ලොව විශිෂ්ටම පුද්ගලයන් අතර මුහම්මද් (සල්) තුමා

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලෝක ඉතිහාසය සැලකූවිට ඒ තුල නොමැකෙන චරිත ගණනාවක් පිලිබදව දීර්ඝ ලෙස කථා කල හැක. මෙවැනි චරිත විද්වතුන් විසින් විවිධ වූ නිර්ණායක යටතේ පෙලගැසීමන් කරන ආකාරයත්, ඒවා ප්‍රමුඛතාගත කරන ආකාරයත් කලින් කලට අපට දැකගත හැක. එවැනි පෙලගැසීමන් පිලිබදව ‘යහමඟ’ අඩවිය මීට පෙර අවස්ථා ගණනාවකදීම කරුණූ සාකච්චා කොට ද ඇත. ඒ අතුරින් මයිකල් එච් හාට් (Michael H. Hart) මහතාගේ, ‘The 100’ නම් කෘතිය පදනම් කරගෙන ඉදිරිපත් කල කරුණු එවැනි එක් නිදසුනකි. මේ ආකාරයට කලින් කලට සිදුවන පෙලගැසීමන් තුල නිතර දෝලනය වන ප්‍රධාන චරිත කිහිපයක් පවතින බවද ඔබ හොදින් දන්නා කරණයකි. නිදසුනක් ලෙස යේසූස් තුමා, බුදුන් වහන්සේ, මුහම්මද් තුමා, ඇරිස්ටෝටල්, ඒබ්‍රහම් ලින්කන්, නැපෝලියන්… යනාදී එවැනි චරිත කිහිපයකි. එම චරිත අතුරින් කාලීනව වැදගත් චරිතයක් පිලිබදව අද ‘යහමඟ’ අඩවිය හරහා ‘ලෝකයේ විශිෂ්ටම පුද්ගලයන් හා එහි මුහම්මද් (සල්) තුමා’ යන මාතෘකාව යටතේ විමසා බැලීමට අදහස් කරමි.

අද 2014 ජනවාරි මස 14 වැනි අඟහරුවාදා රජයේ නිවාඩු දිනයක්. ඒ අද දිනට හින්දු භක්තිකයන්ගේ ‘තයිපොංගල්’ උත්සවය හා මුස්ලීම් සමාජයේ බහුතරයක් සමරණ ‘මීලාදුන් නබි’ (Milad-Un-Nabi) උත්සවය යෙදී තිබෙන බැවිණි. මෙහිදී කෙටියෙන් හෝ මුස්ලීම් සමාජයේ අති බහුතරයක් වර්ෂයක් පාසා සමරණ මෙම ‘මීලාදුන් නබි’ දිනය සම්බන්ධයෙන් ‘යහමග’ පාඨක ඔබේ අවදානයට විශේෂයෙන් ගෙනආයුතු කාරණා දෙකක් ඇත. එනම්,

  •  මෙම ‘මීලාදුන් නබි’ දිනය, දින දර්ශනය තුල නිශ්චිත දිනයක් නොවී වර්ෂයක් පාසා දෝලනය වෙවී එන්නේ ඇයිද? යන්න. මේ පිලිබදව ‘යහමග’ අඩවිය තුල මීට ඉහත උපන්දින සැමරීම හා නබිතුමාණන්ගේ ජන්ම දිනය (මෙහි Click කොට එම ලිපි කියවන්න) යන ලිපිය තුලින් කරුණු පැහැදිලි කොට ඇත.
  •  මෙම ‘මීලාදුන් නබි’ දිනය සැමරීම සමස්ථ මුස්ලීම් සමාජය අනුමත නොකිරීමට හේතුව කුමක්ද? යන්න. මේ පිලිබදව ‘යහමග’ අඩවිය තුල මීට ඉහත ‘මුහම්මද් තුමාගේ උපන් දිනය හා වර්ථමාන මුස්ලීම් සමාජය‘ (මෙහි Click කොට එම ලිපි කියවන්න) යන ලිපි තුලින් කරුණු දක්වා ඇත.

ඉහත ලිපි වෙත ‘ඔබේ බුද්ධිමත් අවදානය නැවත යොමු කරන්න’ යන අරාධානය කරමින් මෙම ලිපිය තුලින් කථා කිරීමට යන්නේ ලිපියේ ආරම්භයේ සදහන් කල ලෝකයේ නොයෙක් චරිත කලින් කලට සිදුවන පෙලගැසීමන් හා ඒ තුල මුහම්මද් (සල්) තුමාණන්ට හිමි වන ස්ථානයේ පිලිබදව‘යහමඟ’ ස්ථාවරය කුමක්ද? යන්න පිලිබදවයි. එම විෂය පිලිබදව කථා කිරීම සදහා පිවිසුමක් ලෙස පසුගිය දිනවල පරිගණක විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් ‘Whos Bigger’ යන තේමාව යටතේ සිදුකල අන්තර්ජාල සමීක්ෂණය (මෙම සමීක්ෂණය පිලිබදව වැඩි විස්තර www.whoisbigger.com යන වෙබ් අඩවියෙන් දැකගත හැක) සදහන් කල හැක. ලොව විශිෂ්ටම පුද්ලයන් දහදෙනා පෙලගැසූ එම සමීක්ෂණය වාර්ථාව අප රටේ ජනප්‍රිය පුවත්පතක් වන ‘දිවයින’ පුවත්පත 2013/12/27 සිකුරාදා දින තම අතිරේකය වන ‘ඩිස්කවරි’ (Discovery) අතිරේකයේ ‘ලෝකයේ විශිෂ්ටම පුද්ගලයන් දහදෙනා’ යන මාතෘකාව යටතේ ද ඉදිරිපත් කොට තිබු අතර එහි මුස්ලීම් සමාජය පිලිකුලෙන් යුතුව හෙලාදකින ආකාරයේ වෙනසක් ද සිදුකොට තිබීම මෙහි සදහන් කලයුතුම කාරණයකි. එනම්,

ලොව වෙසෙන සෑම මුස්ලීම්වරයෙකුම මුහම්මද් (සල්) තුමාණන් හට දැඩි ආදරයක් දක්වයි. එය තම ප්‍රාණයට දක්වන ආදරය පවා ඉක්ම වූ ආදරයකි. එසේ වුවත් මේ කිසිදු මුස්ලීම්වරයෙකු තම වක්තෘවර්‍යාණන් වන මුහම්මද් තුමාණන්ව අලංකාර ලෙස චිත්‍රයට නැඟීම හෝ පිලිරූ ඇඹීම කිසිසේත් අනුමත කරන්නේ නැත. එපමණක් නොව එය පිලිකුල් ක්‍රියාවක් ලෙස හෙලාදකි. එම කාරණය සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය කොතරම් දැඩි ස්ථාවරයක සිටිනවාද? යන්න පවසනවා නම්, මෙම පහත් ක්‍රියාවන්ට එරෙහි වී තම ජීවිතය පූජාකල පිරිස් ද ලෝක ඉතිහාසය වාර්ථා වන තරමට එම ස්ථාවරයේ දැඩිව සිටී. මෙය සමස්ථ ලෝකයම හොදින් දන්නා කාරණයක් ද වේ. මේ සදහා සමීපතම නිදසුන ලෙස පසුගිය කාලවල ඩෙන්මාක් පුවත්පතක් නබිතුමාණන් චිත්‍රයට නැඟීම හා එයට එරෙහිව ඉස්ලාමීය ලෝකය කැලඹීම සදහන් කල හැක. ලෝක මුස්ලීම් ප්‍රජාවගේ එම හැඟීම් අවබෝධ කරගෙන ඔවුන්ගේ ආගමික විනයට හානියක් නොවන ආකාරයට ඉහතින් සදහන් පරිගණක විද්‍යාඥයින් දෙපල තම සමීක්ෂණ වාර්ථාව පහත ආකාරයට පෙලගසා තිබුණි.

ඉහත පෙලගැසීම තුල මුහම්මද් (සල්) තුමාගේ පිංතූරය වෙනුවට ඔවුන් ඉදිරිපත් කොට තිබුණේ අරාබි භාෂාවෙන් එතුමාගේ නම ලියූ පිතූරයකි. නමුත් එම රූප රාමුවේ තිබෙන සියළු පිංතූර එලෙසින්ම උපුටාගත් අප රටේ මාධ්‍යය මුහම්මද් (සල්) තුමා වෙනුවට ඔවුන් ඉදිරිපත් කරන පිංතූරය ඉවත් කොට අන්තර්ජාලයෙන් ලබාගත් පහත පිංතූරය එක්කොට තිබුණේ පහත ආකාරයටය.

මෑත කාලයේ අප රටේ මෙලෙස ඉස්ලාම් දහමටත් මුස්ලීම් සමාජයටත් මාධ්‍යයන් හරහා සූක්ෂම ලෙස පහර ගැසීම සුලභ කාරණයක් වී ඇත. මේ පිලිබදව ද ‘යහමඟ’ අඩවිය මීට ඉහත අවස්ථා ගණනාවකදීම කරුණූ සාකච්චා කොට ඇත. එවැනි එක් ලිපියක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්, ‘ශ්‍රී ලංකාවෙන් නෙරපූ ආගම්වාදීන්…’ යන ලිපිය සදහන් කලහැක. ඉහත කාරණයන් ඔබේ විමසුමට තබමින් මීලඟට මා යොමු වන්නේ ලෝක ප්‍රකට චරිතයන් ඉහත ආකාරයට විනිශ්චය කිරීම හා පෙලගැසීම මඟින් එම චරිතවලට සාධාර්ණ හා සමභර වූ විනිශ්චයක් හිමි ‍වනවාද? යන කාරණාව වෙතයි. මෙම කාරණය විමසා බැලීම සදහා මෙම ලිපිය තුල ඉහතින් සාකච්චා කල මහාචාර්‍ය ස්ටීවන් ස්කිනා සහා චාල්ස් වෝඩ් යන දෙදෙනාගේ ‘Whos Bigger’ නම් සමීක්ෂණය හා මයිකල් එච් හාට් (Michael H. Hart) මහතාගේ, ‘The 100’ නම් සමීක්ෂණ කෘතිය ම පදනම් කරගන්න අදහස් කරමි. ඒ අනුව,

ප්‍රථමයෙන් ඉහත කෘති දෙකෙහි ප්‍රමුඛතාගත කිරීම අනුව මුල් 04 දෙනා කවුරුන් ද? යන්න මොහොතක් විමසා බලමු.

‘Whos Bigger’ පෙලගැසීම

1. ජේසුස් ක්‍රිස්තුස් තුමා 2. නැපෝලියන් බොනපාට් 3. විලියම් ශේක්ස්පියර් 4. මුහම්මද් තුමා

‘The 100’ පෙලගැසීම

1. මුහම්මද් තුමා 2. අයිසැක් නිවුටන් 3. ජේසුස් ක්‍රිස්තුස් තුමා 4. ගෞතම බුදුන්

‘Whos Bigger’ කෘතියේ පෙලගැසීමට අනුව ජේසුස් තුමා පලමු තැනටත් සිව්වන තැනට මුහම්මද් (සල්) තුමාත් සදහන් වුවත් එහි විශිෂ්ටම පුද්ලගයන් 10 දෙනා තුල අයිසැක් නිවුටන් හෝ ගෞතම බුදුන් අඩංගු වන්නේ නැත. නමුත් ‘The 100’ කෘතියේ පෙලගැසීමට අනුව පලමු තැනට මුහම්මද් (සල්) තුමාත් තෙවන තැනට ජේසුස් තුමාණන් හා සිව්වන තැනට ගෞතම බුදුන් සටහන්ව ඇත. ඒ අනුව මෙම ප්‍රථිපලය දකින පිරිස් අතුරින් මුස්ලීම්වරයෙකු ‘The 100’ පෙලගැසීම නිවරුදි යයිද, කිතුණුවකු ‘Whos Bigger’ පෙලගැසීම නිවරුදි යැයිද, බෞද්ධයන් ‘මේ දෙකම නිවරුදි නැත නමුත් ‘The 100’ පෙලගැසීම තරමක් දුරකට සාධාර්ණයි’ යයි විටෙක තර්ක කිරීම පෙලඹෙනු ඇත. මේ ආකාරයට කවුරු කවුරුත් තමන්ට වාසි සහගත දෑ පදනම් කරගෙන තර්ක විතර්ක ඉදිරිපත් කලත් මෙහි ‘යහමඟ’ ස්ථාවරය නම් මේ කිසිවක් වඩා සාධාර්ණ වූ විනිශ්චයන් නොවන බවයි. විශේෂයෙන් අන්තර්ජාලය පදනම් කරගෙන සිදුකරන සමීක්ෂණ තුලින් වඩා නිවරුදි ප්‍රතිපලයන් ලබාගත හැකි යන්න මිත්‍යාවකි. එයට මීට දින කිහිපයකට පෙර google සමාගම විසින් නිකුත් කල වාර්ථාව හා එහි නෙල්සන් මැන්ඩේලා හා පෝල් වෝකර් යන දෙදෙනාට හිමි වූ ස්ථානය මෙන්ම අප රටට sex සම්බන්ධයෙන් හිමි වූ ස්ථානය එම සමීක්ෂණයේ සමභරතාවය මනාව පැහැදිලි කරයි. (ඒ පුවත් අප රටේ මාධ්‍ය ආයතනයක් විකාශනය කල ආකාරය පහත දැක්වේ)

ඉහත වීඩියෝව තුලින් අණාවර්නය කරන කරුණූ අනුව පැහැදිලි වන්නේ මිනිසුන්ගේ හැඟීමන් ඉහත ප්‍රතිපලයට පදනම් වුවා යන්න පමණි. නෙල්සන් මැන්ඩේලා මහතාගේ අභාවයත්, පෝල් වෝකර් නම් නළුවාගේ හදිසි අභාවයත් නිසා ඇති වූ කම්පනය ඉහත ප්‍රතිපලයට බලපෑවා මිස බුද්ධිමත් ගවේෂණයන් හි ප්‍රතිපලයක් ලෙස එම නම් ඉදිරියට ආවා යයි කිසිවකුටත් කිව නොහැක. ඒ ආකාරයටම ලොව අති බහුතරය කිතුණුවන් නිසා ‘Whos Bigger’ සමීක්ෂණය අනුව වැඩිම මනාපය ජේසුස් තුමාට හිමි වී එතුමාට ප්‍රථම ස්ථානය හිමිවීමත් ඊලඟට අති බහුතරය පිලිපදින ආගමක් වන ඉස්ලාම් දහමේ අනුගාමිකයන්ගේ මනාපය අනුව මුහම්මද් තුමාට සිව්වන ස්ථානය හිමිවීමත් විශ්මයට කාරණයක් ‍නොවේ. තවත් සරලව පවසනවා නම් මෙහි කවුරුන් ප්‍රථම ස්ථානය දිනාගත්ත ද මෙම සමීක්ෂණ ප්‍රතිපලය සාර්ථක හෝ සමභර ප්‍රතිපලයක් නොවේ යන්නෙහි බුද්ධිමත් කිසිවකුටත් සැකයක් පැවතිය නොහැක. මා එසේ පැවසීමට හේතු රාශියක් ඇත. ඒ අනුව මේ සමීක්ෂණය පමණක් නොව ලොව මෙතෙක් සිදුකල හා ඉදිරියේ දී සිදුකරනු ලබන මෙවැනි සියළු සමීක්ෂණ සදහා ඉඟි ලෙස කාරණා 03 ක් සදහන් කරන්නට කැමැත්තෙමි. එනම්,

ලොව විශිෂ්ට පුද්ලයන් පෙලගැසීමේ දී…

  • ඔහු විශිෂ්ට වන්නේ කුමන ‍ක්ෂේත්‍රයෙන්ද? යන්න ඉතා වැදගත්ය. – නිදසුනක් ලෙස ඉහත ‘Whos Bigger’ සමීක්ෂණයට අනුව ‘ගෞතම බුදුන්’ට දසදෙනා අතර ඉඩක් නොලැබෙන විට ‘ඇඩල්ෆ් හිට්ලර්’ට හත්වන ස්ථානය හිමිවීම මෙම සමීක්ෂණයේ අසාර්ථක බව මනාව කියාපාන බව ශ්‍රී ලාංකීය සමාජයට අවබෝධ කරගැනීම අපහසු නොවේ.
  • ඔහු විශිෂ්ටයෙකු වීමට ඔහු සමාජයට ලබාදුන් ආදර්ශයන් මොනවාද? යන්නත් ඉතා වැදගත් වේ. – ඉහත ‘Whos Bigger’හි ජේසුස් තුමා වක්තෘවරයෙකු ලෙස ප්‍රථම ස්ථානය දිනාගන්නා විට යුධවාදියෙකු මෙන්ම මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බිලිගත් ‘ඇඩල්ෆ් හිට්ලර්’ හත්වන ස්ථානය දිනාගන්නට තරම් සමාජයට ලබාදුන් ආදර්ශය කුමක්ද? යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුතුව ඇත.
  • ඔහු විශිෂ්ටයෙකු වීමට සමාජයට ලබාදුන් ඉගෙන්වීමන් මොනවාද? යන්නත් ඉතා වැදගත්ය.

ඉහත කාරණා තුන පදනම් කරගෙන ඕනෑම පුද්ගලයෙකු විශ්ලේෂණය කරන්නේ නම් ඔහුගේ විශිෂ්ට බව වඩා නිවරුදි ලෙස පහසුවෙන් ප්‍රමුඛතා ගතකල හැක. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් එවැනි වඩා නිවරුදි අධ්‍යනයකට, සමීක්ෂණයකට යොමු වන පිරිසගේ අවදානයට රට පුරා ජන්මදිනය සමරණ මීට ශතක 14 කට පෙර විසූ අවසාන වක්තෘවර්‍යාණන් වන මුහම්මද් (සල්) තුමා සම්බන්ධයෙන් ඉඟි කිහිපයක් අද දවසේ මෙහි සටහන් කරන්නට කැමැත්තෙමි. එනම්,

  • මුහම්මද් (සල්) තුමාණන් සම්බන්ධ වූ ඉතිහාසය ආරම්භයේ පටන් පැහැදිලි ලෙස ග්‍රන්ථාරූඪ වී ඇත. එම නිසා එතුමාණන් පිලිබදව අධ්‍යනයන් සිදු කිරීමේ දී ඒවා පදනම් කරගැනීම ඉතා වැදගත් අවශ්‍යතාවයක් වේ.
  • එතුමාණන්ගේ ඉගෙන්වීමන් ‘හදීස්’ ලෙස 100% ක් අදටත් ආරක්ෂා වී ඇත. එම නිසා එතුමාණන් පිලිබදව අධ්‍යනයන් සිදු කිරීමේ දී එම ඉගෙන්වීමන් අධ්‍යනය කිරීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි.
  • එතුමාණන් ශාස්තෘවරයෙකු ලෙස මිනිස් සමාජයට කිසියම් මාර්ගයක් දේශනා කලා පමණක් නොවේ. එය ප්‍රායෝගිකව ද තම දිවිය තුල ක්‍රියාවට නංවා ඇත. එම නිසා එතුමාණන් පිලිබදව අධ්‍යනයන් සිදු කිරීමේ දී ඒවා පිලිබදව ද විමසා බැලීම අත්‍යඅවශ්‍ය කාරණයක් වේ.
  • ලොව අනිකුත් ශාස්තෘවරුන් මෙන් ‍එතුමාගේ දිවිය මිනිස් සමාජයට දහම දේශනා කිරීමට පමණක් සීමා වූ එකක් නොවේ. එතුමා තරුණයෙකුව, (බිරින්දෑවරුන් කිහිපදෙනෙකුට) ස්වාමියෙකුව, දරුවන්ට පියෙකුව, ධනකුවේරයෙකුව, දුගියෙකුව, ව්‍යාපාරිකයෙකුව, පාලකයෙකුව, යුධ සෙබලෙකුව, දේව වක්තෘවරයෙකුව… යනාදී විවිධ චරිත තම දිවිය තුල පසුකරමින් ඒ සියල්ල තුලින් මිනිස් සමාජයේ සියළු තරාතිරම්වලට ආදර්ශයන් ලබාදී ඇත. (එම ආදර්ශයන් 100% ක් හදීස් ලෙස අදටත් ආරක්ෂා වී ඇත.) එම නිසා එතුමාණන් පිලිබදව අධ්‍යනයන් සිදු කිරීමේ දී එම ඉගෙන්වීමන් අධ්‍යනය කිරීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි.
  • එපමණක් නොව දේව වක්තෘවරයෙකු ලෙස මේ මිහිමත දහම් ප්‍රචාරයේ යෙදුණූ එතුමාණන් පිලිබදව දිව්‍ය පුස්තකය වන ශුද්ධ වූ කුර්ආනය පවසන දෑ ද මෙහි කිසිසේත් නොසලකා හැරිය හැකි එකක් නොවේ. ඒ පිලිබදව ශුද්ධ වූ කුර්ආනය තුල අධ්‍යනය කිරීම අත්‍යඅවශ්‍ය කාරණයක් වේ.

මෙලෙස අධ්‍යනයන් නොකොට මතුපිටින් කුමක් හෝ විමසා බලා ඒ අනුව තීන්දු තීරණවලට එළඹීම කි‍සිසේත් නිවරුදි ක්‍රමවේදයක් නොවන අතර එය එවැනි චරිතවලට මෙන්ම ඔවුන් ලෝකයාට ලබාදුන් ආදර්ශවලට කරන අසාධාර්ණයක් ද බව අවදාරණය කරමින් අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ,

මුහම්මද් (සල්) තුමා, මිනිස් සමාජයට මනුෂ්‍යත්වය කියාදෙන්නටත්, එය ආදර්ශයෙන් සමාජයට පෙන්වා දෙන්නටත් ලොව පහල විශිෂ්ටම චරිතයක් යන්නයි. එය ශුද්ධ වූ හදීසයෙන් හා කුර්ආනයෙන් මෙසේ උපුටා දැක්විය හැක.

යහගුණ පරිපූර්ණ කරනු පිණිසම, අල්ලාහ්(දෙවි) හමුවේ සිට මාව (මෙලොවට) එවා ඇත.
මූලාශ්‍ර ග්‍රන්ථය – මුඅත්තා
නුඹලා අතුරින් ශ්‍රේෂ්ඨයන් කවුරුන්ද? යන්න පවසනවා නම්, ඒ නුඹලා අතර යහගුණ ඇති තැනැත්තාය.
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී
(නබිතුමණි!) නියත වශයෙන්ම ඔබ උතුම් වූ යහගුණාංගයන්ගෙන් යුක්ත වුවෙකි.

ශුද්ධ වූ කුර්ආනය ද 68-4

මිනිස් සමාජයට යහමඟ හා යහගුණ පෙන්වාදීමට මෙලෙස ලොව පහල වූ මුහම්මද් තුමාණන්ට අද ලෝකයා දායාද කොට ඇති ඉරණම කුමක්ද?. මෙයත් කෙටියෙන් හෝ මෙහි විමසා බැලිය යුතුය. අද ‘මුහම්මද්’ යන නම ඇසූ පමණින් මුස්ලීම් නොවන බොහෝ පිරිසකගේ සිතු තුල මැවෙන්නේ කෲර, සටන්කාමී, කාන්තා හිංසක, අධම… පාලකයෙකු යන අදහසයි. මෙය බටහිර ඉස්ලාමී විරෝධීන් විසින් හුදෙක් කාටූන් චිත්‍ර කිහිපයක් නොඑසේ නම් වැරදි ඉතිහාසයක් එසෙත් නැත්නම් ආගමික ඉගෙන්වීමක් විකෘති කොට වර්ථමාන සමාජය මත බලෙන් පටවන ලද පදනම් විරහිත ප්‍රතිරූපයක් පමණි. ඒ හැර ඔවුන්ගේ මතවාදය තහවුරු කලහැකි කිසිදු සාක්ෂියක් ඔවුන් සතුව නැත. අවාසනාවකට කවදත් බටහිර මතවාදයට කඩේ යන අප රටේ ඉස්ලාම් විරෝධී ඔස්තාර්ලා ද ඉහත මතවාදයන් කරපින්නා ගෙන නොයෙක් ප්‍රකාශන සිදුකිරීම මෑත කාලයේ අප රටේ සුලභ දසුනකි.

මුස්ලීම් නොවන පිරිසගේ ක්‍රියාකලාපය එසේ වෙද්දී එතුමාණන් සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයේ ද ක්‍රියා කලාපය ඊට දෙවැනි නොවේ. වර්ෂයකට දිනක් එතුමාණන්ගේ ජන්ම දිනය (මේ දිනය එතුමාණන්ගේ ජන්ම දිනයද? යන්න පිලිබදව මතවාද ඇත. නමුත් පැහැදිලිවම මෙය එතුමාණන් මියගිය දිනය යන්නෙහි මතවාදයක් නැත) යයි විවිධ සැමරුම් සිදුකරමින් උත්සව පැවැත්වීමෙන් එතුමාණන්ට ගෞරවකල හා අනුගමනය කල කෙනෙකු එසේත් නැත්නම් ආදරය දැක්වූ කෙනෙකු විය නොහැක. එතුමාණන් පෙන්වාදුන් ආදර්ශයන් මඟපෙන්වීමන් තම දිවිය තුල ගෙන ක්‍රියා කලයුතුව ඇත එයයි එතුමාණන්ට දක්වන සැබෑ ගෞරවය හා ආදරය වන්නේ. මේ සදහා මුස්ලීම් හා මුස්ලීම් නොවන සමාජයට නුවණැස පෑදේවා යන ප්‍රාර්ථනය ඇතුව මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/24

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම