සහාභාවරුන් නබි තුමාණන්ට ආදරය කල අයුරු විමසුමක්

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අල්ලාහ් (දෙවි)ගේ අවසාන දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට තම ප්‍රාණයට වඩා ආදරය කිරීම සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම පැවරෙන අනිවාර්‍ය වගකීමක් යන්න ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමයි. මෙම විෂය පිලිබදව යහමග අඩවිය අවස්ථා ගණනාවකදීම කරුණු සාකච්චා කොට ඇති අතර මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරමු යන ලිපිය එයට සමීප නිදසුනකි. එම ලිපිය තුලින් මුස්ලීම්වරුන් වන අප මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කලයුත්තේ ඇයිද? යන්නත් එතුමාණන් ආදරය කලයුත්තේ කෙසේද? යන්නත් පිලිබදව දීර්ඝ ලෙස කරුණූ කථා කොට ඇත. ඔබේ බුද්ධිමත් අවදානය එම ලිපිය වෙත නැවත යොමු කරන ලෙස ඉල්ලා සිටිමින් මුහම්මද් (සල්) තුමාණන්ගේ (සමකාලීන මුස්ලීම්) සහාභාවරුන් නබිතුමාණන්ට ආදරය කල තරම සහ එම ආදරයට අල්ලාහ් (දෙවි) දැක්වූ ගෞරවයේ අපූරුව කියාපාන අල්හදීස්යන් මෙම ලිපිය තුලින් ඔබේ බුද්ධිමත් අවදානය පිණිස පෙලගැසීමට අදහස් කරමි.

විශේෂයෙන් මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරන බව පවසමින් ඉස්ලාමයේ මූලික ඉගෙන්වීමන්ට පවා පරස්පරව විවිධ උත්සව, සැණකෙළි සහ වෙනත් නොයෙක් විකාරමය කටයුතුවල නියැලෙමින් අපි මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය දක්වන්නෙමු යැයි පුරසාරම් දොඩන පිරිසගේ දැඩි අවදානය පිණිස පහත අල්හදීසයන් මෙසේ ගෙන එමි.

අන්සාරි සහාභිවරයෙකුගේ පසුතැවිල්දුලට අල්ලාහ් (දෙවි) පිලිතුරු ලබාදේ

(මදීනා වාසි) අන්සාරි මිනිසෙක් අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් හමුවට පැමිණියේය. එවිට අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් "ඇයි මම ඔබව දුකෙන් සිටින්නෙකු ලෙස දකින්නේ" යැයි විමසුවේය. එයට එම සහාභිවරයා "අල්ලාහ් (දෙවි)ගේ දූතයාණනි! මා, මගේ පවුලට සහ දරුවන්ට වඩා ඔබතුමාණන්ට ආදරණීයයි. ගෙදර ඉන්න සමහර වෙලාවන් හි මට ඔබතුමාව මතක් වෙනවා, එවිට මා ඇවිත් ඔබතුමා දිහා බලනකම් මට ඉවසුමක් නෑ, අද මා මගේ මරණය සහ ඔබතුමාණන්ගේ මරණය ගැන මෙනෙහි කරනවා. (විනිශ්චය දිනයේ) ඔබතුමාණන් පාරාදීසය (ස්වර්ගය)ට ඇතුළු වන විට එහි (අනිකුත්) නබිවරුන් සමඟ ඔබතුමාණන් සිටින බව මම දන්නවා. මා පාරාදීසයට ඇතුළු වන විට ඔබතුමාණන්ව (එහි) නොදකිනු ඇතැයි මා බිය වෙනවා." මෙසේ එම සහාභිවරයා පැවසූ විට නබිතුමාණන් කිසිවක් නොකියා නිහඬව සිටියේය. එවිට දේවදූත “ජිබ්රීල් (අලෛ)” තුමා මුහම්මද් (සල්) තුමාණන් වෙත පැමිණ "කවුරුන් අල්ලාහ් (දෙවි)ට සහ  ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේද, ඔවුන් අල්ලාහ් (දෙවි)ගේ කරුණාව හිමි නබිවරුන්, සිද්ධිකින්, ශුහදාවරුන් සහ ධාර්මිකයින් යන අය සමඟ සිටිනු ඇත." යන 4-69 අල්කුර්ආන් වාක්‍යය අණාවර්නය කලේය,

මූලාශ්‍ර හදීස් ග්‍රන්ථය - මුස්ලීම්

මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීන සහාභාවරුන් එතුමාණන්ට දැක් වූ ආදරය අල්කුර්ආන් වාක්‍යයක් පහල වන තරම්ට ප්‍රබල එකක් විය. මීට වසර 1400 කටත් පෙර පහල වූ මෙම වාක්‍යය ලෝකවාසී මුස්ලීම් ප්‍රජාව එදා පටන් අද දක්වා අල්කුර්ආනය තුල පාරායනය කරයි. එහි කුසල අපට මෙන්ම එම සහාභිවරයාටත් හිමිවනවා නොවේද?.

යුධ පිටිය මැඳ හිඳ උම්මු උමාරා (රලි) තුමියගේ පැතුම

නබිතුමාණන්ගේ කාලයේ ජීවත් වූ වීර කාන්තාවක් වූ උම්මු උමාරා (රලි) තුමිය යුධ පිටියේ යුධ පෙරමුණේ හිඳ මුහම්මද් (සල්) තුමාණන්ගෙන් කල ප්‍රාර්ථනාවක් මීට ඉහත මෙම අඩවිය තුල ආදර්ශමත් කාන්තාව - උම්මු උමාරා (රලි) තුමිය යන මාතෘකාව යටතේ කථා කලෙමි. එහි කොටසක් මාතෘකාවට අදාලව මෙහි පහතින් උපුටා දක්වන්නේ නම්,

...නැවතත් යුධ පිටියට පිවිස සටන් කරන අතරතුර තම පුතාට තුවාල කල එම සතුරා උම්මු උමාරා (රලි) තුමිය හා සම්මුඛ විය. ඇත්තටම එම මොහොතේ ඇයට ඔහුව පේනවා දුන්නේ නබිතුමාණන් විසින්ය. එවිට ඇය ඔහුට දරුණූ ලෙස ප්‍රහාර එල්ල කොට ඔහුගේ කකුල් දෙක කපා දැමුවේය. එය දුටු නබිතුමාණන් තම දත් පිටතට පෙනෙන තරමට සිනාසෙමින් උම්මු උමාරා!, ඔබ ඔහුට දඬුවම් කළා යැයි පැවසීය. එහිදී එම සතුරා බිම ඇද වැටුනු විට තවත් මුස්ලීම්වරුන් කිහිපදෙනෙකු එක් වී එම ස්ථානයේදීම ඔහුව ඝාතනය කලේය. එවිට නබිතුමාණන් නැවතත් මෙසේ පැවසීය.

ඔබේ සතුරන්ගේ විඩාවෙන් ඔබේ ඇස් සිසිල් කර, ඔබේ ඇස් ඉදිරිපිට ඔබේ සතුරන් පළිගැනීමට සලස්වා ඔබට ජය හිමිකර දුන් අල්ලාහ්ට සියලු ප්‍රශංසා හිමිවේවා!

මෙසේ නිර්භීත සටන් කරන උම්මු උමාරා (රලි) තුමිය සටන් බිමේ හිඳ, සටන් කරන අතරතුර එනම්, සටන් ඝෝෂාව මැද, කඩු ගැටෙමින්, ඊතල හිසට ඉහළින් පියාසර කරමින්, මිනිසුන් මරණ වේදනාවෙන් කෑගසමින් මිය යන හඬ මැද හිඳ මුහම්මද් (සල්) තුමාණන්ගෙන් ආයාචනාවක් කලේය. එනම්,

"අල්ලාහ්ගේ දූතයාණෙනි!, ස්වර්ගයේ අපව ඔබගේ සහකරුවන් (මිතුරන්) බවට පත්කරන ලෙස අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා කරන්න !"

යනුවෙනි. එයට මුහම්මද් (සල්) තුමාණන්

"යාඅල්ලාහ්, ඔවුන්ව ස්වර්ගයේ මාගේ සහකරුවන් කරත්වා!".

යනුවෙන් ප්‍රාර්ථනා කලේය.

යුද බිම සතුරාගේ කඩුව අභියස හිඳ පවා ඇය සිහින මැවුයේ මරණින් මතු දිවිය සුන්දර එකක් වීමට සහ එදාටත් තම දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් සමඟ සිටීමටය. ඒ අරමුණ දිනාගැනීම වෙනුවෙන් ඇය කටයුතු කලේ තම දිවිය පරදුවට තබමිනි. කාන්තාවක් වූ ඇගේ මෙම ධෛර්‍යය, කැපවීම සහ නබිතුමාණන් කෙරෙහි ඇති ආදරය නබිතුමාණන් ආදරය කරන බව පවසමින් විකාරයන් කරන අපට එය ආදර්ශයක් නොවේද?.

අවසාන සටහන

නබිතුමාණන් කෙරෙහි සමකාලීන සහාභාවරුන්ගේ ආදරය එසේනම්, එතුමාණන් සහ සහාභාවරුන් දිවි පුදමින් ලේ වගුරවමින් රැකදුන් වත්මන් ඉස්ලාම් දහම අනුගමනය කරන අප එතුමාණන්ට කොතරම් ඉහලින් ආදරය කලයුතු වේද?. එම පැනය ඔබේම බුද්ධිමත් විමසුමට තබමින් මෙවැනි තවත් ආදරයක් ඔබේ දැනුමට ගෙනඒමේ පොරොන්දුව ඇතුව මෙම සටහනට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/09/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම