අස්සලාමු අලෛකුම්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


"අස්සලාමු අලෛකුම්" මෙය ඉස්ලාම් දහම, මුස්ලීම් සමාජයට යෝජනා කරන ආචාර (සුබ පැතුම්) ක්‍රමයකි. මෙහි අරුත "ඔබට ශාන්තිය / සාමය අත්වේවා!" යන්නයි. වත්මන් ලෝකය දෙස බලන විටත්, මානව වර්ගයාගේ මානසිකත්වය හොදින් නිරික්ෂණය කරන විටත් ඔහුගේ දැවෙන අවශ්‍යතාවය "සාමය" සහ "ශාන්තිය" යන්න හොදින් පැහැදිලි වේ. මෙම සාමය / ශාන්තිය නොමැති තැන ඉතිරි වන්නේ වියරුව, වෛරය, පලිගැනීම... වැනි විකෘතීන් පමණි. එවිට සමාජයේ යහපත් සාරධාර්ම විනාශ වී යනවා නොඅනුමානය.

මෙවන් අවාසනාවන්ත ඉරණමක් සමාජයක් තුල ඇත නොවීමට නම්, සමාජයේ සියළුදෙනාගේ අවංක වූ ඒකායන පැතුම "ඔබට මටත් ශාන්තිය අත්වේවා!" යන්න වියයුතුය. ඒ සදහා ඉස්ලාම් දහම “අස්සලාමු අලෛකුම්” නම් වූ ප්‍රාර්ථනාව තුලින් මුස්ලීම් සමාජයට ආදර්ශ සපයයි. එසේ ඉස්ලාම් දහම යෝජනා කරන "සලාම්" නම් ආචාරය පිලිබදව යහමග අඩවිය තුල විවිධ මාතෘකා ඔස්සේ සාකච්චා කල ලිපි එකම පිටුවකට සාරාංශ කොට ඉදිරිපත් කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

දැන් එම ලිපි පහතින් විමසා බලමු.

සර්ව කාලීනව ප්‍රායෝගික වූ එකම සුබ පැතුම

අප රටේ සහ ජාත්‍යන්තරයේ සුලබව භාවිතා කරන නව ජනප්‍රිය සුබ පැතුමක්ද ඇත. ඒ හායි (Hi) යන්නයි. අර්ථ ශූන්‍ය අවිධිමත් මෙම සුබ පැතුම සමාජය තුල රැල්ලක් වී තිබුණත්, ඒ ඒ සංස්කෘතීන්ට සහ ආගම්වලට ආවේනික යහපත් අරුතින් යුතු ආයුබෝවන්, වනක්කම්, බුදු සරණයි, දෙවි පිහිටයි, ගුඩ් මෝනිං, ගුඩ් නයිට්, අස්සලාමු අලෛකුම්… යනාදී වූ සුබ පැතුමන් හා මෙය සංසන්ධනය කරන විට මෙම “Hi” යන සුබ පැතුම නොසලකා හැරිය හැකි තරම් හිස් වදනක් පමණි. විශේෂයෙන් ආගමික වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් සමාජ භාවිතයේ පවතින ඉහතින් සදහන් සුබ පැතුමන් අතුරින් සර්ව කාලීන සහ ප්‍රායෝගික ජීවිතයට වඩාත් සමීප සුබ පැතුම කුමක්ද? යන්න විමසා බලන මෙම ලිපිය තුල “Hi” නම් සුබ පැතුම අවලංගු හිස් වදනක්ම පමණි. (සම්පූර්ණයෙන් කියවන්න )

සලාමය සුබ පැතුමකට එහා ගිය ප්‍රාර්ථනයකි

“අස්සලාමු අලෛකුම්” යන වදන පැතුම්කට එහා ගිය ප්‍රාර්ථනාවකි. එය තවත් කෙනෙකු වෙනුවෙන්, එනම්, ඔහුට “ශාන්තිය” හිමි කරදෙන මෙන් අල්ලාහ් (දෙවි) හමුවේ කරන ආයාචනයකි. මෙසේ කෙනෙකු “අස්සලාමු අලෛකුම්” යනුවෙන් සුබ පතන විට එයට පිලිතුරු වශයෙන් “වඅලෛකුම් සලාම්” යනුවෙන් පිලිතුරු දීම අනිවාර්‍ය බව ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. මෙහි අරුත නම්,

  • අස්සලාමු අලෛකුම් - ඔබට “සලාමය” (ශාන්තිය) අත්වේවා!,
  • වඅලෛකුම් සලාම් - ඔබටත් “සලාමය (ශාන්තිය) අත්වේවා!,

ඉහත පැතුමන් දෙක මොහොතක් බුද්ධිමත්ව සිතා බලන්න. දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සිදුවන හමුවක දී ඔවුන් එකින් එකා අතර වූ පැතුම “ශාන්තිය හිමි වේවා!” යන්න නම්, එම ආයාචනය ද අවංක වූ එකක් නම්, එය අල්ලාහ් (දෙවි) පිලිගෙන අප අතර අතර “ශාන්තිය - සාමය” පහල කලේනම්, මේ පොළොව කොතරම් සාමකාමී එකක් වනු ඇත්ද?. එවන් වූ උතුම් “සලාමයේ” ප්‍රාර්ථනාව මුළු ලෝකයටම අල්ලාහ් (දෙවි)ගේ “ශාන්තිය” හිමි වීම පිණිසත්, එයින් මුළු ලෝකයම ආලෝකමත් වීම පිණිසත්, පැතිර වියයුතුව ඇත. (සම්පූර්ණයෙන් කියවන්න )

ඉස්ලාමීය එකම ආචාරය අස්සලාමු අලෛකුම් පමණයි

ඉස්ලාම් දහම පුද්ගලයන් අතර සිදුවන ආචාරය ලෙස “සලාමය” පෙන්වාදුන්නා මිස ඉන් එහා කිසිදු අවස්ථාවක වෙනත් ආකාරයක ආචාරයක් පෙන්වාදී නොමැත. එසේ තිබියදී කුසල් රාශියක් ගෙනදෙන සර්වකාලීන අසමසම “සලාමය” පසෙකදමා ඉස්ලාම් දහම පෙන්වා නොදුන් “ඊද් මුබාරක්” හෝ එවැනි නූතන ආචාරයන් සමාජය තුල නිර්මාණය කොට ඒවා ඉස්ලාම් ලෙස අනුගමනය කිරීම කුසල වෙනුවට අකුසල ගෙනදෙන අපව නිරය කරා රැගෙන යන “බිද්අත්” නම් පාපයක් වනවා නොඅනුමානය. (සම්පූර්ණයෙන් කියවන්න )

ඉස්ලාම් පෙන්වාදෙන 'සලාමය' මුස්ලීම්වරුන් සදහා පමණක්ද?

මගේ අසල් වැසියා දෙමළ ජාතික විශ්‍රාමික විදුහල්පතිවරයෙක්‍. මම හැමදාම උදේට නැගිට්ට ගමන් දකින්නේ ඔහුගේ මුහුණුයි. එවිට මම ඔහුට ‘good morning’ කියල කියනවා. දවසක් ඔහු මට මෙහෙම කිව්වා. “මල්ලී ඔයා මීට පස්සෙ මට ‘good morning’ කියල කියන්න එපා. එහෙම කියනවට මම කැමැති නැහැ. ඔයා අස්සලාමු අ‍ලෛකුම් කියල කියන්න. ඒකේ තේරුම ඔබට ශාන්තිය ඇති වේවා! යන්න නේද! ශාන්තිය කාට‍ත් අවශ්‍ය දෙයක්. ඔයා මෙච්චර හොද සුබ පැතුමක් තියාගෙන බටහිර සුබ පැතුම් අනුගමනය කරන්නේ ඇයි? අනික ඕගොල්ලෝ ඒක කියා ගන්නේ ඕගොල්ලො අතර විතරයි. අපිත් ශාන්තියෙන් ජීවත් වීමට ඕගොල්ලෝ කැමැති නැද්ද” දැන් මට තියන ප්‍රශ්නය තමයි අන්‍ය ආගමික සහෝදරවරුන්ට සලාම් කීමට අපගේ ආගමේ ඇති බාධාව. කරුණාකර පිළිතුරු සපයන්න… (සම්පූර්ණයෙන් කියවන්න )

ඊද් දින "ඊද් මුබාරක්" යැයි සුබ පැතීම ආගමානුකූලද?

අවුරුදු උත්සව දිනක එකින් එකා අතර සුබ පැතුම් හුවමාරු කරගැනීම සමාජ සම්ප්‍රදායකි. ඒ් අනුව මුස්ලීම් සමාජයේදී "ඊද් මුබාරක්" යනුවෙන් සුබ පැතීම් හුවමාරු කරගැනීම දක්නට ලැබේ. මෙලෙස සුබ පැතුම් හුවමාරු කරගැනීමට ඇති ආගමික පදනම කුමක්ද? යන්න විමසා බැලීමේ දී ඒ සදහා වූ කිසිදු පදනමක් නොමැති බව පැහැදිලිව පෙනේ. ඒ් අනුව උත්සව දිනයක වූවත්, එසේ නොවන සාමාන්‍ය දිනයක වූවත් දෙදෙනෙකු හමුවන මොහොතක ඇති එකම ආචාරය (සුබ පැතුම) "අස්සලාමු අලෛකුම්" පමණි.

නමුත් අවුරුදු උත්සව දිනයේ "ඊද් නැමදුමට" සහභාගි වූ "සහභාවරුන්" නැමදුම අවසන් කොට එක්තරා ප්‍රාර්ථනාවක්. හුවමාරු කරගත් බවට සමහරක් ග්‍රන්ථවල සදහන් වේ. එවැනි සදහන් කිහිපයක් ඔබේ අවදානයට ටෙගන එන්නේ නම්,

සහබාහ් (රලි) තුමා ඊද් නැමදුමෙන් පසු "තකබ්බල් අල්ලාහු මින්නා වමින්කුම් (අල්ලාහ් අපෙන් සහ ඔබගෙන් (මෙම නමස්කාරය) පිළිගනිත්වා!) යැයි පවසමින් එකිනෙකාට සුබ පැතූ බව සදහන් වේ.


අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීන (සහාභාවරුන්) ඊද් දිනයේදී එකිනෙකා මුණගැසුණු විට, ඔවුන් එකිනෙකාට මෙසේ පැවසුවේය “තකබ්බල් අල්ලාහු මින්නා ව මින්ක් ( අල්ලාහ් අපෙන් සහ ඔබෙන් (මෙම නමස්කාරය) පිළිගනිත්වා!)

මෙලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ආගමික විද්වතුන්ගේ ස්ථාවරයන් කුමක්ද? යන්න විමසූ විට ඔවුන්ගේ ස්ථාවරය වූයේ...

  • ඉමාම් අහමඩ් මෙසේ පැවසීය:-
ඊද් නැමදුමෙන් පසු කෙනෙකු තවත් කෙනෙකුට "තකබ්බල් අල්ලාහු මින්නා ව මින්ක් (අල්ලාහ් අපෙන් සහ ඔබගෙන් (මෙම නමස්කාරය) පිළිගනීවා) යැයි පැවසීම වරදක් නොවේ. 
  • ෂෙයික් අල්-ඉස්ලාම් ඉබ්නු තයිමියා මෙසේ පැවසීය:-
යාඥාවෙන් පසු හමුවීමේදී මිනිසුන් එකිනෙකාට පවසන ඊද් දින සුබපැතුම් සම්බන්ධයෙන්, “තකබ්බල් අල්ලාහු මින්නා ව මින්කුම් ව අහලාහු අල්ලාහ් අලයිකා (අල්ලාහ් අපෙන් සහ ඔබෙන් (මෙම නමස්කාරය) පිළිගනීවා. වෙනත් ඊද් එකක් දැකීමට ජීවත් වන්න)” යනාදී වශයෙන් මෙය කථනය කරන ලද්දේ එය කිරීමට පුරුදු වී සිටි සහාබාවරුන් කිහිප දෙනෙකුගෙන් සහ අන් අයටද එසේ කිරීමට ඉඩ සලසන අයගෙන් සහ ඉමාම් අහමඩ් වැනි ඉමාම්වරුන්ගෙනි. නමුත් අහමඩ් පැවසුවේ: මම මෙම ආචාරය කිසිවෙකු සමඟ ආරම්භ නොකරමි. නමුත් යමෙක් මට මේ ආකාරයෙන් ආචාර කළහොත් මම ඔහුගේ සුබපැතුම් පිරිනමමි. ඒ මක්නිසාද යත්, ආචාරයක් ආපසු යැවීම අනිවාර්ය වන නමුත්, මෙම ආචාරය ආරම්භ කිරීම අණ කළ සුන්නාවක් නොවන නමුත් එය තහනම් නොවේ. එය කරන තැනැත්තාට ආදර්ශයක් ඇත, එය නොකරන තැනැත්තාට ද ආදර්ශයක් ඇත. තවද අල්ලාහ් හොඳින්ම දනී. 
  • ෂෙයික් ඉබ්නු උතයිමීන් මෙසේ පැවසීය:-
ඊද් සඳහා සුබ පැතුම් සහ සුබපැතුම් පිරිනැමීමට අවසර ඇති අතර නිශ්චිත සුබ පැතුම් නොමැත. ඒ වෙනුවට මිනිසුන් පුරුද්දක් ලෙස භාවිතා කරන සුබපැතුම් කිසිදු පාපයක් සම්බන්ධ නොවන තාක් කල් අවසර දෙනු ලැබේ. මේවායේ වරදක් නැත, මන්ද මිනිසුන් මේවා කරන්නේ අල්ලාහ් වෙත සමීප කරවීම සඳහා නමස්කාර ක්‍රියාවන් ලෙස නොවන අතර, ඔවුන් ඒවා කරන්නේ ඒවා චාරිත්‍ර ලෙස සහ එකිනෙකාට ගෞරව කිරීම පිණිසය. චාරිත්‍රයක් තහනම් බව දැක්වීමට ෂරීආහි කිසිවක් නොමැති තාක් කල්, මූලික මූලධර්මය නම් එය අවසරයි. 

ඉහතින් දක්වා ඇත්තේ ලොව ජනප්‍රිය ඉස්ලාම් ආගමික විද්වතුන් කිහිපදෙනෙකුගේ ස්ථාවරයයි. මෙතැනදී පැහැදිලිව තේරුම් ගතයුතු කාරණය නම් මෙම චාරිත්‍රය සදහා දිව්‍ය මඟපෙන්වීම වූ අල්කුර්ආනයේ හෝ අල්හදීසයේ කිසිදු අවසරයක් නොමැති බවයි. එසේනම්, "පැහැදිලි මඟපෙන්වීම් නොමැති කාරණයන්ගෙන් වැලකීම යහපත් මුස්ලීම්වරයෙකුගේ ගුණාංගයයි" යන හදීසයට අනුව මෙම ක්‍රියාවෙන් වැළකී සිටීමයි සැබෑ මුස්ලීම්වරුයෙකු නිවැරදිම ප්‍රතිපදාව වන්නේ යන්නත් ඉස්ලාම් පෙන්වාදෙන අසමසම ආදර්ශය වූ "අස්සලාමු අලෛකුම්" යන සලාමය පමණක් පතුරවමු යන්නත් අවදාරණය කරමින් මෙම සටහන අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/6

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම