දේශගුණික විපර්යාස සහ ගොලීය උෂ්ණත්වය විමසුමක්

From Yahamaga
Revision as of 09:53, 28 February 2024 by Admin (talk | contribs) (Created page with "{{#seo:|දේශගුණික විපර්යාස සහ ගොලීය උෂ්ණත්වය විමසුමක්}} {{#seo:|keywords=දේශගුණික, දේශගුණ, උෂ්ණත්වය, විපර්යාසය, ගෝලීව, Globel, Worming, co2,}} {{#seo:|description=ඇත්තෙන්ම මා මේ සමාජ මාධ්‍යයන් තුල ඉටු කරමින් සිටින්නේ දහමට අන...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අප රටේ මේ දිනවල දරුණු වියලි කාලගුණික තත්වයක් සහ වාර්තාගත අන්දමේ දැඩි උෂ්ණත්ව ඉහල යෑමක් වාර්තා වෙමින් ඇත. මෙම තත්වය ශ්‍රී ලාංකීය අපට පමණක් නොව මුළු පෘථිවි ගෝලයට ම බලපාන ගොලීය අර්බුදයක් බවට පත්වෙමින් ඇත. දේශගුණික විපර්යාසයන් පාලනය කරගත නොහැකි තත්වයට පත්ව ඇති නිසා "අපගේ ග්‍රහලෝකය ජීවය අවසන් කිරීමේ තර්ජනයට ලක්ව ඇත" යන්න යථාර්තයයි. මේ හේතුව නිසාම මෙය කාලීන මාතෘකාවක් ලෙස සලකා මෙම විෂය එනම්, “දේශගුණික විපර්යාස සහ ගොලීය උෂ්ණත්වය“ පිලිබදව යහමග අඩවිය තුලින් මෙම විෂය පිලිබදව ඉස්ලාම් දහමේ දෘෂ්ඨිය කුමක්ද? යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

නූතන ගවේෂණ වාර්තාවන්ට අනුව, ඉදිරි දශක කිහිපය තුළ පෘථිවි උෂ්ණත්ව නිරන්තර ඉහල යාම හේතුවෙන් මෙහි බොහෝ ප්‍රදේශ මිනිස් වාසයට නුසුදුසු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන් 2050 වන විට දේශගුණික විපර්යාස හේතුවෙන් බංග්ලාදේශයේ, හත් දෙනෙකුගෙන් එක් අයෙකු දේශගුණික සරණාගතයින් බවට පත්වන බවට ගණන් බලා ඇත. එසේම ඉදිරි දශක කිහිපය තුළ කලාපය පුරා පැතිර යා හැකි තාප තරංග හේතුවෙන් මැදපෙරදිග, විශාල ප්‍රදේශ මිනිස් වාසයට නුසුදුසු බවට පත්වීමට ඉඩ ඇති බවට අනුමාන කොට ඇත. සමකාලීන ලෝකයේ සෑම රටක් රාජ්‍යයක්ම තම රට දියුණු කරන්නේ කෙසේද?, තම රට කාර්මීකරණය කරන්නේ කෙසේද?, තම රට ආරක්ෂා කරගන්න නවීන යුධ උපක්‍රම භාවිතා කරන්නේ කෙසේද?, බටහිර අධිරාජ්‍යවාදී රටවල් හා කරට කර සිටින්නේ කෙසේද?, නවීන විද්‍යාව සමඟ සම්බන්ධ වන්නේ කෙසේද?... වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරන තරමට දේශගුණික විපර්යාස සහ පාරිසරික තිරසාරත්වය පිලිබදව තවමත් අවදානය යොමු කොට නොමැත.

මෙම තත්වය වෙනස් වී සැබෑ ප්‍රගතියක් ඇති වීමට නම්, මුස්ලිම් බහුතරයක් සිටින රටවල් ඇතුළුව සෑම රටක්ම මෙහි ඇති බැරෑරුම් බව තේරුම් ගෙන තම කාර්යභාරය නිසි අයුරින් ඉටු කළ යුතුව ඇත. මුස්ලිම් බහුතරයක් සිටින රටවල් 56කට වැඩි ගණනක ඇස්තමේන්තුගත ජනගහනය බිලියන 1.8ක් වේ. එසේම මුස්ලිම්වරු ලෝක ජනගහනයෙන් 23% ක් වේ. මුස්ලිම් රටවල් සාමාන්‍යයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වන අතර විශාලතම කාබන් විමෝචනය කරන රටවල් ලැයිස්තුවේ ඉහළින්ම නොසිටිති. නමුත් එම රටවල් හි පිහිටීම අනුව ඔවුන් මෙම ගෝලීය අර්බුදයට සෘජුවම මුහුණ දී සිටින පාර්ශවයන් වන අතර ඔවුන් මෙම සංවාදයේ සහ විසඳුමේ කොටස්කරුවන් ද වී ඇත. එපමණක් නොව එය ඉස්ලාම් දහම ඔවුනට පවරන මුඛ්‍ය වගකීමක්ද වී ඇත. එය අල්කුර්ආනය මෙසේ අවදාරණය කරයි.

ඔහුමය මහපොළොවෙහි භාරකරුවෙකු ( ඛලිෆා ) වශයෙන් නුඹලා පත් කර ඇත්තේ...

අල්කුර්ආනය 6-165 මිහිමත වෙසෙන සෑම පුද්ගලයෙකුම මේ මිහිතලයේ "භාරකාරයෙකු හෝ භාරකරුවෙකු ( ඛලිෆා )" ලෙස ඉස්ලාම් හදුන්වයි. එමනිසා මේ මිහිතලය ආරක්ෂා කිරීමේ වගකීම ඔවුන් සියළුදෙනා වෙත පැවරේ. එසේ තිබියදී ඔහුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කිසියම් ගෝලීය හානියක්, තර්ජනයක් මිහිතලයට ඇති වේ නම්, ඉස්ලාමීය නීතියට අනුව, එය පාලනය කිරීමත්, නිවැරදි කිරීමත්, පරිසරය ගැන සැලකිලිමත් වීමත්, දේශගුණික විපර්යාස සීමා කිරීමත් සහ ආපසු යථාතත්වයට හැරවීමට ක්‍රියා කිරීමත් සමස්ථ මුස්ලිම් ජනතාව, සංවිධාන සහ රජයන් කෙරෙහි ඉස්ලාම් දහම අනිවාර්‍ය කරන (“ෆර්ල්“) වගකීමක් ද වේ.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව අනිවාර්‍ය වගකීම් (“ෆර්ල්“) ආකාර දෙකකි. එනම්,

• ෆර්ල් අල්-අයින් (තනි පුද්ගල වගකීම්) • ෆර්ල් අල්-කිෆායා (සාමූහික වගකීම)

මෙහි දෙවැන්න එනම්, “ෆර්ල් අල්-කිෆායා (සාමූහික වගකීම)“ යනු සමාජයේ මුස්ලිම්වරුන් පිරිසක් තමන්ට පැවරී ඇති වගකීම අනිවාර්‍යෙයන් ඉටු කිරීමට කටයුතු කලයුතු අතර කිසියම් පිරිසක් එය ඉටු කලේනම් සමස්ථ මුස්ලිම් සමාජයම එම වගකීමෙන් නිදහස් වේ. නමුත් කිසිවකුත් එම වගකීම ඉටු නොකරන්නේ නම් සමස්ථ සමාජයම එම වගකීම පැහැර හැරීමේ පාපයට ගොදුරු වේ. (නිදසුනකට - “මරණයක් භූමදානයට පෙර ඉටු කරන ජනාසා සලාතය මෙහි සදහන් කල හැක.)

මේ අනුව පරිසර සමතුලිතාවය ආරක්ෂා කිරීම සහ පරිසරය රැකබලා ගැනීම යන්න සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම එකම මොහොතේ “ෆර්ල් අල්-අයින්“ සහ “ෆර්ල් අල්-කිෆායා“ යන තත්වයන් දෙකම අන්තර්ගත වගකීමක් වේ. සෑම පුද්ගලයෙකුටම තම දෛනික දිවිය තුල තමා අවට කාබන් ප්‍රතිශතය අඩු කිරීමට සහ පරිසර සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමට ගත හැකි පියවරයන් රාශියක් ඇත. (ඒ පිලිබදව සෑම කෙනෙකුම පූර්ණ ලෙස දැනුවත් නිසා මෙහි එය මා විස්තර කිරීමන්ට යොමු නොවෙමි.) එම පියවරයන් නොගෙන පරිසරයට සිදුවන හානිය අවම කරගත නොහැකි අතර එය සෑම මුස්ලිම්වරයෙකුටම තනි තනි වශයෙන් පැවරෙන වගකීමක් ද වේ. ඉස්ලාම් දහම ඒ පිලිබදව කොතරම් දුරකට සැලකිලීමත් වෙනවාද? යන්නට නිදසුන් කිහිපයක් මෙහි ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

මුහම්මද් (සල්) තුමාණන් පැවසුවේ, “මුස්ලිම්වරුන් ගසක් සිටුවන විට, එයින් ලැබෙන ආහාර හේතුවෙන් ඔහුට කුසල් හිමි වේ. එසේම එයින් කිසිවකු සොරකම් කරන ලද දේ ද, සතුන් අනුභව කලේ ද, කුරුල්ලන් අනුභව කලේ ද, මිනිසුන් එයින් ගන්නා දේ ද ඔහුට කුසලක් වේ” 

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලිම්

“මුස්ලිම්වරුන් ගසක් සිටුවීම, බෝගයක් වැපිරීම සහ පසුව කුරුල්ලන්, මිනිසුන් සහ සතුන් එයින් අනුභව කිරීම සඳහා පුණ්‍යකර්මයේ විපාකය සැමවිටම උපයා ගනී” 

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි සහ මුස්ලිම්

මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බව සාද් ඉබ්න් අබි වකාස් (රලි) තුමා පවසයි. “දිනක් මා ‘වුළු දෝවනය‘ ඉටු කරමින් සිටියදී මා අසලින් නබිතුමාණන් ගමන් කලහ. එසේ ගමන් කරන අතර තුර නබි (සල්) තුමාණන් “මෙය නාස්තියක්“ යැයි පැවසීය. එයට මා ”වුළුවලද නාස්තියක් තිබේද?" යනුවෙන් විමසුවෙමි. එයට එතුමාණන් පැවසුවේ "ඔව්, ඔබ ගලන ගංගාවක සිට වුළු කලත් (අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය භාවිතා කිරීම නාස්තියක්)" යැයි පැවසීය.

මූලාශ්‍ර ග්‍රන්ථය - ඉබ්නු මාජා

අනස් ඉබ්න් මලික් (රලි) තුමා වාර්තා කළේ, නබි (සල්) තුමාණන් පැවසූ බව, "ඔබේ අතේ පැළයක අංකුරයක් තිබියදී අවසාන හෝරාව (ලෝක විනාශය) පැමිණෙන්නේ නම් සහ හෝරාව පැමිණීමට පෙර එය සිටුවිය හැකි නම්, ඔබ එය සිටුවන්න."

මූලාශ්‍ර ග්‍රන්ථය - අහමද්

ඉහත අල්හදීසයන් හොදින් විමසා බල්නනේ නම්, ඉස්ලාම් දහම පරිසරය සම්බන්ධයෙන් තනිපුද්ගල වගකීම් කොතරම් දුරකට උනන්දු කරනවාද? යන්නත්, පරිසර සමතුලිතතාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කොතරම් සැලකිලීමත් වනවාද? යන්නත් පැහැදිලි වේ. නමුත් මේ තුල මුස්ලීම් සමාජයේ සාමූහික වගකීම ඉවත් කරන බව මින් අදහස් නොවේ. දේශගුණික විපර්යාස සහ ගොලීය උෂ්ණත්වය පාලනය කිරීමේ වගකීම තුල “සාමූහික“ වගකීම ද ඉතා වැදගත් කාරණයක් වේ. පරිසර සංරක්ෂණයට සහ පරිසර හිතකාමී මෙහෙයුම් සිදු කිරීමට මෙන්ම පරිසරය ගැන සැලකිලිමත් වී කටයුතු කිරීමට ඔවුන් පියවර ගතයුතුව ඇත. විශේෂයෙන් රටක රාජ්‍ය පරිසරය සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු ගෙන ක්‍රියාත්මක කලයුතුව ඇත. විශේෂයෙන් “R4“ - (Refuse, Reduce, Reuse, Recycle) වැනි සංකල්ප ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්ති සකස් කොට ක්‍රියාත්මක කලයුතුව ඇත.

මේ මිහිතලය දේශගුණික විපර්යාසවල බලපෑමෙන් ආරක්ෂා කොට නැවත යථාතත්වයට හැරවීමට සියලු මිනිසුන් සාමුහික කැපකිරීමන් කළ යුතුව ඇත. පරිසරය පිළිබඳ දේවධර්මය සහ එහි ආචාරධාර්මික නීති පිලිපැදිමින් පරිසර හිතකාමීව කටයුතු කලයුතුව ඇත. විශේෂයෙන් දේශගුණික විපර්යාසය ආපස්සට හැරවීමේ මුලික ආරම්භය මුස්ලිම් රටවලින් ආරම්භ කලයුතුව ඇත. මන්ද පෘථිවිය සහ එහි ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම අනිවාර්‍ය වගකිම රාමුවක් සහ විශ්වාස පද්ධතියක් ඉස්ලාම් දහම අපට යෝජනා කොට ඇති බැවින. ඒ අනුව ඉස්ලාමීය දර්ශනය වන පෘථිවියේ භාරකාරත්වයට වඩා මිනිසුන්ට පෘථිවිය මත ආධිපත්‍යයක් ඇතැයි යන මතවාදය පරාජ කොට මේ මිහිතලය සුවපත් කිරීමේ වගකීම මුස්ලීම් සමාජය ඇතුළුව සමස්ථ මිනිස් සමාජයේම කර මත ම පැට වී ඇත. එම කාරණය යහමග පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් ද, ඉස්ලාම් දහමට අනෙකුත් ලෝක ආගම් සමඟින් මෙම අභියෝගය ජය ගැනීමට හැකි වේවා!, යන පැතුමින් ද මෙම ලිපියට විරාමය තබමි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/02/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම