පල්ලි හෙවත් මස්ජිද් ඉස්ලාමීය විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මිනිස් වර්ගයාගේ ඉතිහාසය ලියවෙන මොහොතේ පටන් පූජනීය ස්ථාන පිලිබදව වූ ඉතිහාසය ද ලියවීම ආරම්භ වී ඇති බව ඉතිහාසය හොදින් බලන විට පැහැදිලිව පෙනේ. ඒ තුලින් තවදුරටත් පැහැදිලි වන්නේ මිනිසුන් ආගමික හා ආගමික ස්ථාන පිලිබදව නැඹූරුවකින් ම නිර්මාණය වී ඇති බවයි. මේ හේතුව නිසම මිනිසුන් තම මැවුම්කරුවා වූ දෙවියන් සමඟ සබඳතාවන් ඇති කර ගැනීම පිණිස ආශාවෙන් දේවමාළිගා, දේවාල, සිනගෝග, කිතුණු පල්ලි, පන්සල් සහ මුස්ලිම් පල්ලි... ආදී ඉදි කිරීම දක්නට ලැබේ. ඒ අනුව ඉස්ලාම් ආගමික දේවස්ථානය වන “පල්ලි“ මුස්ලීම් සමාජය තුල දෙවියන් ඇදහීමට ඇති වැදගත්ම ආයතනයකි.

මුස්ලීම් පල්ලි සරල හැදින්වීම

“පල්ලි“ යන පදයට සරල හැදින්වීම, මුස්ලිම් ජනතාව දෙවියන්ට නැමදුම් කරන ගොඩනැගිල්ල යන්නයි. මෙම පල්ලි නොහොත් නැමදුම් ගොඩනැඟිල්ලට නියමිත ස්ථීර හැඩයක් හෝ ප්‍රමාණයක් ඉස්ලාම් පෙන්වා නොදේ. ඒ ඒ ප්‍රදේශවල ඇති පහසුකම් අනුව සහ ජන ඝනත්වය අනුව පල්ලියේ හැඩය සහ ප්‍රමාණය තීරණය වේ. නමුත් සෑම පල්ලියකට ම පොදු වූ ලක්ෂණයන් ඇත. එහි ප්‍රධානම ලක්ෂණය වන්නේ ලොව සෑම පල්ලියක්ම මක්කාවේ පිහිටා ඇති “කව්බාව“ නම් පල්ලියට මුහුණලා පැවතීමය. එයට හේතුව මුස්ලීම්වරුන් දේව නැමදුම වන “සලාතය“ ඉටු කරන්නේ එම පල්ලියට මුහුණලා වන බැවිණි. මුස්ලීම් පල්ලිවල තවත් පොදු ලක්ෂණයක් නම්, සෑම පල්ලියකම බිම්භරයක් නොහොත් දේශන වේදිකාවක් පැවතීමය. මීට අමතරව නැමදුමට පෙලගැසීම සදහා තීරු සටහන් කොට තිබීම, නැමදුමට පෙර වූළු දොවනය කොට පිරිසිදු වීම සදහා දිය පොකුණක් හෝ ජලනළ පද්ධතියක් සකසා තිබීම යනාදිය ද මෙහි සදහන් කල හැක. සමහරක් මුස්ලිම් පල්ලිවල අභ්‍යන්තර බිත්ති හි අරාබි අක්ෂරවලින් අල්කුර්ආනයේ පාඨයන් ලියා තිබීම දක්නට ලැබේ. මීට අමතරව කිසිදු පල්ලියක ජීව රූප හෝ ප්‍රතිමා නොමැත, එයට හේතුව රූප හෝ පිළිම වන්දනය ඉස්ලාම් දහම තහනම් කරන බැවිණි.

පල්ලි හා මස්ජිද්

වත්මන් මුස්ලීම් සමාජය මුස්ලීම් දේවස්ථානය “පල්ලි“ යනුවෙන් සහ “මස්ජිද්“ යනුවෙන් හැදින්වීම සුලබව දැකිය හැක. ඇත්තෙන්ම මෙම “පල්ලි“ යන වචනය හා “මස්ජිද්“ යන වචනය අතර සමානකමක් සේම අසමානකමක්ද ඇත්තේය. ඒ පිලිබදව මෙහි කෙටි විමසුමක් කරන්නේ නම්,

"මුස්ලිම් පල්ලිය" යන වචනය ඉංග්‍රීසි භාෂාවට හඳුන්වා දෙනු ලැබුවේ 14 වැනි සියවසේ අගභාගයේදී හෝ 15 වැනි සියවසේ මුල් භාගයේදී ප්‍රංශ භාෂාවෙනි. එය පැරැණි ප්‍රංශ වචනය වන mousquaie යන ප්‍රංශ වචනයක් වන mosquée වෙතින් පැමිණි එකකි. ප්‍රංශ ජාතිකයන් මෙම වචනය ව්‍යුත්පන්න කර ඇත්තේ ඉතාලි වචනය වන moschea වෙතින් moscheta යන්නෙනි. ඉතාලියානුවන් එය ලබාගෙන ඇත්තේ අරාබි වචනය වන Masjid හෝ පැරණි ස්පාඤ්ඤ Mascita යන වචනයෙනි. මේ අනුව අපට පැහැදිලි වන්නේ Masjid යන අරාබි වචනය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම මුස්ලිම් පල්ලියක් බවට පත්වන බවයි. ඒ අනුව “පල්ලිය“ යනු යාඥා කරන ගොඩනැඟිල්ල යන්න අදහස් වේ.

“මස්ජිද්“ යන වචනය සලකා බලන විට එය අරාබි වචනයකි. එහි අරුථ “සුජූද් (නළල පොළොව මත තබා වැඳීම්) කරන ස්ථානය“ යන්නයි. “මස්ජිද්“ යන අරාබි වචනය පැමිණෙන්නේ “සා-ජා-දා” යන මූලයෙනි. එහි අරුථ වැඳ වැටීම යන්නයි. මුස්ලිම්වරයෙකුගේ නළල බිම ස්පර්ශ කරන විට, ඔහු හෝ ඇය දෙවියන් වහන්සේට සමීප වේ. යාච්ඤාව ඇදහිලිවන්තයා සහ ඔහුගේ ස්වාමියා අතර සම්බන්ධය තහවුරු කරන අතර සුජූද් කිරීම සංකේතවත් කරන්නේ සම්පූර්ණ අවනත බවයි.

මේ අනුව “පල්ලි“ යන්න සහ “මස්ජිද්“ යන්න මුස්ලීම් සමාජය නැමදුම් කරන ස්ථානය යන්න අදහස් කෙරේ.

පල්ලි නොහොත් මස්ජිද් හැදින්වීම

යහපත් මුස්ලීම්වරයෙකු තම නිවස සහ සේවා ස්ථානය හැරුණු කොට වැඩියෙන්ම ගැවසෙන ස්ථානයත් “පල්ලි“ යයි. මුස්ලිම්වරයෙකු දෛනිකව අවම වශයෙන් පස්වතාවක් (සලාතය සදහා) පල්ලියට පැමිණේ. එහිදී, ඔවුන් තමන්ගේ අධ්‍යාත්මික දැනුම වර්ධනය කරගන්නා අතර තම මැවුම්කරුවානන් වන “අල්ලාහ්“ (දෙවි) සමඟ ඇති සම්බන්ධතාවය ද ශක්තිමත් කරගනී. ඊට අමතරව තම සහෝදර මුස්ලිම් ප්‍රජාව ද එහි නිතර සම්මුඛ වන අතර ඒ තුලින් ඔවුන්ගේ සමාජීය මිතුදම ද අලුත් කරගනී. එසේම මුස්ලීම් “පල්ලි“ හරහා සමාජ සුභ සාධන කටයුතු රාශියක් ද ක්‍රියාත්මක කරන නිසා මුස්ලීම් “පල්ලි“ ආගමික නැමදම් ස්ථානයක් යන්නෙන් එහා ගොස් ප්‍රජා මධ්‍යස්ථානයක් ලෙසත් ක්‍රියාත්මක වේ. මේ සියල්ල තුලින් පල්ලිය මුස්ලිම් ප්‍රජාවට මගපෙන්වීම් කරන ආයතන භූමිකාව ඉටු කරයි. නමුත් වර්ථමාන මුස්ලීම් “පල්ලි“වල ඇති පහසුකම් සහ එයට ඇති ජනතා සහයෝගය දකින විට පල්ලිවලට මීට වඩා බොහෝ විභවයක් ඇති බවත්, මුස්ලිම් සමාජයේ තවත් බොහෝ ක්ෂේත්‍රවලට තම නියෝජනය හා මැදහත්වීම ලබාදිය යුතු බවත් මට සිතේ.

ඉස්ලාමීය සංකල්පය අනුව “පල්ලිය“ යනු සර්ව බලධාරී “අල්ලාහ්“ (දෙවි)ගේ නිවසයි. මෙම නිවසේ මහිමය කුමක්ද? යන්නත්, එවැනි ස්ථාන ගොඩනැඟීමේ මහිමය කුමක්ද? යන්නත්, එය පරිපාලනය කලයුත්තේ කවුරුන් විසින් කෙසේද? යන්නත්, ඒ තුලින් සමාජයට ඉටු වියයුතු මෙහෙවර කුමක්ද? යන්නත් දිව්‍ය පුස්තකය වන අල්කුර්ආනයත්, අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් වන අල්හදීසයත් මේ සමාජයට පැහැදිලිව පෙන්වා දී ඇත. ඉස්ලාම් දහම යන්න මනුෂ්‍යා තුල අධ්‍යාත්මික බලවේගය වර්ධනය කරන පුළුල් ජීවන රටාවකි. සර්ව ආකාරයෙන් සාර්ථක වූ මිනිස් ප්‍රජාවක් මිහිමත ස්ථාපනය කිරීම එහි අරමුණයි. එවැනි ඉලක්ක සපුරා ගැනීමට හැකි මාර්ග පල්ලිය තුලින් නිර්මාණය විය යුතුය.

මුස්ලීම් පල්ලිවල භූමිකාව එක් අන්තයකට සීමා වූ එකක් නොවිය යුතුය. එය නැමදුම් කරන තැනක් පමණක් බවට පත් නොවිය යුතුයි. මන්ද නැමදුම් ස්ථානයක් තුලින් හුදෙක් අධ්‍යාත්මික මානය පමණක් වර්ධනය කරන බැවිණි. එය අධ්‍යාපන ආයතනයක් පමණක් නොවිය යුතුයි. මන්ද අධ්‍යාපනය බොහෝ දුරට, කුසලතාවයන් හෝ වෘත්තියමය හැකියාවන් පමණක් වර්ධනය කරන ආයතන වන බැවිණි. එය ප්‍රජා උපකාරක ආයතනයක් පමණක් ද නොවිය යුතුයි. මන්ද සමාජ සුබ සාධනය සේම අධ්‍යාත්මික සංවර්ධනය ද මානවයාට අත්‍යඅවශ්‍ය වන බැවිණි.

පල්ලි හි මහිමය

මුස්ලීම් පල්ලිය නොහොත් මස්ජිදයේ මහිමය කියාපාන අල්හදීස් කිහිපයක් මෙහි ඔබේ බුද්ධිමත් අවදානය පිණිස පෙලගසන්නේ නම්,

  • මුස්ලිම් පල්ලිය අල්ලාහ්ට වඩාත්ම ආදරණීය ස්ථානයයි
"මිහිමත අල්ලාහ් (දෙවි)ට ආදරණීයම තැන එහි පල්ලිය වන අතර අල්ලාහ් (දෙවි)ට වඩාත්ම පිළිකුල් සහගත තැන වෙළඳපොලයි."

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලිම්

  • අල්ලාහ් (දෙවි) පරලොවේ දී පල්ලිවලට සම්බන්ධ හදවත් තම සෙවණ යටතට ගනු ඇත.
"අල්ලාහ් තම සිංහාසනයේ සෙවණ හැර වෙනත් සෙවනක් නොමැති දිනයේදී (පුද්ගලයින්) හත් දෙනෙක්. එනම්, සාධාරණ පාලකයෙක්, අල්ලාහ්ට නමස්කාර කරමින් හැදී වැඩුණු තරුණයෙක්, මුස්ලිම් පල්ලිවලට හදවතින් බැඳී සිටින මිනිසෙක්, අල්ලාහ් වෙනුවෙන් එකිනෙකාට ආදරය කරන සහ මුණගැසෙන සහ එකිනෙකා හැර යන පුද්ගලයන් දෙදෙනෙක්, අතිශය රූමත් කාන්තාවක් (අවිනීත සබඳතාවයක් සඳහා) පොළඹවන විට (මම අල්ලාහ්ට බිය වෙමි' යනුවෙන් පවසමින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කොට) එයින් වැළකෙන මිනිසෙක්, දකුණතින් දුන් දෙය වම් අත නොදනින තරමට පුණ්‍ය කටයුතු කරන සහ (එතරම් දුරට) එය වසන් කරන මිනිසෙක්, හුදකලාව අල්ලාහ්ව සිහිපත් කර ඔහුගේ දෑසින් කඳුළු සලන පුද්ගලයෙක්.

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි, මුස්ලිම්

  • පල්ලිය නඩත්තු කිරීම අවනතභාවයට සාක්ෂියකි
“මුස්ලිම් පල්ලියට කැප වූ මිනිසෙක් ඔබ දුටුවහොත් ඔහුගේ විශ්වාසය ගැන සාක්ෂි දරන්න. මක්නිසාද යත් උත්තරීතර අල්ලාහ් (දෙවි) පවසන පරිදි, මුස්ලිම් පල්ලි නඩත්තු කරනු ලබන්නේ අල්ලාහ් සහ අවසාන දිනය කෙරෙහි විශ්වාසය තබා, යාඥාව ස්ථාපිත කර පුණ්‍ය කටයුතු කරන අය විසින් පමණි. (අල්කුර්ආනය 9:18)"

මූලාශ්‍ර ග්‍රන්ථය - තිර්මිදි

  •  මුස්ලිම් පල්ලියේ සේවයේ යෙදී සිටි කාන්තාවක් වෙනුවෙන් නබිතුමාණන් ප්‍රාර්ථනා කළේය
කළු පැහැයෙන් යුත් කාන්තාවක් පල්ලිය පිරිසිදු කරමින් කටයුතු කළේය. දිනක් නබිතුමාණන් ඇයව නොදැකීම සම්බන්ධව තම අනුගාමිකයන්ගෙන් විමසා සිටියේය. එවිට එම පිරිස “ඇය මිය ගියා“ යනුවෙන් පැවසීය. එයට නබිතුමාණන් එය තමාට දැනුම් නොදුන්නේ මන්දැයි විමසූ අතර, එයට එම කාරණය නොවැදගත් ලෙස සැලකූ බව පැවසීය. එවිට නබිතුමාණන් “මාව ඇයගේ සොහොන වෙත රැගෙන යන්න“ යනුවෙන් පැවසූ අතර ඒ අනුව එතුමාණන්ව ඇයගේ සොහොන අසලට කැඳවාගෙන ගියේය. එවිට නබිතුමාණන් ඇය වෙනුවෙන් එම ස්ථානයේ සිට ප්‍රාර්ථනා කලේය. 

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලිම්

  • මස්ජිදයට යන අයට අල්ලාහ් ස්වර්ගයේ වාසස්ථානයක් සූදානම් කරයි
"යමෙකු අලුයම හෝ සන්ධ්‍යාවේ (සලාතය සඳහා) පල්ලියට යන්නේ නම්, ඔහු ඇවිද යන විට හෝ ආපසු පැමිණෙන සෑම අවස්ථාවකම අල්ලාහ් ඔහුට ස්වර්ගයේ ආගන්තුක සත්කාර වාසස්ථානයක් සූදානම් කරයි."

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි, මුස්ලිම්

පල්ලි ගොඩනැඟීමේ මහිමය කුමක්ද?

මුස්ලිම් පල්ලි තැනීම සහ ඒ තුලින් මිනිසුන්ගේ සාමූහික නමස්කාරයන් (සලාතය)ට පහසුකම් සැලසීම අල්ලාහ් (දෙවි) හමුවේ බොහෝ කුසල් ගෙනදෙන දෙවියන්ගේ ප්‍රසාදය හා ප්‍රතිලාභ හිමිවන ක්‍රියාවකි. මෙවැනි ක්‍රියාවක මහිමය එක්තරා අවස්ථාවක මුහම්මද් (සල්) තුමාණන් මෙසේ විසුතර කරන ලදී.

"අල්ලාහ් වෙනුවෙන් පල්ලියක් ගොඩනඟන තැනැත්තා වෙනුවෙන්, අල්ලාහ් ඔහුට පාරාදීසයේද එලෙසම තැනක් ගොඩනඟන්නේය."

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලිම්

සමාජීයේ අවශ්‍යතා මත මුස්ලිම් පල්ලි ඉදිකිරීම මුස්ලීම් සමාජය කෙරෙහි පැවරෙන “වජිබ්“ නම් වගකීම් ගණයට අයත් වේ. සාමූහික නමස්කාරය සඳහා සහ අනෙකුත් යහපත් ක්‍රියාකාරකම් සඳහා මුස්ලිම් ප්‍රජාවන්ට ස්ථාන ලබා දීම මුස්ලීම් සමාජය කෙරෙහි පැවරෙන වගකීමකි. මෙලෙස මුස්ලිම් පල්ලි ඉදිකිරීම (“සදකතුල් ජාරියා“ නම්) කල්පවත්නා පුණ්‍ය ක්‍රියාවක් ලෙස ද ඉස්ලාම් දකී. එනම්, පල්ලියක් ගොඩනඟන හෝ එහි ඉදිකිරීමට දායක වන තැනැත්තාගේ එම කුසල ක්‍රියාව ඔහුගේ අභාවයෙන් පසු පවා ඔහුගේ කුසල ක්‍රියාවන් ලෙස අඛණ්ඩව වාර්තා වනු ලැබේ. මුහම්මද් (සල්) තුමාණන් (“සදකතුල් ජාරියා“ නම්) කල්පවත්නා පුණ්‍ය කර්මය පිළිබඳ බොහෝ දේ කතා කොට ඇති අතර එහිද විශේෂයෙන් “මුස්ලිම් පල්ලි සහ නිවාස තනාදීම“ (මූලාශ්‍ර ග්‍රන්ථය - ඉබ්නු මාජා) පිලිබදව වැඩියෙන් අවදාරණය කොට ඇත.

ඉස්ලාමීය ඉතිහාසය තුල සුළු අවශ්‍යතා ඇති වූ විට පවා මුස්ලිම් පල්ලි ඉදිකිරීමට මුස්ලිම්වරුන් කිසිවිටෙක පසුබට නොවූ බව දකින්නට තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මුස්ලිම් නාගරික සහ ග්‍රාමීය ජනාවාසවල වඩාත් ප්‍රමුඛතම ස්ථානය බවට පත්ව ඇත්තේ මුස්ලිම් දේවස්ථානය. වර්ථමානයේ ගෝලාකාර (ඩූම්) හැඩය සහිත ගෘහනිර්මාණ ශිල්පයෙන් ඉදිවන මුස්ලීම් පල්ලි මුල් කාලයේ එය සරල ගොඩනැඟිල්ලක් පමණක් විය. එයට කඳිම නිදසුනක් ලෙස මිහිමත ප්‍රථම දෙව් මැදුර වන “කව්බාව“ මෙහි සදහන් කල හැක.

පල්ලි ගොඩනැඟීම සහ එහි විකාශනය

ඉහතින් සදහන් කලාසේ මිහිමත ප්‍රථම පල්ලිය වන්නේ මක්කාවේ පිහිටා ඇති “බක්කාව නොහොත් කව්බාව“ නම් පල්ලියයි. මේ පිලිබදව මීට ඉහත යහමග අඩවිය තුල බක්කාවේ පිහිටා ඇති ප්‍රථම දෙව්මැදුර යන ලිපිය තුලින් දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත. ඉන් අනතුරුව ඉදි වූ පල්ලි අතර සුවිශේෂි පල්ලිය වන්නේ පලස්තීන භූමියෙහි පිහිටා ඇති “බයිතුල් මුකද්දස්“ නම් පල්ලියයි. මේ පිලිබදව ද යහමග අඩවිය තුල ශුද්ධ වූ දේවස්ථාන හා එහි පාරිශුද්ධත්වය යන ලිපිය තුලින් දීර්ඝ ලෙස දරුණු සාකච්චා කොට ඇත. එම පෙලෙහි ඊලඟ සුවිශේෂි පල්ලිය වන්නේ මදීනාවෙහි පිහිටා ඇති “අල්-මස්ජිද් අන්-නබවි“ නම් පල්ලියයි. මෙය අවසාන දේවවක්තෘ මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේ ඉදි කල පල්ලියකි. එහි ඉතිහාසය කෙටියෙන් මෙහි විමසා බලන්නේ නම්,

අවසාන වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් මඟින් ඉස්ලාම් දහම ප්‍රකාශ වූ මක්කානු යුගයේ මුල් අවධිය දෙස බලන විට, එහි අධිකාරිය, ජීවන රටාව සහ සමාජ සම්මතයන් සියල්ලම මුස්ලිම් නොවන බහුදේවවාදීන්ගේ ආධිපත්‍යයේ විය. එහි මුස්ලීම්වරුන් වූයේ බහුදේවවාදයෙන් ඉස්ලාම් දහමට හැරුණු සුළුතර පිරිසක් වන අතර එහි ඔවුන් ජීවත් වූයේ ආගන්තුකයන් ලෙස ය. මුස්ලීම් නොවන මක්කා වාසීන්ගේ අනේක විද හිංසා පීඩා මැද ජීවත් වූ මක්කා වාසී මුස්ලීම්වරුන් අවසානයේ තම පරිසරය වෙනස් කිරීමට තීරණය කොට මදීනාවට හිජ්රත් (සංක්‍රමණය) කලේය. මුහම්මද් (සල්) තුමාණන් ඇතුළු මුස්ලීම්වරුන් මක්කාවේ සිට මදීනාවට සංක්‍රමණය වීම මුස්ලිම් ප්‍රජාවගේ චරිතයේ විශාල වෙනසක් ඇති වීමට හේතු විය. ප්‍රථම වතාවට මක්කාවේ බහුදේවවාදීන්ගේ අධිකාරී බලයෙන් නිදහස් වී මදීනාවට සංක්‍රමණය වූ මුස්ලීම්වරුන් මදීනාවට ඇතුල් වීමට පෙර “කුබාහ්“ නම් වූ නව නගරයක දින කිහිපයක් ලැගුම් ගත්තේය. එහිදී ඉස්ලාමීය ඉතිහාසයේ පළමු මුස්ලිම් පල්ලිය, කුබා පල්ලිය එහි ඉදි කළේය. මුහම්මද් (සල්) තුමාණන් ඇතුළු පිරිස “කුබාහ්“ හි සඳුදා සිට සිකුරාදා උදෑසන දක්වා රැදී සිටිය අතර සිකුරාදා උදෑසන මදීනා බලා පිටත් වූ අතර මදීනාව බලා යන අතර තුර බනු සලීම්ගේ ජනාවාස වූ “රනුනා“ නිම්නයේ සිකුරාදා යාඥාව සදහා නතර වූ අතර එහිදී ඉස්ලාමීය ඉතිහාසයේ පළමු සිකුරාදා ජුම්මා සමූහ යාච්ඤාව ඉටු කලේය. එසේ සිකුරාදා යාච්ඤාව ඉටු කිරීම සදහා ඉදිකරන ලද අතර එම පල්ලිය ඉස්ලාමීය ඉතිහාසයේ දෙවන පල්ලිය විය. එම සිකුරාදා නැමදුමෙන් පසු නබිතුමාණන් නැවත ගමන අරඹා මදීනාවට ඇතුළු වූ අතර එහිදී මුහම්මද් (සල්) තුමාණන් ගමන් කල ඔටුවා නතර වූ තැන ශුද්ධ වූ දේවස්ථානය වන මදීනා පල්ලිය නොහොත් “අල්-මස්ජිද් අන්-නබවි“ ලෙස හැඳින්වෙන තුන්වන දේවස්ථානය ඉදිරකරන ලද අතර මෙය මදීනාවට ඇතුල් වූ නබිතුමාණන් කල පලමු කටයුත්ත ද විය.

ශුද්ධ වූ පල්ලි තුනයි

මිහිතලය මත රටක්, නගරයක්, ගමක්, වීදියක් පාසා පල්ලි විශාල වශයෙන් ඉදිව තිබුණත් ඉස්ලාම් දහමේ ඉගෙන්මවීම අනුව කුසලක් අපේක්ෂාවෙන් ගමන් කලහැකි දේවස්ථාන (පල්ලි) ඇත්තේ තුනත් පමණි. එම පල්ලි වන්නේ,

  • මක්කාවේ පිහිටා ඇති කව්බාව,
  • පලස්තීනයේ පිහිටා ඇති බයිතුල් මුකද්දසය,
  • මදීනාවේ පිහිටා ඇති අල්-මස්ජිද් අන්-නබවිය,

(මෙම විෂය පිලිබදව යහමග අඩවිය තුල ශුද්ධ වු දේවස්ථාන ත්‍රිත්වය (සජීවි දර්ශන) යන ලිපිය තුලින් දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත.) මෙම පල්ලි තුනට අමතරව ලොවපුරා ඇති සියළු පල්ලි කුමන ආකාරයේ ගෘහ නිර්මාණ යොදා ඉදි කොට තිබුණත්, කවර නමකින් තිබුණත්, කොතරම් විශාලව ඉදි කොට තිබුණත්, එය කවර තැනක පිහිටා තිබුණත් ඒ සියළු පල්ලි එකක් අනික අභිබවා ගිය මහිමයන්ගෙන් යුතු නොවේ යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි.

පල්ලියක අවශ්‍යතාවය සහ එහි වැදගත්කම

මුස්ලිම් සමාජය තුල “පල්ලි“ හි වැදගත්කම හා අවශ්‍යතාවය කුමක්ද? යන කාරණය පිලිබදව විමසා බලන්නේ නම්, නබි (සල්) තුමාණන් මක්කාවේ සිට මදීනාවට සංක්‍රමණය (හිජ්රත්) කිරීමත් සමඟ ගත් පළමු පියවර එහි පල්ලියක් ගොඩනැගීමයි. මදීනාව නාගරිකකරණ කිරීමේ යෝජනාවේ පළමු පියවර ද “අල්-මස්ජිද් අන්-නබවි“ නම් පල්ලිය ඉදි කිරීම විය. එසේම සමාජයේ අධ්‍යාත්මික, සදාචාරාත්මක සහ සමාජීය වෙනස්කම් සඳහා වූ මූලික අත්තිවාරම ද සැකසීම එහි අරමුණ විය. මේ අනුව මදීනාවෙහි ඉදි වූ පළමු පල්ලිය සමාජයේ ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයක් ඉස්ලාමීය අරමුණ සඳහා වන අරගලය ඉහළ තලයකට ගෙන යාමටත්, මුස්ලිම්වරුන්ගේ සමස්ත ප්‍රගතිය සඳහා සහ පහසුකම් සැලසීමටත් මූලික අඩිතාලම විය.

පල්ලියක කාර්‍යභාරය

පල්ලියේ කාර්‍යභාරය කුමක්ද? යන්න පිලිබදව විමසා බලන විට ඒ පිලිබදව වූ ඉගෙන්වීම් ගණනාවක්ම අල්කුර්ආනය තුල දැකගත හැක. එහි ද විශේෂයෙන් පල්ලියේ අධ්‍යාත්මික ක්‍රියාකාරිත්වය අවධාරණය කරන අල්කුර්ආන් වාක්‍ය ගණනාවක් ම එහි දක්නට ලැබේ. නිදසුනක් ලෙස,

(ඔහුගේ ආලෝකය වෙත මඟ පෙන්වීම ලබා ගන්නා අය) ඉදිකරන ලෙස හා ඒ තුළ ඔහුගේ නම සිහිපත් කරන ලෙස අල්ලාහ් නියම කර ඇති මන්දිරවල වෙසෙති. ඔවූහු එහි උදේ සවස ඔහු (අල්ලාහ්) සුපිවිතුරු කරති. (එම නිවෙස් තුළ සිටින) මිනිස්සු කවරකු නම් අල්ලාහ් සිහිපත් කිරීමෙන්ද සලාත් ඉටු කිරීමෙන්ද සකාත් ගෙවීමෙන්ද නොවළකින අතර වෙළදාම හා ගනුදෙනු කිරීමෙන් ඔවුන් වැළකෙති. හදවත්ද, දෘෂ්ටීන්ද පෙරළෙන දිනය ගැන ඔවූහු බියවෙති.

අල්කුර්ආනය 24:36 සහ-37

ඉහත වාක්‍යමය අර්ථය නම් මුස්ලිම් පල්ලි ගෞරවනීය හා ආකර්ෂණීය ලෙස ඉදිකළ යුතු යන්නයි. ඒ තුල රණ්ඩු දබර, කෑගැසීම් හෝ සටන් නොකළ යුතුය. පල්ලි යනු යාඥාවන්, අල්ලාහ්ව සිහිපත් කිරීම, අල්කුර්ආනය පාරායනය කිරීම සහ ප්‍රාර්ථනා කිරීම් කරන ස්ථානයයි. මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟපෙන්වීම අනුව “පල්ලි“ යනු,

  • දේවදූතයන් (මලක්වරුන්) ගැවසෙන ස්ථාන වන අතර, එහි අසුන්ගෙන අල්කුර්ආනය පාරායනය කරන හා එය අධ්‍යයනය කරන පිරිසට සාමය සහ සන්සුන් භාවය පහළ කරන තැන පල්ලිය වේ.
  • යාඥා කිරීම සඳහා වඩාත් සුදුසු ස්ථානය ද මුස්ලිම් “පල්ලිය“ වේ.
  • වීදිවල, සේවා ස්ථානවල හෝ වෙලඳපොලවල නොසන්සුන්ව කාලය නාස්ති නොකොට යහපත් මිනිස්සු රැදී සිටින තැන පල්ලිය වේ.
  • පාරිශුද්ධත්වය සහ ගෞරවය පිළිබඳ හැඟීම් වර්ධනය කොට ජීවිතයේ කරදර සහ නොසන්සුන් බව දුරු කරන තැන පල්යිලිය වේ.
  • පල්ලියෙන් පිටත මනස කැළඹී ඇත්නම්, එය ඇතුළත සාමයෙන් පවතී, මන්ද එය සැනසිල්ලේ සහ අධ්‍යාත්මික ප්‍රීතියේ මඟපෙන්වීම සිදු කරන තැන වේ.

ඉස්ලාමීය ආරම්භ කාලය වන මක්කා යුගයේදී මක්කා වාසී ඉස්ලාම් විරෝධීන්ට බියේ ඉතා රහසිගතව “අල්-අර්කාම්ගේ“ නිවසේ දහම් ප්‍රචාරයේ නිරත වූවත්, මදීනාවට සංක්‍රමණය විමෙන් පසු තමන්ගේම මධ්‍යස්ථානයක් වූ පල්ලිය ඒ සදහා සුදුසු ස්ථානයක් විය. එම පල්ලිය ස්ථාපිත කළ දා පටන් මින් පෙර කිසිම ආගමික ස්ථානයක් නොදැන සිටි වගකීම් මුස්ලිම් පල්ලිය භාර ගත්තේය. අලුතින් දහම පිලිගෙන එන ප්‍රජාවගේ ජීවිතය ක්‍රමක්‍රමයෙන් මුස්ලිම් පල්ලිය තුළ හැඩගැස්සීම සිදු කෙරුණි. නබිතුමාගේ කාලයේ පල්ලියේ භූමිකාව යාඥාවන් ඉටු කිරීමට එහා ගිය එකක් විය. එනම්,

අධ්‍යාපනය කටයුතු සඳහා මධ්‍යස්ථානයක් ලෙස

ඉස්ලාම් දහම අධ්‍යාපනයට මූල් තැන දෙන දහමකි. දෙවියන් හමුවේ සිට පහල වූ පළමු දිව්‍ය වදනත් “කියවන්න“ යන්නයි. මීට අමතරව “සිතන්න“, “නොසිතන්නේ ඇයිද?“, “ගවේෂණය කරන්න“, “බුද්ධිමත්ව බලන්න“... යනාදී ලෙස දැනුම සොයන්න උනන්දු කරන දිව්‍ය වදන් බොහෝමයක් අල්කුර්ආනය තුල දක්නට ලැබේ. මේ ආකාරයට අධ්‍යාපනය ඉස්ලාම් දහම උනන්දු කලත් එම දැනුම සොයන්න හෝ ලබන්න පාසැල් හෝ වෙනයම් එවැනි ආයතන එම සමාජයේ නොතිබුණි. එවකට සමාජයේ දැනුම සොයන අයට එම දැනුම ලබාදෙන එකම ස්ථානය වූයේ පල්ලියයි. මෙයට නිදසුනක් ගෙන එන්නේ නම්,

අබු හුරෙයිරා (රළි) තුමා දිනක් වෙළඳපොලට ගොස් එහි සිටි පිරිසට “ඔබ මෙහි වෙළඳාම් කරමින් කාර්‍යබහුල වී ඇත, නබි තුමාණන් තම උරුමයෙන් ඔබේ කොටස පල්ලියේ තබා ඇත.“ යනුවෙන් කෑගසා පැවසීය. මෙය ඇසූ එහි සිටි සමහර අය යම් මූල්‍යමය ත්‍යාගයක් අපේක්ෂාවෙන් පල්ලියට දිව ආවේය. නමුත් පල්ලිය තුල ඔවුන් අපේක්ෂා කල ආකාරයේ කිසිවක් නොතිබූ අතර එහි එක්තරා ස්ථානයක අධ්‍යාපන ඉගෙනීමේ කවයක් පමණක් පැවැත්වීම දක්නට විය. මේ හේතුව නිසා අබු හුරෙයිරා (රළි) තුමා කෙරෙහි නොසතුටින් ආපසු වෙළදපොලට පැමිණියේය. එසේ පැමිණි ඔවුන්, “එහි බෙදීමට කිසිදු ධනයක් අපි නොදුටුවෙමු.“ යනුවෙන් පැවසීය. එවිට අබූ හුරෙයිරා (රළි) තුමා, "ඔබ එහි දුටුවේ කුමක්ද?" යනුවෙන් විමසීය. එයට ඔවුන් පිළිතුරු දුන්නේ, "ඉගෙනීමේ කව" යනුවෙනි. එවිට අබූ හුරෙයිරා (රළි) තුමා “එයයි මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ උරුමය” යනුවෙන් ඔහු පැවසීය.

ජනාවාස පිහිටීමට සුදුසුම ස්ථානයක් ලෙස

එදත් අදත් මුස්ලීම් දේවස්ථාන නොහොත් පල්ලි පිහිටා ඇත්තේ ගමක්, නගරයක් හෝ සමාජයක් මධ්‍යයේය. මේ හේතුව නිසා පල්ලියට යාබදව වෙසෙන ජනතාව පල්ලිය සමඟ සමීප සම්බන්ධතාවයක් තබා ගත්තේය. එහි ප්‍රථිපලයක් ලෙස එදත් අදත් වැදගත් තීන්දු තීරණ සාකච්චා කලේත්, තීන්දු කලේත් පල්ලිවලය.

ජනතාව සමීපව ඇසුරු කිරීමේ ස්ථානයක් ලෙස

විටෙක අධ්‍යාපන ආයතනයක්, විටෙක සමාජ ශාලාවක් වූ පල්ලිය සමඟ මුස්ලීම් ප්‍රජාව සමීප කටයුකු කලයුතු යන්න ඉස්ලාම් දහම අවදාරණය කරයි. එසේ අවදාරණය කරන ඉගෙන්වීම් රාශියක් ඉස්ලාමීය මූලාශ්‍රයන් හි දක්නට ලැබේ. නිදසුනක් මෙහි ගෙන එන්නේ නම්,

වරක් නබිතුමාණන් සමඟ එතුමාගේ සමකාලීන සහාබාවරුන් පල්ලිය තුල නබිතුමා වට කොට වාඩි වී සිටියේය. එම මොහොතේ පල්ලියට ඇතුල් වූ තිදෙනෙකුගෙන් පලමුවැන්නා නබිතුමාණන් සිටී ස්ථානයේ තැනක් සොයාගෙන වාඩි විය. දෙවැන්නා පිටුපස තැනක වාඩි වූ අතර තුන්වැන්නා නතර නොවී පිටව ගියේය. මේ දෙස බලා සිටී නබිතුමාණන් පැවසූවේ, “පළමු පුද්ගලයා ඉදිරිපත් විය, එබැවින් අල්ලාහ් (දෙවි) ඔහු වෙත ඉදිරිපත් විය. දෙවැන්නා ලැජ්ජාශීලී වූ නිසා අල්ලාහ් (දෙවි) ඔහුව අපහසුතාවයට පත් කිරීමට කැමති වූයේ නැත. තුන්වැන්නා ඉවත්ව ගියේය, එබැවින් අල්ලාහ් (දෙවි) ඔහුගෙන් ඈත් විය.“ යනුවෙනි. 

මුලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි සහ මුස්ලීම්

ප්‍රභූවරුන් සහ නියෝජිතයින් පිළිගැනීමේ සහ හමුවීමේ ස්ථානයක් ලෙස

ඉස්ලාමයේ ව්‍යාප්තිය සාර්ථක වීමෙන් පසු, බොහෝ නියෝජිතයින් සහ ප්‍රභූන් හමුවීමටත්, ඔවුන් හා සාකච්චා කිරීමටත්, ඔවුන් සමඟ විවිධ ගිවිසුම්වලට එලඹීමටත් යොදා ගත්තේ පල්ලියයි. එයට නිදසුනක් පවසනවා නම්,

නූතන යේමනය ආසන්නයේ පිහිටි හිජාස් හි දකුණු-බටහිර කොටසේ, “නජ්රාන්“ නම් ගෝත්‍රයේ කිතුණූ ආගමික නියෝජිත පිරිසක් එක්තරා අවස්ථාවක නබිතුමාණන් හමුවීමට පල්ලියට පැමිණියේය. එම මොහොතේ එය ඔවුන්ගේ නැමදුම් වේලාව වූ බැවින් ඔවුන්ගේ එම නැමදුම නබිතුමාගේ පල්ලිය තුල ඉටු කලේය. 

(මෙම සිද්ධිය පදනම් කරගෙන අන්‍ය ආගමිකයින් හට මුස්ලීම් පල්ලිය තුලට ඇතුල්වීමට අවසර ලබාදීමට හැකි බව බොහෝ ඉස්ලාම් ආගමික විද්වතුන් පවසයි.)

ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස

නබිතුමාණන්ගේ කාලයේ නබි (සල්) තුමානන්ට ලැබෙන මූල්‍යමය හා වස්තුමය ආධාර එසේම අනිකුත් (යුද්ධයේ දී හිමි වූ “ගනීබත්“ වස්තූන් වැනි දෑ) පොදු ජනයාට බෙදාදීම සිදුවූයේ පල්ලියේදීය. එසේම හදිසි අවස්ථාවලදී, ආධාර පරිත්‍යාග පල්ලියට ලබාදෙන නබිතුමාණන් දේශනා ද කොට ඇත. එවිට ලැබෙන පරිත්‍යාග ද පොදු ජනයාට සහ අවශ්‍යතා ඇති අයට බෙදාදීම පල්ලියේ දී සිදුවිය. මෙහි සඳහන් කළ යුතු විශේෂ කරුණ නම්, බොහෝ ප්‍රදේශවල භාණ්ඩාගාරය පල්ලිය හා යාබදව පැවතී බවයි.

නිවාස නොමැති අයට නිවහනක් / නවාතැනක් ලෙස

මුහම්නමද්බි (සල්) තුමාණන් සමඟ මක්කාවේ සිට මදීනාවට සංක්‍රමණය වූ බොහෝ මුස්ලිම්වරුන් තනිකඩ, නිවාස නොමැති සහ අනාථයන් විය. ඔවුන් නවාතැන් ගත්තේ පල්ලියේම ය. ඔවුන් සුෆ්ෆාහි “පදික ජනතාව“ යනුවෙන් හැදින්වීය. අබු හුරෙයිරා (රළි) තුමා ඔවුන් අතර ජනප්‍රිය ආගමික විශාරදයෙකි. එසේම අබ්දුල්ලාහ් ඉබ්න් උමර් (රළි) තුමා තරුණ හා තනිකඩව සිටියදී, පල්ලිය ඔහුගේ නවාතැන විය. එපමණක් නොව, සංචාරක මුස්ලීම්වරුන්ගේ තාවකාලික නවාතැන ද පල්ලිය විය. (මෙය අදටත් එසේමය)

ඇප උපස්ථාන නිවාසයක් ලෙස

මුහම්මද් (සල්) තුමාගේ කාලයේ වැඩිහිටියන් සහ රෝගී ජනතාව සදහා ඇප උපස්තාන කරන ස්ථානයක් ලෙස පල්ලිය භාවිතා කල බව ආගමික මූලාශ්‍රයන් හි සදහන් වේ. නිදසුනක් ලෙස සාද් ඉබ්න් මුආද් (රළි) තුමාට ඔහු මිය යන තුරුම උපස්ථාන කිරීම මෙහි සදහන් කල හැක.

විශේෂ අවස්ථාවල විනෝදාස්වාද කටයුතු පවත්වන ස්ථානයක් ලෙස

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් තුමා පල්ලිය තුල විවාහ ගිවිසුම් සිදු කිරීමට අනුබල දුන්නේය. එසේම අබිසීනියානුවන්ගේ ජනප්‍රවාද නැටුමක් ඉදිරිපත් කිරීමට එහි ඉඩ දුන් අතර එම නැටුම නබිතුමාණන් තම බිරිඳ වන අයිෂා (රළි) තුමිය සමඟ නැරඹූ බව ද අල්හදීසයන් හි සදහන් වේ.

පල්ලි පරිපාලනය කලයුත්තේ කවුරුන් විසින්ද?

මුස්ලිම් “පල්ලි“ යනු ඇදහිලිවන්තයන්ගේ කටයුතුවල න්‍යෂ්ටියයි. ඉස්ලාමීය ඉතිහාසය පුරාවට මුස්ලීම් සමාජයට බලපාන තීන්දු තීරණ සියල්ල ගන්නා සුවිශේෂි මධ්‍යස්ථානය මෙම පල්ලියයි. වර්ථමානයේ විවිධ වූ ආගමික කල්ලිවාදීන් විසින් මුස්ලීම් පල්ලි ආක්‍රමණය කරමින් ආගමික රාමුවෙන් බැහැරව පටු ලෞකික න්‍යායපත්‍රයන්ට කටයුතු කලත් මුහම්මද් (සල්) තුමාණන් ආදර්ශ ලබාදුන් පල්ලි එසේ නොවීය. මෙම පල්ලි නොහොත් අල්ලාහ් (දෙවි)ගේ නිවසේ වැදගත්කම සහ වත්මන් සමාජ ක්‍රියාකලාපය ඉස්ලාම් දහම මීට වසර 1400 කටත් පෙරම දුටූ නිසාදෝ එහි පරිපාලනය ව්‍යූහය කෙසේ වියයුතුද? යන්නත් ඉස්ලාම් දහම අල්කුර්ආනය තුලින් මිනිස් සමාජයට මඟපෙන්වීම් ලබාදී ඇත. එම අල්කුර්ආනීය ඉගෙන්වීම මෙසේය,

“කුෆ්ර්“ භාවය(ප්‍රතික්ෂේපවාදය)ට තමන් විසින්ම සාක‍ෂි දරද්දි ඔවුනට අල්ලාහ් (දෙවි)ගේ (නමදින) මස්ජිදයන් (දේවස්ථාන) පරිපාලනය කිරීමට මුෂ්රික්වරුන්ට අයිතියක් නැත. ඔවුන්ගේ සියලූ කටයුතු අපතේ ගියා වේ. තවද ඔවුහු සදාකාලයෙහිම අපා ගින්නෙහි වෙසෙති. අල්ලාහ්ගේ දේවස්ථානවල භාරකරුවන් සහ පරිපාලකයින් වීමට සුදුස්සෝ අල්ලාහ් සහ අවසාන දිනය ගැන ඊමාන්(විශ්වාස) තබා සලාතය ඉටුකර zසකාත් ගෙවා අල්ලාහ්ට හැර වෙනත් කිසිවකුට බියබැතිමත් නොවන අය පමණක් වෙති. ඔවුන් යහමඟ වූවන්ගෙන් විය හැකිය.

අල්කුර්ආනය 9-17 සහ 18

ඉහත අල්කුර්ආන් වාක්‍ය මඟින් පල්ලි පරිපාලනය කරන්නන්ගේ සුදුසුකම් කුමක් වියයුතුද? යන්න අල්ලාහ් (දෙවි) විසින්ම විස්තර කරයි. එහි ඉගෙන්වීම අනුව එම පාර්ශවයන් වන්නේ,

පල්ලි අලංකාර කිරීම

අලංකාරව යමක් නිර්මාණය කිරීම සහ එය අගය කිරීම මිනිසාට සහජයෙන්ම ඇති ආශාවකි. ඉස්ලාම් යනු ස්වභාවික සහ තාර්කික ආගමක් වන බැවින්, එහි කලාත්මක නිර්මාණශීලීත්වයට හෝ සුන්දරත්වය භුක්ති විඳීමට අවසර තිබේ. එසේම ඉස්ලාම් දහම අලංකාරය මිනිස් සමාජයට උනන්දු කරන දහමකි. මෙය පහත මූලාශ්‍ර ඉගෙන්වීමන් තුලින් ද පැහැදිලි වේ.

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදි “අල්ලාහ් (දෙවි) අලංකාර බැවින් ඔහු අලංකාරයම ප්‍රිය කරයි.“

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලිම්

නියත වශයෙන්ම අලංකාර හැඩයකින් අපි මිනිසා නිර්මාණය කළෙමු.

අල්කුර්ආනය 95:4

ඉස්ලාම් දහම අලංකාරය අගයන දහමක් වූවත්, දහමේ මූලික අවශ්‍යතාවයන් හා ඉගෙන්වීමන් නොසලකා හරිමින් කරන අලංකාරයන් ඉස්ලාම් අනුමත කරන්නේ නැත. ඒ අනුව පල්ලියක් අලංකාර කිරීම යන්න සමස්ථ මුස්ලීම් ප්‍රජාව පල්ලිය සමඟ සමීපව කටයුතු කරමින් දේව නැමදුමන් හි නිසිලෙස නිරතවීමයි. ශක්තිමත් නිවාස සහ මාලිගා ගොඩනඟා තිබූ මදීනා සමාජයේ නබිතුමාණන්ගේ පල්ලියේ ස්වභාවය හදීස් ග්‍රන්ථයක මෙසේ විස්තර කෙරේ,

“මුහම්මද් (සල්)තුමාගේ කාලයේ පල්ලියේ කුළුණු රට ඉඳි ගස් වලින් සාදා තිබූ අතර එහි වහල රට ඉඳි කොළ වලින් සකසා තිබුණි“ යනුවෙන් ඉබ්නු උමර් (රලි) තුමා පවසයි. අබු බක්කර් (රලි) තුමාණන්ගේ කාලයේ එම  රට ඉඳි කඳන් හා පත්‍ර කාලයත් සමඟ දිරාපත් වී තිබූ නිසා ඔහු විසින් එය නැවත රට ඉඳි කඳන් හා පත්‍ර යොදා නැවත ගොඩනඟන ලදී. ඒවා නැවත දිරාපත් වූ විට, උස්මාන් (රලි) තුමා කාලයේ, එය ගඩොල්වලින් ඉදි කොට සකසන ලදී.“ 

මූලාශ්‍ර ග්‍රන්ථය - අබූදාවූද්සු

ඉහත වාර්ථාව තුලින් පැහැදිලි වන්නේ එදා පල්ලියේ භෞතික අලංකාරය පිලිබදව නබිතුමාණන් හෝ එතුමාණන්ගෙන් පසු පාලකයා වූ අබූබක්කර් (රලි) තුමා හෝ එතුමාගෙන් පසු පාලකයා වූ උමර් (රලි) තුමා හෝ වැඩි සැලකිල්ලක් නොදැක් වූ බවයි. අව්වෙන් හා වැස්සෙන් ආරක්ෂා වී දේව නැමදුම සහ අනිකුත් සමාජ සුබසාධන කටයුතු මෙහෙයවීමට අවශ්‍ය පහසුකම් සකසා ගැනීම පමණයි එහි අරමුණ වී තිබුණේ. නමුත් ඒ සියල්ල නොසලකා හරිමින් විශාල “ඩූම්“ ඉදි කරමින්, වර්ණවත් ආලෝක දල්වමින් සහ විවිධ වර්ණ තින්ත ආලේප කරමින් කරන පල්ලි අලංකාර කිරීමන් සැබෑ අලංකාරය ලෙස ඉස්ලාම් දහම නොදකී. ඒ පිලිබදව නබිතුමාණන් මේ සමාජයට කල අවවාදයන් කිහිපයක් මෙහි ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නේ නම්,

“මිනිසුන්ගේ කුසල ක්‍රියාවන් දුර්වල වූ විට, ඔවුන් තම මුස්ලිම් පල්ලි අලංකාර කිරීමට පටන්නේය.“

මූලාශ්‍ර ග්‍රන්ථය - ඉබ්නු මාජා

“(ලෝක අවසාන) විනිශ්චය දිනය ආසන්න වීමේ එක් ලකුණක් වනුයේ මිනිසුන් පල්ලි සැලසුම් කිරීම, ඉදිකිරීම්, සැරසිලි සහ ඊට අදාළ අනෙකුත් සියල්ල සම්බන්ධයෙන් එකිනෙකා අතර පුරසාරම් දෙඩීමට පටන් ගැනීමයි.“

මූලාශ්‍ර ග්‍රන්ථය - අබූදාවූද්

"යුදෙව්වන් සහ කිතුණුවන් යන දෙපිරිසම කළාක් මෙන් ඔබ නිසැකවම ඔබගේ පල්ලි අලංකාර කරනු ඇත."

මූලාශ්‍ර ග්‍රන්ථය - අබූදාවූද්

පල්ලිවල අරමුණ තේරුම් නොගෙන කරනු ලබන අලංකාරයන් මෙලෙස ඉස්ලාම් දහමේ අවවාද කලත්, එයින් මුස්ලිම් පල්ලි අලංකාර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ක්‍රියාවක් යන්න අදහස් නොවේ. ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන අල්කුර්ආනය හෝ අල්හදීසය තුලින් සෘජුවම මුස්ලිම් පල්ලි අලංකාර කිරීම තහනම් කරන ඉගෙන්වීමන් දක්නට නොමැත. නමුත් අල්ලාහ් (දෙවි) අලංකාරය ප්‍රිය කරන බවට සදහන් ඉගෙන්වීමන් අප ඉහතින් ද බැලුවෙමු. ඒ අනුව මෙහි තේරුම් ගතයුතු කාරණය පල්ලියක් අලංකාර කිරීම යනු එහි භෞතික අලංකාරයට එහා ගිය එකක් බව තේරුම් ගතයුතුය.

පල්ලිය යනු ඇදහිලිවන්තයන්ගේ පැවැත්මේ කේන්ද්‍රස්ථානයයි. සමාජයක් සංවර්ධනය කිරීමේදී පල්ලිය එහි කේන්ද්‍රගතව කටයුතු කලයුතුය. මුස්ලීම් සමාජයක් තුල සිදුවන ලෞකික සංවර්ධනයන් පවා පල්ලිය මූලික කරගෙන සැකසිය යුතු යන්න මාගේ ස්ථාවරයයි. සමාජය තුල ගනු ලබන තීන්දු තීරණ පල්ලිය සහ එහි අධිකාරියට අවනතව කලයුතු යන්නත් මාගේ ස්ථාවරයයි. එසේ වූ විට එම තීන්දූ තීරණවලට අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදය හිමිවනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. එසේ නොවන තැන එහි ඇත්තේ පුහු ආඩම්භරයෙන් හා ලෞකික අරමුණු මත පදනම් වූ ඉස්ලාම් දහමට පරස්පර ක්‍රියාවන් ගොන්නක් පමණී. මේ ආකාරයට වර්ථමාන මුස්ලීම් සමාජය පල්ලිවල සැබෑ ක්‍රියාකාරකම් නොසලකා හරිමින් සහ ඒ වෙනුවට එහි භෞතික පෙනුම කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීමට පටන් ගැනීම මූලික කරගෙනයි නබිතුමාණන් පල්ලිවල භෞතික අලංකාරය සම්බන්ධයෙන් ඉහත ආකාරයට අවවාද කලේ යන්න මාගේ අදහසයි.

පල්ලි තුල පරිපාලන දෝෂ සහ ආගමික අනාචාර

මුස්ලීම් සමාජය පල්ලිය මූලික කරගෙන ඉස්ලාම් ආගමික හා සමාජීය සුබසාධන ක්‍රියාකාරකම් හි නිරතවීම කෙසේ වෙතත් ඉස්ලාම් විරෝධී කටයුතු සදහා මෙම පල්ලිය යොදා ගැනීම නම් අඩුවක් නැතුව දක්නට ලැබේ. විශේෂයෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල මෙම තත්වය උග්‍රව දක්නට ලැබේ. ශ්‍රී ලාංකීය සමාජය පදනම් කරගෙන එවැනි අනාචාරයන් කිහිපයක් මෙහි පහතින් ඔබේ විමසුමට පෙලගසන්නේ නම්,

පල්ලි තුල සොහොන් වන්දන සහ ආගමික අනාචාර

මුහම්මද් (සල්) තුමාණන් වරක් කිතුනුවන් සම්බන්ධයෙන්ගැ පැවසීමේ දී "ඔවුන් අතර සිටින භක්තිවන්ත මිනිසෙකු මිය ගිය විට, ඔහුගේ සොහොන මත ඔවුන් පින්තාරු කොට පූජනීය ස්ථානයක් ඉදි කරන්නේය. මේවා අල්ලාහ් (දෙවි) හමුවේ නරකම ගොඩනැඟීමයි (මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි). - දැන් මොහොතක් මුස්ලීම් සමාජයේ ඇති පල්ලි පිලිබදව සිතා බලන්න. එහි මියගිය පූජකවරුන්ගේ සොහොන් ඉදි කොට එයට භාරහාර කරන පල්ලි කොතෙක් තිබෙනවාද?. අල්ලාහ් (දෙවි)ගේ නිවස තුල ඔහුගේ මැවීමන් අතුරින් එකක් වන මිනිසෙකු මියගිය සොහොනට භාරහාර කරන මේ මුස්ලීම් සමාජය කොතරම් දුර්මඟක සිටිනවාද? යන්න දැන්වත් සිතා බැලිය යුතු නොවේද? (මේ පිලිබදව වැඩි විස්තර සොහොන් වන්දනය විමසුමක් යන ලිපිය තුලින් කියවන්න).

ගොඩනැඟිල්ලට දක්වන උනන්දුව දහමට නැත

වර්ථමාන මුස්ලීම් සමාජය පල්ලි අලංකාර කරන්නේ මිනිසුන්ගේ ආධ්‍යාත්මික මානයන් නොසලකා හරිමින් ගොඩනැඟිල්ලේ ස්වරූපය සහ බාහිර පෙනුම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වමිනි. මේ පිලිබදව ඉස්ලාමීය අවවාදයක් මෙහි ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නට කැමැත්තෙමි. එනම්, “(ලෝක විනාශ වී) විනිශ්චය දිනය ආසන්න වීමේ ලකුණු අතර ‘මුස්ලිම් පල්ලි අලංකාර කිරීම, මිනාර් එසවීම සහ සමූහ සලාතය මග හැරීම‘ යනාදීය වේ.“ මෙම සලකුණු අප සමාජය තුල සුලබව දක්නට තිබෙනවා නොවේද?. පල්ලි අතර තරඟකාරීමව උස් ගොඩනැඟිලි නිර්මාණය කිරීමත්, වර්ණවත් කිරීමත්, බල්බ් වැල් යොදා අනවශ්‍ය ලෙස ආලෝකමත් කිරීමත්... අද මුස්ලීම් පල්ලිවල සුලබ දසුනකි. නමුත් මේ ක්‍රියාවන් කිසිවක් ඉස්ලාම් නොවන බව මුස්ලීම් සමාජයට නොවැටහීම අවාසනාවකි.

පල්ලියට භාරකරුවන් මිස අල්ලාහ් හැර අයිතිකරුවන් නොමැත

වර්ථමාන පල්ලි පාලන අධිකාරී බොහෝමයක් පල්ලිය තුල කටයුතු කරන්නේ පල්ලියේ භාරකරුවන් ලෙස නොව අයිතිකරුවන් ලෙසය. මා මෙසේ පැවසීමට හේතු රාශියක් ඇත. එනම්,

  • ඔවුන් පල්ලියේ පරිපාලනයට එහා ගොසින් ආගමික කටයුතු පවා තීන්දු තීරණ ගැනීමටත්, එහි සීමාවන් පැනවීමටත් කටයුතු කරන අවාසනාවන්ත තත්වයන් දකින්නෙමු. එපමණක් නොව ඉස්ලාම් දහමට පරස්පර තම පුද්ගලික ඇදහිලි හා විශ්වාස පල්ලිය ආශ්‍රිතව කටයුතු කරන පොදු ජනතාව මතද පැටවීමට උඩඟුකමින් කටයුතු කරන ආකාරයන් දක්නට ඇත. (නිදසුනක් ලෙස “කන්දූරි“ නම් දානමය කටයුතු, මව්ලූද් නම් මියගිය පුද්ගල ඇදහිලි, ශබ්ද විකාශන යන්ත්‍ර තුලින් ශබ්ද නඟා “සික්ර්“ කිරීම, අල්ලාහ් (දෙවි) නොවන වෙනත් අයගේ කිසිදු පදනමක් නොමැතිව ගුණවර්ණනය, බරාත් නම් මිත්‍යා දෘෂ්ඨික සැමරුම්... යනාදීය එවැනි කිහිපයකි.)
  • සමහරක් පල්ලි පරිපාලන සභාව සිතා සිටින්නේ පල්ලිය තමාගේ පරම්පරාගත බූදලයක් ලෙසයි. ඔවුන් පල්ලි පරිපාලකයන් වීමට නොගන්නා උත්සාහයක් නැත. පල්ලි පරිපාලන සභාවට පත්වීම සදහා ඉතා පහත් අන්දමේ කටයුතුවල පවා නිරතවන ආකාරයත්, වෙනත් කෙනෙකු එම වගකීමට පත්වන විට එයට එරෙහිව විවිධ කුමණ්ත්‍රන කරන ආකාරයත් පල්ලි පරිපාලන නිලවර්ණයන් තුල සුලබව දකින්නට ලැබේ. (මේ පිලිබදව වැඩි විස්තර (පල්ලි පරිපාලනය සම්බන්ධ නීතිමය කටයුතු කරන රජයේ ආයතනය වන) “වකුෆ්“ සභා නියෝජිතයෙකුගෙන් කරුණු විමසුවේ නම් වැඩි විස්තර දැනගත හැක.) විශේෂයෙන් තරුණ පිරිසට අවස්ථාවන් ලබාදීමට වැඩිහිටි පාර්ශවයන් මැලිබවක් දැක්වීමත්, ප්‍රදේශයේ ධනවත් පිරිස්ම මෙවැනි සභාවලට නිරන්තරයෙන් පත්වීමත්, සලාතය පවා ඉටු කිරීමට පල්ලියට නොඑන එසේම ආගමික වශයෙන් විවිධ වි‍වේචනයන්ට ලක්වූ පිරිස් පල්ලි පරිපාලනයට තේරී පත්වීමත්, හිටපු පාලකයින් තම තනතුරු අත්හැරීමට අකමැතිවීමත්... වැනි තත්වයන් නිසා ඉහත සදහන් අර්බුදය ඇතිවීම දක්නට ලැබේ.
  • පල්ලි පරිපාලනයට පත්වන පිරිසගේ සුදුසුකම අල්කුර්ආනය 9-17 සහ 18 වාක්‍ය මඟින් පැහැදිලිව පේනවා දී ඇත. (මෙය මීට ඉහත විමසා බැලුවෙමු.) එනම්, පරිපාලනයට සම්බන්ධ වන පාර්ශවයන් 1./ “කුෆ්ර්“ මුෂ්රික්වරුන් නොවිය යුතුය, 2./ මරණින් පසු උදාවන විනිශ්චය දිනය විශ්වාස කරන අය වියුතුය, 3./ නිසි පරිධි සලාතය ඉටුකර අය වියයුතුය, 4./ zසකාත් බද්ධ ගෙවන්නන් විය යුතුය, 5./ අල්ලාහ් (දෙවි)ට හැර වෙනත් කිසිවකුට බිය වන්නන් නොවිය යුතුය, යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්විමයි. ඒ අනුව මෙම සුදුසුකම සපුරන ඕනෑම කෙනෙකුට ඉහත තනතුරු සදහා ඉදිරිපත් විය හැක. එහි තරුණ, වැඩිහිටි හෝ ධනවත් (හාජියාර්ලා) භේදයක් ඉස්ලාම් දහම යෝජනා කොට නැත. නමුත් සමාජය සම්ප්‍රදායක් ගොඩනඟාගෙන ඇත්තේ පල්ලි පරිපාලනයට සම්බන්ධ වියයුත්තේ ගමේ වැඩිහිටි ධනවත් (හාජියාර්ලා) සහ පූජකවරුන් (මව්ලවිලා) යනුවෙනි. මෙය වැරදි අවබෝධයකි. පල්ලි පරිපාලනයට අවශ්‍ය වන්නේ “තක්වා“ (දේව අවනතභාවය) සහ නිර්මාණාත්මක ජවයයි. මෙය වැඩිහිටියන්ට සාපෙක්ෂව තරුණ ප්‍රජාව තුල අධික යන්න මාගේ විශ්වාසයයි. එමනිසා පල්ලි පරිපාලනය තුල තරුණ නියෝජනයට ඉඩක් ලබාදිය යුතු යන්න මාගේ අදහසයි.

තරුණයනි!, ආවේගී නොවී බුද්ධිමත්ව කටයුතු කරන්න

මෙතැනදී තරුණ ප්‍රජාවට ද කිවයුතු කාරණයක් ඇත. පල්ලි පරිපාලනය යන්න සරල කාරණයක් නොවන බව තේරුම් ගතයුතුය. එය අල්ලාහ් (දෙවි)ගේ නිවස පරිපාලනයයි. එහිදී ආගමික විනය හා දැනුම ඉතා වැදගත් සාධක වේ. ස්වභාවයෙන්ම තාරුණ්‍යය තුල ආවේගය පැවතීම සත්‍ය වූවත් එය ශෙයිතාන්ගේ කුමණ්ත්‍රනයක් බව තේරුම්ගෙන අවබෝධයෙන් කටයුතු කලයුතුව ඇත. තමන්ට පල්ලි පරිපාලන නියෝජනය හිමි නොවුනත් එසේ පත්වන පාර්ශවයන් සමඟ සුහදව සාකච්චා කරමින් පල්ලියේ කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය සැලසුම් සාකච්චා කරමින් ඔවුන්ගේ අනුමැතියට යටත්ව කටයුතු කිරීමට විනය හදාගත යුතු මිස පල්ලි පරිපාලනයට එරෙහිව කුමන්ත්‍රණ කිරීම ඉස්ලාම් නොවන බවට තේරුම් ගතයුතුය.

අල්ලාහ්ගේ නිවස තුල නාස්තිය, දූෂණ හා වංචා එපා

අද වනවිට මුස්ලීම් පල්ලි බොහෝමයක් තුල නාස්තිය, ධනය අනිසි ලෙස පරිහරණය කිරීම, දූෂණය යනාදිය වාර්ථා වීම දක්නට ලැබේ. අල්ලාහ් (දෙවි)ගේ මාලිගාව තුල සොරකම්, දූෂණ හා වංචා කරන පිරිසට අල්ලාහ් (දෙවි)ගේ දණ්ඩුවම කොතරම් දරුණු ඇත්ත ද යන්න සිතා බැලිය යුතුව ඇත.

ඉදිරියට...


මෙම ලිපියේ නව යාවත්කාලීන ඉදිරියට...


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/01/13

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම