මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරමු

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“ආදරය” (Love) මෙය වත්මන් සමාජය පෙම්වතුන්-පෙම්වතියන්ට සින්නක්කරව ලියාදී ඇති වදනකි. නමුත් සැබෑම “ආදරය” යන්න එවැනි පටු සීමාවකට ලඝු කොට කථා කල හැකි කාරණයක් නොවේ. මාපියාන් තම දරුවන් කෙරෙහි දක්වන ආදරය, සහෝදර සහෝදරියන් අතර ගොඩනැඟෙන ආදරය, මිතුරන් අතර ගොඩනැඟෙන මිතුදම් බැඳීම, අඹු සැමියන් අතර ගොඩනැඟෙන සෙනෙහස, සතා සිව්පාන් තුල දක්නට ලැබෙන ආදරය... මේ ආකාරයට “ආදරය” යන්න මුළු ලෝකයම වෙලාගත් සියළු ජීවීන් ජීවත් කරවන සුන්දර විෂයකි.

මෙවන් වූ ලොවම ජීවත් කරවන සම්ප්‍රදායක "ආදරය" ට එහා ගිය ආදරයක් ඉස්ලාම් දහම තම ඉගෙන්වීමන් තුල කථා කරයි. ඒ අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් මෙන්ම අවසාන නබිවරයාණන් ද වන මූහම්මද් (සල්) තුමාණන්ට මුස්ලීම්වරුන් දැක්විය යුතු ආදරයයි. මෙසේ ආදරය කිරීම සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම ඉස්ලාම් පවරන වගකීමක් වන අතර එම සෙනෙහස පරිපූර්ණ වනතුරු ඔහු හෝ ඇය සැබෑ මුස්ලීම් නොවනවා යන්න ඉස්ලාමයේ මූලික ඉගෙන්වීමයි. මෙම යථාර්තය සෑම මුස්ලීම්වරයෙකුම පැහැදිලිව අවබෝධ කොට සිටියත්, නබිතුමාණන්ට ආදරය කරන්නේ කෙසේද? යන්න පිලිබදව මේ සමාජයේ බහුතරයකට අවබෝධයක් නොමැත. මේ හේතුව නිසාම මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරන බව පවසමින් ඉස්ලාම් විරෝධී ක්‍රියාවල සහ මුහම්මද් (සල්) තුමාණන් හෙළාදැකපු හා පිලිකුල් කල ක්‍රියාවන් හි වත්මන් මුස්ලීම් සමාජය නිරත වන අවාසනාවන්ත තත්වයක් සමාජය තුල දකින්නෙමු. මේ හේතුව නිසාම, මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කලයුත්තේ ඇයිද?, මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරන්නේ කෙසේද?, එම ආදරය අප තුල වර්ධනය කරගන්න අප කලයුත්තේ කුමක්ද?... වැනි කරුණූ යහමග අඩවිය ඔස්සේ මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය නොකරන මුස්ලීම්වරුන්ද?

අල්ලාහ් (දෙවි)ගේ අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට “ආදරය” කිරීම සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම ඉස්ලාම් දහම අනිවාර්‍ය කරන යුතුකම හා වගකීම බව මා ඉහතින් සදහන් කලෙමි. නමුත් මෙම යුතුකම ඉස්ලාම් දහමේ සීමාවල හිඳ නිසිලෙස අවබෝධ කර නොගත් මුස්ලීම් සමාජයේ සමහරක් ක්‍රියා කරන ආකාරය ඉතා කණගාටුදායක තත්වයේ පවතී. එනම්,

  • සමහරක් මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරන බව පවසමින් ඉස්ලාමයේ මූලික ඉගෙන්වීමන්ට එරෙහිව හා එය නොසලකා කටයුතු කරමින් එතුමාණන්ට ආදරය දක්වන බව පවසමින් සිටිති.
  • තවත් සමහරක් මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ (අල්හදීස්) ඉගෙන්වීමන්ට පරස්පරව කටයුතු කරමින් එතුමාණන්ට ආදරය දක්වන බව පවසමින් සිටිති.

මෙහි හාස්‍යජනකම කාරණය නම්, මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන් මාසය හා දිනය (වැඩිදුර කියවන්න උපන් දින සැමරීම හා නබිතුමාණන්ගේ ජන්ම දින සැමරීම) මූලික කරගෙන ඉහත ආකාරයට කටයුතු කරන පිරිස් සහ එම පිරිසගේ ආගමික අනවබෝධය අවස්ථාවක් කරගෙන වාසි ලබන සමහරක් මුස්ලීම් ආගමික පූජකවරුන්, ඔවුන්ගේ මෙම පහත් ක්‍රියාව සාධාර්ණීකරනය කිරීම පිණිස මෙවැනි ඉස්ලාම් විරෝධී ක්‍රියාවල නොයෙදෙන මුස්ලීම්වරුන්ට එරෙහිව ජනප්‍රිය චෝදනාවක් ඔවුන් එල්ල කරයි.

එම ජනප්‍රිය චෝදනාව නම්,

ඔවුන්, මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය නොකරන, එසේ ආදරය කිරීමට අවශ්‍ය නොවන බව පවසන හා එතුමාණන්ට අදරය කරන අපට එරෙහිව වන ඉස්ලාම් විරෝධීන්.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හා සීමාවන් නිසිලෙස අධ්‍යනය කොට ඒ අනුව කටයුතු කරන සැබෑ මුස්ලීම්වරුන්ට එරෙහිව මතු කරන මෙම චෝදනාව ආගමිකව බැලුවත්, ලෞකිකව බැලුවත් ඉතා බැරෑරුම් චෝදනාවකි. ඉස්ලාම් දහම ඉගෙන්වීමන් පිලිබදව නිසි අවබෝධයක් නොමැතිව සමාජ සම්ප්‍රදායන් හා ප්‍රෝඩාකාරී මුස්ලීම් ආගමික පූජකවරුන්ගේ මඟපෙන්වීමන් මත හිඳ අන්ධ භක්තියෙන් කටයුතු කරන පිරිසට ඉහත චෝදනාව සාධාර්ණ වූ චෝදනාවක් ලෙස පෙනීමෙහි වරදක් නැත. මන්ද ඔවුන් සිතන්නේ අපි මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය මුලික කරගෙන මාසයක් පූරාවට,

  • ගුණ ගායනා කරන්නෙමු,
  • කොඩිවැල් ඇද සැරසිලි කරන්නෙමු,
  • බල්බ්වැල් සහ වෙනත් ආකාරයේ පහන් ආලෝකමත් කරන්නෙමු,
  • තොරණ් ගසන්නෙමු,
  • පෙරහර යන්නෙමු,
  • දාන බෙදන්නෙමු,
  • විවිධ මව්ලූද් (ගුණවර්ණනා කවි) ගායනා කරන්නෙමු.
  • ...

එසේ තිබියදී මේ කිසිවක් ඉස්ලාම් නොවන බව පවසන මුස්ලීම්වරුන් කෙරෙහි ඉහත පිරිසට කෝපයක් ඒම පුදුමයක් නොවේ. මන්ද ඉහත ක්‍රියාවන් හි නියැලෙන බහුතරයකට පිවිතුරු ඉස්ලාම් ආගමික දැනුම නැති කම නිසාම මුහම්මද් (සල්) තුමාණන් කෙරෙහි සැබෑ භක්තියෙන් එය කරන බැවිණි. නමුත් අවාසනාවේ තරම කියන්නේ "ඔවුන් නාන්න ගොසින් මඩ නාගන්නා බව" ඔවුනට ඔවුන්ගේ නිකායවාදී මුස්ලීම් පූජකවරුන් කියාදෙන්නේත් නැත. යහමග සිටින මුස්ලීම්වරුන් කියන දෑ ඔවුන් තේරුම් ගන්නේද නැත. වසරකට මාසයක් එතුමාණන් සමරණ අප මෙන් නොවන තම දිවිය පරදුවට තබා නබිතුමාණන්ට ආදරය කල සහාභාවරුන් දහස් ගණනින් සිටිය බව අල්හදීස් අපට පවසයි. එම සහාභාවරුන් අතුරින් එක් කෙනෙකු හෝ මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය සැමරූ බවට හෝ ඉහත ආකාරයට සැණකෙළි පැවැත්වූ බවට එක් සාක්ෂියක් ගෙනආ හැකිද?. (මේ පිලිබදව දීර්ඝ ලෙස කරුණූ සාකච්චා කල මුහම්මද් (සල්) තුමාගේ උපන් දිනය හා වර්ථමාන මුස්ලීම් සමාජ ක්‍රියාකලාප යන ලිපිය කියවන්න) ඔවුන් මුහම්මද් (සල්) තුමාණන්ට "ආදරය" නොකල පිරිසක්ද?. ඔවුන් තම ආදාරය මුහම්මද් (සල්) තුමාණන්ට පෙන්වූයේ කෙසේද?. එම කාරණය අවබෝධ කරගෙන ඒ ආකාරයට ම අපිත් ආදරය කරමු යන්නයි අපේ වාදය. එවිට අද මේ සමාජය මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරන බව පවසමින් කොතරම් දුර්මාර්ගයක සිටිනවාද? යන්න ඔවුනට ම අවබෝධ වනු ඇත.

එම කාරණය ඔබේ බුද්ධීමත් විමසුමට තබමින් වත්මන් මුස්ලීම් සමාජයේ සමහරක් මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරන බව පවසමින් කරන කියන දෑ පිලිබදව යහමග අඩවිය මීට ඉහත ඉදිරිපත් කල ලිපි දෙකක් මෙහි පහතින් ඔබේ වැඩිදුර කියවීම සදහා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි.

ඉහත ලිපි කෙරෙහි ද ඔබේ බුද්ධිමත් අවදානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමින් මෙම ලිපිය ආරම්භයේ මා පැවසූ "මුහම්මද් (සල්) තුමාණන්ට සැබෑ ලෙස ආදරය කිරීම ලොවපුරා මුස්ලීම්වරුන් කෙරෙහි පැවරෙන එම වගකීමකි". යන්න පිලිබදව දැන් අවදානය යොමු කරමු.

මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කිරීම සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම පැවරෙන වගකීමක්

"මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කිරීම" යන්න, ලෝකයේ අන් සියල්ලට වඩා ඉදිරියෙන් තිබෙන මුස්ලීම්වරයෙකුගේ හදවතින්ම සිදුවිය යුතු වගකීමකි. මුහම්මද් (සල්) තුමාණන් කෙරෙහි ඇති ආදරයේ ශක්තිය මුස්ලිම්වරුන්ගේ ඇදහිල්ල හා සම්බන්ධ වන කාරණයකි. ඔහුගේ දේව විශ්වාසය වැඩි වන විට, නබි (සල්) තුමාණන් කෙරෙහි ඔහුගේ ආදරය ද වැඩි වේ. තවත් සරලව පවසනවා නම්, නබි (සල්) තුමාණන්ට ආදරය කිරීම අල්ලාහ් (දෙවි)ට කීකරු වීමේ ක්‍රියාවේ සහ ඔහු වෙත සමීප වීමේ මාධ්‍යයේ එක් අංගයකි. මෙය අල්හදීස් එකක මෙසේ පැවසේ...

“කෙනෙකු තම පියාට, තම දරුවන්ට සහ අනිකුත් මිනිසුන්ට වඩා මා හට ආදරය කරන තුරු ඔහු කිසිවිටෙක සැබෑ (මූමීන්වරයෙකු) විශ්වාසවන්තයෙකු වන්නේ නැත” යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසූ බව අනස් (රලි) තුමා වාර්තා කරයි. 

මූලාශ්‍ර අල්හදීස් ග්‍රන්ථය - බුහාරි සහ මුස්ලිම්

ඉහත හදීසයට අනුව මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය දැක්වීම සෑම මුස්ලීම්වරයෙකුට ම පැවරෙන අනිවාර්‍ය වගකීමක් යන්නත්, එසේ ආදරයක් නොමැතිව ඔහුට සැබෑ මුස්ලීම්වරයෙකු (මූමීන්වරයෙකු) ලෙස ඉස්ලාමය තුල සිටිය නොහැකි බවත් මෙහි තේරුම් ගතයුතු වේ.

මා මෙසේ පවසන විට කෙනෙකුට "ආදරය කියන්නේ ආයාසයෙන් සිතේ ඇති කරගත හැකි කාරණයක් නොවේ. එය සිත තුල ගොඩනැඟිය යුතු කාරණයක්." යනුවෙන් සිතෙන්නට පුළුවන. ඔව්, ඔබ හරි, බොරුවට "අපි මුහම්මද් (සල්) තුමාණන්ට ආදරෙයි" යැයි පැවසීමෙන් ඉහත වගකීම සම්පූර්ණ නොවේ. එතුමාණන් කෙරෙහි සැබෑ ආදරය අප සිත්තුල ගොඩනැඟීම අත්‍යඅවශ්‍ය වේ. එය මා ඉහතින් සදහන් කලාසේ,

  • ගුණ ගායනා කරමින්,
  • කොඩිවැල් ඇද සැරසිලි කරමින්,
  • බල්බ්වැල් සහ වෙනත් ආකාරයේ පහන් ආලෝකමත් කරමින්,
  • තොරණ් ගසමින්,
  • පෙරහර යමින්,
  • දාන බෙදාදෙමින්,
  • විවිධ මව්ලූද් (ගුණවර්ණනා කවි) ගායනා කරමින්,
  • ...

කල හැක්කක් නොවේ. "එතුමාණන්ට සැබෑවටම ආදරය කලයුත්තේ ඇයි?" යන කාරණය හඳවතින්ම අවබෝධ කරගෙන ඒ තුලින් එතුමාණන් කෙරෙහි ආදරය අප සිත් තුල වර්ධනය කර ගතයුතු වේ. එසේනම්, මුහම්මද් (සල්) තුමාණන්ට අප ආදරය කලයුත්තේ ඇයි? යන කාරණය දැන් විමසා බලමු.

මුහම්මද් (සල්) තුමාණන්ට මෙපමණ ආදරය කලයුත්තේ ඇයි?

"මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කිරීම" යනු මයික්සෙට් දාගෙන රටේ නැති බොරු වර්ණනා එතුමාණන් නමින් පැවසීමත්, එවැනි ක්‍රියාවන්ට සහය නොදෙන මුස්ලීම්වරුන් ගැරහීමත්, ඔවුනට බැණ වැදීමත්, කොඩි වැල්, බල්බ් වැල් සහ තොරන් ගසමින් සැරසිලි කිරීමත්, පල්ලි පල්ලි අතර තරඟකාරීව සහ තම කුජවඩවා පෙන්වන ලෙස බත් දන්සැල් දීමත්... සැබෑ ආදරය කිරීම නොවේ. මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කලයුතු හේතු කාරණයන් අවබෝධ කරගෙන ඒ තුලින් ගොඩනඟන ආදරයයි සැබෑ ආදරය වන්නේ. එවන් කරුණු කිහිපයක් වෙත දැන් අවදානය යොමු කරමු.

01 වන කාරණය

අල්ලාහ් (දෙවි) තම දහම මනුෂ්‍ය වර්ගයා වෙත ගෙනයාම සදහා තම සියළු මැවීමන් අතරින් තෝරා ගත්තේ මුහම්මද් (සල්) තුමාණන්වයි. අල්ලාහ් (දෙවි) එතුමාණන්ව එලෙස තෝරා ගත්තේ ඔහු එතුමාණන්ට ආදරය කළ නිසාත්, එතුමාණන් ගැන සතුටු වූ නිසාත් වියයුතුය. අල්ලාහ් (දෙවි) එතුමාණන් ගැන සතුටු නොවන්නේ නම්, ඔහු එතුමාණන්ව තෝරා නොගන්නට තිබුණි. එසේනම්, මේ ආකාරයට අල්ලාහ් (දෙවි) ආදරය කල එතුමාණන්ට අප ද ආදරය කලයුතු නොවේද?. මේ සියල්ලටම වඩා එතුමාණන් අල්ලාහ් (දෙවි)ගේ සමීප මිතුරා බවත් සමීප මිත්‍රත්වය උසස් තත්ත්වයක් බවත් එය ආදරයේ ඉහළම මට්ටම බවත් ඉස්ලාම් පවසයි. එය පහත අල්හදිස් තුලින් පැහැදිලි වේ.

ජුන්දුබ් (රලි) තුමා පවසයි. “නබි (සල්) තුමාණන් මෙසේ පවසනු මට ඇසිණි: 'ඔබ අතරෙන් මට සමීප මිතුරෙකු නොමැති බව මම අල්ලාහ් (දෙවි) ඉදිරියේ ප්‍රකාශ කරමි. අල්ලාහ් (දෙවි) ඉබ්බ්‍රාහිම් (අලෛ) තුමාව සමීප මිතුරෙකු ලෙස ගත් ආකාරයටම මාවද සමීප මිතුරෙකු ලෙස ගෙන ඇත. මම මගේ උම්මාව (මුස්ලීම් සමාජය) අතරින් සමීප මිතුරෙකු ගන්නේ නම්, මම අබුබකර් (රලි) තුමාව සමීප මිතුරෙකු ලෙස ගන්නෙමි.

මූලාශ්‍ර අල්හදීස් ග්‍රන්ථය - මුස්ලිම්

සර්වබලධාරී අල්ලාහ් (දෙවි)ගේ මිත්‍රයා වූ මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කිරීමට මීටත් වඩා හේතු අවශ්‍යද?.

02 වන කාරණය

මුහම්මද් (සල්) තුමාණන් මනුෂ්‍ය වර්ගයා අතුරින් හොඳම තැනැත්තාය. එය අල්ලාහ් (දෙවි) එතුමාණන්ව ඔසවා තැබූ උසස් තත්ත්වය තුලින් මනාව පැහැදිලි වේ. එනම්,

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බවට අබූහුරෙයිරා (රලි) තුමා මෙසේ පවසයි “මළවුන් කෙරෙන් නැගිටුවන (විනිශ්චය) දිනයේදී මම මනුෂ්‍ය වර්ගයාගේ නායකයා වන්නෙමි, පළමු සොහොන විවෘත වන, පළමු මැදිහත්කරු සහ මැදිහත්කරු ලෙස ඉල්ලා සිටින පළමුවැන්නා මමයි."

මූලාශ්‍ර අල්හදීස් ග්‍රන්ථය - මුස්ලිම්

මේ ආකාරයට මෙලොව පමණක් නොව පරලොව ද අපගේ නායකයා ලෙස අප වෙනුවෙන් මැදිහත් වන මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කිරීමට මීටත් වඩා සාධාර්ණ හේතු අවශ්‍යද?

03 වන කාරණය

ඉස්ලාම් දහම විවිධ සැණකෙලිවලට හා බත් දන්සල්වලට සීමා කොට ඇති වත්මන් සමාජය තේරුම් ගතයුතු කාරණයක් ඇත. එනම්, ඉස්ලාම් දහම එදා එනම්, එහි ආරම්භ කාලයේදී එහි පිවිතුරු බවින්ම අපට අද දක්වා ආරක්ෂා කරදීමට එතුමාණන් විඳි පීඩා සහ දුෂ්කරතා සුළුපටු නොවේ. එතුමාණන් විවිධ වූ හිංසා පීඩා, පහර දීම, මඩ ගැසීම් සහ අපහාස... මධ්‍යයේ මෙම දහම ආරක්ෂා කොට අපට මෙය දායද කළ බව අප මතක තබා ගත යුතුය. එතුමාණන්ගේ සමීපතම මිතුරන්, ඥාතීන් පවා එදා එතුමාණන්ව ප්‍රතික්ෂේප කරන විටත්, මේ දහම වැළදගැනීම ම හේතුවක් කරගෙන තම අනුගාමිකයින් ඝාතනය කරන විටත්. එවකට සමාජය මුහම්මද් (සල්) තුමාණන්ව පිස්සෙකු, බොරුකාරයෙකු සහ මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු ලෙසට චෝදනා නඟන විටත් ඒ සියල්ල විඳදරාගෙන ඉස්ලාම් දහම ගොඩනැඟුවේ අපට සැණකෙලි පවත්වන්නට සහ බත් කකා පුරසාරම් දොඩවන්නටද?.

එදා තම දිවිය පරදුවට තබා මෙම දහම ඉස්ලාම් විරෝධීන්ගෙන් ආරක්ෂා කිරීමට සටන් කිරීමට ද මුහම්මද් (සල්) තුමාණන්ට සිදුවිය. එම සටන් තුල තම ලේ වැගිරීමටත්, තම උපන් බිම අතහැර දිවි බේරාගෙන පලායමටත් සිදුවිය. තම උපන්බිමෙන් නෙරපන්න කටයුතු කරද්දීත්, තමන්ට සහ තම අනුගාමිකයින්ට එරෙහිව සේනාව රුස් කොට සටනට එද්දීත් තම දිවිය ගැන නොසලකා පිවිතුරු ඉස්ලාම් දහම හා එහි අනුගාමික සහාභාවරුන් වන මුස්ලීම් (සමාජය) උම්මාව වෙනුවෙන් ධෛර්‍යයෙන් නැඟීසිට නායතක්වය දී අද ලොව ජනප්‍රිය දහම් අතර මුල්තැන සිටින දහම බවට පත්කිරීමට එදා එතුමාණන් කල සේවයට වඩා එතුමාණන්ට ආදරය කරන්න තවත් හේතු අවශ්‍යද?.

04 වන කාරණය

මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන් මාසය හා දිනය මූලික කරගෙන, මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරන බව පවසමින් ඒ වෙනුවෙන් කවි සිංදු කියා, නැටුම් නටා, කොඩිවැල් සහ බල්බ්වැල් දමා, තොරණ් බැඳ, මහා පරිමාණ දන්සැල් දී... කරන සමහරකගේ විකාර ඉස්ලාම් නොවන බව දහම ගැඹූරින් අධ්‍යනය කල පිරිස් පවසන විට එම පිරිස ප්‍රසිද්ධියේම උපහසයට හා අපහසයට ලක් කරමින් එයත් එතුමාණන්ට දක්වන ආදරයේ කොටසක් බව සිතන පිරිස එතුමාණන්ට ගැඹුරින් ආදරය කළ එතුමාගේ සහාභාවරුන් (හෙවත් මුස්ලීම් සමකාලීනයන්)ගේ ක්‍රියාකලාපයන් ආදර්ශයට ගත යුතුය. ඔවුන් තම ධනය, පවුල හා ප්‍රාණයට වඩා එතුමාණන්ට ආදරය කරන්නන් විය. ඒ ආදාරය වත්මන් සැණකෙළි "ආදරය" මෙන් නොවේ. විවෘත මනසින් ඒ ආදරය මොහොතක් විමසා බලන්න.

සටන් බිමේ නිර්භීත සටන් කරන උම්මු උමාරා (රලි) තුමිය සටන් බිමේ හිඳ, සටන් කරන අතරතුර එනම්, සටන් ඝෝෂාව මැද, කඩු ගැටෙමින්, ඊතල හිසට ඉහළින් පියාසර කරමින්, මිනිසුන් මරණ වේදනාවෙන් කෑගසමින් මිය යන හඬ මැද හිඳ මුහම්මද් (සල්) තුමාණන්ගෙන් ආයාචනාවක් කලේය. එනම්, "අල්ලාහ්ගේ දූතයාණෙනි!, ස්වර්ගයේ අපව ඔබගේ සහකරුවන් (මිතුරන්) බවට පත්කරන ලෙස අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා කරන්න !" යනුවෙනි. එයට මුහම්මද් (සල්) තුමාණන් "යාඅල්ලාහ්, ඔවුන්ව ස්වර්ගයේ මාගේ සහකරුවන් කරත්වා!". යනුවෙන් ප්‍රාර්ථනා කලේය.

වැඩිදුර කියවන්න - ආදර්ශමත් කාන්තාව - උම්මු උමාරා (රලි) තුමිය

අනස් (රලි) තුමා පවසයි. "උහුද් සටන දින යුධ පිටියේ නබිතුමාණන් හුදෙකලා වූ විට අබුතල්හා (රලි) තුමා තම දිවිය පරදුවට තබා නබිතුමා ආරක්ෂා කරමින් සහ ආවරණය කරමින් එතුමා ඉදිරියේ පළිහක් සේ සිටගත්තේය. අබුතල්හා (රලි) යනු බලවත් දුනුවායෙක් විය. නබිතුමාණන්ව ආරක්ෂා කරමින් අබූතල්හා (රලි) තුමා සටන් කරන අතරතුර  නබි (සල්) තුමාණන් යුධ පිටියේ සිටින මිනිසුන් දෙස බැලීමට හිස එසවූ සෑම අවස්ථාවකම අබුතල්හා (රලි) තුමා “අල්ලාහ් (දෙවි)ගේ දූතයාණෙනි!, මාගේ පියා සහ මාගේ මව ඔබ වෙනුවෙන් පූජා කරනු ලැබේවා!, ඔබට පහර වඳින ලෙස ඔබේ හිස ඔසවන්න එපා. සතුරා විසින් විදින ඊතලයන්. මගේ බෙල්ල ඔබේ බෙල්ලට ඉදිරියෙන් ඇත. ” 

මූලාශ්‍ර අල්හදීස් ග්‍රන්ථය - බුහාරි සහ මුස්ලිම්

මේ ආකාරයට තම දිවිය පරදුවට තබා එතුමාණන්ට ආදරය කල සහාභාවරුන් කොහිද? වසරකට මාසයක් "සැණකෙළි කිරීම තමයි ආදරය කරන හොඳම විදිය" යැයි සිතන අප කොහිද?. මුස්ලීම් අප දකින දකින දෑ සහ සිතෙන සිතෙන දෑ කරන්නට මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරන්න ආදර්ශ නැති සමාජයක් නොවේ. එතුමාණන්ට ආදරය කරන්න ඕනෑවටත් වඩා ආදර්ශ අපට ඇත. එම ආදර්ශ පිලිගෙන මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය නොකොට අප යහපත් මුස්ලීම්වරුන් වන්නට සිතන්නේ කෙසේද?.

05 වන කාරණය

ඉස්ලාම් දහම යනු අල්ලාහ් (දෙවි)ගේ දිව්‍ය වදන් සහ එම වදනට මුහම්මද් (සල්) තුමාණන් ලබාදුන් ආදර්ශය යන්නෙහි එකතුවයි. මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය “සුන්නාව” ලෙස හදුන්වන අතර එම සුන්නාව නොමැතිව ඉස්ලාම් දහම පිලිපැදීමට හෝ අවබෝධ කරගැනීමට හෝ නොහැක. ඒ අනුව සෑම මුස්ලීම්වරයෙකුම සුන්නාව නොහොත් මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය එනම්, වචනය, ක්‍රියාව සහ අනුමත කිරීම් යනාදීය අංශුමාත්‍රයක් හෝ අත්නොහැර අනුගමනය කිරීම අවශ්‍ය වේ. මෙසේ ක්‍රියා කරන්නෙකු පමණයි සැබෑ එසේම නිවැරදි මුස්ලීම්වරයෙකු වන්නේ. එවන් වූ සුන්නාව අපට දායාද කොට අපව යහමග ගැන් වූ මුහම්මද් (සල්) තුමාණන්ට අප ආදරය කලයුතුද? යන්නෙහි කිසියම් මුස්ලීම්වරයෙකුට සැකයක් පැවතිය හැකිද?.

06 වන කාරණය

මුහම්මද් (සල්) තුමාණන් තම (මුස්ලීම්) උම්මාවට දැක් වූ ආදරය සමකාලීන සහාභාවරුන් ඉක්මවා වර්ථමානය දක්වා දිවයන එකකි. එය කොතරම් පුළුල් වූ එකක් ද යන්න කියැවෙන හදීසයක් ඔබේ විමසුමට මෙහි ගෙන එන්නේ නම්,

වරක් නබිතුමාණන් “අනිවාර්‍යයෙන්ම මම කැමතියි මගේ සහෝදරයන් එක්ක ඉන්න." යනුවෙන් පවසන ලදී. එවිට (සමකාලීන) සහාභිවරයෙක් “අපි ඔබේ සහෝදරයන් නොවේද?” යනුවෙන් විමසීය. එවිට මුහම්මද් (සල්) තුමාණන්  “ඔබ මගේ (සමකාලීන) සහාභාවරුන්ය. මගෙන් පසු මා නොදැක මා අනුගමනය කරන අයද පැමිණෙති” යනුවෙන් පැවසීය

මූලාශ්‍ර අල්හදීස් ග්‍රන්ථය - අහමද්

විවිධ වූ බාධක මධ්‍යයේ දුෂ්කර සහ කටුක අවදියක ඉස්ලාමය ගොඩනඟමින් සිටින ආරම්භ කාලයේ පසුකාලීනව ඉස්ලාමය අනුගමනය කිරීමට එන අනාගත පරම්පරාව වන අප ගැන මුහම්මද් (සල්) තුමාණන් එදා ආදරයෙන් සහ උනන්දුවෙන් ඉහත ආකාරයට කථා කලානම්, ඒ උතුම් මිනිසාට අපගේ ආදරය කොතරම් එකක් වියයුතුද?.

07 වන කාරණය

අල්ලාහ් (දෙවි) විසින්ම කෙනෙකු “ඔහු සෘජු මාර්ගයේය” යනුවෙන් සහ “ලොව අලංකාරම ආදර්ශය ඔහු සතුය” යනුවෙන් සහතිකයක් ලබාදෙයි නම්, ඔහු සමස්ථ මුස්ලීම් සමාජයේම ආදරයට සහ අනුගමනයට සුදුසු චරිතයක් යන්නෙහි දෙවැනි මතයක් කිසිවකුටත් පැවතිය නොහැක. එසේනම් පහත අල්කුර්ආන් වාක්‍යය මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න.

‘නියත වශයෙන්ම ඔබ (අපගේ) දූතයන් (වක්තෘවරුන්) අතුරින් කෙනෙකු වන්නේය. සෘජු (යහපත්) මාර්ගයේ සිටින්නේය.’

අල්කුර්ආනය 36-3,4

‘මෙම නබිවරයා (වක්තෘවරයා) හමුවේ නුඹලාට (ජනතාවට) අලංකාර ආදර්ශයන් ඇත්තේය.’

අල්කුර්ආනය 33-21

ලොව කිසිදු මනුෂ්‍යයෙකුට කිසිදු දිනක ලබා නොදුන් සහතිකයක් ඉහත අල්කුර්ආන් වාක්‍ය දෙකෙන් අල්ලාහ් (දෙවි) මුහම්මද් (සල්) තුමාණන් හට ලබාදී ඇත. මෙලෙස සමස්ථ ලෝකවාසී මුස්ලීම් ප්‍රජාවට සෘජු මාර්ගයේ හිඳ අලංකාර ආදර්ශ ලබාදෙමින් යහමග මෙහෙය වූ එතුමාණන්ට අප ආදරය කලයුතු නොවේද?.

08 වන කාරණය

අනිකුත් ඕනෑම පුද්ගලයෙකුට වඩා නබි (සල්) තුමාණන්ට ආදරය කිරීම සහ ඔහුට ගරු කිරීම අනිවාර්‍ය වීමට හේතුවක් ඇත. එනම්, නබි (සල්) තුමාණන් අතින් හැර මෙලොව හෝ පරලොව උතුම්ම යහපත අපට ලබාගත හෝ ලඟා කරගත නොහැකි වීමයි. ඔහු කෙරෙහි විශ්වාස කිරීමෙන් සහ ඔහු අනුගමනය කිරීමෙන් පමණයි එය ලඟා කරගත හැක්කේ. එතුමාණන්ම හැර අන්කිසිවකුටත් අප වෙනුවෙන් අල්ලාහ් (දෙවි) හමුවේ මැදිහත් විය නොහැක. නබි (සල්) තුමාණන් තුළින් මිස අල්ලාහ් (දෙවි)ගේ දයාව අප වෙත විනිශ්චය දින ළඟා විය නොහැක. එතුමාණන් කෙරෙහි විශ්වාසය තැබීමෙන්, එතුමාණන් ආදරය කිරීමෙන්, එතුමාණන් පක්ෂපාතීව හා එතුමාණන් අනුගමනය කිරීමෙන් පමණයි එය දිනාගත හැක්කේ. එසේනම්, අපගේ ආදරණීය නබිතුමාණන්ගේ ජීවිතය අධ්‍යයනය කිරීමට අපි සෑම දිනකම කාලය ගත කරමු, එවිට අපට ඔහු කෙරෙහි ඇති ආදරය වැඩි කර ගත හැකිය. ලෞකිකව මිතුරන්, අඹුසැමියන්, අප අගය කරන අය ගැන දැනගන්න අප කොතරම් කාලය ගතකරන්නේද? එසේනම් මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය කියාදුන් එතුමාණන් ගැන ඉගෙන ගැනීමට අප කොතරම් කාලය ගතකල යුතුද?.

මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරන්නේ කෙසේද?

මෙලොවෙහි මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කලයුතු නැතැයි සිතන හෝ පවසන කිසිදු මුස්ලීම්වරයෙක් සිටිය නොහැක. එසේ කිසිවකු සිටී නම්, ඔහු නියත වශයෙන්ම මන්දබුද්ධියෙන් පෙලෙන රෝගියෙකු හෝ සිහිවිකල් වූ කෙනෙකු විය යුතුය. මුස්ලීම් සමාජය කුමන කල්ලි, කණ්ඩායම්, නිකායන්, ජමාත්, බෙදීම්... නියෝජනය කලත්, ඉස්ලාමය අනුගමනය නොකරන නාමික මුස්ලීම් වූවත් මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කිරීම අත්‍යඅවශ්‍ය බව නම් කිසිවකුත් නොපවසනු ඇත. මෙහි ගැටළුව ඇත්තේ මුහම්මද් (සල්) තුමාණන් කෙරෙහි තිබෙන ආදරය තමන් තුලින් මතුකොට පෙන්වන්නේ කෙසේද? යන්න පිලිබදවයි.

ඉස්ලාම් දහම වැසිකිලි කැසිකිලි යන ආකාරය පටන් රාජ්‍ය පාලනයක් කරන්නේ කෙසේද? යන්න දක්වා සියල්ල සවිස්තරව ආදර්ශ ලබාදුන් දහමකි. පහත හදීසයට මොහොතක් අවදානය යොමු කරන්න.

මුස්ලීම් නොවන කෙනෙකු, (නබිතුමාගේ කාලයේ ජීවත් වූ එතුමාගේ සමකාලීන මුස්ලීම්වරයෙකු වන) සහාභිවරයෙකු හමුවට පැමිණ ‘ඔබලාගේ දහමේ කෙල ගසන ආකාරයත් පවසනවානේ!’, යනුවෙන් (අපහසාත්මකව) පවසන ලදී. එයට එම සහාභිවරයා ‘කෙල ගසන ආකාරය පමණක් නොව වැසිකිලි කැසිකිලි යන ආකාරයත් පැහැදිලිව හා සවිස්තරව අපේ ආගම අපට පවසනවා’ යනුවෙන් (ආඩම්භරයෙන්) පිලිතුරු දෙන ලදී.

මූලාශ්‍ර අල්හදීස් ග්‍රන්ථය - හදීස්

මේ ආකාරයට ආදර්ශ ලබාදෙන දහම තුල මෙම කාරණය එනම්, මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරන්නේ කෙසේද? යන කාරණය සම්බන්ධයෙන් පමණක් නිසි මඟපෙන්වීමක් නොකලා යැයි ඔබ සිතන්නේද?

01 - ඔබ එතුමාණන්ට ආදරෙයි නම්, ඔහු ප්‍රකාශ කළ පණිවිඩය අනුගමනය කරන්න

මුහම්මද් (සල්) තුමාණන් දේවවක්තෘ ලෙස මෙලොව තෝරා පත්කිරීමේ මූලිකම හේතුව එතුමාණන් තුලින් දේව පණිවුඩය වූ “අල්කුර්ආනය” මිනිස් සමාජයට ප්‍රකාශ කිරීමයි. එසේ ප්‍රකාශ වූ දහම එකසිතින් පිලිගෙන පිලිපදින්නේ නැතුව “අපි මුහම්මද් (සල්) තුමාණන්ට අසීමිතව ආදරය කරන්නෙමු” යනුවෙන් මයික්කටවල් දමාගෙන හඬ නැඟීමෙන් හෝ විවිධ කොඩිවැල්, බල්බ්වැල්, තොරණ් සැරසිලි... යනාදී සැණකෙළි සිදු කරමින් එතුමාණන්ට ආදරය කරන බව ප්‍රකාශ කිරීමට උත්සාහ කිරීම විහිළුවක් මෙන්ම එතුමාණන්ට කරන අපහසයකි.

ඔබ නැවත නැවතත් බුද්ධිමත්ව විමසා බලන්න. එදා එතුමාණන් ලේ වගුරවමින් විවිධ දුෂ්කරතාවයන්ට හා තර්ජනයන්ට මුහුණදෙමින් ගොඩනැඟූ කුර්ආනීය සමාජය අද කොඩිවැල්, බල්බ්වැල්, තොරණ් සැරසිලි, කවි සිංදු සහ බත් දන්සැල්... යනාදී පටු සීමාවකට කොටු කොට සමාජය ක්‍රියා කිරීම එතුමාණන්ට දක්වන ආදරයද?, අපහසයද?. තම දිවිය පරදුවට තබා රැකදුන් අල්කුර්ආනය හොදින් අධ්‍යනය කොට, එහි ඉගෙන්වීමන් ජීවියට ගලපාගෙන, එය නිතර පාරායනය කරමින්, එහි අරුථ සහ වදන් වනපොත් කරමින් ගෙවන ජීවිතය එතුමාණන්ට දක්වන සැබෑ ආදරයයි. මන්ද මුහම්මද් (සල්) තුමාණන් හරහා පහළ වූ මැවුම්කරුගේ තීන්දු පාරායනය කිරීම, අධ්‍යනය කිරීම, එය ක්‍රියාත්මක කිරීම සහ එම දිව්‍ය ග්‍රන්ථය විශ්වාස කිරීම කෙනෙකු සැබෑ මුස්ලීම්වරයෙකු වීමේ ප්‍රධාන අංගයක් වන බැවිණි. මෙවන් ආදර්ශයක් මුහම්මද් (සල්) තුමාණන්ගේ දිවිය තුලත් තිබූ බව මුහම්මද් (සල්) තුමාණන්ගේ බිරිඳ වන ආයිෂා (රලි) තුමිය වරක් මෙසේ පැවසීය.

කෙනෙකු ආයිෂා (රලි) තුමිය හමුවට පැමිණ “නබිතුමාණන්ගේ ජීවිතය කවර ආකාරයට පැවතුණේද?” යනුවෙන් විමසූ විට “එතුමාණන්ගේ ජීවිතයම අල්කුර්ආනය විය” යනුවෙන් පිලිතුරු දුන්නේය.

මූලාශ්‍ර අල්හදීස් ග්‍රන්ථය - බුහාරි

මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිතයම අල්කුර්ආනයට අනුකූල වූවානම්, තම ප්‍රාණයට වඩා එතුමාණන්ට ආදරය කරන, එතුමාණන් පමණක් අපට පරමාදර්ශි යැයි සිතන අපගේ ජීවිත ද එතුමා සේම අල්කුර්ආනය ම වියයුතු නොවේද?.

02 - ඔබ එතුමාණන්ට ආදරෙයි නම්, එතුමාගේ සුන්නාව අනුගමනය කිරීමට ප්‍රිය කරන්න

ඉස්ලාම් දහම ගොඩනැඟී ඇත්තේ දිව්‍යමය මඟපෙන්වීම මතයි. එම දිව්‍යමය මඟපෙන්වීම වන්නේ “අල්කුර්ආනය” සහ “අල්හදීස්” නම් සුන්නාවයි. “සුන්නාව” යනු ඉස්ලාම් දහම මුහම්මද් (සල්) තුමාණන් ප්‍රායෝගිකව අපට පෙන්වා දුන් ආකාරයයි. එනම්, එතුමාණන්ගේ වදන්, ක්‍රියාවන් හා අනුමත කිරීමන් හි එකතුවයි. (මේවා හදීස් ග්‍රන්ථ ලෙස සංරක්ෂණය වී ඇත.) ඒ අනුව කෙනෙකු නබිතුමාණන්ට ආදරය කරන්නේ නම්, එම ආදරය සුන්නාව නොසලකා හෝ එම සුන්නාවට පරිභාහිරව පැවතිය නොහැක. අප සුන්නාවට දක්වන උනන්දුවේ තරම මත එතුමාණන්ට අප දක්වන ආදරයේ තරම තීන්දු වේ. එසේම ඔබ සුන්නාවට වැඩි වැඩියෙන් ආදරය කරන තරමට, ඔබ එය ඔබේ ජීවිතයේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ඇත. එසේම එය ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක කිරීමට උනන්දු ද වනු ඇත. එපමණක් නොව යමක් සුන්නාවට පටහැනි බව ඔබ දැනගත් විට, ඔබ එම ක්‍රියාවෙන් ඈත් වීමට දෙවරක් නොසිතනු ඇත. ඔබේ ජීවිතය මේ ආකාරයට සුන්නාව මත පදනම් වූයේ නම්, ඒ මුහම්මද් (සල්) තුමාණන් කෙරෙහි ඔබේ ආදරය පිළිඹිබු වීමකි.

03 - ඔබ එතුමාණන්ට ආදරෙයි නම්, එතුමාණන්ගේ “චරිතාපදානය” අධ්‍යනය කරන්න

ලොව වෙසෙන සෑම මුස්ලිම්වරයෙකුම නබි (සල්) තුමාණන්ගේ චරිතාපදානය අධ්‍යනය කළයුතුයි යන්න මාගේ යෝජනාවයි. එතුමාණන්ගේ දයානුකම්පාව, ආදරය, කැපවීම, අවංකකම, සුන්දරත්වය, චරිතවත් බව, උම්මාව කෙරෙහි තිබූ සැලකිල්ල සහ මෙම දහම් පණිවුඩය ලොවපුරා ගෙනයාමට ගත් පියවර... යනාදී බොහෝ කරුණූ ඒ තුලින් අවබෝධ කරගත හැක. මෙතැනදී කිවයුතු විශේෂ කාරණයක් ද ඇත. එනම්, “මුහම්මද් (සල්) තුමාණන්ට අදාරය කරනවා” යැයි පවසමින් එතුමාණන් නමින් ගොතන ලද බොරු වර්ණනයන් අනුගමනය නොකිරීමට පරිස්සම් වියයුතුය. අද බඩගොස්තරවාදී බොහෝ පූජකවරුන් කරන්නේ තමන්ට වාසියක් ලැබෙන ආකාරයට කුමක් හෝ ප්‍රෝඩාවක් දහම තුල නිර්මාණය කිරීමයි. එය මුස්ලීම් සමාජය තුල ද දකින්නට ඇත. “මෙය ඉස්ලාම්” යැයි පවසමින් මුස්ලීම් සමාජය නොමඟ යැවීම අද සුලබ දසුනකි. මෙවැනි කුමන්ත්‍රණවලින් මුස්ලීම් සමාජය පරිස්සම් වියයුතුයි. ඒ සදහා පිළිගත්, අව්‍යාජ මූලාශ්‍රයකින් චරිතාපදානය අධ්‍යනය කලයුතුයි.

04 - ඔබ එතුමාණන්ට ආදරෙයි නම්, ඔබ එතුමාණන්ට “සලවාත්” (යාඥා) කරන්න.

"අල්ලාහුම්මහ් සලි අලා මුහම්මද්" යැයි පැවසීම ආදරණීය දූතයා වෙත සාමය සහ ආශිර්වාදය සහ දයාව ප්‍රාර්ථනා කිරීමකි. මෙය අල්ලාහ් (දෙවි)ගෙන් ඉල්ලා සිටින ලෙස මුහම්මද් (සල්) තුමාණන් අපෙන් ආයාචනා කොට ඇත. අප එසේ අල්ලාහ් (දෙවි)ගෙන් ඉල්ලා සිටින විට එය සර්වබලධාරී අල්ලාහ් (දෙවි) නබිතුමාණන්ට ලබාදෙනවා යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එපමණක් නොව ඔබ ඔහුට එසේ ආචාර කරන සෑම අවස්ථාවකම, ඔබගේ එම යාච්ඤාව දේවදූතයෙකු මඟින් නබිතුමාණන්ට දැනුම් දෙනු ඇත. ඔබ වැඩි වැඩියෙන් ඔහු වෙත යාඥාවන් කරන විට නැවත නැඟිටීමේ දිනයේ ඔබ එතුමාණන්ට සමීප වන අතර, එම දරුණු දිනයේදී ඔබ වෙනුවෙන් එතුමාණන් මැදිහත්වීම ද සිදුවනු ඇත.

05 - ඔබ එතුමාණන්ට ආදරෙයි නම්, එතුමාණන් ආදරය කළ දේට සහ ආදරය කළ අයට ආදරය කරන්න

මුහම්මද් (සල්) තුමාණන් ආදරය කල ස්ථාන සහ වස්තූන් හා වෛකල්පිත නැමදුම් ඇත. ඒ පිලිබදව අල්හදීස් තුල දීර්ඝ වශයෙන් විස්තර කොට ද ඇත. උදාහර්ණයකට සඳුදා සහ බ්‍රහස්පතින්දා උපවාසයේ නිරතවීම සහ කියාමුල්ලෛල් නැමදුම මෙහි සදහන් කලහැක. මෙවැනි ක්‍රියාවල අපටත් නිරතවිය හැක. එසේම එතුමාණන් ආදරය කළ පුද්ගලයින් වන සහාභාවරුන් එහිද විශේෂයෙන් අබුබකර් (රලි) තුමා, උමර් (රලි)තුමා, උස්මාන් (රලි) තුමා, අලි (රලි) තුමා... සදහන් කලහැක. මේ පිරිසට ආදරය කිරීම ද නබිතුමාණන් කෙරෙහි ආදරය වැඩි කරන්නකි.

06 - ඔබ එතුමාණන්ට ආදරෙයි නම්, එතුමාණන්ගේ ජීවිතය නිතර සිහිපත් කරමින් එතුමාණන් සමඟ සිටීමට ආශා කරන්න

ඔබ කිසියම් කෙනෙකුට ආදරය කරන විට, ඔවුන් ගැන නිතර සිහිවෙනවා යන්න ස්වභාවිකව සිදුවන්නකි. ඒ ආකාරයට ඔබ අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන්ට ද වැඩි වැඩියෙන් ආදරය කරන විට එතුමාණන්ව ඔබට නිතර සිහිවෙනු ඇත. එවිට එතුමාණන්ගේ චරිතය අපගේ ජීවිත තුල ගොඩනැඟෙනු ඇත. එවිට අප යහපත් මුස්ලීම්වරුන් බවට පරිවර්ථනය වනු ඇත.

අවසාන සටහන

“මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරමි” යැයි පවසමින්, දහම තුල වල්මත් වී ඉස්ලාමයට පරස්පර ක්‍රියාවන් ඉස්ලාම් නමින් කරමින් අවසානයේ ඉස්ලාම් විරෝධී ක්‍රියාවන් හි නියැලී සිටින පිරිසගේ බුද්ධිමත් අවදානය පිණිස “නබිතුමාණන්ට ආදරය කරන්නේ කෙසේද?” යන්න පිලිබදව මෙතෙක් කරුණු සාකච්චා කලෙමි. අවසාන වශයෙන්, සර්ව බලධාරී අල්ලාහ් (දෙවි)ගේ ප්‍රකාශයක් ඔබේ විමසුමට තබන්නට කැමැත්තෙමි. එනම්,

“අවසානයේදී (විනිශ්චය දින දී) අපගේ දෙවියන් අප සියල්ලන්වම ඒකරාශී කර, අප අතරේ සාධාරණ ලෙසටම තීන්දු දෙනු ඇත. ඔහු තීන්දු දීමෙහි ඉතාමත් උසස්වන්තයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය”

අල්කුර්ආනය 34:26

යාඅල්ලාහ් !, අපගේ දූතයාණන් කෙරෙහි සහ එතුමාණන්ගේ සුන්නාව කෙරෙහි අපට සැබෑ සහ පරිපූර්ණ වූ ආදරයක්, ඇල්මක් ඇති කරත්වා!, එසේම මේ ජීවිත කාලය තුල එතුමාණන්ගේ මාවතේ සිටීමටත්, පරලොව ජීවිතයේ දී එතුමාණන් සමඟ සතුටින් සිටීමටත් අපට ආශිර්වාද කරත්වා!. එසේම අපගේ උතුම් දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් සහ එතුමාණන්ගේ පවුලේ අයට, එතුමාණන්ගේ සහාභාවරුන්ට සහ එතුමාණන්ගේ සැබෑ සහ අවංක අනුගාමිකයන්ටත්, අපටත් අල්ලාහ් (දෙවි)ගේ සාමය සහ ආශිර්වාදය හිමි වේවා!. යන ප්‍රාර්ථනයෙන් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/09/22

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම