දේවවාදය බුද්ධියෙන් විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අල්ලාහ් (දෙවි)
අල්ලාහ් (දෙවි)
සාරාංශය - දෙවියන්, විනිශ්චය දිනය, සුවර්ගය, අපාය යනුවෙන් තමාට තමාම වැටකඩුලූ යොදා ගන්නවා මිස ඒවාට කිසිදු පදනමක් හෝ සාක්‍ෂියක් නැත. මේක නවීන ලෝකයක් මෙහි විද්‍යාව ඉතා දියුණුයි. මෙහි දකින්නේ නැති, විදින්නේ නැති, දැනෙන්නේ නැති කිසිවක් විශ්වාස කල නොහැක. බෝහෝ සියවස් ගනනක් ගෙවී ගියත් තවම විද්‍යාව දෙවියන් සොයාගැනීම හෝ ඒ පිලිබදව සාක්‍ෂියක් පවා සොයාගැනීමට අපොහොසත්. මෙම විශ්වය යම් ශක්තියක් විසින් නිර්මාණය කල එකක් නොවේ. එය ඉබේම එසේත් නැත්නම් ස්වයං නිර්මාණයකි. ස්වයංව නිර්මාණය වු විශ්වය පාලනය සදහා කිසිදු ශක්තියක් අවශ්‍ය නොවේ.

දේවවාදය බුද්ධිමත් විමසුමක්

දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේද?

ආගම් හා දර්ශනයන් නාමයෙන් පීඩාවට පත්කරන ලද මිනිසා අවිද්‍යාවෙන් මිදෙන බවට වහසි බස් දොඩමින් විද්‍යාවේ සරණ පැතීය. ගින්දර යුගයේ සිට අගහරු යුගයටත් එතැනින් 21 වන සියවසයට පා තබන මිනිසා භෞතික වශයෙන් අනේක විධ යෝධ පියවරවල් තබමින් තාක්‍ෂණික ලොවට අවතීරණ විය. භෞතිකමය වශයෙන් දියුණුවේ ඉනිපෙත්තටම ගිය මිනිසා සිත දියුණු කිරීමේලා එවැනි යෝධ පියවරවල් තබන්න අසමත් විය. මිනිස් දියුණුවේ සාර්ථකත්වය පවතින්නේ භෞතික මෙන්ම අධ්‍යාත්මිකව ලබාගන්නාවු දියුණුවේය. ඒ අනුව මිනිසා තමා හා විශ්වය පිලිබදව ලබාගන්නා දැනුම අනුව සැලකීමේදී කිසියම් සීමාවක කොටුවී ඇති බවක් පෙනීයයි. එනිසයි 1961.04.12 දින ප්‍රථමයෙන් අභ්‍යාවකාෂය තරණයකල යුරි ගගාරින් (ජීවත්වු කාලය 1934-1968) නැවත පෘථිවියට පැමිණි අවස්ථාවේ පැවසුවේ “මා අහස පුරාම දෙවියන් සෙව්වෙමි නමුත් එහි කිසිදු දෙවියකු දක්නට නොලැබුනි” යනුවෙනි.

අදේව වාදීන්ට එනම් දෙවියෙක් නැතැයි යන විශ්වාසය මත පමණක් පදනම් වුවන්ට සහා ස්වයං වාදය එනම් සියල්ල ඉබේ ඇතිවුවක් යනුවෙන් විශ්වාස කරන ජනයාහට මෙය ඉතා හොද ප්‍රකාශයක් මෙන්ම සාක්‍ෂියක් විය. නමුත් මේ පිලිබදව බුද්ධිමත් ආකාරයෙන් සිතන විට එය නිවරුදි තර්කයක් නොවන බව පැහැදිලි වනු ඇත. විශ්වයේ විශාලත්වය සමග මොහු ගිය ගමන සැලකුවේ නම් එය සැලකිය නොහැකි තරම් කෙටිම කෙටි දුරකි. අදටත් විශ්වයේ විශාලත්වය විද්‍යාවට නිර්ණය කිරීමට නොහැකිව ඇත. විශ්වයේ විශාලත්වය සම්බන්ධයෙන් බුදුදහමේ පවසන කරුණ බහුතරයක් බෞද්ධයන් සිටින රටක් නිසාත් දෙවියන් පිලිබදව බෞද්ධයන් අතර පවතින්නේ මීට සමාන වු මතයක් නිසාත් එය ඉදිරිපත් කරමි.

අංගුත්තර නිකායේ රෝහිතස්ස සුත්‍රයේ මෙසේ සදහන්වේ,

“බුදුන්වහන්සේ ලගට පැමිණී රෝහිතස්ස බමුණා පවසනවා ‘ස්වාමිණී මම ඉස්සර ආත්මයේ රෝහිතස්ස නමින් තවුසෙක් වෙලා හිටියා මට ප්‍රබල සෘද්ධි බලයක් තිබුණා. එතකොට මට පුලූවන් වුනා දක්‍ෂ දුනු ශිල්පියකු තල් කොලයක් සිදුරුවෙන්න විදින්න කොයිතරම් කාලයක් ගතවේද ? ඒ තරම් සුඵ කාලයක් ඇතුළත එක් ලෝකදාතුවක් විනිවිද ගමන් කරන්න. ඉතින් මට හිතුනා විශ්වයේ කෙලවර සොයන්න. මම අවුරුදු 100 ක් අර වේගයෙන් විශ්වයේ උඩට ගමන්කලා අවසානයේ ඉම සොයාගන්න බැරුව මම උඩදීම මියගියා.’ ”

මේක තමයි විශ්වයේ අවසානය සොයා ගිය ගමනේ වැඩිම දුරක් ගිය පැරණිතම වාර්තාව. එයින් පෙනීයන්නේ බුදුදහමට අනුව බැලූවත් විශ්වයේ විශාලත්වය අනන්ත බවයි. ඉතින් එතරම් විශාල විශ්වයේ පවතින කෝටි ගනන් ග්‍රහ වස්තුවලින් එකක් වන මෙම පෘථිවියේ සිට ඉතා කෙටිදුරක් වන කිලෝමීටර් 327 ක් අහසට ගිය යුරි ගගාරීන් ගුවනේ රුදී සිටියේ ද ඉතා කෙටිකාලයක් වන විනාඩි 108 ක් පමණි. දියුණු තාක්‍ෂණ උපකරණ පවා නොමැති අවදියක විශ්ව ගවේෂණයේ යෙදුණු මොහුගේ ප්‍රකාශණය දෙස බැලීමේදී මොහු බුද්ධිමතෙක් යයි පවසනවාද? එසේත් නැත්නම් අන්ඥානයෙක් යයි පවසනවාද? මේ මොහතේ සුප්‍රකට දාර්ශණයකු වන ප්‍රරන්සිස් බැකම් කියු කියමනක් සිහියට නැගේ එනම්,

“විද්‍යාව සම්බන්ධයෙන් අවම දැනුමක් ඇති පුද්ගලයෙක් අදේවවාදයට තල්ලූවේ. නමුත් විද්‍යාව ගැඹුරින් අධ්‍යනය කල විද්‍යාඥයින් කිසිදු දිනක දේවවාදය ප්‍රතික්‍ෂේප නොකරයි.”

මේ අනුව මෙම දේවවාදය පිලිබදව විවිධ වූ පැතිකඩයන් ඔස්සේ එකින් එක දැන් අවධානය යොමු කරමු.

දේවවාදය පිලිබදව පවතින මතවාදයන්

දෙවියන්, විනිශ්චය දිනය, සුවර්ගය, අපාය යනුවෙන් තමාට තමාම වැටකඩුලූ යොදා ගන්නවා මිස ඒවාට කිසිදු පදනමක් හෝ සාක්‍ෂියක් නැත. මේක නවීන ලෝකයක් මෙහි විද්‍යාව ඉතා දියුණුයි. මෙහි දකින්නේ නැති, විදින්නේ නැති, දැනෙන්නේ නැති කිසිවක් විශ්වාස කල නොහැක. බෝහෝ සියවස් ගනනක් ගෙවී ගියත් තවම විද්‍යාව දෙවියන් සොයාගැනීම හෝ ඒ පිලිබදව සාක්‍ෂියක් පවා සොයාගැනීමට අපොහොසත්. මෙම විශ්වය යම් ශක්තියක් විසින් නිර්මාණය කල එකක් නොවේ. එය ඉබේම එසේත් නැත්නම් ස්වයං නිර්මාණයකි. ස්වයංව නිර්මාණය වු විශ්වය පාලනය සදහා කිසිදු ශක්තියක් අවශ්‍ය නොවේ. එමනිසා දෙවියෙක් යන්න මිත්‍යාවක් එසේ සිටියත් විශ්ව පාලනයට අවශ්‍ය නැත. දෙවියෙක් සිටිනවා යන්න විශ්වාස කිරීම පවා මිත්‍යාවක් යන්න බහුතරයක් ඉදිරිපත් කරන තවත් මතයකි.

මිනිසාගේ දියුණුවට පලමු හතුරා ආගම් සහා එම ආගම  අනුකුල පවතින දේව විශ්වාසන් වේ. මෙම ලෝකය කුමක්දෝ දේව බලයක් පරිපාලනය කරමින් සිටින බව මිනිසා විශ්වාස කරයි. එම ශක්තිය මනුෂ්‍යයාගේ ක්‍රියාවන් අනුව නිරයත්, සුවර්ගයත් ලබාදෙන්නත් සමත් බව විශ්වාස කරයි. මෙවැනි විශ්වාසයන් පවතිනතාක් දුප්පත්කමත්, දුකත්, නොදැනුවත්කමත් මෙලොවින් තුරන්නොවේ. නැති දෙවියෙක් වෙනුවෙන් මනුෂ්‍යා තම වස්තුවත් දක්‍ෂතාවයත් විනාශ කරගනී. මෙය තවත් පිරිසක් ඉදිරිපත් කරන මතයයි.

“දෙවියෙක් නැතැයි මා නොපවසමි මන්ද එය මා නොදනිමි. නමුත් දෙවියෙක් සිටිනවා යයි මා විශ්වාස නොකරමි. මන්ද එයට අවශ්‍ය සාක්‍ෂි මා හමුවේ නැත”. මෙය ඇමරිකාවේ අදේව වාදයේ පෙරලියක් ඇති කල ඉංගර්ෂල් නැමැත්තාගේ අදහසවේ. මේ ආකාරයට දේව විශ්වාසය අභියෝගයට ලක්කරමින් තමන් බුද්ධිමතුන් යයි හදුන්වාදෙමින් විවිධ පුද්ගලයින් විවිධ මත විවිධ කාලවල දී ඉදිරිපත් කර ඇත. නමුත්

මානවයාගේ පැවැත්ම ඇරඹුකල සිටම මිනිසා දේව විශ්වාසයේ පැවත ආ බව අතීතය දෙස බැලීමේදී පැහැදිලිවම වටහාගත හැක. දේව විශ්වාසය නොමැති වකවානුවක් අතීතයේ දක්නට නොලැබේ. ඈත අතීතයේ සිටම ගස්, ගල්, හිරු, ගින්දර… වැනි විවිද දෑ සදහා වෙන වෙනම දෙවිවරුන්ද පසුව විවිධ හැඩරුවින් විවිධ දෙවිවරුන්ද ඊටත් පසුව බහුදේව හා ඒකදේව වාද නමින් දෙවියන් පිලිබදව විවිධ වාදයන්ද සමාජය හමුවේ පැවතුනි. මනුෂ්‍යා සෑම කලකම අනුමත කල දෙයකි දේව ව්ශ්වාසය. එවැනි විශ්වාසයක් පිලිගැනීමට වඩා ප්‍රතික්ෂේප කිරීමටයි පදනමක් සාක්‍ෂියක් අවශ්‍ය වන්නේ.  ඕනෑම කාලයක ලෝකමතයට විරුද්ධව තවත් මතයන් ඉදිරිපත්වීම ලෝක ස්වභාවයකි. මෙහිදී දේව විශ්වාසයට විරුද්ධව ඇතිවු මතයයි අදේව වාදය. ආරම්භයේ අනවබෝධයෙන් පාරම්පරික ආගම් පිලිපැදීමේ අවසාන ප්‍රතිපලය වුයේ මිනිසා එම පාරම්පරිකආගම් තුල අසරණ වී අදේව වාදයට තල්ලූවීමයි. එසේ දේව විශ්වාසයෙන් බැහැරවු මනුෂ්‍යා තම මතය සාධාර්ණීකරනය කිරීම සදහාත්, වර්තමානයේ අදේව වාදය ජනයා තුල පැතිරවීම සදහා උපයෝගි කරගත්තේ විද්‍යාවයි. එසේ නම්  දෙවියන්ව විද්‍යාව ප්‍රතික්ෂේප කරයිද? බුද්ධිමත්ව අන්තවාදී නොවී මේ පිලිබදව බැලිය යුතුයි. එසේ බලන විට සත්‍ය දකින්න අවබෝධ කරගන්න හැකිවනු ඇත.

විද්‍යාව යනු කුමක්ද?

දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේද?

සයන්රී යන ලතින් වචනයෙන් සයන්ස් යන වචනය බිහිවිය. එහි අරුථ බුද්ධිය යන්නයි. සයන්ස් හෙවත් විද්‍යාව යන්න මේ විශ්වය කෙසේ ක්‍රියා කරන්නේද? යන්න පැවසීමයි. එසේත් නැත්නම් විශ්වය පිලිබදව කරන ගවේශණයෙන් ලබාගන්නා දැනුමයි.

විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. එනම්,

  • ඔප්පු කරනලද විද්‍යාව
  • උපකල්පන විද්‍යාව

විද්‍යාත්මක උපකරන උපයෝගි කරගෙන පරියේෂණ මගින් ඔප්පුකරගත් දෑ පලමු වර්ගයට අයත් වේ. උපකල්පන විද්‍යාව යන්න ඔප්පු කරන ලද දෑ නොවේ. ඒවා උපකල්පනයන් පමණි. මේවා කාලයත් සමග සත්‍ය වීමටද හැක, අසත්‍ය වීමටද හැක. උදාහරණයක් මෙම පෘථිවිය ගෝලාකාරයි යන්න ඔප්පුකල දෙයකි එය පලමු වර්ගයට අයත්වේ. මෙම විශ්වය බිහිවුයේ කෙසේද? එහි වයස කීයද? යන්න පැවසීම ඔප්පුකල දෙයක් නොවේ විශ්වයේ බිහිවීම පිලිබදව පැවසීමේදී. ආරම්භයේ නෙබියුලා “Nebulae” යයි පවසන ආකාරයේ පැවතී වස්තුව පිපිරීම නිසා තරු බිහිවු බවත්, එම තරු පිපිරීමෙන් ග්‍රහ වස්තු බිහිවු බවත්, එම ග්‍රහයේ උපග්‍රහයන් වන චන්ද්‍රයන් බිහිවු බවත්, පවසන ලදී. පසුව මෙය සම්පුර්ණයෙන් වැරදි බවත් ග්‍රහයින් සුර්‍යාගෙන් ඇති නොවු බවත් සුර්‍යාත්, ග්‍රහයිනුත්, චන්ද්‍රයාත් සහා අනිකුත් ග්‍රහ වස්තුන් සියල්ල එකවිට ඇතිවු බව පවසන ලදී. මෑතක් වනතුරු පැවසුවේ ″විශ්වය සදාකල් පැවතුනු බවත් ඉදිරියටත් එසේම සදාකල් පවතින බවත්ය″ මෙය නොසැලෙන අවස්ථාවාදය “Steady state theory” නමින් හැදින්විය. පසුව එය ප්‍රතික්‍ෂේප කොට මහා පිපිරුම් වාදය “Big bang theory” ඉදිරිපත් කරන ලදී. මේ වනතුරු මෙම වාදයන් ඔප්පුකොට නැත. මේවා උපකල්පනයන් පමණි. මෙය දෙවනි වර්ගයට අයත්වේ.

නුතන යුගයේ විශ්වයේ සම්භවය පිලිබද මහා පිපිරුම් වාදය “Big bang theory” නමින් වාදයක් ඉදිරිපත් කරයි. මෙහි පවසන්නේ මීට අවුරුදු මිලියන 14000 කට පෙර විශ්වය ඇරඹෙන මොහොතේ විශ්වය ඇල්පෙනෙති හිසකටත් වඩා කුඩාව පැවතී බවත්, අධික ඝනත්වයක් සහිතවු එම වස්තුව පිපිරීයෑමෙන් මෙම විශ්වය හා සියලූ ග්‍රහ වස්තුන් ඇති වු බවත්ය. එම වස්තුව යම් සංකෝචන හේතුවක් නිසා පුපුරා දුවිලි වලාවක් බවට පත්වු බවත් පසුව එකින් එක අතර ඇතිවු ආකර්ශණය නිසා එය සංකෝචනය වීමෙන් මෙම අදට පවතින විශ්වය බිහිවු බවත්ය. මෙම මහා පිපිරුම් න්‍යාය හෙට දවසේ අසත්‍ය වීමටද හැක. එසේත් නැත්නම් එහි සංශෝධන ඇතිවීමටද හැක. මෙය තමා උපකල්පන විද්‍යාවේ ස්ථාවරය.

ඒ අනුව විද්‍යාඥයින් විද්‍යාව නමින් ඉතා වේගයෙන් මතයන්, උපකල්පනයන් ඉදිරිපත් කරයි. කාලයත් සමග ඒවා සත්‍ය යයි පැවසුවාට වඩා වේගයෙන් ප්‍රතික්ෂේප කරනු ලබයි. විද්‍යාඥයින්ගේ මත ඉදිරිපත් වෙන වේගයත් එය ප්‍රතික්ෂේප වෙන වේගයත් දකින විට විද්‍යාඥයින් වන මොවුන්ගේ උපකල්පන පිලිගන්නවාද? නැද්ද? යන්න ගැටළුව ද මතු වේ.

උපකල්පන විද්‍යාවේ ඇති දුර්වලතාවය පෙන්වාදීම සදහා කෙටි උදාහර්ණයක් ගෙනහැර දක්වනවා නම්,

  • විශ්වයේ බිහිවීම පිලිබදව විද්‍යාව විවිද මත 4ක් ඉදිරිපත් කරනලදී. ඒ අනුව හරියාමේ සම්භාවිතාවය 1⁄/4 කි.
  • පෘථිවියේ හැඩය පිලිබදව විද්‍යාව විවිධ මත 30ක් ඉදිරිපත් කරනලදී. ඒ අනුව හරියාමේ සම්භාවිතාවය 1/⁄30 කි.
  • චන්ද්‍රයාගේන් නිකුත්වන දීප්තිය සම්බන්දයෙන් මත දෙකක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව හරියාමේ සම්භාවිතාවය 1⁄/2 කි.
  • ජීවින්ගේ සම්භවයට හේතුකාරක වු ද්‍රව්‍ය පිලිවදව විද්‍යාව විවිධ මත 10000 ක් පමණ ඉදිරිපත් කරන ලදී. ඒ අනුව සම්භාවිතාවය 1/10000 කි.

මේ ආකාරයට බොහෝ කරුණු ඉදිරිපත් කල හැකි වුවත් ලිපිය දීර්ඝවීම සැලකිල්ලට ගෙන මෙහි පවසන කාරනය වටහා ගැනීමට මෙය ප්‍රමාණවත් යයි හැගෙන නිසාත්. ඉහත සදහන් කරුණු 4 හි පමණක් හරියාමේ පොදු සම්භාවිතාවය බලමු. එනම් 1/4 *1⁄30 * 1⁄2 * 1/10000 ═ 1/2400000 කි. ප්‍රතිශතයක් ලෙස ගත්විට 0.00004% කි. ඒ අනුව මනුෂ්‍යාගේ උපකල්පනයන්ගෙන් ඉහත 4 පමණක් සැලකීමේ දී එය හරියාමේ ප්‍රතිශතය 0.00004% වේ. ඒ අනුව වැරදීමේ සම්භාවිතාවය 99.99996% ක් වේ. එසේ නම් යම් කාර්‍යයක් සදහා උපකල්පනයන් පදනම් කරගැනීම කොතරම් දුරට සාධාරණද?.

විද්‍යාත්මකව ඔප්පු කල දෙයත්, විද්‍යාත්මක උපකල්පනයත් පොදුවේ විද්‍යාව යනුවෙන් පවසනු ලැබේ. මෙහි උපකල්පන විද්‍යාව ඔප්පු කල එකක් නොවේ. මෙය ලොව සියලූ විද්‍යාඥයින් පිලිගනී. එවැනි විද්‍යාත්මක උපකල්පනයන් යම් මතයක් සදහා සාක්‍ෂි වශයෙන් ඉදිරිපත් කිරීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. එසේම එය මුලධර්මයක් වශයෙන් ගෙන තර්ක කිරීම ද බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. එසේ නම් මාතෘකාව දෙසට දැන් අවදානය යොමුකරමු.

දෙවියන් පිලිබදව විමසුම් ඇසින්

දෙවියෙකු සිටීද ?

මෙම ප්‍රශ්නයට ආකාර තුනකින් පිලිතුරු දියහැක.

  • දෙවියෙකු සිටිනවාද නැද්ද යන්න ස්ථීරව කිව නොහැක.
  • දෙවියෙක් නැත.
  • දෙවියෙක් ඇත.

මෙහි පලමුවැන්නෙන් දෙවියන් කෙරෙහි තිබෙන විශ්වාසයේ දුර්වලකම ගෙනහැර දක්වයි. එනම් දෙවියෙක් සිටිනවා යන්න හෝ දෙවියෙක් නැත යන්න ඔප්පුකිරීමට තරම් සාක්‍ෂි නැති අවස්ථාවයි.

දෙවැන්න දෙවියෙක් නැත යන්නත්, විශ්වය ස්වයංව ක්‍රියා කරනවා යන්නත් ඔප්පු කිරීමට හැකි සාක්‍ෂි ඇති අවස්ථාවයි.

මෙම අවස්ථා දෙක අතර පැහැදිලි වෙනස්කම් ඇත. “දෙවියෙක් සිටීද යන්න වටහාගත නොහැක” යන්න මතය ගෙන දෙවියෙක් නැත යන තර්කය ඉදිරිපත් කල නොහැක. මන්ද පලමුවැන්න සාක්‍ෂි නැති අවස්ථාවයි දෙවැන්න දෙවියෙක් නැත යන්න සාක්‍ෂි ඇතුව ඔප්පුකල හැකි අවස්ථාවයි.

උදාහරණයක් ලෙස බ්‍රහස්පති ග්‍රහය මත ජීවින් සිටීද?

මෙම ප්‍රශ්නයට “ඇත” යනුවෙන් හෝ “නැත” යනුවෙන් අද විද්‍යාඥයින් හට ස්ථීරව කිව නොහැක. මන්ද ඒ සදහා අවශ්‍ය සාක්‍ෂි සාධක තවම සොයාගෙන නැත. එමනිසා පහත නිගමනයන්ට පැමිණිය යුතුයි.

  • බ්‍රහස්පතිමත ජීවින් සිටීද යන්න ස්ථීරවම කිව නොහැක.
  • බ්‍රහස්පතිමත ජිවින් සිටී.

මෙම නිගමන දෙකෙන් එකක් වීමට හැක. මෙහි පලමුවෙන්න පිලිගන්නේනම් දෙවැන්නද දෙවැන්න පිලිගන්නේනම් පලමුවැන්නද ප්‍රතික්‍ෂෙප කිරීමට සිදුවේ. එසේම පලමු නිගමනයේ සිටින කෙනෙකුට “අනිකුත් ග්‍රහයන්වල ජීවින සිටී” යන වාදය ප්‍රතික්‍ෂෙප කිරීමට ද නොහැක. කලයුත්තේ එම වාදය පිලිගෙන සත්‍යයෙන්ම එහි ජිවින් සිටීද? යන්න සෙවීමට අවශ්‍ය පරියේෂණ ආරම්භ කිරීමයි. මෙයයි  ඕනෑම අවස්ථාවක විද්‍යාවේ ස්ථාවරය.

මේ ආකාරයටයි දෙවියන් සම්බන්ධයෙන්ද විද්‍යාවේ ස්ථාවරය විය යුත්තේ. මේ දක්වා දෙවියන්ව පරියේෂණ කුටියක පරික්ෂා කිරීමට විද්‍යාවට හැකි වී නොමැත. විද්‍යාව යමක් නිගමනය කිරීමට නම් එයට මුලධර්මයන් හා සාක්‍ෂි අවශ්‍ය වේ. එවැනි මුලධර්මයන් හා සාක්‍ෂිගෙන දෙවියන් පිලිවද පරියේෂණ කිරීමට විද්‍යාවට තවම හැකිවී නැත. එසේ පරියේෂණයට ලක් නොකොට යමක් ″නැත″ යනුවෙන් පැවසීමට විද්‍යාවේ ඉඩක් නැත.

මෙම විශ්වයේ හැඩය, තත්වය පිලිවද විවිධ උපකල්පනයන් විද්‍යාව ඉදිරිපත් කලත් ඒවා සියල්ල “දෙවියෙක් නැත” යනුවෙන් පැවසීමට හැකි සාක්‍ෂි නොවේ. මෙම විශ්වය සම්භවය පිලිබදවම තවම ස්ථීර නිගමනයකට පැමිණිය නොහැකි තත්වයේ පවතින විද්‍යාවේ මේ සියල්ල මැවු දෙවියන් පිලිබදව ස්ථීර නිගමනයකට පැමිණ. “දෙවියෙක් නැත” යනුවෙන් පවසන්න. මෙම විද්‍යාව උපයෝගි කරගන්නේ කෙසේද?.

විද්‍යාව නොදන්නා සියල්ල ”නැත” යයි පැවසීම බුද්ධිමත් වාදයක්ද?

යමක් නොදන්නවා යන්න එය නැත යන නිගමනයට හේතුවක් නොවේ. මෙම විශ්වයේ ඉතා ස්වල්පයක් පමණි විද්‍යාව දන්නේ. එමනිසා විද්‍යාවට නොදන්නා සියල්ල “නැත” යන නිගමනයට පැමිණිය නොහැක. තිබෙන්නට පුලූවනි එසේ නොවන්නටද පුලූවනි. හේතුව යමක් නැත යන තීරණය සැකයෙන් තොරව ස්ථීර වනතුරු එය ප්‍රතික්‍ෂෙප නොකල යුතුයි යන්න විද්‍යාවේ ස්ථාවරයයි. මෙම ස්ථාවරයේ විද්‍යඥයින් සිටී නිසයි. අද ඇසට නොපෙනෙන බොහෝ වස්තුන් සොයාගැනීමට විද්‍යාවට හැකි වුයේ.

මෙතරම් විශාල අහස්තලයේ දිලෙමින් තිබෙන තරු දෙස බලන්න. එය දකින මිනිසාව එම වස්තුන් සිතන්න පොලඹ වන ලදී. ‘‘මා මේ දකින අහස මෙපමණද? මා මේ දකින තරු මෙපමණද? මීටත් එහා තවත් තරු තිබෙනවාද? මේ අහස කොතරම් විශාලද?‘‘ ඔය වැනි ගැටඑ බොහෝමයක් මිනිසාට ඇතිවිය. මෙම ප්‍රශ්න සදහා එදා විද්‍යාවටත් කිසිවක් පැවසීමට නොහැකිවිය. එසේ එදා කිසිවක් පැවසීමට නොහැකිවු නිසා ″නැත″ යන නිගමනයට විද්‍යාඥයින් පැමිණියා නම් අද වනවිට මෙතරම් විශාල තරු හා ග්‍රහ වස්තුන් සොයා ගැනීම සිදුනොවන්නට තිබුණි.

එමනිසා සොයාගැනීමට නොහැකිවු සියල්ල ″නැත″ යන නිගමනයේ විද්‍යාඥයින් පැහැදිලිවම නැත. අළුත් තරු සොයාගැනීමට විද්‍යාඥයින් වෙහෙසන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් දුරේක්‍ෂය සොයාගන්නා ලදී. එම දුරේක්‍ෂයෙන් විශ්වය දෙස බැලූ මිනිසා තමන් දකින සීමාවටත් එහා තවත් බොහෝ දෑ තිබෙන බව වටහා ගන්නා ලදී. එමනිසා තවදුරටත් මෙම දුරෙක්‍ෂයන් වැඩිදියුණු කිරීමට සිදුවිය. ආරම්භයේ පෘථිවිය අවට බැලූ මිනිසා පසුව සෞරග්‍රහ මණ්ඩලයත් පසුව ක්‍ෂීරපථයත් ඊටත් එහා අනිකුත් ක්‍ෂීරපථයනුත් දකින්න තරම් විද්‍යාව දියුණුවිය. මෙයින් පෙනීයන්නේ නොදන්නා දෑ ″නැත″ යනුවෙන් තීරණය කිරීම කොතරම් අනුවනකාරී ක්‍රියාවක්ද? යන්නයි.

එසේ නිගමනය නොකල නිසයි දිනෙන් දින විද්‍යාව දියුණුව කරා යන්නේ. මේ සම්බන්ධ අවදානය යොමු නොකොට නොදන්නා සියල්ල ″නැත″ යන්න තීරණයේ සිටියා නම් එදා මනුෂ්‍යා වනයෙන් අද නගරයට නොඑන්නට තිබුණි. අද ලාංකීය බහුතරය වන බෞද්ධ සමාජයේ සමහරක් විද්‍යාව පිලිබදව නිසි අවබෝධයක් නැතුව ද මෙවැනි තර්කයන් ඉදිරිපත් කරයි. ඒ පිරිසගේ අවධානයට ඉහත විද්‍යාත්මක පදනමට අමතරව පහත බුද්ධ වාක්‍ය ඉදිරිපත් කරමි.

බුදුරජාණන් වහන්සේ චුල්ල හත්ථිපදෝපම සුත‍්‍රයෙන් දේශනා කල බවට බුදුදහමේ මෙසේ සදහන්වේ

″අනුමානය මතහිද යමක් තීරණය කරන්න කලබල නොවෙන්න හොදින් එය ප්‍රත්‍යක්ෂ කරගන්න″

තවත් අවස්ථාවක

″ප්‍රත්‍යක්ෂ කර ගැනීම තුළින්ම අවබෝධ කර ගැනීම තුළින්ම යමක් තේරුම් ගත යුතුයි″.

එයයි විද්‍යාවේ පවසන්නේ පරීක්‍ෂණ නිරීක්‍ෂණ තුළින් නිගමනයට ආයුතු බව. එසේ නම් නොදන්නා දෑ විශ්වාස කිරීම බුද්ධිමත් තීරණයක්ද? එසේත් නැත්නම් විද්‍යාවද? යන ගැටලූව දැන් මතුවේ. නොදන්නා දෑ විශ්වාස කිරීම අනිවාර්‍ය නොවේ. එනමුත් නොදන්නා යමක් ″නැත″ යන නිගමනයේ හිද තම ජීවිතය ඒ අනුව සකසා ගැනීම බුද්ධිමත් තීරණයක් නොවේ. දේව විශ්වාසය වැනි විශ්වාසය මත පමණක් පදනම් වු දහමක් විශ්වාස කිරීමේදී එම දහමේ මුලධර්මයන්ට අනුව ගවේෂණය කොට තීරණය කිරීමයි බුද්ධිමත් තීරණය වන්නේ. සෑම කටයුත්තකම විද්‍යාව ක්‍රියා කරන්නේ මේ ආකාරයටය. දේව විශ්වාසය සම්බන්ධයෙන්නම් ප්‍රමාදය කිසිසේත් කල නොහැක. පරියේෂණ වහාම ඇරඹිය යුතුයි. මන්ද එය ජීවිතයේ ජය පරාජය තීරණය කරන්නක් වන බැවිනි.

ඔබ ගාල්ලට යෑම සදහා බස් නැවතුම් පොලකට යනවා යයි සිතන්න. එහි විවිධ නගරයන්ට යාම සදහා බස් නතර කර ඇති බව ඔබට පෙනේ. නමුත් ගාල්ලට යන බස් රථය කුමක්ද? යන්න ඔබ නොදන්නේ නම්. පලමුව විමසීමක් කලයුතුයි. අනතුරුවයි නිවැරදි බස් රථය තෝරාගත යුත්තේ. ඒ සදහා කොපමණ කාලයක්, වෙහෙසක් වුවද යොදවා නිවරුදි බස් රථය තෝරා ගන්නවා මිස. කුමක් හෝ බසයක නැග කිසිසේත් ගමන් නොකරන්නේය. මන්ද එසේ ගමන් කලානම් මහන්සියත්, පාඩුවත් මිස. තමාගේ අරමුණ කරා ලගාවීමට කිසිසේත් නොහැකි වනු ඇත. මෙය සාමාන්‍ය පැය කිහිපයක ගමනක් සදහාය. එසේනම් මුළු ජීවිතයේම ජය, පරාජය තීරණය වන එම දීර්ඝ ගමන සදහා කොතරම් බුද්ධිමත්ව තීරණයක් ගත යුතුද?. එය කොතරම් වැදගත්ද?.

බසයේ ගමනට මෙන්ම ජිවිත ගමනටත් මාර්ගයක් මෙන්ම ඉලක්කයද ඇත. එය ඉතා වැදගත් වේ. එසේනම් විශ්වයත් මනුෂ්‍යා මැවු මැවුම්කරුවෙකු සිටීද? එම මැවුම්කරු විසින් ලබාදුන් ජීවිත මාර්ගයක් තිබේද? යන්න සොයා බැලීමද ඉතා වැදගත් නොවේද?.

හේතු පල වාදය හා අවසාන නිගමනය

විශ්වයේ සම්භවය

පොල් වත්තක ඇවිද යනවිට පොල් ගසක් පාමුල තිබී කාසියක් හමුවුවා යයි සිතන්න. මෙම කාසිය දුටුවාම මෙය පොල් ගසින් වැටුණු කාසියක් යයි සිතා පොල් ගස දෙස බලන්නෙමුද?. එසේත් නැත්නම් මෙම කාසිය ඉබේ ඇති වුවක් එනම් ස්වයංව ඇති වුවක් යයි සිතන්නෙමුද? අපගේ බුද්ධි අපට කුමක් පවසයිද?.

හේතුවක් නොමැතිව කාර්‍යයක් නැත

මෙම විශ්වය හොදින් නිරීක්‍ෂණය කලේ නම් එය මනුෂ්‍යා මවිතයට පත්කරයි. කොතරම් විශාල තරු සංඛ්‍යාවක් තිබෙනවාද? ඒවා කොතරම් දුරක පිහිටා තිබෙනවාද? ඒවායි සමහරක් පෘථිවියට වඩා කොතරම් විශාලද? ඒවා සියල්ල විශ්වයේ ගමන් කලත් එකින් එකට නොගැටී පවතිනවාද? බුද්ධිමත් යයි පවසාගන්නා මනුෂ්‍යා රිය පැදවීමේදී කොතරම් මාර්ග නීතිද? එයින්ද පාලනය කිරීමට බැරි තැන රතු, කොල, කහ වීදිලාම්පු. එහෙත් විශ්වයේ අධික වේගයන්ගෙන් ගමන් කරන මෙතරම් විශාල ග්‍රහ වස්තුන් පාලනය කරන්නේ කව්රුන්ද?. එසේනම් මෙම විනය ඇති කලේ කව්රුන්ද?. කොතනක විනයක් පවතින්නේද?. එතැන විනය ක‍්‍රියාවට නගන්නෙකු සිටීම අත්‍ය අවශ්‍ය.

බුද්ධියක් නැති තැන විනයක් නැත

යමක් ඉටුකරන්න කිසිවකු නොවේ නම් එහි කිසිවක් ඉටුනොවේ. මෙය සියලූ දෙනා පිලිගන්නා සත්‍යයකි. එසේනම් මේ මහා විශ්වයත් එහි ඇති ග්‍රහ වස්තුන් හා පෘථිවියත් ඇති වුනේ කෙසේද?. ඒවා ඉබේ එසේත් නැත්නම් ස්වයංව ඇති වුවක් යයි පවසන්නේ කුමන පදනමෙන්ද?. එසේ නම් මිනිසා විසින් කක්‍ෂගත කරන ලද චන්ද්‍රකාවන් ස්වයංව නතර වී සිටීද? එසේත් නැත්නම් ඒවා පාලනයකට යටත්ව පවතිනවාද?. ඩොලර් බිලියන ගනන් වියදම් කර සකස් කල මෙයටම පාලනයක් අවශ්‍ය නම්. ඉතා සංකීර්ණ වු මෙම විශ්වය බිහි කරන්න හා පාලනය කරන්න බලයක්, බුද්ධියක් ඇයි අනවශ්‍ය යයි සිතන්නේ?.

  • ඉටුකරන්නෙකු නොමැතිව ඉටුවුවක් නැත – හේතුවක් නොමැතිව කාර්‍යයක් නැත
  • බුද්ධියක් නැතිතැන විනයක් නැත – නිර්මාපකයෙක් නැති තැන නිර්මාණයක් නැත

විශ්වය ඇල්පෙනෙති හිසකටත් වඩා කුඩාව පැවතී බවත්, අධික ඝනත්වයක් සහිත වු එම වස්තුව අධික තෙරපීම නිසාත් රසායනික ප්‍රතික්‍රියාව නිසාත් පිපිරී යන ලදී. එසේ පිපිරීමෙන් මුළු විශ්වයම දුවිල්ලෙන් වැසීයන ලදී. පසුව එම දුවිලි හා වායු ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ටික ටික ගොනුවී මෙම පෘථිවිය හා අනිකුත් ග්‍රහලෝක, තාරකා, මණ්දාකිණි හා ග්‍රහ වස්තුන් ඇතිවිය.

මෙම මහා පිපිරීම් න්‍යාය ව්ශ්වයේ ආරම්භය පිලිබද ඉතා සරලව කථා කල බවකි පෙනීයන්නේ. මෙහි,

  • පිපිරීයාමට හේතුවුයේ කුමක්ද?
  • තෙරපීම හා රසායනික ප්‍රතික්‍රියාව පිපිරීමට හේතුව යයි පැවසුවත් එම තෙරපීම කෙසේ ඇතිවුවක්ද?.
  • එම තෙරපීමට හේතුව කුමක්ද?
  • එම තෙරපුමේ ස්වභාවය කුමක්ද?
  • එම තෙරපුමට පෙර අවස්ථාව කුමක්ද?
  • එම රසායනික ප්‍රතික්‍රියාව ඇතිවුයේ කෙසේද?
  • එම ප්‍රතික්‍රියාවට භාජනය වු මුලද්‍රව්‍යයන් කුමක්ද?
  • එම ප්‍රතික්‍රියාව කුමක්ද?
  • එම ප්‍රතික්‍රියාවට හේතුව කුමක්ද?
  • එම ප්‍රතික්‍රියාවට පෙර අවස්ථාව කුමක්ද?

එසේම මෙම තෙරපුමට හා රසායනික ප්‍රතික්‍රියාවට භාජනය වු

  • එම වස්තුව කුමක්ද?
  • එහි ස්වභාවය කුමක්ද?

මෙම ප්‍රශ්න සියල්ල හමුවේ විද්‍යාව තවමත් නිරුත්තරය. එය පැහැදිලි කලානම් ඉහත සදහන් තෙරපුමෙන් හා රසායනික ප්‍රතික්‍රියාවෙන් එම වස්තුවට

  • බලපෑමක් ඇතිකරයිද?
  • එයට එම ශක්තිය තිබේද?
  • එය මනුෂ්‍ය බුද්ධියට ගෝචරද?

යන්න අධ්‍යනය කල හැක. නමුත් මේ කිසිවකට පිලිතුරු නැතිව විද්‍යාව මුනිවතරකී. විශ්වය කෙසේද බිහිවුනේ යන්නට තවම පැහැදිලි පිලිතුරක් නැත.

විශ්වය බිහිවුනේ ඇයි?

යන දෙවන ප්‍රශ්නය ද තවම ඉදිරිපත් නොවී ඉතිරිව පවතී. මෙවැනි බොහෝ ප්‍රශ්න මධ්‍යයේ අසරණවී සිටින මහා පිපිරුම් න්‍යාය බුද්ධියට ගෝචරවු න්‍යායක්ද?.

හේතුවක් නොමැතිව පලක් නැත යන්න බුදු දහමේ පවා පවසන සත්‍යයකි. හේතුවක් නොමැතිව කාර්‍යයක් නැත යන්න විද්‍යාව ද පිලිගන්නා දර්ශණයකි. එසේනම් මෙම මහා පිපුරුම් න්‍යායට හේතුව කුමක්ද? හේතුවක් නොමැතිව පිපිරීමක් ඇතිවිය නොහැක.

වදුරෙකු පෑනක් ගෙන කුරුටු ගෑමේදී කවියක් ලියවුනා යයි කිසිවකු පවසයි නම් එය පිලිගත හැක. මන්ද එම වදුරා පෑනක් අත ඇතිව සිටී නිසා සහා කුරුටු ගෑමක් කලනිසා. නමුත් කිසිවකු අත නොගා පෑන කවියක් ලිව්වායයි කව්රුන්හෝ පවසයි නම් එය පිලිගත හැකිද?.

යන්ත්‍රයක් බිහිවීමට නම් ඉන්ජිනේරුවකු අවශ්‍යය. කවියක් බිහිවීමට නම් කවියකු අවශ්‍යය. එසේ නොමැතුව එක් යකඩයක ඇති වු තෙරපුම හේතුවෙන් එය පිපිරී විවිධ යන්ත්‍රයන් ඇතිවුවා යනුවෙන්ද එසේත් නැත්නම් මුද්‍රණාලයක ඇතවු පිපිරීමක් හේතුවෙන් එහි අකුරු විසිවී ගොස් ශේක්‍ෂ්පියර්ගේ කවි නිර්මානය වුවා යයිද කිසිවකු පවසයි නම්. එය විහිළුවක් වනු ඇත. එසේ පවසන්නන් බුද්ධිමතුන්, විද්‍යාඥයින්, ඉන්ජිනේරුවරුන් හා කවියන් යයි ඔවුන්ද පිලිනොගනු ඇත. බුද්ධිය ඇති කිසිවකු මෙය අනුමත නොකරනු ඇත. ඉන්ජිනේරුවකු දන්නවා යමක් නිර්මානය කිරීම සදහා බුද්ධියත්, උත්සාහයත්, ශ්‍රමයත් අවශ්‍ය බව. ඒවා නොමැතිව නිර්මාණයක් කල නොහැක. කරුණු එසේ තිබිය දී ඉතා නිවරුදි ආකාරයට ක්‍රියා කරමින් පවතින මෙම සංකීර්ණ වු විශ්වය ඉතා බලවත් ශක්තියකින් තොරව නිර්මාණය වී ක්‍රියා කරනවා යන්න බුද්ධිමත් තර්කයක්ද?. එය තර්කාණුකූලද?.

මහා පිපිරුම් න්‍යාය සහමුලින්ම ප්‍රතික්‍ෂෙප නොකරමි. නමුත් එම පිපිරුම කුමක් නිසා ඇතිවුනේද? එයට පසු කිසිදු හේතුවක් දක්නට නැත්තේ ඇයි? හේතුවක් නොමැතිව පලයක් නැත යන විද්‍යාත්මක වාදයට වුනේ කුමක්ද?. නිශ්චය වශයෙන්ම මහා පිපිරුමට හේතු කාරණයක් තිබිය යුතුයි. එම හේතු කාරණය ඇතිකලේ ඉතා ප්‍රබල ශක්තියකින් විය යුතුයි. එම ශක්තිය සියල්ල කෙරෙහි ශක්තියක් හා බුද්ධියක් තිබෙන යමක් වියයුතුයි. එවැනි ශක්තියකටයි හැකිවන්නේ මෙම සංකීර්ණ වු විශ්වය සැලසුම් කරන්නත්, මවන්නත්, පරිපාලනය කරන්නත්.

ඒ අනුව මෙම විශ්වයට පසුපසින් එක් සුවිශේෂ වු ශක්තියක් හා සැලසුම් කරනයක් තිබේ යන්නත්. මෙම විශ්වය තුල ඇති වස්තුන් නිසි ලෙස මවා පරිපාලනය කරන්න සුවිශේෂ බුද්ධියක් ඇති යම් ශක්තියක් ක්‍රියා කරන බවත් නියතය. එම ශක්තිය තමා දේව ශක්තිය ලෙසත් එම ශක්තිය ක්‍රියා කරවන්නා සර්ව බලධාරී දෙවියන් ලෙසත් ඉස්ලාම් විශ්වාස කරන්නේ.

විඥානය හා දේව විශ්වාසය

(සැලකිය යුතුයි - මෙම ලිපිය තුල මා 'විඥානය' යනුවෙන් අදහස් කරන්නේ බුදුදහම හෝ වෙනත් විද්වත් කෘතීන් හි අදහස් කරන කාරණය නොව පංච ඉන්ද්‍රයන් මගින් ලබාගන්නා දත්ත මත යමක් තීන්දු කිරීම යන්නයි)

මුළු විශ්වයම මවා පරිපාලනය කරන්නේ එකම දෙවියකු විසින් යන්න ඉස්ලාම් දහමේ මුලික ප්‍රතිපත්තියයි. මෙසේ මා ප්‍රකාශ කරන විට එයට එරෙහිව සමහරක් අදේව වාදීන් හා දර්ශණ වාදීන් විවිධ වූ තර්ක විතර්ක ඉදිරිපත් කල හැක. එසේ ඉදිරිපත් කරන තර්කයන් කුමක්ද? යන්නත් එම තර්කයන්වල ඇති සාධාරණීයත්වය හා නිරවද්‍යතාවය කොපමණද? යන්නත් මෙහිදී අවධානය යොමු කිරීමට අදහස් කරමි. මෙහි දී ප්‍රථමයෙන් සදහන් කළයුතු කරුණක් ඇත. එනම් කිසිවක් පිලිබදව නිවරැදි අවබෝධය ලබා ගැනීමට නම් එම කාරණය අන්තවාදී නොවී බැලිය යුතුය. එසේ නොවේ නම් සත්‍යය දකින්න සත්‍යය අවබෝධ කරගන්න නොහැකි වනු ඇත.

දේවවාදය ප්‍රතික්ෂේප කරන්නන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ “මේ දක්වා කිසිවකු නොදුටු දෙවියෙක් පිලිබදව කෙසේද විශ්වාස කරන්නේද?” යන්නයි. මෙය බැලූ බැලූමට ඉතා හොද තර්කයක් ලෙස බොහෝ දෙනෙකු සිතනු ඇත. නමුත් යමක් දැකීමෙන් පසුවයි විශ්වාස කල හැක්කේ යයි පවසන තර්කය බුද්ධිමත් තර්කයක් එසේත් නැත්නම් තීරණාත්මක සාධකයක් ලෙස පිලිගත නොහැක. මන්ද දැකීම යන්න මිනිසාට පමණක් සුවිශේෂ වු බුද්ධිමත් ගුණාංගයක් නොවේ. සියළු සතුන්ට පොදු වු ලක්‍ෂණයකි. සියලූම සතුන් බොහෝ දෑ තීරණය කරන්නේ දැකීමෙනි. උදාහරණයක් ලෙස මුවෙකු තම සතුරා දුරදීම හදුනාගෙන තම ආරක්‍ෂාව සදහා සුදුසු පියවර යොදාගන්නේ දැකීමෙනි. මේ ආකාරයට අප දැකීමෙන් අනතුරුවයි කිසිවක් විශ්වාස කරන්නේ යයි පවසන්නේ නම් එම සතුන් හා මිනිසුන් වන අප අතර පවතින්නේ සමාන බුද්ධියකි. සතුන්ට වඩා උසස් උතුම් වූ නිර්මාණයක් තමා මිනිසා. එනම් සියළු සතුන් සදහා පංච ඉන්ද්‍ර බුද්ධිය පමණක් ලබාදුන් දෙවියන් මිනිසා සදහා ශ්‍රේෂ්ඨ වූ සයවන බුද්ධිය හෙවත් විඥානය ද ලබා දී ඇත.

මිනිසා ඇතුළු සියළුම සතුන් සදහා බොහෝ දෑ තීරණය කරන්නේ

  • පෙනීම
  • රසය
  • ඇසීම
  • ගඳ සුවඳ දැනීම
  • සංවේදීතාවය හෙවත් දැනීම

යනා දී පංච බුද්ධීන් පදනම් කරගෙනය. නමුත් ම්නිසා හට ඉහත ඉන්ද්‍රයන් මගින් ලබාගන්නා දත්ත පදනම් කරගෙන නොපෙනෙන, නොදකින දෑ පිලිබදව ලබාගන්නා ඥානය අවබෝධය ”විඥානය” ලෙස හදුන්වනු ලැබේ. මනුෂ්‍යා බොහෝ දෑ ඇසින් බලා තීරණය කරයි. නමුත් මෙසේ දැකීමෙන් පමණක් සියල්ල අවබෝධ කරගත නොහැක. දැකීමට ඇස උපයෝගි කරගන්නා සේම රසය අවබෝධ කරගැනීමට දිව උපයෝගි කරගනී. ඇසින් රසය හදුනාගත නොහැක. මේ නිසා රසය ඇසට නොපෙනෙන නිසා ”එය පිලිගත නොහැක” යයි කිසිසේත් තර්ක කල නොහැක. එසේම සංගීතයක් අවබෝධ කරගත යුත්තේ කනෙන් හෙවත් සවන්දීම මගිනි. එය දැකිය නොහැක. මේ නිසා ”එය පිලිගත නොහැක” යයි කිසිසේත් තර්ක කල නොහැක. මේ ආකාරයට ගද, සුවද සැලකුවද සංවේදීතාවය සැලකුවද මේවා ඒ ඒ ඉන්ද්‍රයන් මගින් පමණක්ම අවබෝධකර ගතයුතු මිස මේවා සියල්ල දැකීම තුලින් අවබෝධ කරගත නොහැක.

ඇසින් දකින සමහරක් දෑ පවා නිවරුදිව වටහා ගැනීමට නොහැකි වන අවස්ථාවන් එදින් එදා අප ජීවිතයේ කොතෙකුත් ඇත. මෙයට හොදම උදාහර්ණය ලෙස මිරිගුව ගෙනහැර දැක්විය හැක. මේ අනුව පැහැදිලි වන්නේ ඇසින් දකින දෑ පවා සමහරක් අවස්ථාවල නිරවද්‍ය නොවන බවයි. එම නිසයි දුටු පමණින්ම සියල්ල තීරණය නොකොට එය කෙරෙහි බුද්ධීය යොදවා එනම් විඥානය උපයෝගි කරගෙන තීරණය කලයුතු බව පවසන්නේ. එසේ ක්‍රියා කිරීම තමා සැබෑම බුද්ධීමත් ක්‍රියාව වන්නේ. එය ඉස්ලාම් දහම ඉහලින්ම අවධාරණය කරන කාරණයකි. ශ‍්‍රි ලාංකික බහුතරය වන බෞද්ධයින් පිලිපදින බුදුදහමේ ද මෙය අවධාරණය කරන අතර එය මෙසේය. එනම්,

පංච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීතී – ප‍්‍රත්‍යක්‍ෂ කර ගැනීම තුළින්ම අවබෝධ කර ගැනීම තුළින් යමක් තේරුම් ගතයුතුයි

එසේ නම් ඉහත පදනමේ සිට මෙම කාරණය වෙත දැන් අවධානය යොමු කරමු.

විඥානය යනු කුමක්ද?

විඥානය යනු යම් කරුණක් වෙත පංචේනද්‍ර බුද්ධීය යොදවා ඉන් ලබාගන්නා දත්ත පදනම් කරගනිමින් නොදකින යමක් බුද්ධිමත් ආකාරයට තීරණය කිරීමයි. උදාහර්ණයක් ලෙස දුර ප‍්‍රදේශයක අහසට නැගෙන දුමක් දෙස බලා එම ප‍්‍රදේශයේ ගින්නක් හටගෙන ඇති බව බුද්ධිය තීරණය කරණු ලබයි. මෙය විඥානය වේ. මේ ආකාරයට පංචේද්‍රියන් මගින් ලබාගන්නා තොරතුරු හරිද? වැරදිද? සත්‍යද? අසත්‍යද? යන්න තීරණය කිරීමේ බුද්ධිය විඥානය ලෙස හදුන්වයි.

මේ මුලධර්මයට අනුව දෙවියෙකු සිටිනවාද? යන්න ප‍්‍රශ්නයට පිලිතුරු සෙවීමට දැන් උත්සාහ කරමු. මෙහි සුවිශේෂි කාරණය වන්නේ මිනිසා නොදැකපු පංචේද්‍රියන්ට ගෝචර නොවු දෙවියන් අවබෝධ කරගන්නේ කෙසේද? යන්නයි. ඒ සදහා එකම මාර්ගය දෙවියන්ගේ මැවීම් පිලිබදව අධ්‍යනය කිරීමයි. උදාහර්ණයක් ලෙස පරිඝනකය දෙස අවධානය යොමු කරමු. වර්ථමානයේ ඇති සුපිරි නිර්මාණයක් වන මෙය අපි දකින්නෙමු. ඒ මගින් අපට අවශ්‍ය කාර්‍යයන් කරගන්නෙමු. එහි ක‍්‍රියාකාරිත්වය දැක මවිතයට පත්වන්නෙමු. මෙය යම් පුද්ගලයකු විසින් නිර්මාණය කලායයි කිසිවකු පවසයි නම් එය එකහෙලා පිලිගන්නෙමු. මෙය නිර්මාණය කල පුද්ගලයාගේ බුද්ධිය පිලිබදව පුදුම සහගතව කථා කරන්නෙමු. නමුත් මේ පර්ගණකය නිර්මාණය කල නිර්මාණකරුවා හා අප අතර පංචේද්‍රියන් මගින් කිසිදු සම්බන්ධයක් නැත. නමුත් මේ පරිඝනකය බලා එහි නිර්මාණකරුගේ හැකියාව නිර්නය කරන්නෙමු. මෙසේ තීරණය කිරීම විඥානයට පරස්පර වු ක‍්‍රියාවක්, එසේත් නැත්නම් මිත්‍යාවක් යයි කිසිවකු නොපවසයි. තවදුරටත් පවසන්නේ නම් මේ ආකාරයට අවබෝධ කරගැනීම තමා විඥානය ලෙස හදුන්වන්නේ.

මේ අනුව ඉහත පදනමේ හිද දේව විශ්වාසයට අවධානය යොමු කලේ නම්, මේ විශ්වයේ බොහෝ වස්තුන් පිලිබදව අප එදින් එදා ජීවිතයේ හා මධ්‍යන් මගින් අසන්නෙමු, දකින්නෙමු. මේවා පිලිබදව අවධානය යොමු කොට විශ්වය දෙස බැලීමේදී සාර්ථක සැලසුම් කරණයක් හා සුක්‍ෂම ආකාරයට කල සංකීර්ණ නිර්මාණයක් අප දකින්නේමු. මේවා නිර්මාණය වුයේ කෙසේද? මේවා ක‍්‍රියා කරන්නේ කෙසේද? මේවායේ මැවුම්කරුවා කව්රුන්ද? යන්න පිලිබදව අප සිත් යොමු නොකරන්නෙමු. අප පරිඝනකයේ ක‍්‍රියාකාරීත්වය දැකීමෙන් එහි නිර්මාණකරුවා අවබෝධ කරගත්තාසේ විශ්වයේ ක‍්‍රියාකාරිත්වය තුලින් එහි නිර්මාණකරුවා, එම නිර්මාණකරුවාගේ ශක්තිය හා බුද්ධිය අවබෝධ කරගත යුතුය. එයයි බුද්ධීමත් ක්‍රියාව එසෙත් නැත්නම් විඥානය හෙවත් සයවන බුද්ධිය භාවිතා කිරීම වන්නේ.

මෙහි දී අන්ධ භක්තිකයන් ලෙස සියල්ල විශ්වාස කලයුතු යයි ඉස්ලාම් නොපවසයි. නමුත් කුහකකම නිසා කෙ‍ෙස් හෝ ප්‍රතික්‍ෂේප කලයුතුයි යන පටු අරමුණුවල හිද බුද්ධීය උගසට තබා අන්ධයින් ලෙස ක්‍රියා නොකලයුතුය. අතීතයේ පටන් අදේවවාදීන් දේවවාදය ප්‍රතික්ෂේප කිරීම සදහා විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කර ඇත. නබි මුහම්මද් (සල්) තුමා‍ණන්ගේ කාලයේදීත් මොවුන් විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කර ඇති අතර එවන් පිරිසට ශුද්ධ වූ කුර්ආනයේ (51-20,21) වාක්‍ය මගින් ආරාධනයක් කරයි. එනම්,

“නුඹලාගෙන් විශ්වාස කරන්නන් හට පොලොවේ හා නුඹලා තුල බොහෝ සාක්‍ෂින් ඇත. සිත් යොමු නොකරන්නේද?.”

සර්වබලධාරී දෙවියෙක් සිටිනවා යන්නට මේ පොළෝතලය පුරාම මෙන්ම අප තුලද බොහෝ සාක්‍ෂි ඇති බව ඉහත කුර්ආන් වාක්‍යයෙන් දෙවියන් අවධාරනය කරයි. තවත් තැනක එනම් “හදීස් කුදිසි” හි දෙවියන් මෙසේ පවසයි.

“නුඹලා මාගේ මැවීමන් වෙත සිත් යොමා බලන්න ඒ තුලින් නුඹලා මා දකිනු ඇත.”

දෙවියන්ගේ මැවීමන් මිනිසා බුද්ධිමත් ආකාරයට අධ්‍යනය කරන විට එම මැවීමන් තුලින් දෙවියන්ගේ ශක්තිය අවබෝධ කරගත හැකිවනු ඇත. එනම් එම මැවීමන් පිලිබදව අවධානය යොමුකර බැලීමෙන් ඒ පිටුපස සුපිරි බලයක් ශක්තියක් හා නිර්මාපකයෙක් සිටිනවා යන්න පහසුවෙන් අවබෝධ කරගත හැක. කෘතිම වස්තුන් ස්වභාවිකව බිහිවුවා යයි කිසිවකු පවසයි නම් එය පිලිනොගනිමු. නිර්මාපකයෙක් නොමැතිව ඇලිපෙනිත්තක් වුවද නිර්මාණය විය නොහැකි බව හොදින් අවබෝධ කර සිටින්නෙමු. එසේ තිබිය දී මෙතරම් සංකීර්ණ විශ්වයක් කෙසේද නිර්මාපකයෙක් නොමැතිව නිරමාණය වුයේ?.

මෙම ප‍්‍රශ්නයට විද්‍යාව “මහා පිපුරුම් වාදය” මගින් විශ්වයේ බිහිවීම පැහැදිලි කරන්න උත්සාහ දරයි. එසේම පෘථිවි ජීවී සම්භවය ආදී සුපයකින් ස්වයංව ඇතිවු බවත් පවසයි. මෙම වාදයන් හරියට “මිනිසෙක් තම ඇදුම කෙසේ ඇති වුයේද යන ප්‍රශ්නයට :- හිටීහැටියේ පුලූන්ගොඩක් මා ළගට පැමින ස්වයංවම එය නුල් බවට පත්වී, ස්වයංවම එය රෙදිබවට පත්වී, පසුව එය කෑලි කෑලිවලට ඉරී තමා ඇද සිටින මෙම ඇදුම බවට පත්වුවා” යයි පවසනවා සේය. මෙසේ කිසිවකු පවසයි නම් අප ඔහුට කුමක් කියා අමතන්නෙමුද?. මොහුව විඥානය ඇත්තෙකු ලෙස දකිනවාද? එසේත් නැත්නම් මන්ද බුද්ධිකයෙකු ලෙස දකිනවාද? මෙය තීරණය කිරීම විඥානය ඇති කිසිවකුටත් අපහසු කාර්‍යයක් නොවේ. සාමාන්‍ය ඇදුමක් සම්බන්ධයෙන්ම තත්වය මෙය නම් සංකීර්ණ වු විශ්ව නිර්මාණයකටත් එය තුල සුපුරි නිර්මාණයක් වන මිනිස් මැවීමටත් කොතරම් බුද්ධියක් හා ශක්තියක් අවශ්‍යද? මේ සියල්ල පිලිබදව කිසිදු සැලකිල්ලක් නොදක්වා සියල්ල ස්වයං නිර්මාණ යයි පවසන තරම් අද මිනිසා නීචයෙකු වී සිටීම මිනිසා තමාට තමාම කරගන්නා නිගාවක් නොවේද?.

මෙසේ පංචේන්ද්‍රයන් හා බුද්ධීය උපයෝගි කර ගනිමින් ශුද්ධ වූ කුර්ආනයේ (51-20,21) වාක්‍යය පවසන ආකාරයට තීරණය කිරීම තමා සැබෑ බුද්ධීමත් ක්‍රියාව වන්නේ එම බුද්ධීයට දේව විශ්වාසය යන්න අනුකූලවන විඥානයට ගෝචර එම දේව විශ්වාසය තමා සැබෑ දේවවාදය වන්නේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/10

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම