හිජාබය ඉස්ලාම දහමේ නීතියක් මිස මුස්ලීම් සංස්කෘතියක් නොවේ.

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“හිජාබය” නොහොත් මුස්ලීම් කාන්තාව පලදින “හිසපලදනාව” පිලිබදව සහ ඒ ආශ්‍රිත වෙනත් කරුණු යහමග අඩවිය තුල අවස්ථා කිහිපයකදීම සාකච්චා කොට ඇත. එවැනි ලිපි කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්, ඉස්ලාමීය ඇඳුම් විලාසය සමාජ යහපතට මඟපෙන්වීමක්, නිකාබ් තහනම පය බරවා වට පිටිකර බේත් බැඳීමකි., හිජාබය සහ මම... යන්න සදහන් කල හැක. එම සාකච්චාවේ තවත් දිගුවක් ලෙස “හිජාබය මූලික කරගෙන මුස්ලීම් සමාජය කරන වරදක්” පිලිබදව මෙහි කථා කිරීමට අදහස් කරමි. මෙවැනි ලිපියක් යහමග අඩවිය තුල කාලයක් මුළුල්ලේ ලිවීමට අදහස් කොට සිටියත්, මෙලෙස අද දවසේ මේ විෂය කථා කිරීමට ද මූලික වූ කාරණයක් ඇත. එනම්, මෑත කාලීනව [[ඉන්දියාව තුල මුස්ලීම් කාන්තාවන්ට එරෙහිව විශේෂයෙන් ඔවුන්ගේ “හිජාබයට” එරෙහිව සිදුවන වධහිංසන සහ තර්ජන]] හමුවේ උපතින් හා නාමික මුස්ලීම් වූ ඉන්දීය ජනප්‍රිය සමහරක් කාන්තාවන් “හිජාබ්” නීතිය අනුගමනය නොකර ඉහතින් සදහන් පිරිස හමුවේ මුනිවත රැකීමත්, විටෙක එවැනි හිංසාකාරී ක්‍රියාවල නියැලෙන්නන්ට පක්ෂ වන ලෙස ප්‍රකාශ නිකුත් කිරීමත් පිලිබදව තම අදහස් දැක්වූ නවක මූස්ලීම් කාන්තාවකගේ පහත වීඩියෝව මෙවැනි ලිපියක් මෙලෙස ඉදිරිපත් කිරීමට හේතුවයි.

මුස්ලීම් ලෝකයටම කාලීන වශයෙන් වැදගත් පණිවුඩයක් ලබාදෙන එම වීඩියෝව යහමග අඩවිය පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට මෙසේ පහතින් ඉදිරිපත් කරමි.

ඉහත වීඩියෝව තුල ඇය විසින් සමාජයට දෙන පණිවුඩය සමස්ථ මුස්ලීම් සමාජයටම නුවණැස පෑදෙන්නට හේතුවක් වේවා!, ඇයට මෙවන් මෙහෙවරක් ඉදිරියටත් කරන්නට අල්ලාහ් (දෙවි)ගේ ශක්තිය සහ ආශිර්වාදය හිමිවේවා! යන ප්‍රාර්ථනයෙන් මෙම ලිපියෙහි ඉදිරියට යොමු වෙමි.

මෙම ලිපියෙහි මාතෘකාව “හිජාබය යනු සංස්කෘතියක් නොව ඉස්ලාම්” යැයි යෙදීම තරමට සහ එය මතක් කර දෙන තරමට මුස්ලීම් සමාජය මෙම හිජාබ් නීතියෙන් ඈත් වෙමින් සිටින බවක් කණගාටුවෙන් වූවද මෙහි පලමුවෙන් සදහන් කලයුතුව ඇත. ඒ කවර මට්ටමින් ද යන්න නිදසුන් සහිතව මෙහි පහතින් විස්තර කිරීමට මා අදහස් කරන අතර ඊට ප්‍රථම මෙම “හිජාබ්” සම්බන්ධයෙන් කෙටි කරුණු දැක්වීමක් සමාජයට කලයුතුව ඇත.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව මුස්ලීම් කාන්තාවක් හිස ආවර්ණය වන ලෙස ඇඳුම් පැලදීම අනිවාර්‍ය වේ. (මේ පිලිබදව ඉස්ලාමීය ඇඳුම් විලාසය සමාජ යහපතට මඟපෙන්වීමක් යන ලිපිය තුලින් මෙම අඩවිය තුල දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කොට ඇත.) එම ඇඳුම් විලාසය මුස්ලීම් සමාජ ව්‍යවහාරයේ “හිජාබ්” යනුවෙන් භාවිතා කරයි. එම අරාබි වදනෙහි තේරුම 'ආවරණය' හෝ 'තිරය' යන්නයි. මෙම “හිජාබය” ප්‍රධාන වශයෙන් ආකාර කිහිපයකට මුස්ලීම් සමාජය තුල භාවිතයේ පවතී. ඒ පිලිබදව ද මෙහි කෙටි හැදින්වීමක් කරන්නේ නම්,

  • “කිමාර්” - කාන්තාවකගේ මුහුණ සහ අත් හැර හිස, උරහිස් සහ පපුව ආවරණය වන ලෙස පලදින ඇඳුමක්,
  • “චන්දූර්” - මුහුණ හැර මුළු හිසම, දෙඋරහිස සහ පපුව වැසෙන ලෙස අඳින ඇඳුමක්.
  • “හිජාබ්” - මුහුණ හැර මුළු හිසම සහ බෙල්ල සම්පූර්ණයෙන් වැසෙන ලෙස අඳින ඇඳුමක්
  • ”ජිල්බාබ්” - මුහුණ සහ අත් හැර මුළු සිරුරම ආවරණය වන පරිදි තම ඇඳුමට පිටතින් අඳින ඇඳුමක්,
  • “නිකාබ්” - තම ඇස් දෙක හැර සම්පූර්ණ මුහුණු හා ශරීරයේ ඉහල කොටස ආවරණය වන ලෙස අඳින ඇඳුමක්.
  • “බුර්කා” - සම්පූර්ණ මුහුණම ආවර්ණය වන ලෙස හා ශරීරයේ ඉහල කොටස ආවරණය වන ලෙස අඳින ඇඳුමක්.

මෙහි ඉහත ප්‍රධාන ආකාර 06 න් ඉස්ලාම් දහමට අනුකූල හිස් පලඳනාව වන්නේ “කිමාර්”, “චන්දූර්”, “ජිල්බාබ්” සහ “හිජාබ්” යන්නයි. “නිකාබ්” සහ “බුර්කා” යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමට අනුකූල නොවන නමුත් එය ආගමික කාරණයක් ලෙස නොසලකා වස්ත්‍රයක් ලෙස ඇඳීමෙහි වරදක් ඇතැයි කිව නොහැක මන්ද ඒ තුල ඉස්ලාම් දහම පවසන අවශ්‍යතාවයන් ද සපුරන බැවිණි. මෙතැනදී ඇඳුමක තිබිය යුතු මූලික අවශ්‍යතාවයන් පිලිබදව කථා කරන අල්කුර්ආන් පාඨයක් ඔබේ බුද්ධීමත් විමසුමට ගෙන එන්නට කැමැත්තෙමි. එනම්,

ආදම්ගේ දරුවනි! නුඹලාගේ විළිය වසා ගැනීමට සහ සිරුර ආරක්ෂා කර ගැනීමට හා අලංකාරයට වස්ත්‍රය අපි නුඹලාට පහළ කළෙමු. තවද තක්වා (බියබැතිමත්කම) නැමති වස්ත්‍රය එය ඉතා හොඳය. 

අල්කුර්ආනය 7-26

ඉහත වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) ඇඳුමක් ඇඳීමෙහි අරමුණ පැහැදිලිව පවසයි. එනම්,

  • විළිය වසා ගැනීම,
  • සිරුර ආරක්ෂා කිරීම,
  • යහපත් (අලංකාර) පෙනුමක් ඇති කර ගැනීම,

ඉහත අවශ්‍යතාවයන් තුන සපුරන ලෙසත්, ඇඳුම් සම්බන්ධයෙන් ඉස්ලාම් පනවන අනිකුත් කොන්දේසිවලට යටත් වන ලෙසත් (එම කොන්දේසී පිලිබදව දැනගන්න ඉස්ලාමීය ඇඳුම් විලාසය සමාජ යහපතට මඟපෙන්වීමක් යන ලිපිය කියවන්න), මුස්ලිම්වරයෙකු ඔහුට කැමති ඕනෑම ඇඳුමක් ඇඳීමට අවසර ඇත. මෙම ඇඳුම තුල කාන්තාවක් රැකිය යුතු තවත් විශේෂ ගුණාංගයක් ඉස්ලාම් දහම අල්කුර්ආනය තුලින් පවසයි. එය මෙසේය,

ඔබගේ භාර්‍යයාවන්ටද, ඔබගේ ගැහැනු දරුවන්ටද, විශ්වාසවන්තයින්ගේ ගැහැනුන්ටද, ඔවුන් තමන්ගේ හිස් වස්නා සලූවෙන් (තමන්ගේ මුහුණු වලට පොඩියක්) පහත් කර ගන්නා මෙන් ඔබ පවසනු මැනව! එමගින් ඔවුන් දැහැමි බව දැන ගෙන, කිසිවෙකුගේ වේදනාවකට හෝ ඔවුන් ලක් නොවී සිටීමට මෙය ඉතාමත් පහසු (මාර්ගයක්) වන්නේය. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

අල්කුර්ආනය 33-59

ඉහත වාක්‍යයෙන් කාන්තාවක් තම අලංකාරය පිටට ප්‍රදර්ශනය කරන ලෙස ඇඳුම් නොඇදිය යුතු බව පවසන අතර තුර බාහිර පෙනුමෙන් උඩඟු නොවී “දැහැමිව” බව මතුකොට පෙන්වන ලෙස ඇඳුම් ඇඳිය යුතු බව පවසයි. මේ සදහා (“කිමාර්”, “චන්දූර්”, “ජිල්බාබ්” සහ “හිජාබ්” (මෙම ලිපියේ මා මේ හතර පොදුවේ හිජාබය ලෙස හදුන්වමි.)) “හිජාබය” සුදුසුම හා සර්වකාලීන ඉස්ලාමීය මඟපෙන්වීමයි. මෙය කිසිවකු තවදුරටත් ආගමික සීමාවෙන් එහා ගිය සංස්කෘතියක් යැයි සිතන්නේ නම්, ඒ අයටයි පහත අල්කුර්ආන් වාක්‍යය.

(නබියේ!) විශ්වාසවන්ත කාන්තාවන්ටද ඔබ මෙසේ පවසනු: ඔවුන්ද තමන්ගේ බැල්ම පහතට යොමු කර තබා ගනිමින් තමන්ගේ පතිවතද ආරක්ෂා කර ගනු. (තවද, තමන්ගේ ශරීරයේ වැඩි හරියක්) පිටතට දැකිය හැකි දැය හැර, තමන්ගේ අලංකාරයද, (ඇඳුම් ආයිත්තම්, ආභරණ වැනි) අලංකාරයද, පිටතට නොපෙන්වා සඟවා ගනු. තමන්ගේ හිස් වස්නා සේලයෙන් ලැමදද සඟවා ගනු. කාන්තාවන් තමන්ගේ ස්වාමිපුරුෂයින්, තමන්ගේ පියවරුන්, තමන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පියවරුන්, තමන්ගේ පුතුන්, තමන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පුතුන්, තමන්ගේ සහෝදරයින්, තමන්ගේ සහෝදරයින්ගේ පුතුන්, තමන්ගේ සහෝදරියන්ගේ පුතුන්, නැතහොත් (මුස්ලීම්වරුන් වන) තමන් (සමග සම්බන්ධකම් ඇති) තමන්ගේ කාන්තාවන්, තමන්ගේ දකුණු අත් හිමි කර ගත් අය, නැතහොත් කාන්තාවන්ගෙන් කැමැත්තක් නැතිව තමන්ව බලාපොරොත්තුවෙන් ජීවත් වන පිරිමින්, කාන්තාවන්ගේ සැඟවුණු අවයවයන් දැන නොගත් කුඩා වයසේ සිටින (පිරිමි) දරුවන් ආදී මොවුන් හැර, (අන් අයටද තමන් හැඳ සිටින ඇඳුම් ආයිත්තම්, ආභරණ වැනි) තමන්ගේ අලංකාරයද, ලක්ෂණද නොපෙන්වනු. තවද තමන්ගේ අලංකාරයෙහි සඟවා ඇති දැය දැනුම් දීමට (භූමියෙහි) තමන්ගේ පාදයන් හප්පමින් ගමන් නොකරනු. විශ්වාසවන්තයිනි! (මෙහි ඔබගෙන් යම්කිසි වරදක් ඇති වුවහොත්) ඔබ සියල්ලන්ම ජයග්‍රහණය කිරීම පිණිස අල්ලාහ් දෙසින්ම පව් සමාව ඉල්ලා (ඔබගේ මනස) හරවා ගනු.

අල්කුර්ආනය 24-31

ඉහත අල්කුර්ආන් වාක්‍යය වචනයෙන් වචනය හොදින් බුද්ධිමත්ව හා පරිස්සමින් අධ්‍යනය කරන්නේ නම්, “හිජාබ්” හෙවත් ඉස්ලාමීය කාන්තා ඇඳුම් සීමාවන් පිලිබදව ඉස්ලාම් දහම කොතරම් දුරකට සැලකිලීමත් වෙනවාද? යන්න ඔබට පැහැදිලි වනු ඇත. එවිට ඔබ “හිජාබය” පලඳින බව ලෝකයාට පෙන්වමින්

  • හිජාබය දෙඋරේ දමාගෙන හිස නිරාවර්ණව ගමන් නොයනු ඇත.
  • හිජාබය හිසෙහි අර්ධයක් පමණක් වැසෙන ලෙසත් ඉදිරිපස කෙස් කළඹ පෙනෙන ලෙසත් නොපලඳිනු ඇත.
  • තම බෙල්ල හා පපු ආශ්‍රත ප්‍රදේශ පෙනෙන ලෙස හිජාබය නොපලඳිනු ඇත.
  • තමන හඳුනන පිරිස් ඉදිරියේ පමණක් හිජාබයේ නීතිය අනුගමනය කිරීම නොකරනු ඇත.
  • තම පවුලේ අය නෙත නොගැටෙන තැන්වල හිජාබයේ නීතිය කඩ නොකරනු ඇත.
  • අන්‍ය ආගමිකයන් ඉදිරියේ හිජාබය පිලිබදව නොසැලකිල්ලෙන් කටයුතු නොකරනු ඇත.
  • හිජාබය ආගමික නැමදුමක් වන බැවින් එහි ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය නොකරනු ඇත.
  • ...

මේ ආකාරයට “හිජාබය” සම්බන්ධයෙන් මුස්ලීම් කාන්තා සමාජයේ සමහරකගේ ක්‍රියාකලාපයන් දීර්ඝ ලෙස පෙලගැසිය හැක. මෙවැනි ක්‍රියාකලාපයන් තුලින් මුස්ලීම් සහ මුස්ලීම් නොවන සමාජය නොමඟ යැවීමක් සිදුවන අතර ඉස්ලාම් දහම පවසන ඇඳුම් සීමාවන් නිසිලෙස ආරක්ෂා කරමින් කටයුතු කරන යහපත් මුස්ලීම් කාන්තාවන්ට එය සිදු කරන බලවත් අසාධාරණයක් ද වේ. (ඉහත වීඩියෝව තුලින් ද අවදාරණය කරන්නේ එයයි.) ඒ අනුව “හිජාබය” ඇදුම් සංස්කෘතියක් නොව ඉස්ලාම් ආගමික නීතියක් යන්න පැහැදිලිව වටහා ගතයුතුය. එම නීති සීමාවන් නැවත සාරාංශ කොට ඔබේ බුද්ධිමත් අවදානයට පෙලගසන්නේ නම්,

  • ඥාති නොවන පිරිමින් සමඟ සිටින විට ඇඳුම් පැළඳුම් මුහුණ සහ අත් හැර මුළු සිරුරම ආවරණය විය යුතුය.
  • ඇඳුම් පැළඳුම් ලිහිල් විය යුතු අතර එමඟින් ශරීරයේ හැඩතල මතු කොට නොපෙනිය යුතුය.
  • අඳින ඇදුම විනිවිද නොපෙන එකක් නොවිය යුතුය.
  • පිරිමින්ගේ ඇඳුම් වලට සමාන නොවිය යුතුය.
  • උඩඟු නොවන දැහැමි බව මතු කොට පෙන්වන ඇඳුමක් වියයුතුය.
  • පිටස්තර පිරිමින් (මහර්ම් නොවන) අයට දැනෙන ලෙස සුවඳ විලවුන් භාවිතා නොකල යුතුය
  • ඳින ඇදුම අලංකාරවත් වියයුතුය.
  • අඳින ඇඳුම පිරිසිදු වියයුතුය.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ඉහත ඉස්ලාම් දහමේ නීති ඔබ අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, එය අල්ලාහ් (දෙවි) සහ ඔබ අතර ඇති ගනුදෙනුවකි. එසේ ඔබ එම ඉස්ලාමීය නීති අනුගමනය නොකිරීම එය අනුගමනය කරන පිරිසට බාධාවක් හෝ හිරිහැරයක් නොවීමට වගබලා ගැනීම ඔබේ මානුෂීය යුතුකම හා වගකීමකි. අවම තරමින් තමන් එම නීති පිලිනොපැද්දත්, පිලිපදින අය ඉස්ලාමයේ නීති පිලිපදින බවට සමාජයට සහතික කිරීමට තරම්වත් කාරුණික හා ආගමික වන්න. මෙසේ තම යුතුකම හා වගකීම හොදින් අවබෝධ කරගෙන කටයුතු කිරීමට මේ මුස්ලීම් සමාජයට නුවණැස පෑදේවා! යන ප්‍රාර්ථනයෙන් මෙම සටහනට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/25

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම