ස්වර්ගයට ඇතුල් වන හා නොවන පිරිස

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මෙලොව සෑම ජීවියෙකුම මරණින් පසු නැවත නැඟිටුවා ඔවුන්ගේ මොලොව කටයුතු විනිශ්චය කරනවා යන්නත්, ඔවුන්ගේ විසින් කරන ලද කුසල් හා අකුසල් අනුව ස්වර්ගය, නිරය හෝ නිරයෙන් පසු ස්වර්ගය යනාදී ලෙස විනිචය ලබාදෙනවා යන්නත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. මීට අමතව දේව කරුණාවද තීරණාත්මක සාධකයක් යන්න මීට ඉහත මෙම අඩවිය තුල ස්වර්ගයට ඇතුල් වන්න තීරණාත්මක සාධකය කුසල්ද? දේව කරුණාවද? යන ලිපිය තුලින් දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත. ඉස්ලාම් දහමේ මෙම ඉගෙන්වීම තුල මුස්ලීම් හා මුස්ලීම් නොවන සමාජයට ප්‍රධාන වශයෙන් මතු වන පොදු පැනයන් දෙකක් තිබේ. එනම්, “ස්වර්ගයට යන්නේ කවුරුන්ද?“ සහ “මුස්ලීම් නොවන අය ස්වර්ගයට යනවාද?“ යනනයි. ඒ අනුව යහමග අඩවිය මෙම ලිපිය තුලින් එම කාරණය තරමක් ගැඹූරින් හා ඉස්ලාම් දහමේ ඉගෙන්විමන් මූලික කරගෙන මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

මෙලොව ජීවත් වන පිරිස් තුල පවතින ආගමික විශ්වාසය හා දැනුම පදනම් කරගෙන ඔවුන් ප්‍රධාන වශයෙන් කොටස් 07 කට වෙන් කොට කථා කල හැකි වේ. එම පිරිස වන්නේ,

උපතින්ම මුස්ලීම් වී හෝ පසුකාලීනව ඉස්ලාම් දහම අවබෝධ කොටගෙන මුස්ලීම් වී ඉස්ලාම් දහම පූර්ණ ලෙස පිලිගෙන එයට සාක්ෂිකරුවන් ලෙස ජීවත් වී මියැදුනු පිරිස.

ඉහතින් සදහන් පිරිස් සම්බන්ධයෙන් අල්කුර්ආනය කථා කිරීමේ දී එහි මෙසේ පවසයි.

රසූල්(වක්තෘ)වරයා වෙත පහළ කරනු ලැබූ දැයට ඔවුන් සවන් දුන් විට, ඔවුන් සත්‍ය වටහාගත් හෙයින් ඔවුන්ගේ ඇස්වලින් කඳුළු ගලා යාම (නබි මුහම්මද්) නුඹ දකී. අපගේ ස්වාමීනී, අපි විශ්වාස කළෙමු. එබැවින් අපව සාක්ෂි දරන්නන් සමඟ ලියා තබනු මැනවියි ඔවුහු කියති.

අල්කුර්ආනය 5-83

අපගේ ස්වාමි අපව යහපත් අය සමඟ ඇතුළු කිරීම අප ප්‍රිය කරන හෙයින් අප අල්ලාහ් ගැනද අප වෙත පහළ වූ සත්‍ය ගැනද විශ්වාස නොකරන්නේ කුමක් නිසාදැ(යි ඔවුහු කියති.)

අල්කුර්ආනය 5-84

ඔවුන් කියූ (මෙවැනි) දෑ නිසා ඊට යටින් දිය දහර ගලා බස්නා ජන්නාහ්ව (ස්වර්ගය) ඔවුනට තිළිණයක් සේ අල්ලාහ් පිරිනැමුවේය. ඔවුහු එහි සදාකල් වෙසෙති. මෙය යහකම් කරන්නවුන්ගේ තිළිණයකි.

අල්කුර්ආනය 5-85

මේ අනුව ඉස්ලාම් දහම පූර්ණ ලෙස පිලිගෙන ඒ අනුව කටයුතු කල (උපතින් හෝ පසුකාලීනව දහම වැලඳගත්) මුස්ලීම්වරුන් ස්වර්ගයේ සදාකල් වෙසෙන බව පැහැදිලි වේ.

ඉස්ලාම්ය දහම පිලිබදව දැනුමක් හෝ අවබෝධයක් නැතත් සර්වබලධාරී දෙවියකු සහ අවසාන දිනයක් පිලිබඳව විශ්වාසයෙන් කටයුතු කොට මියැදුනු පිරිස.

ඉස්ලාම් දහම පිලිබදව හෝ එහි ඉගෙන්වීමන් පිලිබදව කවදාවත් කිසිවක් අසා නැති නිසා ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති හෝ වගකීම් නොදන්නා නමුත්, විශ්වයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය තුල සර්වබලධාරී දෙවියෙකු ඇති බවත්, මේ විශ්වය කවදා හෝ විනාශ වනු ඇති බවත් තේරුම් ගෙන යහපත් මිනිසුන් ලෙස ජීවත් වූ පිරිසක් වේ නම්, එවැනි පිරිස් සම්බන්ධයෙන් අල්කුර්ආනය කථා කිරීමේ දී එහි මෙසේ පවසයි.

විශ්වාස කරන අය ද, යුදෙව්වරුන් ද, ක්‍රිස්තියානිවරුන් ද, සාබිඌන් ද,(යන මොවුන් අතුරින්) කවරෙක් හෝ අල්ලාහ් පිළිබඳව ද, අවසාන දිනය පිළිබඳව ද විශ්වාස කර, යහකම් කරන්නෙහු ද, ඔවුන්ට නියත වශයෙන්ම ඔවුන්ගේ රබ් (පරමාධිපති) වෙත ඔවුන්ගේ තිළිණ ඇත. තවද, ඔවුනට බියකුදු නැත. ඔවුහු ළතැවන්නෝ ද නොවෙති.

අල්කුර්ආනය 2-62

  • සැ:යු:- මෙම පිරිසට අවසාන වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් පැමිණීමට පෙර විසූ පිරිස සේම වර්ථමානයේ ඉස්ලාම් දහම් පණිවුඩය නොලැබී ඒ පිලිබදව කිසිදු අවබෝධයකින් තොරව හුදෙකලාව වෙසෙන ජන සමාජ මෙයට අයත් වේ.

ඉස්ලාම් දහම සහ එහි සාක්ෂි ප්‍රතික්ෂේප කොට ජීවත් වී මියැදුනු පිරිස

ඉහතින් කථා කලේ ඉස්ලාම් දහම පිලිබදව අවබෝධයකින් තොරව ජීවත් වූ පිරිස පිලිබදවයි. නමුත් මෙහි කථා කරන්නේ ඉස්ලාම් දහම සහ එහි ඉගෙන්වීමන් පිලිබදව අවබෝධයකින් යුතුව එය ප්‍රතික්ෂේප කල අය පිලිබදවයි. එවැනි පිරිස් සම්බන්ධයෙන් අල්කුර්ආනය කථා කිරීමේ දී එහි මෙසේ පවසයි.

අපගේ ආයාත් (වදන්. සංඥාවන්) ප්‍රතිෙක‍ෂ්ප කළවුන් අපි නිසැකවම ගින්නට ළන්නෙමු. ඔවුන්ගේ සම් ගින්නෙන් දැවී යත්ම, ඔවුන් දඬුවම විඳීම පිණ්ස, අපි වෙනත් සම් ඒ වෙනුවට ඔවුනට යොදවන්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් සර්වබලධාරීය, සර්වඥානය

අල්කුර්ආනය 4-56

ප්‍රතික‍ෂ්ප කරන්නන්ද තවද ප්‍රතික‍ෂ්ප කරන්නන් ලෙසම මියගිය අයද සකල මහපොළෝතලයම රනින් වසා ගැලවීමක් සඳහා වන්දියක් වශයෙන් එය ඉදිරිපත් කොට සිටියද නියත වශයෙන්ම (ඔවුන්ගෙන් කිසිවකුගෙන්) කිසිවිටෙක එය නොපිළිගනු ඇත. ඔවුනට (පරලොවදී) නින්දිත දඬුවම් ඇත. තවද ඔවුනට පිහිටවන කිසිවකුද නැත.

අල්කුර්ආනය 3-91

ඉස්ලාම් දහම පිලිබදව කිසි දිනෙක කිසිවක් අසා නොමැති තත්වයේ සහ සර්වබලධාරී දෙවියකු පිලිබදව අවබෝධයක් ලබාගත නොහැකි බුද්ධි මට්ටමේ ජීවත් වී මියැදුනු පිරිස.

ඔවුන් මිය ගියේ ඉස්ලාම් දහම පිලිබදව කිසිදාක කිසිවක් අසා නැති දේව වක්තෘවරුන්ගේ (නබිවරුන්ගේ) පණිවුඩය නොලද තත්වයේ සහ සර්වබලධාරී දෙවියකු තේරුම් ගැනීමට තරම් ශක්තියක් ද නොතිබුණු තත්වයේ නම්, එවැනි පිරිස සම්බන්ධයෙන් අල්කුර්ආනය පැවසීමේ දී එහි මෙසේ පවසයි.

යමකු යහමඟ පිළිපදින්නේද, නියතවශයෙන් ඔහු යහමඟ පිළිපදින්නේ ඔහුගේම යහපත උදෙසාය. යමකු නොමඟ ගියේද ඔහු නොමඟ යන්නේ ඔහුටම එරෙහිවය බර උසුලන්නෙක් අන් කෙනකුගේ බර නොඋසුලන්නේය. (සත්‍යය අසත්‍යයෙන් වෙන්කර දැක්වීමට) රසූල්වරයකු අප යවන තුරු අපි දඬුවම් නොකරන්නෙමු.

අල්කුර්ආනය 17-15

ඉහත වාක්‍යය දේව පණිවුඩය ලබාදෙන දූතයෙකු නොඑවනතුරු කිසිදු සමාජයකට දඬුවම් නොකරන බව පවසයි. විනිශ්චය දිනයේදී ඔවුන් පරීක්‍ෂා කරන්නේ කෙසේදැයි විශේෂයෙන් සඳහන් කරන හදීසයක් ද ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් හි දක්නට ඇත. එනම්,

මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බව අල්-අස්වද් ඉබුනු සාරී (රලි) පවසයි, “මළවුන් කෙරෙන් නැගිටුවන (විනිශ්චය) දිනයේ අල්ලාහ් (දෙවි)ට විරෝධය දක්වන හතර දෙනෙක් සිටිති. එනම්,
* කිසිදා කිසිවක් නොඇසූ බිහිරි මිනිසා, - බිහිරි මිනිසා පවසනු ඇත: "ස්වාමීනි, ඉස්ලාමය පැමිණි නමුත් මම කිසිවක් අසා නැත."
* උමතු (පිස්සු) රෝගයෙන් පෙලුනු මිනිසා,  - උමතු මිනිසා කියනු ඇත: "ස්වාමීනි, ඉස්ලාමය පැමිණි නමුත් දරුවන් මා පසුපස දිව ගොස් මට ගල් ගැසූහ."
* ඉතාමත් මහලු වියට පත් මිනිසා - ඉතා වයසක මිනිසා කියනු ඇත: "අනේ ස්වාමීනි, ඉස්ලාමය පැමිණි නමුත් මට කිසිවක් තේරුනේ නැත."
* නබිවරුන් දෙදෙනෙකු අතර නබිවරුන් නොමැති “ෆත්‍රා“ නමින් හඳුන්වන අඳුරු යුගයේ මිය ගිය ( එනම්, නිදසුනකට - යේසූස් (නබි ඊසා (අලෛ)) තුමාගෙන් පසු සහ මුහම්මද් (සල්) තුමාණන් පැමිණිමට පෙර වූ අතර කාලයේ ජීවත් වූ මිනිසා. - අනාගතවක්තෘවරුන් දෙදෙනෙකු අතර කාලසීමාවේදී මියගිය පුද්ගලයා මෙසේ පවසනු ඇත : "ස්වාමීනි, ඔබගෙන් කිසිම පණිවිඩකරුවෙකු මා වෙත පැමිණියේ නැත."
යනුවෙන් පවසනු ඇත. එවිට අල්ලාහ් (දෙවි) ඔවුන්ගෙන් තමන්ට කීකරු වන බවට පොරොන්දුවක් ලබාගෙන පසුව ගින්නට ඇතුළු වන ලෙස ඔවුන්ට පණිවිඩයක් යවනු ලැබේ. ඔවුන් එහි සිසිල්ව සහ ආරක්ෂිතව සිටිනු ඇත.

මුලාශ්‍ර ග්‍රන්ථය - අහම්ද් සහ ඉබුනු හිබ්බාන්

අල්ලාහ් (දෙවි) සහ අවසාන (විනිශ්චය) දිනය පමණක් විශ්වාස කොට නමුත් සමහර නබිවරුන් (අනාගතවක්තෘවරුන්) පිලිගෙන සහ තවත් සමහරක් නබිවරුන් ප්‍රතික්ෂේප කරමින් ජීවත් වී මියැදුනු පිරිස.

මෙසේ ඉස්ලාම් දහමෙහි කොටසක් පිලිගෙන කොටසක් ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන පිරිස පිලිබදව ඉස්ලාම් දහම අල්කුර්ආනය තුලින් අවවාද කිරීමේ දී මෙසේ පවසයි.

අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දුතයින් ප්‍රතික්ෂේප කර, අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දුතයින් අතර වෙනසක් හුවා දැක්වීමට අදහස් කරමින් අපි ඇතැම් අය පිළගෙන සෙසු අය ප්‍රතික්ෂේප කරමුයි පවසා (විශ්වාස හා අවිශ්වාස වන) ඒ අතර මැදි පිළිවෙතක් සොයන අය. (නම්)

අල්කුර්ආනය 4-150

සැබැවින්ම ප්‍රතික්ෂේප කරන්නෝ මොවුහුමය. ප්‍රතිෙක‍ෂ්ප කරන්නන් සඳහා අප අවඥා සහගත දඩුවමක් පිළියෙළ කොට ඇත.

අල්කුර්ආනය 4-151

අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දුතයින් විශ්වාස කරමින් ඔවුන්ගෙන් කිසිවකු අතර වෙනසක් නොකළ අය(ට නම්) ඔවුනට ඔහු (අල්ලාහ්) ඔවුන්ගේ නිසි ත්‍යාගය මතුවට පිරිනමයි. අල්ලාහ් අතිශය ක්ෂමාශීලීය, අතිශය දයාන්විතය.

අල්කුර්ආනය 4-152

අල්ලාහ් (දෙවි)ගේ නියෝග මත මෙලොව සියළු කටයුතු කරමින් වෙනත් න්‍යාය පත්‍රයක් සහ අරමුණක් ඔස්සේ මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටී එම තත්වයේම මියැදුනු පිරිස.

ඉස්ලාම් දහම මොවුන් මුනාෆික්වරුන් හෙවත් කුහකයින් ලෙස හඳුන්වයි. දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්ට වඩා නරක තත්වයක මොවුන් සිටින බව මෙහි සදහන් කල හැකි වේ. මොවුන් පිලිබදව අල්කුර්ආනය පැවසීමේ දී...

කුහකයින් ඔබ වෙත පැමිණියේ නම් නිශ්චිත වශයෙන්ම ඔබ අල්ලාහ්ගේ දූතයා බවට අපි සාක්ෂි දරන්නෙමු යි කියති. නිශ්චිත වශයෙන්ම ඔබ අල්ලාහ්ගේ දූතයා බව අල්ලාහ් දනී. නිශ්චිත වශයෙන්ම කුහකයින් බොරුකාරයින් බව අල්ලාහ් සාක්ෂි දරයි. ඔවුහු තම දිව්රුම් පළිහයක් වශයෙන් ගෙන අල්ලාහ්ගේ මාර්ගයෙන් වළකාලයි. ඔවුන් කරනුයේ කොතරම් නපුරු ක්‍රියාවක් ද,

අල්කුර්ආනය 63-1 සහ 2

නියත වශයෙන්ම වංචනිකයින් අපායේ ගැඹුරුම අගාධයෙහිය. ඔවුනට පිහිට වන කිසිකෙනකු නුඹට දැකිමට නොහැකිය.

අල්කුර්ආනය 4-145

ඉස්ලාම් දහමේ ඉගෙන්වෙන ඇදහිල්ලේ සියලුම මූලික කොටස් විශ්වාස කළ නමුත් ඔවුන් ශුද්ධ ලියවිල්ලේ සමහර කොටස් අනුගමනය නොකිරීමට තීරණය කොට ජීවත් වී මියැදුනු පිරිස

ඉස්ලාම් දහමේ සමහරක් කොටස් පිලිගෙන සහ තවත් සමහරක් කොටස් ප්‍රතික්ෂේප කරමින් ජීවත් වී මියැදුනු පිරිසගේ තත්වය පිලිබදව විමසා බැලීමේ දී අල්කුර්ආනය තුල ඔවුන් පිලිබදව කථා කරන පහත වදන් අපට හමුවේ. එනම්,

...නුඹලා ධර්ම ග්‍රන්ථයෙහි කොටසක් විශ්වාස කර තවත් කොටසක් විශ්වාස නොකරන්නහු ද? නුඹලා අතරින් එය කරන්නවුනට මෙලොව ජීවිතයේ ඔවුන්ට නින්දාව හැර (වෙනත්) විපාකයක් නැත. තවද, පරමාන්ත දිනයේ දී ද, ඉතා තදබල වේදනාව කරා ඔවුහු හරවා යවනු ලබන්නාහුය. තවද, නුඹලා කරන දේ ගැන අල්ලාහ් තැකීමක් නැත්තෙකු නොවේ.

අල්කුර්ආනය 2-85

ඉහත කොටස් 07 අතුරින් ස්වර්ගය සදහා උරුමකම් කියන්නේ කවර පාර්ශවයන් ද යන්න ඔබට පැහැදිලි වනු ඇතැයි සිතමි. කිසියම් කෙනෙකු “මුස්ලීම් නොවේ“ යන්න පදනම් කරගෙන ඔහු නිරයට යනවාද? යන්න තීරණය කල නොහැකි බව ඉහත කරුණුවලින් පැහැදිලිය. ඉස්ලාම් දහම පැහැදිලිවම පවසද්දීත් එය ප්‍රතික්ෂේප කරමින් එම තත්වයේම මියැදුනු කෙනෙකු “කාෆිර්“ හෙවත් නිරයට යන්නන් ලෙස හැදින්විය හැක. එසේ නොමැතිව ඉස්ලාම් දහම පිලිබදව දැනුමක් නොමැතිව ජීවත් වී මියැදුනු පිරිස අපායවාසීන් ලෙස හැදින්විය නොහැක.

එමෙන්ම මුස්ලිම්වරුන් වූ පමණින් ඔවුන් ස්වර්ගවාසීන් යැයි තීන්දු කිරීමට ද නොහැක. ඉස්ලාම් දහමේ ඉගෙන්විමන් පූර්ණ ලෙස අනුගමනය කරමින් සැබෑ බියබැතිව කටයුතු කරන කෙනයි සැබෑ ස්වර්ගවාසී මුස්ලීම්වරයෙකු වන්නේ. එම කාරණය අවදාරණය කරමින් මෙම සටහනට විරාමය තබන්නේ පහත අල්කුර්ආන් වාක්‍ය තුලින් අවවාද කරන විනාශකාරී ඉරණමෙන් අප සියළුදෙනා අරාක්ෂා වියයුතු වන නිසාය.


එය විශ්වාස නොකරන, තමාගේම ආශාවන් අනුගමනය කරන කිසිවෙකුට ඔබේ අවධානය වෙනතකට යොමු කිරීමට ඉඩ නොදෙන්න, මන්ද එය ඔබව විනාශයට ගෙනයනු ඇත.

අල්කුර්ආනය 20-16


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/03/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම