ජුම්මා දේශනය හෙවත් ශුද්ධ වූ වේදිකාව අවභාවිතය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ජුම්මා දේශනය
ජුම්මා දේශනය

ලොවපුරා වෙසෙන මුස්ලීම් සමාජය සිකුරාදා දිනය සලකන්නේ ශුද්ධ වූ දිනයක් ලෙසයි. එය එක්තරා ආකාරයක උත්සව දිනයක් යයි පැවසුවත් එය වරදක් නොවේ. සතියේ අනිකුත් දිනයන්ට වඩා එදින මුස්ලීම්වරුන්ගේ දෛනික කටයුතු තරමක් වෙනස් ආකාරයක් ගනී. එදින මුස්ලීම්වරුන් ස්නානය කොට පිරිසිදු වී අළුත් ඇදුමක් එසේත් නැත්නම් තිබෙන ඇදුම්වලින් හොද ඇදුමක් පැලද සුවඳ විලවුන් තවරාගෙන පල්ලියට යෑම සාමාන්‍ය සිරිතකි. එදින නිවැස්වලද දෛනික කටයුතු සුවිශේෂි වේ. ගමන් බිමන්වලින් වැලකීම, ප්‍රණීත ආහාර පාන සැකසීම, ශුද්ධ වූ කුර්ආන් පාරායනය කිරීම වැනි ආගමික කටයුතුවල නිරතවීම යනාදීය සදහන් කලහැක. මේ ආකාරයට මුස්ලීම්වරුන්ගේ දෛනික කටයුතුවල සුවිශේෂි දිනයක් වන ‘සිකුරාදා’ දිනය ආගමික වශයෙන්ද සුවිශේෂි වේ.

එය ඉස්ලාම් මෙසේ පවසයි…

‘හිරු උදාවන දිනයන් අතුරින් ශ්‍රෙෂ්ඨ වූ දිනය ජුම්මා (සිකුරාදා) දිනයයි. ආදම් ((අලෛ) නැමති ප්‍රථම මනුෂ්‍යා) මවන ලද්දේ එම දිනයේය. එම සිකුරාදා දිනයකයි එතුමා ස්වර්ගයට ඇතුල් කලේ. එවන් සිකුරාදා දිනයක තමයි එතුමාණන්ව සුවර්ගයෙන් බැහැර කලේ. ලොව අවසානය සිදුවන්නේත් සිකුරාදා දිනයකයි.’ යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන් පවසන ලදී.

දන්වන්නේ – අබූහුරෙයිරා (රලි) තුමා

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්

මීට අමතරව මෙම සිකුරාදා දිනයේ විශේෂත්වයන් පිලිබදව ඉස්ලාමීය මූලාශ්‍රයන් හි බොහෝ කරුණු කියවේ. නමුත් මෙම ලිපිය දීර්ඝ වීම සැලකිල්ලට ගෙන මාතෘකාවට අදාල කරුණු වෙත මෙතැන් සිට යොමු වෙමි.

සිකුරාදා දින දහවල් කාලයේ මුස්ලීම්වරුන් සාමූහිකව කරන නැමදුමක් ඇත. (අනිකුත් දිනයන් හි ද මෙම නැමදුම තිබුනත්, එය සාමූහිකව හා නියමිත වේලාවේදීම ඉටුකිරීම අනිවාර්‍ය නොවේ) එම නැමදුම ‘ජුම්මා’ නැමදුම යනුවෙන් හදුන්වයි. මේ හේතුව නිසාම එම දිනයත් ‘ජුම්මා දිනය’ යනුවෙන් හැදින්වීම මුස්ලීම් සමාජයේ සාමාන්‍ය සිරිතකි. මෙම ජුම්මා නැමදුම ප්‍රදාන කොටස් දෙකකින් සමන්විතය. එනම්,

1/ ශුද්ධ වූ වේදිකාවක් මත හිඳ කරන ජුම්මා දේශනය,

2/ ජුම්මා සලාතය (නොහොත් නැමදුම),

ඉහත කොටස් දෙකෙහි එකතුවයි ‘ජුම්මා නැමදුම’ යනුවෙන් හදුන්වන්නේ. ඒ අනුව ප්‍රථමයෙන් විනාඩි 30ක පමණ කාලයක් කිසියම් මාතෘකාවක් ඹස්සේ ආගමික දේශනයක් සිදුකොට අනතුරුව නැමදුම සිදුකිරීමෙන් ජුම්මා නැමදුම සම්පූර්ණ වේ. නමුත් වර්ථමානයේ මෙම ජුම්මා නැමදුමේ පලමු කොටස වන ‘දේශනය’ පොදු ජනයාට කාලීන වශයෙන් වැදගත් යහපත් කරුණු කාරණා සාකච්චා කරනවා වෙනුවට එම ශුද්ධ වූ වේදිකාවට නොගැලපෙන ඉස්ලාමයට පටහැනි කරුණු කථා කරන වේදිකාවක් ලෙස පරිවර්ථනය වෙමින් ඇත. එනම්,

එම දේශනයන් හි…

  • / ජුම්මා දේශනය සිදුකර දේවස්ථානයේ පරිපාලනයට අවශ්‍ය ආකාරයට දේශන සිදුකිරීමට එම පූජකයන්ට සිදුව ඇත. එම නිසා කාලීන මාතෘකාවන් සමාජයට ආදර්ශමත් කරුණු කථා කරනවා වෙනුවට ඒ ඒ දේවස්ථානය පාලනය කරන පාලකයන්ගේ නිකාය (කල්ලිය) වෙනුවෙන් හා එම නිකායන් (කල්ලීන්) සාධාර්ණීකරනය කිරීම සදහා ශුද්ධ වූ වේදිකාවන් පාවිච්චි කරන ආකාරයන් දකින්නට ඇත.
  • / පල්ලිය යනු අල්ලාහ් (දෙවි)ගේ නිවස යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. ‘ඒ තුල හිඳ අල්ලාහ් හැර වෙන කිසිවකුටත් හඬ නොගසන්න’ යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. නමුත් ශුද්ධ වූ වේදිකාව මත හිඳ (අව්ලියා, මහාන්, ඉමාම්… යනාදී) විවිධ පුද්ගල චරිතවල ගුණවර්ණනා කරමින් අල්ලාහ් (දෙවි) වෙනුවට ඔවුනට අඩගසමින් ඔවුන්ගෙන් පිහිට පතන අවාසනාවන්ත තත්වයක් අද සිකුරාදා දේශනයන් තුල දකින්නට ඇත.
  • / තමන් දරණ මතයට විරුද්ධ මත දරණ අනිකුත් ආගමික සංවිධාන හා නිකායන් (කල්ලීන්)ට පහර ගසන්නට හා ඔවුන් ආගමික රාමුවෙන් බැහැර විවේචනය කිරීමට මෙම ශුද්ධ වූ වේදිකාව භාවිතා කරන ආකාරය දකින්නට ඇත.
  • / ඉස්ලාමීය මූලික ඉගන්වීමන් පිලිබදව නිසි අවබෝධයක් නොමැති බහුතර මුස්ලීම් ප්‍රජාව හමුවේ, ඉස්ලාම් නමින් මිත්‍යා කථාවන් මෙන්ම ශුද්ධ වූ කුර්ආනය හා හදීසය නමින් බොරු ගොතා කිසිදු පැකිලීමකින් තොරව ශුද්ධ වූ වේදිකාවේ හිඳ දේශනා කරන ඛේදජනක අවස්ථාවන් ඕනෑතරම් දක්නට ඇත.

මේ ආකාරයට වර්ථමානයේ ජුම්මා දේශන නමින් පල්ලිවල එහි පූජකවරුන් කරන දේශන මගඩීන් ඕනෑතරම් පෙලගැසිය හැක. මේ තත්වය වෙනස් නොකරන්නේ නම්, අනාගත පරම්පරාවට ඉස්ලාම් නමින් ඉතිරි වන්නේ විකෘති වූ ඉගෙන්වීමන් පමණි.

වසරකට ජුම්මා දේශන 52 ක් යනු ඉතා වටිනා අවස්ථාවක් එය අවභාවිතා කිරීම යනු සිළුපටු හෝ නොසලකා හැරිය හැකි වරදක් නොවේ. එම වටිනා අවස්ථාව පල්ලි පරිපාලකයින් හා පූජකයින් පටු අරමුණු වෙනුවෙන් භාවිතා කරමින් සමාජය නොමඟ යවන්නේ නම්, එය ඛේදජනක තත්වයකි.

මෙම ජුම්මා අවස්ථාව,

  • / මුස්ලීම් තරුණ සමාජයට යහපත් පණිවුඩයන් ගණනාවක් ලබාදිය හැකි වටිනා අවස්ථාවක්,
  • / දෙමාපියන් හට තම වගකීමන් පිලිබදව හොදින් කියාදීමට හැකි වටිනා අවස්ථාවක්,
  • / ‘ඉස්ලාමීය කාන්තාවක්’ සමාජය තුල බිහිකිරීමට කාන්තාවන්ට ආමන්ත්‍රණය කලහැකි වටිනා අවස්ථාවක්,
  • / සමාජ වගකීම මුස්ලීම්වරුන්ට කියාදීමට හැකි හොදම අවස්ථාවක්,
  • / අප රටේ වත්මන් ජාතිවාදී ව්‍යාපාරයන් හමුවේ මුස්ලීම්වරුන් කටයුතු කලයුත්තේ කෙසේද? යන්න කියාදීමට හැකි වටිනා අවස්ථාවක්.
  • / විවිධ ජාතීන් සමඟ සාමූහිකව කටයුතු කිරීමේ දී ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශ කියාදීමට හැකි වටිනා අවස්ථාවක්.

මේ ආකාරයේ වූ වටිනා උපදේශයන් සමාජයට ලබාදිය හැකි අවස්ථාවන් සියල්ල නොසලකා හැර, මිත්‍යා විශ්වාසයන්, කල්ලිවාදයන්, පුද්ගල ගුණවර්නනයන්, මඩගැසීමන්, පුද්ගල විවේචනයන්… යනාදී ඉස්ලාම් දහම කිසිවිටෙක අනුමත නොකරන ප්‍රචාරයන් සදහා ශුද්ධ වූ සිකුරාදා දිනයත්, අල්ලාහ් (දෙවි)ගේ නිවසත්, එහි ශුද්ධ වූ බිම්බරය නොහොත් වේදිකාවත් උපයෝගි කරගැනීම එම පල්ලි පරිපාලකයන්ගේ පමණක් නොව මේ සියල්ල නිහඬව බලාසිටින පොදු ජනයාගේ ද වරද බව පැහැදිලිව සියළුදෙනා තේරුම් ගතයුතුයි (වැඩිදුර කියවන්න - බිම්බරය අවභාවිතා කරන උලමාවරුන් ගැන අවදියෙන් සිටිමු). එපමණක් නොව ඉස්ලාම් දහම හා මුස්ලීම් සමාජය වෙනුවෙන් පෙනීසිටින විද්වත් සභාවල් ගණනාවක් අප රටේ ඇත. ජාතික මට්ටමේ පල්ලි පරිපාලන සභාවල්ද ඇත. ඔවුන් මේ විෂය පිලිබදව දැඩි අවධානයක් යොමු කලයුතුව ඇත. එය ඔවුන්ගේ වගකීම ද වන අතර එම වගකීම පැහැර හැරීම මහා පාපයක්ද වනු ඇත.

අවසාන වශයෙන් පවසන්සනට ඇත්තේ මේ කාරණය සම්බන්ධයෙන් පොදු ජනයාටත් වගකීමක් ඇත. ජුම්මා දේශනයක් වැරදි ලෙස සිදුවන්නේ නම්, එම දේශන වේදිකාව අවභාවිතා කරන්නේ නම්, ඒ මොහොතේම නැඟීසිට ප්‍රශ්න කිරීමටත්, වරද නිවැරදි කිරීමටත් ඉස්ලාම් දහම තුල අවසර ඇත. එසේ කිරීමෙන් ඉස්ලාම් නමින් බහුබූත දොඩවන මුස්ලීම් සමාජය නොමඟ යවන කපටි අවස්ථාවාදීන්ගෙන් මේ සමාජය ආරක්ෂා කරගත හැකි බවත් ඔවුන් යහමග ට යොමු කලහැකි බවත් අවදාරණය කරමි. එසේම, එසේ නොකරන්නේ නම්, සමස්ථ සමාජයම විනාශයක් හා පරිහානිය කරායාමත්, සත්‍ය දහමින් දුරස්වීමත්, නොවැලැක්විය හැකි කාරණයක් වනු ඇතැයි අවදාරණය කරමින් නබිතුමාණන් කල අනතුරු ඇඟවීමක් මෙහි පහතින් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මේ ලිපියට විරාමය තබමි. එනම්,

‘අනාගතයේ දී ‘ඉස්ලාම්’ යන නමත්, ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයනුත් පමණක් ලොව තුල ඉතිරිව පවතිනු ඇත. සැකයක් නොමැතිව (එම කාලයේ) දේවස්ථානයන් ද (ජනතාවගෙන්) උතුරායනු ඇත. නමුත් එවා කිසිවක් ජනතාවට ‘යහමග’ පෙන්වන තැනක් නොවනු ඇත.’


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම