක්” ක්‍රියාවක් වන අතර එය කරන තැනැත්තා මුෂ්රික්වරයෙකු වේ.
  • එසේම, ශ්‍රී ලංකාවේ කොතැනක හෝ නිවසක් තුල කරන සාමාන්‍ය “යාමුහියද්දීන්” හඬ කිලෝමීටර් 4734 (km) ක් දුරින් ඉරාකයේ මිනීවළක සිටින අබ්දුල් කාදර් තුමා අල්ලාහ් (දෙවි) සේම සවන් දෙනු ඇතැයි යන විශ්වාසය එහි ගැබ්ව ඇත. මෙසේ සවන්දීම අල්ලාහ් (දෙවි)ට පමණක් ආවේනික දිව්‍යමය ගුණාංගයක් වන අතර එය අබ්දුල් කාදර් තුමාට ආදේශ කිරීම පැහැදිලි “ශිර්ක්” ක්‍රියාවක් වන අතර එය කරන තැනැත්තා මුෂ්රික්වරයෙකු වේ.
  • එසේම, ශ්‍රී ලංකාවේ සිට දමිල හෝ සිංහල බසින් කරන ආයාචනය හා ප්‍රාර්ථනය ඉරාක බස හෝ අරාබි බස (දමිල හා සිංහල බස නොදන්න) අබ්දුල් කාදර් තුමා අල්ලාහ් (දෙවි) සේම දිව්‍ය හාස්කමකින් තේරුම් ගන්නවා ඇතැයි යන විශ්වාස මේ තුල ඇත. මෙසේ තේරුම් ගැනීම අල්ලාහ් (දෙවි)ට පමණක් ආවේනික දිව්‍යමය ගුණාංගයක් වන අතර එය අබ්දුල් කාදර් තුමාට ආදේශ කිරීම පැහැදිලි “ශිර්ක්” ක්‍රියාවක් වන අතර එය කරන තැනැත්තා මුෂ්රික්වරයෙකු වේ.
  • එසේම, එම “යාමුහියද්දීන්” ආමන්ත්‍රණය හඩ නොනඟා මනසින් කලත් මිනීවළෙහි සිටින අබ්දුල් කාදර් තුමා පිහිට එන බව මේ සමාජය විශ්වාස කරයි. මනසේ ඇති දේ දැනගැනීමේ ගුණාංගය ද අල්ලාහ් (දෙවි)ව පමණක් ආවේනික දිව්‍යමය අංගයකි. එය අබ්දුල් කාදර් තුමාට ආදේශ කිරීම පැහැදිලි “ශිර්ක්” ක්‍රියාවක් වන අතර එය කරන තැනැත්තා මුෂ්රික්වරයෙකු වේ.
  • මේ සියල්ලටම වඩා අල්ලාහ් (දෙවි) දෙවැනි කොට ඔහුට ඉහලින් මෙම අව්ලියාවරුන් යැයි පවසා ගන්නා පිරිස් තබා ඔවුන්ගෙන් උපකාර පැතීම සර්වබලධාරි අල්ලාහ් (දෙවි) ව ප්‍රතික්ෂේප කරන තරම් මහා පාපයක් වන අතර එය ද පැහැදිලි “ශිර්ක්” මෙන්ම “කුෆ්ර්” ද වේ.

ඉහතින් මෙහි මා ඉදිරිපත් කොට ඇත්තේ ශ්‍රි ලාංකීය සමාජය තුල ජනප්‍රිය එක් “අව්ලියා නැමදුමක්” පමණි. මෙවැනි මිත්‍යා ඇදහිලි, විශ්වාස හා පිලිගැනීම් රාශියකින් මේ මුස්ලීම් සමාජය පිරී ඇත. එම මිත්‍ය ඇදහිලිවලට ඔවුන් ඉස්ලාමයේ මූලික වගකීම් වන පස්වේල නැමදුම, උපවාසය, සzකාතය... වැනි නැමදුම්වලට වඩා මුල්තැනක් හා උනන්දුවක් දක්වන ආකාරයත්, එම කටයුතුවල සතුටින් නිරත වන ආකාරයත් දකින්නට ලැබේ. එසේම ඔවුන් අව්ලියාවරුන් යැයි පවසා ගන්නා පිරිස් වෙනුවෙන් විවිධ සැමරුම් හා උත්සව පවත්වමින් සහ ඉහතින් මා සදහන් “ශිර්ක්” වූ ගුණාංග ඔවුන්ගේ දිව්‍යමය ගුණාංග බවට ගුණවර්ණනා කරමින් එම මිත්‍යා දෘෂ්ඨිකයන් කටයුතු කරන්නේ පහතින් සදහන් දිව්‍යමය අවවාදය සත්‍ය කරන ලෙසිනි. එනම්,

(නබිවරයාණෙනි!) තමන්ගේ ආශාවන් (තමන් නමදින) දෙවිවරුන් වශයෙන් අරගත් කෙනෙකුව ඔබ අවධානය කළෙහිද?...

අල්කුර්ආනය 45-23

තමන්ගේ ආශාවන් හා විශ්වාසයන් ඉස්ලාම් ලෙස ගෙන ඒවාට දේව ගුණාංග ආරෝපණය කොට කටයුතු කරන ඉහත 45-23 වාක්‍යයෙන් පවසන ඒ කණ්ඩායම වත්මන් සමාජයේ මුස්ලීම් වෙස්ගත් මිත්‍යා දෘෂ්ඨිකයන් “මුෂ්රික්වරුන්” යැයි ඔබට නොසිතේද?. මෙහි ඛේදනීයම තත්වය නම්, ආගමික විද්වතුන් කියාගන්නා බොහෝ පිරිස් මෙවැනි “ශිර්ක්” මතවාද සමාජය තුල වැපිරීමෙහි නියමුවන් ලෙස සිටීමයි. සාමාන්‍ය ජනයා ආගමික ඉගෙන්වීමන් ගැඹූරින් අධ්‍යනය කිරීමට දක්වන මැලිබවත්, “දහම අවබෝධ කරගත හැක්කේ ආගමික විද්වතුන්ට පමණයි” යනුවෙන් ඔවුනට පවසා ඔවුන් සත්‍ය දහම අධ්‍යනය කිරීමෙන් වැළකීමට ඉහතින් සදහන් මිත්‍ය දෘෂ්ඨික ආගමික විද්වතුන් කටයුතු කිරීමත් හේතුවෙන් මේ සමාජය නොමඟ ගොස් ඇත. ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පවා අවබෝධ කොට නොගෙන මිත්‍ය දෘෂ්ඨිකයින් සරණ ගිය සමාජය අල්ලාහ් (දෙවි) ද සෘජු මාර්ගයෙන් ඉවත් කරන බව ඉහත 45-23 වාක්‍යයෙන් තවදුරටත් මෙසේ පවසයි.

(නබිවරයාණෙනි!) තමන්ගේ ආශාවන් (තමන් නමදින) දෙවිවරුන් වශයෙන් අරගත් කෙනෙකුව ඔබ අවධානය කළෙහිද? ඔහුට (ප්‍රමාණවත්) අධ්‍යාපන දැනුමක් තිබියදී (ඔහුගේ පාපයන්හි හේතුවෙන්) අල්ලාහ් ඔහුව වැරදි මාර්ගයෙහි අත්හැර දමා, ඔහුගේ කණ් මතද, හෘදයන් මතද, මුද්‍රා තැබුවේය. තවද ඔහුගේ බැල්ම මතද, තිරයක් නිර්මාණය කර හැරියේය. අල්ලාහ් (මෙසේ) කිරීමෙන් පසු ඔහුව කවුරුන්ට නම් ඍජු මාර්ගයෙහි ඇතුළු කළ හැකිද? (මෙය) ඔබ අවධානය කර බැලිය යුතු නොවේද?

අල්කුර්ආනය 45-23

මෙතැනදී හාස්‍යජනක කාරණයක් ද සදහන් කලයුතුව ඇත. එනම්, මීට වසර 950 කට පෙර විසූ අබ්දුල් කාදර් තුමාව අව්ලියාවරයෙකු ලෙස ගෙන කටයුතු කරන මේ මිත්‍යා දෘෂ්ඨික සමාජය ඊට සියවස් 5 කට පමණ පෙර විසූ අල්ලාහ් (දෙවි) විසින් ඇත්තටම අව්ලියාවරයෙකු ලෙස නම් කල ඔහුගේ වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ව හෝ එතුමාණන්ගේ සමකාලීන උතුම් අව්ලියා සහාභාවරුන්ව ඉහලින් පිලිගැනීමට සූදානම් නොමැති වීමයි. මෙතැනදී විශේෂයෙන් අවදාරණය කලයුතු කාරණයක් ද ඇත. එනම්, මුහම්මද් (සල්) තුමාණන්ට හෝ එතුමාණන්ගේ සමකාලීන සහාභාවරුන්ට හෝ ඉහතින් සදහන් මිත්‍ය දෘෂ්ඨිකයින් සිතන ආකාරයට දිව්‍යමය ගුණාංග ඇති බව හෝ තිබූ බව මා මෙහි කිසිවිටෙකත් නොපවසමි. එසේ කිසිවකු සිතුවේ නම් එය ද “ශිර්ක්” බවද මෙහි දැඩිව අවදාරණය කරමි. නමුත් ඉහතින් සදහන් දිව්‍යමය සහතික නොලත් මිත්‍යා අව්ලියාවරුන්ට වඩා නබිතුමාණන් ඇතුළු සහාභාවරුන් අල්ලාහ් (දෙවි)ගේ සහතිකලත් අගය කලයුතු හා ආගමික සීමාවන් තුල ගුණවර්ණනා කලහැකි පැහැදිලි අව්ලියාවරුන් යන්න පමණක් මෙහි අවදාරණය කරමි

මේ ආකාරයට අල්ලාහ් (දෙවි)ටත් ඔහුගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ටත් ඉහලින් විවිධ චරිත තබා ඔවුන් අදහමින් ඉස්ලාමයේ ඉගෙන්වීමන් පිලිබදව නිසි අවබෝධයකින් තොරව පැහැදිලි නොමඟ යෑමක සිටින සමාජය පිලිබදව අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ එක්තරා ස්ථානයක පහත ආකාරයට කරන අවවාදය මෙහි ඔබේ අවදානයට ගෙන ඒමට කැමැත්තෙමි. එනම්,

මිනිසුන්ට කුමක් හෝ විපතක් ළඟා වන විට, ඔවුන් තමන්ගේ දෙවියන් දෙසට මුහුණ හරවා ඔහු වෙතින් ප්‍රාර්ථනා කරන්නාහ. පසුව ඔහු (එය පහ කර) ඔවුන්ව (ආරක්ෂා කොට) තමන්ගේ වරප්‍රසාදයන් විඳින සේ සැලැස්සුවහොත් ඔවුන්ගෙන් එක් කොටසක් තමන්ගේ දෙවියන්ටම සමානයන් තබන්නාහ.

අල්කුර්ආනය 30-33

ඉහත දිව්‍ය වදන පවසන සත්‍යය මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න. අපට මහා අනතුරක්, විනාශයක් හෝ කරදරයක් ඇති වනවිට අල්ලාහ් (දෙවි) දෙසට හැරෙන අප එම අනතුර, විනාශය හෝ කරදරය අපෙන් පහව ගිය පසු ඔවුන් කුහකයින් ලෙස කටයුතු කරමින් අපව බේරගත්තේ අපගේ අර අව්ලියා, මේ අව්ලියා කියා විවිධ අව්ලියාවරුන්ගේ ගුණවර්ණනා කරමින් ඔවුන් පසුපස යන අවාසනාවන්ත ඛේදවාචකයක් මේ සමාජය තුල අප නොදකින්නෙමුද?. එම ඉහත 30-33 වාක්‍යය හොදින් විමසා බැලුවේ නම්, එය ශ්‍රී ලාංකීය අප දෙස බලමින් පහල කල වාක්‍යයක් දෝ යැයි හැඟෙන තරමට එම පාපය තුල මේ සමාජය ගිලී ගොස් නොවේද?. මෙතැනදී ඉහත 30-33 වාක්‍යය අල්ලාහ් (දෙවි) අවසාන් කරන ආකාරය වෙත ඔබේ දැඩි අවදානය යොමු කිරීමට කැමැත්තෙමි. එනම්, ඒ ...තමන්ගේ දෙවියන්ටම සමානයන් තබන්නාහ. යනුවෙනි. මෙයින් අල්ලාහ් (දෙවි) අදහස් කරන්නේ “දෙවියන්ට සමානයන් තබන “ශිර්ක්” ක්‍රියාවක නියැලෙන ඔවුන් “මුෂ්රික්වරුන්” යන්න නොවේද?. එසේ පැවසීමෙන් ද නතර නොවන අල්ලාහ් (දෙවි) ඊට පසු වාක්‍යය වන 30-34 න් පවසන කාරණය ද මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න. එනම්,

අපි ඔවුන්ට පහළ කළ දැය, ඔවුන් ප්‍රතික්ෂේප කරනු ඇත. ඔබ (ඔබගේ කැමැත්තට අනුව පොඩියක්) සුවය විඳිනු. (ඔබගේ නපුරේ ඵලවිපාක) ඉතා ඉක්මනින් ඔබ දැන ගන්නෙහුය.

අල්කුර්ආනය 30-34

ඉහත 30-34 වාක්‍යය මඟින් දෙවියන් විසින් පහල කල (ඉස්ලාම්) දහම අප ප්‍රතික්ෂේප කොට ඇති බව එහි පවසයි. එයින් අදහස් කරන්නේ අප “කුෆ්ර්” ක්‍රියාවක නියැලී සිටින “කාෆිර්වරුන්” වී ඇති බවයි. තවත් සරලව ම පවසනවා නම්, මෙහි අදහස් කරන්නේ මෙවැනි ක්‍රියාවල නියැලෙන සෑම මුෂ්රික්වරයෙකුම නිරන්තරයෙන් “කාෆිර්වරයෙකු” තත්වයට ද පත් වන බවයි. එසේනම්, අවසාන වශයෙන් ඉහත මිත්‍යාවන් තුල සිටින පිරිසගෙන් විමසන්නට ඇත්තේ,

  • අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ 45-23 හි පවසන ආකාරයට තවදුරටත් “තමන්ගේ ආශාවන් (තමන් නමදින) දෙවිවරුන් වශයෙන් අරගන්නවාද?” යන්නත්,
  • අල්කුර්ආනයේ 30-33 හි පවසන ආකාරයට තමන්ට හිංසාවක්, පීඩාවක් හෝ කරදරයක් ඇති වූ විට අල්ලාහ් (දෙවි) සරණ ගොස් එයින් මිඳනු පසු තම අව්ලියාවරුන් පසුපස යනවාද? යන්නත්,
  • එසේ ඔවුන් සරණ ගොස් අල්කුර්ආනයේ 30-34 හි සදහන් ආකාරයට “කාෆිර්වරයෙකු” වනවාද? යන්නත් පමණි.

එම බුද්ධිමත් හා තීරණාත්මක තීන්දු ඔබට ම භාර කරමින් මෙම සටහනට විරාමය තබන්නේ “යාඅල්ලාහ්!, අප සියළුදෙනාට මූමීන්වරුන් ලෙස මෙලොව ජීවත් වී යහපත් මුස්ලීම්වරයෙකු ලෙස මියදීමට ඔබගේ ආශිර්වාදය ලබාදෙත්වා!” යන ප්‍රාර්ථනයෙනි.

Click



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/09/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම