යේසුස් වහන්සේ කුරුසයට බිලිවුවාද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලෝක ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කරන විට එහි දී මහා පාවාදීමක් පිලිබදව කිතුණු සමාජය කථා කරයි. එය ඓතිහාසික දිනයක් ලෙස ඔවුන් සලකයි. එය කිතුණු ලොව කම්පාවට පත්කල මහා ඛේදනීය සිදුවීමක් සිදුවූ දිනයයි. ඒ යේසූස් වහන්සේ කුරුසයට බිලි වූ මහා සිකුරාදා දිනයයි. මේ සිදුවීම හා එම දිනය පදනම් කරගෙන යහමඟ අඩවිය ඔස්සේ කරුණු කිහිපයක් ගෙනහැර දැක්වීමට අදහස් කරන්නේ යේසූස් වහන්සේ කිතුණු සමාජයට මෙන්ම මුස්ලිම් සමාජයට ද සුවිශේෂි චරිතයක් වන නිසාය.

කිතුණු සමාජය යේසූස් වහන්සේ හට ලබාදී ස්ථානයට වඩා උතුම් වූ ස්ථානයක් ඉස්ලාම් දහම ලබාදී ඇති ආකාරය මීට ඉහත ද “යහමඟ” අඩවිය තුල සාකච්චා කොට ඇත. විශේෂයෙන් යේසූස් වහන්සේ (හෙවත් ඊසා (අලෛ) තුමා) පිලිබදව ශුද්ධ වූ කුර්ආනය කථා කර ඇති තරම් වෙන කිසිදු වක්තෘවරයෙකු පිලිබදව කථා කොට නැත. මුස්ලිම්වරුන්ගේ අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ නම ශුද්ධ වූ කුර්ආනයේ සදහන් වන්නේ අවස්ථා 02 කදී පමණි. නමුත් ඊසා (අලෛ) තුමාණන්ගේ නම එහි සදහන් වාර ගනන අපමණය. එසේම එතුමාණන්ගේ චරිත කථාව පිලිබදව සදහන් වන කරුණු ද අතිබොහෝය. එවන් පසුබිමක මෙම “මහා සිකුරාදා” හෙවත් “යේසූස් වහන්සේ කුරුසයට බිලිවූ දිනය” පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නත් ඒ පිලිබදව කිතුණු දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්නත් දැන් විමසා බලමු.

මෙම යේසූස් වහන්සේගේ කුරුස ඇණ ගැසීමේ සිදුවීමට පදනම් වූ කාරණය සරලව පවසනවා නම්, යේසූස් වහන්සේ සමඟ එකට සිටී එතුමාණන්ගේ සහයකයකු විසින් එතුමාණන් පාවාදුන් බවත්, ඒ අනුව එවකට සිටී රජය එතුමාණන් සිරභාරයට ගෙන (එම සමාජයේ ක්‍රියාත්මක වූ දඩුවම් ක්‍රමයක් වන කුරුසයේ ඇණගසා ඝාතනය කිරීමේ ක්‍රමය යොදාගෙන) යේසුස් වහන්සේ ද කුරුසයේ ගසා ඝාතනය සිදුකල බවත්, මෙහිදී යේසූස් වහන්සේ සමස්ථ ලෝකවාසීන්ගේ පාපය සදහා කැපවුවා යන්නත්, එතුමා දින කිහිපයකට පසු නැවත මරණයෙන් නැගිටුනු බවත්, පසුව දෙවියන් විසින් උන්වහන්සේ තමා වෙත ඔසවාගත්තා යන්නත් කිතුණු සමාජයේ විශ්වාසයයි. (මෙම විශ්වාසයේ සුළු සුළු වෙනස්කම් විවිධ කිතුණු නිකායන් අතර පවතින බව ද මෙහි සදහන් කලයුතුම කාරණයකි) මේ ආකාරයට කිතුණු සමාජය විශ්වාසය පැවතුණත් ඔවුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන බයිබලයේ ඉගෙන්විමන් දෙස හොදින් අවධානය යොමු කරන විට එම සිදුවීම සම්බන්ධයෙන් විවිධ ගැටළු රාශියක් පැනනැඟේ. ඒ පිලිබදව දැන් කෙටියෙන් විමසා බලමු.

එතුමාණන්ගේ මරණය පිලිබදව බයිබලයේ ඉගෙන්වීම වෙත අවධානය යොමු කරන විට එහි ප්‍රබල වූ බයිබල් වාක්‍යයක් හමුවේ. එනම් සකල ලෝකවාසින් උදෙසා කැපවුවායයි පවසන යේසූස් වහන්සේ දෙවියන්ගෙන් උදව් ඉල්ලා මෙසේ ආයාචනා කලා යනුවෙනි. එනම්,

” …මාගේ දෙවියෙනි! මාගේ දෙවියෙනි! මබ මා අත්හැරියේ මක්නිසාද…”

ශු මතෙව් 27: 46

ඉහත බයිබල් වාක්‍යයට අනුව යේසූස් වහන්සේ මරණ බිය නිසා තම ආරක්ෂාව සදහා දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කලබව පැහැදිලවම පෙනේ. ඒ අනුව සකල ලෝක වාසීන් සදහා එතුමාණන් මරණයෙන් කැපවුවා යන්න නිවරැදි බයිබල් ඉගෙන්විමක් නොවන බව පැහැදිලි වේ. තවද ශුද්ධ වූ කුර්ආනයේ පවසනවා සේම බයිබලයේ ද ඉගෙන්වීම වන්නේ “කෙනෙකුගේ වරද වෙනුවෙන් තවත් කෙනෙකු හට පෙනිසිටිය නොහැක” යන්නයි. එය පහත බයිබල් වාක්‍යයන් මඟින් මනාව පැහැදිලි වේ.

“පව්කරන ප‍්‍රාණයම නසිනවා ඇත. පුත‍්‍රයා පියාගේ අයුතුකම නොදරන්නේ ය. පියා ද පුත‍්‍රයාගේ අයුතුකම නොදරන්නේය, ධර්මිෂ්ඨයාගේ ධර්මිෂ්ඨකම ඔහු පිටටත් දුෂ්ටයාගේ දුෂ්ටකම ඔහු පිටටත් පැමිණෙන්නේ ය.”

එසකියෙල් 18: 20

“හිටවන තැනැත්තෙත් වතුර වත්කරන තැනෙත්තෙත් එක ය. එක් එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තම තමාගේ විපාකය ලබන්නේ ය.”

1- කොරින්ති හි 3 – 8

ඉහත බයිබල් වාක්‍යයන් අනුව සකල ලෝක වාසීන් උදෙසා යේසූස් වහන්සේ කුරුසයට බිලිවුවා යන්න බයිබලයේ ඉගෙන්වීමට ම පරස්පර වූ මතයක් යන්න පැහැදිලිය. මීළඟට යේසූස් වහන්සේ කුරුසයට ගැසීම පිලිබදව කාරණය වෙත අවධානය යොමු කලේනම්, යේසූස් වහන්සේ කුරුසයේ ගසන මොහොතේ පහත ආකාරයට ප්‍රාර්ථනයක් කල බවද බයිබලයේ සදහන් වේ.

“පියාණෙනි ඔබ කැමති සේක් නම්, මේ කුසලාන (මරණය) මාගෙන් පහකළ මැනව. එසේ වී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි කීසේක.”

ශු ලූක් 22: 42

ඉහත ආකාරයට යේසුස් වහන්සේ කුරුසියේ සිට මරණයට පත් නොවී පිණිස කළ ප‍්‍රාර්ථනාව දෙවියන් වහන්සේ විසින් පිළිගත් බවත්, එතුමාණන් සදහා පිහිට වූ බවත් බයිබල් වාක්‍යයන් පහත ආකාරයට පවසයි. එනම්,

“(යේසුස් වහන්සේ ප‍්‍රාර්ථනා කළ) ස්වර්ගයෙන් දේවදුතයෙක් උන්වහන්සේට පෙනී, උන්වහන්සේ ශක්තිමත් කළේය.”

ශු. ලූක් 22: 43

ඉහත බයිබල් වාක්‍යයන්ට අමතරව තවත් බොහෝ බයිබල් වාක්‍යයන් අනුව යේසුස් වහන්සේ මරණයට පත් නොවූ බව තහවුරු වේ. එතුමාණන් මරණයට පත් නොවූ බව එතුමාණන් විසින් ම තහවුරු කරන තවත් බයිබල් වාක්‍යයක් ඇත. එනම්, ඉරිදා උදෑසන මේරිමග්දලින් සොහොනට ගියා ය. එවිට එය හිස් ව තිබුණි. ඇය උයන්පල්ලෙක් මෙන් පෙනුණ යමෙක් සිටගෙන සිටිනවා දුටුවාය. ඔහු යේසුස් වහන්සේ බව දැන ඇඳිනගත් ඇය, ඔහු ව අල්ලා බැලීමට තැත්කළා ය. එවිට,

“යේසුස් වහන්සේ, මට අත නොගසන්න, මක්නිසා ද මම තව ම පියාණන් වහන්සේ වෙතට නොනැංගෙමි…”

ශු. යොහන් 20: 17

ඉහත බයිබල් වාක්‍යය හොදින් විමසා බලන්න. එතුමානන් එහිදී පවසන්නේ “…මම තව ම පියාණන් වහන්සේ (දෙවියන්) වෙතට නොනැංගෙමි” යනුවෙන්ය. එසේනම් ඒ වනවිටත් යේසූස් වහන්සේ ජීවමානව සිටී බව පැහැදිලි වනවා නොවේද?. මා මෙසේ කරුණු දක්වන විට කිතුණු භක්තිකයන් හට කුතුහලයක් ඇති විය හැක. එනම් “යේසූස් වහන්සේගේ මරණය හා කැපවිම පිලිබදව බයිබලයේ සදහන් කරුණු අසත්‍යයක්ද?” යන්නයි. බයිබලයේ එවැනි සදහන් කිරීමන් දක්නට ඇති බව සැබෑවක් නමුත් ඒ කිසිදු දිනක යේසූස් වහන්සේ නොදුටු පාවුල් නම් වූ පුද්ගලයෙකුගේ (අදහස්) ඉගෙන්වීමන් ලෙස මිස දේව දූත යේසූස් වහන්සේගේ ඉගෙන්වීමන් ලෙස නොවේ. මේ අනුව එක්පසකින් ශුද්ධ වූ බයිබලය මිනිස් චින්තනවලින් කිලිටි වී ඇති බව තහවුරු වන අතර තවත් පසකින් සත්‍ය දහම සමාජය තුල වසන් වී ඇතිබව සනාථ වේ. එසේ නම් දැන් ඇති ගැටළුව යේසූස් වහන්සේට සිදුවුයේ කුමක්ද? යන්නයි. මෙම ගැටළුවට පිලිතුර බයිබලය පහත ආකාරයට සදහන් කරයි. එනම්,

“මෙසේ ස්වාමි වූ යේසුස් වහන්සේ ඔවුන්ට කථාකළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පැත්තෙ හි වාඩි වූ සේක.”

ශු. මාර්ක් 16: 19

ඉහත වාක්‍යය අනුව යේසූස් වහන්සේ ජීවමාන තත්වයෙන්ම ස්වර්ගයට ඔසවාගනු ලැබූ බව බයිබලය සදහන් කරයි. මෙය සාමාන්‍ය මනුෂ්‍ය චින්තනවලට ගෝචර නොවන කාරණයක් වූවත් එය බයිබලයේ ඉගෙන්වීම වන නිසා කිතුණු සමාජයට එය ප්‍රතික්ෂේප කල නොහැක. මෙම තත්වය එනම් දෙවියන් විසින් යේසූස් වහන්සේ හෙවත් ඊසා (අලෛ) තුමාණන්ව තමා වෙත ඔසවා ගැනීම පිලිබදව ඉස්ලාම් දහම ද කථා කරයි. අවසාන දේව පුස්තකය ලෙස අතීතයේ සිදුවූ බොහෝ වැරදි නිවරැදි කිරීමේ කාර්‍යය පැවරී ඇත්තේ ශුද්ධ වූ කුර්ආනයටය. ඒ අනුව යේසූස් වහන්සේ සම්බන්ධයෙන්ද කිතුණු සමාජයේ පවතින මතයන් බිද දමමින් ශුද්ධ වූ කුර්ආනය මෙසේ පවසයි. එනම්,

“තව ද, නියත වශයෙන් ම අල්ලාහ්ගේ රසූල් (වක්තෘ) වරයාණන් වූ ද මරියම්ගේ පුතුණුවන් වූ ද ඊසා (යේසුස් වහන්සේ) අපි ඝාතනය කළෙමු යි ඔවුන් (යුදෙව්වන්) පවසන හෙයින්, (ඔවුහු ශාපයට ලක්වූහ). ඔවුහු එතුමා ඝාතනය කළේද නැත, කුරුසියේ (ඇණ) ගැසුවේ ද නැත… ”

ශුද්ධ වූ කුර්ආන් 4: 157

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව යේසූස් වහන්සේ කුරුසයේ ඇණ නොගැසූ බවත්, එතුමාණන් මරණයට පත්නොවූ බවත් පැහැදිලිය. එසේම ඉස්ලාමීය (හා බයිබලයේ) ඉගෙන්වීමට අනුව යේසූස් හෙවත් ඊසා (අලෛ) තුමාණන් ලෝක අවසන් දිනයේ සලකුණක් වන්නේය. ඒ අනුව එතුමාණන් නැවත මොලොවට පැමිණීම හා ස්වභාවික මරණයක් එතුමාණන්ට හිමිවීම ඉස්ලාමීය ඉගෙන්වීම යන්න නැවතත් සිහිකරමින් මෙම ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/16

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම