වහල් සංකල්ප හා එහි කාන්තාව විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනක ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය කිහිපයක් මුල් කරගත් චෝදනා පත්‍රයක් එක්තරා සහෝදරයෙකු විසින් ‘යහමඟ’ අඩවියට යොමු කොට තිබුණි. එය චෝදනා පත්‍රයක් ලෙස මිස පැනයක් ආකාරයට යොමු නොවුවත්, එහි මතු කරන කාරණය ඉස්ලාම් දහමට එරෙහිව ජාත්‍යන්තරයේ හා ජාතිකතලයේ නිරන්තරයෙන් මතු කරන පැනයන් නිසා ඒ පිලිබදව තරමක් ගැඹුරින් සාකච්චා කිරීමට මෙහිදී අදහස් කරමි. එම චෝදනාව නම්,

කුරානයේ මුහම්මද් ගේ අල්ලා දෙවියන් අත්අඩංගුවේ සිටින ගැහැනුන් දූෂණය කිරීම නිත්‍යානුකූල කර ඇත. එනම් ඊනියා “දකුනු අතට අයිති” ගැහැනුන් දූෂණය කිරීම, ඔවුන් ඉන් ‍පෙර විවාහයට පත් අය වුවත්, වලංගුවන බවයි.

ඉහත චෝදනාව තහවුරු කිරීම සදහා එහිදී ඔහු විසින් 4-24, 33-50, 4-3 යන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් ද ගෙන හැර දක්වා තිබූණි. ඔහු විසින් මතු කරන එම කාරණය පිලිබදව තරමක් ගැඹුරින් විමසා බැලීමට පෙර සදහන් කලයුතු වැදගත් කාරණයක් ඇත. එනම් ඕනෑම සමාජයක් නීතිරීති තුලින් හෝ වෙනයම් ක්‍රමවේදයන් තුලින් විධිමත්ව රුකීමට නම් ඒ සදහා කරුණු දෙකක් සම්පූර්ණ වීම අත්‍යඅවශ්‍ය වේ. මිනිස් ස්වභාවයට එකඟව පිහිටීම හා ඕනෑම අවස්ථාවකට, අවශ්‍යතාවයකට විසදුම් ලබාදීමේ හැකියාව යන්න එම අවශ්‍යතාවයන් දෙකයි. එසේ නොවන නීතිරීති දිගුකල් නොපවතින අතර ඒ තුලින් සමාජයේ විධිමත් බව ආරක්ෂා කිරීමට නොහැකි වේ. මේ හේතුව නිසා තමා ඉස්ලාම් දහම නීතිරීති පැනවීමේ දී පටු සීමාවන් තුල කටයුතු නොකොට දීර්ඝ කාලීන සමාජ යහපත් උදෙසා නීතිරීති පනවමින් සමාජ විධිමත්භාවය ආරක්ෂා කිරීමට ක්‍රියා කොට ඇත්තේ. එයට ‘වහල් මිනිස් සංකල්පය’ සම්බන්ධයෙන් ඉස්ලාම් දහම අනුගමනය කරන ක්‍රමවේදය ද හොද නිදසුනකි.

ඒ පිලිබදව දැන් විමසා බලමු. මෙහිදී ප්‍රථමයෙන් සදහන් කලයුතු කාරණය නම්, වහල්ලුන් සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ඉගෙන්වීම තුලින් ඉහතින් මතු කරන කාරණය බොහෝ දුරකට සත්‍යයකි. ඔහු එය ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් 03 ක් පදනම් කරගෙන සදහන් කලත්, ඒ පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ තැන්වල සදහන් වේ. එවැනි තවත් ස්ථාන කිහිපයක් සදහන් කරන්නේ නම්, 4-3, 4-24, 4-25, 4-36, 16-71, 23-6, 24-31, 24-33, 24-58, 30-58… යනාදී වාක්‍යයන් එවැනි තවත් කිහිපයකි. මෙලෙස ඉස්ලාම් අණ කරන මෙම ‘වහල් මිනිස් සංකල්පය’ අද වනවිට ලොව තුල ක්‍රියාත්මක නොවන නිසා ‍වර්ථමානයේ ජීවත් වන අපට ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය අවබෝධ කරගැනීම තරමක් අපහසු වන්නට පුළුවන. නමුත් ඈත් අතීතයේ පටන් මෑතක් වනතුරු ‘වහල් මිනිස්සු’ යන සංකල්පය ලොව තුල පැවතුනා යන්න කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. ඉස්ලාම් දහම අරාබි දේශයේ ප්‍රකාශ වන ආරම්භ කාලය සැලකූවිට එහි වහල් කාන්තාවන් හා පිරිමීන් වෙළද පොළවල විකිණෙන අලෙවි භාණ්ඩයක්ව පැවතුණූ බව ඉස්ලාමීය මූලාශ්‍රවල මෙන්ම ඉතිහාස ග්‍රන්ථවල ද සදහන් වේ. ඉස්ලාමීය ඉතිහාසයේ සුවිශේෂි චරිතයක් වන බිලාල් (රලි) තුමාණන් එලෙස වෙළද පොලේ අලෙවි වූ එවන් එක් සහාභිවරයෙකි (මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීන අනුගාමිකයෙකි). මේ අනුව ඉස්ලාම් ප්‍රකාශ වන ආරම්භ කාලයේ අරාබි දේශයේ ‘වහල් මිනිස්’ සංකල්පය පැවතුණා යන්නත්, එය ඉස්ලාම් දහම තුල නිර්මාණය වූ නව සංකල්පයක් නොවනවා යන්නත් පැහැදිලිය. දැන් මෙහිදී ඔබට පැනයක් මතු වන්නට පුළුවන. එනම්, ඉහත ශුද්ධ වූ කුර්ආන් පාඨයන්ට අනුව එම ‘වහල් මිනිස් සංකල්පය’ ඉස්ලාම් දහම තවදුරටත් අනුමත කර තිබෙනවා නොවේද? යන්නයි.

ඉහත ශුද්ධ වූ කුර්ආන් පාඨයන් දෙස බලන වි‍ට එවැනි සැකයක් ඇති වීම කිසිසේත් නොවැලැක්විය හැකි කාරණයකි. නමුත් එම වාක්‍යයන් තුල ගැබ්ව තිබෙන කරුණූ පිලිබදව ගැඹූරු අධ්‍යනයක් කලේනම්, එම තර්කය කොතරම් පටු එකක් ද යන්න පැහැදිලි වනු ඇත. ඒ කෙරෙහි අවධානය යොමු කිරීමට පෙර මෙහිදී අවබෝධ කර ගතයුතු මූලික කාරණයක් ඇත. එනම්, ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීම යන්න එය ශුද්ධ වූ කුර්ආන් පාඨයක් හෝ හදීසයක් එසේත් නැත්නම් එහි ද කොටසක් පදනම් කරගෙන සිදුකල හැකි එකක් නොවේ. විශේෂයෙන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් අවබෝධකර ගැනීමට යාමේදී අනුගමනය කලයුතු ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඇත. එම කොන්දේසි ද හොදින් දැනසිටීම අත්‍යඅවශ්‍ය වේ. එනම්,

  • කිසියම් වාක්‍යයක කොටසක් පමණක් ගෙන තවත් කොටසත් අත්හැර දැමීම සිදු නොකලයුතුය,
  • කිසියම් වාක්‍යයක් කියවීමේදී ඊට පෙර හා පසු වාක්‍යයන් හි සදහන් කරුණු ද විමසා බැලිය යුතුය,
  • තමා විසින් පදනම් කරගන්නා වාක්‍යයට අදාලව වන ශුද්ධ වූ කුර්ආනයේ සදහන් අනිකුත් වාක්‍යයන් ද විමසා බැලීම අත්‍යඅවශ්‍යය,
  • තමා පදනම් කරගන්නා වාක්‍යය පිලිබදව නබිතුමාණන්ගේ විග්‍රහය කුමක්ද? යන්නත් විමසා බැලීම අවශ්‍යය,
  • එම වාක්‍යය පහලවීමට පසුබිම් වූ සිදුවීම හා එම සමාජ සම්මතයන් දැන සිටීමත් අවශ්‍යය,

ඉහත කොන්දේසි සියල්ල එකම විට අනිවාර්‍ය අවශ්‍යතාවයක් නොවුවත් ශුද්ධ වූ කුර්ආනය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා එයින් වැඩි සංඛ්‍යාවක් සැපිරීම අත්‍යඅවශ්‍ය වේ. මෙම තත්වය වඩාත් හොදින් වටහා ගැනීම සදහා එනම්, ඉහත කොන්දේසිවල අවශ්‍යතාවය වඩාත් හොදින් අවබෝධකර ගැනීම සදහා ශුද්ධ වූ කුර්ආනයෙන් නිදසුන් කිහිපයක් ඔබේ විමසුමට ගෙන එන්නේ නම්,

  • ශුද්ධ වූ කුර්ආනයේ 9-5 වාක්‍යය මඟින් ‘මුස්ලිම් නොවන අනෙකුත් අයවත්, සතුරන්වත්, එකඟ නොවෙන සියල්ලන්වත් මරා දමනු’ යනුවෙන් පවසයි. මෙම වාක්‍යය දෙස බලන විට ඉස්ලාම් දහම මුස්ලීම් සමාජය කෙරෙහි මිලෙච්ඡත්වයක් අවධාරණය කරන බවක් පෙනීයයි. මෙම වාක්‍යය පදනම් කරගෙන ශ්‍රී ලාංකීය සමාජය තුල පවා ඉස්ලාම් දහමට එරෙහිව පුළුල් ප්‍රචාරණයන් සිදුවන ආකාරය මීට ඉහත මෙම අඩවිය තුලම අනාවර්ණය කොට ඇත. (පහත ලිපිය මඟින් එය කියවීමට පුළුවන) නමුත් එම ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට පෙර වාක්‍යය වන 9-4 වාක්‍යය හා පසු වාක්‍යය වන 9-6 වාක්‍යය හොදින් විමසා බලන්නේ නම්, ඉස්ලාම් 9-5 වාක්‍යයෙන් පවසන්නේ කුමක් ද? යන්න පැහැදිලිව වටහා ගතහැක. එය තවදුරටත් හොදින් අවබෝධ කරගැනීම සදහා මේ සම්බන්ධයෙන් එන අනිකුත් ශුද්ධ වූ කුර්ආන් පාඨයන් හා හදීසයන් (නබිතුමාණන්ගේ විග්‍රාහයන්) බැලීම අත්‍යඅවශ්‍ය වේ. මේ පිලිබදව වැඩි විස්තර කියවීම සදහා ‘මුස්ලීම් නොවන පිරිස් ඝාතනයට ඉස්ලාම් අණ කරන්නේද?’ යන මෙම ලිපිය කියවන්න.
  • ශුද්ධ වූ කුර්ආනයේ 4-43 වාක්‍යය මඟින් ‘වැදුම් පිදුම් කරන මොහොතේ මත්පැන් භාවිතයෙන් වලකින්න’ යනුවෙන් අණ කරයි. මෙම වාක්‍යය පදනම් කරගෙන ‘ඉස්ලාම් දහම මත්පැන් පානය මුස්ලීම්වරුන්ට අනුමත කරයි. වන්දනාමාන කරන මොහොතේ පමණක් එයින් වැලකීම ප්‍රමාණවත් යයි පවසයි’ යනුවෙන් කිසිවකු පවසයි නම්, එහි වරදක් නැත. නමුත් මේ සම්බන්ධව ශුද්ධ වූ කුර්ආනය හා හදීසයන් පවසන අනිකුත් කාරණයන් හා මෙම වාක්‍යය පහල වූ සමාජ තත්වය හොදින් විමසා බලන්නේ නම් ඉහත නිගමනය සම්පූර්ණ වැරදි බවත්, ඉස්ලාම් දහම මත්පැන් භාවිතය පමණක් නොව අලෙවිය පවා සම්පූර්ණයෙන් තහනම් කර ඇති ආකාරය දැකගත හැක. මේ පිලිබදව වැඩි විස්තර කියවීම සදහා ‘මත්පැන් භාවිතයට එරෙහිව ඉස්ලාමීය ආදර්ශය’ යන මෙම ලිපිය කියවන්න.
  • ශුද්ධ වූ කුර්ආනයේ 107-4 වාක්‍යය මගින් ‘සලාත් කරන පිරිසට විනාශයමය” යනුවෙන් පවසයි. මෙම කොටස පමණක් සැලකූවිට ‘සලාත්’ (දෛනිකව කරන පස්වේල වන්දනය) මුස්ලීම් සමාජයට භයානක ඉරණමක් උදාකර දෙන්නක් ලෙස පෙනෙනු ඇත. නමුත් එහි පැවසෙන කාරණය සම්පූර්ණයෙන් විමසා බලන විට එහි පැවසෙන්නේ කුමක්ද? යන්න සරලව අවබෝධ වේ.
  • ශුද්ධ වූ කුර්ආනය ‘සකාත්’ නම් අනිවාර්‍ය බද්ධක් මුස්ලීම් සමාජය කෙරෙහි දැඩිව අවධාරණය කරයි. නමුත් එය කුමණ ආකාරයට බෙදා දියයුතු ද යන්නත්, එහි ගණනය කිරීමන් කුමණ ආකාරයට පැවතිය යුතුද? යන්නත්, පැහැදිලි විග්‍රහයන් ඇත්තේ ශුද්ධ වූ කුර්ආනයේ නොව මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයේ හෙවත් ‘හදීස්වලය’.

මේ ආකාරයට ඉස්ලාමීය ඉගෙන්වීමන් කොටසක් ගෙන කොටසක් නොසලකා හැර හෝ ප්‍රතික්ෂේප කොට දහම අවබෝධ කරගැනීමට හෝ විවේචනය කිරීමට යාම අනවබෝධයක් මිස බුද්ධිමත් ක්‍රියාවක් නම් නොවේ. එම කාරණය හොදින් මතකයේ රදවාගෙන දැන් මාතෘකාව වෙත අවධානය යොමු කරමු.

නුඹලා‍ගේ වහල් ස්‍ත්‍රීන් හැර ස්වාමියා ඇති (නිදහස්) ස්ත්‍රීන් විවාහ කරගැනීම නුඹලාට තහනම් යන්න අල්ලාහ් ‍(දෙවි) පැනවූ නීතිය වේ. ඒ හැර අන් ස්ත්‍රීයක් සමඟ විවාහ ගිවිස ගැනීමේ දී ‘මහර්’ (මනාලයා විසින් මානාලිය වෙත ලබාදිය යුතු අනිවාර්‍ය මුදල් හෝ (මනාලිය එකඟ වන) වෙනත් වටිනා වස්තූන්) තොගය නිසි ලෙස අනිවාර්‍යයෙන් ඇයට ලබාදෙන්න…

ශුද්ධ වූ කුර්ආනය – 4-24

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අමතරව 4-3, 4-25, 4-36, 16-71, 23-6, 24-31… යනාදී බොහෝ තැන්වල ඉහත කාරණය එනම්, ‘හාම්පුතෙකුට තම වහල් ස්ත්‍රීය (ඇය විවාහක කාන්තාවක් වූවද) විවාහ කර නොගෙන ඇය හා මෛථුන සේවනයේ යෙදීමට (ලිංගිකව එක්වීමට) අවසර ඇති’ බව ශුද්ධ වූ කුර්ආනය පවසයි. මුස්ලීම් නොවන ප්‍රජාව ඉස්ලාම් දහමට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා අතර මෙම විෂය ද ප්‍රධාන එකකි. 21 වන සියවසයේ ජීවත් වන මුස්ලීම් නොවන ප්‍රජාව පමණක් නොව මුස්ලීම් සමාජයේ සැලකිය යුතු පිරිසක් පවා මෙම කාරණය දෙස බලන්නේ තරමක් සැක සහිතවය. මන්ද විවාහ කර නොගෙන කාන්තාවක් හා මෛථූන සෙවනේ යෙදීම කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවයක් පැවත්වීමට වෙනස් නොවන තත්වයක් ලෙස පෙනෙන බැවිණි. ඒ අනුව ඉස්ලාම් දිව්‍යමය දහමක් නම් ඒ තුල මෙවැනි ඉගෙන්වීමන් ඇයිද? යන කුතුහලය පවා දැන් ඔබට ඇති වීමට පුළුවන. එම නිසා ඒ පිලිබදව තරමක් ගැඹූරින් දැන් විමසා බැලීම අත්‍යඅවශ්‍ය වේ. ශුද්ධ වූ කුර්ආනය වහල් ස්ත්‍රීන් හා පුරුෂයන් සම්බන්ධයෙන් විවිධ වූ නීතිරීති කථා කරයි. නමුත් නූතන ලෝකයෙන් මෙම ‘වහල් මිනිස් සංකල්පය’ අද තුරන් වී ඇති තත්වයන් තුල එය සරලව අවබෝධ කර ගැනීම එතරම් පහසු කාරණයක් නොවේ. මේ නිසා එහි ඉතිහාසය (විශේෂයෙන් ඉස්ලාම් දහම ප්‍රකාශ වූ මුල් කාලයේ පැවති වහල් සංකල්පය) පිලිබදව කෙටි විමසුමක් සිදුකිරීම ඉහත විෂය වඩාත් හොදින් අවබෝධ කර ගැනීමට පහසුවක් වනු ඇත.

ඉස්ලාම් දහම මුහම්මද් (සල්) තුමාණන් මඟින් ප්‍රකාශ වූ මුල් කාලය (ජාහිලියා – මේ පිලිබදව මෙම අඩවිය තුල දීර්ඝ ලෙස කථා කොට ඇත) සැලකූ වේ නම්, එය රතු පලස්මත ගමන ඇරඹු සුන්දර ගමන් මඟක් නොවේ. එක් පසෙකින් මිත්‍යා විශ්වාසයන් තුල ගිලීගිය නොදියුණු සමාජයක්, අනෙක් පසින් සියළු දුරාචාර අපචාර රජ කරයූ සමාජයක්, ස්ත්‍රීන් හා පුරුෂයන් භාණ්ඩ වශයෙන් වෙළද පොලවල විකිණෙන සමාජයක්, ගැහැණු දරුවන් පණපිටින් වලලන සමාජයක්, නීතිය වෙනුවට අවනීතිය රජයූ සමාජයක්, ‘සියල්ලට එකම විසදුම යුද්ධ පමණයි’ යනුවෙන් යුදවාදී මනසින් ක්‍රියා කල සමාජයක්… මෙවැනි සමාජයක් තුල මුහම්මද් (සල්) තුමාණන්ට ද යුද්ධ ගණනාවක් සිදුකිරීමට සිදුවුවා යන්න සැබෑවකි. (ඒ පිලිබදව වූ වැඩි විස්තර සදහා ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට එරෙහිව යුධ චෝදනා, ත්‍රස්ථවාදය, ජිහාදය හා ඉස්ලාම්,ඉස්ලාම්, මුහම්මද් තුමා විසින් කඩුවෙන් පතුර වන ලද දහමක්ද?, මූලධර්මවාදීන් යනු කව්රුන්ද?, ජිහාද් නමින් ත්‍රස්ථවාදය – ඉස්ලාමීය විමසුමක් යන ලිපි කියවන්න) එම යුද්ධයන් තුල යුද සිරකරුවන් ඇතිවීම යන්න නොවැලැක්විය හැකි කාරණයකි. එසේම එදා පැවතී යුද්ධයන් හි සැලකිය යුතු තරම් කාන්තාවන්ද සහභාගි වීම පොදු තත්වයක් බව ඉතිහාස ග්‍රන්ථවල මෙන්ම ආගමික මූලාශ්‍රවල ද සදහන් වන අතර එම කාලයේ යුද සිරකුරුවන් සදහා ‘සිරමැදිරි’ ක්‍රමයක් ක්‍රියාත්මක නොවූ බැවින් යුධ සෙබළුන් සදහා යුධ සිරකරුවන් තම වහල්ලුන් ලෙස බෙදාදීම සාමාන්‍ය සිරිතක්ව පැවතුණි. මෙම වහල්ලුන් තම දෛනික කටයුතු සදහා සහය කරගත හැකි බවත්, එම නීතියට වහල්ලුන් බවට පත්වූ පිරිස් අවනත වියයුතු යන්නත් එවකට සෑම සමාජයකම පැවති පොදු නීතියකි. මෙලෙස වහල්ලුන් තමාට අනවශ්‍ය යැයි සිතන පිරිස් තම වහල්ලා අලෙවි කිරීම සදහා වෙළද පොලවල් පවා එදා සමාජයේ නිර්මාණය වී තිබූ අතර ඉහතින් මා සදහන් බිලාල් (රලි) තුමාණන් ඉස්ලාම් විරෝධීන් භාරයේ සිටිය දී වෙළද පොලේ අලෙවි වූ මොහොතේ අබුබක්කර් (රලි) තුමාණන් විසින් මිලදීගත් එවැනි එක් සහාභිවරයෙකි. මෙම ක්‍රමයට අමතරව කෘර ආක්‍රමණිකයන් රටවල් ආක්‍රමණය කර එහි සිටී තරුණ පිරිස් හා ලස්සන කාන්තාවන් වහල්ලුන් බවට පත්කොට තම භාරයේ තබාගත් අවස්ථාවන්ද ඉතිහාසය පුරාවට දක්නට ලැබේ. මේ ආකාරයන්ට එදා සමාජය තුල වහල්ලුන් නිර්මාණය විය. ඒ අනුව ඉස්ලාමීය ආරම්භ කාලය එනම්, මීට වසර 1400 කට පෙර කාලය සැලකූවිට මෙම ‘වහල් මිනිස් සංකල්පය’ අරාබි දේශයට පමණක් සීමා නොවූ සමස්ථ ලෝකය තුලම අඩු වැඩි වශයෙන් විටෙක කෲර ලෙස ක්‍රියාත්මක වූ සම්මත තත්වයක් යන්න මූලිකව මෙහිදී අවබෝධ කරගත යුතුය.

අතීතයේ පටන් පිරිමි වහල්ලුන් තම දෛනික කටයුතු සදහා සහය කර ගැනීමත්, ස්ත්‍රී වහල්ලුන් තම දෛනික කටයුතුවලට මෙන්ම (පිරිමීන් තම) කායික් අවශ්‍යතාවයන් සදහා උපයෝගි කර ගැනීමත් අරාබි දේශයට ආවේනික හෝ ඉස්ලාම් දහම ලෝකයාට හදුන්වා දුන් නව තත්වයක් නොවේ. ඉස්ලාම් මෙහිදී කරණු ලබන්නේ එතෙක් පැවතී එම සමාජ සම්මතයන් එහි පැවති ව්‍යාකූල හා අවිධිමත් තත්වයන්ගෙන් මුදවා විදිමත් ක්‍රමවේදයකට යටත් කිරීමයි. එය හරියට මා ඉහතින් සදහන් කලාසේ මත්පැන් සම්බන්ධයෙන් ඉස්ලාම් අනුගමනය කල මුල් ක්‍රමවේදය (එනම් 4-43) ට සමාන තත්වයකි. මෙහිදී ‘සමාජය අසාධාර්ණයන් බොහෝමයක් එක් නියෝගයකින් තුරන් කල ඉස්ලාම් දහමට මෙයත් එලෙස කරන්නට තිබුණා නොවේද?’ යන පැනය බොහෝ දෙනෙකුට ඇතිවීමට පුළුවන.

ඉහත තර්කය බැලූ බැල්මට සාධාර්ණ වූ තර්කයක් ලෙස පෙනෙනු ඇත. ඉහත 4-43 වාක්‍යයෙන් මත්පැන් භාවිතයට යම් සීමාවක් පැනවූ ඉස්ලාම් දහම ශුද්ධ වූ කුර්ආනයේ 5-90 හා 91 වාක්‍යය මඟින් එය සම්පූර්ණයෙන් මුස්ලීම් සමාජයෙන් තුරන් කල ආකාරයටම මෙයත් කරන්නට තිබුණා නොවේද? යන්න එම ප්‍රශ්නයේ හරයයි. නමුත් මත්පැන් සම්බන්ධයෙන් ඉස්ලාම් දහම අනුගමනය කල ක්‍රමවේදය වහල්ලුන් සම්බන්ධයෙන් අනුගමනය කිරීමට නොහැකි බාධක කිහිපයක් එහි තිබුණු බව පැහැදිලි ලෙස අවබෝධ කර ගතයුතුය. එනම්, යුද සෙබළුන්ට පරිත්‍යාග ලෙස ‘යුධ වහල්ලුන්’ ලැබුණද එම වහල්ලු බොහෝ විට ඒ සැණින් අලෙවි වන සම්ප්‍රදායක් එම සමාජයේ පැවතුණි. (වහල්ලු අලෙවිය සදහා පොළවල් පැවතීම එය මනාව පිළිඹිබු කරයි) මෙවැනි තත්වයක ‘වහල් මිනිස් සංකල්පය’ ඉස්ලාම් දහම එකවර තහනම් ‍කලේනම්, ඒ මඟින් එම වහල්ලුන් මිලදීගත් පිරිසට ඉමහත් අලාභයක් අසාධාරණයක් සිදුවීමට පුළුවන. එපමණක් නොව එහි ව්‍යාකූල තත්වයන් ගණනාවක් ඇතිවීමට පුළුවන. එනම් එතෙක් සමාජය තුල අනුමත නීතියක්ව පැවතී. එම නීතිය තුල මිලදීගත් වහල්ලුන් දැන් නිදහස් කිරීමට දැඩි නීතියක් පැනවීම එම මිලදී ගැනීම සිදුකල හාමුපුතුන්ට සිදුකරන තවත් බලවත් අසාධාර්ණයකි. එපමණක් නොව නිරන්තරයෙන් යුද සිදුවන එම වකවානුවේ මෙවැනි ප්‍රතිපත්තියක් ඉස්ලාම් දහම ප්‍රකාශ කලේනම්, ඒ තුලින් ඉස්ලාම් විරෝධි යුද වහල්ලුන් ඒ සැනින් නිදහස් වීමටත්, මුස්ලීම් සිරකරුවන් ඉස්ලාම් විරෝධීන් හමුවේ සදාකල් වහල්ලුන්වීමටත් ඉඩ තිබුණි. මෙය යුධමය වශයෙන් ඉතා භයානක තත්වයක් වන අතර එසේ වුවානම් බිලාල් (රලි) තුමා වැනි ශ්‍රේෂ්ඨ සහාභාවරුන් ද අපට අහිමිවන්නට ඉඩ තිබුණි. මෙවැනි අවාසිදායක තත්වයන් අවබෝධ කරගත් ඉස්ලාම් දහම ‘වහල් මිනිස් සංකල්පය’ ලොවින් තුරන් කිරීමට සූක්ෂම ක්‍රමවේදයන් උපයෝගි කර ගන්නා ලදී. ඒ පිලිබදව ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් දැන් විමසා බලමු.

  • ‘(කිසියම්) කෙනෙකු අල්ලාහ් (දෙවි) මත දිවුරා ඉන්පසු එයට විරුද්ධ වුයේ නම්, එසේත් නැත්නම් උපවාසය (නියමිත වේලාවට පෙර) අත්හලේ නම්, එයට පිලියමක් ලෙස ධනවතුන් වහල්ලුන් නිදහස් කලයුතු වේ’. යනුවෙන් ශුද්ධ වූ කුර්ආනය 2-177, 4-92, 5-89, 9-60… යනාදී
  • ඔබ‍ගේ වහල්ලුන්ගෙන් කවුරුන් හෝ ගිවිසුමකට යටත්ව නිදහස් වීමට කැමැති වන්නේ නම් ඔවුන් නිදහස් කරන්න. ඔවුන්ගේ (වහල් භවින් නිදහස් වීමට අදාල) ණය මුදල කොටස් වශයෙන් අයකර ගැනීමට සහනයක් ද ලබාදෙන ලෙස ශුද්ධ වූ කුර්ආනයේ 24-33 වාක්‍යය අවධාරණය කරයි.
  • ‘කවරෙකු හෝ තම වහල්ලා නිදහස් කිරීමෙන් අනතුරුව ඔහු නිදහස් පුද්ගලයෙකු ලෙස උපයන ධනය සදහා එම හාම්පුතාද කොටස්කරුවකු වන්නේය.’ – මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

මිනිසා දෙවියන් වෙනුවෙන් පමණක් කරන වන්දනා කටයුතු වන උපවාසය, හජ් වන්දනය වැනි කටයුතුවල කිසියම් වරදක් අතපසුවීමක් සිදුවූයේ නම් එයට පිලියමක් ලෙස ඉස්ලාම් ප්‍රථමයෙන් යෝජනා කරන්නේ ‘වහල්ලන් නිදහස් කරන්න’ යනුවෙනි. එසේම දෙවියන්ට කරන පොරොන්දුවක් කඩ කලේනම් ඒ සදහාද පිලියම වන්නේ වහල්ලුන් නිදහස් කිරීමයි. එපමණක්ද නොවේ. කිසියම් වහල්ලෙක් තම වහල් භවින් නිදහස් වීමට ප්‍රිය කරන්නේ නම් ඒ සදහා සහනදායි ක්‍රමයක් අනුගමනය කිරීමට ඉස්ලාම් යහපත් කටයුත්තක් ලෙස අවධාරණය කරයි. එයින් ද නතර නොවන ඉස්ලාම් දහම එදා වෙළද භාණ්ඩයක් තත්වයට පත්ව තිබූ වහල්ලෙකු නිදහස් කිරීම නිසා හාම්පුතුන්ට ‘තමාට පාඩුවක් සිදුවේවි’ යයි තිබූ චකිතය තුරන් කරමින් ‘වහල්ලා නිදහස් වීමෙන් අනතුරුව උපයන ධනය සදහා ඔබත් කොටස්කරුවෙක්’ යයි පැවසීම තුල එවැනි පිරිසද මෙම සත්ක්‍රියාව සදහා උනන්දු කරවන ලදී. මෙවැනි නීති මගින් ඉස්ලාම් දහම ‘වහල් මිනිස් සංකල්පය’ සැලකිය යුතු තරමින් එවකට පැවතී සමාජයේම පාලනය කරගන්නා ලදී. දිගින් දිගටම මෙම නීතිරීති මුස්ලීම් සමාජය තුල ක්‍රියාත්ක වූ නිසා කාලයත් සමඟ මෙම ‘වහල් මිනිස් සංකල්පය’ ඉස්ලාමීය ලෝකයෙන් සහමුලින්ම තුරන් වී යන ලදී.

මේ අනුව ‘වහල් මිනිස් සංකල්පය’ යන්න අද වනවිට කාලීන මාතෘකාවක් නොවුවත්, මෙම (වහල්ලු සම්බන්ධ) නීතිය තවදුරටත් ශුද්ධ වූ කුර්ආනය තුල වලංගු නීතියක්ව පැවතීමත්, එහි කාන්තාව පිලිබදව ඉස්ලාම් පවසන නීතිරීති කලින් කලට උණූසුම් මාතෘකාවන් ලෙස සංවාදයට ගැනීමත් හේතු කොටගෙන මේ පිලිබදව කථා කිරීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. ඒ අනුව මෙම ලිපියේ ප්‍රධාන කොටස වන ‘කාන්තා වහල්ලුන්’ සම්බන්ධයෙන් ඉස්ලාම් අනුගමනය කල ක්‍රමවේදය නිවරුදි ද යන්න දැන් විමසා බලමු.

කාන්තාවක් වහල්ලියක් බවට පත්වූ විට ඇයට තම හාම්පුතු යටතේ ඔහුට අවනතව කටයුතු කිරීමට සිදුවේ. එහිදී ඇයට තම ඥාතිමිත්‍ර සියළු දෙනාගෙන් වෙන්ව හුදෙකලාව ජීවත්වීමට සිදුවේ. ඇයි විවාහක නම් ඇයගේ සැමියා වෙනත් රටක සිටීමට හෝ (යුද්ධය තුල) මරණයට පත්ව තිබෙන්නට පුළුවන. මෙවැනි පසුබිමක ඇය කොතරම් ඉස්ලාම් විරෝධියෙකු ලෙස වහල්භාවයට පත්වුවත් ඇයගේ ආරක්ෂාව හා අවශ්‍යතාවයන් සලසාදීමේ වගකීම තම හාම්පුතුට පැවරේ. එම කාරණයන් සැලකිල්ලටගත් ඉස්ලාම් දහම ඇය කෙරෙහි පූර්ණ වගකීම ඇයගේ හාම්පුතාට ලබාදෙන අතර එහිදී ඔහුට අවශ්‍ය වන්නේ නම්, ඇය සමඟ මෛථූන සෙවනේ යෙදීමට ද ඉස්ලාම් අවසර ලබාදෙයි. මෙය හුදෙක් අවසරයක් පමණක් වන අතර අනිවාර්‍ය නියෝගයක් නොවේ. මෙලෙස අවසරය ලබාදෙන ඉස්ලාම් දහම ඒ තුල කොන්දේසි කිහිපයක් ද ඔහුට පනවනු ලබයි. ඒ අතුරින් මාතෘකාවට අදාල ප්‍රධාන කොන්දේසී දෙකක් ඔබේ විමසුමට ගෙන එන්නේ නම,

  • (වහල් කාන්තාව වන) ඇය හාම්පුතුන් කිහිපදෙනෙකුට හිමි අවස්ථාවල දී ඇය සමඟ මෛථූන සෙවනේ යෙදීමට අවසර ලැබෙන්නේ එක් අයෙකුට පමණි. (මේ තුලින් ද ඉස්ලාම් ඇය ආරක්ෂා කොට ඇති ආකාරය වඩාත් හොදින් ඊලඟ කොන්දේසිය තුලින් පැහැදිලි වනු ඇත),
  • ඇය සමඟ තම හාම්පුතා මෛථූන සෙවනේ යෙදීමේ දී ඇය ගැබ් ගැනීමකට ලක්ව දරුවකු බිහි කලේනම්, තම දරුවා එම හාම්පුතාගේම දරුවා බවට නීත්‍යානුකූලව පත්වන අතර එම වහල් කාන්තාව ද වහල්භවින් නිදහස් වේ.

දැන් බුද්ධිමත් ලෙස විමසා බලන්න. මෙවැනි නීති ඉස්ලාම් පැනවීම තුල ඇය දූෂණයට හෝ අපයෝජනයට ලක් වෙනවා යනුවෙන් චෝදනා නඟන පිරිස්, මෙවැනි නීති නොමැති තත්වයන් තුල ඇයට උදාවිය හැකි ඉරණම මොහොතක් විමසා බලන්න. නීතිරීති නිසිලෙස ක්‍රියාත්මක වර්ථමානය තුල ඇය සිටියා නම්, එහිදී ඇයට අත්විය හැකි ඉරණම උපකල්පනය කර බලන්න. සියළු නීති ක්‍රියාත්මක වර්ථමානයේ මාපිය සෙවනේ වැඩෙන දූවරුන් මහා දවල් මොහොතේ දූෂණයට හෝ අපයෝජනයට ලක්වෙයි. ආගමික සිද්ධස්ථානයට යන කාන්තාවන් හා දූවරුන් ඊලඟ මොහොතේ දූෂණයට හා අපයෝජනයට ලක්වෙයි. රුකියා ස්ථානවල කාන්තාවන් හා දූවරුන් දිවා රෑ දූෂණයට හා අපයෝජනයට ලක්වෙයි… මෙලෙස කාමුක යක්ෂයන්ට ගොදුරු වීම පිලිබදව අත්දැකීම් ඇති අපට මේ කිසිවකුගේ හවුහරණක් නොමැති තත්වයක් යටතේ තම හාම්පුතා සමඟ කාන්තාවකට හුදෙකලාව ජීවත්වීමට සිදුවූ එදා සමාජ තත්වය යටතේ ඉස්ලාම් යොජනා කරන මෙම ක්‍රමවේදය විවේචනය කරන පිරිස් මෙම කරුණු පිලිබදව දෙවරක් සිතා බැලිය යුතුය.

ඉස්ලාම් එදා පැනවූ එම නීතිය කොතරම් ප්‍රායෝගික ද යන්න අන්තවාදී නොවී බුද්ධිමත් ලෙස විමසා බලන ඕනෑම කෙනෙකු හට එය පහසුවෙන් අවබෝධ කරගත හැක. විශේෂයෙන් පිරිමීන්ගේ කායික අවශ්‍යතාවයන් හමුවේ කාන්තාවගේ බිලිවීම පිලිබදව කථා කරන සමාජය නූතන සමාජය කාන්තාවගේ කායික අවශ්‍යතාවයන් නොසලකා හැර ඇත. දිව්‍යමය මඟපෙන්වීම විවේචනයට බඳුන් කරන ඉහත පිරිස් එහි තත්වයන් සියල්ල සැලකිල්ලට ගෙන මීට වඩා සාර්ථක ක්‍රමවේදයක් යෝජනා කල හැකිද? යන්න විමසා බලන්න. එය අභියෝගයක් ලෙස වුවද ‘යහමඟ’ ඉදිරිපත් කරමි. අවසාන වශයෙන් විද්වත් අදහසක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන ඒමට අදහස් කරමි. එනම් Dr. Gustav Le Bon නම් විද්වතා වරක් මෙසේ පවසන ලදී. එනම්,

පෙරදිග සමාජවල ඇති විවාහ ක්‍රමය මෙන් අපරදිගයේ දෝෂදර්ශණයට ලක් වූ වෙනත් යමක් නොමැති තරම් ය. බටහිරයේ අලසක හා නොදැනුවත්කම මේ තරම් ප්‍රකාශවන තවත් කරුණක් ද නැති තරම් ය. බටහිර පවතින අභිරහස් වංචාකාරී බහු සේවනයට වඩා නැගෙනහිර ලෝකයේ තිබෙන නීත්‍යානුකූල විවාහ ක්‍රමයන් උතුම් ය. අවිධිමත් සම්බන්ධතා වල අනිටු විපාක වලින් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම කරදර විඳින්නට සිදු වේ. බහු විවාහ ක්‍රමය නීතිගත කිරීම සියලු අතින්ම යහපත් කරුණක් බව මට පෙනේ’

මේ අනුව දිව්‍යමය දහමක් ලෙස ඉහත සියළු කාරණයන් වඩාත් හොදින් සැලකිල්ලට ගෙන එදා මුස්ලීම් සමාජයට ඉස්ලාම් දහම ඉදිරිපත් කල ක්‍රමවේදය හමුවේ අද සමස්ථ ඉස්ලාමීය ලෝකයෙන්ම ‘වහල් කාන්තා සංකල්පය’ පමණක් නොව ‘වහල් මිනිස් සංකල්පය’ ද තුරන් වී ඇත යන්න තමා සැබෑව.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/18

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම