උපවාසය තුලින් උගත් පාඩම් හා ඉදිරි ඉලක්ක

From Yahamaga
Revision as of 10:44, 7 April 2023 by Admin (talk | contribs)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


උපවාසය තුලින් උගත් පාඩම්
උපවාසය තුලින් උගත් පාඩම්

උතුම් වූ මාසයක් විටෙක ආශ්චර්‍යයමත් වූ මාසයක් දැන් අපෙන් සමුගෙනය. මෙම මාසයේ උතුම් බව මාසය පුරාවටම විවිධ අවස්ථාවල අප සමාජය තුල මෙන්ම මෙම අඩවිය තුල ද සාකච්චා කලෙමු. නමුත් මෙම මාසය අප තුල ඇති කල ආශ්චර්‍යයමත් වෙනස පිලිබදව නැවත සලකා බැලීම අත්‍යඅවශ්‍ය කාරණයකි. රමලාන් (උපවාස) මාසය ආරම්භ වනවාත් සමඟ මුස්ලීම්වරුන් වන අපගේ ජීවිතවලට එය කල බලපෑම විශ්මය ජනකය. ඒ පිලිබදව කෙටි හැදින්වීමක් කරන්නේ නම්,

  • ආගම දහමින් දුරස්ව ජීවත් වූ අප සමාජයේ බොහෝ පිරිසක් “පල්ලිය තමා එකම පිලිසරණ” යන්න සිතෙන්නට තරම් පල්ලියා හා බැදී ඒ මාසය ගෙවා දැමුවේ සමාජය විශ්මයට පත් කරවමිනි.
  • දෛනික සලාතය පවා නිසි ලෙස ඉටු නොකල සමහරක් පිරිස් “කියාමුල් ලෛයිල්” නම් වූ සලාතය පවා උනන්දුවෙන් හා උද්යෝගයෙන් ඉටුකිරීම තුල ඇති කලේ විශ්මිත දසුනකි.
  • “ෆජ්ර් (අළුයම) නම් සලාතයක් තිබේද යන්න පවා දන්නවාදෝ?” යයි සිතෙන අයුරින් ජීවත් වූ සමහරක් පිරිස “තහජ්ජද්” සලාතය සදහා දැක් වූ උනන්දුවත් අශ්චර්‍ය ජනකය.
  • වේලක් වුවද නොකා ඉන්නට බැරි බව සිතූ පිරිස් මාසයක් පූරාවට උපවාසය ඉටුකොට අවසන්කර ඇත්තේ හඳ පිරි සතුටින් වීම තවත් ආශ්චර්‍යයකි.
  • අප සමාජයේ බහුතරයක් මළගෙයකට නොඑසේ නම් වෙනත් විශේෂිත අවස්ථා කිහිපයකට පමණක් පාරායනය කලයුතු යයි වෙන්කර තිබූ ශුද්ධ වූ කුර්ආනයට මේ මාසය පුරාවට (අඛණ්ඩව පාරායනය කිරීමෙන්) ලබාදුන් ගෞරවය අශ්චර්‍යමත් පිබිදීමකි.
  • අලුත් චිත්‍රපටයක්, ටෙලිනට්‍යයක් කිසිදු හේතුවක් නිසා මඟනොහැරිය අප තරුණ තරුණියන් ඒවා සියල්ල දුරස්කොට දැහැම් ජීවිතයක් තුලට සමවැදී උපවාසය නිම කිරීම සැබැවින්ම අදහාගත නොහැකි අශ්චර්‍යයකි.
  • ඉස්ලාම් අනුමත නොකරන විනෝදාංශවලට පමණක් නොව අනවශ්‍ය කරුණුවලට සවන්දීම හා පැවසීම තුලින් ද සම්පූර්ණයෙන් වැලකී. තම උපවසාය පිපාසයට හා කුසගින්නට පමණක් සීමා නොකොට තම ඇස, කන, දිව, අත්, පා … යනාදී සියළු අවයවයන් තුලින් උපවාසය පිලිඹිබු කිරීම තුලින් සමාජයට කියාපෑවේ තම අශ්චර්‍යයමත් කැපකිරීම මිස අන්කිසිවක් නොවේ.
  • එපමණක් ද නොවේ. පොලොව මත තේජාන්විතව හා විටෙක ආඩම්බර ලීලාවෙන් හැසිරුණූ අප අතර බොහෝ පිරිස් මේ උපවාස සමඟ උඩුයටිකුරු වී තම ආඩම්භරකම වෙනුවට අහිංසකක්වය ආදේශ කොට “මම උපවාසයේ නිරත වූ කෙනෙකු වෙමි” යනුවෙන් සියල්ල ඉවසා විදදරා ජීවත් වීම තුලින් ද සමාජයට ලබාදුන්නේ විශ්මිත වූ ආදර්ශයකි.
  • වෙන කවරදාකටත් වඩා හැඟීබරව දුප්පතාගේ දුක දිළිදුකම පිලිබදව අපට සංවේදී ලෙස බලන්නට හැකි වුයේ අප නොදැනම අපව විශ්මයට පත්කරවමින් නොවේද?
  • එය පමණක් නොව මතින් තොර ජීවිතයක් පිලිබදව සිතා බැලීමට පවා නොහැකි යයි වහසිබස් දෙඩූ අප සමාජයේ බොහෝ පිරිස් මාසයක් පුරාවට එම මතට තිත තැබුවේ සමාජයම මවිත කරවමිනි.

මේ ආකාරයට විශ්මකර්මයන් හොහෝමයක් සිදුකොට අපෙන් අද සමුගෙන යන රමලානය මුස්ලීම් සමාජයට සිදුකල බලපෑම ඉතා ආශ්චර්‍ය ජනකය. මේ මොහොතේ අනිවාර්‍ය යෙන් සදහන් කලයුතු තවත් විශ්මිත කාරණයක් ඇත. ඒ වෙන කවර දාකටත් වඩා ඉහලින් මෙවර අන්‍ය ආගමික ප්‍රජාවගෙන් මේ උපවාසයේ නිරත වූ මුස්ලීම්වරුන් අසීමිත ලෙස ගෞරවයට පාත්‍රවීමයි. අන්තර්ජාලය තුල දකින තරමක් ඉස්ලාම් විරෝධි ලිපි හා ප්‍රකාශන දකින විට මුස්ලීම්වරුන් වන අපට බොහෝ විට මේ මහා ජාතිය පිලිබදව තිබුණේ බියනිසා ඇති වූ පිලිකුලකි. නමුත් ඒ සියල්ල ජාතිවාදී හා ආගමික අන්තවාදී කිහිප දෙනෙකුගේ වියරුවන් මිස සමස්ථ ජාතියේ අපේක්ෂාව නොවන බව කියාපෑවේ එවන් පිරිස් තවදුරටත් සමාජය තුල හුදෙකලා කරමින් පමණක් නොව මුස්ලීම් සමාජයට සහෝදරත්වයේ දෑත් ද දිගු කරමිනි. එය කොතරම් විශ්මිත වූවාද යන්න පවසනවා නම්, ශ්‍රී ලාංකීය සමාජය තුල සමහරක් ප්‍රදේශවල උපවාසයෙන් මිදෙන සනධ්‍යාවන් (ඉෆ්තාර්) පන්සල් තුල සංවිධානය වී තිබුනා දක්නට ලැබුණි. එදා එහි දිනපතා පිරිත් දේශනා කරන ශබ්ද විකාශන යන්ත්‍රයන් තුලින් “මහ්රිබ්” (උපවාසය මිදීමට කරන) අසානය (පස්වේල පල්ලියේ නාදවන බාංගු) පවා නාදවුණේ මුස්ලීම් සමාජය මවිත කරවමිනි. (මෙවැනි සිදුවීම් සදහා ජාතිවාදී හෝ ආගම්වාදී මුහුණුවරයන් ලබාදීමට මුස්ලීම්වරුන් මෙන්ම මුස්ලීම් නොවන පිරිස ද ක්‍රියා නොකලයුතුයි යන්න යහමග කාරුණික ඉල්ලීමයි) මෙලෙස අන්‍ය ආගමික සිද්ධස්ථානවල මුස්ලීම්වරුන්ගේ උපවාසය ගෞරවයට පාත්‍ර වෙද්දී අතිගරු ජනාධිපති තුමා ඇතුළු රටේ පුද්ගලික හා රාජ්‍ය ආයතනවල ද මේ උපවාසය නිමිති කොටගෙන විවිධ වැඩසටහන් සංවිධානය වූයේ මේ උපවාසයට මෙන්ම එය දරාසිටින මුස්ලීම් සමාජය ගෞරවයට හා විශ්මයට පාත්‍ර කරවමිනි.

මෙවන් විශ්මයන් ගණනාවක් කල ඒ “රමලානය” දැන් අපෙන් සමුගෙන ඇත. එලෙස රමලානය අපෙන් සමුගත්තේ මුස්ලිම් සමාජය වන අපව තීරණාත්මක සංධිස්ථානයකට ඉස්ලාම් යොමු කරමිනය. එම කාරණය පිලිබදව කථා කිරීමට මත්තෙන් ශුද්ධ වූ හදීසයක් ඔබගේ බුද්ධිමත් අවධානයට යොමු කිරීමට අදහස් කරමි.

“කවුරුන් තම කාර්‍යයන් පිලිබදව ස්වයං ඇගයීමක් කරමින් මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්නට යහක්‍රියා කරන්නේද? ඔහු බුද්ධිමතෙකි. කවුරුන් තම සිතුවිලි ඔස්සේ ජීවත් වී ‘මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්න හැකි වේවි’ යයි සිතන්නේ ද ඔහු අනඥානයකි (මෝඩයකි)”

දන්වන්නේ – සද්දාද් ඉබුනු අව්ෆ් (රලි)

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

මුස්ලීම් සමාජයට ආශිර්වාදයක් ලෙස පැමිණි උපවාසය අප තුල විශ්මිත වෙනස් කිරීම් ගණනාවක් සිදුකොට අපෙන් සමුගෙන ඇති බව දැන් අපට පැහැදිලිය. විශේෂයෙන් ශුද්ධ වූ කුර්ආනයේ 2-183 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවියන්) පවසන “තක්වා” (දෙවියන් කෙරෙහි නැඹුරුව) අප හඳවත් තුල රදවා අපෙන් උපවාසය සමුගෙන ඇත. මේ මාසයක් පුරාවට අප උගත් පාඩම තුලින් ඉදිරි මාස 11ක් අපට මූමීන්වරයෙකු (සැබෑ මුස්ලීම්වරයෙකු) ලෙස ගමන් ඇරඹීමට ඇත. එහි දී ඉතා වැදගත් සාධකය නම් ඉහත හදීසයේ සදහන් “තම ක්‍රියාවන් ස්වයං ඇඟයීමකට ලක්කරමින් මරණින් මතු දිවිය එකම ඉලක්ක කරගෙන ජීවිතය ඇරඹීමයි.” අවාසනාවකට සෑම වර්ෂයක් පුරාවට මුස්ලීම් සමාජයේ දකින දසුන නම් රමලාන් මාසයක් පුරාවට වෙහෙස මහන්සි වී කුසල ක්‍රියාවන් හි නිරත වූ අප ඒ සියල්ල මලු බැද පසෙකින් තබා ඉතිරි මාස 11 තම ස්වමත නොඑසේ නම් තම සිතුවිලි ඔස්සේ ඉස්ලාම් අනුමත නොකල ක්‍රියාවන් හි නිරතවීමයි. මෙවන් ක්‍රියාවන් තුලින් කිසිවකු විමුක්තියක් ලඟාකරගන්න අපේක්ෂා කරන්නේ නම් එය මුලාවීමකි. දිනක් දෙකක් නොව මාසයක් පුරාවට ඔබට “තහජ්ජද් (කියාමුල් ලෛයිල්)” (මධ්‍යම රාත්‍රියේ ඉටුකරන වන්දනයක්) කරන්න හැකි වුවා නම් ඉදිරි මාස 11 සදහාත් එය ඉටුකිරීම එතරම් දුෂ්කර කාර්‍යයක් විය නොහැක. මාසයක් පුරාවට දුම්වැටියෙන් වැලකී ජීවත් වූවානම් ඇයි ඉදිරි මාස 11 සදහා එම විෂ පානයෙන් වැලකෙන්නට බැරි. මාසයක් පුරාවට පස්වේල සලාතය ප්‍රියතම වන්දනයක් වුවානම් ඇයි ඉදිරි මාස 11 සදහා එය බරක් කරගන්නේ. කුසගින්නේ තරම හා දුප්පතාගේ දුක සංවේදීව අවබෝධ කරගත් අපට ඉදිරි මාස 11 පුරාවට එලෙස සංවේදී නොවීමට හේතුවක් පැවතිය හැකිද? … මේ ආකාරයට ගෙවීගිය රමලාන් මාසය මෙන්ම එම මාසය තුලි උගත් මාඩම් පිලිබදව සෑම මුස්ලීම්වරයෙකුම ස්වයං ඇඟයීමක් සිදුකිරීමට අනිවර්‍ය වගකීමක් ඇත. සරලවම පවසනවා නම් සෑම මුස්ලීම්වරයෙකුම මාසයක් සදහා නොව සර්ව කාලීන ඉස්ලාම් වීමේ අවශ්‍යතාවයක් ඇත. ලොව පුරා මෙන්ම ජාතික මට්ටමේ විවිධ අන්තවාදී පිරිස් ඉස්ලාම් දහමට එරෙහිව කුමන ආකාරයේ ව්‍යාපාරයන් දියත් කලද ඒ සියල්ල ඉස්ලාම් දහමට වෙස්වලාගත් ආශිර්වාදයක් බවට මේ උපවාසය විශ්මිත ලෙස පත්කොට ඇත. ඉතිරිව ඇත්තේ මුස්ලීම්වරුන් වන අප විසින් ඉටුකලයුතු මෙහෙවර පමණි. එය ඉතා සරල කාර්‍යයකි. එනම් සැබෑ මුස්ලීම්වරයෙකු ලෙස ඉස්ලාමීය ආදර්ශයන් කට වචනයෙන් නොව ප්‍රායෝගික ජීවිතය තුල ක්‍රියාවට නැංවීම පමණි. එසේ නම් මේ රමලාන් මාසය පුරාවට උගත් පාඩම් තුලින් අපගේ ජීවිතය නැවත සකසා ගනිමු. ඒ සදහා අල්ලාහ් (දෙවියන්)ගේ ආශිර්වාදය අප සියළුදෙනා හට අත්වේවා!

අවසාන වශයෙන් මෙම ලිපිය තුලින් ස්තූතිවන්ත වියයුතු පිරිසත් පිලිබදව සදහන් කිරීමට කැමැත්තෙමි.

ඒ මේ උපවාස සමයේ රටේ සුළු ජාතින් වන අපගේ උපවාසය ඉහල අයුරින් ගෞරවයට පාත්‍ර කල සියළු ආගමික සිදුධස්ථානවල පූජකවරුන්ටත්, අතිගරු ජනාධිපති තුමන්ටත්, විවිධ වූ ආයත ප්‍රධානීන්ටත්, සංගම් සංවිධානවලටත්, පක්ෂ පාට නොසලකා කටයුතු කල දේශපාලඥයින්ටත්, සමාජ සහජීවනය උදෙස ක්‍රියාකල අන්‍යආගමික පිරිසටත් යහමග ගෞරවනීය ලෙස ස්තූතිවන්ත වන අතර ඔබ සියළුදෙනා හට අල්ලාහ් දෙවියන්ගේ අශිර්වාදය හිමිවේවා යනුවෙන් ද ප්‍රාර්ථනා කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම