ඔබ නපුරට නොව යහපතට යතුරක් වන්න

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


සමාජ මාධ්‍ය භාවිතය - ඉස්ලාමීය විමසුමක්“ යන විෂය යටතේ සාකච්චා කරන ලිපි පෙලෙහි මීට ඉහත “සමාජ මාධ්‍ය භාවිතයත් නැමදුමක්“ යන්න විමසා බැලුවෙමු. එම සාකච්චාවේ තවත් දිගුවක් ලෙස “ඔබ නපුරට නොව යහපතට යතුරක් වන්න“ යන කාරණය මෙහිදී විමසා බැලීමට අදහස් කරමි.

මුළු විශ්වයම ඇඟිලි තුඩගට ගෙනත් තබා ඇති සමාජ මාධ්‍යය කෙනෙකුට අවශ්‍ය නම්, තමන්ට සේම සමාජයටත් හානිකර ආකාරයට භාවිතා කල හැකිව ඇත. එලෙස භාවිතා කරන පිරිසයි සමාජය තුල අති බහුතර යන්න මෙහි කණගාටුවෙන් වුවද සටහන් කලයුතුව ඇත. නමුත් එවැනි පටු වින්දනයන්ට වහල් නොවී මෙම සමාජ මාධ්‍ය යහපත් අරමුණු ඔස්සේ භාවිතා කරමින් සමාජය යහමග යොමු කිරීමටත්, දේව විශ්වාසය වැඩිදියුණු වන ආගමික හා ලෞකික දැනුම වර්ධනය වන ඉගෙන්වීම් ප්‍රචාරය කිරීමටත්, මිනිසුන් ආගම දහම කෙරෙහි ආකර්ශනය වන ප්‍රචාරයන් සිදු කිරීමටත්, අන් අයට මඟ පෙන්වීමේ සහ ප්‍රයෝජනවත් දැනුම ව්‍යාප්ත කිරීමේ කටයුතුවල නිරත වීමටත් භාවිතා කල නොහැකිවා නොවේ. එවැනි උතුම් මෙහෙවරයන් නියැලෙන පිරිස් ද සමාජ මාධ්‍ය තුල නැතුවා නොවේ. නමුත් එම පිරිස ඉතා සුළුතරයකි.

ඉහතින් සදහන් ආකාරයට සමාජ විරෝධි ක්‍රියාවන්ට සහ මිනිස් සිත් කිලිටි කරවන එසේම නිශ්පල කටයුතු සදහා තම වටිනා කාලය සමාජ මාධ්‍ය තුල ගෙවාදමන පිරිසට ඉස්ලාම් දහම කරන අවවාදයක් මෙහි ගෙන එන්නට කැමැත්තෙමි. එනම්,

  • අල්කුර්ආනය
කාලය මත දිවුරා පවසමි. නියත වශයෙන්ම මිනිසා අලාභයෙහිමය. කවුරුන් විශ්වාස කොට යහපත් ක්‍රියාවන් හි යෙදී සත්‍ය පිලිබදව හා ඉවසීම පිලිබදව අන්‍යොන්‍යව අවවාද අනුශාසනා කරගන්නේ ද ඔවුන් හැරය.

අල්කුර්ආනය 103-1, 2, 3

  • අල්-හදීසය
මනුෂ්‍යා භාග්‍යයන් දෙකක් කෙරෙහි නොතැකීමෙන් ක්‍රියා කරන අතර එය නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නේය. ඒ කාලය හා විවේකයයි.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත ඉස්ලාම් දහමේ මූලාශ්‍ර ඉගෙන්වීම තුලින් යහකම් කිරීමේ වැදගත්කමත්, කාලය නිසිලෙස ප්‍රෙයා්ජනයට ගැනීමේ වටිනාකමත් පැහැදිලි වේ. එසේනම්, තම දිවියේ වැඩිම කාලයක් සමාජ මාධ්‍යයන් තුල ගෙවාදමමින් කටයුතු කරන වත්මන් සමාජය ඉහත ඉගෙන්වීම් පිලිබදව කොතරම් දුරකට සැලකිලීමත් වියයුතු වෙනවාද?. විවිධ නළු-නිළියන් ආදර්ශයට (Role Model) ගෙන කටයුතු කරන මුස්ලීම් තරුණ තරුණියන් විශාල පිරිසක් අප මෙම සමාජ මාධ්‍ය ජාලය තුල දකින්නෙමු. හිජාබයේ සීමාවන් නොසලකා කටයුතු කරන මුස්ලීම් තරුණියන් මෙහි සදහන් නොකලම බැරි කාරණයකි. ඔවුන් ආගමික සීමාවන් අතහැර Like හා Followers වැඩිකර ගැනීමේ අරමුණින් හිජාබ් ආවරණයේ සිට විලාසිතා සහ අවධානය ආකර්ෂණය කර ගැනීම දක්වා පරිවර්ථනය වී ඇත. තවත් සරලව පවසනවා නම්, තම සමාජ මාධ්‍ය ගිණූම Like හා Followers වලින් තර කරගන් අසීමිත උත්සාහයක නිරතවන අතර තුර මරණින් පසුව දෙවියෙන් ඉදිරියේ පෙනී සිටින විට එහි තීරණාත්මක එකම සාධකය වන හොද නරක සටහන් වී ඇති ගිණුම පිලිබදව අතපසු කොට කටයුතු කරමින් ඇත. මෙතැනදී මුහම්මද් (සල්) තුමාණන් මේ සමාජයට කල අවවාදයක් මෙහි ඔබේ අවදානයට ගෙන එන්නට අදහස් කරමි.

නබි (සල්) තුමාණන් පැවසීය, සමහර මිනිසුන් යහපතට දොරටු විවෘත කරන අතර අයහපත් දොරටු වසා දමයි. තවත් සමහරක් මිනිසුන් නපුරට දොරටු විවර කර යහපතට ඇති දොරටු වසා දමයි. අල්ලාහ් යහපතෙහි යතුරු කාගේ අතෙහි තබනවාද, ඔහුට යහපතකි. අල්ලාහ් අයහපතෙහි යතුරු කාගේ අතෙහි තබනවාද ඔවුන්ට දුක්ඛදායක ආරංචියකි.

මූලාශ්‍ර ග්‍රන්ථය - ඉබුනු මාජා

එසේනම් ඉහත හදීසය තුලින් කරන අවවාද අනුව ඔබේ ඇඟිලි තුඩග ඇති “සමාජ මාධ්‍ය ගිණුම“ නම් යතුර මගින් ඔබ යහපතේ දොරටුව විවෘත කරනවාද? නොඑසේ නම් අයහපතේ දොරටුව විවෘත කරනවාද?. යන්න බුද්ධිමත්ව තීන්දු කිරීම ඔබට ම භාර කරමින් මෙම සටහනට විරාමය තබමි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම