පොරොන්දු ඉටුකරමු

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහපත් ගුණධර්ම සහිතව ජීවත්වීමේ අවශ්‍යතාවය ඉස්ලාම් දහම දැඩිව අවදාරණය කරයි. ඒවන් බොහෝ ගුණාංග පුද්ගලයෙකුගේ යහපත් හැසිරීමට සාක්ෂි සපයන අතර ඒ තුල ‘පොරොන්දු ඉටුකිරීම’ නැමැති ගුණාංගය සියල්ලටම වඩා වැදගත් තැනක්ගනී. නමුත් වත්මන් සමාජය තුල දකින්නට නැති තරමට ම මෙම ‘පොරොන්දු ඉටුකිරීම’ යන ගුණාංගය දුලබ එකක් වී ඇත. විශේෂයෙන් අප රටේ පාලකයින් සහ දේශපාලඥයින් සමාජයට ලබාදෙන පොරොන්දු හාස්‍ය උපදවන්නක් තරමට මෙම ගුණාංගයෙන් සමාජය පිරිහී ඇත. සමාජයේ උත්තරීතර යයි පවසා ගන්නා පාර්ලිමේන්තුවේ සිට පහල තලය තනිපුද්ගලයෙකු දක්වා මෙම පරිහානිය සුලබව දකින්නට ඇත.

මෙම තත්වය සමහරක් මුස්ලිම්වරුන් අතරත් දකින්නට තිබීම අවාසනාවන්ත තත්වයකි. ‘පොරොන්දු ඉටු නොකරන මිනිසා පූර්ණ මිනිසෙකු නොවේ’ යන්න ඉස්ලාමෙය් ඉගෙන්වීමයි. පොරොන්දු ඉටු කිරීම යහපත් මනුෂ්‍යයෙකුගේ ප්‍රධාන ලක්ෂණයක් වන අතර අල්කුර්ආනය ‘පොරොන්දු ඉටුකිරීම’ මෙලෙස අණ කරයි.

විශ්වාසවන්තයනි! (ඔබ විසින් කර ඇති පොරොන්දු නොහොත්) ගිවිසුම් සම්පූර්ණ කරන්න.

අල්කුර්ආනය 5-1

පොරොන්දුවක් ලබාදුන්නේ නම් එය නිසිලෙස පූර්ණව ඉටුකිරීම අනිවාර්‍ය බව ඉහත වාක්‍යය මඟින් ඉස්ලාම් අවදාරනය කරයි. එසේම ලබාදුන් පොරොන්දුව ඉටු නොකරන්නා හට ඉස්ලාම් දහම තුල ඉඩක් නොමැති බව පහත හදීසය මෙලෙස අවදාරණය කරයි.

අනස් (රලි) තුමා පවසයි. ‘කවරෙකු විශ්වාස කොට පවරන වගකීම නිසිඅයුරින් ඉටුකිරීමේ ගුණාංගය කවරෙකු තුල නැත්තේද ඔහු තුල දේව විශ්වාසය නැත. එසේම ලබාදුන් පොරොන්දුව ඉටුකිරීමේ ගුණාංගය කවරෙකු තුල නැත්තේද ඔහු ලඟ ඉස්ලාම් (දහම) නැත.

මුලාශ්‍ර ග්‍රන්ථය – අහමද්

විවිධ ලාභ ප්‍රයෝජන සදහාත්, ආඩම්බරකමටත් විවිධ පොරොන්දු ලබාදීම වත්මන් සමාජය තුල සුලභ දසුනකි. නමුත් එම පොරොන්දු නොසලකාහැර සිටීම දේව විශ්වාසයට ම හානි කරන ක්‍රියාවක් බව ඉහතින් පැහැදිලි වේ. තවදුරටත් මෙය පැහැදිලි කරන්නේ නම්,

මුහම්මද් (සල්) තුමාණන් වරක් කුහකයන්ගේ ගුණාංග පිලිබදව පැවසූ එම ජනප්‍රිය හදීසය මෙහි ඉදිරිපත් කල හැක. එහිදී නබිතුමාණන් පවසන්නේ පොරොන්දු කඩ කිරීම කුහකයෙකුගේ ගුණාංගවලින් එකක් යන්නයි. එම හදීසය තුල කුහකයන්ගේ ගුණාංග පැවසීමේදී ගුණාංග තුනක් නබිතුමාණන් පවසයි. එනම්,
1) ඔහු කථා කලොත් මුසාවන් (බොරු) ම පවසයි.
2) ඔහු පොරොන්දු වූවහොත් එයට පරස්පරව ක්‍රියා කරයි.
3) ඔහුව විශ්වාස කලහොත් වංචා කරයි.

(හදීසයක්)

විශ්වාසය යනු පොරොන්දු ඉටුකිරීම තුලින් පිළිබිඹුවන්නකි. එම පොරොන්දු ඉටු නොකිරීම මිනිස් වර්ගයාට කරන අපරාධයක් මෙන්ම මානව හිමිකම් උල්ලංඝනයකි. එවන් වු පාපයක් කිරීම වෙනුවෙන් හෙට දිනයේ දෙවියන් වරදකරුවකු වනවා නොඅනුමානය. පොරොන්දු ඉටු නොකිරීම හා ඉටු නොකරන පොරොන්දු ලබාදීම ඉතා පිලිකුල් සහගත ක්‍රියාවක් ලෙස ඉස්ලාම් දකී.

මෙය අල්කුර්ආනයේ මෙසේ පවසයි.

විශ්වාසවන්තයිනී!, නුඹලා ඉටු නොකරන දෙයක් පවසන්නේ මන්ද. නුඹලා නොකරන දෙයක් කීම අල්ලාහ් අභියස කොපමණ මහත් පිළිකුල් සහගත දෙයක් ද?

අල්කුර්ආනය 61-2/3

පොරොන්දු ඉටු කිරීම අල්ලාහ් (දෙවි)ගේ ගුණාංගයකි. තවද ඔහුගේ පණිවුඩකරුවානන් වන වක්තෘවරුන්ගේ ද ගුණාංගයන් අතුරින් එකකි. දේව වක්තෘ ඉස්මායිල් (අලෛ) තුමාණන් පිලිබදව අල්කුර්ආනයේ පැවසීමේදී ‘ඔහු පොරොන්දු ඉටු කරන්නෙකුව සිටී’ බව ඔහුගේ මහිමයක් ලෙස පවසයි.

(මෙම) ධර්ම ග්‍රන්ථයෙහි ඉස්මායිල් ගැනද සිහිපත් කරනු. ඔහු පොරොන්දු නිසි ලෙස ඉටු කරන්නෙක් විය. තවද රසූල්වරයෙක් සහ නබිවරයෙක්ද විය.

අල්කුර්ආනය 19-54

පොරොන්දු ඉටුකිරීම යනු යහපත් පුරවැසියෙකුගේ ගුණංගයක් යන්න දැන් පැහැදිලිය. ඉස්ලාම් අපේක්ෂා කරන්නේත් සාධාර්ණය අගයන සමාජය අපේක්ෂා කරන්නේත් මෙම යහපත් ගුණාංගයන් පිරි සමාජයකි. එමනිසා අප මේ ගැන සැලකිලිමත් වී පොරොන්දු ඉටු කිරීමේ ගුණාංගය අප තුල වර්ධනය කර ගැනීමට කටයුතු කලයුතුය. ඒ සදහා ශක්තිය හා යහපත් චින්තන ඇති වේවා! යන පැතුමින් මෙම ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/10/24

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම