ආගම දහම විවේචනයේ දී විනයක් තිබිය යුතුයි.

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ආගමික ක්‍රියාකාරකම්වලට අදාල පැමිණිලි සම්බන්ධ ‍පොලිස් වි‍ශේෂ විමර්ශණ ඒකකයක් 2014/04/28 දින බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ දී විවෘත කරන ලදී. මෙවැනි පොලිස් ඒකකය ර‍ටේ පිහිටුවීම සම්බන්ධයෙන් විද්වත් ප්‍රජාවට විවිධ වූ මතවාද තිබෙන්නට පුළුවන. ඒ අනුව ‘යහමග’ අඩවියට ද මේ පිලිබදව මතවාදයක් ඇත. එනම්, ‘රටේ වත්මන් තත්වය පාලනය කරන්න දැනට රටේ පවතින නීතිය හොදටම ප්‍රමාණවත් එය නිසිලෙස ක්‍රියා නොකිරීමයි මෙහි ඇති එකම ගැටළුව වන්නේ’ යන්නයි. කෙසේ වෙතත් මෙවැනි විමර්ශණ ඒකකයක් අප රටේ පිහිටුවීම පිලිබදව අප රටේ දේශපාලඥයින් කිහිපදෙනෙකුගේම අදහස් දැක්වීමක් පහතින් ඉදිරිපත් කරමින් මා මේ ලිපිය තුලින් යොමු වන්නේ මෙම ඒකකය පිහිටුවීමට සෘජුවම සම්බන්ධ මාතෘකාවක් නොවුවත් වක්‍ර ආකාරයෙන් එයට සම්බන්ධ මාතෘකාවක් පිලිබදව අද ‘යහමග‘ අඩවිය තුලින් කථා කිරීමටය.

ඊට ප්‍රථම එම වීඩියෝව ඉදිරිපත් කරන්නේ නම්,

ඉහත ඒකකය පිහිටුවීමත් සමඟ එම ඒකකයට යොමු වූ පලමු පැමිණිල්ල හා මීට දින කිහිපයකට පෙර රූපවාහිණි මාධ්‍යන් තුලින් වාර්ථා වූ ‘බොදු බලසේනා නම් සංවිධානය මහානායක හිමිවරුන් හමුවී කරණ ලද පැමිණිල්ලක්’ සම්බන්ධයෙන් ‘යහමග’ අඩවිය මෙහි විමසා බැලීමට අදහස් කලෙමි. ඒ ‘ශ්‍රී ලාංකීය තව්හීද් සංවිධාන’ නායකයෙකු බුදුන් වහන්සේ හා බුදු දහම සම්බන්ධයෙන් කලා යයි පවසන ප්‍රකා‍ශයක් සම්බන්ධවයි. එම සිද්ධියත් සමඟ රටේ සමස්ථ මුස්ලීම් ප්‍රජාවටත්, ඉස්ලාම් දහමටත් බලපාන ආකාරයේ යම් යම් ප්‍රකාශයන් විවිධ මාධ්‍යයන් හරහා ප්‍රකාශ වීම මෙවැනි විමසුමකට මූලික හේතුවයි. එවැනි ප්‍රකාශ හා මතවාද කිහිපයක් පිලිබදව ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

  •  ආගම්වලට අපහස කිරීම ඉස්ලාමීය ශාස්තෘවරුන්ගේ ඉගෙන්වීමක්,
  •  මෙම ප්‍රකාශය කල තැනැත්තා මුස්ලීම්වරුන්ගේ ආගමික නායකයෙකු,
  •  ‘තව්හීද්’ යනු අන්තවාදී සංවිධානයක්,
  •  ආගම්වලට එරෙහිව බොරු හා අපහස කිරීම මොවුන්ගේ සම්ප්‍රදායක්,

යනාදී ලෙස පෙලගැසිය හැක. ඒ අනුව ඉහත මතභේදයට තුඩුදුන් කථාව අන්තර්ගත වීඩියෝව අන්තර්ජාලය තුල සෙවීමේ දී එම වීඩියෝවම මාහට සොයාගැනීමට නොහැකි වුවත්, මිතුරකුගේ සහය ඇතුව ඉහත මතභේදයට තුඩුදුන් කථාව සමඟ එයට පිලිතුරු සපයන ආකාරයේ වීඩියෝවක් අන්තර්ජාලයෙන් සොයාගත හැකිවිය. එම වීඩියෝව ඔබේ අවදානයට පහතින් ඉදිරිපත් කරන්නේ නම්,

ඉහත මතභේදාත්මක වීඩියෝව සම්බන්ධයෙන් හා එම මතභේදයට තුඩුදුන් සංවිධානය සම්බන්ධයෙන් මෙන්ම ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරයෙකු ලෙස සමාජයට කරුණු කිහිපයක් පැවසීමේ යුතුකම මාහට ඇතැයි සිතමි. එහිදී ඉහත පිලිතුරු වීඩියෝව අවසානයේ එම සහෝදරයා පවසන එක් කාරණයකින් මේ සදහා පිවිසුමක් ලබාගන්නේ නම්,

‘…බොරු කියන්න අවශ්‍යනම්, බුදුදහමට පහර ගහන්න අවශ්‍යනම්, වෙනත් ආගම්වලට පහර ගහන්න අවශ්‍යනම්, තමන්ගේ ශාස්තෘවර්‍යාණන් කියූ පරිධිම එහෙම දේවල් කරන්න අවශ්‍යනම්, ත්‍රිපිටකයෙන් කරුණු ගෙනහැර දක්වන්න එහෙම නැතුව එක් එක් භික්ෂූන් වහන්සේලා ලියූ…’

ඉහත ප්‍රකාශය තුල වැදගත්ම කොටසක් වන ‘…තමන්ගේ ශාස්තෘවර්‍යාණන් කියූ පරිධිම එහෙම දේවල් කරන්න අවශ්‍යනම්…’ යන ප්‍රකාශයයි. එය කිසිසේත් සාධාර්ණ වූ ප්‍රකාශයක් නොවේ. ඉහත පිලිතුරු වීඩියෝව තුල ඉතා සාධාර්ණව, විනයානුකූලව හා සංයමයකින් කරුණු පැහැදිලි කල ඒ සහෝදරයා අවසානයේ ඉහත ආකාරයට ශාස්තෘවරයාණන්ට දෝෂාරෝපණය කිරීම තුල ඉහත මතභේදයට තුඩුදුන් පුද්ගලයාගේ තත්වයට ඒ සහෝදරයා ද පත්වුණාදෝ යන සැකය මා තුල මතු වේ. එය කෙසේ වෙතත් ඉහතින් සදහන් ‘ශ්‍රී ලංකා තව්හීද් ජමාත්’ (SLTJ) සංවිධානයේ තනතුරු දරන්නෙකු කල එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න සමාජයට පැහැදිලි කිරීම මුස්ලීම්වරුන්ගේ වගකීමක් වී ඇත. ඒ තුල ශාස්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් මුස්ලීම් සමාජයට එවැනි ඉගෙන්වීමන් හා ආදර්ශයන් ලබාදී තිබෙනවාද? යන්නත්, ඒ අනුව මුස්ලීම්වරුන් එය අනුමත කලයුතුද? යන්නත් පැහැදිලිව වටහාගත හැකිවනු ඇත. ඒ සදහා ද පිවිසුමක් ලෙස ශුද්ධ වූ කුර්ආන් පාඨයක් ගෙන එන්නේ නම්,

(විශ්වාසවන්තයිනි!) අල්ලාහ් හැර ඔවුන් (අඬගසන) කන්නලව් කරන දැයට නුඹලා බැණ නොවදිනු. මන්ද (නුඹලා එසේ කළා නම්) ඔවුහු අඥානකමින් අල්ලාහ්ට ද්වේශ සහගතව බැණවදිනු ඇත. මෙසේ හැම පිරිසකටම ඔවුන්ගේ ක්‍රියාවන් අප අලංකාර කළෙමු. පසුව ඔවුන්ගේ රබ්(පරමාධිපති) වෙතය ඔවුන්ගේ යළි පැමිණීම. එවිට ඔවුන් කරමින් සිටි දේ ගැන ඔහු (අල්ලාහ්) ඔවුනට දන්වන්නේය.

ශුද්ධ වූ කුර්ආනය 6-108

ඉහත දිව්‍යමය වදන අනුව තවත් දහමකට දර්ශනයකට හෝ කිසියම් මතවාදයකට බැණවැදීම හෝ අපහස කිරීම ඉස්ලාම් අනුමත නොකරන කාරණයක් යන්න පැහැදිලිව වටහාගත හැක. අල්ලාහ් (දෙවි)ගේ එම නියෝගය මේ මිහිමත ස්ථාපනය කරන්න පැමිණි ශාස්තෘවර්‍යාණන් නොහොත් මුහම්මද් (සල්) නම් වක්තෘවරයාණන් එම නියෝගයට පිටුපා කටයුතු කලා යයි පැවසීමට හෝ ඔප්පු කිරීම කිසිවකුටත් කිසිදු සාධකයක් නැත. එපමණක් නොව මුස්ලීම්වරුන් වන අපගේ ආගමික මතවාදයට කවුරුන් කවර ආකාරයට එදිරිවාදිකම් දැක්වූවත් මුස්ලීම්වරයෙකුගේ ස්ථාවරය ඉහත 6-108 වාක්‍ය ආකාරයට වියයුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එය පහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් තුලින් ද ඔබට පැහැදිලිව වටහා ගතහැක. එනම්,

විශ්වාසවන්තයිනි! අල්ලාහ්ට (දැහැමිව) තිරසාර වූවන්ද, සාධාරණ සාක්ෂිකරුවන්ද වනු. ජනතාවගෙන් එක් කොටසක් කෙරෙහි ඔබ තුල ඇති ද්වේෂය (ඔවුන් සම්බන්ධයෙන්) නුඹලා යුක්තියෙන් බැහැර වී ක්‍රියා කිරීමට නුඹලා පොළඹවා නොගනු. යුක්තිය ඉටු කරනු. එය බියබැතිමත් භාවයට ඉතා කිට්ටුය. තවද (නුඹලාගේ කටයුතුවලදි) අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන්ම නුඹලා කරන්නේ කුමක්ද යන්න අල්ලාහ් සපුරා දැන සිටියි.

ශුද්ධ වූ කුර්ආනය 5-8

…එක් සමාජයක් කෙරෙහි නුඹලාට තිබෙන නොසතුට එම සමාජයට අසාධාරණයන් සිදුකරන තැනට නුඹලා පත් නොකෙරත්වා…

ශුද්ධ වූ කුර්ආනය 5-2

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් 03 අනුව තවත් දහමක්, දර්ශනයක් හෝ මතවාදයකට එරෙහිව බැණවැදීමට හෝ අපහසයන් සිදුකිරීමට මුස්ලීම්වරයෙකුට ඉස්ලාම් දහම තුල අවසර නැතුවාසේම එලෙස සීමාවන් ඉක්මවා ක්‍රියා කරන (ඉස්ලාම් විරෝධී) පිරිස සම්බන්ධයෙන් ද ඉතා සාරධාර්ණව කටයුතු කලයුතුයි යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. ඒ අනුව ඉහතින් (වීඩියෝවේ පිලිතුරු දෙන) සහෝදරයා හෝ බෞද්ධ සමාජයේ වෙනයම් කෙනෙකු ඉස්ලාමීය ශාස්තෘවරයාණන් මුස්ලීම් සමාජයට වැරදි ආදර්ශයක් ලබාදී ඇතැයි ඉහත SLTJ සංවිධානයේ කථාවන් තුලින් උපකල්පනය කරන්නේ නම්, එය සම්පූර්ණයෙන් වැරදි වැටහීමක් බව පැහැදිලිව අවබෝධ කරගතයුතුයි. එසේම මුස්ලීම් සමාජයේ කිසිවකු මෙවැනි කථාවන් අනුමත කරන්නේ නම් එයද ඉස්ලාම් පෙන්වා නොදෙන වැරදි ආදර්ශයක් බව පැහැදිලිව වටහාගත යුතුයි.

එය තවදුරටත් අවබෝධ කරගැනීමට ඉස්ලාමීය ඉතිහාසයෙන් කිසිදු මුස්ලීම්වරයෙකුට අමතක කල නොහැකි හා අමතක නොවන සිදුවීමක් ලෙස ‘තායිෆ්’ නම් නගරයෙහි මුහම්මද් (සල්) තුමාණන්ට අත්වූ ඉරණම හා එහි ශාස්තෘවර්‍යාණන්ගේ ප්‍රතිචාරය මතක් කලහැක.

…තම අසල්වාසි නගරය වන ‘තායිෆ්’ නම් නගරය වෙත ගොස් (ඉස්ලාම් දහම පැවසීම නම්) දූත මෙහෙවර ඉටුකිරීමට මුහම්මද් (සල්) තුමාණන් අදහස් කලේය. ඒ අනුව ‘තායිෆ්’ වෙත ගිය නබිතුමාණන් එහි ජනතාවට තමා වෙත පහල වූ දේව පණිවුඩය ප්‍රකාශ කරන්නට විය. පාරම්පරික සම්ප්‍රදායන් මෙන්ම මිත්‍යා විශ්වාසයන් තුල ගිලී පැවතී එම ජනතාව නබිතුමාණන්ට ප්‍රතිචාර දැක්වීම සදහා යොදාගත්‍ එම නගරයේ කුඩා දරුවන්ය. එම නගරයේ වෙසෙන කුඩා දරුවන් කැදවා ‘මේ මිනිහට ගල්වලින් ගහලා මරණ්න’ යනුවෙන් තායිෆ් වැසියන් කුඩා දරුවන් එවන ලදී. එහිදී නබිතුමාණන් තම ජීවිතය බේරාගැනීම සදහා වීදියක් වීදියක්ගානේ දිවයන ලද්දේ ලේ වගුරවමිනි. මේ මොහොතේ එතුමාණන් හමුවට පැමිණී ‘ජිබ්රීල්’ (අලෛ) තුමා ‘අවසර දෙන්න!, අල්ලාහ් (දෙවි) අවසර ඇතුව මේ නගරවාසීන් මේ ස්ථානයේම විනාශ කරන්නම්’, යනුවෙන් අවසර ඉල්ලන ලදී. එවිට, නබිතුමාණන් ‘දේව දූතයාණෙනි!, මේ තායිෆ් නගර වාසීන් විනාශ නොකරන්න.’ යයි පවසා එම (පහරදුන්) දරුවන් හා ඔවුනගේ දෙමාපියන්ගේ යහමඟ වෙනුවෙන් අල්ලාහ් (දෙවි) හමුවේ ප්‍රාර්ථනා කලා නොවේද?.

මේ සියල්ල තුල පෙනීයන්නේ තවත් දහමක් දර්ශනයක් හෝ මතවාදයකට බැණවැදීම හෝ අපහස කිරීම අල්ලාහ් (දෙවි) විසින් හෝ ඔහුගේ වක්තෘවර්‍යාණන් වන මුහම්මද් (සල්) තුමාණන් විසින් මුස්ලීම් සමාජයට පෙන්වා නොදුන් එසේම ඉස්ලාම් දහම තහනම් කරන ලද ක්‍රියාමාර්ගයක් බව නොවේද?. මෙතැනදී සදහන් කලයුතු වැදගත් කාරණයක්ද ඇත. එනම් ඉහත කරුණු තුලින් බහු ආගමික ප්‍රජාව අතර මතවාද, තර්ක විතර්ක හෝ සංවාදයන් ඇති නොවිය යුතුයි යන්න අදහස් නොවේ. සාධාර්ණ තර්ක, විනයකට යටත් වූ සංවාද ඉස්ලාම් කිසිවිටෙක තහනම් කරන්නේ නැත. තහනම් නොකරනවා පමණක් නොවේ එය උනන්දු කරන ආකාරය ද ඉස්ලාමීය ඉගෙන්වීමන් තුල දැකිය හැක. ඒ සදහා නිදසුනක් ලෙස ශුද්ධ වූ කුර්ආන් පාඨයක් ගෙන එන්නේ නම්,

(නබි මුහම්මද්!) ප්‍රඥාවෙන්ද යහපත් උපදේශයෙන්ද ඔබ හිමිගේ මාර්ගයට (ජනයා) ආරාධනා කරනු !. තවද ඔවුන් සමඟ (තර්ක කිරීමට සිදු වූවහොත්) ඉතා (හොදින්) අලංකාරව එය කරුනු !, ඔහුගේ මාර්ගයෙන් බැහැර ගිය අය කවුරුන් ද යන්න නියතවශයෙන් නුඹගේ හිමි හොදින් දන්නේය. තවද යහමඟ ගිය අය කවුරුන් ද යන්නත් නුඹගේ හිමි හොදින් දන්නේය.

ශුද්ධ වූ කුර්ආනය 16-125

ඉහත කරුණුවලට අනුව ආගමික සංවාද, විවාද හෝ තර්ක විතර්කවල දී මුස්ලීම්වරයෙකුගේ ක්‍රියාමාර්ගයන් කවර ආකාරයක් ගතයුතු ද යන්න පිලිබදව ඔබට පැහැදිලි අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. ඒ අනුව අපහස, බැණවැදීම් හෝ මුසාවන් තුලින් කරණු ලබන දහම් ප්‍රචාරය ඉස්ලාම් කිසිවිටෙක අනුමත කරන්නේ නැති බව පැහැදිලිය. අද අප රටේ සමහරක් ආගමික ශාස්තෘවරුන් හා පූජකවරුන් තම දහම ප්‍රචාරය කිරීමටත්, එම ප්‍රචාරණයට හා තමන්ට කිසියම් පෞරෂයක් සමාජය තුල ගොඩනඟාගැනීමටත්, තමන් කරන දෑ සාධාර්ණීකරනය කිරීමටත් බොරුව (මුසාව) පදනම් කරගන්නවා ඕනෑතරම් දැක ඇත්තෙමු. නිදසුනක් ලෙස පහත වීඩියෝව පෙන්විය හැක.

මේ ආකාරයට තමන්ට සිතෙන එසේත් නැත්නම් වාසිසහගත කුමක් හෝ කාරණයක් සමාජයට පවසා ඒ තුලින් තුට්ටුදෙකේ වාසි ලබන්නට සිතන ඊනියා විද්වතුන් ගොන්නට ‘මුස්ලීම්’ නම්, නම දැරූ සමහරක් පිරිස ද ඇදවැටීම ‘ඉස්ලාම්’ දහම අද මුහුණපාන අවාසනාවන්ත තත්වයකි. වි‍ශේෂයෙන් ඉහත මතභේදයට තුඩුදුන් වීඩියෝ‍වේ SLTJ සංවිධානයේ එම කථිකයා තමා කථා කරන විෂය පිලිබදව නිසි දැනුමක් නොමැතිව කථා කිරීම බෞද්ධ සමාජය නොව සාධාර්ණය අගයන මුස්ලීම් සමාජය පවා හෙලාදැකිය යුතු කාරණයකි. ඉහත කෙටි වීඩියෝ පඨයට අනුව හා මා දන්නා කරුණුවලට අනුව SLTJ සංවිධානයේ එම කථිකයා ප්‍රබල වැරදි ගණනාවක් කරන බව පෙනීයයි. එක් නිදසුනක් ගෙනහැර දක්වන්නේ නම්,

  • කිරිබත්ගොඩ ඥානානන්ද හිමි විසින් රචිත ‘නිර්මාංශ ප්‍රශ්න’ නම් කෘතියේ නම පවසමින් ද වෙනත් කුමක් හෝ පොතක් පෙන්වමින් ද (පොතේ මුල්පිටුව ‘නිර්මාංශ ප්‍රශ්න – ඔබම විසඳා ගැනීම පිණිසයි‘ නම් ලිපිය තුලින් ඔබට මෙම අඩවිය තුල දැකගත හැක) සුප්පියා නම් උපාසිකාව සම්බන්ධයෙන් කරුණූ ඉදිරිපත් කරයි. (මෙම ඉදිරිපත් කරන කාරණය ත්‍රිපිටකයේ සදහන් වන ආකාරය ‘මාංශ අනුභවය පිලිබදව ත්‍රිපිටකයෙන් බිඳක්’ යන ලිපිය තුලින් ඔබට මෙම අඩවිය තුල පැහැදිලිව දැකගත හැක) නමුත් එය එම පොතේ කරුණු විකෘති කොට ඉදිරිපත් කිරීමක් බව ඔහු නිහතමානීව පිලිගතයුතු යන්නත් ඒ සදහා සමාව ගතයුතු යන්නත් මාගේ අදහසයි. මන්ද ඔහු පවසන කාරණය එම පොතේ නොමැති බව සැබෑවක් බැවිණි. එපමණක් නොව ඔහු තවත් කාරණයක් පැහැදිලිව වටහා ගතයුතුයි. එනම්, දහම් ප්‍රචාරයේ දී මේ අනුගමනය කරන පහත් ක්‍රමවේදය කවර ජන සමාජයට ගැලපුනත් මුස්ලීම්වරුන්ට නම් කිසිවිටෙක නොගැලපෙන කාරණයක් බවයි.

මා එසේ පැවසීමට මෙහි හේතුවක්ද ඇත. ඒ මෙහි ඉහත වීඩියෝවට අනුව මතභේදයට තුඩු දී ඇති කෘතියේ කතෘ හිමි මීට කලකට ඉහත ‘නුවණැස පාදන සිරි සදහම්’ (කියවන්න ‘විවේචකයිනි!, මොහොතක් සිතන්න’) නම් කෘතියේ ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මෙවැනි විකෘති කිරීමක් කර තිබූ අතර ඒ පිලිබදව උන්වහන්සේ සමඟ මා සෘජුවම කථා කලත් එය මෙතෙක් නිවරුදි කර නොමැති බැවිණි. මෙතැනදී මේ ලිපිය කියවන සමහරක් පිරිසට ‘යහමඟ‘ අඩවිය මේ කරන්නේ පුද්ගල විවේචනයක් නොවේද?.’ යනුවෙන් සිතෙන්නට පුළුවන. නමුත් මෙතැන සැබෑවටම ඇත්තේ පුද්ගල විවේචනයක්ද? නැද්ද? යන්න නොව සාධාර්ණය කුමක්ද? ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? එය මුස්ලීම් සමාජයට බලපාන්නේ කවර ආකාරයටද? යන්න පිලිබදව ප්‍රශ්නයකි. ඒ අනුව මෙතෙක් කථා කල කරුණූ හා පහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය අනුව එය එසේ නොවන බව ඔබටම පැහැදිලිව වටහාගත හැක. එනම්,

…නුඹලා කුමක් කියන්නේද (එය බලපානවුන් ඔබගේ) නෑදෑයින් වුවද සාධාර්ණයම පවසනු !. ඔබලා අල්ලාහ් සමඟ වූ පොරොන්දුව ඉටු කරනු !.

ශුද්ධ වූ කුර්ආනය 6-152

දැන් වාදයකට ඉහත SLTJ සංවිධානයේ එම කථිකයාගේ අදහස් දැක්වීම පුද්ගලික මතයක් ලෙස සැලකුවත්, එමනිසාම ඒ පිලිබදව සමස්ථ මුස්ලීම් සමාජයම එය නොසලකා හැරිය යුතු යයි කිසිවකුටත් පැවසිය හැකිද?. ඔහු ඉහත මතවාදයන් ප්‍රකාශ කරන්නේ ආගමික විද්වතෙකු ලෙස පෙනීසිට ආගමික වැඩමුළුවකය. එපමණක් නොව ඔහුගේ එම මතය සමහරක් කුමණ්ත්‍රනකාරී පිරිස් රටපුරා ගෙන යන්නේ ඉස්ලාම් ආගමික නායකයෙකුගේ මතවාදයක් ලෙස හා රටේ තිබෙන සියළු තව්හීද් සංවිධානවල ස්ථාවරය ලෙසය. අප රටේ තව්හීද් සංවිධාන විශාල ප්‍රමාණයක් ඇත. (‘තව්හීද්’ යනු ඒකදේව සංකල්පයයි. මේ පිලිබදව වැඩි විස්තර ‘මුල් ඉගැන්වීම්, සමාජ සම්ප්‍රදායන් හා තව්හීද් සංවිධාන’ යන ලිපිය තුලින් කියවන්න) ඒ සියළු පාර්ශවයන් මෙම මතභේදයට තුඩු දී ඇති කථාව අනුමත කරන්නේද?. එපමණක් නොව ඉහත වීඩියෝවේද පිලිතුරු සපයන සහෝදරයා එහි මෙසේ පවසයි…

…ආගමික නායකයෙක් මෙවැනි මෝඩ තර්ක ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ අනුගමිකයන් කුමණ මට්ටමක සිටිනවාද? යන්න බොහොමත් හොදින් අපට තේරුම් ගන්න පුළුවන්…

‘ඉස්ලාම් නමින් මුස්ලීම් සමාජය තුල කුමන ආකාරයේ සංවිධාන බිහිවුවත් ඒවා සියල්ල දහම විකෘති කරන, මුස්ලීම් සමාජය භේද කරන නිකායන් හා කල්ලීන් මිස ඉස්ලාම් අනුමත සංවිධාන නම් නොවේ’ යන්න ‘යහමඟ’ දැඩි ස්ථාවරයයි. (මේ පිලිබදව වූ කරුණු දැක්වූ ලිපි ‘දහම තුල බෙදීම්‘ යන ගොනුව යටතේ මෙම අඩවිය තුල කියවීමට පුළුවන) කෙසේ වෙතත් සමස්ථ මුස්ලීම් ප්‍රජවගේ යහපත වෙනුවෙන් මෙන්ම වැරදි වැටහීමක් සමාජය තුල නිර්මාණය නොවීම පිණිස මුස්ලීම් සමාජයේ වගකිවයුතු පාර්ශවයන් කලයුතු නමුත් නොකල වගකීමක් හා සත්‍යයක් ශ්‍රී ලාංකීය සමාජයට අනාවර්ණය කලයුතුව ඇත. එනම්, මේ SLTJ සංවිධානය කියන්නේ කවුද?, මොවුන්ගේ ප්‍රතිපත්ති මොනවාද? යන්න පිලිබදව අවබෝධයක් ලබාදිය යුතුව ඇත. ඒ පිලිබදව කෙටි විමසුමක් කරන්නේ නම්,.

SLTJ යනු ‘ශ්‍රී ලංකා තව්හීද් ජමාත්’ (Sri Lanka Thowheed Jamath) යන්නයි. මෙය ඉන්දියාවේ ක්‍රියාත්මක TNTJ හෙවත් ‘තමිල්නාඩු තව්හීද් ජමාත්’ (Tamil Nadu Thowheed Jamath) නම් සංවිධානයේ ශ්‍රී ලාංකීය ශාඛාව ලෙස ක්‍රියාත්මක වේ. මෙම සංවිධානය සමහරක් අප රටේ ජාතිවාදීන් පවසනවා සේ අන්තවාදී හෝ ත්‍රස්ථවාදී සංවිධානයක් නම් නොවේ. (අප ර‍ටේ ක්‍රියාමක SLTJ ශාඛාවේ ක්‍රියාකාරකම් පිලිබදව පැහැදිලි අවබෝධයක් මාහට නැත නමුත්) මෙහි මව් ශාඛාව වන TNTJ ඉන්දියාවේ අන්‍ය ආගමිකයන් සමඟ ඉතා සුහඳශීලීව කටයුතු කරන එසේම ජාති ආගම් භේදයකින් තොරව පොදු සේවාවන් රාශියක් ජනතාවට ඉටු කරන සංවිධානයකි. ඒ අනුව මෙම TNTJ නම් මව් සංවිධානය සම්බන්ධයෙන් හෝ එහි ශාඛා වන SLTJ නම් සංවිධානය සම්බන්ධයෙන් පොදු ජනයාට බියවියයුතු කාරණයක් නැතැයි යන්න මාගේ අදහසයි. නමුත් මෙම සංවිධානය සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය තුල ප්‍රබල කථිකාවක් ගොඩනැ‍ඟෙමින් ඇත. එහි අවශ්‍යතාවයක් ද ඇත. ඒ ඔවුන් දරණ සමහරක් ආගමික මතවාද සම්බන්ධයෙනි.

ඕනෑම ආගමක අභ්‍යන්තර කතිකාවන් හා අරඟල පැවතීම පොදු ලක්ෂණයකි. එලෙසම ඉස්ලාම් දහම තුලද එම අවාසනාවන්ත තත්වය දකින්නට තිබෙන අතර ඒ තුල මෙම SLTJ යන්න ද වර්ථමානයේ මුස්ලීම්වරුන්ට ප්‍රබල මාතෘකාවකි. ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය සැලකූවිට එහි ආගමික නිකායන් හා සංවිධාන විශාල ප්‍රමාණයක් දකින්නට ඇති අතර ඒ අතුරින් තරමක වෙනස් ආකාරයේ මතවාදයක් දරණ සංවිධානයක් වන්නේ මේ SLTJ සංවිධානයයි. අනිකුත් නිකායන් හා සංවිධානවලට සාපේක්ෂව මේ පිරිස ඉතා සුළු සංඛ්‍යාවක් වුවත් ඔවුන් මුස්ලීම් සමාජයට කරන බලපෑම නම් ඉතා ප්‍රබලය. තමන්ගේ ආගමික මතවාදය පිලිනොගන්නා මුස්ලීම් ප්‍රජාව ‘මුෂ්රික් (අල්ලාහ් (දෙවි)ට සමානයන් තැබීම හෙවත් ‘ශිර්ක්’ නම් මහාපාපය කරන පිරිස)’ යන තැනට විග්‍රහයන් ඉදිරිපත් කිරීම ඒ අතර ප්‍රධානම කාරණයක් ලෙස මෙහි සදහනක් කලහැක. (මෙතැනදී ද නැවතත් ‘යහමඟ’ අඩවියේ ස්ථාවරයද කෙටියෙන් හෝ අවධාරණය කලයුතුව ඇත. එනම් අද කුමන නමින් ඉස්ලාමීය ආගමික සංවිධාන බිහි වූවත් ඒ සියල්ල ඉස්ලාම් දැඩිව හෙළාදකින් තම තම සංවිධාන ප්‍රතිපත්ති වෙනුවෙන් කටයුතු කරන ආගමික කල්ලීන්, නිකායන් හා කණාඩායම් මිස නිර්මල ඉස්ලාම් දහම සමාජයට කියන නිවරුදි මාර්ගයේ යන කන්ඩායම් නම් නොවේ. මේ පිලිබදව වැඩි විස්තර ‘දහම තුල බෙදීම්‘ යන ගොනුව යටතේ කියවන්න) මෙම කාරණ නැවත මෙතැනදී අවදාරණය කරන්නට විශේෂ හේතුවක් ඇත. එනම්,

රටේ සමස්ථ මුස්ලීම් සමාජය අතුරින් ඉතා සීමිත පිරිසක් සංවිධානය වී බහුතර මුස්ලීම් ප්‍රජාවට බරපතල තීන්දු තීරණ ලබාදෙමින් ක්‍රියාත්මක සංවිධානයක් කිසියම් අවස්ථාවක කල කථාවක් පදනම් කරගෙන අද සමස්ථ ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවම විවේචනය කරන තැනට ජාතිවාදී පිරිස් කටයුතු කිරීමත්, එම ජාතිවාදීන්ගේ වැරදි භාවිතය පිලිබදව ශ්‍රී ලාංකීය සමාජයට කිසියම් අවබෝධයක් ලබාදිය යුතු රටේ බහුතර මුස්ලීම් ජනතාව නියෝජනය කරන උලමා සභාව වැනි සංවිධාන සියල්ල නිහඬව බලාසිටීමත් පිලිබදව ‘යහමඟ’ට ඇත්තේ විශාල කුතුහලයක් හා පිලිකුලකි. එදා ‘හලාල් ප්‍රශ්නය’ මුළු රටම වෙලාගනිද්දී ඒ තුල ශ්‍රී ලාංකීය සමස්ථ මුස්ලීම් ප්‍රජාවම අසරණ වෙද්දී සියල්ල නිහඬව බලාසිටී SLTJ සංවිධානය අද සමස්ථ මුස්ලීම් සමාජයේ නායකයින් ලෙස ජාතිවාදීන් මතවාදයක් සමාජය තුල ගොඩනඟන්නත්, ඒ තුලින් සමස්ථ මුස්ලීම් සමාජයට කුමන්ත්‍රණකාරී ලෙස බලපෑම් කරන්නටත් උත්සාහ කරන විට මුස්ලීම් සමාජයේ වගකිවයුතු පාර්ශවයන් බලාසිටීම කිසිසේත් අනුමත කල නොහැක. විශේෂයෙන් මුස්ලීම් සමාජයේ බහුතරයකට දරුණූ විවේචන එල්ල කරන SLTJ වැනි සංවිධාන මොඩකම නිසා හෝ අනවබෝධය නිසා හෝ කල ප්‍රකාශයක් වෙනුවෙන් සමස්ථ මුස්ලීම් සමාජය එම වරද බාරගතයුතු යන්න මා කිසිසේත් විශ්වාස නොකරමි. එසේම මේ සියල්ල කාලයට භාරදී බලාසිටීම හෝ තම සංවිධානවලට පටු වාසි ලැබීමේ අරමුණින් බලාසිටීමද කල ‍නොහැක. මන්ද මේ සියල්ල තුලින් අවසානයේ සිදුවන්නේ සමස්ථ මුස්ලීම් ප්‍රජාවට හානියක් බැවිණි. මෙවැනි තත්වයන් ඉතා අලංකාර ලෙස උපමාවකින් නබිතුමාණන් එක්තරා අවස්ථාවක මුස්ලීම් සමාජයට ගෙනහැර දැක්වීම මේ ස්ථානයේද වගකිවයුතු පාර්ශවයන්ගේ අවදානයට මෙහි තබන්නට අදහස් කරමි. එනම්,

අල්ලාහ් (දෙවි) පනවන ලද සීමාවන් තුල කටයුතු කරන හා එම සීමාවන් නොතකා කටයුකු කරන පිරිසට උපමාව නැවේ ගමන්කල පිරිසය. එහි ගමන්ගත් පිරිස් අතුරින් කොටසත් ඉහල ම‍හලේ සහා අනික් පිරිස් පහල මහලේ ගමන් කරන ලදී. මෙසේ ගමන් කරන විට පහල මහලේ ඉන්න පිරිසට ජලය අවශ්‍ය වූ විට ඉහල මහලට පැමිණ එය ලබා ගැනීමට සිදුවිය. මේ නිසා පහල මහලේ සිටී පිරිස් ‘අපි මේ පතුලේ සිදුරක් ඇති කරගමු එවිට අපිට පහසුවෙන් ජලය ලබාගත හැකි’ යනුවෙන් තීන්දු කරන ලදී. යනුවෙන් පැවසූ නබිතුමාණන් මෙහිදී ඉහල මහලේ සිටින පිරිස් පහල මහලේ එම පිරිසගේ ක්‍රියා කලාපය බලා සිටියේ නම් මේ දෙපාර්ශවයම විනාශ වන බවත් ඔවුන්ව වැලැක්වුයේ නම් දෙපාර්ශවයම දිවි ගලවා ගන්නා බවත් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

එසේනම්, අවසාන වශයෙන් ඉහත ශුද්ධ වූ නබිවදන සමස්ථ මුස්ලීම් ප්‍රජාව හා එහි වගකිවයුතු පාර්ශවයන් හොදින් අවබෝධ කොට ක්‍රියා කිරීමටත්, ඉස්ලාමීය විනය හා ඉගෙන්වීම තුල බුද්ධිමත්ව කටයුතු කිරීමටත්, බහු ජාතීන් ‍හා ආගමික ප්‍රජාව වෙසෙන මේ රටේ සියළු ජාතීන් සහෝදරත්වයෙන් සිටීමට අවශ්‍ය පරිසය උදාවීමටත් අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා කරමින් මේ ලිපියට විරුද්ධ මතවාදයන් දරණ පිරිස් ඇත්නම් ඒ සදහා ද අවස්ථාවක් ලබාදීමට ‘යහමග’ සූදානම් බව අවදාරණය කරමින් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම