ලොව විශිෂ්ඨතම චරිතාපදානය කියවන්න

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලෝක නායකයන් සහ ජනප්‍රිය චරිතයන් සදහා චරිතාපදාන ලිවීම අද ලෝක කලාවක් වී ඇත. නමුත් එම චරිතාපදානය තුලින් ඉදිරිපත් වන කරුණු සහ එහි සැබෑ චරිතයේ ඉතිහාසය විමසා බලන විට එහි බොහෝ පරස්පරතාවයන් සහ අසත්‍ය තොරතුරු අන්තර්ගත කරමින් එම චරිතයට නැති මහිමයන් ආරූඩ කරමින් එය රචනා කිරීමන් අද සුලබව දක්නට ලැබේ. මෙයට පසුගිය ශත වර්ෂ කිහිපයේ ලෝක නායකයින් බොහෝමයක් සම්බන්ධයෙන් ලියවුණු චරිතාපදාන ග්‍රන්ථ කඳිම නිදසුන් වේ. එපමණක් නොව මෙසේ චරිතාපදාන ලියැවෙන ලොව බොහෝ නායකයින් තම ජීවිත කාලය තුළ ජනතාව විසින් නොසලකා හරින ලද හෝ ප්‍රතික්ෂේප කල අය වීම ද මෙහි විශේෂයෙන් සදහන් කලයුතු කාරණයකි. එම නායකයින්ගේ අභාවයෙන් පසු ඔවුන්ව වර්ණනා කරමින් සහ ඔහුගේ අනුගාමිකයින් සහ පාක්ෂිකයින් සතුටු කරවමින් විවිධ වූ නැති මහිමයන් එක් කරමින් ඔහුගේ කුජවඩන විද්වත් ප්‍රකාශ ද එක් කරමින් චරිතාපදාන ඉදිරිපත් වීම අද සමාජයේ දක්නට ලැබේ.

ඉහත දුර්වලතාවයන්ගෙන් සුවිශුද්ධ චරිතාපදානයක් ලොව දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එවැනි චරිතාපදාන අතුරින් ඉස්ලාම් භක්තිකයින් දේව වක්තෘවරයෙකු ලෙස සලකන මුහම්මද් (සල්) තුමාණන්ගේ චරිතාපදානය ද එකකි. මෙම චරිතාපදානය ලොව අන් සියළු චරිතාපදානයන්ට වඩා ඉදිරියෙන් හා නිවැරදි භවින් ඉහළින්ම හා ඉදිරියෙන්ම තිබෙන චරිතාපදානයකි. මෙසේ මා පවසන්නේ මා ඉස්ලාම් භක්තිකයෙකු වීම නිසා හෝ මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කිරීම ආගමිකව මා හට පැවරෙන වගකීමක් වන නිසා නම් නොවේ. එතුමාණන්ගේ චරිතය ලිවීමේදී එහි කරුණුවල නිරවද්‍යතාවය පිලිබදව එහි කතුවරුන් කොතරම් දුරකට සැලකිලීමත් වූවාද යන කාරණය පදනම් කරගෙනය. එම කාරණය කෙටියෙන් මෙහි විමසා බලන්නේ නම්,

මෙහිදී පලමුව තේරුම් ගතයුතු කාරණයක් ඇත. එනම්, මුහම්මද් (සල්) තුමාණන්ගේ චරිතාපදානය යනු “අල්හදීස්” හි එකතුවක් යන්නයි. මුහම්මද් (සල්) තුමාණන්ගේ සමස්ථ චරිතයම මෙම හදීසයන් තුලින් පමණක් ඉදිරිපත් වන අතර එයින් පරිභාහිරව කුමන පොත්පත් හි කුමක් ලියවී තිබුණත් ඒ සියල්ල ඉහතින් සදහන් චරිතාපදානයන් හි පවතින ආකාරයේ පදනම් විරහිත හිස් වදන් පමණි. මෙම කාරණය හොදින් මතකයේ රඳවාගෙන නැවත මාතෘකාවට යොමු වූයේ නම්,

ලොව අනිකුත් චරිතාපදානයන් ලියැවුණා සේ උපකල්පනයන් මත හිඳ මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිතය ලියන්නට කිසිදු මුස්ලීම්වරයෙකුට ඉස්ලාම් දහම තුල අවසර නැත. එසේ අවසර නැතුවා පමණක් නොව එය මහා පාපකාරී වරදක් ලෙස ද ඉස්ලාම් දකී. එවැනි අවවාදාත්මක ඉගෙන්වීමක් ඔබේ අවදානයට මෙහි ඉදිරිපත් කරන්නේ නම්,

"යමෙක් මා ගැන අසත්‍යයක් නිර්මාණය කරයිද, ඔහු තම වාසස්ථානය නිරය කරගනිත්වා" යනුවෙන් නබි (සල්) තුමාණෝ පැවසූහ.

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

ඉහත ඉගෙන්වීම අනුව ස්වයං මත මුහම්මද් (සල්) තුමාණන් නමින් කිසිදු මුස්ලීම්වරයෙකුට පැවසිය නොහැකි බව පැහැදිලිය. “අල්හදීස්යක්” ලෙස එතුමාණන්ගේ චරිතයේ යමක් ඉදිරිපත් කරන්නේ නම් එහි සැපිරිය යුතු අවශ්‍යතාවයන් කිහිපයක් ඇත. එහි පලමු කාරණය නම්, එම “අල්හදීස්යට” එය දන්වන්නන් දම්වැලක් පැවතිය යුතුවීමයි. එම දම්වැලේ සිටින්නන් විශ්වාසනීය පිරිස වීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් වේ. (මෙම කාරණය මෙම යහමග අඩවිය තුල හදීස් කලාව යන ලිපියෙන් දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත.) මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස මා ඔබට නිදසුනක් මෙහි ඉදිරිපත් කරන්නම්,

මුහම්මද් (සල්) තුමාණන්ගේ යහගුණාංග පිලිබදව පැවසෙන අල්හදීසයක්...

මම නබිතුමාට වසර දහයක් සේවය කළ අතර, එතුමාණන් කිසිදු අවස්ථාවක මට “උෆ්” (කෝපය හඟවන රළු වචනයක්) යැයි පවා නොකී අතර, "ඔබ එසේ කළේ ඇයි හෝ එසේ නොකළේ ඇයි ? ” යැයි පවා කිසිදු විටෙක විමසුවේ නැත. 

දන්වන්නේ - අනස් (රලි) තුමා

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

මුහම්මද් (සල්) තුමාණන් තම සේවකයින් සමඟ කොතරම් සුහදව කටයුතු කලාද යන්න කියැවෙන ඉහත අල්හදීසය මේ ආකාරයට මා ඉහතින් ඉදිරිපත් කලත්, මෙම හදීසය, හදීස් ග්‍රන්ථයන් හි සටහන් වන්නේ ඉහත ආකාරයට නොවේ. එම හදීසය බුහාරි නම් හදීස් ග්‍රන්ථයේ සැබෑවටම සදහන් වන්නේ පහත ආකාරයටය.

මූසා බින් ඉස්මයිල් තුමා කීවේය, තාබිත් තුමා පවසනු මට ඇසිණි, සලාම් බින් මිස්කින් තුමා පවසනු ඔහුට ඇසුණි,: අනස් (රලි) තුමා අපට පැවසූහ, “මම නබිතුමාට වසර දහයක් සේවය කළ අතර, එතුමාණන් කිසිදු අවස්ථාවක මට “උෆ්” (කෝපය හඟවන රළු වචනයක්) යැයි පවා නොකී අතර, "ඔබ එසේ කළේ ඇයි හෝ එසේ නොකළේ ඇයි ? ” යැයි පවා කිසිදු විටෙක විමසුවේ නැත.” 

දන්වන්නේ - අනස් (රලි) තුමා

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

යහමග අඩවිය වූවත්, වෙනත් පොත්පත් හා වෙබ් අඩවීන් හි වූවත් හදීසයක් ඉදිරිපත් කිරීමේ දී එහි අනුගමනය කරන්නේ මුහම්මද් (සල්) තුමාණන්ගේ ප්‍රකාශය පමණක් එහි ගෙනහැර දැක්වීමයි. නමුත් “අල්හදීස්” ලෙස ඉදිරිපත් වූ සෑම පුවතකටම ඉහතින් සදහන් “දන්වන්නන් දම්වැල” එනම්, මුහම්මද් (සල්) තුමාණන්ගේ පටන් එම පුවත ග්‍රන්ථාරූඩ කරන තැනැත්තා දක්වා පැමිණි ආකාරය පිලිබදව විස්තර පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. එම දම්වැල ඉහත හදීසය මූලික කරගෙන එය ඔබට තවදුරටත් පැහැදිලි කරන්නේ නම්,

  • මුහම්මද් (සල්) තුමාණන්ගේ සේවකයෙකු මෙන්ම එතුමාගේ සමකාලීනයෙකු වන අනස් (රලි) තුමා මුහම්මද් (සල්) තුමාණන්ව නිරීක්ෂණය කිරීම,
  • අනස් (රලි) තුමා තමන් නිරීක්ෂණය කල එම කාරණය සලාම් බින් මිස්කින් තුමාට දැන්වීම,
  • සලාම් බින් මිස්කින් තුමා තමන් ඇසු පුවත තාබිත් තුමාට දැනුම්දීම,
  • තාබිත් තුමා දැනගත් පුවත මූසා බින් ඉස්මයිල් තුමාට දැනුම්දීම,
  • මූසා බින් ඉස්මයිල් තුමාගෙන් දැනගත් පුවත “බුහාරි” හදීස් ග්‍රන්ථ කතෘ තම හදීස් කෘතිය තුල 6038 වන අල්හදීසය ලෙස සටහන් කිරීම,

මෙතැනදී සදහන් කලයුතු තවත් විශේෂ කාරණයක් ද ඇත. එනම්, මේ ආකාරයට දම්වැල් පැවතීමෙන් පමණක් එම හදීසය (පුවත) වලංගු හදීසයක් නොවේ. එම හදීස් දම්වැලේ සිටින සියළුදෙනා විශ්වාසනීය පිරිස වීම ද අත්‍යඅවශ්‍ය කාරණයකි. (මෙම විෂය පිලිබදව වැඩිදුර දැන් කියවීමට හදීස් කලාව යන ලිපිය බලන්න.) මෙම නීතිය සම්බන්ධයෙන් ඉස්ලාමීය විද්වතුන් අතර කිසිදු මත භේදයක් නොමැත. ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන්ගේ චරිතය නොහොත් “අල්හදීසය” නිවැරදිව දැනගැනීම පිණිස එතුමාණන්ගේ ජීවිතය වාර්තා කරන දන්වන්නන් ලක්ෂ 18 කට අධික පිරිසකගේ චරිතාපදාන විශ්ලේෂණය කොට ඇත. එම අල්හදීස් දන්වන්නන් පෙළේ කිසිවෙකු බොරුකාරයෙකු, නාඳුනන පුද්ගලයෙකු, දුර්වල මතකයක් ඇති අයෙකු හෝ ඔහු එම පුද්ගලයාව නොදුටු බව පැහැදිලිව දන්නා විට ඔහුට පණිවිඩය කීවේ කවුද එසේත් නැතිනම් එම පණිවිඩය ඔහුට නොපැමිණෙන තරමට ඔහු පසු පරම්පරාවට අයත් වනවාද?... වැනි කරුණු පිලිබදව සැලකිලීමත් වේ. එවැනි පිරිස් දන්වන පුවත් ප්‍රතික්ෂේප කෙරෙන අතර එම පණිවුඩ කිසි විටෙකත් අල්හදීසයක් ලෙස සටහන් නොවේ. මේ පිලිබදව ඉස්ලාමීය විද්වතුන් කොතරම් දුරකට සැලකිලීමත් වූවාද යන්න පැවසෙන පුවතක් ඉහත හදීසය දන්වන “බුහාරි” ග්‍රන්ථයේ කතෘ තුමා සම්බන්ධයෙන් සදහනක් ඇත. එය මෙසේය,

මුහම්මද් (සල්) තුමාණන්ගේ චරිතාපදානයන් නොහොත් අල්හදීසයන් ඉදිරිපත් කරන හදීස් ග්‍රන්ථ කතුවරුන් අතර ප්‍රමුඛයෙකු වන “බුහාරි” තුමා හට එක්තරා අවස්ථාවක මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව වූ පුවතක් දන්නා පව පැවසෙන දුර පළාතක සිටින මහලු පුද්ගලයෙකු පිලිබදව වූ ආරංචියක් ලැබුණි. එම පුවත දැන ගැනීම පිණිස ඒ මහලු පුද්ගලයා හමුවීමට බුහාරි තුමා බොහෝ දුර පයින් ගමන් කළේය. එසේ ගොස් එම මහලු මිනිසාගේ නිවස අසල සිට බුහාරි තුමා ඔහුව නිරීක්ෂණය කලේය. එවිට “එම මහලු මිනිසා එක්තරා අවස්ථාවක තම අතැති මලුවේ ආහාර ඇති බව අඟවමින් එම මලුව පෙන්වා තම ඔටුවා තමා වෙතට කතා කලේය. ඔහුගේ මලුවේ ආහාර ඇති බව විශ්වාස කළ ඔටුවා ඔහු අසලට පැමිණි විට ඔහු එය අල්ලා බැඳ තැබූ අතර එම මලුවේ කිසිදු ආහාරයක් නොවීය.” මෙම දර්ශනය දුටු බුහාරි තුමා "කටක් නැති තිරිසනෙකුට ආහාර ලෙස හිස් මල්ලක් පෙන්වා රවටන මේ මිනිසාට නොරැවටෙන්නේ කවුද?" යනුවෙන් සිතා ඔහුගෙන් එම පුවත ලබා නොගෙනම ආපසු හැරී ආවේය.

මුහම්මද් (සල්) තුමාණන්ගේ ඉතිහාසය ලිවීමේ දී ඉස්ලාමීය විද්වතුන් මේ තරම් සුපරීක්ෂාකාරී වීමට ප්‍රධාන හේතුව මා ඉහතින් ද සදහන් කල මුහම්මද් (සල්) තුමාණන් මුස්ලීම් සමාජයට කල පහත අවවාදයයි.

"යමෙක් මා ගැන අසත්‍යයක් නිර්මාණය කරයිද, ඔහු තම වාසස්ථානය නිරය කරගනිත්වා" යනුවෙන් නබි (සල්) තුමාණෝ පැවසූහ. 

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

මිට අමතව මුහම්මද් (සල්) තුමාණන් මුස්ලීම් සමාජයට පහත ආකාරයට ද දැඩිව අවවාදයක් කර ඇත. එනම්,

“කිතුනුවන් මරිය තුමියගේ පුත් ඊසාව අතිශයෝක්තියට නංවා කටයුතු කලාසේ, මාව ද අතිශයෝක්තියට නංවා කටයුතු නොකරන්න, මම සේවකයෙක් වෙමි! අල්ලාහ් (දෙවි)ගේ සේවකයා සහ දූතයා යැයි (මාව) අමතන්න.” යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

මෙවැනි අවවාද මධ්‍යයේ සුපරීක්ෂාකාරීව ලියැවෙන මුහම්මද් (සල්) තුමාණන්ගේ චරිතාපදානය නොහොත් අල්හදීසය ජනතාව අතරට ගෙනයාමද මුහම්මද් (සල්) තුමාණන්ගේ නියෝගයකි. එය පහත හදීසය තුලින් පැහැදිලි වේ.

"මගෙන් ලද එක් වචනයක් වූවද එය සෑම කෙනෙකුට ම ලැබෙන ලෙස කටයුතු කරන්න.” 

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

මේ ආකාරයට සියළු සීමාවන්ට සහ අවවාදයන්ට යටත්ව සම්පාදනය කල මුහම්මද් (සල්) තුමාණන්ගේ ඉතිහාසය ලොව අනිකුත් චරිතාපදානයන්ට වඩා බොහෝ සේ වෙනස් වූ සහ නිවැරදි වූ එකක් බව දැන් ඔබට අවබෝධ වියයුතුය. සමහර නායකයන් සහ රජවරුන් ඔවුන්ගේ වර්ණනා අතිශයෝක්තියට නංවා ඒවා තමන් විසින්ම සම්පාදනය කොට සමාජයට ලබාදුන් ඉතිහාසයන් අප අසා ඇත්තෙමු. එසේම විවිධ කතුවරුන්ට පවරා තමන් ගැන අතිශයෝක්තිව ඉතිහාස (චරිතාපදාන) ලියූ මෑත කාලීන නායකයින්ද අප දැක ඇත්තෙමු. නමුත් මුහම්මද් (සල්) තුමාණන්ගේ ඉතිහාසය එවැනි සියලු දෝෂවලින් සුවිශුද්ධය. මුහම්මද් (සල්) තුමාණන්ගේ ඉතිහාසය ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයින්ගේ ගවේෂණ හමුවේ දහවල මෙන් ඉතා පැහැදිලිය. මේ හේතුව නිසයි අතීතයේ පටන් මේ දක්වා මුහම්මද් (සල්) තුමාණන්ගේ ඉතිහාසය ලියූ හෝ ගවේෂණයේ යෙදුනු කිසිදු ඉතිහාසඥයෙකුට එතුමාණන්ගේ චරිතාපදානය හෙවත් අල්හදීසය තුල අපැහැදිලි අඳුරු තැනක් සොයාගත නොහැකි වූයේ.

එසේනම්, අවසාන වශයෙන් මෙහි සටහන් කරන්නට ඇත්තේ ඔබ නිවැරදි සහ විශ්වාසයෙන් යුතු චරිතාපදානයක් කියවන්නට සිතන්නේ නම්, ඒ සදහා සුදුසුම සහ වටිනාම චරිතාපදානය මුහම්මද් (සල්) තුමාණන් සම්බන්ධයෙන් ලියවී තිබෙන අල්හදීස් නම් චරිතාපදානය පමණි. එම චරිතාපදානය වෙත ඔබේ බුද්ධිමත් අවදානය යොමු වේවා!, එය අවබෝධ කරගන්න තරම් ඔබේ මනස විවෘත වේවා!, එයින් ඔබේ නුවණැස පෑදේවා!, යන පැතුමින් මෙම සටහනට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/09/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම